Showing posts with label සුබ පැතුම්. Show all posts
Showing posts with label සුබ පැතුම්. Show all posts

2011-04-08

සුබ අලුත් අවුරුද්දක් වේවා! එහෙත් . . .

ඔව්, ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි හැම වසරක ම බක් මහේ සිංහල අලුත් අවුරුද්ද සමරනවා. අපේ සම්ප්‍රදාය, සංස්කෘතිය අනුව ආගමට දහමට මුල් තැන දීලා මේ උත්සවය සමරන්න ඇහැකි නම් එය අගෙයි නොවැ?

ඒ වගේ ම ඔබ අතින් මෙතෙක් සිදු වූ කිසියම් හෝ වරදක් නිවැරදි කරගත හැකි නම් එය මේ උත්සවයෙන් ඔබට ලද හැකි ලොකු ම දායාදයයි. පළුදු වූ නෑ හිතවත්කම් අලුත් කරගන්න. ආදරයට, කරුණාවට හිතේ වැඩි ඉඩක් දෙන්න. ජීවිතය නව ජවයකින් අරඹන්න මේක හොඳ මොහොතක්. ඒ නිසා තමා මේ දවස අනෙක් දවස් 364න් වෙනස් වෙන්නේ. සුවිශේෂ වෙන්නේ. එහෙම නැත්නම් මේක අලුත් ඇඳුම් අඳින, බේබදුකම ඉහවහා ගිය, ජීවිතයේ තවත් වටිණා අවස්ථාවක් අපතේ ගිය මූසල දවසක් විතරක් වෙයි.

ඔන්න මං මේ අවුරුද්දෙ හදා ගන්න පොඩි වරදක් පෙන්වලා දෙන්නම්. බොහෝ අය අවුරුද්දට සුබ පතලා ලියන්නේ වැරදි වචන. "සුභ අළුත් අවුරුද්දක් වේවා!" කියලා ලියනවා. විවිධ මාධ්‍යවලත් මේ වැරදි ව්‍යවහාරය දකින්න ඇහැකි.

නැවුම්, නව කියන අර්ථයෙන් අපි ලියන්න ඕන "අලුත්" කියලා. "අළු' තියෙන්නේ ලිපේ. දර පිච්චිලා ඉතුරු වෙච්චි ඒවා. "සුභ" කියන වචනය අපි යොදන්න ඕන ඒ වගේ ම තද්සම වචන එක්ක විතරයි. ඊට පස්සේ යෙදෙන වචනය තද්භව නම් අපි යොදන්නේ "සුබ" කියලා. ඒ නිසා "සුභ ප්‍රාර්ථනා" කියලා ලියනවා. ඒ දෙකම තද්සම. ඒවා තද්භව විදිහට නම් "සුබ පැතුම්" කියලා ලියනවා. ඒකයි නියම සිංහල වහර.

ඔන්න එහෙනම් ඔය ඇත්තෝ හැමෝට ම සුබ අලුත් අවුරුද්දක් වේවා! අනේ ඔන්න ආයේ සුභ අළුත් අවුරුද්දක් කියලා නම් ලියන්න එපා. ඒක වස් කවියක් කියලා සුබ පැතුමා වගේ නොවැ?

2008-06-17

මේ ගැනත් සිතන්න

සඳහම් සිතුම් දලුලන පිංබර පොසොන් මඟුලක් වේවා!

කි.පූ.367-307 මෙරට පාලනය කළේ දෙවනපෑතිස් රජතුමා ය. එකල මෙරටට බුදු දහම ලැබිණි. ඒ පදනම් කර ගෙන ‍අනතුරුව සිංහල බෞද්ධ සංස්කෘතිය සිරිලක ස්ථාපිත විය.

බුදු දහම ලබා ගනු වස් ලොව ප්‍රථම බුද්ධි පරීක්ෂණයට මුහුණදීමට දෙවනපෑතිස් රජුට සිදු විය. බුදු දහම අපට ලැබුණේ සුප්‍රකට ‘අඹ ප්‍රශ්නය’ සාර්ථකව විසදු නිසා ය. එමගින් බුදු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් ජනතාවක් මෙරට වාසය කරන බව මිහිදු හිමිට පසක් විය.

මෙරට බෞද්ධයා අවබෝධ කර ගත යුතු වැදගත් ම දේ නම් බුදු දහම කිසිවකු බලෙන් අප මත නොපැටවූ බව ය. බුදු දහම එදවස අප ප්‍රකට කළ බුද්ධිමය ප්‍රභාව උදෙසා ලද තිළිණයක් බව ය.

මිහිදු හිමි මෙරටට වැඩම කොට ප්‍රථම වරට දේශනා කළේ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ ය. එමගින් බුදු රදුන්ගේ උත්තරීතරභාවය විස්තර වේ. අනතුරුව ‍සිංහලයාගේ ලෞකික ජීවිතය යහපත් කර ගනු වස් ‘ප්‍රේත වස්තුව’ හා ‘විමාන වස්තුව’ දේශනා කෙරිණි. රජුට අවවාද දෙනු වස් ‘රාජෝවාද සූත්‍රය’ දේශනා කළේ අනතුරුව ය.

