2008-10-09

හමුදාපතිතුමාගේ රුවන් වැකිය

හමුදාපති සරත් ෆොන්සේකා මහතා කැනඩා නැෂනල් ෆෝස්ට් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී "මේ රට සිංහලයින්ට අයත් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සුළු ජනතාව ද මේ රටේ වෙසෙන අතර ඔවුන්ව ද අපේම පුරවැසියන් ලෙස සලකන බවත්" පවසා ඇත. මේ ප්‍රකාශය මෙරට ඉතිහාසය දත් සහ ජගත් දේශපාලනය ගැන සවිඥානික කෙනෙකුට අමුත්තක් විය නොහැකි ය.

එහෙත් බටහිර තානාපති කාර්යාල පිළිකනු පල්ලේ ළැඟ ඒ ඉඳුලින් දිවි ගැටගහගෙන ඊට හිළව්වට උන්ගේ උවමනා එපාකම් පිරිමහින නිවටයින්ට නම් මේ මහා ද්‍රෝහී ප්‍රකාශයකි. සුළු ජාතීන්ට කළ නින්දාවකි. මේ නිවටයෝ රටේ ජාතික දේශපාලන පක්ෂ තුළට රිංගා ඒවා විජාතික පක්ෂ කරති. විවිධ NGO ගුබ්බෑයන් අටවාගෙන රටට වළ කපති. පළමුව, රට වෙනුවෙන් පෙනී සිටිනවුන්ගේ චරිත සූක්ෂම ලෙස ඝාතනය කරති. ඒ දෙවනුව, ඔවුන් ත්‍රස්තවාදයට පහසු සහ ආන්දෝලනාත්මක නොවන ගොදුරක් කරනු පිණිස ය.

සැබවින් ම හමුදාපතිවරයා කීවේ කුමක් ද? මේ රට සිංහලයින්ට පමණක් අයිති බව ද? සුළු ජාතීන්ට අයිතිවාසිකම් නොමැති බව ද? නැත. කිසිසේත් නැත. ඔහුගේ ප්‍රකාශයේ සරල අරුත මේ රට සිංහලයින්ට අයිති මුත් ඒ අයිතිය සෙසු ජාතීන් සමඟ බෙදාහදා ගැනීමට සිංහලයා සුදානම් බව ය. එහි ඇති අරුමය කිම?

කි.පූ. 4 වන සියවසේ පණ්ඩුකාභය රජ දවස උපන් සිංහලයෝ එදා මෙදාතුර මේ රටේ ප්‍රධාන ජාතිය වෙති. වසර 2500ක් පමණ කාලයක් තිස්සේ මව්බිම විවිධ පරසතුරු ආක්‍රමණවලට මුහුණ දුන් කල සිය රුධිරයෙන් මේ බිම නහවා සිය හුස්ම පොදින් මාතෘ භූමියට පණ නළ පිම්බේ අද මෙහි වසන 75%ක් වන සිංහලයන්ගේ මුතුන්මිත්තෝ ය. මේ මහා සංස්කෘතිය නිර්මාණය කළෝ ඒ මහා සිංහලයෝ ය. 1815 ඉංග්‍රීසි සමඟ අත්සන් කළ ගිවිසුමේ ද මේ රට හදුන්වා ඇත්තේ "සිංහලය" යනුවෙනි. ඒ අදට වසර 200ටත් අඩු කාලයකට ඔබ්බෙනි.

එපණක් ද සිංහල යනුවෙන් ජාතියක් ලොව අන් තැනක ඇත්තේ ද නැත. එනම් සිංහලයින්ට වෙන මව්බිමක් නැත. එහෙයින් ම සිංහලයෝ එදා සිට සිය දිවි දෙවෙනි කොට මව්බිම සුරකිති. ඔහු සිය කුඩා කොදෙව්වේ වෙසෙන සෙසු ජාතීන්ට සහෝදරාත්මක හස්තය දිගුකිරීමට සුදානම් ය. ඔවුන් ආරක්ෂාකර ගැනීමට සුදානම් ය. එසේ වූ කල සිංහලයින්ට මේ රටේ ඇති අයිතිය ප්‍රශ්න කරන්නේ කෙසේ ද? ඊට ඇති අයිතිය කුමක් ද? සිංහලයා බලාපොරොත්තු වන්නේ සිය උරුමය රැකගැනීම පමණි. සිය මුතුන්මිත්තන්ගේ අභිමාණය අපේක්ෂාව සුරැකීම පමණි.

