2008-10-16

ආයුබෝවන්! අපි හලෝ කියන් නෑනේ

අහස අයාලේ පාවී යන පැහැදුල් වලා රංචුවලින් ද හාත්පස දීප්තිත් හිරු කිරණින් ද සජ්ජිත ඒ අපූරු උදෑසන අද මෙන් මට මතක ය. හරියට ම දිනය කියනවා නම් ඒ පහු ගිය ජුනි මස 02 වන බදාදා ය. මම මගේ කුළුපග මිතුරෙකු සමඟ කැලණි සරසවියට යාමට බොරැල්ලෙන් බසයක් ගතිමි. බසය ගමනාගමන මණ්ඩලයට අයත් එකකි. එහි ගුවන්විදිලිය City FM සේවයට සුසර කොට තිබීම සිතට සැනසිල්ලක් විය. ඒ වන විට විකාසය වෙමින් පැවතියේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයකි. වැඩසටහන මෙහෙයවූයේ ජයන්ත රෝහණ නම් ප්‍රතිභාසම්පන්න නිවේදකයා ය. ගේය රචකයා ය. වේලාව හරියට ම 10.10 විය. එවර ගීයක් ඉල්ලා දුරබනුව ඔස්සේ අසන්නියක් පැමිණියා ය.

නිවේදක:ආයුබෝවන්! ගීයක් අහන්න කවුද දැන් දුරකතන ඔස්සේ ඇවිත් ඉන්නේ?
අසන්නිය:හලෝ හලෝ මම ...
නිවේදක: අපි හලෝ කියන්නෑනේ. ආයුබෝවන්! එහෙම හොඳයි නේද?
ඒකනේ සිංහල සිරිත ...
අසන්නිය:ආයුබෝවන්! ආයුබෝවන්! එහෙම හොඳා.


මේ කුඩා සංවාදය මා උපුටා දැක්වූයේ ජනමාධ්‍යයට සමාජයකට කළ හැකි බලපෑම පෙන්වාදීමට ය. ජනමාධ්‍යයට සමාජයක් සුමඟට ගැනීමේ ක්‍රියාවලියේ පෙරගමන්කරුවා වීමට ඇති හැකියාව පෙන්වාදීමට ය. එහෙත් අපේ රටේ මාධ්‍ය සමාජය සුගතියෙන් දුගතියට දක්කාගෙන යනු මිස සිය සමාජ වඟකීම ඉටුකරන බවක් නොපෙනේ. කෙසේ වුව ද දැන් දැන් ඇතැම් මාධ්‍ය සිය හරසුන් මාධ්‍ය විගඩමෙන් ඔබ්බට යාමේ සුබ පෙරනිමිති ඇති බැව් කීමට ද මම මැළිනොවෙමි. මෙවන් ලිපියකට මා යොමු කළ ඒ අපූරු විනාඩි කිහිපය ඊට කදිම නිදසුනකි. දැන් අපි මෙකී සුපැතුම් මාදිලි ගැන යමක් විමසා බලමු.

Hello යනු ආචාර කිරීමේ සහ සුබ පැතීමේ වාගාලාපයක් ලෙස ඉංගිරිසියේ යෙදෙන, ජර්මන් බසින් හිලව්වට ගත් වදනෙකි. එහෙත් සිංහලයේ එය හුදු ශබ්දයක් විනා එවන් අරුතක් නොනඟයි.

පැරණි සිංහලයෝ සිය සංස්කෘතියට පරිසරයට උචිත සුපැතුම් විදිහක් නිර්මාණය කර ගත්හ. ඒ ආයුබෝවන් යන පැතුමයි. ඇමතුමයි. කිසිවෙක් මුණගැසුණු විට සුන්දර සිනාවකින් වත සරසාගන්නා සිංහලයාගේ මුවට “ආයුබෝවන්!” යන්න නිතැතින් ම නැඟිණි. එහි අරුත “ආයුෂ බොහෝ වේවා!” “දිගුකල් වැජඹේවා!” යන්න ය. මදක් සිතා බලන්න එය කෙතරම් වටිනා ආශිර්වාදයක් ද? කිසිවෙකු වෙනුවෙන් ඉන් ඔබ්බට අපට කළ හැකි ආශිර්වාදය කුමක් ද? දවසේ කොයි කවර වේලේ වුවත් මේ තනි වදනින් අපට ඕනෑ ම අයෙකු හා සංවාදයට මුලපිරිය හැකි ය. ඕනෑ ම අයෙකුට ආශිර්වාද කළ හැකි ය. දුරකතන සංවාදයකට මුලපිරීම සඳහා ද ආයුබෝවන් යන වදන තරම් උචිත වදනක් මට සිතාගත නොහැකි ය.

