Showing posts with label නාට්‍ය සටහන්. Show all posts
Showing posts with label නාට්‍ය සටහන්. Show all posts

2013-08-06

ආදර වස්තුව





අමරකීර්ති විසින් රාජිත දඬුකඳේ ගැසීම .... !!!

මං පෙරේදා රාජිත දිසානායකගේ ආදර වස්තුව බැලුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. ඒක මංගල දර්ශනය. මං රාජිත පසුගිය කාලේ කළ සියලු නාට්‍ය බැලුවා. ඒ කියන්නේ ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ ‘ආපසු හැරෙන්න බෑ’ සහ ‘බකමූණා වීදි බසී’ වගේ නාට්‍යය. රාජිතගේ පරම්පරාවේ ප්‍රතිභාසම්පන්නතම නාට්‍ය අධ්‍යක්ෂවරයා රාජිත බවට සැකයක් නැහැ. 

ඔහු හැම විට ම අප සමාජය සමඟ ගැටෙන විවිධ සංසිද්ධි ඉතාම අපූර්ව දෘෂ්ටියකින් පේක්ෂකයා හමුවේ තබයි. ඒවා නූතන සමාජ දේශපාලන වපසරිය සමඟ ඓන්ද්‍රීය ලෙස බැඳී තිබේ. නූතන දේශපාලනය සමඟ අප සියලු දෙනාගේ ජීවිත දැඩි ලෙස ගැටගැසී ඇත. දේශපාලකයා පමණක් නොව වෛද්‍යවරයා, නීතිඥයා, කථිකාචාර්යවරයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, ව්‍යාපාරිකයා පමණක් නොව හිඟන්නාගේ ජීවිත පවා දේශපාලනය සමඟ සම්බන්ධය. ඒ සබඳතාවල ඇති රැවටීම්, බොරුවළවල්, නිර්ධයභාවය ඔහු අප හමුවේ තබයි. 

එහෙත් ඔහුගේ මෑතකාලීන නිර්මාණවල යටින් හුයක් ලෙස දිවෙන්නේ ආණ්ඩු විරෝධයයි. මතුපිට කවර සිද්ධි රඟපෑව ද හරය ලෙස ගත් කල්හි එහි ඇත්තේ ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා ආකර්ශනයට පහර ගැසීමය. එය අපහාසයට ලක් කිරීමය. ආණ්ඩුව සමග කටයුතු කිරීම භයානක දෙයක් බව ඇඟවීමය. මීට වසර දෙකකට පමණ නිෂ්පාදනය වූ බකමූණා වීදි බසී නාට්‍යය නිදසුනකට ගනිමු. රාත්‍රියෙහි පාර කියාදුන් බකමූණා දහවල පාර කියාදීමට ද තෝරා ගැනීම යන්නෙහි අරුත යුද්ධයට නායකත්වය දුන් නායකයා නැවත පත්කර ගැනීම භයානක බවය. එය ව්‍යසනයකට මුල බව පෙන්වා දීමය. ඒ සමඟම ආණ්ඩුව සමඟ එක් වූ කලාකරුවන් විවිධ වරදාන ලබන ආකාරය ද ඉතා ළගන්නා ලෙස අප හමුවේ දිග හැරේ. එය දේශපාලන ප්‍රහසනයක් ලෙස එදා මම අගය කළෙමි. (බකමූණා වීදි බසි පිළිබඳ මා ලියූ ලිපිය බලන්න.) 

එහෙත් රාජිත දිසානායක මේ ජනප්‍රිය ආණ්ඩුව විරෝධය අද සිය එදා වේල කර ගෙන තිබේ. මේ නිසා ඔහුගේ නිර්මාණවල මහා ඒකාකාරී එක තැන පල්වෙන තත්ත්වවයට පෙරළෙමින් පවතින බව කිව යුතුය. ඒ විරෝධය හුදු ආණ්ඩු විරෝධයෙන් එහා ගිය ක්‍රම විරෝධයක් ද නොවේ. ඔහුට අවශ්‍ය කරන්නේ ජනතාව ලවා කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි තෝරා ගැනීමට ද? ඉන් එහා ගිය විකල්පයක් කෙරෙහි ජනතා විඥානය යොමු කරන බවක් අපට නම් නොපෙනේ. 