වරක් ඉන්දීය හිටපු ජනපති අබ්දුල් කලාම් මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ වෙසෙන සෙසු ජාතීන් හින්දූවරනට සිය ලොකු අයියාට මෙන් සැලකිය යුතු බව ය. (ජනපති අබ්දුල් කලාම් මහතා මුස්ලිම්වරයෙකි) එහි අරුත ඒ මහා දේශයේ සංස්කෘතිය බිහි කළ හින්දූවරනට රටේ ජ්‍යෙෂ්ඨවය ලබාදිය යුතු බව ය. ගරු කළ යුතු බව ය. ඒ සිය අයියාට මෙන් ළබැඳි බවිනි. ආදරයෙනි. ගෞරවයෙනි.

එය වහල් හිමියා වහලා අතර ඇති සම්බන්ධය නොවේ. ස්වාමි සේවක සම්බන්ධය නොවේ. කොටින්ම එහි අරුත සෙසු ජාතීන් හින්දුවරුන්ට යටත්විය විය යුතු බවක් නොව ඔවුනට හිමි තැන ලබාදිය යුතු බව ය. සෙසු ජාතීන් හින්දුවරුනට සිය අයියණ්ඩියට සේ සලකන කල හින්දුවරු සෙසු ජාතීන්ට සිය මලනුවන්ට සේ සලකනු ඇත. ආදරයෙන් රැකබලා ගනු ඇත. පිරිපතින් මුදවා සුඛිත මුදිත කරනු ඇත. සිය මලනුවන්ගේ දියුණුව තමන්ගේ ම දියුණුව ලෙස සලකනු ඇත. අද අප රටේ සිංහලයා සහ සෙසු ජාතීන් අතර වඟා කළ යුත්තේ මෙවන් සහසම්බන්ධයක් නොවෙ ද?

හමුදාපතිතුමාගේ ප්‍රකාශයෙන් ගම්‍යමාන වන්නේ එවන් සුහද සංහිඳියාවක අවශ්‍යතාවයයි. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නැගෙනහිර මහ ඇමති ධූරයට ද විනයාගමූර්ති මුරලිදරන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ද පත්කිරීම ඊට කදිම ආරම්භයකි. අයියා මලෝ සබැඳියාව අප රට තුළ යළි ඉපදීමේ පෙර මං ලකුණකි. එම ක්‍රියාදාමය (අපේ විරෝදාර හමුදාව තව නොබෝ දිනකින් ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ කල්හි) ස්ථිර සාමය වෙත යන මාවත වනු ඇත.

මෙරට යුද්ධයට හිඟන්නා‍ගේ තුවාලය කරගත් මානව, සුළු ජාතික, ළමා හා කාන්තා ආදි හුටප්පරයක් අයිතිවාසිකම් ලේබල යටතේ NGO අටවාගෙන ජීවත්වන කුහකියින් ඊට කිසිසේත් කැමති නොවනු ඇත. ඒ නිසා යුද්ධය දිගට ම පවත්වාගෙන යාමට සියලු උපා යොදනු ඇත. මන්ද රටකාසි ලැබෙන්න නම් යුද්ධය තිබිය යුතුම ය. එසේ නැති වූ කල ජීවත්වන්නේ කෙසේ ද? සිය බඩවියතට පහර වදින විට කැමති කවුද? ඒ නිසා හමුදාපතිතුමාගේ ප්‍රකාශය උන්ට වහකදුරු ය. අපට නම් එය රුවන් වැකියකි. ජය ශ්‍රී දීඝායු හමුදාපතිතුමනි!!!

9 comments:

malee_msg said...

"ඔවුන්ව ද අපේම පුරවැසියන් ලෙස සලකන බවත්"

ඇත්ත‍ටම ඔන්න ඔච්චරයි උවමනා..අපි හැමෝගෙම රට ඉතිං සිංහල දෙමළ බේද නැතුව ඉන්න මේ රටේ ඔන තරම් ඉඩ තියනවා ගැටළුවකට තියෙන්නේ ඒකට‍ අපේ මිනිස්සුන්ගේ හිත් වල ඉඩ තියනවාද කියන එකයි....