මෙවන් සොඳුරු වදනින් පෝෂිත සිංහලය මව් බස කොට උපන් අපි උදේ පටන් අනේක පැතුම් පතමු. සුබ උදෑසනක්! සුබ මධ්‍යහ්නයක්! සුබ සන්ධ්‍යාවක්! සුබ රාත්‍රියක්! ඉන් සමහරකි. සමසීතෝෂ්ණ දේශගුණයක් සහිත රටක වසන අපට මේ පැතුම කිසිවක් අර්ථාන්විත නැත. බටහිර රටවල මෙන් විශාල කාලගුණික විපර්යාස මෙරට නැත. එනම් ක්ෂණික හිම පතන, හිම කුණාටු, අයිස් වැසි අපට ආගන්තුක ය. එහෙයින් අපට හැම උදෑසනක් ම සුබ උදෑසනකි. හැම රාත්‍රියක් ම සුබ රාත්‍රියකි.

එහෙයින් අප තව දුරටත් මේ නිසරු වදන් නොදොඩා අපේ උරුමය වෙත යමු. අපට මුණගැසෙන අයට “ආයුබෝවන්” කියමු. දුරකතන සංවාදය “ආයුබෝවන්” කියා අරඹමු. දිවයින පුවත්පතට ලිපි පෙළක් ලියන මනෝවිද්‍යා උපදේශකවරියක එය හදුන්වා තිබුණේ විශිෂ්ට පෞරුෂයක ලක්ෂණයක් වශයෙනි. එහි ඇත්ත නැත්ත ඔබ මේ සද්සිරිතට අනුගතවීමට උත්සුක වූවොත් වැටහෙනු ඇත. අනෙක් අතට හැම අතින් ම ලෙහෙසිය පහසුව හොයන අද කාලේ දවස පුරා එක ම වදනකින් ආශීර්වාද කළ හැකිවීම සහ සංවාදයට මුල පිරීමට හැකිවීම ම කෙතරම් වටිනවා ද?

එහෙම කළොත් සුද්දොත් අපට සිනාසෙන 1505 පස්සේ අපට බෝ වුණු රෝගී තත්ත්වයක් දූරිභූත වෙනවා. එය ලේනාඩ් වුල්ෆ්ගේ වචනවලින් ම ලියාතබමි. ලේනාඩ් වුල්ෆ් යනු වර්ෂ 1904_1911 දක්වා සුදු ආණ්ඩුව යටතේ සේවය කළ සිවිල් සේවකයෙකි. සිංහල දෙමළ භාෂා උගත්තෙකි. ලංකා සමාජය පිළිබඳ ඇසූපිරූ දැනුමැත්තෙකි. ‘බැද්දෙගම’ හෙවත් ‘village in the jungle’ නමැති සුප්‍රකට නවකතාවේ කතුවරයා ය.

“දැං ලංකාවේ රාජකාරි භාෂාව සිංහලනේ. එංගලන්තෙන් ආපු මං වගේ කෙනෙක් සිංහලෙන් කතා කිරීම රාජ්‍ය භාෂාවට ගෞරවයක්. ... වැදගත්ම කාරණේ ඒක නෙමෙයි. ඉංග්‍රීසි උගත් සිංහලයෝ ලංකාවෙදිත් සිංහල කතා කරන්න කැමති නැති එකයි. මට එංගලන්තෙදි ලංකාවේ උගත්තු මුණගැහෙනවා. යාපනේ ද්‍රවිඩ උදවිය එංගලන්තෙදි මා එක්ක සිංහලෙන් කතා කරනවා. පුදුම තත්ත්වයක් නේද? ලංකාවේ සිංහලයෝ එංගලන්තෙදි මා මුණ ගැහුණාම ඉංග්‍රිසියෙන් තමයි සංවාද කරන්නේ.”
(විජේසිංහ බෙලිගල්ල -1995, ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක්,ගොඩගේ.)

