2008-11-25

ආයු රක්ඛන්‍තු ආවඩා !

ඉතිහාසයේ පෙර නොවූ විරූ නායකත්වයක් ලද විරෝදාර රණ විරුවෝ සිහින ඊළම් රාජ්‍ය සුනුවිසුනු කර දමමින් ඉදිරියට ඇදෙති. දැන් ඔවුහු පිරපාහරන් සැඟව සිටින මී ගුල අසලට ම පැමිණ සිටිති. 30 වසරක් පමණ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයේ අනේක පීඩා විඳි මෙරට සිංහල දෙමළ මුස්ලිම් රට වැස්සෝ සාමය පිළිබඳ සොඳුරු සිහින දකිති.

තමන් උපන් බිමේ සමගියෙන් ජීවත් විය හැකි සුබ උදෑසන උදා වේවායි වේවායි! ඔවුහු සෑම රෑයක ම ප්‍රාර්ථනා කරති. ඒ සුබ උදෑසන සිහිනයක් නොවී යථාර්ථයක් කරනට වීර සෙබළ මුළු ඇස් ඉස් මස් ද අවසන ජීවිතය ද පූජා කරති. රට පුරා විහාරස්ථාන සහ ආගමික ස්ථානවල ඒ විරුවන්ට සෙත් පතා පුදපූජා පැවැත් වේ. මෙරට අති බහුතරයක් වැසියෝ මේ ව්‍යසනයෙන් මව් බිම ගලවා ගන්නට ඔවුනට ආශීර්වාද කරති. ඔවුන් නිසා නේක පිරිපත උසුලති.

ඊට සාපේක්ෂව ලොව හමුවේ කොටි ත්‍රස්තවාදයට පළඳා තිබූ විමුක්ති සළුපිළි එකිනෙක ලිහී වැටෙන්නට විය. ඒ සඳහා යුරෝපය පුරා ප්‍රදර්ශනය වන ත්‍රස්ත විරෝධි ඡායා රූප ප්‍රදර්ශනය මෙන් ම විදේශගත දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයින්ගේ සක්‍රීය දායකත්වය හේතු වූ බැව් පැවසිය යුතු ය. එමෙන් ම ඇතැමුන් දේශපාලන පත්වීම් යයි බෑගිරි තැලූ යුරෝපා සහ ඇමරිකා තානාපතිවරුන්ගේ මැදිහත්වීම ද අගය කළ යුතු ය. එහි ප්‍රතිඵලය ලෙස ත්‍රස්වාදයේ ම්ලේච්ඡත්වය හැබහින් දැකබලා ගැනීමට කොටින්ට අනුකම්පා කළ ඇතැම් විදේශිකයන්ට හැකි විය. ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා ජාලය අඩපන වීමට මේ තත්ත්වය හේතු සාධක විය.

මේ සමස්ත ක්‍රියාදාමය නිසා දිනෙන් දින ඊළම් රාජ්‍ය වැහැරි ගියේ ය. සෝදා පාළුවට ගියේ ය. උතුරු නැ‍ඟෙනහිර අවතැන් ජනතාවට නිවාස තනන්ට යයි කියා කොටින්ට බංකර් තනන්ට සිමෙන්ති යකඩ ඇද්ද එන්ජීඕ නඩය විපිලිසර විය. දුර්මුඛ විය. වසර ගණනාවක් මේ රට බෙදන්ට කැසකවන මේ ද්‍රෝහී රැළ වහාම එළවා දැමිය යුතුය යන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය හා අප ද එකඟ වන්නෙමු.

එහෙත් මට කීමට අවැසි අනෙක් කරුණකි. පිරපාහරන්ගේ ඊනියා මහවිරු දිනය හෙවත් උපන් දින සැමරුම දැන් කිට්ටු ය. වාර්ෂිකව සිය උපන් දිනය සීතල මළ කඳන් සහ රූරා හැලෙන උණු ලේ දහරා මැද සැමරීම ඔහුගේ ඒකායන පැතුමයි. ඔහුට සිසිල ගෙනෙන්නේ මිනිස් සුසුම් ය. පවස නිවන්නේ මිනිස් රුහිරු ය. එහෙයින් මිත්‍රවරුනි, ඔබ සැම පරිස්සම් විය යුතු ය. වෙනදාට වඩා විමසිලිමත් විය යුතු ය. මග තොට බසයේ දුම්රියේ පොදු ස්ථානයේ විමසිලිමත් වන ඔබේ දෑස් සුරකින්නේ ඔබ පමණක් නොවේ. සකල ලාංකීක ජාතියයි. වටපිට ගැන සෝදිසියෙන් සිටින ඔබේ දෑස් මුළු ජාතියට පෙනුම ලබාදෙයි. උතුරේ අවසන් ඉලක්කය හඹා යන වීරෝදාර හමුදාවන් වෙනුවෙන් අපට කළ හැකි මහරු මෙහෙවරකි මේ. ඔවුන් දකුණ නොසන්සුන් කරන්නේ යළි හමුදාව දකුණට ගෙන්වා ඊළම මුලිනුදුරා දැමීම වළකන්ට බැව් මතක තියා ගන්න. එහෙයින් සිය දහස්වාරයක් විමසිලිමත් වන්න.