අර ඉනිදීය ඡනාධිපති තුමා කියලා තියන සහෝදර කථාව ඇත්ත....ඒක තමයි අපි වගේ බහුජාතීන් ජිවත් ර‍ටකට ගැලපෙන ක්‍රමය...

ඒත් ගොඩක් අය ‍ඕක තේරුම් ගන්නේ නෑ...ඩොලර් වලට කහින අයගේ වචන හරඹ ඊට හපන්....

ඒත් අපි හැමෝටම පුළුවන් අපේ හිත් එකිනෙකා වෙනුවෙන් විවර කරලා මේ පවතින ක්‍රමය ටික ටික හරි වෙනස් කරන්න

නාමල් උඩලමත්ත said...

ඔබේ ප්‍රතිචාරයට පිං. ඇත්තට ම අපට සිංහල දෙමළ බේද නැතිව ඉන්න පුළුවන්. එහෙම ක්‍රමයක් අපේ තමා අපේ සම්ප්‍රදාය වුණේ. මේ රටේ සිංහලයා බිහිවූ පසු සිදුවූයේ වෙන රටකින් එන අය පරම්පරා දෙකකදි විතර සිංහල වීම. (සපුමල් කුමාරයා නිදසුනක්. එහි වඩාත් උත්තම අවස්ථාව එස්. මහින්ද හාමුදුරුවෝ.)නැතිනම් සිංහල-දෙමළ අයවීම. සිංහල-මුස්ලිම් අයවීම. ඔවුන් තවදුරටත් ඉන්දිය-දෙමළ හෝ අරාබි-මුස්ලිම් නෙවෙයි. යටත්විජිතවාදීන් මේ ක්‍රමය විනාශ කළත් තවමත් සිද්ධවෙන්නේ එය. ලෂ්මන් කදිරගාමර් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරු අපට ආසන්න ම නිදර්ශන. ඔවුන් දෙමළ වුණාට මේ රටේ සම්ප්‍රදාය අවබෝධ කරගෙන එහි අංශු බවට පත්වුණා. රටේ ඉහළ තැන්වලට ඒ අය ගියේ ඒ නිසයි. ඒ වටිනා සම්පත් ආරක්ෂා කරගත නොහැකිවීම තමා රටේ අවාසනාව.

ච.ගු said...

මැලේසියාවෙ මහ ජාතිය මැලේ, ඉන්පසු චීන හා ඉන්දීය ජාතීන් ඉන්නවා. ආර්ථිකයෙන් විශාල කොටසකට දායක වෙන්නෙ චීන ජාතිකයින්. පෙනෑන්ග් නගරයෙ ටැක්සි රියැදුරෙක් මෙහෙම කතාවක් කිව්වා: "the Malays are scared of the Chinese and the Indians because the Chinese run the economy. the government has imposed discriminatory laws favoring the Malays. one example is that every company Director board must have a Malay person, preference is given to Malays in Jobs, and Higher Educational opportunities.. etc."

ලන්කාවෙ අපි අපේ අන්‍ය ජාතික අයට සලකන්නෙ මීට වඩා කෙතරම් වෙනස්, සුහද ලෙසද.. එන්න අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. නමුත් කන්න දුන්න අත හපාකාලා ඇගෙන් මස් රාත්තලක් ඉල්ලන්න එපා..
අපි හැමෝම සුහදව ඉමු - වැල්ලවත්තෙ සුන්දරලින්ගම් ඉන්නව වගේම යුද්දෙන් පස්සෙ කිලිනොච්චියෙ සෝමපාලලට, මොහොමඩ් ලාටත් ඉන්න දෙන්න හොදේ :-)

නාමල් උඩලමත්ත said...