මෙවර ඔහුගේ නාට්‍යයට පසුබිම් වන්නේ පවතින ආණ්ඩුවට සහයෝගය පළ කර අමාත්‍ය උපදේශක තනතුරක් ද ලබන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ ජීවිතය ක්‍රමයෙන් උගුලකට හසුවන ආකාරය කියාපෑමය. ඒ සඳහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ. පැරණි ආදර සබඳතා, ශිෂ්‍ය අරගල ඔහු උගුලකට හසු කිරීමට මාන බලන දඩයක්කරුවන් වැන්න. ඔහු ඔහුටත් නොදැනීම ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණකරුවෙකු බවට පත්වෙයි. ඒ ඔහු සිය මිතුරාගේ ව්‍යාපෘතියකට සහාය පළ කිරීම නිසාය. එහෙත් ආණ්ඩුව පෙරළීම පිළිබඳ ඔහුට කිසිදු අදහසක් නොතිබිණි. සිය මිතුරා අර අදින්නේ ඒ සඳහා බව ඔහු දැන ගන්නේ අවසාන මොහොතේය. එවිට ඔහු ආපසු හැරිය නොහැකි තරම් දුරක් පැමිණි තිබේ. අවසානයේ ගිරයට හසු වුණු පුවක් ගෙඩියක් බවට පත් වන කථිකාචාර්යවරයා සිය මිතුරාගේ වෙඩි පහරින් මියෙන්නට පෙර මිතුරා නන්නාඳුනන්නෙකුගේ වෙඩි පහර 3න් නිහඬ කෙරේ. ඒ නාඳුනන තුවක්කුකරු පැමිණි කොහෙන්ද? ඔහුගේ ඉලක්කය වූයේ කවුද? කථිකාචාර්යවරයා යැයි වැරදීමකින් ඔහුට වෙඩි තැබුවේද? යනාදි ප්‍රශ්න රාශියක් පේක්ෂකයාට ඉතිරි කර නාට්‍යය කෙළවර වේ. මේ වූ කලී විශිෂ්ට නාට්‍යයක් බවට කිසිදු සැකයක් නැත. අප ඇදබැඳ තබා ගන්නා නාට්‍යමය ගුණය ඒ තුළ පිරී පවතී.

එහෙත් මේ නාට්‍යය තුළින් අප වෙත රැගෙන එන පණිවිඩය කුමක් ද? ඒ අනෙකක් නොව ආණ්ඩුවට සහයවීම ඔබ සියතින්ම ඔබේ ගෙළට තොණ්ඩුව දා ගැනීමකි යන්නය. බුද්ධිමතුන්ගේ දායකත්වය නිසි ලෙස නොලැබීම නිසා නොවෙද නුතන දේශපාලන ක්ෂේත්‍රය පිරිහි ඇත්තේ? පකිස්ථානයේ පාර්ලිමේන්තුවට යාමට උපාධියක් අවශ්‍යය කරන පසුබිමක අපේ පාර්ලිමේන්තුව නූගතුන්ගේ රජදහනක් වූයේ ඇයි? (උපාධි ලබා ගත් පමණින් කිසිවෙකු බුද්ධිමතෙකු නොවන බව ඇත්තකි.) අද අප මේ පිළිබඳ සිතා බැලිය යුතුය. මේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ හැක්කේ කෙසේද? රාජිතගේ දේශපාලන ප්‍රහසන හරහා ඒ සඳහා එළියක් ලබා නොදෙයි. අනෙක් අතට විවිධ NGO කල්ලිවලට බැඳී රටට එරෙහිව ක්‍රියා කරන බුද්ධිමත් වෘත්තිකයින් ඔහුට විෂය නොවන්නේ ඇයි? ඔවුන් කරමින් සිටින දේ නිවැරදිද? ආණ්ඩුවේ දුර්වලතා විවේචනය කිරීමට විපක්ෂයක් නැති සමයක එය කලාකරුවා හෝ කළ යුතු බවට කවර සැකයක් ද? එය ජනප්‍රියවාදී විවේචනයෙන් එහා ගිය විය එකක් විය යුතුය. අප පවතින දේශපාලන ගොහොරුවෙන් ඔසවා තබන එළියක් එහි තිබිය යුතුය. එය කළ හැක්කේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නූතන දේශපාලන ක්‍රමය තුළ ඇති ජරාජීර්ණ බව කොන්දේසී විරහිතව විවේචනයට ලක් කිරීමෙනි. එසේ නැතිව තමා ද ඇතුලු සිය ගජ මිතුරු කල්ලියේ දේශපාලන ව්‍යාපෘතිවලට සරිලන විවේචනයකින් පොදු පේක්ෂක පලක් නැත. එවන් නිර්මාණ ව්‍යාපෘතිය කෙළවර වත්ම අභාවයට යනු ඇත.


