2008-09-11

පලාත් සභා පරාජය

සබරගමුව සහ උතුරුමැද පලාත් සභා ඡන්ද සන්ධානයේ විශිෂ්ට ජයග්‍රහණයෙන් කෙළවර විය. සාමාන්‍යයෙන් මෙරට මහ මැතිවරණයක් පවත්වා කලකින් පවත්වන මැතිවරණයක දි පවතින රජයට ඇති කැමැත්ත අඩුවීම ස්වභාවයයි. ඒ පාලකයන් සුපුරුදු පරිදි ජනතාව ගොනාට ඇන්දවීම සහ තමන් මෙවරත් රැවටුණු බව ජනතාවට නොබෝ කලකින් ක්‍රමයෙන් පසක් වන බැවිනි. එහෙත් මෙවර ? දෙපලාතේ සියලු දිස්ත්‍රික් සංධානය ජයගත්තේ ය. 2004 සිය ගමන් සගයා වූ ජවිපෙ මෙවර සංධානය සමඟ සිටියේ ද නැත.

එහෙන් එකල (2004) මෙන් පාලනය නැවුම් ද නොවී ය. මෙහෙන් බඩු මිල ජීවන බර අහස උසට ගොස් ය. එහෙන් නැවත යුද්ධය ඇවිළ ගොස් ය. මෙහෙන් ලොව ලොකු ම ඇමති මණ්ඩලය ය. එහෙන් ඒවාට අතිවිශාල සාපරාධි වියදම් ය. මෙහෙන් වංචා දූෂණ ඉහවහා ගොස් ය. එහෙන් NGO ඔස්තාර්ලාගේ ජනමාධ්‍ය නිදහස සහ සිවිල් අයිතිවාසිකම් අ‍ඬෝවැඩියාව ය. මෙහෙන් වර්ජන තර්ජන ය. මෙසේ බලන කල විපක්ෂය මැතිවරණයට ගියේ සියලු ආයුධවලින් සන්නද්ධව ය. එහෙත් අසූවක් ව්‍යාධිවලින් ගහන ආණ්ඩුව මැතිවරණය ජය ලැබුවේ ය.

අනෙක් අතට එය දූෂිත මැතිවරණයක් ද නොවේ. එජාපය සිය දැවැන්ත පරාජය වසා ගැනීමට මැතිවරණය දූෂිත යයි පසුව කීව ද මැතිවරණ දින සවස පැවසුවේ එය සාධාරණ මැතිවරණයක් බව ය. එහෙයින් එය සංධානයේ ජයග්‍රහණයක් බව අකමැත්තෙන් වුව පිළිගත යුතුව ඇත.

මෙහිදි මතුවන ගැටළුව ජනතාව නව අනූවක් ව්‍යාධියෙන් ආතුර ආණ්ඩුව ගෙදර යැවීමේ මුල් වෙඩිමුරය නොතිබ්බේ ඇයි? 1993 දකුණු පලාතේ සිදුවූ දෙය මෙවර නොවූයේ ඇයි? කොටින් ම ජනතා කැමැත්ත ලැබුණේ මේ ආණ්ඩුවේ කුමන යහගුණයට ද? ඉතිරිව ඇති එකම පිළිතුර ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයටය යන්න ය. ඒ යුද්ධය අතීතයට සාපේක්ෂව වඩා අවංකභාවයකින් කරතැයි ජනතාව විශ්වාස කරති. ත්‍රස්තවාදය කෙළවර වූ කල සැමට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් බිහිවෙතැයි ඔවුහු උදක් ම කල්පනා කරති.

මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව කණ්ඩායම් 3ක් පැරදිණි. එජාපය සුපුරුදු පරිදි පරාජය විය. දැන් එහි අපූරු බවක් හෝ නුපුරුදු බවක් කිසිවෙකුට නැත. ජනතාව පැවරූ ඓතිහාසික කාර්යභාරය අමතක කළ ජවිපෙ නැවත 1980 දශකයට විසි විය. මේ සැමට වඩා දැවැන්ත පරාජයක් ලැබුවේ පලාත් සභා ය.

1977 ඒකාධිපති ව්‍යස්ථාවක් අටවාගත් ජේ. ආර්. ජනපතිතුමාගේ කනෙන් අල්ලා ඉන්දියාව බලෙන් අත්සන් කරවාගත් ඉන්දු ලංකා ගිවිසුම (1987) අනුව මෙරට පලාත් සභා ක්‍රමය ඇරඹිනි. ඒ 13 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ ය. එහි ඒකකය වූයේ පලාත ය. (පලාත් ලෙස රට බෙදන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි.) නව ක්‍රමය යටතේ මධ්‍යම ආණ්ඩුව යටතේ පැවති ඇතැම් බලතල පලාත් සභාවලට පැවරිණි. පලාතේ සංවර්ධනය බලපාන තීන්දු ගැනීමේ බලය එම පලාත් වාසීන්ට පැවරීම එක් අරමුණකි. ඒ මෙරට ඇතැයි පැවසු ඊනියා වාර්ගික අර්බූදයට පිළියම් වශයෙනි. විශේෂයෙන් ම එහි අරමුණ වූයේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට බලතල ලබාදීම ය. අද අප විමසිය යුත්තේ විසි වියැති පලාත් සභා ක්‍රමයෙන් අදාළ අරමුණු ඉටුවීද යන්න ය.