මේ එළැඹ ඇත්තේ අන්තිම මොහොතයි. අන්තිම සටනයි. කොටියා කිලිනොච්චි බිත්තියට ම හේත්තු කොට ඇත. ඔබ විවෘත පිට්ටනියක සිටින බල්ලෙකුට පයින් ගැසුවහොත් ඌ ඈතට දිව යනු ඇත. එහෙත් මුල්ලක කොටු වූ බල්ලෙකුට පයින් ගසන කල ඌ සිය ගැලවීම පිණිස නොකරන දෙයක් නැත. එහෙයින් ඔබ අබිමුව ඇති අවදානම හදුනා ගෙන අවදානයෙන් සිටින්න.අත්‍යවශ්‍ය ගමන් බිමන්වලට සීමා වෙන්න. ජාතියේ ඉරණම තීන්දු කෙරෙන මේ මොහොතේ විමසිල්ලෙන් සිට ඔබේ ජාතික වඟකීම ඉටු කරන්න.

ගරු ජනපති අගමැති ඇතුලු මැති ඇමතිවරු මේ දිනවල සිය ගමන් බිමන් නවතා දැමිය යුතු ය. පුරන් කොටන්න වපුරන්න පාලම් විවෘත කරන්න රේස් තරඟ අරඹන්න පන්සල් ගානේ ඇවිදින්න කාලය නොවේ මේ. ජනතාව දැඩි අපහසුවට ලක් කරමින් පාරවල් වසාගෙන සතර අතින් රැකවලුන් සහිතව ඉගිලී යාම නවතා නවීන තාක්ෂණය භාවිතයෙන් සිය නිවසේ සිටම රාජකාරී කරනට උගත යුතු ය.මැති ඇමතිවරු මේ ජනප්‍රිය දේශපාලනයෙන් මිදී තම ජීවිතවලට ඇති අවදානම තේරුම් ගෙන ආරක්ෂක ක්‍රමෝපාය අනුගමනය කිරීම රට වෙනුවෙන් ඔවුන්ට කළ හැකි ලොකුම සේවයයි. එමගින් ඔවුන් සිය ජීවිත පමණක් නොව සාමාන්‍ය මහජනයාගේ ජීවිත ද කාලය ද ආරක්ෂා කළා වෙයි.

මව් බිමේ ඒකීයත්වය සඳහා සටන් වඳින අභීත රණවිරුවන් වෙනුවෙන් ඔබට කළ හැකි එක් මෙහෙවරකි මේ. ඔබට මට රණ බිමට යාමට හැකියාවක් නොමැත. එහෙයින් අපට කළ හැකි දේ අපි කරමු. රණ විරුවන් දිරිමත් කරමු. ඒ සඳහා කළ හැකි සියල්ල කරමු. ගමට එන සෙබළ සොයුරන් වීරයින් ලෙස පිළිගනිමු. මව් බිම ජය බිමට ඔසවා තබමු.

6 comments:

ape logic said...

අවදානමෙන් ඉන්න එක නම් මේ දවස් වල අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්.

Manoj said...

ඔව් නාමල් අපට රණ බිමට යාමට නොහැක . එහෙයින් අප රණ බිමේ සිටින අපගේ සොයුරන්ට සදා ණය ගැතිය.
අපේ රටේ සැබෑ වීරයන් ඔවින්ය.
ඔව්න්ගේ පිහිටෙන් දකුණේ ජීවත්වන සමහර මිනිස්සු රණවිරුවන්ට දොස් නගමින් පරිගණක ඉදිරියේ වීරයන් වෙන්නට දරණු ලබන උත්සාහය සුණකයන්ට මිසක් මිනිසුන්ට නම් නොගැලපෙන ක්‍රියාවකි.