මා රාජිතගේ ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩු විරෝධයෙන් එහා ගිය දැක්මකි. මා නිවැරදි නම් රාජිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක එනම් SLBCහි නිලධාරියෙකි. රජයේ තනතුරක් ද දරමින් ඔහුට මෙවැනි නිර්මාණ කිරීමට ඇති හැකියාව පිළිබඳ, රටේ ‍ නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය නැතැයි කෑගසන කල්ලි කියන්නේ කුමක්ද? මා සිතන විදිහට රාජිත දැන් එක්තරා කල්ලියක් විසින් දඩකඳේ ගසා තිබේ. ඔවුන්ගේ විචාරවලින් අන්ධ වී සිටින රාජිත දැන් හැම විටම මේ ඊනියා විචාරක පිශාචයින්ගේ මනදොළ සපුරන දොළ පිදේනි සිය නිර්මාණවලට එබීම පුරුද්දක් කරගෙන තිබේ. ඔහුට අවශ්‍ය මේ කල්ලියේ සම්මානයට බහුමානයට පාත්‍ර වීමය. එහෙත් රාජිත තුළ සිටින නිර්මාණකරුවා තවමත් ප්‍රතිභාසම්පන්නය. එහෙයින් ඔහු වහා අවදි වී තමන් කොටුවී සිටින බව අවබෝධ කරගත යුතුය. සිය දෙකේ පන්තියේ ආණ්ඩු විරෝධය සහ සිංහල බෞද්ධ විරෝධය නිර්මාණයක දුටු වහා රජතුමාගේ සීතාම්බර සළුව වර්ණා කරන එවුන් සේ ඒ නිර්මාණයේ නැති ගුණ වයා නිර්මාණකරුවා වළ පල්ලට ඇද දමන ලියනගේ අමරකීර්ති එන ඉරිදා රාවයට ආදර වස්තුව ගැන ආතල් කතාවක් ලිවීමට ඉඩකඩ තිබේ. ඒ සිතාම්බර සළු වැනුමට තව දුරටත් හසු වුවහොත් රාජිතට සිදුවන්නේ සැමදාම මේ නිරුවත් රංගනයෙහි නිරත වීමටය.

2012-06-15

“රහස් උදවිය“ ඇත්තට ම නාට්‍යයක් ද?




13 වැනිදා හවස කඩින් කඩ වැහි වැටෙද්දී කඩිමුඩියේ විශ්වවිද්‍යාලයේ සිට ලයනල් වෙන්ට් රඟහල ඇවිද ගියේ පියල් කාරියවසම්ගේ රහස් උදවිය නාට්‍යය බලනු පිණිස ය. අප එහි යන විටත් සැලකිය යුතු පිරිසක් එහි අසුන් ගෙන සිටි අතර මමත් මගේ මිතුරාත් බැල්කනියේ හිස්ව තිබූ අසුන් දෙකකට අපේ බර පැවරූයේ දෙහෝරාවක් පමණ නාට්‍ය සමග දැහැන්ගත වන්නට ය.

රහස් උදවිය නාට්‍යය පිළිබඳ මට මෙසේ ලිවිය හැකි ය. “ඒ වූ කලී මෑත ඉතිහාසයේ මා දුටු අති විශිෂ්ට නාට්‍යයි. පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ තත්කාලීන සමාජ දේශපාලන යථාර්ථය විනිවිද එහි අඳුරු පැතිකඩ නිර්දය ලෙස නිරුවත් කොට පේක්ෂක දෑස් අබිමුව තබා ඔවුන්ගේ බුද්ධි මණ්ඩල අවධි කොට පේක්ෂකයින් ස්වයං ආත්ම විවේචනයකට යොමු කරන රහස් උදවිය වූ කලී නිෂ්පාදකයා පෙර අපර දෙදිග නාට්‍යය, සාහිත්‍යය, දර්ශනය, දේශපාලනය අතැඹුලක් සේ පිළිසිඳ දැන සිය මහාර්ඝ කලා කෞෂල්‍යයෙන් රිදි හුයක් සේ එකට ගෙත්තම් කරන ලද නාට්‍යමිණකි. නූතන මධ්‍යම පාන්තික චරිත හතරක් සමග ආත්මගත වු අප රඟහලෙන් එළියට පැමිණියේ හෝරා දෙකකට අඩු කාලයක් තුළ කතුවරයා අප හමුවේ දිග හැරි ජීවන ප්‍රවෘත්තීන්හි අපූර්වත්වයෙන් තිගැස්මට පත් හදවතින් අප අවට සමාජ දේහය අරක් ගෙන දිනෙන් දින භයානක ලෙස ඔඩු දුවන භයංකර සමාජ අවගමනයක පෙර නිමිති දකින්නට නව ඇස් ලබමිනි.“ මේ වාසගම කියවූ ඔබ මම අතිවිශිෂ්ට විචාරකයෙකු යැයි ද උසස් නාට්‍ය රසිකයෙකු යැයි ද සිතනු ඇත. ඔබ රහස් උදවිය නාට්‍ය නැරඹුවෙකු නම් ඇතැම් විට ඔබට නොවැටහුනු මේ මහා දර්ශනය අවබෝධ කරගත් මා නාට්‍ය නිෂ්පාදකයාට නොදෙවෙනි ප්‍රතිභාවක් ඇති ප්‍රාඥයෙකු යැයි සිතනු ඇත. එහෙත් මට නම් සිතෙන්නේ දැන් මේ නාට්‍ය ගැන විචාර යැයි ලියැවෙන මනස්ගාත සීතාම්බර සළු විචාර බවය.

දැන් මම ඔබට පුංචි කතන්දරයක් කියන්නම්. වරක් රජතුමාට ලොකේ වටිනාම සළුව ඇඳීමේ ආශාවක් පහළ වී අන්දරේට ඒ බව දැන්වීය. රජතුමාට එම සළුව වියා අන්දවා රජ පුරා සංචාරය කරවමින් ජනතාවට එහි මහේශාක්‍ය ලීලාව ප්‍රදර්ශනය කරවනු පිණිස මහා උත්සය මංගල්‍යයක් ද සංවිධානය කිරීමට අන්දරේ පොරොන්දු විය. ඒ අනුව නියමිත දිනය කෙමෙන් ළං විය. රජ වාසල අඬබෙරකරුවෝ මෙසේ මුළු රට පුරා අඬබෙර ගසමින් ඇවිද්දෝ ය. “නෛක ශ්‍රීයෙන් විරාජමාන වූ මුළු සිංහල ධරණීතලය පුරා සිය බලය පතුරුවා සිටින්නා වූ අප මහා රජෝත්තමයාණන් වහන්සේ හෙට දින සිට පුරා සත් දිනක් සීතාම්බර සළුව නම් කහවණු කෝටි ගණනක් වටිනා සළුව හැඳ මහ ජනතාව වන තොපගේ දුක සැප විචාරනු පිණිස වීථි සංචාරය කරනු ඇත. තව ද ඒ මහාර්ඝ සළුව දැකිය හැක්කේ ප්‍රාඥාවන්තයින්ට පමණක් බව ද මෝඩයින්ට එම සළුව දැකීමේ භාග්‍යයක් නොමැති බව ද තරයේ මතක තබා ගනිවු!“ සමස්ත රටේ ම ජනතාව රජු වීථි සංචාරය කරන මග දෙපසට රොක් විය. නැකැත් වේලාවට සීතාම්බර සළුවෙන් සැරසී සිරි යහන් ගැබෙන් එළියට සැපැත් වන රජතුමා පිළිගැනීමට ඇමති මණ්ඩලය රැස්විය. ඔටුන්න පැළඳ ඇඟේ නූල් පොටක් නැතිව රජතුමා මහත් තේජසින් ඇමති මණ්ඩලය ඉදිරියට පිය මනින්නට විය. රජු නිරුවතින් සිටින බව සියලු දෙනා දුටුව ද ඒ බව රජතුමාට තබා තමා අසල සිටි අනෙක් ඇමතිවරුන්ට පවාදැන්වීමට කිසිවෙකු ඉදිරිපත් නොවිණි. එසේ කළේ නම් තමන් මෝඩයෙකු බව රටට ම හෙළි වනු ඇතැයි සිතූ ඇමතිවරු රජතුමාගේ සළුවේ ගුණ ගයන්ට වන්හ. ජනතාව ද එසේ ම කළ හ. මුළු රට පුරා මෙසේ නිරුවතින් ඇවිදින රජතුමා දුටු කුඩා කොලුවෙක් රජතුමාට තමා දුටු ඇත්ත කීවේ ය. “අපේ රජතුමා අමු හෙළුවෙන් ඇයි මේ වීථි සංචාරය කරන්නේ?“ කොලුවාගේ ප්‍රකාශයෙන් රජතුමාට ඇස් ලැබිණි. අන්දරේ තමා පමණක් නොව තම ඇමති මණ්ඩලය ද මුළු රට ද රවටා ඇති බව රජතුමාට අවබෝධ විය. එහෙත් රහස් උදවිය සහ මේ කතාව අතර ඇති සම්බන්ධය කුමක් දැයි දැන් ඔබ සිතනු ඇත.

කලබල නොවන්න. රජතුමා අබියස සිය ප්‍රාඥා මහිමය ප්‍රදර්ශනය කිරීමේ ඇමති මණ්ඩලයේ සහ මහ ජනතාවගේ ආශාව මට නැති හෙයින් කොලුවාගේ චරිතයට පණ පෙවීමට මට සිදුව තිබේ. පියල් කාරිවසම් රහස් උදවිය නමින් කළ නාට්‍යයේ නාට්‍යය හැර අන් සියල්ල ම තිබිණි යැයි කිව යුතු ය. එහි අපූරු වේදිකා සැරසිලි, දෙබස්, නළු නිළියන්, සංගීතය, නේක පෑ අලෝකය තිබිණි. පියල් කාරියවසම් පෙර අපර දිග සාහිත්‍යය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, දාර්ශනික සිද්ධාන්ත කියවා ඇති බව ද ඔහු මහා දාර්ශනිකයෙකු බව ද සක්සුදක් සේ පැහැදිලි ය. එහෙත් නාට්‍යයක් නම් නොතිබිණි. වේදිකාවේ තිරය ඇරෙන්නේ මවක සහ දියණියන් දෙදෙනෙකු වාඩි වී සිටින නිවෙසක සාලයක පසුබිමක ය. ඔවුන් අතර දිග හැරෙන කතාබහ ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ අතර එසේ නැත්නම් කාල් මාක්ස් සහ බුදුන් වහන්සේ අතර සිදුවන සංවාදයක් තරමට දාර්ශනික ය. මානසික රෝගීන් කිහිපදෙනෙකු අතර සිදුවන සංවාදයක් තරමට කන්දොස්කිරියාවකි. විකාරයකි. නාට්‍ය පේක්ෂකයා රඟහලට යන්නේ නාට්‍ය රස විඳින්නට මිසක් කතුවරයාගේ ඔලුවේ ගොඩ ගැසී ඇති එක එක දාර්ශනිකයාගේ කුණු කන්දල් නළුවන් ලවා වේදිකාවේ වමාරවනු දකින්නට නොවේ. එහෙත් එම ඛේචවාචකයට ඊයේ රාත්‍රී දෙවන වරටත් මට ගොදුරු වන්ට සිදුවිය. මීට පෙර ඒ අත්දැකීමට මුහුණ දුන්නේ උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ මංගල දර්ශනය බැලීමට ගොස් ය. විමල් වීරවංශගේ කතා ඇසීමට මම සුදානම් වී නොගියෙමි. ඔවුන් පවසා තිබුණේ නාට්‍යයක් පෙන්වන බව මිස විමල්ගේ කතා ශෛලිය රඟගත කරන බවක් නොවේ.

කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙළවර විය යුතු යැයි කියමනක් තිබේ. එහෙත් අපේ රටේ සමස්ත නාට්‍ය කලාව වෙලා ගෙන දැන් දැන් මතුව එන්නේ අසීමාන්තික අන්තවාදී ස්වරූපයකි. එකෙක් ගැබ්බර මිනිසා වැනි දෙලොවට ම නැති විකාර, නාට්‍යය යැයි වේදිකාව උඩ දිග හරින අතර එකෙක් ඌ කියවූ සියලු සාහිත්‍ය, දාර්ශනික කෘතිවල ඇතුළත් මතවාද කිසිදු නිර්මාණාත්මක ප්‍රතිනිෂ්පාදනයකින් තොරව ගෙඩි පිටින් වේදිකා උඩ අත හරී. කලාවෙන් ලැබිය යුතු ආනන්දය එහි නොමැත. කලාවෙන් වහනය විය යුතු දර්ශනය සමස්ත නාට්‍යය බවට පත්ව තිබේ. නාට්‍ය නරඹා රඟහලෙන් පිටවූ පේක්ෂක හදෙහි හටගත යුතු අනුභූතීන් ගෙඩි පිටින් නළුවන්ගේ මුවින් වමෑරවීම අද නාට්‍ය බවට පත්ව තිබේ. මට දාර්ශනික සිද්ධාන්ත කෘතියක් කියවීම අවශ්‍ය නම් එය කළ හැකි ය. තව එකෙක් ඒ පොත් කියවා ඒවායේ ඇති අදහස් අමු අමුවේ පිස්සුවෙන් මෙන් දොඩවන නළු නිළියන් දකින්ට රඟහලට යා යුතු නැත. එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, රාජිත දිසානායක වැනි නාට්‍යකරුවෝ විවිධ පොතපත කියවූහ. කියවා ඒවා ජීර්ණය කර ගත්හ. ඔවුන්ගේ කලාකෘතිවලින් එකී දාර්ශනික සුවඳ වහනය වනු පමණි. ඉන් ඔවුන්ගේ ජීවන දෘෂ්ටිය තියුණු වූවා පමණි. එම ඇසූ පිරූ තැන් ඇති බව සැබෑ කලාකරුවා නිර්මාණකරණයෙහි යෙදෙන කල්හි අවිඥානිකව කලාකෘතියේ දෘෂ්ටිය එකාලෝක කිරීමට ඉවහල් වේ. එහෙත් අද මේ දාර්ශනික ඔල්මාද විකාර දොඩවන නාට්‍යකරුවෝ පේක්ෂකයා රඟහලෙන් පන්නා දැමීම සඳහා දැඩි සේ උත්සාහ ගන්නා බවකි මට පෙනෙන්නේ. එම කලාකෘති ආනන්දයෙන් ඇරඹී මරදානේ කෙළවර වන බවකි පෙනෙන්නේ.

20 වන සියවසේ මුල දකුණු ලක ධනවාදය කෙමෙන් හිස ඔසවත් ම ග්‍රාමීය ප්‍රභූ පන්තිය ඇද වැටී නව වෙළඳ පැලැන්තියේ නැගීම පිළිඹිබු කරනු වස් මාර්ටින් වික්‍රමසිංහ සිංහලෙන් මාක්ස්වාදී කෘති ලීවේ නැත. කාල් මාක්ස්ගේ අදහස් වමාරන්නට ගියේ නැත. ඔහුගේ අරමුණ වුයේ කලා කෘතියක්-සාහිත්‍ය කෘතියක් සම්පාදනය කිරීම හෙයින් ඔහු ගම්පෙරළිය නම් විශිෂ්ට නව කතාව ලිවේ ය. මාක්ස්වාදය, ධනවාදය, කාල් මාක්ස් පිළිබඳ මෙලෝ හසරක් නොදත් අයෙකුට වුව ගම්පෙරළිය රසවිඳිය හැකි ය. දේශපාලන සිද්ධාන්ත පිළිබඳ දැනුමැති අයට මාක්ස්ගේ සිද්ධාන්ත විග්‍රහ කරමින් ගම්පෙරළිය විග්‍රහ කළ හැකි ය. සැබෑ කලාව එයයි. සංස්කෘත, පාලි, ඉංග්‍රීසි, සිංහල ආදී භාෂා ගණනාවක් දැන සිටි පෙර අපර දෙදිගි සෞන්දර්ය සිද්ධාත්න ධාර්ශනික සිද්ධාන්ත, බුදු දහම, ඉතිහාසය පිළිබඳ හසළ දැනුමැති මහාචාර්ය සරච්චන්ද්‍ර සිය නාට්‍යවල එම දාර්ශනික සිද්ධාන්ත විජ්ජාපාන්නට ගියේ නැත. එහෙත් ඔහුගේ නිර්මාණවලින් වහනය වන ගැඹුරු ජීවන දර්ශනික සංකල්ප ඉන් අනතුරුව පරම්පරා ගණනකගේ ජීවන දැක්ම සකසන්නට හේතු වි තිබේ.