ආරම්භයේ සිට ම උතුරු නැගෙනහිර පලාත් සභා ක්‍රියාත්මක නොවිණි. ඒ අනුව පලාත් සභා ඇති කළ මුඛ්‍යය අරමුණ ඉටුවූයේ නැත. එක් අතකින් ද්‍රවිඩයෝ 50%කට වඩා උතුරු නැ‍ඟෙනහිරින් පිට ජීවත්වෙන අතර උතුරු නැ‍ඟෙනහිරට පලාත් සභා විසදුම අතීසාරයට අමුඩය ගැසීමකි. එහෙත් මෙහි ඇති උත්ප්‍රාසය අමුඩය ගැසුව ද අතීසාරයක් නැතිවීම ය. (එනම් වාර්ගික අර්බූදයක් මෙරට නැති වීම ය. වාර්ගික අර්බූදයක් ඇත්නම් 50%ක් ද්‍රවිඩයන් සෙසු පෙදෙස්වල සිංහලයන් සමඟ ජීවත්වන්නේ කෙසේ ද?)

මෙරට එක්සේසත් රාජ්‍යය බිහිකළේ පඬු අබා හෙවත් පණ්ඩුකාභය රජු ය. එහිදී රට වැසියා විධිමත් ලෙස පාලනයට හවුල් කරගත්තේ ය. එය ග්‍රාම රාජ්‍ය ක්‍රමය යි. එම එක්සේසත් රාජ්‍යය හැමතින් ම සමාන වන්නේ නූතන ඒකීය රාජ්‍යයට මිස ෆෙඩරල් රාජ්‍යයට නොවේ. අපට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෝ ය. එහි පහසුව පිණිස උපකාරක සේවා සැපයීම පිණිස ගම් සභා සුළු නගර සභා හා නගර සභ‍ා ඇති කළේ ය. අප කළ යුතුව තිබුණේ සාම්ප්‍රදායික ග්‍රාම රාජ්‍යය හා බොහෝ දුරට සැස‍ඳෙන නව ක්‍රමය විධිමත් කර පවත්වාගෙන යාම ය.
අවාසනාවට නොකළේ ද එයම ය.

1987 අප මත බලෙන් පැටවූ පලාත් සභා ඉන්දීය සන්ධිය මොඩලයේ අංගයකි. එය මෙරට පවතින ක්‍රමයට අනුගත වූයේ නැත. මෙරට මහ පොළව ඊට සරු පසක් වූයේ නැත. ඒ මෙරටට අවැසි පාලන ව්‍යුහය ඉතිහාසය භූ විෂමතාව සංස්කෘතිය විසින් තීන්දු කර අවසන් හෙයිනි.

බ්‍රිතාන්‍යය ඒකීය රාජ්‍යයකි. එය එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය එක් කොට ගොඩනැඟුවකි. ලංකාව මෙන් 6 ගුණයක් විශාල බ්‍රිතාන්‍යයට ඒකීය රාජ්‍ය ක්‍රමය හොඳ කල අපට නරක ඇයි? ලංකාව මෙන් 64 ගුණයක් විශාල ඉන්දිය මොඩලය අපට නොගැළපෙන බව අප අවබෝධ නොකර ගන්නේ ඇයි?