කෙසේ වුව ද අද දවසේ මෙරට බුදු දහම හා සහසම්බන්ධිත සංස්ථාවල තත්ත්වය පිළිබඳ මට පැහැදීමක් නැත. බුදු රදුන් අවඥාව නමැති කෙවිටින් බැහැර කළ කුළවාදය බුදු සසුනට රිංගා ගෙන ඇත. අද සුනීත සෝපාකලාට මහණ වන්නට වෙනම නිකායක් ද සැරියුත් මුගලන්ලාට වෙනම නිකායක් ද වශයෙන් නිකාය හැටහුටහමාරක් ඇත. ඒ ඒ එක එකට නායකයින් ද ඇත. බොහෝ දෙනාට උවමනා බුදු දහම දෙසන්නට හෝ සුරකින්නට නොව එය තම පැවැත්මට සරිලන පරිදි අර්ථකථනය කරන්ට ය.

මේ විසූකදස්සන දකින කල්හි මගේ මනස නිතැතින්ම ගොස් නතර වන්නේ නුවර යුගයේ ය. සම්බුද්ධ ශාසනය අන්තයට පිරිහුණු එකල භික්ෂුන් නොසිටියේ ය. සිටියේ ගණින්නාන්සේලා ය. ඔවුහු සිය බිරිඳ හා දරුවන් සමග පන්සලේ වාසය කළේ ය. කුඹූරු අස්වැද්දුවේ ය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළේ ය. අපේ කාලයේ ඇතැම් චීවරධාරීන් සහ මේ ගණින්නාන්සේලා අතර වෙනසක් මට නම් නොපෙණේ. රටේ නා නා තැන්වල ලොතරැයි කූඩු ලෙස ඉදිවන අන්තවාදී ආගමික තිප්පොළවල් සේ ම රටේ බෞද්ධ පුරා වස්තු සූක්ෂම අයුරින් අකාමකා ඒ මත ව්‍යාජ ඉතිහාසයක් මවන්ට දතකන්නන් සේ ම මේ තත්ත්වය ද ශාසන චිරස්ථිතිය කෙරෙහි අතිශයින් ව්‍යසනකාරි බව අප වහා අවබෝධ කර ගත යුතු ය.

මේ සියලු කාරණාවලින් ඉස්මතු කරන කරුණ නම් නැවත ධර්ම සංගායනාවක් පවත්වා ශාසනය පිරිසිදු කළ යුතු බව ය. දුසිල්වතුන් දුරුකොට සුසිල්වතුන්ගෙන් සසුන බැබළවිය යුතු බව ය. 1934 සුබස සඟරාවේ කුමාරතුංග මුනිදාස මහතා ‘ශාසන ශෝධනය’ යන හිසින් ලියූ ලිපියෙන් පැහැදිළි වන්නේ මේ තත්ත්වය දශක කිහිපයක් ඈත පවා බුද්ධිමතුන්ගේ අවධානයට ලක් වූ බව ය.

“අප භික්ෂූන් ගරහන බවෙක් නිකම් මැ කියන්නෝ මහත් බොරු කාරයෝ යැ. අපි භික්ෂූන් නොගරහමු. භික්ෂූ ප්‍රතිරූපකයන් තදින් ගරහමු. එ ද ඔවුන් කෙරෙහි දයායෙනි. අපි බෞද්ධ වමු නම් බෞද්ධ භික්ෂූන් අපගේ කුල දෙවියන් කොටැ සලකමු නම් අප ඒ සා මහත් සැලකීමට භාජනය වන්නෝ අප විළි නොවද්දන පමණටවත් පිරිසුදු වෙත් ද යනු පිරික්සා බලා නොපිරිසුදු නම් පිරිසුදු කැරැගැන්මට ප්‍රයත්නයක් දැරීම නුසුදුසු ද? ”

(ලක්මිණී පහන් කතු වැකි-68)

කෙසේ වුව ද තිරිවාන ගල් අතර මිණි මෙන් දුසිල්වතුන් අතර සැදැහැවත් භික්ෂූන් වහන්සේ ද සිටිති. උන්වහන්සේ මඩෙහි පිපි නෙලුම් මෙන් පිවිතුරු දිවියක් ගත කරති. බුදුන් දවස සැරියුත් මුගලන් සඟ පරපුර ගත් මග යති. අදටත් බුදු සසුන අප,තර පවත්නේ ඒ අනුහසිණි. එහෙයින් “සංඝන් සරණං ගච්ඡාමි” යි උන්වහන්සේලා නමදිමි.

දඹදිවින් අප ලද මහඟු ත්‍යාගය ගැන උදම් අනන පිංබර පොසොන් සමයේ මේ ගැනත් නිවි හැනහිල්ලේ මොහොතක් සිතන්නැයි ඔබට ඇරයුම් කරමි.