එහෙයින් යමෙක් නාට්‍යයක් කරයි එය පළමුව කලා කෘතියක් විය යුතු ය. ඒ කලාකෘතියක් ලෙස පේක්ෂකයින්ට රිසි සේ විඳගන්නට අවස්ථාව තිබිය යුතුය. නිෂ්පාදකයාට යම් කිසි දර්ශනයක් ඒ ඔස්සේ ගෙන හැර පෑමට අවැසි නම් ඒ සඳහා ඉතා ම සූක්ෂම ක්‍රමවේද භාවිත කළ යුතු ය. එය කිසිසේත් රසවින්දනයට බාධාවක් නොවිය යුතු ය. කලාවේ රස වින්දනය හැම විටම ප්‍රමුඛ වේ. ජීවන දැක්ම හෝ දර්ශනය වනාහි ඉන් ධ්වනිත වන්නකි. වෙනත් ලෙසකින් කිවහොත් සුන්දර මලක් නාට්‍යය නම් දර්ශනය එහි සුවඳයි. පේක්ෂකයා විඳින්නේ මලේ ලස්සනය. ඒ අතර සුවඳ ද ඔහු විඳියි. එහෙත් එසේ වූ පමණින් මල ඉවත් කොට සුවඳ කුප්පියක් තැබූ කල පේක්ෂකයා තව දුරටත් එහි රැඳේ ද? පියල් කාරියවසම් පමණක් නොව උදයසිරි වික්‍රමරත්න ද නාට්‍ය ඔස්සේ සිය පණිවිඩය පේක්ෂකයා වෙත ගෙන යාමේ මං සොයාගත යුතු ය. සුද්දෙක් ඔබ අමතයි නාට්‍ය ජනප්‍රිය වී ඇත්තේත් දර්ශනවාර බොහෝ ගණනක් ප්‍රදර්ශනය වන්නේත් එහි අමු අමුවේ එළියට දමන දේශපාලන දෘෂ්ටියට රසිකයා ගිනි කන වැටීම හැර අන් කිසිවක් නොවේ. නාට්‍යමය සිද්ධි දාමයක් ඔස්සේ ධ්වනිත කළ යුතු දේශපාලන දර්ශනය නළුවන් මුවින් වමාරවනු මිස එහි නාට්‍යයක් නොමැත. රහස් උදවිය නාට්‍ය පසුපස සිටින්නේ ද එහි දේශපාලන දෘෂ්ටියට පෙම් බඳින අය මිස නාට්‍ය රසිකයෝ නොවෙති. ඔළුව විකාර කරන මේ මනස්ගාත රජතුමාගේ සීතාම්බර සළුව මෙන් වර්ණනා කරන්නට, ඒවාට සම්මාන පිට සම්මාන දෙන්නට මහා ප්‍රාඥයින් රොක්වනු ඇත. එහෙත් මේ මනස්ගාත කාලයේ වැලිතලාවෙන් වැසීයාම වළක්වන්නට කිසිසේත් නො හැකි වනු ඇත. සිංහල නාට්‍ය වේදිකාව අන්තවාදී දාර්ශනික බකමුණාන් විසින් මහ දවාලේ දක්කා ගෙන යන්නේ ප්‍රපාතයට බව අවසාන වශයෙන් ලියා තබමි. 





2012-03-10

ජනේලයෙන් පනින්න ද















නොබෝදා ලයනල් වෙන්ට් රඟහලේ ජනේලයෙන් පනින්නද නමින් නාට්‍යයක් ප්‍රදර්ශනය විය. ධනුෂිකා නයන කුමාරි නම් ආධුනික නිර්මාණකාරියක විසින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය සරසවි ජීවිතය හා බැඳුනකි. සරසවි ජීවිතය හුරුපුරුදු අපට පමණක් නොව සියලු පේක්ෂක ජනතාවට එක සේ රස විඳිය හැකි නාට්‍යයකි එය.