පාලකයෝ සහ ජනතාව ගන්නා තීරණ රටේ භෞතිකත්වය නම් අදිසි හස්තය විසින් පාලනය කෙරේ. එම භෞතිකත්වයේ ආධිපත්‍යයට ඇතමුන් සවිඥානිකව විරුද්ධ වුව ද අවිඥානිකව ඊට අනුතග වීමට සිදුවේ. කදිම නිදසුන මේ මැතිවරණයේ දී එජාපය සහ සංධානය හැසිරුණු ආකාරයයි. එජාපය මෙවර සිය මහ ඇමති අපේක්ෂකයින් පලාතට ආනයනය කළේ ය. පලාතේ ජනතාවට බලය දීමට බිහිකළ පලාත් සභාවට මහ ඇමති අපේක්ෂකයින් කොළඹින් හෝ ඕස්ටේලියාවෙන් හෝ පෘතුගාලයෙන් ආයාත කිරීම කෙතරම් උත්ප්‍රාසජනක ද?
සන්ධානය උතුරේ යුද්ධය සිය සුපිරි සටන් පාඨය කරගත්තේ ය. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා බිහි කරගත් පලාත් සභා ඡන්දයකට උතුරේ යුද්ධය සටන් පාඨයක් වීම විහිළුවක් නොවෙ ද? ඒ සටන් පාඨය පෙර නුවුවිරූ ජයක් ලැබීම අප අවබෝධ කරගන්නේ කෙසේ ද? එහෙත් එකී පක්ෂ දෙක ම පලාත් සභාවලට සවිඥානිකව පක්ෂ ය. ඔවුන්ගේ ක්‍රියාකලාපය විසින් ඔවුන් ඊට අවිඥානිකව විරුද්ධ බව සනාථ කර ඇත. එනම් මහ පොළවේ යථාර්ථයට ඔවුන්ට අනුගත වීමට සිදුව තිබේ.

මේ සියලු කරුණු කාරණා අපට පැහැදිළි කරන එක ම සත්‍යය පලාත් සභා ප්‍රාන්ත හෝ රට සභා කවර නමකින් හෝ බලය බෙදා හැරීම මෙරටට නොගැළපෙන බව ය. මෙරටට එක්සේසත් හෝ ඒකීය රාජ්‍යය ක්‍රමය තවදුරටත් වලංගු බව ය. සන්ධීය හෝ සහසන්ධීය ක්‍රම මෙරට පසට ඔරොත්තු නොදෙන බව ය. ජනතාව ඊට ප්‍රතිචාර නොදක්වන බව ය. එසේ හෙයින් පැවති පලාත් සභා මැතිවරණයෙන් දරුණුම පරාජය ලැබුවේ පලාත් සභා ය. සියලු ආකාරයේ බෙදුම්වාදීන් ය.

මේ රටේ ඇති ප්‍රශ්න ඇත. ඒ භාෂාව ආදි ප්‍රශ්න ය. ඊට විසඳුම බලය බෙදීම නොව පරිපාලනය විමධ්‍යගත කිරීම ය. එහිදි ඒ ඒ ප්‍රදේශවල ජනතාවට සිය බසින් කටයුතු කිරීමට අවස්ථාව සලසා දිය යුතු ය. උතුරු නැ‍ඟෙනහිර නිලධාරීන්ට දෙමළ භාෂා භාවිතයේ හැකියාව තිබිය යුතු ය. ඒ ප්‍රදේශවල සිංහලයන්ට සිංහලෙන් වැඩ කිරීමේ හැකියාව තිබීම වැදගත් ය. එපමණක් නොව දෙමළ සුළුතරයක් වන රටේ අනෙක් ප්‍රදේශවල ද සෑම රාජ්‍ය ආයතනයක ම දෙමළෙන් වැඩ කළ හැකි නිලධාරින් සිටීම වැදගත් ය.

ඒවාට අමතරව ඇති සම්පත් බෙදී නොයාම පිළිබඳ ගැටළුව කොළඹින් පරිධියේ සිටින සැමට පොදු ය. තිස්සමහාරාමේ රංකිරා මාමාට ද කිලිනොච්චියේ ධර්මරත්නම් මාමාට ද ඒ ප්‍රශ්න එක සේ බලපායි. ඒ අගනුවර කේන්ද්‍රීය සංවර්ධනයේ අතුරුඵල ය. ඊට විසදුම් ලබාදීම ද වැදගත් ය. (පලාත් සභා තිබුණ ද ඊට විසඳුමක් නොලැබෙන එහි පැවැත්මෙන් ම ඔප්පු වී හමාර ය.) එහෙත් බෙදුම්වාදියා හැම විට ම සසඳන්නේ කොළඹ සහ යාපනයයි. කොළඹ සහ කිලිනොච්චියයි. එවිට ද්‍රවිඩයන්ට අසාධාරණයක් වී ඇත. ඒ ඔලුවෙන් සිට බැලූ විට ලෝකය පෙනෙන හැටි ය.

මෙහිදී කීමට අවැසි මූලික කරුණ මෙරටට වැළඳී ඇත්තේ හිසේ ඇම්මකි. පලාත් සභා නැමැති අතීසාර අමුඩය ඊට විසඳුමක් නොවේ. එහෙත් සිය හතර වරිගයට රැකියා සැපයීම සඳහා ද තම පවුලේ අනුප්‍රාප්තිකයා අනුක්‍රමයෙන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට සඳහා ද මැති ඇමතිවරුනට මේ සුදු අලියා සුරබිදෙනක් බවට පත්ව ඇතැයි යමෙක් පැවසුහොත් මම ඔහු හා එකඟ වෙමි.




No comments: