Showing posts with label සමාජ දේශපාලන සටහන්. Show all posts
Showing posts with label සමාජ දේශපාලන සටහන්. Show all posts

2018-01-22

ක්‍රිකට් දේශප්‍රේමියෝ සහ විල්පත්තු දේශප්‍රේමියෝ

මේ රටේ ක්‍රිකට් දේශප්‍රේමියෝ සහ විල්පත්තු දේශප්‍රේමියෝ අතර කිසිම වෙනසක් නැත. දෙපිරිස ම තමන් ආදරේ කරන ක්‍රිකට් සහ විල්පත්තුව ඇත්තේ මේ රට තුළ බව දන්නේ නැත. ක්‍රිකට් හෝ විල්පත්තුව රැකෙන්නේ රට රැකුණොත් බව ඒ රටේ ජාතිය සහ සංස්කෘතිය රැකුණොත් බව මොවුන් දන්නේ නැත. ඔවුන් සිතාන ඉන්නේ ලංකාව ඇත්තේ විල්පත්තුව මැද බවය. නැතහොත් ක්‍රිකට් පිටිය මැද බවය.

එහෙත් රට නමැති වැවේ බැම්ම සිඳුණු කල වැව සිඳී වැව් දියෙන් පෝෂණය වූ ක්‍රිකට් වැනි කුඩ මසුන් කොකුන්ගේ පහසු ගොදුරු වෙයි. වැව හැඩ කළ වැව්දිය වාෂ්ප වීම අවම කළ විල්පත්තු වැනි නෙළුම් යායවල් වියළෙයි. මල් කැකුළු දෑස් නෑරම මිලින වෙයි. වැව විනාශ වූ පසු එහි මසුන් සුරැකීමට හෝ නෙළුම් වැවීමට සිහින මැවීම අරගල කිරීම විහිළුවකි.

මේ අතොරයෙන් ක්‍රිකට් නමැති කුඩ මසුන් හෝ විල්පත්තුව නමැති නෙළුම් යාය රැකගන්න නම් අප ඒ සියල්ල දරා සිටිමින් පෝෂණය කර සුරකින රට නමැති මහා වැව සුරැකිය යුතුමය. ජාතිය නමැති වැව් බැම්ම රැකගත යුතුය. සංස්කෘතිය නමැති වැවට දිය දෙන වැව් ඉහත්තාවේ වනපෙත බිම රැකගත යුතුය.

කොටින් ම හදවතේ ඇති දේශප්‍රේමය ක්‍රිකට් සහ විල්පත්තු පටු සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් අපේ රට දක්වා පුළුල් කරගත යුතුයි. එමගින් රට දැය සහ සංස්කෘතිය රකින කළ ඒ රට තුළ ඇති ක්‍රිකට් සහ විල්පත්තුව පමණක්  නොව සෙසු රැකගත යුතු සියල්ල ද කදිමට සුරැකෙයි.

2017-05-04

රටට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ඇයි?

දැනුම බලය බවට පත් වර්තමාන ලෝකයේ උසස් අධ්‍යාපනය රටක සංවර්ධනයේ පදනම හෙවත් මුල්ගලය. රටක ඉදිරි ගමනට අවශ්‍ය නව අදහස්, කුසලතා, තාක්ෂණය සහ අභිනව සොයා ගැනීම් සඳහා අවශ්‍ය තර්කානුකූල ඵලදායි දැනුම සම්පාදනය කරන්නේ එමගිනි. කරුණු මෙසේ හෙයින් ලොව සියලු ම රටවල පාහේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඔස්සේ සිය රට වැසියන් වැඩි ප්‍රමාණයකට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවස්ථා සම්පාදනය කරමින් සිටී. 

(2016 වසරේ ලොව හොඳම පෞද්ගලික විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රේණිගත කර ඇති ප්‍රින්ස්ටන් විශ්විද්‍යාලයේ රූපයකි.)
මේ සඳහා රජය මැදිහත් වී රාජ්‍ය විශ්වවිද්‍යාල පවත්වා ගෙන යන අතර පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන උසස් අධ්‍යාපනන අවස්ථා පුළුල් කිරීමට බොහෝ රාජ්‍ය කටයුතු යොදා තිබේ. ඉන්දියාවේ රජයේ විශ්වවිද්‍යාල 337ක් ද පෞද්ගලික විශ්වවිද්‍යාල 3616ක් පාකිස්ථානයේ රජයේ විශ්වවිද්‍යාල 547ක් ද පෞද්ගලික විශ්වවිද්‍යාල 957ක් ද බංගලිදේශයේ රජයේ විශ්වවිද්‍යාල 21ක් ද පෞද්ගලික විශ්වවිද්‍යාල 199ක් ද තිබේ. මේ නිසා දකුණු ආසියානු කලාපයේ ජනගහනයෙන් සෑම සියදෙනෙකු අතරින් ම පස් දෙනෙකුටම (5%) විශ්වවිද්‍යාලයකට පිවිස අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ එම අවස්ථාව ලැබෙන්නේ ජනගහනයෙන් සියයට 0.001ක (0.001%) පමණ ඉතා ම සුළු පිරිසකට පමණි. 

1938 වසරේ සිට ලංකාව නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. එමගින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා සියලු සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙයි. ඒ සඳහා රට පුරා රජයේ පාසල් 1012ක් සහ පිරිවෙන් 736ක් ක්‍රියාත්මක වන අතර ඒවායේ ගුරුවරුන් 235,924කගේ මගපෙන්වීම යටතේ සිසුන් ලක්ෂ 42ක් පමණ උගනිති. 

මෙලෙස පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නා ද අවශ්‍ය අයට මුදල් ගෙවා ඉගනීමේ අයිතියට වැට බැඳීමක් කිසිදු අවස්ථාවක සිදු වී නොමැත. මේ වන විට රටේ පෞද්ගලික පාසල් 104ක් ඇති අතර එහි සිසුන් 127,968ක් මුදල් ගෙවා උගනිති. ලංකාවට 92.6%ක පමණ ඉහළ සාක්ෂරතා ප්‍රතිශතයක් අත්පත් කරගත හැකි වී ඇත්තේ එහෙයිනි. පාකිස්ථානයේ 56.4%, බංගලාදේශයේ 61.5%, ඉන්දියාවේ 72.1% යන සාක්ෂරතා ප්‍රතිශත සමග සසඳන විට ලංකාව කලාපයේ ඉදිරියෙන් සිටියි. 

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 20ක් පවතින අතර ඉන් 15ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ද ඉතිරි 5 ආණ්ඩුවේ අමාත්‍යංශ යටතේ ද පාලනය වෙයි. ඒ සඳහා වාර්ෂිකව 25 000ක් පමණ සිසුන් බඳවා ගැනෙයි. උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන 63%ක් සිසුන් අතරින් 15%ක පමණ ප්‍රමාණයකි. නැතහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් 6%ක් පමණි. 

මහ බැංකු වාර්තා අනුව 2012/13 අධ්‍යයන වසරේ අපොස උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලද සිසුන් ප්‍රමාණය 144 816කි. එහෙත් විශ්වවිද්‍යාල වරම් ලැබුවේ එම ශිෂ්‍ය ප්‍රමාණයෙන් 16.7%ක් හෙවත් සිසුන් 25 198ක් පමණි. එසේම 2013/14 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලද සිසුන් 143 740ක් අතරින් විශ්වවිද්‍යාල වරම් ලැබුවේ ඉන් 17.5%ක් හෙවත් සිසුන් 25 200ක් පමණි. මේ අනුව 2013/14 වසරේ පමණක් සුදුසුකම් සපුරා විශ්වවිද්‍යාල වරම් අහිමි වූ සිසු පිරිස 118540කි. මේ අනුව වාර්ෂිකව විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලද එක් සිසුවෙකු විශ්වවිද්‍යාලයට යන විට තවත් එම සුදුසුකම සපිරූ සිසුන් 5 දෙනෙකුට පමණ එහි දොර වැසෙයි.

මේ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපන ද රජය විසින් නොමිලේ සම්පාදනය කළ ද ඒ විභාග ප්‍රතිඵල සහ යම් යම් නිර්ණායක මත තෝරාගත් පිරිසකට පමණක් බව පැහැදිලිය. එනම් පාසල් අධ්‍යාපනය මෙන් සියලු දෙනාට නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමක් සිදුවන්නේ නැත. එහෙයින් මෙරට ක්‍රියාත්මක වන්නේ තෝරාගත් පිරිසකට පමණක් නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමක් බව අවබෝධ කරගැනීම වැදගත්ය.  රටේ විශ්වවිද්‍යාල උපාධිධාරි ප්‍රතිශතය ජනගහනයෙන් 0.001%ක මට්ටමේ පවතින්නේ එහෙයිනි. මෙය රටේ සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා විශාල බාධාවකි. 

ලංකාව සාක්ෂරතාව අතින් කලාපයේ ඉහළ ස්ථානයක් අත්පත් කරගත්ත ද උපාධිධාරීන් ප්‍රමාණය බෙහෙවින් පහත මට්ටමක පවතින්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව නො ලැබෙන බැවිනි. ඒ සඳහා ඇතැම්හු යෝජනා කරන්නේ තව තවත් රජයේ විශ්වවිද්‍යාල බිහි කර නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බවය. උසස් පෙළ සමත් ව විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාදීමට නම් දැනට අධ්‍යාපනය සඳහා දරන වියදම් කිහිප ගුණයකින් වැඩි කළ යුතු අතර ඒ සඳහා දැනට ගව් ගණනක් ඔබ්බේ පවතින දජානි 6%ක් වුව ද ප්‍රමාණවත් නොවනු ඇත. 

එසේම නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන්ට නොමිලේ අධ්‍යාපන පහසුකම ලබා දුන්නා ද ඒ සඳහා වාර්ෂිකව විශාල වියදමක් දැරෙයි. නිදසුනක් ලෙස ...... මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්වන්නේ හිඟන්නාගේ සිට මහ ජනතාවගෙන් අය කරගන්නා ඍජු සහ වක්‍ර බදුවලිනි. එහෙයින් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ යැයි කීව ද සැබවින් ම සිදුවන්නේ ජනතාවගෙන් අය කරන බදු මුදල්වලින් කොටසක් ඒ සඳහා යෙදවීමය. අධ්‍යාපනය සඳහා දරන රජයේ වියදම ඉහළ නැංවීමට නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ජනතාව මත තව තවත් කිහිප ගුණයක නව බදු පැනවිය යුතුය. එහෙයින් මෙය රටේ ආර්ථික හැකියාව ලබාගත හැකි ඉලක්කයක් නොවේ. 

මේ තත්ත්වය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලැබුව ද ඊට ඇතුළත් වීමේ අවස්ථාව නොලබන පිරිසක් වාර්ෂිකව මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීම පිණිස විදෙස් ගතවෙයි. අප කැමති වුව ද අකමැති වුවද අධ්‍යාපනය අද වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති අතර එය බොහෝ රටවල් විදෙස් විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් බවට පත්කරගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපදයට උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව සිසුන් ලක්ෂ 7ක් පැමිණෙන අතර එමගින් රටට ඇ. ඩො. බිලියන 15ක් පමණ ගලා එයි. 

ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 3876ක් වන විට ඉන්දියාවේ එය ඇ. ඩො. 1965ක් ද බංගලිදේශයේ ඇ. ඩො. 1503ක් ද නේපාලයේ ඇ. ඩො. 837කි. එහෙත් ඉන්දියාවේ ඉහළ ගණයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 30ක් ද පකිස්ථානයේ 20ක් ද බංගලිදේශයේ 48ක් සහ නේපාලයේ 10ක් ද තිබේ. ලංකාවේ සිසුන් මේ රටවලට ද ගොස් අධ්‍යාපනය ලබන අතර එම රටවලට ඉහළින් සිටින ලංකාවේ ඇත්තේ එක ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීම පිණිස ම පිහිටුවා ගත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානයකි.  

වාර්ෂිකව උසස් අධ්‍යාපනය පිණිස විදෙස්ගත වන සිසුන් සමග අතිවිශාල ධනස්කන්ධයක් ද විදෙස් රටවලට ඇදී යයි. ඒ විශ්වවිද්‍යාල ගාස්තු, ගුවන් ගමන්, නවාතැන් සහ ආහාර වියදම් වශයෙනි. මේ ආකාරයට වෛද්‍ය උපාධිය හැදෑරීම පිණිස ඇමරිකාවට යන සිසුවෙකුට ඇ. ඩො. ලක්ෂ 3-4ක් වැය කිරීමට සිදුවෙයි. එහෙත් ලංකාවේ ඇ. ඩො. 60 -7000 දහසක් වැයකර එම ඉලක්කය සපුරාගත හැකිය. විදෙස් රටක දැරිය යුතු වියදමට සාපේක්ෂව අඩු වියදමකින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත හැකි නම් වාර්ෂිකව විදෙස් රටවලට ඇදී යන ධනස්කන්ධයක් රටේ ඉතිරිවෙයි. 

එසේම විදෙස් විශ්වවිද්‍යාලක උපාධියක් හැදෑරීමේ පිරිවැය දැරිය නොහැකි එහෙත් ඊට වඩා අඩු මුදලක් ආයෝජනය කළ හැකි තවත් බොහෝ පිරිසකට දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත හැකිය. එසේම රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් නොලබන, පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමේ ආර්ථික හැකියාවක් නොමැති තවත් පිරිසකට ශිෂ්‍යයත්ව ලබාදීම මගින් ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කළ හැකිය. 

එහෙත් වාමාංශික අදහස් දරන පිරිසක් තර්ක කරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි වන බවටය. මේ තර්කය නිවැරදි නම් පෞද්ගලික රෝහල් නිසා නිදහස් සෞඛ්‍යය ද පෞද්ගලික පාසල් නිසා නිදහස් අධ්‍යාපනය ද දැනටමත් අහෝසි වී තිබිය යුතුය. එහෙත් සැබවින් ම මෙහිදී සිදුවන්නේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා බරපැන දැරිය හැකි පිරිස එනම් සැබවින් ම රජයේ සුභ සාධන අනවශ්‍ය පිරිස ස්වේච්ඡාවෙන් ම ඉන් ඉවත්වීමය. එය එම පහසුකම ලැබිය යුතු පිරිසට මෙන්ම රජයට ද පහසුවකි. අනෙක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ඔස්සේ ශිෂ්‍යත්ව ලබා දීම ඔස්සේ රජයේ විශ්වවිද්‍යාල අහිමි වන තවත් පිරිසකට එම පහසුකම ලබාදිය හැකිය.

එසේම එම පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් විදෙස් සිසුන්ට ද අධ්‍යාපනය ලබාදීමේ අවස්ථා ඇති කිරීම ඔස්සේ ගැහැනු මැදපෙරදිග වහල් සේවයට යැවීමට වඩා ශිෂ්ට ලෙස විදෙස් විනිමය උපයාගත හැකිය. මහ බැංකු වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබීම සඳහා විදේශීය සිසුන්ට නේවාසික වීසා නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇති අතර රටවල් 22කින් ලැබුණු අයඳුම්පත් 67ක් සඳහා දැනටමත් අවස්ථාව ලැබී ඇති අතර එය ඉතාම වැදගත් තීන්දුවක් බව සඳහන් කළ යුතුය.  

1948 දෙසැම්බර් මස 10 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කොට ප්‍රකාශයට පත් කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 26 වැනි වගන්තිය මෙසේය. 'අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයකුටම අයිතියක් ඇත්තේය. ප්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක්වත් අධ්‍යාපනය නොමිළයේ ලබාදිය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුය. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසිය යුතු වන අතර දක්ෂතා පදනම් කොට උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමාන ව සැලසිය යුතුය.' ඒ අනුව සෑම පුද්ගලයකුට ම අධ්‍යාපනය ලැබීමට පරම අයිතියක් තිබේ. ප්‍රාථමික සහ මූලික අධ්‍යාපනවත් නොමිලේ ලබාදිය යුතු බව එහි සඳහන් වීමෙන් මුදලට හෝ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කළ යුතු බව කියවෙයි. ආණ්ඩුවේ වගකීම වඩා වැඩි පිරිසකට නිදහස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන අතර ඉතිරි පිරිසට මුදලට හෝ අධ්‍යාපනය ලැබීමේ මානව හිමිකම් අයිතිය තහවුරු කිරීමය. 

අධ්‍යාපනයේ නිදහස අයිතියක් බව ද නිදහස් අධ්‍යාපනය වරප්‍රසාදයක් බව ද අවබෝධ කරගැනීම වැදගත්ය. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය භුක්ති විඳින අතර අධ්‍යාපනයේ නිදහස නම් මානව අයිතිය කිසිවකුට උදුරාගත නොහැකිය. එම අයිතිය තහවුරු කිරීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද ප්‍රයෝජනයට ගත යුතුය. මහ බැංකු වාර්තා අනුව විදෙස් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමග එක්වී ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන 70ක් පමණ ලංකාවේ ක්‍රියාත්මක වෙයි. මේ අතරින් 16ක් උපාධි ප්‍රදානය කිරීමේ ආයතන ලෙස පිළිගෙන ඇති අතර තවත් 19කට ඒ අවස්ථාව ලබාදිය හැකි ද යන්න පිළිබඳ ඇගයීම් සිදුවෙමින් පවතියි.            

2017-04-30

සයිටම් ආතතිය අනුමැතිය සහ ප්‍ර‍මිතිය

මාලබේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරවීමට නෛතික බාධාවක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කිරීම සමග නැවත රටේ ආන්දෝලනයක් මතුව තිබේ. පිරිසක් සයිටම් ඇතුළු පෞද්ගලික වෛද්‍යවිද්‍යාල සහ විශ්වවිද්‍යාලවලට පක්ෂව ද තවත් පිරිසක් ඊට එරෙහිවද හඬ නඟති. 

සයිටම් විශ්වවිද්‍යාලය 2008 වසරේ ආරම්භ කර ඇති අතර 2011 වසරේ එම ආයතනයට වෛද්‍ය උපාධි ලබාදීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා අනුමැතිය ලබාදී ඇත. ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතු අතර සයිටම් පාඨමාලා අධීක්ෂණයට හෝ එහි උපාධි පිළිගැනීමට තමන්ට නෛතික විධිවිධාන නොමැති බවට වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීමක් මගින් ප්‍ර‍සිද්ධ කර තිබිණි. අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය සයිටම් වෛද්‍ය සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරවීමට නෛතික ගැටලුවක් නොමැති බව තීන්දු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ සඳහා කටයුතු කළ හැකිය.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ තමන් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට යන බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම වරදක් නොවේ. එහෙත් මේ ප්‍ර‍ශ්නය ජාත්‍යන්තරයට ගෙන යාම, කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැති හෙයින් ජාත්‍යන්තර අධිකරණ ඉල්ලා සිටින බෙදුම්වාදීන්ගේ ඉල්ලීම සාධාරණීකරණය කිරීමකි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙන්ම වාමාවාදී දේශපාලන පක්ෂ ද වෛද්‍ය උපාධි ලබාදීමට අවශ්‍ය ප්‍ර‍මිතිය සයිටම් ආයතනයේ නොමැති බවට චෝදනා කරන අතර සයිටම් වසා දැමිය යුතු බව එක හෙළා කියා සිටිති. සමහරු පවසන්නේ රජය මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට අවසර දෙන අතර නිදහස් අධ්‍යාපනය දියකර හැරීමට කටයුතු කරන බවය. සයිටම් නිදහස් අධ්‍යාපනයේ මළගම බවය.

නිදහස් අධ්‍යාපන ක්‍ර‍මය තුළ කඩඉම් විභාග සමත් වන සැමට උසස් පෙළ දක්වා නොමිළේ අධ්‍යාපනය ලැබීමේ භාග්‍ය ලැබේ. ඒ අනුව සාමාන්‍ය පෙළ සම්මාන තුනක් සහිතව විෂය හයකින් සමත්වන සැමට පාසලක උසස් පෙළ පන්තියකට ඇතුළත් වී අධ්‍යාපනය ලැබිය හැකිය. උසස් පෙළ තරග විභාගයෙන් තමන් පෙනී සිටින විෂයන් තුන සඳහා සාමාර්ථ තුනක් ලබා ගන්නා සියලු දෙනා අදාළ විභාගයෙන් සමත් ලෙස සැලකේ. මහ බැංකු දත්ත අනුව 2012-13 අධ්‍යයන වර්ෂයේ සිසුන් 144 816ක් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් ලැබුව ද ඇතුළත් කරගෙන ඇත්තේ 24 198කි. 2013-14 වර්ෂයේ සිසුන් 143740 අතුරින් 25 200කි. 2014-15 වර්ෂයේ සිසුන් 149 572ක් අතුරින් 25 643කි. මේ අනුව සුදුසුකම් සපිරු විශාල සිසු පිරිසකට නිදහස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාල වරම් අහිමි වන බව පැහැදිලිය. එම පිරිස අතරින් දහස් ගණනක් වාර්ෂිකව උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන අතර ඔවුන්ගේ පාඨමාලා, ඉඳුම් හිටුම්, යාම් ඊම් ගාස්තු වශයෙන් අති විශාල ධනස්කන්ධයක් රටින් පිටට ගලා යයි.  

මෙලෙස පිට රට අධ්‍යාපනය පිණිස යන අය පෞද්ගලික විශ්වවිද්‍යාලවල ද රජයේ විශ්වවිද්‍යාලවල ද අධ්‍යාපනය ලබති. ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. එලෙස වෛද්‍ය උපාධි ලබා පැමිණෙන අයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ERPM (Act 16) විභාගය සමත්ව ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණ තීන්දුව සමග සයිටම් ලියාපදිංචි කර එහි ප්‍ර‍මිතියට අදාළ කටයුතු නියාමනය කරන්නේ නම් මෙලෙස විදේශගතව වෛද්‍ය උපාධි ලබාගත යුතු නැති අතර උසස් ප්‍ර‍මිතියේ වෛද්‍ය උපාධිධාරීන් රටට බිහි කළ හැකිය. වාර්ෂිකව විදේශවලට ගලා යන ධනස්කන්ධයද රටේ ඉතිරි වෙයි. වෛද්‍ය උපාධි පිණිස විදෙස් සිසුන් ලංකාවට ආකර්ශනය කරගත හැකි නම් එය රටට ආදායම් මාර්ගයක් ද වනු ඇත.   

ඒ සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළේ යැයි රටේ නිදහස් අධ්‍යාපනය විනාශ නොවෙයි. එසේ වන්නේ නම් පෞද්ගලික රෝහල් සහ බෙහෙත් ශාලා නිසා රටේ නිදහස් සෞඛ්‍යය ද පෞද්ගලික පාසල් නිසා රටේ නිදහස් අධ්‍යාපනය විනාශ වී තිබිය යුතුය. වෛද්‍ය නොවන වෙනත් උපාධි ලබා දෙන ආයතන රටේ දැනටමත් පවතින නිසා නිදහස් අධ්‍යාපනයක් ද තිබිය නොහැකිය. එහෙත් සිය කැමැත්ත සහ හැකියාව අනුව පිරිසක් පෞද්ගලික රෝහල් සහ පාසල් තෝරාගෙන ඇති අතර බහුතරය රජයේ රෝහලින් සහ පාසලින් නිදහස් අධ්‍යාපනය ලබති. එලෙස පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉවත්ව යාම නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සැබවින්ම අවශ්‍ය අයට සහනයකි. 

එම පෞද්ගලික ආයතනවලින් රජයට ලැබෙන බදු මුදල් නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ප්‍ර‍වර්ධනයට යොදාගත හැකිය. නිදහස් අධ්‍යාපන හෝ සෞඛ්‍ය අයිතිය රැකගැනීම යනු ඇති හැකි අයට මුදල් ගෙවා එම සේවා ලබාගැනීමේ අවස්ථාව අහිමි කිරීම නොවන බව අමතක නොකළ යුතුය. එහෙත් ධනවතුන්ට මුදල් ඉපයීම සඳහා පෞද්ගලික රෝහල් ගොඩනැගීමට ඉඩ නොදුන්නේ නම් එම රෝහල් රටට නොලැබෙන අතර අද ඒවායේ සේවය ලබන ජනතාවටද සිදුවන්නේ රජයේ රෝහලේ පෝලීම් දිගු කරන්නට එකතු වීමටය. එහෙයින් කළ යුත්තේ සයිටම් ඇතුළු පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහිවීම නොව ඉහළ ප්‍ර‍මිතියක් සහිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලා සිටීමය. 

වෛද්‍ය උපාධි ලබා දීමට සයිටම් ආයතනයේ ප්‍ර‍මිතිය ප්‍ර‍මාණවත් නොවන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පත්කළ කමිටුවක් නිර්දේශ කර තිබේ. සායනික පුහුණුව සඳහා ප්‍ර‍මාණවත් රෝගීන් සංඛ්‍යාවක් සහිත රෝහලක් නොමැති වීම සහ සායනික පුහුණුව ප්‍ර‍මාණවත් නොවීම, අධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍ර‍මාණවත් නොවීම ආදිය ඒ අතර වෙයි. ඒ කිසිවක් අත්කර ගත නොහැකි දුෂ්කර ඉලක්ක නොවේ. එම ප්‍ර‍මිතිය ගොඩනඟා ගැනීමට වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද උදව් කළ හැකිය. රජයේ සුදුසුකම් ලද ආචාර්යවරුන්ගේ සහ වෘත්තිකයන්ගේ සේවය ලබා දෙමින් එම සීමා ජයගැනීමට මගපෙන්විය හැකිය. 

එහෙත් සයිටම් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුවීම් සඳහා ප්‍ර‍මාණවත් රෝහලක් නැතැයි ද ඒ නිසා එම උපාධියේ ප්‍ර‍මිතියක් නැතැයි ද පවසන පිරිස් පෙරළා එම ප්‍ර‍මිතිය ගොඩනැඟීමට සයිටම් වෛද්‍ය සිසුන්ට අවිස්සාවේල්ල රෝහලේ සායනික පුහුණුව ලබාදීමට එරෙහි වෙති. මහජන දේපළ මුදලාලිලාට දෙන්නේ යැයි චෝදනා කරති. ඔවුන් මුදලාලිලා යැයි ගරහන මේ ව්‍යාපාරික ප්‍ර‍ජාව රටට විශාල බදු මුදලක් ගෙවන සම්පතකි. අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු රජයේ සුභසාධන සේවා පවත්වා ගෙන යන්නේද රජයේ සේවක පඩිනඩි ගෙවන්නේද එම මුදල්වලිනි. 

මේ ධනපති විරෝධි ඇතැම් වෛද්‍යවරු පිට රට ගොස් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා පැමිණි අයය. ඇතැමෙක් රජයේ රෝහල්වල සේවය කරන අතර පෞද්ගලික රෝහල්වලද සේවය කරති. පෞද්ගලික වෛද්‍ය සේවා පවත්වාගෙන යති. මෙවැනි පරස්පරතාවලින් තහවුරු වන්නේ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව සයිටම් වසා දැමීම මිස එහි ප්‍ර‍මිතිය උසස් කිරීම නොවන බවය. කෙසේ වුවද මේ විරෝධය නොවන්නට අවිස්සාවේල්ල රෝහලේ මහාචාර්ය ඒකකයක් පිහිටුවා සයිටම් සිසුන්ට සිය සායනික කටයුතුවලට ලබා දුන්නේ නම් නම් සයිටම් ආයතනයේ ප්‍ර‍මිතිය ඉහළ නැංවෙන අතර රජයේ රෝහලේ තත්ත්වය ඉහළ නැංවීමටද එය රුකුලක් වනු ඇත. 

පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධීන්ගේ එක් තර්කයක් වන්නේ උසස් පෙළ විභාගයෙන් C සම්මාන සමාර්ථ තුනක් ලබන දුප්පත් සිසුවෙකුට S සාමාර්ථ තුනක් ලබන පොහොසත් සිසුවෙකුට මෙන්ම මුදල් ගෙවා ඉගෙන ගත නොහැකි බවය. එහෙයින් පෞද්ගලික විශ්වවිද්‍යාල අනවශ්‍ය බවය. ඒ තර්කය නිවැරදි නම් සියලු දෙනාට අවස්ථාවක් ලබාගත නොහැකි නිසා විදේස් උපාධි පිළිගැනීම නතර කර පෞද්ගලික රෝහල් සහ පාසල් ද තරු පන්තියේ හොටෙල් ද වසාදැමිය යුතුය. සියලු උසස් පෙළ සිසුන්ට හොඳ උපකාරක පන්තිවලට යාමට වත්කම් නොමැති නිසා ඒවා වසා දමා පෞද්ගලික වාහනයක් සැමට මිලට ගත නොහැකි නිසා ඒවා ආනයනද නතර කර දැම්මාට කම් නැත. කෙසේ වුවද පෞද්ගලික විශ්වවිද්‍යාවලවලින් ඉහළ ප්‍ර‍තිඵල ලද ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් සඳහා ශිෂ්‍යත්ව ක්‍ර‍මයක් ඇති කළ හැකිය.

මේ පිරිස යෝජනා කරන්නේ වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා අතර රජයේ විශ්වවිද්‍යාල ගණන වැඩි කළ යුතු බවය. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගන්නේ කුමන ආකාරයෙන්ද ඔවුහු නොපවසති. ඇතැමෙකු දූෂණය, වංචාව සහ නාස්තිය නවත්වා ඒ මුදල් මේ සඳහා යොදාගත යුතු බවට ප්‍රායෝගික නොවන කතා කියති. එහෙත් අධ්‍යාපන වියදම තව දුරටත් ඉහළ නැංවීමට නම් රජයේ ආදායම් ඉහළ නංවාගත යුතුය. රජයේ ආදායමින් සාතිශය විශාල පංගුවක් බදු ආදායම් වන පසුබිමක ඒ සඳහා මුදල් ලබාගත හැක්කේ ජනතාව මත තව තවත් බදු පැනවීම නැතහොත් අනෙකුත් සුබසාධන වියදම් කපා හැරීම වැනි විකල්පයකින් විය හැකිය. එය වර්තමාන ආර්ථික තත්ත්වය තුළ එතරම් වේගයෙන් කළ හැකි ප්‍රායෝගික කටයුත්තක් නොවේ.

කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව සාක්ෂරතවා අතින් ඉහළින් සිටියද අපේ රටේ තෘතීයීක අධ්‍යාපනය ලබන ප්‍ර‍තිශතය පවතින්නේ බෙහෙවින් අවම මට්ටමකය. සාක්ෂතාව 74.04% වන ඉන්දියාවේ තෘතීය අධ්‍යාපන ප්‍රවේශ ප්‍ර‍තිශතය 10.5%ක් වන අතර 92.63%ක සාක්ෂරතාවක් සහිත ලංකාවේ තෘතීය අධ්‍යාපන ප්‍රවේශ ප්‍ර‍තිශතය 5.1%ක් පමණි. එය රටේ සංවර්ධනයට අවැසි කුසලතා සපිරි මානව ප්‍රාග්ධනය නිපදවාගැනීමට විශාල බාධාවක් වන අතර විශ්වවිද්‍යාල අවස්ථා සීමාවීම ඊට මූලික හේතුවයි. 

එහෙයින් මේ සඳහා වඩා ප්‍රායෝගික විසඳුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියක් රට තුළ ගොඩනඟා ගැනීමය. ඒ අවස්ථාව විදේශ ආයෝජකයින් අතට පත්වීමට ඉඩ නොදී දේශීය ව්‍යාපාරික ප්‍ර‍ජාවට ලබාදීමය. පෞද්ගලික විශ්වවිද්‍යාල දෙස සුබවාදීව බලන්නේ නම් ඒ සඳහා වුවමනා සහාය ලබා දෙන්නේ නම් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නේපාලයේ මනිපාල් වැනි විශ්වවිද්‍යාල රටේ ගොඩනැඟීමට නොහැකියාවක් නැත. 1981 ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පැවති අඩුපාඩු සකස් කර එය මැනවින් නියාමනය කර පවත්වාගෙන ගියේ නම් ඇතැම් විට එය 1994 ඇරඹි මනිපාල් විශ්වවිද්‍යාලයට වඩා සාර්ථක වීමට ඉඩ තිබිණි. එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කෙටි කාලයක් තුළ බිහිවූ උපාධිධාරීන් පිළිබඳ පසුවිපරමක් කිරීමෙන් ඇතැම් විට මේ පිළිබඳ අවබෝධයක් ලද හැකිය. කෙසේ වුවද පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරමින් එමි ප්‍ර‍මිතිය පවත්වා ගෙන යාමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිසම කටයුතු කළ යුතුය. 

මේ වන විට විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන ERPM (Act 16) පරීක්ෂණයට ද රජයේ වෛද්‍ය සිසුන් පොදු බහුවර්ණ පරීක්ෂණයක් සඳහා පෙනී සිට ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට සිය සුදුසුකම් සනාථ සනාථ කළ යුතුය. රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් පොදු පරීක්ෂණ ප්‍ර‍තිඵල අනුව පළමුව රජයේ රෝහල්වලට බඳවා ගනු ලබන අතර අනතුරුව විදෙස් සිසුන් ප්‍ර‍තිඵල අනුව බඳවා ගැනෙයි. වාර්ෂිකව ERPM විභාගයට පෙනී සිටින අය අතරින් සමත් වන්නේ 15%ක් පමණක් බව ද 2007 වසරේ විදෙස් වෛද්‍ය සිසුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් රජයේ වෛද්‍ය සිසුන් සමග පොදු පරීක්ෂණයට මුහුණදී ඉන් සමත් වූයේ 1.5%ක් බවද පැවසෙයි. එම ප්‍ර‍තිඵල මෙරට රජයේ වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය තහවුරු කරන අතර මෙරට වෛද්‍ය සභාව පිළිගත් 200ක් පමණ විදෙස් විශ්වවිද්‍යාලවල ප්‍ර‍මිතිය ප්‍ර‍ශ්න කෙරෙයි. ඔවුන් සයිටම් ප්‍ර‍මිතිය තරම් එම විශ්විද්‍යාලවල ප්‍ර‍මිතිය පිළිබඳ සොයා බලන්නේද යන ගැටලුව මතුවෙයි. කෙසේ වුවද රජයේ වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය පිළිබඳ අප රටක් ලෙස ආඩම්බර විය යුතු අතර එය රැක ගැනීමටද කටයුතු කළ යුතුය.    

එහෙයින් මෙරට රජයේ වෛද්‍ය උපාධිධාරීන් සහ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් මෙන්ම ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උපාධිධාරීන්ද පොදු පරීක්ෂණය හෝ ERPM පරීක්ෂණය යටතේ වෛද්‍ය සභාවේ සුපරික්ෂණයට ලක්විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වයද එයයි. දෙස් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් සියලු දෙනා ඇමරිකාවේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට නම් (The United States Medical Licensing Examination) USMLE පරීක්ෂණය සමත්විය යුතුය. එසේ නොමැතිව එම පරීක්ෂණවලින් සමත්වූ රජයේ වෛද්‍ය සිසුන්ගේ ලැයිස්තුව අගට පරීක්ෂණයට පෙනී නොසිට එක්වීමට පෞද්ගලික වෛද්‍ය සිසුන්ට අවස්ථාව ලබා දෙන්නේ නම් එය කිසිසේත් පිළිගත නොහැකි එහෙයින්ම කිසිසේත් නොවිය යුතු විනාශකාරී තත්ත්වයකි. 

එම පරීක්ෂණය මගහැර පවතින නීතියේ සිදුරුවලින් රිංගා යාමට යමෙක් උත්සාහ කරන්නේ නම් ඊට එරෙහි විය යුතු අතර එසේ කළ නොහැකි ආකාරයට නීති යාවත්කාලීන කළ යුතුය. රටේ වෛද්‍ය වෘත්තියේ ප්‍ර‍මිතිය ආරක්ෂාව කර ගැනීම සඳහා ඊට එරෙහි විය යුතුය. එහෙත් ඒ ප්‍ර‍මිතිය පිළිබඳ ප්‍ර‍ශ්නය නිරාකරණය කර ගැනීමට ඉඩ අහුරමින් ඇවිලෙන රවුලෙන් සුරුට්ටු දැල්වීමට සුදානම් වන පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධීන්ට එම ප්‍ර‍මිති සටන විනාශකාරී අන්තයක් කරා රැගෙන යාමට ඉඩනොදීමට වගබලාගත යුතුය.

සිය සයිටම් විරෝධය යුක්ති යුක්ත කිරීම පිණිස මෙවැනි හේතු ඉදිරිපත් කළ ද එම විරෝධයේ සැබෑ පදනම ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මතයයි. සයිටම් විරෝධය පිටුපස සිටින බොහෝ දෙනා සමාජවාදී මාක්ස්වාදී දේශපාලන අදහස් දරන අයයි. ඔවුන්ගේ දේශපාලනය සහ සයිටම් විරෝධය එකට ගැට ගැසී ඇත. සයිටම් මුදලට උපාධි විකුණන කඩයක් වන්නේ ද මුදලාලි කෙනෙකුගේ සූරාකෑමක් ලෙස පෙනෙන්නේ ද අධ්‍යාපනය සහ සෞඛ්‍ය මුදලට විකිණීමක් ලෙස දකින්නේද එහෙයිනි. ඇතැමුන්ට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහිවීම සිය අනාගත රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ලෙස දකිති. තවත් පිරිසක් ආණ්ඩුව සමග පවතින කෝන්තර පිරිමසා ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙස සයිටම් යොදා ගෙන ඇත.

තම රටේ ව්‍යාපාරික ප්‍ර‍ජාව රැකගැනීම මෙන්ම ඔවුන්ගේ ආයෝජන අවස්ථා පුළුල් කරමින් එහි සුරක්ෂිත බව තහවුරු කිරීමද ආණ්ඩුවේ වගකීමය. රටේ ආයෝජකයින් දිරිගන්වමින් ඔවුන්ට රට පමණක් නොව ලෝකයද ජයගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම රටට හිතැති ජනතාවගේ යුතුකමය.   

නාමල් උඩලමත්ත

2011-07-27

වස චින්තනයෙන් මහින්ද චින්තනයට

ගොවිතැන සඳහා කෘමිනාශක, වල් නාශක හෙවත් වස භාවිතය පදනම් කර ගෙන රටේ දැවැන්ත සංවාදයක් ඇති වී තිබේ. එය මේ වන විට සමාජයේ බොහෝ දෙනා කතා බස් කරන මාතෘකාවකි. රටට ගෙන්වන මෙකී වසවල ආනයනය තහනම් ආසනික් ඇතැයි පිරිසක් කියන අතර වස සමාගම් සහ තවත් පිරිසක් ආසනික් නැතැයි කියති.

මේ වසවල ආසනික් තිබුණ ද නැත ද ඒවා පිරිත් පැන් නොව වස ය. වස යනු විස ය. අපි රුපියල් මිලියන සිය ගණනින් පිට රට පටවා ඒ වෙනුවට වස ගෙනැවිත් අපේ රටේ පොළවට ඉසිමු. ඒ විෂ නිසා ඇති වන ආසාදනවලට තවත් වසක් ඉසිමු. මේ නිසා අපේ භූමිය නිසරු වෙමින් පවති. ගොවිතැනට හිතකර පස සරු කරන කෘමි සතුන් පවා මේ නිසා විනාශ වේ. බෞද්ධයින් ලෙස ප්‍රාණඝාතය පහත් කොට සලකන අපි බත් පත වෙනුවෙන් ලක්ෂ ගණනින් සතුන් මරමු. දැන් මේ ක්‍රියාවලිය වසර 40ක් පමණ අඛණ්ඩව සිදුවී තිබේ. එහෙයින් වස නැතිව ගොවිතැන නම් කළ නො හැකිය යන අදහස ජන මනස අරක් ගෙන තිබේ.

එහෙත් පෙර රජ දවස අපේ රට හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස ය. එකල රට ආහාරයෙන් ස්වයංපෝෂිත වී තිබිණි. ඒ වස ගොවිතැනින් නොව පරිසර හිතකාමී අපේ සාම්ප්‍රදාය පදනම් කරගත් ගොවිතැන මගිනි.
රටට වස හඳුන්වා දුන්නේ 1960 දශකයේ. එදා අපේ සීයලාට නොමිලේ වස ලබා දුන් අතර පාවිච්චි කරනවාට මුදල් ලැබිණි. එසේ පරිසර හිතකාමී ගොවිතැනින් අප උදුරා විසි නිරීම නිසා එකල සම්භාවිත කෙම් ක්‍රම අප අතරින් වියෝ වූ අතර එම දැනුම නව ලොවට නොසරිලන ඩයිනෝසර යුගයට අයත් දෑ ලෙස බැහැර කෙරිණි.

දැන් අපි කොම්පැනිකාරයින් නියම කරන මිලට වස ගෙන අපේ කුඹුරුවලට ඉසිමු. දරු මල්ලන් සමග ටික ටික කමු. කා මැරෙන්නෙමු. නිකන් ම නොමැරී මතු පරම්පරා ගණනකට වස බූදලයක් සිරිකොට තබා මියෙමු. මැරෙන ක්‍රමයට රජ රට වකුගඩු රෝගය, මී උණ ඈ නම් තබමු. මේ නම්වලින් සැබෑ රෝගය නිධානය සොයා යාම වළක්වා තිබේ. මී උණ එකල නොහැදී අද හැදෙන්නේ එකල මීයන් වැසිකිළි පාවිච්චි කළ නිසා විය යුතු ය.

වගා සංග්‍රමය වැනි ව්‍යාපෘතිවලට පිං සිදුවන්නට ගොවිතැන පිළිබඳ සාම්ප්‍රදායික දැනුම පමණක් නොව අපේ පෝෂ්‍යදායි, ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන වී වර්ග අපට අහිමි විය. එම ගොයම් ගස්වලට අඩි 1 1/2ක් 2ක් උසට වැවෙන ශක්තිමක් කඳක් තිබිණි. ඒ නිසා කෘමීන්ට ළඟාවීම අපහසු වූ අතර වල් ගස්වලට ගොයම් ගස පරයා නැගීම අපහසු විය. මේ නිසා ගොයම් කරලට ස්වභාවික ආරක්ෂාවක් ලැබිණි. එහෙත් දැන් භාවිත කරන ඊනියා වැඩි දියුණු කළ බීජවලින් ලැබෙන්නේ දුර්වල ගසකි. එය බිම් මට්ටමේ ම රඳනු මිස ඉහළට නො වැවෙයි. මේ නිසා ගොයම් කරලට හිමි ව තිබූ ස්වභාවික ආරක්ෂාව අහිමි වූ අතර වස භාවිතය අනීවාර්ය වී තිබේ.

මේ නිසා පෙර මෙන් අපේ සහල්වල නැවුම් සුවඳක් නැත. පෝෂ්‍යදායි නැත. එහෙත් කුඹුරට ඉසින වස වී කරලේ නැතැයි කාට නම් නිව හැකි ද? ඒවා ඇළ, දොළ, වැව්, අමුණුවලට එක්වී සමස්ත පරිසර පද්ධතියේ ම සමබර බව විනාශ කර දමා තිබේ. එපමණක් නොව භූගත ජලය ද ජල පෝෂක ද වස පෝෂක බවට පත්වෙමින් තිබේ.

රටට වාර්ෂිකව අතිවිශාල විදේශ විනිමයක් වස සඳහා වැය කිරීමට සිදු වී තිබෙන අතර වස නිසා මිනිසාට වැළඳෙන අනේක රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ජාතික ධනයෙන් තවත් විශාල කොටසක් රටින් පිටට ගලා යයි.

බත ප්‍රධාන ආහාරය වී ඇති අප රටේ සහල් පරිභෝජනය විශාල හෙයින් ඉතා සුළු ප්‍රමාණවලින් හෝ අඛණ්ඩව වස විස ශරීරගත වන අතර එය දිගු කාලයක් සිදුවීම නිසා සමස්ත ජාතිය ම රෝගී වී මේ අවධානමක් ද මතු වී තිබේ.

වස නිසා පස සරු කරන කෘමි සතුන් ද විනාශ වන හෙයින් පස ස්වභාවික ලෙස සරු කරන ක්‍රියාවලිය ඇනහිටින අතර කෘතීම පොහොර යෙදීම අනීවාර්ය වී තිබේ. මෙසේ වස සහ පොහොර සඳහා වන අධික වියදම සිය අස්වැන්නේන් පියවා ගත නොහී ගොවිහු ඉතිරි වස ටික බී මියෙති.

මේ සියලු ප්‍රශ්නවලට අප වහා විසඳුම් සොයා ගත යුතු ය. එය අපේ විසඳුමක් විය යුතු ය. අපේ චින්තනයට, සම්ප්‍රදායට අනුගත විසඳුමක් වීම මැනවි. සමස්ත ලෝකය දෙවියන් වහන්සේ මවා මිනිසාගේ ප්‍රයෝජනය පිණිසය, ඔහුගේ පරිභෝජනය පිණිසය යන මතවාදය වෙනුවට ගහ වැලට සතා සීපාවාට ආදරය කරන්නට උගැන්වූ අපේ සම්ප්‍රදාය වෙත අප නැඹුරු විය යුතු ය.