චන්දන ඔබේ මාහැඟි අදහසට පිං. මම ලිපියේ තැනක ඉඟිකළා ඔය ගැන. ජාත්‍යන්තර දේශපාලනය තුළ ඔය වගේ අත්දැකීම් එමටයි. මෑතදී මැලේසියානු දෙමළ අය අයිතිවාසිකම් ඉල්ලලා කරපු උද්ඝෝෂණය රජය මර්දනය කළා. ඒ ගැන ඉන්දියාව කතා කළාම ඔවුන් කීවා අපේ රටේ ප්‍රශ්න අපි විසඳගන්නම් කියා. ඒක තමා යථාර්ථය. ඒත් අපි අපේ සහෝදර ජනතාවට එහෙම කරනව ද? ඔබ කීවා වගේ අපේ රටේ එහෙම ගෝත්‍රික නීති නැහැ. හැමෝට ම නිදහසේ වැඩ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ව්‍යාපාර කරන්න පුළුවන්. සිංහල අය අර මැලේසියානු ජාතියට හිමි අයිතිවාසිකම් අපටත් ඕන කීවොත් කොහොම හිටී ද?

අයියෝ ශ්‍රි ලංකා said...

ඇමරිකානු පුරවැසියෙකුට මේ රට ගැන කැමති කැමති දෑ කිව හැක මන්ද මේ රට විනාස උනත් ඔහුට යාමට තැනක් ඇති බැවින්. මේක අපේ කියා මිනීමරන්නට කාටවත් අයිත්යක් නැත

ච.ගු said...

Talking of American citizens i cant help but think of Sir Henry Olcott. He is one American who loved this country and people. And Sarath Fonseka.. well he must be loving this country very much to face LTTE threats day in day out fighting a war so that THE SRI LANKAN PEOPLE WILL HAVE PEACE.
If he doesnt give a shit about this country, he can go to America and enjoy a beer in his Beverlyhills mansion .. what the fuck is he doing fighting a war here.. hmm maybe he loves this fucking ungrateful country and people too.

නාමල් උඩලමත්ත said...

අයියෝ ශ්‍රි ලංකා නමින් ලියන අඥාත මිත්‍රය,
ඔබේ අදහසට ස්තුතියි. තමා පවසන අදහස්වල වඟකීම දරන්න පුළුවන් නම් තමාගේ අනන්‍යතාව සහිතව ලියන්න පුළුවන් නම් බොහොම අගෙයි. ඔබ එල්ලී සිටින තැන පැහැදිළි වුණත් ඔබේ අදහස පැහැදිළි මදියි. ඔබ කියන්නේ හමුදාපතිතුමාට ඇමරිකන් පුරවැසිභාවය ඇති බව ද? ඒ නිසා එතුමා වඟකීම් විරහිත ප්‍රකාශ කරන බව ද? එය මට පැහැදිළි කරන්න.

අපි ද එකහෙලා ම යුද විරෝධි වෙමු. මිනී මරා මිනී කඳු ගසා වින්දනයක් ලැබිය හැක්කේ හිට්ලර් පිරපාහරන් වැන්නන්ට පමණි. මිනී නොමරා රටට සාමය ලබාගත හැකි මං 30 වසරක් පුරා සෙව්ව ද සිදුවූයේ විනාශය පමණි. ත්‍රස්තවාදියා ඊළමෙන් ඈත්වීමට කැමති නැත. ඊළම ලබාදීම තවත් අරගල කිහිපයක ආරම්භයක් පමණි. එය විසඳුමක් නොවේ. එහෙයින් ආයූර්වේදයේ කියැවෙන පරිදි විසෙන් විස නසා රටට සාමය උදාකළ යුතු ය. මිනී මැරීම නතරකළ යුතු ය. දකුණේ මෙන් ම උතුරේ තරුණයන් ද ඝාතනය වීම නැවැත්විය හැක්කේ එමගිනි.

මේ වන විට ත්‍රස්තවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස සිය ගැටළු විසඳාගැනීමට අවස්ථාව සැලසී ඇත. ඔවුන්ට සිය ජනතාව නියෝජනයට අවස්ථාව සැලසී ඇත. අපේ හමුදාව ගෙන යන්නේ මිනී මැරීමට එරෙහි අරගලයකි. සිය ඊනියා අයිතිවාසිකම් දිනාගැනීමට අහිංසක සිංහල දෙමළ වැසියන් මරාදමන ත්‍රස්තවාදයට එරෙහි අරගලයකි. ශ්‍රී ලංකා ආණ්ඩුව 9 වතාවක් කොටියාගේ උගුලේ වැටිණි. ඔබ කියන්නේ නැවත වරක් නෝර්වේකාරයා ගෙන්වා ගෙන ලෝකේ වටේ සාම සවාරි යන්න ද? දවල් වැටුණු වළේ රෑ වැටෙන්න ද? එසේ නැතිනම් ඔබේ විසඳුම අපට පැහැදිළි කරදෙන්න. ඒ විසඳුම කුමක්දැයි අපි බලා සිටිමු.