2008-05-16

වෙසක් කැකුළු අතු අග හිඳ රඟන විලාසේ!!!



ඔබ සැමට සැදෑ සිත් දලුලන පිංබර වෙසක් මඟුලක් මැ වේවා!!!

වෙසක් කැකුළු අතු අග හිඳ රඟන විලාසේ ඉරත් හඳත් සිරි විඳ විඳ බලනු දුටුවෝ පන්සලේ පියතුමා යයි පරසිදුවැ සිට මොක් පුර වැඩි ගරු මර්සලින් ජයකොඩි පියතුමාණෝ යැ.

බසට පණ දෙනු වස් සිය පණ බසට දුන් කුමරතුඟු මුනිදසුන් බොරු පින් යන හිසින් ලියූ කව් පෙළක් ඔබේ ඇතුළු හද ඔබට මැ විමසනු පිණිස මෙසේ සංහි‍ඳේ කැටපත් කොට තබමි. මේ පිංබර සමයේ අපේ භාව විරේචනය කොට දොසින් මුදාලනු පිණිස එය කදිමැ උපායෙක් වනු ඇත.


නුදුරු ගෙයි සයින් දරුවන් හඬ නඟන
මදුරුවකුගේ නද පමණක් කොටැ නොගෙන
පැදුරු එළා මඟ තෙක් දෙන පිණිස දන
රුදුරු බෙර හඬින් කැඳවති සියක් දන


අසල මැ මගැ වැතිරැ හොත් විළි රුදා වැදී
අසරණ ලිය බලා යෙති කෙළි සිනා දිදී
අසමින් වෙහෙර තනවන බව සබා සබා මැදි
අසවල් නමැ යි ලියවා දෙති ලිහා පොදී

සම්මා සම් බුදු වැ නිවෙව යි කියා දුකින්
අම්මා ඉල්ලුව ද සතයක් නැත නිසැකින්
සම්මාදමට අව හොත් පොහොසත් තැනෙකින්
බම්මා දෙරණ දෙති ඇති පමණ අත් දෙකින්

පිනෙන් නම් මෙ බදු කිරියෙන් සිදු වනුයේ
සැපෙන් නම් එයින් මතු කලෙකැ ලැබෙනුයේ
කෙනෙක් දුකට පත් වෙද සැබෑව කියනුයේ
ගොනෙක් නොවේ නම් කො ද මින් රැවැටෙනුයේ


(ලක්මිණි පහන-2478 ඇසළ පුර 14/1934 ජුලි 24)

2008-04-10

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


රටට දැයට ආගමයට හෝ බසට
ඔබට කළැ’කි සුළු මෙහෙයක් වත් නොකොට
නිවට බැවින් තව මුළු ගැන්වී නොසිට
සිතට වැර කවා ගෙන එව ! පෙරමුණට

හැම දැයෙකැ මැ හැම මිනිසෙකු මැ පිබිදිලා
යොමමින සිය නුවණ නැ‍ඟෙනා සැටිය බලා
කමකට නැති නොයෙක් බේ ඇදැ ගෙන මෙකලා
කුමටද? තැවෙනු යවු ! පෙරට මැ පහන බලා
(කුමාරතුංග මුනිදාස මහතා)

2007-12-31

සුබ නව වසරක් වේවා!

සිංහල දෙමළ මුස්ලිම් බර්ග්ර් මැලේ ආදි සියලු ශ්‍රී ලාංකික සොහොයුරන්ට ප්‍රීතිමත් නව වසරක් වේවා!
අපේ රටට සාමයේ අරුණලු උදාවන සුබ නව වසරක් වේවා!
සමස්ත ලෝකයට සාමය උදාවේවා!
"අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ
තුන් සිංහලය ම නෑදෑයෝ
අපි ඔක්කොම මව්වරු
ඔක්කොම පියවරු
තුන් සිංහලය ම දූ දරුවෝ
තුන් සිංහලය ම දූ දරුවෝ..."

2007-12-20

සුබ නත්තලක් !


සමිදාණෝ ඔබට ආශීර්වාද කොට
ඔබ ආරක්ෂා කරන සේක්වා!
සමිදාණෝ ඔබ දෙස දයාවෙන් බලා
ඔබට කරුණා කරන සේක්වා!
සමිදාණෝ සිය නෙත්
ඔබ කෙරෙහි යොමා
ඔබට සමාදානය දෙන සේක්වා!
(බයිබලය_ගණන් කථාව‍:153_154)

නෙළුම් පිපීලා
පෙති විසිරීලා
ජලය සුවඳ දෙන්නා
මමත් මලක් නම්
පිපී සුවඳ දී
ඔබ ළඟ පර වෙන්නා
(අයිවෝ ඩෙනිස් / චිත්‍රා සෝමපාල)

ඔබ සැමට සතුට සාමය රජයන සුබ නත්තලක් වේවා!!!