එකල ගොවිතැන පරිසරය සමග සහයෝගයෙන් කළ එකකි. විවිධ කෙම් ක්‍රමවලින් කෘමි උවදුරු අවම කරගත් අතර කුඹුරේ එක් කොටසක් කුරුලු පාළුව නමින් කුරුල්ලන්ට වෙන් කර දී තිබිණි. ඒ උන්ගේ කොටස ය. එකල අපේ මුතුන් මිත්තෝ සතුන් මරනු වෙනුවට තම බත් පතින් කොටසක් සතුන්ගේ භුක්තියට වෙන් කළහ. නිවසේ වහලයේ කොනක වී කරල් අහුරක් එල්ලා තැබිණි. එයයි අපේ සම්ප්‍රදාය. එයයි වසර දෙදහස් ගණනකට පෙර අපට උරුම වූ මහින්ද චින්තනය.

අපි අපේ කෘෂි තාක්ෂණය නැවත මතු කර ගත යුතු ය. එය ඉතා පරිස්සමින් කළ යුතු ය. ජන මනස ක්‍රමයෙන් ඒ සඳහා හැඩගැස්විය යුතු ය. සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමට රජය මැදිහත් වී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු අතර වස නැති ආදර්ශ ගොවිපළවල් ඇති කළ යුතු ය. මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ යුතු ය. විශේෂයෙන් ‍දේශපාලකයින්ට සිය නිවෙස්වලින් ම මේ කටයුත්ත ඇරඹිය හැකි ය. එය ජනතාවට වඩා ආකර්ෂණීය වේ. ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන ජනතාව අතරට යාමට එය බෙහෙවින් බලපෑවේ ය. එම ‍ගොවැතැන් සඳහා රජය මැදහත් වී ආධාර කළ යුතු අතර ජනතාව ඒවා පරිභෝජනයට නැඹුරු කළ යුතු ය.

එහෙත් මහින්ද එදා සිරිමා වැටුණු වළේ නො වැටිය යුතු ය. දේශීය කෘෂිකර්මාන්තය නැංවීමේ අරමුණින් ඇගේ රජය කළේ ආනයන සීමා කිරීමයි. එය යහපත් අදහසින් අවේලාවේ කරන ලද වැඩකි. රටේ වගා කටයුතු දියුණු කර අස්වනු වැඩි වන විට කළ යුතු ව තිබූ කටයුත්ත ඊට පෙර කිරීම නිසා සිදු වූයේ මහත් අනර්ථයකි. රටේ හාල්, මිරිස් පොලු ඇති වූ අතර ජනතාවට එක වේලක් බත් ද අනෙක් වේලට හබුරු ද කෑමට සිදු විය.

මේ නිසා ජනතාව මහත් අසහනයට පත් වුව ද පාලකයෝ සුවසේ විසූහ. ඉන් ප්‍රයෝජන ගත් ජේ.ආර්. ජයවර්ධනයෝ ජනතාවට ධර්මිෂ්ඨ සමාජයක් පෙන්වා ඇට අටක් දෙන බවට පොරොන්දු වී බලය ඉල්ලා සිටියහ. හාමතේ සිටි ජනතාව ඒ උතුමාට 5/6ක බලයක් ලබා දුන් අතර එතුමා රටට විවෘත ආර්ථිකය අවේලාවේ ආනයනය කළේ ය. එසේ බලන කල විවෘත ආර්ථිකය මෙරටට රැගෙන ඒමට විශාල වැඩකොටසක් සිරිමාගේ ආණ්ඩුව ද අනියමින් ඉටු කර තිබේ. එහෙයින් වස ගොවිතැන වෙනුනට හෙළ ගොවිතැන නැංවීමේ ක්‍රියාවලිය මනා ඉවසීමෙන් දුරදිග බලා කළ යුතු ය. එසේ නැතහොත් අවසානයේ එය වස කොම්පැනිකාරයින්ට කප්රුකක් වන්නට ඉඩ තිබේ.

2010-01-24

දුර බලන්න, ළඟ නොබලන්න

වසර තිහකටත් අධික කාලයක්‌ තිස්‌සේ මේ රටට පමණක්‌ නොව විදේශ රාජ්‍යයන්ට ද බලපෑම් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත භීෂණය පරාජයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ වර්තමාන රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ය. පසුගිය රජයන් ද ඒ සඳහා විවිධ උත්සාහයන් දැරුව ද ඒවා අසාර්ථක වූයේ විදේශීය බලපෑම් වලට යට වීම නිසා ය. වත්මන් රාජ්‍ය නායකයාට ද එකී බලපෑම් දෙගුණ තෙගුනව එල්ල වූ බව නොරහසකි. එසේ වුව ද ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවත් රටේ අභිමානය හා සාමග්‍රිය මැනැවින් ලෝකයට ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිර්භය ව ඒවාට මුහුණ දෙමින් රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කළ නිසා ඔවුන්ගේ දුෂ්ට අභිලාශයන් සමගින් ත්‍රස්‌තවාදය ද පරාජය කැර දමන්නට හැකි විය.

මෙවර ජනාධිපතිවරණය නිසා මුළු රටේ ම උණුසුම් තත්ත්වයක්‌ පැන නැඟී ඇත. රටේ යහපතටත් වඩා බලය සාධක කොට ගෙන දේශපාලන නායකයෝ ද දේශපාලන පක්‍ෂ ද බල අරගලයක යෙදී සිටිති. රටේ සංවර්ධනයට අවශ්‍ය වන ප්‍රතිපත්ති හා සැලසුම් පිළිබඳ විවේචනාත්මක කතිකාවකට වඩා පෞද්ගලික නින්දා අපහාස මඩ ගසා ගැනීම් දෙපැත්තේ ම බහුල ව පෙනෙන්නට ඇත. අනුගැමිකයෝ ද ඒ මගට ම වැටී මේ අරගලය තවත් උත්සන්න කෙරෙති. තමා ගේ දෘෂ්ටියම, මතවාදයම නිවැරැදි යෑයි දැඩි ව ගැනීම නිසාත් අනුන් ගේ මතය, අදහස්‌ වැරැදි යෑයි හෙළා දැකීම නිසාත් අදහස්‌ තුලනය කොට පිළිගෙන මැදහත් ව සන්සුන්ව ක්‍රියා කිරීමේ අසමත් බව නිසාත් මිනිස්‌සු මේ ලෝකයෙහි උනුන් හා එරෙහි වී ගැටුම් සහිත ව හැසිරෙන බව බුදුරජාණන් වහන්සේ මාගන්දිය සූත්‍රයෙහි වදාළහ. (සඤ්ඤඤ්ච දිට්‌ඨිඤ්ච යේ අග්ගහේසුං - තේ ඝට්‌ටයන්තා විචරන්ති ලෝකේ)මේ තීරණාත්මක අවස්‌ථාවෙහි දී ශ්‍රී ලාංකේය පොදු මහ ජනතාව විසින් දූරදර්ශීව කල්පනා කර බැලිය යුතු කරුණු කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කරවනු පිණිස අපි මේ සන්දේශය ඉදිරිපත් කරමු.

වසර තිහකටත් අධික කාලයක්‌ තිස්‌සේ මේ රටට පමණක්‌ නොව විදේශ රාජ්‍යයන්ට ද බලපෑම් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත භීෂණය පරාජයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ වර්තමාන රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ය. පසුගිය රජයන් ද ඒ සඳහා විවිධ උත්සාහයන් දැරුව ද ඒවා අසාර්ථක වූයේ විදේශීය බලපෑම් වලට යට වීම නිසා ය. වත්මන් රාජ්‍ය නායකයාට ද එකී බලපෑම් දෙගුණ තෙගුනව එල්ල වූ බව නොරහසකි. එසේ වුව ද ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවත් රටේ අභිමානය හා සාමග්‍රිය මැනැවින් ලෝකයට ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිර්භය ව ඒවාට මුහුණ දෙමින් රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කළ නිසා ඔවුන්ගේ දුෂ්ට අභිලාශයන් සමගින් ත්‍රස්‌තවාදය ද පරාජය කැර දමන්නට හැකි විය. මෙම විශිෂ්ට විජයග්‍රහණය ලබාගත හැකි වූයේ ජනාධිපතිතුමා ගේ අභීත සේනාධිනායකත්වයත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගේ ශූර මෙහෙයුම් කළමනාකරණයත් යුද හමුදාපති ජනරාල් සරත් පොන්සේකා මැතිතුමා ගේ උපායාන්විත යුද මෙහෙයුමත් හේතු කොටගෙන ය. ඊට සමගාවී ව ගුවන් හා නාවික හමුදා, සිවිල් ආරක්‍ෂක බළකාය හා පොලිසියන් විසින් මේ වෙනුවෙන් ස්‌වකීය කාර්ය භාරය ඉටු නොකරන ලද්දේ නම් සැබැවින් ම මේ විජයග්‍රහණය සිහිනයක්‌ වන්නට හොඳටම ඉඩ කඩ තිබිණ. එසේම විවිධ දුෂ්කරතා හා ආර්ථික පීඩනයන් ඉවසමින්, වර්ජනාදියෙන් වැළැකී ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ඉත සිතින් සහාය දුන් මහජනතාව ද එහි කොටස්‌කරුවෝ වෙති.

දුටු ගැමුණු රාජ්‍ය සමයෙන් පසු එක ධජයක්‌ යටතේ ශ්‍රී ලංකාව එක්‌ සේසත් කෙළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ය. සැබැවින් ම මෙය ඇදහිය නොහැකි තරමේ ප්‍රාතිහාර්යයකි. යුද හමුදාපතිතුමා ගේ විශිෂ්ට කැප වීම ද යුද ජයග්‍රහණයේ එක්‌ හේතුවකි. මෙය හේතු කොට ගෙන ජනාධිපතිතුමාත් ආරක්‍ෂක ලේකම්තුමාගේ යුද හමුදාපතිතමා ඇතුළු අනෙක්‌ හමුදාපතිවරුන්, පොලිස්‌පතිතුමා හා සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමාත් ජාතියේ සැබෑ වීරයෝ වූහ. ඒ සැබෑ විරුවන් වූ ජනාධිපතිතුමාත් යුද හමුදාපතිතුමාත් දෙ පිලකට බෙදී විසංවාදී ව ක්‍රියා කිරීම ජාතියේ අවාසනාවකි. සැබෑ වෙනසක්‌ ඇති කිරීමට යෑයි ෙමි සඳහා මූලික වූවන් ගේ අභිලාෂය සැබැවින් ම රටේ වෙනසක්‌ ඇති කිරීම ද පෞද්ගලිකව තමතමන්ගේ වෙනසක්‌ ඇති කැර ගැනීම ද යන්න ප්‍රශ්නාර්ථයකි.

සිංහලයන් වශයෙන් ද සිංහල - බෞද්ධයන් වශයෙන් ද මේ පිළිබඳව ඇත්තේ දැඩි කම්පාවකි. දැඩි කනගාටුවකි. බුදුරජාණන් වහන්සේ දීඝිතිකෝසල ජාතකයෙහි ලා වදාළ "දීඝං පස්‌ස - මා රස්‌සං" "දුර බලන්න, ළඟ නොබලන්න" යන අවවාදය ශ්‍රී ලාංකේය නුවණැති ජනතාවට නැවැතත් සිහිපත් කරවනු කැමැත්තමු. සම්බුද්ධ ශාසනයේ අනාගත ආරක්‍ෂාවත් ශ්‍රී ලාංකේය ජනතාවගේ මතු අභිවෘද්ධිය හා ජාතික සංවර්ධනයත් අපගේ මාතෘභූමියේ ඒකීයත්වය හා භෞමික අඛණ්‌ඩතාවත් සලකා පහත සඳහන් කරුණු දේශපාලන නායකයන්ටත් මහ ජනතාවටත් ඉදිරිපත් කරනු කැමැත්තමු. මේ අවස්‌ථාවෙහි දී අප ක්‍රියා කළ යුත්තේ පටු පක්‍ෂ දේශපාලන අරමුණු ඉටු කරගැනීමට හෝ පෞද්ගලික පදනම් හි පිහිටා තම පටු අභිමතාර්ථයන් ඉෂ්ට කැර ගැනීමට හෝ නොවේ.

භීෂණයෙන් පිරුණු දශක තුනක මහා ජාතික ව්‍යසනයකින් ශ්‍රී ලංකා මාතාව දැන් නිදහස්‌ කැරගෙන ඇතත් එම ව්‍යසනයේ ක්‍රියාකාරී විජාතික හස්‌තයන් නැවැතත් පණ ගැන් වී කරළියට පැමිණ තිරය පිටුපස සැඟැවී සිටින බව අප කවුරුනුත්, වෙසෙසින් ම තරුණ පිරිස අවබෝධ කැර ගත යුතු ය. මිතුරන් සේ පෙනී සිටින අපේ පසමිතුරන් තේරුම්ගැනීමට ජාතිය ප්‍රඥ සම්පන්න නො වුව හොත් සිංහල ජාතියේ මතු නොව ශ්‍රී ලාංකේය ජාතියේ ද මළගම ඉතා ඉක්‌මනින් දැකිය හැකි වනු ඇත. සැබැවින් ම ඔවුන් ගේ කූට අරමුණුවල ස්‌වභාවය තේරුම් ගැනීමට "ජාත්‍යන්තරයේ" ඔවුන් ක්‍රියා කල සහ ක්‍රියා කරන ආකාරය නුවණින් විමසා බැලීමේ දී වටහාගත හැකි ය. ඒවා අතර බලලෝභී දේශපාලන අරමුණු ද, අසන්තෘප්ත ආගමික අරමුණු ද, ආර්ථික අරමුණු හා සංස්‌කෘතික අරමුණු ද ප්‍රධාන වේ. ශ්‍රී ලංකාව පමණක්‌ නොව ආසියා කලාපය ම ඔවුන් ගේ බටහිර දේශපාලන, ආගමික හා සංස්‌කෘතික ග්‍රහණයට හරවා ගැනීමේ ක්‍රියාකාරී සැලැසුම් දැන් සාCෂ්‍ය සහිත ව අනාවරණය වී ඇත.

දැන් සිදු වන විවිධ පරිවර්තන දෙස අප බැලිය යුත්තේ මේ අවදානම පිළිබඳ අවධානයෙන් යුතුව ය. යට කී විජාතික තුමන්ත්‍රණයන් පිළිබඳව දැඩි ව උද්ඝෝෂණයන් කළ ජනතා විමුක්‌ති පෙරමුණේ බුද්ධිමත් තරුණ පෙළට මේ පිළිබඳව නැවැතත් සාවධාන ව දූරදර්ශී ව සිතා බලන ලෙස කරුණාවෙන් ආරාධනය කරමු. ඒ වචන පවා ඔවුන් ගේ ශබ්දකෝෂවලින් ඉවත් වී ඇත.

ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජික පරිහානි අවස්‌ථාවන් සිදු වූයේ ජාතික අසමගිය මුල් කැරගෙනය. නිදහසින් පසු ව වුව ද අප රට තුළ දුප්පත් කම නැති කොට පූර්ණ සංවර්ධනයක්‌ ඇති කර ගත නොහැකි වූයේ භික්‍ෂූන් වහන්සේලාත් ගිහි මහ ජනතාවත් පCස දේශපාලන පිල්වලට බෙදී ක්‍රියා කිරීම නිසා බව නොරහසකි. නියම ජාතික සමගියක්‌ ඇති වුණා නම් මෙරට කවර ජාතියකට වත් මේ අතෝරය සිදු වන්නේ නැත. පරමපූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහනායක මාහිමියන් වහන්සේත් අනගාරික ධර්මපාලතුමා වැනි සෙසු ජාතික නායකයෝත් ලක්‌වැසි සියලු ජනතාවට නිතර සිහිපත් කළ තරුණක්‌ වූයේ මේ ජාතික සමගිය යි. මඩිහේ මහ නාහිමියෝ ඒ සඳහා පළමුව සිංහලයන් සමගි විය යුතු යෑයි අවධාරණය කළහ. "සිංහල සමගිය ජාතික සමගියේ පදනම යි, සිංහල සමගිය සිංහල-දෙමළ-මුස්‌ලිම් ජාතික සමගියේ පදනම යි" යන්න උන් වහන්සේ නිතර ජනතාවට ජප කළ "ජාතික මන්ත්‍රය" විය. ත්‍රස්‌තවාදීන් පරාජයට පත් කොට ලැබූ විජයග්‍රහණය සිංහල-දෙමළ-මුස්‌ලිම්-බර්ගර් සියලු ලාංකේය ජනතාව ගේ විජයග්‍රහණයක්‌ කොට රට සංවර්ධනය කරා ගෙන යැම ජනාධිපතිතුමා ගේ අභිප්‍රාය විය. එතුමා ඇතුළු යුද මෙහෙයුම් නායකයෝ යුද්ධය මානුෂීය මෙහෙයුමකින් සිදු කිරීමට වග බලා ගැනීම මුළු ලෝකයට ම දුන් විශිෂ්ට ආදර්ශයකි. යුද්ධයෙන් පසු ව වුව ද වසර තිහකටත් වැඩි කලක්‌ වැරදි නායකයන් ගේ වැරැදි අදහස්‌වලින් පෝෂණය ලබා වැඩුණු දෙමළ තරුණ පිරිසගේ බෙදුණු දේශයක්‌ පිළිබඳ බිඳුණු අදහස්‌ වෙනස්‌ කිරීම ලෙහෙසි කාර්යයක්‌ නො වේ. ඒ මනෝමූලික බොඳ මානසිකත්වයෙන් දෙමළ තරුණ පෙළ මුදවාගනිමින් ඔවුන් ඒකීය රාජ්‍යයක්‌ තුල ජාතික වූ සංවර්ධනයක්‌ කරා ගෙන යැවේ උදාර ප්‍රයත්නය වර්තමාන දේශපාලන අර්බුදය තුළ නැවත ආපස්‌සට හැරවෙන සෙයක්‌ පෙනෙන්නට ඇත.

පොදු මහ ජනතාව උද්දාමයෙන් පිළිගත් ජාතික වීරයන් දෙදෙන උනුනට එරෙහි ප්‍රතිවාදීන් වී සටන් වැදීම නිසා බොහෝ සේ සතුටට පත් වී සිටින්නේ විදේශවල වාසය කරන බෙදුම්වාදීන් කොටි හිතවාදී පිරිස ය. බෙලහීන ව වැටී බොඳ වූ ඊළාම් සිහිනය තුළ අවතැන් ව සිටි හා මේ පිරිසට නැවතත් සන්නද්ධ ව සක්‍රිය වන්නට ප්‍රබල නිමිත්තක්‌ දැන් ඔවුන්ට උදා කැර දී ඇත්තේ එකලද ඔවුනට හිතවාදීව උදවු කළ සිංහල හා දෙමළ දේශපාලනඥයන් විසිනි. ක්‍රෑර යුද්ධයෙන් සිංහලයන්ටත් වඩා දරුණු පීඩා ලැබුවේ උතුර-නැගෙනහිර පළාත්වල වාසය කරන දෙමළ ජනතාව ය. වර්තමාන දේශපාලන අර්බුදය ජාතික සංවර්ධනය සඳහා සිංහල හා මුස්‌ලිම් ජනයා සමග සමගි යාත්‍රාවට නැග සිටින ඒ දෙමළ ජනතාව නැවැතත් ඒ දුක්‌ කඳුළු සයුරට, ඇද දැමීමට හේතු නො වේ යෑයි කෙසේ කිව හැකි ද? ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය එදා පෙනී සිටියේත් අද පෙනී සිටින්නේත් වර්ගවාදය පෙරටු කර ගෙන ය. රට කෑලි කෑලිවලට බෙදීම හා ඊළාම් රාජ්‍යය ලබා ගැනීමට ය. ඒකීය රාජ්‍ය සංකල්පය අවංකව ම ඔවුනට වහ කදුරුය. ඔවුන් කිසි දිනෙක අප රටේ නාස්‌තිය හා දූෂණය දුරැලීමට වාස්‌තවිකව මුල් වූයේ නැත. සම්බන්ධන් මහතා වැනි අය ගේ පාතිවාදී හැඟීම් නිසා නැගෙනහිර දිගු කල් පැවැති සිංහල දෙමළ ජාතීන් අතර පැවැති සමගිය බිඳ වැටුණු අයුරු අපි හොඳින් දනිමු. එහෙයින් ඔවුන් ගේ මේ අදිසි පිබිදීමෙන් ජාතික සමගියට රතු එළියක්‌ වැටී ඇති බව අප කියන්නේ නිකම් ම නො වේ. ඒකීය වූ එක්‌ සේසත් ශ්‍රී ලංකාවක්‌ තුල වාසය කිරීමේ මිහිර අපටත් වඩා හොඳින් තේරෙන්නේ බුද්ධිමත් දෙමළ ජනතාවට ය. මේ තත්ත්වය ආරක්‍ෂා කැර ගැනීමට සිංහල-දෙමළ-මුස්‌ලිම් අප කවුරුත් දූරදර්ශීව ක්‍රියා කළ යුතු ය.

ජාති හිතෙෂී දේශමාමක ගිහි-පැවිදි බුද්ධිමත් සියලු දෙනාත් නිදහසින් පසු ව රජය කළ සියලු රාජ්‍ය නායකයෝත් මේ ඒකීයත්වය හා භෞමික අඛණ්‌ඩතාව උදෙසා ක්‍රියා කළ අය වූහ. නිජ භූමි සංකල්පයත්, ස්‌වයං තීරණ අයිතියක්‌ ලබා දීමට අප විරුද්ධ වන්නේ ලාංකේය ජාතියක්‌ වශයෙන් අප සැමට ම ඉන් සිදු වන හානිය සලකාගෙන ය. රජය පෙරැළීමේ අපේක්‍ෂාවෙන් ම විපක්‍ෂය එවැන්නකට ඉඩ දෙන්නේ නැතැ යි කීවත් සාධාරණ බියක්‌ මධ්‍යස්‌ථ ජනතාවට ඇති බව කිව යුතු ය. සාමය මුවාවෙන් යුද්ධයට ම, බෙදුම්වාදයට ම දර දිය ඇදි දේශීය හා විදේශීය කණ්‌ඩායම්වල ෙද්‍රdaහී ප්‍රයත්නයන් ව්‍යර්ථ කැර දැමීමට සමත් වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ය. වත්මන්හි ජනතාව කළඹවන කරුණුවලින් ඒ කළ යහපත අමතක කැර දමා ක්‍රියා කිරීම කළ ගුණ සළකන ජාතියකට තරම් නොවන්නකි.