Anonymous said...

බලන්න>> http://srilankandiasporablog.files.wordpress.com/2008/10/uyangoda.pdf

නාමල් උඩලමත්ත said...

අමිල,
සංහිඳට ගොඩ වුණාට පිං. ජයදේව උයන්ගොඩ රංජිත් පෙරේරා වික්ටර් අයිවන් ආදී මේ කඳවුරේ කිසිවෙක් හෝ ඔවුන්ගේ මතවාද මට නුහුරු නුපුරුදු නැත. අපේ ගමේ කිසිවෙකු නොගන්නා රාවය පත්තරේ ගෙනෙන්නට පාපැදියෙන් සැතපුම් 4-5 පැද ගිය කාලය එහි තිබූ විකල්ප මතවාදවලින් මා කුල්මත් වූ ආකාරය මට අමතක නැත. එකල මට උයන්ගොඩයන් මහා යෝධයෙකු විය. රාවය මගේ ගුරුතුමා විය. එහි මතය මගේ ද මතය විය. එහෙත් මා සේවය කරන්නේ කාට ද? මා නියෝජනය කරන්නේ කවුද? සැබවින් ම මා මව් බිමේ ප්‍රතිපක්ෂය නියෝජනය නොකරන්නේ ද? යන සිතිවිලි මා තුළ හොල්මන් කරන්නට විය. මා තුළ හටගත් දිගු චින්තනමය පොරබැදීමකින් පසු මට හිමි තැනට ආමී.
"හිමි නැති අඩවියෙන් මිදී
මා ආවෙමි හිස් දෑතින්
යළි අතහැර නොයන ලෙසට
උපතින් මා ලද මෙහෙවර"
(දයාසේන ගුණසිංහ)

ඔවුන්ගේ යල්පිනූ මාක්ස්වාදය හෝ ඊනියා ජාතිවාදය සුළු ජාතීන් ආදී බොහෝ දේ ගැන මට ඇත්තේ විවේචනාත්මක අදහස් ය. ඔහු පවසන බහු සංස්කෘතිය ද මා අද පිළිගන්නේ නැත. ඒ ගැන බලන්න-http://sanhindha.blogspot.com/2008/04/blog-post.html සහ http://sanhindha.blogspot.com/2008/04/blog-post.html යන ලිපි.

රටක් හමුදාවක් නඩත්තු කරන්නේ ඒ රටේ ජාතික ආරක්ෂාව පිණිස ය. ඊට එරෙහිව පැන නඟින කවරම හෝ අවස්ථාවක ක්‍රියා කිරීම ඔවුන්ගේ වඟකීමයි. කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින්න මේ රට සිංහලයාගේ යයි පැවසිය යුතු නැත. දකුණේ අප සමඟ 50% ට වැඩි දෙමළ බහුතරයක් ජීවත් වෙයි. මේ රට සිංහලයාගේ පමණකැයි සිතා හමුදාව දෙමළුන් සංහාරය කරයි නම් උතුර‍ට වඩා පහසුවෙන් දකුණේ සිටින දෙමළ අය මරා දැමිය හැකි නොවෙ ද? අපට ඇත්තේ ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් මිස දෙමළ ජනතාව සමග යුද්ධයක් නොවේ. නැගෙනහිර මෙන් නිදහසේ ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් උතුරේ ද බිහි කළ යුතු ය. එහෙත් සමහර පඬිවරුනට මේ ටික තේරුම් යන්නේ නැත. තේරුම් ගත්ත ද පුද්ගලිකව අවාසියක් මිස වාසියක් නොවේ. මේ රටේ සුළු ජාතීය සහ ජාතිය විසින් පාගාගෙන ඇතැයි ලියන විට විදෙස්වලින් ගලා එන ඩොලර් යෙන් යූරෝ එසේ නොවේ යයි කී විට නවතී. විදෙස් සංචාර නවති. ගරු නම්බු නවති.