මෙහිදී මා කීමට උත්සහ කළේ සිංහලයා ඉංගිරිසි කතා නොකළ යුතු බව නොවේ. ඉංගිරිසි දෙමළ පමණක් නොව හැකි තරම් භාෂා උගත යුතු ය. කතාකළ යුතු ය. එය අභිමාණයෙකි. එහෙත් අප සිංහලයින් බවත් අපට අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ මහරු සංස්කෘතියක් හර පද්ධතියක් ඇති බවත් අමතක නොකළ යුතු ය. ඒ උරුමය අපේ අනාගතයට දයාද කළ යුත්තේ ද අප මිස අන් කවරෙක් ද?

10 comments:

චන්දිම said...

ඉතාම අගනා සටහනක්.
මට සිහිවෙනවා පාසලේදි (රාජකීය විද්‍යාලය, කොළොඹ ) අපිට කුඩාකලදිම පුරුදු කල චාරිත්‍රයක්: ගුරුමවක්, ගුරුපියෙක් මුණගැසුණ විට දෑත් එක්කර "ආයුබෝවන්" කියා ආචාර කිරීම.
පාසලෙන් අස්වෙලා දැන් වසර 15ක්. තාමත් අපි පාරෙ තොටේදි මුණගැසුණම ගුරුදෙවියන් ට "ආයුබෝවන්" කියා නමදිනවා.

නාමල් උඩලමත්ත said...

චන්දිම,
ඔබේ ප්‍රතිචාරයට පිං. අපටත් ඔපට වගේ ම කුඩා වියේ පාසැලේදී ඒ සද්සිරිත ඉගැන්නුවා. ඒත් අපි ඒ දවස්වල වුණත් ගුරුවරුන්ට මිස වෙන අයට ආයුබෝවන් කීවේ නෑ. පාසැලෙන් පිටවුණා ම ඒක නැත්තට ම නැති වුණා. ඒකට හේතුව කුමක්ද කියා හිතාගන්න අමාරුයි. මම හිතන්නේ අපේ දේ අගය කරන්න අපට සමාජයෙන් අනුබලයක් ලැබුනේ නෑ. අපට සිරිසැප වුණේ පිට රට දේ. අපේ දේවල අගය අපට වඩා විදේශිකයින් දන්නවා. ඒවාට පිටුපාලා වල්මත්වුණු අප දැකලා ඒ අය හිනාවෙනවා. එහෙම නේද චන්දිම ලෙනාඩ් වුල්ෆ් මහතාගේ සටහන දැක්කම හිතෙන්නේ?

නිලන්ත පියසිරි said...

මා නම් ආයුබෝවන් යන්න නිතර භාවිත කරනවා. යාළුවෙක්, හිතවතෙක් මුණ ගැසුනහම ආයුබෝවන් යන්න නිතැතින්ම දැන් මට කියැවෙනවා. නමුත් හුඟක් අය හිතන්නේ මා එසේ කීවේ, අවඥාවට මෙන් කියායි. (ඒකටත් දැන් අළුත් වදනක් තියෙනවා නොවැ කින්ඩිය කියා). "ආයුබෝවන්" කී කල ඔවුන් "ආහ්, ආයුබෝවන් ආයුබෝවන්" කියා දෙපාරක් කියන්නේ, එහි යම් අඩුවක් ඇත්තාක් මෙන්.

නාමල් උඩලමත්ත said...

නිලන්ත අයියේ,
අහන්නත් සතුටුයි ආයුබෝවන් කියන අය ගැන. ඇත්ත මම දන්න අයත් කීප දෙනෙක් ඉන්නවා කොළඹ දැක්ක ගමන් ආයුබෝවන් කියන. ගමේ වයසක අය නම් තාම ආයුබෝවන් කියනවා.

අපි අපේ හොඳ දේවල් නැවත සමාජගත කළ යුතුයි. ඒ නිසා මම දුරකතනයට මුලපුරන්නේ ආයුබෝවන් කියලා. කාර්යාලයේ අයටත් ආයුබෝවන් කියනවා.