"සියල්ල වන්නේ හොඳට යි" කියා සිංහල කියමනක්‌ ඇත. අයහපත් දෙයක්‌ වුව ද යහපතට හරවා සිතීමට මෙයින් අනුබලයක්‌ ලැබේ. රජය ප්‍රතිවාදීන් නගන චෝදනා අසත්‍ය නම් ඒවා බැහැර කිරීමට ද සත්‍ය නම් ඒවාට පිළියම් යෙදීමට ද වහවහා පියවර ගත යුතු ය. ඒවාට කෝප වී සැහැසිකම් කරන අනුගාමිකයනට තරයේ ප්‍රතිචාර දැක්‌විය යුතු ය. ඉදිරියේ දී ඇමැති මණ්‌ඩලයේ සංඛ්‍යාව අඩු කැර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්‌ සේ පෙනේ. එසේ කිරීමට හේතු වූ කරුණු ජනාධිපති තුමා පැහැදිලි කැර ඇත. මීළඟ කැබිනට්‌ මණ්‌ඩලය පත් කිරීමේ දී ශ්‍රීමත් ජනාධිපතිතුමා මේ කරුණ කෙරෙහි සැලැකිලිමත් වනු ඇතැ යි අපි සිතමු. එසේ ම අදක්‍ෂ, අකාර්යක්‍ෂම ඇමැතිවරුන් ඊට ඇතුළත් නොකිරීමට ද, රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන දූෂිත පුද්ගලයන්ට නීත්‍යනුකූල ව පියවර ගැනීමට ද ඔබතුමා ක්‍රියා කරනු ඇතැ යි අපි සිතමු. නිර්පාක්‍ෂික වූ ද වෛපාක්‍ෂික වූ ද විරුද්ධවාදීන් ගේ අභියෝගයන් රටේ මහ ජනතාව ගේ ශුභ සිද්ධිය හා සංවර්ධනය සඳහා සාධනීය කරුණු ලෙස යොදා ගත හැකි වන්නේ ඒ මාර්ගයෙන් යෑ යි අපි කල්පනා කරමු. එය ඡන්දදායක මහ ජනයාට ඉටු කරන හිතකාමි යුතුකමකි. රටේ ඇති වී තිබෙන සාමය චිරස්‌ථායි කැර ගැනීමට එය මහත් උපකාරයකි.

ජනාධිපතිවරණ ක්‍රියා දාමයන් සමග ප්‍රචණ්‌ඩ ක්‍රියා ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. සියල්ල ගණනය වන්නේ රජය පැත්තට නිසා සියලු ප්‍රචණ්‌ඩ ක්‍රියා වැඩ පවත්වා පසු ගිය පළාත් සභා මැතිවරණ මෙන් සාමකාමි ව එම කටයුතු සිදු කරලීමට පියවර ගන්නා ලෙස රජයට මතක්‌ කරන අතර ජනාධිපතිවරණයෙන් පසුවද කිසිදු ප්‍රචණ්‌ඩ සාහසික ක්‍රියාවක්‌ සිදු නොවීමට අවධාරණයෙන් වග බලාගන්නා ලෙස රජයට මෙන් ම විපක්‍ෂයටත් කරුණාවෙන් දන්වමු.

මින් පසු මහ මැතිවරණය ද ඉක්‌මනින් එළැඹේ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය එළැඹෙන්නට ද වැඩි කලක්‌ නැත. අප රටේ සමාජයේ සදාචාරය වර්ධනය කැර ගැනීමටත් දුසිරිත් මර්දනය කැර ගැනීමටත්, එසේ මිනිසා හදා, අපේ උතුම් රට සෞභාග්‍යය කරා ගෙන යැමටත් මේ තරම් උතුම් සාංසිද්ධික නිමිත්තක්‌ නැවැත දිගු කලකට එළැඹෙන්නේ නැත. ඒ සඳහා ජනාධිපතිතුමා සම්බුද්ධත්ව ජයන්තිය ජනාධිපති මෙහෙයුම් කමිටුවක්‌ ද ඒ වෙනුවෙන් විශේෂ කාර්යාලයක්‌ ද ආරම්භ කැර ඇත. මහ මැතිවරණය ප්‍රජාතාන්ත්‍රික ක්‍රියා දාමයක්‌ වුද ද එයින් මහ ජනතාව පිළිවෙතින් පෙළ ගැස්‌වීමේ සම්බුද්ධත්ව ජයන්ති වැඩ පිළිවෙළට පාඩුවක්‌ නොවන්නට වග බලා ගන්නා ලෙස රජයෙනුත් විපක්‍ෂයෙනුත් කාරුණික ව ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේත් මුළු මහත් ජන සමාජයේත් අභ්‍යqදය හා ආරක්‍ෂාව ඉත සිතින් පතන හැම දෙන ම මේ සියලු කරුණු අපේක්‍ෂක ව නුවණින් සලකා බලනු ඇතැයි අපි උදක්‌ ම විශ්වාස කරමු.

කො‍ළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති
බළන්ගොඩ සෝභිත නාහිමි
බම්බලපිටි‍ෙ‍ය් සිරි වජිරාරාමාධිපති
තිරිකණාමලයේ ආනන්ද අනුනාහිමි
(ඉරිදා දිවයින -2010/01/24)

ටිප්පණිය - ශ්‍රී ලාංකික ජනතාව අතර විශේෂයෙන් බෞද්ධයින් අතර අතිශය ගෞරවාදරයට පාත්‍ර වී සිටින පෙර නම් සඳහන් ස්වාමීන් වහන්සේලා විසින් ලියන ලද උක්ත ලිපිය ඔබ සියලු දෙනාගේ අවධානය පිණිස මෙසේ පළ කරමි. මව් බිම දිනේවා! ඔබටත් රටටත් සුබ අනාගතයක් වේවා!

2009-06-23

පිර-පාහරන් සහ එළාර රජතුමා

තිස් වසරක් රට ලෙයින් තෙත් කළ පිරපාහරන් නොබෝදා නන්දිකඩාල් කළපුවේ මඩ ගොහොරුවක අවසන් හුස්ම හෙළුවේ ය. ඒ මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි යුගයක් බිහිකරමිනි. ඒ වූ කලී දශක 3ක මහා මූසල යුගයක කෙළවර බව පසක් කරගත් ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට විය. වෙසක් සමයක පොසොන් සමයක මෙන් රට පුරා දන්සැල් දෙන්නට විය. ජනපති ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා නායකයෝ කේක් කපා මේ මහ ජයග්‍රහණය සැමරූහ. මුළු රට ම එකට එකතු වී ලබාගත් මේ ඓතිහාසික ජයග්‍රහණයට අබැටකින් හෝ සහය නොදුන් හැකි හැම විට ම ඊට සිනාසුනු නිවට අතලොස්සක් ද මේ අතර විය. රටට මහා ජයග්‍රහණයක් වුව ද මෙය සිය පෞද්ගලික පරාජයක් ලෙස සලකන නිවටයෙකුට ඉන් සතුටු විය නොහැකි ය. එහෙයින් ඔවුන් එළාර දුටුගැමුණු සටන ආයුධයක් කරගෙන එම ජයග්‍රහණය සහ ජයග්‍රහණ සැමරුම විවේචනය කරමින් සිය සුපුරුදු ද්‍රෝහී ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්නට විය. එහෙයින් එළාර රජතුමා යනු කවරෙක්දැයි විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. එවිට එළාර රජතුමාට පිර_පාහරන් වැනි නිවට ම්ලේච්ඡයෙකු සැසඳීමේ වරද සමාජගත වනු ඇත.

එළාර නම් සොළි කුමාරයෙක් මහා සේනා රැගෙන සිංහලයට ගොඩ බැස ක්‍රි.පූ. 215 සිට 205 දක්වා දැහැමින් රට පාලනය කළ අසේල රජු මරා රජ විය. එළාර රජු පිළිබඳ මහා වංසයේ සඳහන් වන්නේ ද ධාර්මිෂ්ට රජෙකු ලෙස ය. එහි එන එක් කතා පුවතක් මෙසේ ය.

“ රජතෙමේ විනිශ්චය කාලයෙහි සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථවී. ඇඳ ඉස පසෙක ඉතා දික් යොතකින් විනිශ්චය කැමතිවුන් විසින් හඬවනු පිණිස මිණියක් එල්වීය. ඒ රජහුගේ එක් පුතෙක් ද එක් දුවක් ද වූහ. ඒ කුමාර තෙමේ රථ නැඟී තිසාවැවට යන්නේ මව් සමග මග ගොස් ඉතා තරුණ වස්සෙකු රියසකින් බෙල්ල ඇක්ස නොදැන මැරූයේය. ඒ දෙන් තොමෝ, කිපීසිත් ඇත්තී ගොස් ඒ මිණිගෙඩිය ගැසුවාය. රජතෙමේ ඒ වක්‍රයෙන්ම පුත්‍රයාගේ හිස් සිඳවි.” (82, 1912 _ මහාවංසය)

සිංහල ජනප්‍රවාදයේ පැවසෙන්නේ එළාර දස රාජ ධර්මයෙන් රජ කළ රජෙකු බව ය. විශේෂයෙන් දුටුගැමුණු රජු පිළිබඳ වීර කාව්‍යයක් වන මහාවංසය පවා ඒ මතය සනාථ කරන බව ඉහත නිදර්ශනයෙන් පැහැදිළි වෙයි.

එළාර ධාර්මිෂ්ට රජෙකු බව කීමට මහාවංසකාර මහානාම හිමි ඔහුගේ පාලන කාලයට අදාළ තවත් සිද්ධි ගණනාවක් සිහිපත් කරයි. එළාර රජු බෞද්ධයෙකු නොවුණත් පෙර සිට එන චාරිත්‍ර කඩ නොකළේ ය. වරක් විහාරයට ගොස් එන අතර ඔහුගේ රිය සක වැදී චෛත්‍යයක කොනක් බිඳිණි. කම්පාවට පත් රජ බිමට බැස සිය හිස මතින් රිය ගෙන යන්නැයි නියෝග කළ ද බෞද්ධ ඇමතිවරු එය වළකාලූහ. සෑය යළි සදා දෙන්නැයි ඉල්ලූ හ. එකල රජතුමා කහවනු 15 000ක් ඒ සඳහා පූජා කළේ ය. වරක් සිය පැටියා සර්පයකු කෑ නිසා දුකට පත් කිරිල්ලියක වෙනුවෙන් ද රජු යුක්තිය ඉටු කළේ ය. තවත් වරක් අකල් වැස්සකින් වී තෙමී අසරණ වූ මැහැල්ක් වෙනුවෙන්, කලට වැසි වාසීවායි සිතා පෙහෙවස් සමාදන්ව කළ සත්‍යක්‍රියා නිසා අකල් වැසි රටට නොලැබිණැයි වංසකතාකරු මහත් අභිරුචියෙන් පවසයි.

රජු මෙතරම් ධාර්මිෂ්ට නම් කුමට ඔහු හා යුද කළේ දැයි කෙනෙකු තර්ක කළ හැකි ය. සැබවින් ම ඔහු කෙතරම් ධාර්මික වුව ද ආක්‍රමනිකයෙකි. ඔහු තවත් ධාර්මික රජෙකු වූ අසේල රජු මරා මෙරට රජ විය. එමෙන් ම එළාර ධාර්මිෂ්ට වුව ද ඔහුගේ සහචරයින්ගෙන් බෞද්ධ ශාසනයට අනේක හානි වූ බව 23 වන පරිච්ඡේදයේ එන නන්දිමිත්‍ර කතා පුවතින් පැහැදිළි වෙයි. ඒ අනුව දුටුගැමුණු එළාර යුද්ධය ජාතිවාදී යුද්ධයක් නොව හුදු ආක්‍රමණිකයාට එරෙහි යුද්ධයක් බව ද පැහැදිලි වෙයි. එහෙත් මෙරට සිටින 4/1 මාක්ස්වාදීන් සහ ඊළාම්වාදීන් දුටුගැමුණු සිංහල ජාතිවාදී නායකයා ලෙසත් එළාර ද්‍රවිඩ ජාතිවාදී නායකයා ලෙසත් නිරූපණය කිරීමට කැමැති ය.

කෙසේ වුව ද විජිතපුර මහ සටනින් එළාර රජ මරණයට පත් කල දුටුගැමුණු රජු විසින් එළාර දේහයට බුහුමන් කර සෑයක දවා එම සෑය පසු කර යන රජෙකු වුව රියෙන් බැස තූර්ය වාදන ආදිය නතර කොට බුහුමන් කළ යුතු යයි ආඥාවක් කළේ ය. එම ආඥාව යුරෝපීය ආක්‍රමණිකයා අපේ රට අල්ලා ගන්නා තුරුම සිංහල රජ දරුවන් ආරක්ෂා කළේ ය. එමෙන් ම සිංහල ඉතිහාසයේ සොහොනක් කළ එකම රජතුමා ද ඔහු ය. අද ද එය ශේෂව තිබේ.

කෙසේ වුව ද එළාර රජුට බුහුමන් කළ බැව් කීමෙන් එදා නැවත වරක් රට එක්සේසත් කිරීමේ ප්‍රීතිය එකල ජනතාව නොසැමරූ බවක් නොපැවසෙයි. ජනතාව එම ජයග්‍රහණය මහත් පෙරහැර කර සැමරූ බව සයිමොන් ද සිල්වාගේ ‘ලංකා කථාව’ කෘතියේ සඳහන් වේ. (37, 2003, විසිදුනු)

එළාර රජුගේ මරණයත් සමග දුටු ගැමුණු රජු අනුගමනය කළ ක්‍රිය මාර්ගය පිටුපස කාරණා කිහිපයක් තිබිණි. පළමුව, එළාර හෙවත් පරාජිතයාගේ ශේෂ්ඨත්වයේ සෙවනැල්ල තිබිණි. හෙතෙම නිතර ම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු අන්‍යාගමිකයෙක් වුව ද බුදු දහමට සහ මෙරට සංස්කෘතියට ගරු කළ බැව් පැහැදිළි ය. ඔහුගේ හමුදාවේ සිංහලයින් ද සේවය කළේ ය. නන්දිමිත්‍ර යෝධයාගේ මයිලනුවන් වන මිත්‍ර නම් සෙනවියා ඊට නිදසුනකි. එළාර ආක්‍රමණිකයෙක් වුව ද ඔහු සිංහලයින් පිරිසක් ද ඒ වන විට දිනා ගෙන සිටියේ ය. වසර 44ක් මෙරට පාලනය කිරීමේ රහස එයයි.

ආධුනික දුටුගැමුණු මළ එළාරට ගරු කිරීම පිටුපස ජනතාව ඔහු වෙත දිනා ගැනීමේ දේශපාලන උවමනාව තිබිණි. එසේ නොකළා නම් ජන උදහස ඔහු වෙත එල්ල වන්නට ඉඩ තිබිණි. එමෙන් ම ඔහු වෙත බුදු දහම ද බලපෑ බැව් පෙනේ.

කෙසේ වුව ද දුටු ගැමුණු වීර කාව්‍යය මහාවංසය නමින් කළ කතුවරයාට පවා නොතකා හළ නොහැකි වූ ‍ශ්‍රේෂ්ඨ එළාර චරිතය පිර-පාහරන් වන් ත්‍රස්තයෙකුට සම කිරීම එම චරිතයට කළ හැකි විශාලම නින්දාව නොවන්නේ ද?, සිය රිය සක බුදු සෑයක අත් වරදකින් වැදුනයි එම රිය සක සිය ගෙළ මතින් ගෙන යන්නැයි කී ශ්‍රේෂඨ නරපතියෙකුට, දළඳා මාළිගාවට බෝම්බ ලොරියක් එවා, අරන්තලාවේ භික්ෂූන් පෙති ගසා මැරෑ ම්ලේච්ඡයෙකුට සම කිරීමට වඩා කළ හැකි නින්දාව කුමක් ද? එළාර රජුට දුටුගැමුණු රජු ලබා දුන් බුහුමන් පිර-පාහරන්ට ද ලබාදීම ඒ ශ්‍රේෂ්ඨ චරිතයට කළ හැකි අනෙක් නින්දාවයි.

2009-01-20

අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර

ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ ඇරඹුණේ මෙරට ගතානුගතික මාක්ස්වාදී පක්ෂවලට විකල්පයක් ලෙසිනි. එකී යල්පිනූ මාක්ස්වාදීන් දිගින් දිගට ම මෙරට ජන විඤානය නොතකා පොතේ ගුරු න්‍යායවාදී ස්ථාවරයක ළැග සිටීම තරුණ පරපුර කළකිරීමට හේතු විය. ජවිපෙ වටා ගොනු වූයේ එම තරුණ ජවයයි. ජවිපෙ ඊනියා කම්කරු පංතියකට සීමා නොවී මෙරට ග්‍රාමීය ගොවිජනතාව මත විශ්වාසය තබා ක්‍රියා කළේ ය. එමෙන් ම මා සිතන පරිදි ලංකාවේ එක ම විප්ලවවාදී පක්ෂය ද ජවිපෙ ය. (සෙසු පක්ෂ විප්ලවය ගැන විප්ලවීය බණ දෙසූ හ. තව ද විප්ලවය අද නොවේ හෙටයයි ද දෙසූ හ.) ඔවුන් ලෙනින්, මාවෝ සේතුං, ෆිදෙල් ක්‍රැස්ත්‍රෝ, හෝචිමින් අනුව යමින් විප්ලවීය ක්‍රියා මාර්ගයකින් රටේ පාලනය සියතට ගැනීමට උත්සහ කළේ ය. එහෙත් ඔවුන් පැරැදිණි. ඒ පරාජයේ ලේ වන්දිය මෙරට බහුතර සිංහල තරුණයින්ට ගෙවීමට සිදු විය. ඔවුන් බහුතරය නිසා මානව හිමිකම් නැති හෙයින් ආණ්ඩුවට එය පහසු විය.



1994 නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසෙන ජවිපෙ ඉතා කෙටි කලකින් විශාල ප්‍රගතියක් අත්පත් කර ගත්තේ ය. 94 පාර්ලිමේන්තු ආසන 01න් ඇරඹි ගමන 2004 වෙද්දි ආසන 39ක් දක්වා ඉහළ ගියේ ය. ප්‍රධාන දෙපක්ෂය දූෂිතයින්ගෙන් පිරීයාම සහ ඊට සාපේක්ෂව ජවිපෙ අවංක දේශප්‍රේමි තරුණයින්ගේන් සමන්විත වීම මේ පිබිදීමට හේතු විය. මේ කාල පරාසය තුළ ඔවුන් මව්බිමට ලබා දුන් ජයග්‍රහණ ප්‍රමාණය සුවිශාල ය. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම, සටන් විරාම ගිවිසුමට එරෙහි ජනමතය ගොඩනැගීම, 2002 රනිල් වික්‍රමසිංහහ ආණ්ඩු බිඳ දැමීම, පරිවාස ආණ්ඩු ආදර්ශය, මහින්ද ජනාධිපති ධුරයට ගෙන ඒම සහ වත්මන් රජය සහ ජනතාව, කොටි යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන ස්ථාවරයට ගෙන ඒම ඒ අතර කැපී පෙනේ. ඒ සියලු ජයග්‍රහණවල යම් ගෞරවයක් එම පක්ෂය වෙත හිමි විය යුතු ය.

එහෙත් 2005 වන විට ජවිපෙ පැරැණි මාක්ස්වාදී පක්ෂ ගොන්නට ඇද වැටිණි. ඔවුන් අතින් දේශප්‍රේමයේ කොඩිය ගිලිහිණි. එපමණක් නොව ඔවුන් මව් බිමේ හතුරන්ගේ සුරතලුන් බවට පත්විය. අද ඔවුන් ද මුමුණන්නේ හතුරන්ගේ සටන් පාඨ ය. රටේ මූලික ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු සොයන විට ඊට අකුල් හෙළති. යුද ජයග්‍රහණ අයිති රාජපක්ෂ ආණ්ඩුවට නොව රටේ ජනතාවට යයි කියති. එහි අරුත තිස් වසරක් පුරා රට ලැබූ පරාජයන්හි වඟකීම ද ජන සතු බව ද? ඒ යුගයේ සිදු වූ සියලු කුප්‍රකට පාවාදීම්වල වඟකීම ජනතාව සතු බව ද? නැතිනම් 'රටේ සේනාධිනායකයා ජනපතිය ත්‍රිවිධ හමුදාවට නායකත්වය දෙන්නේ ඔහුය' යන යන සරළ අවබෝධය ජවිපෙට නැති ද?

ආණ්ඩුව මූලික වී ලබන ජයග්‍රහණ ජන සතු කරන මේ කුහකයෝ එම ආණ්ඩුව ලබන පරාජයන් රාජසන්තක කරති. කිනම් නරුම හැසිරීමක් ද? මේ විගඩම සෙබලුන්ගේ ගුණ වයා හමුදා නායකත්වය විවේචනය කරන රනිල්ගේ නරි කෝළමට කදිමට සමපාත වෙයි. එහි ප්‍රතිඵලය ජවිපෙ නැගි සිටි වේගයෙන් ම නාය යාම ය. එහි ජන පදනම විනාශ වීම ය. මෑත දී පැවැති සියලු මැතිවරණවලදී පසක් වූයේ එම සත්‍යයයි.

ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත. ඒ වෙත ඒමට ඔවුන්ට උරුමයක් සහ අයිතියක් ඇත. එහෙත් ඔවුන් ඉන් පිට පැන වල්මත් වන විට ජනතාව ද වල්මත් නොවන වඟ පෙබරවාරී 14 වන දා නැවත සනාථ කරනු ඇත.

2009-01-03

කිලිනොච්චියෙන් ඔබ්බට

විරෝදාර ශ්‍රී ලංකා රණ විරුවෝ සිහින ඊලාම් දේශයේ හදවත වන් කිලිකොච්චියේ සිහ දජය එසවූහ. මේ වූ කලී ඊනියා ඊලාම් දේශයේ මිනී පෙට්ටියට අවසන් ඇනය ද ගැසීමකි. දැන් ඉතිරිව ඇත්තේ අලිමංකඩ සහ මුලතිව්වල සැඟව සිටින ත්‍රස්ත රැළ ද වනසා දැමීම පමණි. කෲර ත්‍රස්තවාදයෙන් නේක ගැහැට විඳි ජනතාව මේ ජයග්‍රහණයෙන් පස්වනක් ප්‍රිතියට පත්විය. එම විජයග්‍රහණය ජනපති විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නගර ගම් පසල් දනව් පුරා හෝරා ගණනක් ගිඟුම් දුන් රතිඤ්ඤා හඩ සහ ජය ඝෝෂා හඬ ප්‍රකාශ කළේ ඒ ප්‍රීතියයි. උපන්දා සිට අත පය වකුටු කරගෙන සිටි අපේ පරම්පරාවට රිසි සේ උතුරින් දකුණට ද දකුණින් උතුරට ද යාමට ඒමට හැකි වන දිනය අත ළඟ ය.

මේ අනඟි ජයග්‍රහනය පිණිස රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවන්ට අපි අපේ උත්තමාචාරය පුද කරමු! අත පය අහිමිව, තුවාල ලබා සිටින රණ විරුවන්ට ඉක්මන් සුවය පතමු! අපේ ආරක්ෂාවට සටන් බිම අවි දරා සිටින දේශයේ මුර දේවතාවුන්ට යෝධ බල යෝධ ශක්තිය පතමු! සතුරු බලමුළු පරයා මේ විනාශකාරී යුද්ධය හැකි ඉක්මනින් අවසන් කරනට ඔවුනට හැකි වේවායි පතමු! එමෙන් ම හමුදා ජයග්‍රහණ අවතක්සේරු කරමින් ද හූනෙකු තරම් කොටියා ඩයිනෝසරයෙකු තරම් පුම්බමින් ද දෙස් විදෙස් ද්‍රෝහීන් ඊලම බේරාගැනීමට එක පිට එක කළ කුමන්ත්‍රණ අබිමුව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි ජනතාව ද මේ මහා ජයග්‍රහනයේ උරුමකරුවෝ ය. මේ ජයග්‍රහණය ලැබුවේ 2002 හමුදා කඳවුරුවලට ගාල්කර කොඳු බිඳ තිබූ හමුදාවම බැවින් ඔවුන්ට නියම නායකත්වයක් ලබා දුන් ජනපති ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් ද අපේ බුහුමනට ලත්වෙයි.

ඇමරිකානු ආයතන දෙකක් ගත වූ දශක 4ක කාලය තුළ ලොව පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබේ. ඔවුනට අනුව මේ කාලය තුළ ලොව පුරා ත්‍රස්ත සංවිධාන 624ක් ක්‍රියාත්මක වී තිබේ. ඉන් 268ක් අතරමඟ සිය ත්‍රස්ත ක්‍රියා අතහැර දැමූ අතර 136ක් භේදභින්නව කැඩී ගියේ ය. තවත් 144ක් තවමත් ක්‍රියාත්මක වෙයි. ත්‍රස්ත ක්‍රියා නතර කළ කාණ්ඩයේ සංවිධාන 40%ක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය රහස් ඔත්තු සේවා විසින් අක්‍රිය කොට තිබේ. තවත් 43%ක් සාම සාකච්ඡා මගින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පිවිස තිබේ. 10%ක් සංවිධාන සිය කැරලි ජයගෙන තිබේ. මේ අනුව ලොව පුරා 90%ක ප්‍රතිශතයකින් ත්‍රස්තවාදය පැරදි තිබේ. ජය ලබා ඇති 10%ක දුලබ අවස්ථාවල ද ඊට ප්‍රධාන සාධකය වී ඇත්තේ ජනතා සහයයි.

මේ වන විට කොටි සංවිධානයට පක්ෂපාති පිරිස් දැන් විශාල වශයෙන් ඉන් ඉවත් වී හමාර ය. ඔවුන්ට දැන් බලපෑම් කළ හැක්කේ ප්‍රාණ ඇපයට ගෙන සිටින ලක්ෂ 150 000 ජනතාවකට පමණි. මේ වන විට ත්‍රස්තග්‍රහණයේ ඇති දෙමළ ජන පිරිස 10% අඩුය. 90%ක් පමණ වන දෙමළ ජනතාවක් ලංකා ආණ්ඩුවේ පාලන පෙදෙස්වල ජීවත්වෙයි. තව දුරටත් ඊලාම්වාදීන්ට ඊලාම් සිහින දැකීමේ හැකියාවක් නැත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු විදෙස් මාධ්‍ය අමතා පැවසුවේ කොටි වසර 10ක් පමණ උතුරු නැගෙනහිර අර්ධ ස්වාධීන රාජ්‍යක් පවත්වා ගෙන ගිය බවත් කිලිනොච්චිය අහිමිවීම සමඟ එය බිඳ වැටුණු බවත් ය. ඔහුගේ ප්‍රකාශයෙන් කිලිනොච්චි ජයග්‍රහනයේ වැදගත්කම කෙතරම්දැයි ප්‍රකට වන අතර එය අවතක්සේරු කිරීමට මෙරට මිනිසුන්ට සිරසක් නැතැයි සිතන කොටි නාළිකාව සුළු සිදුවීමක් අතිශ්‍යොක්තියට නැගීමට ගත් උත්සාහය බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු ය. ඔවුන්ගේ මේ දේශද්‍රෝහී ක්‍රියාකළාපය අප මීට පෙර ද පෙන්වා දී ඇත.

වරක් චීන නායක මාවෝ සේතුං පැවසුවේ කැරලිකරුවන් නිදහසේ පිහිනා යන්නේ ජනතාව නමැති දියෙහි බව ය. එනම් ඔවුන් ආරක්ෂා කරන්නේ ජනතාව බව ය. මේ සත්‍ය දේශප්‍රේමී ජනතාව වහා අවබෝධ කරගත යුතු ය. ත්‍රස්තවාදයෙන් වෙන්ව ත්‍රස්තවාදයෙන් බේරී එන හැමට සිය සහෝදරත්වයේ දෑත් දිගුකළ යුතු ය. දශක 3ක් පමණ ත්‍රස්තවාදය නිසා ඔවුන්ට අහිමි වූ දේ ලබා ගැනීමට උදව් විය යුතු ය. කිසිදා සිංහලයකු දැක නැති ඔවුන් සිංහලයා යනු මිනී කන මාරයෙකි යන මායාවේ තවමත් ගිලී සිටිනවා විය හැකි ය. ඊට වැරදිකරුවන් ඔවුන් නොවේ. ඒ මායාවේ ඔවුන් ගිල්වූයේ ත්‍රස්තයින් සහ උන්ගේ පඩි ලැයිස්තුවල නම් ඇති ජඩමාධ්‍යකරුවන් ය. තුත්පහි එන්ජීඕ කරුවන් ය. මුදා නොගත් ප්‍රදේශවල සිටින දෙමළ ජනතාවට හමුදාව සිටින ප්‍රදේශවලට නොඑන්නැයි බීබීසීය සිය දෙමළ සේවා වැඩ සටහන් ඔස්සේ පුප පුනා කියන බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙවන් තත්ත්වයක් යටතේ හමුදා ජයග්‍රහණ අර්ථවත් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ ය. එනම් ඔවුන්ගේ කළණ මිතුරා සිංහලයා බව පෙන්වා දීමේ හැකියාව ඇත්තේ ඔබට ය. ඔවුන් මහා මිත්‍යාවක ගිලී සිටි බව පසක් කළ හැක්කේ ඔබට ය. ඔබ සමග සිටින දෙමළ මිතුරන්ට ඔබේම සහෝදරයෙකුට මෙන් සලකන්න. ඔවුන්ගේ දුක සැප සොයා බලන්න. ඔවුන්ට සැකයේ වෛරයේ ආගාධයෙන් ගොඩවිත් සාමාන්‍ය ජන ජීවිතයට හුරුවීමට සහයවන්න. විරෝදාර හමුදාව අසීමිත කැප කිරීම් කොට ලේ දහඩිය කඳුලු මතින් ලැබූ මේ වටිනා ජයග්‍රහනය හෑල්ලුවට ලක් නොකරන්න. උතුරේ ලබන ජය සිංහලයා දෙමළා පරාද කිරීමකැයි සිතීම ද දකුණ විසින් උතුර පරාද කිරීමකැයි සිතීම ද ඒ ජයග්‍රහන සඳහා කළ හැකි ලොකු ම නින්දාව ය. විරෝදාර රණවිරුවන්ට රටට කළ හැකි ලොකු ම ද්‍රෝහීකම ය. සිතට ගන්න. මේ වූ කලී සිංහල දෙමළ මුස්ලිම් සැම එක පොකුරට එක්ව ත්‍රස්තවාදය කරාජය කිරීමකි. ඉන් අපේ උතුම් මව්බිම ගළවාගැනීමකි.

මව්බිමේ ඒකීයත්වය පිණිස කැප වන සැම සිංහලයින් මිස අනෙකෙකු නොවේ. ඔහුගේ ඇය‍ගේ නම සෝමසිරි විය හැකි ය. නටරාජා විය හැකි ය. සෙනෙහෙලතා හෝ සෙල්ලම්මා විය හැකි ය. ඉන් කමක් නැත.

2008-11-25

ආයු රක්ඛන්‍තු ආවඩා !

ඉතිහාසයේ පෙර නොවූ විරූ නායකත්වයක් ලද විරෝදාර රණ විරුවෝ සිහින ඊළම් රාජ්‍ය සුනුවිසුනු කර දමමින් ඉදිරියට ඇදෙති. දැන් ඔවුහු පිරපාහරන් සැඟව සිටින මී ගුල අසලට ම පැමිණ සිටිති. 30 වසරක් පමණ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයේ අනේක පීඩා විඳි මෙරට සිංහල දෙමළ මුස්ලිම් රට වැස්සෝ සාමය පිළිබඳ සොඳුරු සිහින දකිති.

තමන් උපන් බිමේ සමගියෙන් ජීවත් විය හැකි සුබ උදෑසන උදා වේවායි වේවායි! ඔවුහු සෑම රෑයක ම ප්‍රාර්ථනා කරති. ඒ සුබ උදෑසන සිහිනයක් නොවී යථාර්ථයක් කරනට වීර සෙබළ මුළු ඇස් ඉස් මස් ද අවසන ජීවිතය ද පූජා කරති. රට පුරා විහාරස්ථාන සහ ආගමික ස්ථානවල ඒ විරුවන්ට සෙත් පතා පුදපූජා පැවැත් වේ. මෙරට අති බහුතරයක් වැසියෝ මේ ව්‍යසනයෙන් මව් බිම ගලවා ගන්නට ඔවුනට ආශීර්වාද කරති. ඔවුන් නිසා නේක පිරිපත උසුලති.

ඊට සාපේක්ෂව ලොව හමුවේ කොටි ත්‍රස්තවාදයට පළඳා තිබූ විමුක්ති සළුපිළි එකිනෙක ලිහී වැටෙන්නට විය. ඒ සඳහා යුරෝපය පුරා ප්‍රදර්ශනය වන ත්‍රස්ත විරෝධි ඡායා රූප ප්‍රදර්ශනය මෙන් ම විදේශගත දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයින්ගේ සක්‍රීය දායකත්වය හේතු වූ බැව් පැවසිය යුතු ය. එමෙන් ම ඇතැමුන් දේශපාලන පත්වීම් යයි බෑගිරි තැලූ යුරෝපා සහ ඇමරිකා තානාපතිවරුන්ගේ මැදිහත්වීම ද අගය කළ යුතු ය. එහි ප්‍රතිඵලය ලෙස ත්‍රස්වාදයේ ම්ලේච්ඡත්වය හැබහින් දැකබලා ගැනීමට කොටින්ට අනුකම්පා කළ ඇතැම් විදේශිකයන්ට හැකි විය. ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා ජාලය අඩපන වීමට මේ තත්ත්වය හේතු සාධක විය.

මේ සමස්ත ක්‍රියාදාමය නිසා දිනෙන් දින ඊළම් රාජ්‍ය වැහැරි ගියේ ය. සෝදා පාළුවට ගියේ ය. උතුරු නැ‍ඟෙනහිර අවතැන් ජනතාවට නිවාස තනන්ට යයි කියා කොටින්ට බංකර් තනන්ට සිමෙන්ති යකඩ ඇද්ද එන්ජීඕ නඩය විපිලිසර විය. දුර්මුඛ විය. වසර ගණනාවක් මේ රට බෙදන්ට කැසකවන මේ ද්‍රෝහී රැළ වහාම එළවා දැමිය යුතුය යන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය හා අප ද එකඟ වන්නෙමු.

එහෙත් මට කීමට අවැසි අනෙක් කරුණකි. පිරපාහරන්ගේ ඊනියා මහවිරු දිනය හෙවත් උපන් දින සැමරුම දැන් කිට්ටු ය. වාර්ෂිකව සිය උපන් දිනය සීතල මළ කඳන් සහ රූරා හැලෙන උණු ලේ දහරා මැද සැමරීම ඔහුගේ ඒකායන පැතුමයි. ඔහුට සිසිල ගෙනෙන්නේ මිනිස් සුසුම් ය. පවස නිවන්නේ මිනිස් රුහිරු ය. එහෙයින් මිත්‍රවරුනි, ඔබ සැම පරිස්සම් විය යුතු ය. වෙනදාට වඩා විමසිලිමත් විය යුතු ය. මග තොට බසයේ දුම්රියේ පොදු ස්ථානයේ විමසිලිමත් වන ඔබේ දෑස් සුරකින්නේ ඔබ පමණක් නොවේ. සකල ලාංකීක ජාතියයි. වටපිට ගැන සෝදිසියෙන් සිටින ඔබේ දෑස් මුළු ජාතියට පෙනුම ලබාදෙයි. උතුරේ අවසන් ඉලක්කය හඹා යන වීරෝදාර හමුදාවන් වෙනුවෙන් අපට කළ හැකි මහරු මෙහෙවරකි මේ. ඔවුන් දකුණ නොසන්සුන් කරන්නේ යළි හමුදාව දකුණට ගෙන්වා ඊළම මුලිනුදුරා දැමීම වළකන්ට බැව් මතක තියා ගන්න. එහෙයින් සිය දහස්වාරයක් විමසිලිමත් වන්න.

මේ එළැඹ ඇත්තේ අන්තිම මොහොතයි. අන්තිම සටනයි. කොටියා කිලිනොච්චි බිත්තියට ම හේත්තු කොට ඇත. ඔබ විවෘත පිට්ටනියක සිටින බල්ලෙකුට පයින් ගැසුවහොත් ඌ ඈතට දිව යනු ඇත. එහෙත් මුල්ලක කොටු වූ බල්ලෙකුට පයින් ගසන කල ඌ සිය ගැලවීම පිණිස නොකරන දෙයක් නැත. එහෙයින් ඔබ අබිමුව ඇති අවදානම හදුනා ගෙන අවදානයෙන් සිටින්න.අත්‍යවශ්‍ය ගමන් බිමන්වලට සීමා වෙන්න. ජාතියේ ඉරණම තීන්දු කෙරෙන මේ මොහොතේ විමසිල්ලෙන් සිට ඔබේ ජාතික වඟකීම ඉටු කරන්න.

ගරු ජනපති අගමැති ඇතුලු මැති ඇමතිවරු මේ දිනවල සිය ගමන් බිමන් නවතා දැමිය යුතු ය. පුරන් කොටන්න වපුරන්න පාලම් විවෘත කරන්න රේස් තරඟ අරඹන්න පන්සල් ගානේ ඇවිදින්න කාලය නොවේ මේ. ජනතාව දැඩි අපහසුවට ලක් කරමින් පාරවල් වසාගෙන සතර අතින් රැකවලුන් සහිතව ඉගිලී යාම නවතා නවීන තාක්ෂණය භාවිතයෙන් සිය නිවසේ සිටම රාජකාරී කරනට උගත යුතු ය.මැති ඇමතිවරු මේ ජනප්‍රිය දේශපාලනයෙන් මිදී තම ජීවිතවලට ඇති අවදානම තේරුම් ගෙන ආරක්ෂක ක්‍රමෝපාය අනුගමනය කිරීම රට වෙනුවෙන් ඔවුන්ට කළ හැකි ලොකුම සේවයයි. එමගින් ඔවුන් සිය ජීවිත පමණක් නොව සාමාන්‍ය මහජනයාගේ ජීවිත ද කාලය ද ආරක්ෂා කළා වෙයි.

මව් බිමේ ඒකීයත්වය සඳහා සටන් වඳින අභීත රණවිරුවන් වෙනුවෙන් ඔබට කළ හැකි එක් මෙහෙවරකි මේ. ඔබට මට රණ බිමට යාමට හැකියාවක් නොමැත. එහෙයින් අපට කළ හැකි දේ අපි කරමු. රණ විරුවන් දිරිමත් කරමු. ඒ සඳහා කළ හැකි සියල්ල කරමු. ගමට එන සෙබළ සොයුරන් වීරයින් ලෙස පිළිගනිමු. මව් බිම ජය බිමට ඔසවා තබමු.

2008-10-16

ආයුබෝවන්! අපි හලෝ කියන් නෑනේ

අහස අයාලේ පාවී යන පැහැදුල් වලා රංචුවලින් ද හාත්පස දීප්තිත් හිරු කිරණින් ද සජ්ජිත ඒ අපූරු උදෑසන අද මෙන් මට මතක ය. හරියට ම දිනය කියනවා නම් ඒ පහු ගිය ජුනි මස 02 වන බදාදා ය. මම මගේ කුළුපග මිතුරෙකු සමඟ කැලණි සරසවියට යාමට බොරැල්ලෙන් බසයක් ගතිමි. බසය ගමනාගමන මණ්ඩලයට අයත් එකකි. එහි ගුවන්විදිලිය City FM සේවයට සුසර කොට තිබීම සිතට සැනසිල්ලක් විය. ඒ වන විට විකාසය වෙමින් පැවතියේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයකි. වැඩසටහන මෙහෙයවූයේ ජයන්ත රෝහණ නම් ප්‍රතිභාසම්පන්න නිවේදකයා ය. ගේය රචකයා ය. වේලාව හරියට ම 10.10 විය. එවර ගීයක් ඉල්ලා දුරබනුව ඔස්සේ අසන්නියක් පැමිණියා ය.

නිවේදක:ආයුබෝවන්! ගීයක් අහන්න කවුද දැන් දුරකතන ඔස්සේ ඇවිත් ඉන්නේ?
අසන්නිය:හලෝ හලෝ මම ...
නිවේදක: අපි හලෝ කියන්නෑනේ. ආයුබෝවන්! එහෙම හොඳයි නේද?
ඒකනේ සිංහල සිරිත ...
අසන්නිය:ආයුබෝවන්! ආයුබෝවන්! එහෙම හොඳා.


මේ කුඩා සංවාදය මා උපුටා දැක්වූයේ ජනමාධ්‍යයට සමාජයකට කළ හැකි බලපෑම පෙන්වාදීමට ය. ජනමාධ්‍යයට සමාජයක් සුමඟට ගැනීමේ ක්‍රියාවලියේ පෙරගමන්කරුවා වීමට ඇති හැකියාව පෙන්වාදීමට ය. එහෙත් අපේ රටේ මාධ්‍ය සමාජය සුගතියෙන් දුගතියට දක්කාගෙන යනු මිස සිය සමාජ වඟකීම ඉටුකරන බවක් නොපෙනේ. කෙසේ වුව ද දැන් දැන් ඇතැම් මාධ්‍ය සිය හරසුන් මාධ්‍ය විගඩමෙන් ඔබ්බට යාමේ සුබ පෙරනිමිති ඇති බැව් කීමට ද මම මැළිනොවෙමි. මෙවන් ලිපියකට මා යොමු කළ ඒ අපූරු විනාඩි කිහිපය ඊට කදිම නිදසුනකි. දැන් අපි මෙකී සුපැතුම් මාදිලි ගැන යමක් විමසා බලමු.

Hello යනු ආචාර කිරීමේ සහ සුබ පැතීමේ වාගාලාපයක් ලෙස ඉංගිරිසියේ යෙදෙන, ජර්මන් බසින් හිලව්වට ගත් වදනෙකි. එහෙත් සිංහලයේ එය හුදු ශබ්දයක් විනා එවන් අරුතක් නොනඟයි.

පැරණි සිංහලයෝ සිය සංස්කෘතියට පරිසරයට උචිත සුපැතුම් විදිහක් නිර්මාණය කර ගත්හ. ඒ ආයුබෝවන් යන පැතුමයි. ඇමතුමයි. කිසිවෙක් මුණගැසුණු විට සුන්දර සිනාවකින් වත සරසාගන්නා සිංහලයාගේ මුවට “ආයුබෝවන්!” යන්න නිතැතින් ම නැඟිණි. එහි අරුත “ආයුෂ බොහෝ වේවා!” “දිගුකල් වැජඹේවා!” යන්න ය. මදක් සිතා බලන්න එය කෙතරම් වටිනා ආශිර්වාදයක් ද? කිසිවෙකු වෙනුවෙන් ඉන් ඔබ්බට අපට කළ හැකි ආශිර්වාදය කුමක් ද? දවසේ කොයි කවර වේලේ වුවත් මේ තනි වදනින් අපට ඕනෑ ම අයෙකු හා සංවාදයට මුලපිරිය හැකි ය. ඕනෑ ම අයෙකුට ආශිර්වාද කළ හැකි ය. දුරකතන සංවාදයකට මුලපිරීම සඳහා ද ආයුබෝවන් යන වදන තරම් උචිත වදනක් මට සිතාගත නොහැකි ය.

මෙවන් සොඳුරු වදනින් පෝෂිත සිංහලය මව් බස කොට උපන් අපි උදේ පටන් අනේක පැතුම් පතමු. සුබ උදෑසනක්! සුබ මධ්‍යහ්නයක්! සුබ සන්ධ්‍යාවක්! සුබ රාත්‍රියක්! ඉන් සමහරකි. සමසීතෝෂ්ණ දේශගුණයක් සහිත රටක වසන අපට මේ පැතුම කිසිවක් අර්ථාන්විත නැත. බටහිර රටවල මෙන් විශාල කාලගුණික විපර්යාස මෙරට නැත. එනම් ක්ෂණික හිම පතන, හිම කුණාටු, අයිස් වැසි අපට ආගන්තුක ය. එහෙයින් අපට හැම උදෑසනක් ම සුබ උදෑසනකි. හැම රාත්‍රියක් ම සුබ රාත්‍රියකි.

එහෙයින් අප තව දුරටත් මේ නිසරු වදන් නොදොඩා අපේ උරුමය වෙත යමු. අපට මුණගැසෙන අයට “ආයුබෝවන්” කියමු. දුරකතන සංවාදය “ආයුබෝවන්” කියා අරඹමු. දිවයින පුවත්පතට ලිපි පෙළක් ලියන මනෝවිද්‍යා උපදේශකවරියක එය හදුන්වා තිබුණේ විශිෂ්ට පෞරුෂයක ලක්ෂණයක් වශයෙනි. එහි ඇත්ත නැත්ත ඔබ මේ සද්සිරිතට අනුගතවීමට උත්සුක වූවොත් වැටහෙනු ඇත. අනෙක් අතට හැම අතින් ම ලෙහෙසිය පහසුව හොයන අද කාලේ දවස පුරා එක ම වදනකින් ආශීර්වාද කළ හැකිවීම සහ සංවාදයට මුල පිරීමට හැකිවීම ම කෙතරම් වටිනවා ද?

එහෙම කළොත් සුද්දොත් අපට සිනාසෙන 1505 පස්සේ අපට බෝ වුණු රෝගී තත්ත්වයක් දූරිභූත වෙනවා. එය ලේනාඩ් වුල්ෆ්ගේ වචනවලින් ම ලියාතබමි. ලේනාඩ් වුල්ෆ් යනු වර්ෂ 1904_1911 දක්වා සුදු ආණ්ඩුව යටතේ සේවය කළ සිවිල් සේවකයෙකි. සිංහල දෙමළ භාෂා උගත්තෙකි. ලංකා සමාජය පිළිබඳ ඇසූපිරූ දැනුමැත්තෙකි. ‘බැද්දෙගම’ හෙවත් ‘village in the jungle’ නමැති සුප්‍රකට නවකතාවේ කතුවරයා ය.

“දැං ලංකාවේ රාජකාරි භාෂාව සිංහලනේ. එංගලන්තෙන් ආපු මං වගේ කෙනෙක් සිංහලෙන් කතා කිරීම රාජ්‍ය භාෂාවට ගෞරවයක්. ... වැදගත්ම කාරණේ ඒක නෙමෙයි. ඉංග්‍රීසි උගත් සිංහලයෝ ලංකාවෙදිත් සිංහල කතා කරන්න කැමති නැති එකයි. මට එංගලන්තෙදි ලංකාවේ උගත්තු මුණගැහෙනවා. යාපනේ ද්‍රවිඩ උදවිය එංගලන්තෙදි මා එක්ක සිංහලෙන් කතා කරනවා. පුදුම තත්ත්වයක් නේද? ලංකාවේ සිංහලයෝ එංගලන්තෙදි මා මුණ ගැහුණාම ඉංග්‍රිසියෙන් තමයි සංවාද කරන්නේ.”
(විජේසිංහ බෙලිගල්ල -1995, ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක්,ගොඩගේ.)

මෙහිදී මා කීමට උත්සහ කළේ සිංහලයා ඉංගිරිසි කතා නොකළ යුතු බව නොවේ. ඉංගිරිසි දෙමළ පමණක් නොව හැකි තරම් භාෂා උගත යුතු ය. කතාකළ යුතු ය. එය අභිමාණයෙකි. එහෙත් අප සිංහලයින් බවත් අපට අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ මහරු සංස්කෘතියක් හර පද්ධතියක් ඇති බවත් අමතක නොකළ යුතු ය. ඒ උරුමය අපේ අනාගතයට දයාද කළ යුත්තේ ද අප මිස අන් කවරෙක් ද?

2008-10-09

හමුදාපතිතුමාගේ රුවන් වැකිය

හමුදාපති සරත් ෆොන්සේකා මහතා කැනඩා නැෂනල් ෆෝස්ට් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී "මේ රට සිංහලයින්ට අයත් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සුළු ජනතාව ද මේ රටේ වෙසෙන අතර ඔවුන්ව ද අපේම පුරවැසියන් ලෙස සලකන බවත්" පවසා ඇත. මේ ප්‍රකාශය මෙරට ඉතිහාසය දත් සහ ජගත් දේශපාලනය ගැන සවිඥානික කෙනෙකුට අමුත්තක් විය නොහැකි ය.

එහෙත් බටහිර තානාපති කාර්යාල පිළිකනු පල්ලේ ළැඟ ඒ ඉඳුලින් දිවි ගැටගහගෙන ඊට හිළව්වට උන්ගේ උවමනා එපාකම් පිරිමහින නිවටයින්ට නම් මේ මහා ද්‍රෝහී ප්‍රකාශයකි. සුළු ජාතීන්ට කළ නින්දාවකි. මේ නිවටයෝ රටේ ජාතික දේශපාලන පක්ෂ තුළට රිංගා ඒවා විජාතික පක්ෂ කරති. විවිධ NGO ගුබ්බෑයන් අටවාගෙන රටට වළ කපති. පළමුව, රට වෙනුවෙන් පෙනී සිටිනවුන්ගේ චරිත සූක්ෂම ලෙස ඝාතනය කරති. ඒ දෙවනුව, ඔවුන් ත්‍රස්තවාදයට පහසු සහ ආන්දෝලනාත්මක නොවන ගොදුරක් කරනු පිණිස ය.

සැබවින් ම හමුදාපතිවරයා කීවේ කුමක් ද? මේ රට සිංහලයින්ට පමණක් අයිති බව ද? සුළු ජාතීන්ට අයිතිවාසිකම් නොමැති බව ද? නැත. කිසිසේත් නැත. ඔහුගේ ප්‍රකාශයේ සරල අරුත මේ රට සිංහලයින්ට අයිති මුත් ඒ අයිතිය සෙසු ජාතීන් සමඟ බෙදාහදා ගැනීමට සිංහලයා සුදානම් බව ය. එහි ඇති අරුමය කිම?

කි.පූ. 4 වන සියවසේ පණ්ඩුකාභය රජ දවස උපන් සිංහලයෝ එදා මෙදාතුර මේ රටේ ප්‍රධාන ජාතිය වෙති. වසර 2500ක් පමණ කාලයක් තිස්සේ මව්බිම විවිධ පරසතුරු ආක්‍රමණවලට මුහුණ දුන් කල සිය රුධිරයෙන් මේ බිම නහවා සිය හුස්ම පොදින් මාතෘ භූමියට පණ නළ පිම්බේ අද මෙහි වසන 75%ක් වන සිංහලයන්ගේ මුතුන්මිත්තෝ ය. මේ මහා සංස්කෘතිය නිර්මාණය කළෝ ඒ මහා සිංහලයෝ ය. 1815 ඉංග්‍රීසි සමඟ අත්සන් කළ ගිවිසුමේ ද මේ රට හදුන්වා ඇත්තේ "සිංහලය" යනුවෙනි. ඒ අදට වසර 200ටත් අඩු කාලයකට ඔබ්බෙනි.

එපණක් ද සිංහල යනුවෙන් ජාතියක් ලොව අන් තැනක ඇත්තේ ද නැත. එනම් සිංහලයින්ට වෙන මව්බිමක් නැත. එහෙයින් ම සිංහලයෝ එදා සිට සිය දිවි දෙවෙනි කොට මව්බිම සුරකිති. ඔහු සිය කුඩා කොදෙව්වේ වෙසෙන සෙසු ජාතීන්ට සහෝදරාත්මක හස්තය දිගුකිරීමට සුදානම් ය. ඔවුන් ආරක්ෂාකර ගැනීමට සුදානම් ය. එසේ වූ කල සිංහලයින්ට මේ රටේ ඇති අයිතිය ප්‍රශ්න කරන්නේ කෙසේ ද? ඊට ඇති අයිතිය කුමක් ද? සිංහලයා බලාපොරොත්තු වන්නේ සිය උරුමය රැකගැනීම පමණි. සිය මුතුන්මිත්තන්ගේ අභිමාණය අපේක්ෂාව සුරැකීම පමණි.

වරක් ඉන්දීය හිටපු ජනපති අබ්දුල් කලාම් මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ වෙසෙන සෙසු ජාතීන් හින්දූවරනට සිය ලොකු අයියාට මෙන් සැලකිය යුතු බව ය. (ජනපති අබ්දුල් කලාම් මහතා මුස්ලිම්වරයෙකි) එහි අරුත ඒ මහා දේශයේ සංස්කෘතිය බිහි කළ හින්දූවරනට රටේ ජ්‍යෙෂ්ඨවය ලබාදිය යුතු බව ය. ගරු කළ යුතු බව ය. ඒ සිය අයියාට මෙන් ළබැඳි බවිනි. ආදරයෙනි. ගෞරවයෙනි.

එය වහල් හිමියා වහලා අතර ඇති සම්බන්ධය නොවේ. ස්වාමි සේවක සම්බන්ධය නොවේ. කොටින්ම එහි අරුත සෙසු ජාතීන් හින්දුවරුන්ට යටත්විය විය යුතු බවක් නොව ඔවුනට හිමි තැන ලබාදිය යුතු බව ය. සෙසු ජාතීන් හින්දුවරුනට සිය අයියණ්ඩියට සේ සලකන කල හින්දුවරු සෙසු ජාතීන්ට සිය මලනුවන්ට සේ සලකනු ඇත. ආදරයෙන් රැකබලා ගනු ඇත. පිරිපතින් මුදවා සුඛිත මුදිත කරනු ඇත. සිය මලනුවන්ගේ දියුණුව තමන්ගේ ම දියුණුව ලෙස සලකනු ඇත. අද අප රටේ සිංහලයා සහ සෙසු ජාතීන් අතර වඟා කළ යුත්තේ මෙවන් සහසම්බන්ධයක් නොවෙ ද?

හමුදාපතිතුමාගේ ප්‍රකාශයෙන් ගම්‍යමාන වන්නේ එවන් සුහද සංහිඳියාවක අවශ්‍යතාවයයි. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නැගෙනහිර මහ ඇමති ධූරයට ද විනයාගමූර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ද පත්කිරීම ඊට කදිම ආරම්භයකි. අයියා මලෝ සබැඳියාව අප රට තුළ යළි ඉපදීමේ පෙර මං ලකුණකි. එම ක්‍රියාදාමය (අපේ විරෝදාර හමුදාව තව නොබෝ දිනකින් ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ කල්හි) ස්ථිර සාමය වෙත යන මාවත වනු ඇත.

මෙරට යුද්ධයට හිඟන්නා‍ගේ තුවාලය කරගත් මානව, සුළු ජාතික, ළමා හා කාන්තා ආදි හුටප්පරයක් අයිතිවාසිකම් ලේබල යටතේ NGO අටවාගෙන ජීවත්වන කුහකියින් ඊට කිසිසේත් කැමති නොවනු ඇත. ඒ නිසා යුද්ධය දිගට ම පවත්වාගෙන යාමට සියලු උපා යොදනු ඇත. මන්ද රටකාසි ලැබෙන්න නම් යුද්ධය තිබිය යුතුම ය. එසේ නැති වූ කල ජීවත්වන්නේ කෙසේ ද? සිය බඩවියතට පහර වදින විට කැමති කවුද? ඒ නිසා හමුදාපතිතුමාගේ ප්‍රකාශය උන්ට වහකදුරු ය. අපට නම් එය රුවන් වැකියකි. ජය ශ්‍රී දීඝායු හමුදාපතිතුමනි!!!

2008-09-22

සිරසයි පාර කියන්නේ !

දැන් දැන් බොහෝ දෙනා සිරස හෙළා දකිති. එය දැන් රැල්ලකි. රටට නොයෙක් ආකාරයේ රැලි හදුන්වා දුන් සිරසට එය ම බූමරංගයක් වීම එක් අතකින් දෛවයේ සරදමකි. මෙකී පිරිස සිරසට බැණ වදින හේතු විවිධාකාර ය. ඇතැමෙක් සිරස එජාපයට (නලින් ද සිල්වා නිවැරදි ව විග්‍රහ කරන පරිදි එවිප_එක්සත් විජාතික පක්ෂයට) බර නිසා ලු. තවත් අය සිරස LTTEට පක්ෂ නිසා ලු. ඇතැමෙක් මහ ගෙදර යන අතර දැන්වීම් වැඩිපුර ප්‍රචාරය කරන නිසා ලු. තවත් අයෙක් තමා හෝ තම ඥාතියා සුපර් ස්ටාර් තරගයෙන් කැපුව නිසා ලු. උපාසකම්මලා රෑ 8ට පැවැත්වූ පන්සලේ පූජාව 7ට පවත්වන නිසා ලු. හාමුදුරුවරු රෑ 8 පූජාවට කිසිවකු නො එන නිසා ලු. තවත් අයෙක් සිරස අයිති ද්‍රවිඩයෙකුට නිසා ලු. ඇතැම් ස්වාමි පුරුෂයෝ රෑ 10 වන තුරු තම නිවසට යාමට නොහැකි නිසා ලු. අරක්කු බාර් කාරයෝ රෑ 10 පසු වන තුරු බාර් එක වසා දැමීමට නොහැකි නිසා ලු. සෙසු නාලිකාවල අය යුරෝ_ඇමරිකා රටවල ජනප්‍රිය වන වැඩ සටහන් තමන්ට කලින් සිරස කොපි කරන නිසා ලු.

මෙම හේතු විග්‍රහයෙන් ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම හා වින්දන මට්ටම ද සිරස විසින් පොදුවේ සමාජයට කරන ලද බලපෑම ද හදුනා ගත හැකි ය. බොහෝ හේතු ඉතා ම බොළඳ සහ අවිචාරවත් බැව් පැහැදිළි ය. ඒවා හේතුඵල දහම අනුව හේතුව හඳුනා නොගෙන ඵලවල එල්ලී කරන විවේචන ය.

මේ අය අතර සිටින එක් පිරිසක් භයානක ය. ඒ ද්‍රවිඩයෙකුට සිරස අයිති නිසා ඊට විරුද්ධ වන අය ය. මේ අමනයන් 1983 මෙන් ජාතිවාදී කෝලාහල වපුරා මර ඇදේ පණ අදින පිරපාහරන්ට නැවත වරක් පණ නළ පිඹීමේ අවදානමක් පවති. ද්‍රවිඩයන් සියලු දෙනා ඊලම්වාදීන් හෝ ත්‍රස්තවාදීන් නොවේ. 51%ක් ද්‍රවිඩයෝ සිංහලයින් සමග උතුරු නැගෙනහිරින් පිට ජීවත්වෙති. ඇතැමෙක් ත්‍රස්තවාදයට සහය දැක්වුව ද ඒ සියලු ද්‍රවිඩයෝ නොවෙති. ඇතැම් සිංහලයන් ත්‍රස්තවාදයට සහය දුන් පමණින් සියලු සිංහලයින් වගකිව යුතු නොවන්නේ යම් සේ ද ද්‍රවිඩයන් ද එසේ ම ය.

සිරස විවේචකයන් දක්වන ඇතැම් හේතුවල යම් යම් සත්‍යයන් තිබුණ ද ‘සිරසෙ දේශපාලනය’ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය එකකි. කොළඹ සරසවියේ තරුණ කථිකාචාර්වරයෙකු වන ධම්ම දිසානායක වරක් පැවසුවේ සිරස එජාපයට නොව සංධානයට පක්ෂ වුව ද ඊට විරුද්ධ විය යුතු බවත් ඔවුන්ගේ දේශපාලනය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය අරමුණු සහිත එකක් වන බවත් ය. ඔවුන්ගේ දේශපාලන අරමුණු මොනවා දැයි අද මළ පොතේ අකුරු නොදත් ගැමියෝ පවා දනිති. බුත්තල ත්‍රස්ත ප්‍රහාරයක් ලහිලහියේ වාර්තාකරණයට ගිය සිරස පිරිසට ඒ පෙදෙස් වැස්සෝ “තොපි ආව ද සිංහලයින්ගේ ලේ බලන්න” යයි බැණ අඩගසා එලවාගත් හ. නූගත් ගම් වැසියෝ පවා අද සිරසට ‘කොටි සිරස’ යයි කියති. සිරසට එරෙහිවීම නිසා ම ඇතැමුන්ට මර්වින් සිල්වා ඇමතිවරයා විරුවෙකි.

අවර ගණයේ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතය මෙරටට බෝකළේ සිරස ය. උදේ පාන්දර සිට චිත්‍රපට කාටුන් ආදි විප්‍රකාරවලින් ගේ හැඩි කළේ සිරස ය. කොටින් ම ගෙදරින් ශ්‍රීදේවිය එළවා මූදේවිය වඩම්මාගෙන ආවේ සිරස ය. ශ්‍රීදේවිය හා මූදේවිය නාදුනන ඈයෝ මූදේවිය සාදුකාර දී පිළිගෙන මැද සාලේ වඩා හිඳවූ හ. සිරස නිර්මාණශීලි නාලිකාව යයි බෞතීස්ම කළ හ. ලොව කොතැන හෝ පහත් රුචිය මැද ජනප්‍රිවූ දෙයක් අප රටට ගෙන ඒම දීන අනුකරණය මිස නිර්මාණශීලීත්වය නොවේ යයි අප තේරුම්ගන්නේ කවදා ද? ඒ පසුපස හැල්මේ දුවන සෙසු නාලිකා ගැන කවර කතා ද?

අද රටේ තරුණ පරම්පරාවේ එක ම පැතුම සුපිරි තරුවක් වීම ය. නාලිකාවල එකම අරමුණ තරු බෝ කිරීම ය. එහෙත් මේ වල්ග තරු වහා මහා දීප්තියක් දක්වා එසැණින් බැස යයි. කලාවට රටට ඉන් වන සෙතක් නැත. කැලේ මල් නගරයට ගෙ ආමියි පාරම්බාන මේ උන්දැලා එමගින් කළේ යයි කියන හොඳට වඩා නොහොඳ සිව්සිය ගුණයකින් වැඩි බව මගේ අදහස ය.

සිරසින් ඇරඹුණු ලිපිය දැන් නැවතත් සිරස වෙත යොමමි. රටේ පවතින ත්‍රස්තවාදය පිළිබඳ සිරසේ වාර්තාකරණය ඊනියා මැදිහත්වීමකට මුවා වූ රංගනයකි. ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර කවර මධ්‍යස්ත බවක් ද? අනෙක් අතට ලොව මැදහත් මාධ්‍ය යනු හුදු විහිළුවක් පමණි. සියලු මාධ්‍ය සිය ස්වාමිවරුනට සේවය කරති. ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටිති. ඒ සඳහා හොඳම නිදසුනකි, බීබීසීය.

ඒ අර්ථයෙන් ගත් කල සිරස එහි හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටිති. එහි කුලී සේවකයෝ හාම්පුතුන්ගේ අරමුණු සාක්ෂාත් කරන්නට සිය ශ්‍රමය වගුරුවති. මේ කුලී සේවකයන් අධ්‍යක්ෂ නිෂ්පාදක නිවේදක කැමරාකරු ආදි ලෙස වර්ග කොට ඇත. ඒ හැම පොදුවේ ජනමාධ්‍යවේදීන් යන නම් ලබයි. ඔවුන් සිය හාම්පුතුන්ගේ මනදොළ සපුරන තරමට උසස්වීම් වැඩි පඩි ලැබේ. ඒ නිසා දකුණේ බෝමබයක් පිපිරුණු වහා ජනතාව කුපිත කිරීම සඳහා උන් වැඩ කරති. පැරණි සිද්ධිවල රූප රාමු සජීවි ලේබලය යටතේ විසුරුවති. කෙසේ හෝ සිංහල ජනතාව කුපිත කොට දකුණේ අහිංසක දෙමළ ජනතාව බිල්ලට දී පිරපාහරන් රැකගැනීමට වෙහෙසෙති. එසේ කරන්නේ සිය ස්වාමීන්ගේ අරමුණ එය බැවිණි.

එහෙයින් මර්වින් සිල්වා ඇමතිතුමා සිරස සේවකයන්ට පහර දී පලක් නැත. ඒ අය සිය රැකියාව කරනවා පමණි. කළ යුත්තේ සිරස හාම්පුතුන්ගේ බෙදුම්වාදී අරමුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ය. ජනතාවගේ රස වින්දන මට්ටම ඉහළ නැංවීම ය. එවිට රටේ සිරස නොබලන පිරිස බලන පිරිස ඉක්මවා යනු ඇත. සිරසේ වැඩ කරන ඒ සේවකයන් ද මේ රස්සාවට වඩා පිටකොටුවේ හිඟාකෑම නම්බුකාරයයි අවබෝධ කරගනු ඇත.

එමෙන්ම සිරස නමැති වාහනය කෙතරම් ලොකු රජෙකුගේ වුව ද එය පදවන්නේ ජන මනස නමැති මාර්ගයේ ය. ඒ මාර්ගයේ රිය පැදවීම පිළිබඳ නීති මාලාවක් තිබිය යුතු ය. ඒ ජනයාගේ ආරක්ෂාව පිණිස ය. ඒ වඟකීම ඇත්තේ රජයට ය.

අවාසනාවක මහත! අපේ රජතුමා හැම පෝයට ම සිරස අරලිය ගහ මැදුරට වඩම්මා බණ අසයි. හිටපු ජනපතියගේ පාලන සමයේ අගමැති වූ තමාට රජයේ මාධ්‍යයේ ඉඩක් නොදුන් බව ද මේ දෙපළ අතර සීතල යුද්ධයක් පැවති බව ද පෙන්වා දීමේ කාර්යයට කෘතගුණ දැක්වීමට රජතුමා තවමත් සිරස ඉදිරියේ දණ ගසා බණ අසයි.

ඉතින් එහෙයින් තවමත් (ජනතාවට) ‘සිරසයි පාර කියන්නේ’. මේ පාරේ කෙළවර කුමක්දැයි පාලකයින් අවබෝධ කරගත යුතු ය. නැතහොත් අද දවසේ විරෝදාර රණවිරුවන් සහ ජනතාව කරන කැපකිරීම් ගඟට කැපූ ඉනි වනු ඇත.

2008-09-11

පලාත් සභා පරාජය

සබරගමුව සහ උතුරුමැද පලාත් සභා ඡන්ද සන්ධානයේ විශිෂ්ට ජයග්‍රහණයෙන් කෙළවර විය. සාමාන්‍යයෙන් මෙරට මහ මැතිවරණයක් පවත්වා කලකින් පවත්වන මැතිවරණයක දි පවතින රජයට ඇති කැමැත්ත අඩුවීම ස්වභාවයයි. ඒ පාලකයන් සුපුරුදු පරිදි ජනතාව ගොනාට ඇන්දවීම සහ තමන් මෙවරත් රැවටුණු බව ජනතාවට නොබෝ කලකින් ක්‍රමයෙන් පසක් වන බැවිනි. එහෙත් මෙවර ? දෙපලාතේ සියලු දිස්ත්‍රික් සංධානය ජයගත්තේ ය. 2004 සිය ගමන් සගයා වූ ජවිපෙ මෙවර සංධානය සමඟ සිටියේ ද නැත.

එහෙන් එකල (2004) මෙන් පාලනය නැවුම් ද නොවී ය. මෙහෙන් බඩු මිල ජීවන බර අහස උසට ගොස් ය. එහෙන් නැවත යුද්ධය ඇවිළ ගොස් ය. මෙහෙන් ලොව ලොකු ම ඇමති මණ්ඩලය ය. එහෙන් ඒවාට අතිවිශාල සාපරාධි වියදම් ය. මෙහෙන් වංචා දූෂණ ඉහවහා ගොස් ය. එහෙන් NGO ඔස්තාර්ලාගේ ජනමාධ්‍ය නිදහස සහ සිවිල් අයිතිවාසිකම් අ‍ඬෝවැඩියාව ය. මෙහෙන් වර්ජන තර්ජන ය. මෙසේ බලන කල විපක්ෂය මැතිවරණයට ගියේ සියලු ආයුධවලින් සන්නද්ධව ය. එහෙත් අසූවක් ව්‍යාධිවලින් ගහන ආණ්ඩුව මැතිවරණය ජය ලැබුවේ ය.

අනෙක් අතට එය දූෂිත මැතිවරණයක් ද නොවේ. එජාපය සිය දැවැන්ත පරාජය වසා ගැනීමට මැතිවරණය දූෂිත යයි පසුව කීව ද මැතිවරණ දින සවස පැවසුවේ එය සාධාරණ මැතිවරණයක් බව ය. එහෙයින් එය සංධානයේ ජයග්‍රහණයක් බව අකමැත්තෙන් වුව පිළිගත යුතුව ඇත.

මෙහිදි මතුවන ගැටළුව ජනතාව නව අනූවක් ව්‍යාධියෙන් ආතුර ආණ්ඩුව ගෙදර යැවීමේ මුල් වෙඩිමුරය නොතිබ්බේ ඇයි? 1993 දකුණු පලාතේ සිදුවූ දෙය මෙවර නොවූයේ ඇයි? කොටින් ම ජනතා කැමැත්ත ලැබුණේ මේ ආණ්ඩුවේ කුමන යහගුණයට ද? ඉතිරිව ඇති එකම පිළිතුර ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයටය යන්න ය. ඒ යුද්ධය අතීතයට සාපේක්ෂව වඩා අවංකභාවයකින් කරතැයි ජනතාව විශ්වාස කරති. ත්‍රස්තවාදය කෙළවර වූ කල සැමට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් බිහිවෙතැයි ඔවුහු උදක් ම කල්පනා කරති.

මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව කණ්ඩායම් 3ක් පැරදිණි. එජාපය සුපුරුදු පරිදි පරාජය විය. දැන් එහි අපූරු බවක් හෝ නුපුරුදු බවක් කිසිවෙකුට නැත. ජනතාව පැවරූ ඓතිහාසික කාර්යභාරය අමතක කළ ජවිපෙ නැවත 1980 දශකයට විසි විය. මේ සැමට වඩා දැවැන්ත පරාජයක් ලැබුවේ පලාත් සභා ය.

1977 ඒකාධිපති ව්‍යස්ථාවක් අටවාගත් ජේ. ආර්. ජනපතිතුමාගේ කනෙන් අල්ලා ඉන්දියාව බලෙන් අත්සන් කරවාගත් ඉන්දු ලංකා ගිවිසුම (1987) අනුව මෙරට පලාත් සභා ක්‍රමය ඇරඹිනි. ඒ 13 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ ය. එහි ඒකකය වූයේ පලාත ය. (පලාත් ලෙස රට බෙදන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි.) නව ක්‍රමය යටතේ මධ්‍යම ආණ්ඩුව යටතේ පැවති ඇතැම් බලතල පලාත් සභාවලට පැවරිණි. පලාතේ සංවර්ධනය බලපාන තීන්දු ගැනීමේ බලය එම පලාත් වාසීන්ට පැවරීම එක් අරමුණකි. ඒ මෙරට ඇතැයි පැවසු ඊනියා වාර්ගික අර්බූදයට පිළියම් වශයෙනි. විශේෂයෙන් ම එහි අරමුණ වූයේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට බලතල ලබාදීම ය. අද අප විමසිය යුත්තේ විසි වියැති පලාත් සභා ක්‍රමයෙන් අදාළ අරමුණු ඉටුවීද යන්න ය.

ආරම්භයේ සිට ම උතුරු නැගෙනහිර පලාත් සභා ක්‍රියාත්මක නොවිණි. ඒ අනුව පලාත් සභා ඇති කළ මුඛ්‍යය අරමුණ ඉටුවූයේ නැත. එක් අතකින් ද්‍රවිඩයෝ 50%කට වඩා උතුරු නැ‍ඟෙනහිරින් පිට ජීවත්වෙන අතර උතුරු නැ‍ඟෙනහිරට පලාත් සභා විසදුම අතීසාරයට අමුඩය ගැසීමකි. එහෙත් මෙහි ඇති උත්ප්‍රාසය අමුඩය ගැසුව ද අතීසාරයක් නැතිවීම ය. (එනම් වාර්ගික අර්බූදයක් මෙරට නැති වීම ය. වාර්ගික අර්බූදයක් ඇත්නම් 50%ක් ද්‍රවිඩයන් සෙසු පෙදෙස්වල සිංහලයන් සමඟ ජීවත්වන්නේ කෙසේ ද?)

මෙරට එක්සේසත් රාජ්‍යය බිහිකළේ පඬු අබා හෙවත් පණ්ඩුකාභය රජු ය. එහිදී රට වැසියා විධිමත් ලෙස පාලනයට හවුල් කරගත්තේ ය. එය ග්‍රාම රාජ්‍ය ක්‍රමය යි. එම එක්සේසත් රාජ්‍යය හැමතින් ම සමාන වන්නේ නූතන ඒකීය රාජ්‍යයට මිස ෆෙඩරල් රාජ්‍යයට නොවේ. අපට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෝ ය. එහි පහසුව පිණිස උපකාරක සේවා සැපයීම පිණිස ගම් සභා සුළු නගර සභා හා නගර සභ‍ා ඇති කළේ ය. අප කළ යුතුව තිබුණේ සාම්ප්‍රදායික ග්‍රාම රාජ්‍යය හා බොහෝ දුරට සැස‍ඳෙන නව ක්‍රමය විධිමත් කර පවත්වාගෙන යාම ය.
අවාසනාවට නොකළේ ද එයම ය.

1987 අප මත බලෙන් පැටවූ පලාත් සභා ඉන්දීය සන්ධිය මොඩලයේ අංගයකි. එය මෙරට පවතින ක්‍රමයට අනුගත වූයේ නැත. මෙරට මහ පොළව ඊට සරු පසක් වූයේ නැත. ඒ මෙරටට අවැසි පාලන ව්‍යුහය ඉතිහාසය භූ විෂමතාව සංස්කෘතිය විසින් තීන්දු කර අවසන් හෙයිනි.

බ්‍රිතාන්‍යය ඒකීය රාජ්‍යයකි. එය එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය එක් කොට ගොඩනැඟුවකි. ලංකාව මෙන් 6 ගුණයක් විශාල බ්‍රිතාන්‍යයට ඒකීය රාජ්‍ය ක්‍රමය හොඳ කල අපට නරක ඇයි? ලංකාව මෙන් 64 ගුණයක් විශාල ඉන්දිය මොඩලය අපට නොගැළපෙන බව අප අවබෝධ නොකර ගන්නේ ඇයි?

පාලකයෝ සහ ජනතාව ගන්නා තීරණ රටේ භෞතිකත්වය නම් අදිසි හස්තය විසින් පාලනය කෙරේ. එම භෞතිකත්වයේ ආධිපත්‍යයට ඇතමුන් සවිඥානිකව විරුද්ධ වුව ද අවිඥානිකව ඊට අනුතග වීමට සිදුවේ. කදිම නිදසුන මේ මැතිවරණයේ දී එජාපය සහ සංධානය හැසිරුණු ආකාරයයි. එජාපය මෙවර සිය මහ ඇමති අපේක්ෂකයින් පලාතට ආනයනය කළේ ය. පලාතේ ජනතාවට බලය දීමට බිහිකළ පලාත් සභාවට මහ ඇමති අපේක්ෂකයින් කොළඹින් හෝ ඕස්ටේලියාවෙන් හෝ පෘතුගාලයෙන් ආයාත කිරීම කෙතරම් උත්ප්‍රාසජනක ද?
සන්ධානය උතුරේ යුද්ධය සිය සුපිරි සටන් පාඨය කරගත්තේ ය. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා බිහි කරගත් පලාත් සභා ඡන්දයකට උතුරේ යුද්ධය සටන් පාඨයක් වීම විහිළුවක් නොවෙ ද? ඒ සටන් පාඨය පෙර නුවුවිරූ ජයක් ලැබීම අප අවබෝධ කරගන්නේ කෙසේ ද? එහෙත් එකී පක්ෂ දෙක ම පලාත් සභාවලට සවිඥානිකව පක්ෂ ය. ඔවුන්ගේ ක්‍රියාකලාපය විසින් ඔවුන් ඊට අවිඥානිකව විරුද්ධ බව සනාථ කර ඇත. එනම් මහ පොළවේ යථාර්ථයට ඔවුන්ට අනුගත වීමට සිදුව තිබේ.

මේ සියලු කරුණු කාරණා අපට පැහැදිළි කරන එක ම සත්‍යය පලාත් සභා ප්‍රාන්ත හෝ රට සභා කවර නමකින් හෝ බලය බෙදා හැරීම මෙරටට නොගැළපෙන බව ය. මෙරටට එක්සේසත් හෝ ඒකීය රාජ්‍යය ක්‍රමය තවදුරටත් වලංගු බව ය. සන්ධීය හෝ සහසන්ධීය ක්‍රම මෙරට පසට ඔරොත්තු නොදෙන බව ය. ජනතාව ඊට ප්‍රතිචාර නොදක්වන බව ය. එසේ හෙයින් පැවති පලාත් සභා මැතිවරණයෙන් දරුණුම පරාජය ලැබුවේ පලාත් සභා ය. සියලු ආකාරයේ බෙදුම්වාදීන් ය.

මේ රටේ ඇති ප්‍රශ්න ඇත. ඒ භාෂාව ආදි ප්‍රශ්න ය. ඊට විසඳුම බලය බෙදීම නොව පරිපාලනය විමධ්‍යගත කිරීම ය. එහිදි ඒ ඒ ප්‍රදේශවල ජනතාවට සිය බසින් කටයුතු කිරීමට අවස්ථාව සලසා දිය යුතු ය. උතුරු නැ‍ඟෙනහිර නිලධාරීන්ට දෙමළ භාෂා භාවිතයේ හැකියාව තිබිය යුතු ය. ඒ ප්‍රදේශවල සිංහලයන්ට සිංහලෙන් වැඩ කිරීමේ හැකියාව තිබීම වැදගත් ය. එපමණක් නොව දෙමළ සුළුතරයක් වන රටේ අනෙක් ප්‍රදේශවල ද සෑම රාජ්‍ය ආයතනයක ම දෙමළෙන් වැඩ කළ හැකි නිලධාරින් සිටීම වැදගත් ය.

ඒවාට අමතරව ඇති සම්පත් බෙදී නොයාම පිළිබඳ ගැටළුව කොළඹින් පරිධියේ සිටින සැමට පොදු ය. තිස්සමහාරාමේ රංකිරා මාමාට ද කිලිනොච්චියේ ධර්මරත්නම් මාමාට ද ඒ ප්‍රශ්න එක සේ බලපායි. ඒ අගනුවර කේන්ද්‍රීය සංවර්ධනයේ අතුරුඵල ය. ඊට විසදුම් ලබාදීම ද වැදගත් ය. (පලාත් සභා තිබුණ ද ඊට විසඳුමක් නොලැබෙන එහි පැවැත්මෙන් ම ඔප්පු වී හමාර ය.) එහෙත් බෙදුම්වාදියා හැම විට ම සසඳන්නේ කොළඹ සහ යාපනයයි. කොළඹ සහ කිලිනොච්චියයි. එවිට ද්‍රවිඩයන්ට අසාධාරණයක් වී ඇත. ඒ ඔලුවෙන් සිට බැලූ විට ලෝකය පෙනෙන හැටි ය.

මෙහිදී කීමට අවැසි මූලික කරුණ මෙරටට වැළඳී ඇත්තේ හිසේ ඇම්මකි. පලාත් සභා නැමැති අතීසාර අමුඩය ඊට විසඳුමක් නොවේ. එහෙත් සිය හතර වරිගයට රැකියා සැපයීම සඳහා ද තම පවුලේ අනුප්‍රාප්තිකයා අනුක්‍රමයෙන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට සඳහා ද මැති ඇමතිවරුනට මේ සුදු අලියා සුරබිදෙනක් බවට පත්ව ඇතැයි යමෙක් පැවසුහොත් මම ඔහු හා එකඟ වෙමි.




2008-09-02

සිංහලයා මෝඩයා ...?

සිංහල රාජ්‍යයේ (දැන් ලාංකික) පැවැත්මට කණකොකා හැඬූයේ 15 වන සියවසේ පෘතුගීසි කඩාවැදීමත් සමඟ ය. එතැන් සිට ගෙවී සියවස් 4 ½ක පමණ කාල පරාසය තුළ මෙරට සාම්ප්‍රදායික සමාජ දේශපාලන පඳනම බිඳ දැමීමට ආක්‍රමණිකයා සමත් විය. ආචාර ධර්ම උඩුයටිකුරු කෙරිණි. සාරය අසාරය ලෙස නිර්වචනය කෙරිණි. අසාරය සාරය ලෙස භෞතීස්ම කොට කිරුළු පළඳන ලදි. වසර දහස් ගණනක් ඈතට දිවෙන පෞඪ ඉතිහාසය නොදන්නා, සිය අතීතය වර්තමාන දීනත්වයට අනුව අවප්‍රමාණ කොට ඊට සිනාසෙන හීනමානයෙන් පීඩිත සිංහල රොඩ්ඩක් නිර්මාණය කිරීමට තරම් ආක්‍රමණිකයා සූක්ෂම විය.

ඒ අනුව අද අප ආර්ථික දියුණුව අනුව පහළ මට්ටමක සිටින හෙයින් අතීතය ද එසේ විය. අද විදේශාධාරයෙන් දිවි ගැට ගහගන්නා සිංහලයා සිතන්නේ පෙර කල සිය මුතුන් මිත්තන් ද ලොව පුරා හිඟමනේ ගොස් දිවි සරි කරගත් බව ය. අඩු තරමේ එකල යාන්තම් දිවි සරි කරගත්තා මිස කිසිදු සශ්ශ්‍රීකත්වයක් නම් නොතිබිණි. එදවස රාවනා නමින් අප මුත්තෙක් මෙරට රජ කළ බවත් ඔහුට දඬුමොනරය නම් ප්‍රාථමික ගුවන් යානයක් තිබූ බවත් පැවසීම අද සිංහලයාට විහිළුවකි. සිය අතීත ශ්‍රී විභූතිය දැන ඔකඳ වන්නා ඒ අයට මෝඩයෙකි. අඩු තරමේ එම ‍ෙඑතිහාසික පුවත එන්නේ ඉන්දිය කාව්‍යයක් වන රාමායනයේ වීමවත් මේ අයගේ මනස අවදි නොකරන්නේ ඇයි?



හේතුව සක්සුදක් සේ පැහැදිළි ය. ඉතා සූක්ෂම ලෙස මෙරට සාම්ප්‍රදායික හර පද්ධති අකාමකා දැමූ ආක්‍රමණිකයා, සිංහලයා සිය ජාතියේ මුල්වලින් ගලවා පර සක්වළ ගැසී ය. ආතක් පාතක් නැති සිංහල රොඩ්ඩට සිය රට දෙයට ගරහන්නත් පර දේ අගයන්නත් හුරු කෙරිණි. ඒ නිසා ඔහු අද යම් බඩුවක් මිලට ගන්න වෙළඳ සැලට ගොස් “මේක ලෝකල්නේ ” කියන්නේ දේශීය බඩුවක් යන අරුතට වඩා බාල බඩුවක් යන අරුතිනි. නැතිනම් දේශීය වීම ම බඩුව බාලවීමට හේතුවකි යන මුස්පේත්තු ආස්ථානයේ ලැඟගෙන ය. ඒ නිසා අද අපි තැඹිලි වල්ලට පා තබා ගෙන කොකාකෝලා බොමු. ගමේ වැල වරකා කුණු වී යද්දි කොළඹින් ඇපල් ගෙන ගමේ යන්නෙමු.

මේ තත්ත්වයට අප පත් කළේ ක්‍රමානුකූලව ය. ඒ සඳහා අපේ සිරිත් විරිත් හුරුපුරුදු ඇබ්බැහිකම් මැනවින් ප්‍රයෝජනයට ගැනිණී. අපේ කතන්දර සම්ප්‍රදාය භාෂාලංකාර පවා ඒ සඳහා කලමනාකරණය කළේ කෙතරම් සූක්ෂ්මව ද? ඔවුන් අප සරදමට ලක් කළේ “සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා” යනුවෙනි. විවිධ කැවිලි වර්ග අතර සිංහලයාට කැවුම් විශේෂ විය. වචනාර්ථය අනුව කන සියල්ල කැවුම් වුව ද සිංහලයාට කැවුම් වූයේ තමන්ට ම අවේනික එක්තරා රස කැවිලි වෙසෙසකි. කොණ්ඩ කැවුම් මුං කැවුම් නාරං කැවුම් පැණි කැවුම් ඉන් සමහරකි. මේ කැවුම් සෑදීමට විශේෂ හැකියාවක් අපේ අම්මලාට තිබිණි. විශේෂයෙන් හුරුබුහුටි ලෙස කොණ්ඩ කැවුමේ හිස හෙවත් කොණ්ඩය මතු කිරීමට මනා සංයමයක් සහ හුරුවක් ඇවැසි ය. ඊට හොබින ලෙස පිටි ඒදා ගැනීම ද ලොකු වැඩකි. මිත්තනියගෙන් මවට මවගෙන් දුවට ලෙස ගලා ආ ඒ දැනුම අද කොතැන ද?

සිංහල ගෙදරක සිංහල අලුත් අවුරුද්ද ඇතුලු සෑම ප්‍රීති උත්සවයක ම මුලට සිටි කැවුම් අද කොහි ද? තිබේ නම් ඒ නොමැති වීමේ අඩුව පිරවීමට පමණි. කැවුම් මෝඩයින්ගේ කෑමකි. ඇතැම් විට කැවුම් කෑම මෝඩවීමට හේතුවක් ද විය හැකි ය. එහෙයින් කැවුම් තව නොබෝ දිනකින් අප අතැර ගොස් කටුගේ නවතිනු ඇත. අපට උරුම වූ ඒ දැනුම අප විසින් ම බාල්දු කර ඉවත දමා අවසන් ය. මන්ද අද තරුණ දියණිවරු කුකරි ක්ලාස් යවන අම්මලා කේක් පුඩිං හැදීමට මිස කැවුම් තනන්ට කියා දේද? දැන් අපට හාල් පිටියෙන් කළ කැවුම් නැතුවාට පාන් පිටියෙන් කළ කේක් ඇත. මඟුලට වෙඩිං කේක් ය. උපන් දින සැමරුමට උපන් දින කේක් ය. නෑගමනට කේක් ය. තේ සාදයට කේක් ය.

අපේ බොහෝ දැනුම් පද්ධති, සමාජ සබඳතා මේ ආකාරයට ම ඉතා සූක්ෂම ලෙස අප ලවා ම සරදමට උපහාසයට ලක් කොට අපෙන් ඈත් කොට තිබේ. අහස සිඹින මහ වෙහෙර සයුර පරයන මහ වැව් කළ අප මුතුන් මිත්තන් සිය සුබ කටයුතු ඇරඹුවේ කිරි බත් වැළඳීමෙණි. එහෙත් කිරි බත් කෑවොත් දැන් සිංහලයාට නින්ද යාලු. මේ දැනුම බිහි කළේ කවුද? කුමන අරමුණකින් ද? එළවලු තෙල් ප්‍රචලිත කරනට පොල් තෙලට එරෙහිව ගෙන ගිය සාවද්‍ය ප්‍රචාරයට වඩා වෙනසක් මෙහි ඇද්ද?

මෙරට සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහය තුළ ප්‍රාදේශීය ප්‍රභූවරුන් සහ ජනතාව අතර පැවති සබඳතාව සහ ප්‍රභූනට සාමාන්‍ය ජනයා අතර පැවති ගෞරවය විනාශ කොට පාලනය වියවුල් කරනට ‘මහ දැනමුත්තා සහ ගෝළයෝ’ කතාව බිහිවිණි ද? එමගින් ජන ප්‍රධානීන් වෙතින් පැවති ජන ප්‍රසාදය සිය පාලනයට ලබා ගැනීමට ආක්‍රමණිකයා උත්සහ කළේ ද? ආක්‍රමණිකයා සිය රටේ පාලන දේහය සිදුරු කරනු වණ කරනු දුටු නැණැති සිංහලයෙක් ආවේගයෙන් ඔවුනට පරංගියා යයි කීවේ ද?

ඉතා සංකීර්ණ ලෙස මෙරට සමාජ දේහයට බද්ධව ඊට වින කටින එහෙත් අප නොතකා හළ යුතු යයි හැ‍ඟෙන එහෙයින් ම සියුම් ව විමසිය යුතු මෙවන් කරුණු තව බොහෝ ඇත.

2008-07-24

සුදු සෙවනැලි

සිංහලයාට විදේශ ආක්‍රමණ අරුමයක් නොවේ. අනුරාධපුර සමයේ සේන ගුත්තිකගේ පටන් නේක පරසතුරන්ට ඔහු මුහුණ දුන්නේ ය. ඒ සෑම විට ම සිය රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හේ සමත් විය. එහෙත් 1505 ඇරඹි පෘතුගීසි ආක්‍රමණය අවසන 1815 දිවයින බ්‍රිතාන්‍යය යටත්විජිතයක් බවට පත්විය. මේ යටත්විජිතවාදය හුදු ආර්ථික සූරාකෑම පිණිසයයි කියන්නෝ දැන හෝ නොදැන අප නොමග යවති. ආක්‍රමණය නියම බරින් අවබෝධ කර ගැනීමට මං අහුරති.



එදවස ඉන්දිය යටත්විජිතභාර ලේකම් මැකෝලි සාමි 1835 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයක් මෙසේ ය.
"මම ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සැරිසරා ඇත්තෙමි. එක ද සිඟන්නකු හෝ එක ද සොරෙකු හෝ මා එහි දැක නැත. බොහෝ සම්පත් සදාචාරාත්මක වටිනාකම් හා උසස් ගණයේ මිනිසුන් මම ඒ රටේ දැක ඇත්තෙමි. ඒ රටේ අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමය නම් වූ කොඳු නාරටිය නොබිඳ අපට කිසිදාක ඒ රට යටත් කර ගත හැකියයි නොසිතමි. එහෙයින් එරට පැරැණි චිරාගත අධ්‍යාපන ක්‍රමය එහි සංස්කෘතිය වෙනස් කළ යුතුයයි මම යෝජනා කරමි. මන්ද ඉන්දියානුවෝ විදේශීය වූත් ඉංග්‍රීසි වූත් සියල්ල තමන්ගේ දේවලට වඩා මැනැවැයි උසස් යයි සිතත් නම් ඔවුන්ගේ ආත්මාභිමානයත් ඔවුන්ගේ දේශීය සංස්කෘතියත් ඔවුනට අහිමි වී යනු ඇති. එවිට ඔවුහු අපට අවැසි පරිදි සැබැවින් ම පරාධීන වූ ජාතියක් බවට පත්වන්නෝ ය. " (ජාතික ස්වභාෂා කොමිසම අතුරු වාර්තාව)

මෙහි පැවසෙන ඓතිහාසික උරුමය ඉන්දියාවට මෙන් ම අපට ද නොඅඩුව තිබිණි. (විශේෂයෙන් ම ඔවුන් ලංකාව සැලකුවේ ද ඉන්දියාවේ කොටසක් ලෙස බව අවබෝධ කර ගත යුතු ය.) එමෙන් ම මේ උපක්‍රම ඉන්දියාවට වඩා හොඳින් ඊට සැතැපුම් 22ක් දකුණින් පිහිටි මෙරට ක්‍රියාත්මක කිරීමට ආක්‍රමණිකයා සමත් විය. චිරාගත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට මිෂනාරි පාඨශාලා ද එමගින් සම්ප්‍රදායික සද්සිරිත් වෙනුවට පරසිරිත් ද අපේ මනසට පොම්ප කරන ලදි. එනම් සංස්කෘතිය උඩුයටිකුරු කළේ ය. එහි ප්‍රතිඵලය ලෙස අප ජාතිය දීන නිවට තත්ත්වයට ඇද වැටිණි.