නිලන්ත පියසිරි said...

ලිපිය කාලයට උචිතයි. තව ලියන්න. අපි ඉන්නවා කියවන්න.

නාමල් උඩලමත්ත said...

ඔබේ ප්‍රතිචාරවලට පිං. මේ තීරණාත්මක අවස්ථාවේ රට වෙනුවෙන් අපට කළ හැකි උපරිම සේ කරනට එක්වෙමු. ඒ සඳහා අන් අය ද ඒකරාශි කරගමු.

සු෴ said...

මේ සටහන අගෙයි.
මට ආරංචි විදිහට මේ වන විට අපේ හමුදාවන් කිළිනොච්චියට ඇතුළු වෙලා හමාරයි.. නමුත් තවම අදාල ආයතන එය තහවුරු කරන්නේ නැහැ. මට නම් එම ආරංචිය සතුටක් ගෙන දෙන්නේ මා යුද කාමියෙකු වීම නිසා නොවෙයි.. යුද්ධයක් ඉක්මණින් අවසන් වීම තුළින් අපේ සෙබළ තරුණ පරපුර අනාබාධිතව ඉතිරි වීමේ හැකියාව ඉන් ඉහළ වන නිසයි..

නාමල් උඩලමත්ත said...

සංහිඳට ගොඩ වුණාට පිං. ඔබ හිතන්නේ මේ සටහන ලියන මා යුදකාමියෙක් කියා ද? රටේ තරුණ පරපුර මරු තුරලට ගෙන යන අබ්බඝාතයින් බිහි කරන අම්මලා දරුවන් බිරින්දෑවරුන්ට සැමියන් දරුව්නට පියවරුන් අහිමි කරන යුද්ධයට කැමති කවුද? අපේ මව් බිම අමු සොහොනක් කරන යුද්ධයට කැමති වන්නේ කවුද?

මෙලොව උපදින නිරෝගී මනසක් ඇති කෙනෙකුට අසන්ට දකින්ට අත්විඳින්ට ලැබෙන භයානකම දෙය යුද්ධය යයි මම සිතමි. එහි කුරිරු බවේ සලකුණු රට හැම තැන විසිරී ඇත. එහෙයින් යුද්ධයට කැමති වු ඇත්තේ එක්කෝ හිට්ලර් පිරපාහරන් වන් මානසික රෝගියෙකි. නැතිනම් යුද්ධය බඩ රස්සාව කරගෙන ජීවත් වන එන්ජීඕ කාරයෙකි.

මේ ලොවෙන් තුරන් කළ යුතු දෙය කුමක්දැයි යමෙක් මගෙන් අසයි නම් මම එකහෙලා යුද්ධයයි කියමි. වෙඩි උණ්ඩයකින් පිපිරීමකින් මේ වාතලය පිපිරි සසල නොවූ එක් දිනක් අප හුස්ම ගෙන තිබේද? උපන්දා සිට මම යුද්ධයෙන් හෙම්බත් වී සිටිමි. එහෙයින් මම යුද්ධයට වෛර කරමි. උදේ හවා ශාප කරමි. අපට මෙලොව ඇති නිවන සාමය මිස අන් කුමක්ද?

එහෙත් අපට සාමය නමැති කෙම් බිම සොයා යුද්ධය නම් මරු කතර තරණය කරන්ට සිදුව ඇත. ඉතිහාසය පුරා එය එසේම ය. ඉතින් මේ දුෂ්කර යෝගය ලේ කඳුලු මැදින් පියමැන යන්ට සිදුව ඇත.

මේ යුද්ධය මගේ රටේ ඊළඟ පරම්පරාවට උරුම නොවනු දැකීම මගේ එකම අභිප්‍රායයි. ඒ නිසා කෙතෙක් නීරස තිත්ත කටුක කඨෝරවුවත් යුද්ධය නමැති කසාය වඩිය අද දවසේ අපට බීමට සිදුව ඇත. ඒ අන් කිසි දෙයක් නිසා නොව අපේ ඊළඟ පරම්පරාව නිදහසේ හුස්ම ගනු දකින්ට ඇති අහිංසක ආසාව නිසා ය.

මා යුදකාමියෙක්දැයි මගෙන් ඇසූ කල මෙසේ ලියැවිණි. එහි හරි වැරැද්ද අනාගතය තීන්දු කරනු ඇත.