ඒත් මම කැමති නැහැ අපේ දේවලට හිනාවෙන ඒවා හෑල්ලු කරන කලු සුද්දන්ට ආයුබෝවන් කියන්න. එයාලට මම ඉතින් සුදු ජාතිකයෙක් දැක්කම ආචාර කරන විදිහට ආචාර කරනවා. මේ මුල් නැති ගස් එක සුළඟින් කඩා වැටෙනවා. ඒ ගැන අපි එතරම් තැකිය යුතු නෑ.

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

වටිනා සටහනක්. අපේ පාසලේ මිතුරන් බොහෝ දෙනෙක් උදෑසන හමු වුණාම දෑත් එක් කරල ආයුබෝවන් කියල තමයි සුබ පතන්නේ, හදිසියේ කවුරු හෝ ගුඩ් මෝනින් කිව්වත්, "ආයුබෝවන් සුබ උදෑසනක්" කියන්න අපට දැන් පුරුදු යි. ඒ වගේ ම පාසල හමාර වූ පසු දෑත් එක් කොට බුදු සරණයි හෝ තෙරුවන් සරණයි කියා හෝ කීමත් හුරු වූ දෙයක්. මා ආනන්දෙන්.

අමල් ඉෂාන්ත said...

ඒක හොඳ අදහසක් මාත් අද ඉඳලා එහෙම කථා කරනවා

නාමල් උඩලමත්ත said...

රජිත්,
බොහොම පිං ඔයාගේ අදහස්වලට. ආනන්ද විද්‍යාලය අපේ රටේ මුල් බෞද්ධ පාසැල්වලින් එකක්නේ. එදා වගේ ම අදත් හෙළ සිරිතට විරිතට සිය දරුවන් හුරුපුරුදු කරන ඒ විදුහල් මෑණියන්ට මගේ ආචාරය! රටේ හැම පාසැලකට ම ආනන්දය පූර්වාදර්ශයක් වේවායි පතමි!

අමල්,
සංහිඳට ගොඩවෙලා ඔබේ අදහස සනිටුහන් කළ ඔබටත් පිං! මගේ යෝජනාව සමඟ එකඟව එය අනුගමනය කරන්නත් අදිටන් කරගැනීම ගැන සතුටුයි. ඇත්තට ම ඒ මගේ යෝජනාවක් ද? අපේ සංස්කෘතියේ අක්මුල් අතරින් ගලා එන අඬහැරයක් ද?

අමල් ඉෂාන්ත said...

නාමල් ආයුබෝවන් කියන එකට ප්‍රතිචාර හොඳයි කවුරුත් එය විහිලුවකට ගත්තේ නම් නැ. චුට්ටක් පුරුදු වෙන්න වෙලා යනවා. අදහසට බොහොම ස්තුතියි

නාමල් උඩලමත්ත said...

අමල්,
හොඳයි හොඳයි. බොහොම අගෙයි. ඕන ම දෙයක් මුලදි එහෙමනේ. අනෙක හැමදාම Good morning! කියපු අයට එකවර ආයුබෝවන්! කීව ම ඒ අයටත් අමුතු චකිතයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් පහුවෙද්දි තව අය ඔයාට එකතු වේවි.

ලොව හැම විස්මිත නිමැවුමක් ම මුලදි කෙනෙකුගේ හිතේ සිතිවල්ලක් විතරයි. පස්සේ එයා අමාරුවෙන් ඒක ක්‍රියාවට නගනවා. එදා ඉඳන් ‍අවට ලෝකයෙන් අපට ලැබෙන්නේ බාධක, සරදම්, කෙනහිලිකම්, අධෛර්යමත් කිරීම්. ඒ සියල්ල බිඳගෙන ජයටැඹ කරා ගියාම ඒ ලෝකය ඒ අයට සුබපතනවා.

ආයේ කාංසියෙන් ඉන්න වේලාවක සංහිඳට අවිදින් යන්න එන්නකෝ.

අමල් ඉෂාන්ත said...

අනිවාර්යයෙන්ම, මම එනවා. සුභ පැතුම්.