ඔවුන් අපේක්ෂා කළ පරිදිම අද අපේ දේට වඩා පිට දේ අපි අගයමු. ඒ නිසා අපේ ආත්මාභිමාණය ද සංස්කෘතික උරුමය ද අද අපට අහිමි ය. ආක්‍රමණිකයා රටේ අධ්‍යාත්මික සංස්කෘතික උරුය නම් කොඳු නාරටිය බිඳ දැමීමේ ප්‍රතිඵලය ලෙස අපේ සතුරන් අප අතරින් ම බිහි විය. මේ විපරිතය පිළිබඳ එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ ලීවේ ය.

"ප්‍රතිචීනීකරණයට හසු වූවෝ බටහිරට ගැති වෙති. බටහිර ආක්‍රමණිකයන්ට හවුල් වෙති. තමාගේ නෑසියන් හට හතුරු වෙති. ඔවුන් අතර විදේශිකයෝ වෙති. මේ සියල්ල සිදු වන්නේ ප්‍රතිචීනීකරණය හේතුකොට ගෙන ඇතිවන මානසික විපර්යාසය නිසා ය. " (මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන-1981)

මේ කුමන්ත්‍රණය මෙරට කෙතරම් හොඳින් ක්‍රියාවට නැගුවා ද යත්
වසර 2000ක් සිංහලයාගේ ගෞරවාදරයට බුහුමනට ලක්වූ ජය ශ්‍රී මහ බෝධිය කපා දමන මිනිසා අප අතරින් බිහි කෙරිණි. ආක්‍රමණිකයාගේ යසෝරාවය වණන 'කුන්ස්තන්තීනු හටන' ලියූ කවියා අප අතරින් බිහි කෙරිණි. මහාවංසයේ තෙවන කොටස බටහිර ගැතිව ලියන්ට යගිරල පඤ්ඤානන්ද හිමි අපේ පන්සලෙන් ම බිහි කළේ ය.

1948 ආක්‍රමණිකයා රට අතැර ගිය ද උන්ගේ ගැත්තෝ අද ද අප අතර ය. මේ හඬ දූතයෝ සිය ස්වාමීන් වෙනුවෙන් අද ද ගැතිකම් කරති. රටට ද්‍රෝහිකම් කරති. ඒ සඳහා කලාව බෙහෙවින් ගණිකා වෘත්තියේ යොදවති. ඒ පිළිබඳ ගුණදාස අමරසේකර මෑතදී මෙසේ ලීවේ ය.

'පසුගිය කාලයේ නිර්මාණය කරන ලද ඊනියා ප්‍රබුද්ධ චිත්‍රපටවලට මේ කාලකන්නි යුද්ධයට අමතරව අන් කිසිවක් විෂය වීද? අමතර වශයෙන් විෂය වූයේ සිය අඹුවගේ හෙලුව පෙන්නා විපරිත ආදායම් ලබන කාමාතුරයන්ගේ මනස ප්‍රදර්ශනය කිරීම වැන්නකි. මේවා අගය කරන ලද්දේ ද මේ රටේ මිනිසුන් විසින් නොව ඩොලර්වලින් යැපෙන ඇන්ජීඕ අමනයන් විසිනුයි. මේවා නිපදවීමට මුදල් දෙන ලද්දේ උන්ගේ හාම්පුතුන් විසිනුයි.මේවා විසින් පෙන්නුම් කරනු ලබන්නේ නව යටත්විජිතවාදී සංස්කෘතික ආක්‍රමණයේ කුරිරු භීසනයයි.' (ඉරිදා දිවයින-2008.07.06)

එහෙයින් අප සවිඥාන විය යුතු කරුණු කිහිපයකි. ආක්‍රමණිකයා ගියාට ඔවුන්ට තුප්පහිකම් කරන්නෝ අප අතර සිටිති. අප තුළ ද සිටිති. ඒ නිසා අපට කො‍කාකෝලා නැතිව කන්න බැරි ය. අරක්කු නැති මඟුල අවමඟුලකි.

අද යටත්විජිත සමයේ මෙන් ඍජු ආක්‍රමණ නැත ද වක්‍රව සූක්ෂම ව එය යෙහෙන් සිදුවේ. එදා ආක්‍රමණිකයා කළ දේ අද ඔවුන්ගේ බත් බැළයෝ කරති. සිදුවූයේ ක්‍රමයේ වෙනසක් පමණි. ක්‍රියාවලියේ වෙනසක් නොවේ. ඒ වනාහි නව සංස්කෘතික ආක්‍රමණයයි. නව සංස්කෘතික යටත්විජිතවාදයයි.

2008-07-17

අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

සංකල්පනාවට පණ දුන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ සුමධුර හඬ ය. කුඩා මා තුළ එකල පැනනැඟි කුකුස නම් මේ බඹරා නිරිත දිගින් එන්නේ ඇයි යන්න ය. බඹරාට ප්‍රධාන දිසා හතරින් එන්ට බැරි ඇයි? ඉන්ද්‍ර දිගින් බඹරා ඒ යයි නොලීවේ ඇයි? උතුර දකුණ වයඹ වන් දිශාවලින් එන බඹරකු ගැන ලීව ද කිසිදු මාත්‍රා සංයෝජන ගැටළුවක් පැන නොනඟී. එහෙත් රත්නායකයෝ නිරිත දිගින් එන බඹරෙකු ගැන ලීවාහු ය. අප පසු කලෙක දැන ගත් පරිදි ඒ අන් කිසිවක් ‍නිසා නොව අනංගයා අධිපති නිරිත දිශාවට හෙයිනි.

මහා සිංහල ශබ්දකෝෂය පවසන පරිදි අනංගයා යනු ශරීරයක් නැත්තා හෙවත් සිත්හි රාගික සිතිවිලි ඇති කරන දෙවියා ය. කාම දෙවියා ය. මහැදුරු ඩබ්.එස්.කරුණාතිලක සූරීන් 'පද මඤ්ජරී' නම් මාහැඟි කෘතියේ දක්වන අනංග යන්නට පර්යාය පද මෙසේ ය.>>>




මෙලෙස විවිධ චෛතසික තත්ත්වයන්ට සංකල්පයන්ට ජීවය ආරෝපණය කිරීම අපේ සම්ප්‍රදායේ ලක්ෂණයකි. එමගින් එලිපිට කතා කිරීමට මැළි වන දේ පවා ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමට අවකාශය ලැබිණි. එපමණක් නොව අපේ සම්ප්‍රදාය තුළ සත්වයා විෂයෙහි නෛසර්ගිකව පහළ වන ලිංගිකත්වයට අනවශ්‍ය රහස්‍යභාවයක් හෝ පූජනීයත්වයක් ආරූඪ නොකෙරිණි. ලිංගිකත්වය උලුප්පා දැක්වීමක් සිදු නොවිණි. එහෙත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේ ය.සිංහල සාහිත්‍යය විශේෂයෙන් ම සංදේශ කාව්‍යවල ශුංගාරාත්මක වැනුම් බහුල ය. ලිංගිකත්වය හුදෙක් මිනිසාගේ දෛනික ජීවිතයේ තවත් එක් කාර්යයක් පමණක් ම විය. සමීප ඥාතීන් සහ කුල අතර යම් යම් ලිංගික තහංචි තිබුණ ද ඒවා ආරක්ෂා වූයේ රීති පද්ධතියකින් මිස නීතියෙන් නොවේ. සමස්තයක් ලෙස ගත් කල්හි අනවශ්‍ය සීමා බන්ධන නොතිබිණි. ගැමුණු පුත් සාලියට ගාඩි රුහේ අශෝකමාලා අත ගැනීමට හැකියාව තිබිණි. එහෙයින් රොබට් නොක්ස් පවසන පරිදි සූසැට බරණින් සැරසී පංච කල්‍යාණියකට තනි මග රන් කෙණ්ඩියක් හිසින් ගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට නිරුපද්‍රිතව යාමේ භාග්‍ය පෙර දවස මෙරට තිබිණි.

ඉන් ධ්වතින වන්නේ මෙරට රජ දවස නෂ්ටකාමීන් ජීවත් වූ බව ද? නැත. දියුණු සංස්කෘතික හර පද්ධතියකින් සුපෝෂිත විනය ගරුක මානවයෙක් මෙරට ජීවත් වූ බව ය. සිය හැඟීම් සන්තර්පණය කර ගත හැකි විධිමත් ක්‍රමවේදයක් අප සතු වූ බව ය. යමෙක් ඒ සීමා පැන යා නම් ඉන් නිරුපද්‍රිතව ගැළවී යන ආකාරය ද ඔවුන් වෙත සම්ප්‍රදායෙන් උගන්වා තිබිණි. එක් ප්‍රකට නිදසුනක් මෙසේ ය.

තනි මග යන රූමත් ලියක් දුටු තරුණයෙකි. ඔහු තුළ ඈ කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. හෙතෙම ඇගේ රූපශ්‍රීයෙන් ඇළලී ගියේ ය. මේ සුදේහිනියගේ සීතල පහස විඳින්නට ඇත්නම් යන සල්ලාල හැඟීමෙන් හෙතෙම ආතුර විය. හේ මෙසේ කීවේ ය.

අල්ලා ගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියා නැති ගමන් තනි මග කිම් ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමු ද නගෝ

මේ නොහොඹිනා ඇරයුමෙන් ඇය නොසැලුණා ය. උරණ නොවුවා ය. රාගයෙන් උමතු වූ තරුණයා තාවකාලිකව හෝ දමනය කරනු පිණිස ඇය සිය තන්වැසි නුවණ යෙදවූවා ය. මේ ඇගේ පිළිතුර ය.

අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසා ගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා

සිය රාගික සිතුම් දනවනු පිණිස නෙරිය පියයුරු පිළිබඳ පවසන තරුණයා ලජ්ජාවෙන් මුකුලිත කරන ප්‍රකාශයක් නොවෙද මේ? ඈ පවසන්නේ තමා මවක බව ය. එපමණක් ද බාල මස්සිනා ද මග එන්නේ ය. තරුණයාගේ රාගික සිතුම් යට ගොස් ඔද සිඳී යයි. ඇය යහතින් ගමන ගියා ය. එහෙත් ඈ හිරිමල් තරුණියක මිස මවක් නොවූවා ය. ඉතින් ළමැදේ කිරි කොයින් ද? ඈ පස්සේ ආ මස්සිනෙක් ද නැත. ඇය සිය අකමැත්ත පැවසූ ආකාරය සොඳුරු රංගනය මහා විනාශයක් වැළකුවේ ය.

ඒ අතීතයයි. එකල මෙරටට වික්ටෝරියානු සුචරිතවාදය බෝ වී නොතිබිණි. කුප්‍රකට කාන්තා අයිතිවාසිකම් කොම්පැණි ද නොතිබිණි. එහෙයින් අපේ හර පද්ධති උඩුයටිකුරු වී නොතිබිණි.

2008-07-09

මෙහෙව් රටේ

ශ්‍රි ලංකාව ප්‍රමාණයෙන් ව.කි.65 610කි. ඉන් ව.කි. 840ක් ජලාශ ය. දිවයින මෙන් 23 ගුණයක මුහුදකි. කි.මි. 1340ක සුන්දර වෙරළ තීරයකි.මුළු රට ස්වභාවික සම්පතින් පිරුණු ආකරයකි. ප්‍රධාන ගංගා 103කි. සාර භූමියකි. නෙක ගහ කොලින් පලවැලින් සුසැදි සුන්දර පරිසරයකි. සම සීතෝෂ්ණ දේශගුණයකි. කලට ලැබෙන වැසි ය.පොළව තුළ නේක මැණික් ය. ඛනිජ වර්ග ය. තෙල් ය. ඒ සම්පත් උරුම කොට නිපන් අප මුතුන් මිත්තෝ ඉන් ජව ලැබ ලොවක් මවිත කළෝ ය.

අප මුතුන් මිත්තන් එදා මෙදා තුර කළ හපන්කම් කිහිපයක් විමසා බලමු. බුදු රදුන් උපදින්ටත් පෙර පරසිදු ඩැමස්කස් කඩු තනන්ට අප්‍රිකාවට වානේ යැව්වෝ අපේ මිනිස්සු ය. ලොව ප්‍රථම අහස් යානය තැනුවෝ අපේ මිනිස්සු ය. (රාවනා රජුගේ දඬු මොනර හුදු මිත්‍යාවකැයි ඇතැම් උගත්හු බැහැර කරති. පුරාතන -කි.පු.- යුගයේ අහසින් යාම පිළිබඳ සිතීම ද මහා ආශ්චර්යක් බැව් වටහා ගන්ට ඔවුනට ඉඩ නොදෙන බලවේගය කුමක් ද?) අද ද ලොව ගඩොලින් කළ උස ම ගොඩනැගිල්ල තැනුවෝ අපේ මනිස්සු ය. (ජේතවන දාගැබ මහසෙන් රජු කරවූයේ කි.ව.4 වන සියවසේ ය.)

ලොව සැම අත මිනිසුන් ගංගා අසබඩ ශිෂ්ටාචාර තනද්දී අහසින් වට දිය එතැන ම හික්මවා සින්ධූපමාන වැව් තනා එහි ශිෂ්ටාචාර තැනුවෝ අපේ මිනිස්සු ය. බිසෝ කොටුව වන් දියුණු ශිල්ප ක්‍රම භාවිත කළෝ අපේ මිනිස්සු ය. මාදුරු ඔය වේල්ල තනන්ට පැමිණි විදෙස් ඉංජිනේරුවන් මවිත කරමින් මතු වූ සිය වස් ගණනක් ඉපැරණි වේල්ල තැනුවෝ අපේ මිනිස්සු ය. සිය රට ආක්‍රමණය කළ බුරුමය චෝල දේශය ආදී පර දෙස් වෙත ගොස් බැට දුන්නෝ අපේ මිනිස්සු ය.

සඳෙන් ගෙනා පස්‍ පරික්ෂා කළේ අපේ මිනිසෙකි. ලොව සාර්ථකම කෘත්‍රිම පාදය තැනූ තරුණයා අපේ මිනිසෙකි. වතුරින් දුවන වාහන තැනුවෝ ද අප අතර සිටිති. අඟහරු ලොවට ගිය යානයේ කැමරාව තැනුවේ අපේ මිනිසෙකි. දැනට ලොව සාර්ථකම HIV ප්‍රතිකාර ක්‍රමය සොයා ගත්තේ අපේ මිනිසෙකි. සුද්දාගෙන් ක්‍රිකට් හෝඩිය උගෙන එහි කිරුළ ලක් මව් හිස පැළඳුවේ අපේ මිනිසුන් ය. සිව් වරක් දකුණු ආසියාව පරයා ක්‍රිකට් කිරුළ පැළඳුවෝ අපේ මිනිස්සු ය. ජත්‍යන්තර ක්‍රිඩා පිටියේ සිංහ දද නැංවූවෝ මේ පුංචි රටේ මිනිස්සු ය. එවන් විස්කම් කළ අපට කළ නොහැක්කක් නොමැත.

ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යයි බෞතිස්ම කෙරුණු LTTEට යන එන මං නැති කළෝ අපේ මිනිස්සු ය. අපේ සොහොයුරෝ ය. අද නැගෙනහිර ජය ලැබ වන්නියට ඇදෙන්නේ 2002 කඳවුරුවලට ගාල් කොට තුවක්කුවලට ඉබි යතුරු ලා නිහඬ කොට සිටි ඔවුන් මය. වෙනස් වූයේ නිවැරදි වූයේ නාකත්වය පමණි. රටේ සේනාධි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට මැනවින් නායකත්වය සපයයි. ඒ නිවැරදි වීමත් සමග හමුදාවෝ අකුණු සැර සේ රුපුනොද බිඳිති. දිනෙන් දින ත්‍රස්තවාදය මව් බිමෙන් අතුගා දමති. බොහෝ වරදින් පිරි රජයේ ඒ යහගුණය අපි අගයමු. එය හුදු හමුදා සෙබළාගේ පමණක් වික්‍රමයකැයි කියන කුහකයින් අතරට අපි නොවැටෙමු.

එහෙයින් අවැසි වන්නේ මේ මිනිස් සම්පත නිවැරදිව සවිබල ගැන්විය හැකි නායකත්වයකි. රටේ සම්පත් සංවර්ධනය සඳහා මැනවින් කළමනාකරණය කිරීමකි. සෑම සම්පතින්ම සපිරි ගිනි කඳු කාන්තාර හිම කඳු නොමැති මිහිපබට සුරපුර වන් මගේ රට සංවර්ධනය කරා ගෙන යා නොහැකි නායකයෝ සුරපුර වුව අපායේ හෙළනු ඇත්තා හ. එහෙයින් ඔවුන් කිසිවෙකු සඳහා සුරපුර නම් දෙරගුළු නොඇරෙනු ඇත.

2008-07-02

සිනාසී හඬමි -2

කෙසේ වුව ද මෙම ප්‍රකාශය තුළ නොකියැවෙන එහෙත් ගම්‍යමාන අරුතක් ද තිබේ. ඒ ජනාධිපතිතුමා බටහිර කඳවුර වෙනුවට එහි ප්‍රතිපක්ෂය වෙත නැඹුරු වන බව ය. එනම් ඉරානය වෙනිසියුලාව චීනය කියුබාව සරණ යන බව ය. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සහ මෑතදී ගන්නා ලද ක්‍රියා මාර්ග සීරුවෙන් විමසීමෙන් මෙහි සත්‍යාසත්‍යතාව දැනගත හැකි ය. ජනාධිපතිතුමා පවසන්නේ බටහිර සරණ ගොස් පලක් නැති බව මිස කිසිවෙක් සරණ ගොස් පලක් නැති බව නොවේ.

මේ ප්‍රකාශය අඩු මිලට තෙල් ටික සිඟා ගැනීමට අහමද් ඉන්නීජා ජනපති රැවටීමට දැමූ ඇමක් දැයි අප දන්නේ නැත. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුත්තේ කිසිවෙක් සරණ ගොස් පලක් නැති බව ය. තම හිසට සෙවණ තම අතමැ බව ය. බටහිර සරණං ගච්ඡාමි කියා පලක් නොවන බව වටහා ගන්ට වසර 60ක් ගිය රටේ දේශපාලන නායකත්වයට මේ ටික අවබෝධ වන්ට කොතෙක් කල් යා ද? ඉරානය වෙනිසියුලාව චීනය වියට්නාමය රුසියාව ආදී සියලු රටවල් දියුණු වන්නේ සිය රටේ ශක්තිය මත විශ්වාසය තබා සියලු බලවේගවලට මුහුණ දෙමින් උඩුගං බලා පිහිනීමෙනි. එසේ නොමැතිව පරදේශවල පිළිකනු පල්ලේ ළගිමින් ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ රූකඩ වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නැටීමෙන් නොවේ.



මම ද අධිරාජ්‍ය විරෝධියෙක්මි. එහෙයින් ධනවාදය ලිබරල්වාදය ආදී එහි සියලු මුහුණුවරවලට එරෙහිවෙමි. ඊට එරෙහි වන්නන් හා එක්වෙමි. සමාජවාදී වෙළඳ පොළ අර්ථක්‍රමයක් කෙරෙහි විශ්වාසය තබමි.ඒ නිසා පෙර සඳහන් කළ රටවල් දෙපයින් නැගී සිටින්ට දරන උත්සහය අගයමි. අප ද ඒ මග ගත යුතු බව අදහමි. එහෙත් රටක් ලෙස තීන්දු ගැනීමේදි සුපරික්ෂාකාරි විය යුතු ය.

විශේෂයෙන් අදූරදර්ශි පාලනය නිසා බිඳ වැටුණු අප වන් රටවලට එකවර චීනය රුසියාව ඉරානය මෙන් ඍජු දරදඬු තීරණ ගත නොහැකි ය. මේ වන විට අප යැපෙන්නේ විදේශාධාරවලිනි. ඇඟලුම් කෝටා අහිමි වුවහොත් ලක්ෂ ගණනක් මහ පාරේ ය. ඇල් පෙනෙත්තක් නොනිපදවන රටේ යුද්ධ කරන්නේ ඊශ්‍රායලය චෙක් ජනරජය වැනි රටවලින් මිලට ගත් අවිවලිනි. ඉරානය වන් ඊශ්‍රායලයේ පසමිතුරු රටවලට සමීප වීමේදී එහෙයින් අප වඩාත් සැලකිලිමත් විය යුතු ය.

පන්සිය වසරක් මගේ රට සුරා කෑ මැරයා ගැන මා තුළ පැහැදීමක් නැත. එහෙයින් ඔවුන් විසින් අපට කරන ලද විනාශය විවිධ පැතිවලින් විග්‍රහ කරමි. එමෙන්ම ඒ මහා සූරාකෑම පහසු කර ගනු සඳහාම වුව රට පුරා රේල්ලුව ව්‍යාප්ත කරන ලද බව ද මහා මාර්ග ජාලයක් සැකසූ බව ද කිව යුතු ය. 1948 ආක්‍රමණිකයා රට හැර යන විට ආසියාවේ ආර්ථික සමෘද්ධිය අතින් අපට ඉහළින් සිටියේ ජපානය පමණි. ඒ ද ඩොලරයකිණී. එදවස ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89කි. ලංකාවේ 88කි. 1953 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රමාණය 9.7%කි. අද 105%කි. එහි අරුත අපේ මුළු ඉපයුම් ප්‍රමාණයට වඩා ණය ප්‍රමාණය වැඩි බව ය. අප උපයන සෑම රු. 100ක් ම තවත් රු. 5ක් සමග ණය පියවීමට යැවිය යුතු බව ය. මේ රටට ආක්‍රමණිකයා මෙන් ම විනාශයක් අපේ පාලකයන් ද කර තිබන බවට තවත් සාක්ෂි කුමට ද? 1977 ධර්මිෂ්ට සමාජය නමැති සුරුවමේ ඔතා විවෘත ආර්ථිකයට රට බිලි දුන් පුණ්‍ය පිතෘට පිං සිදුවන්ට අද උද්දමනය 30%ට මදක් අඩු ය. 1975 එය 5%කි.

මේ සියල්ලෙන් ගම්‍යමාන වන්නේ පරදේශ පසුපස යාමෙන් පලක් නොවන බව ය. අහමද් ඉන්නීජා සමග ඡායාරූප ගෙන මග දෙපස තොරණ ගැසීමෙන් පලක් නොවන බව ය.අප ද අපේ රටේ ශක්තිය මත විශ්වාසය තබා ඉදිරියට යා යුතු බව ය. එහෙත් ඒ බව පාලකයන් මැනවින් තේරුම් ගත් බවෙක් නම් නොපෙණේ. සැබවින්ම ඒ ගැන සිතන විට නාඬා බැරිය. එහෙයින් හඬමි.