සරසවි ජීවිතය හා බැඳි ප්‍රේමය දේශපාලනය මතින් ගලා යන නාට්‍ය සරසවිය හා බැඳි බෝඩිම් ජීවිතය ද වේදිකාවට ගෙන එයි. හෝරා දෙකකින් පමණ සමස්ත සරසවි ජීවිතයේ එක්තරා පැතිකඩක් වේදිකාගත කරනට දරණ වෑයම පේක්ෂකයින්ට වෙහෙසකර නොවන්නේ එය සෝපාහාසයෙන් පිරී ඇති හෙයිනි. නාට්‍ය ආරම්භයේ පේක්ෂකයා අබිමුව මවාපාන කාන්තා බෝඩිම සමස්ත නාට්‍ය පුරා පේක්ෂක අවධානය රඳවා තබා ගැනීමට සමත් වෙයි.

සරසවියේ නිරර්ථක දේශපාලනය මැනවින් පේක්ෂකයා අබිමුව නිරුවත් කරන මේ නාට්‍ය සරසවි සිසුන් එක් එක් පක්ෂවල රූකඩ නොවන පක්ෂ දේශපාලනයෙන් එහා ගිය දේශපාලන භාවිතයක් වෙත යාමේ අවශ්‍යතාව ධ්වනිත කරයි. එම දේශපාලන ක්‍රමය තුළ සිටින නායකයින් සෙස්සන්ගේ කර මතින් සිය ඉලක්ක වෙත යනු පමණි.

පරිභෝජනවාදි සමාජ ක්‍රමය විසින් ඔද්දල් කරන ලද සමාජයක ප්‍රේමය තිබිය හැකි ද? විවිධ බන්ධනවලින් වෙන් කර කොටු කර ඇති ලෝකයක ප්‍රේමය ද තවත් එක් අලෙවි වන භාණ්ඩයක් පමණි. වඩා වැඩි මිලකට සිය ප්‍රේමය අලෙවි කර ගැනීම අරමුණයි. එහි හෙට්ටු කිරීම් ලංසු තැබීම් තිබේ. එකක් හොඳ නැති කල අනෙකක් සොයා ගත යුතු ය.

මෙනයින් බලන කල ජනේලයෙන් පනින්න ද නාට්‍ය සඳහා සරසවි ජීවිතය පදනම් කර ගත්ත ද ඉන් අද අප ජීවත් වන සමස්ත සමාජ ‍දේහය ම එක්තරා දෘෂ්ටි කෝණයකින් අවලෝකණය කරන්නේ යැයි කිව හැකි ය.

එහි නළු නිළියන් සිය උපරිම දායකත්වය නාට්‍ය වෙනුවෙන් සපයන බව කීම ප්‍රමාණවත් ය. උපහාසයෙන් අනූන මේ නාට්‍ය පුරා සැබවින් ම අප සිනාසෙන්නේ අප තුළ ම ඇති දුර්වලතාවලට යැයි සිතෙන්නේ යළි ඒ ගැන සිතන විටය.

2011 ජාතික නාට්‍ය උළෙලේ සම්මාන 6න් පිදුම් ලද ජනේලයෙන් පනින්න ද නාට්‍ය ශ්‍රී ලාංකික නාට්‍ය රසිකයින්ට කදිම අත්දැකීමක් වනු ඇත. යළි නාට්‍ය රඟහල් පුරවනු පිණිස මෙවන් සාර්ථක නාට්‍ය සිංහල නාට්‍ය රඟ මඩල නිතර නිතර සරසනු දැකීම අපේ අපේක්ෂාවයි. බොහෝ වැඩ අතර මේ කෙටි සටහන වුව තබන්නේ ඒ අරමුණ නිසාම ය.

2011-08-05

බකමූණා වීදි බසියි . . .

කලාකරුවා රටක විකල්ප ආණ්ඩුවක් වැනි යැයි කියමනක් තිබේ. ඔහුට සිය කලාකෘතිය මගින් සමාජයට කෙතරම් බලපෑමක් කළ හැකි දැයි මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. කලාකරුවා ජනතාව සමග ජීවත්වෙමින් විවිධ සමාජ අත්දැකීම්වලට, ප්‍රශ්නවලට මුහුණදෙයි. කලාකරුවාගේ සතතාභ්‍යාසයෙන් මුවහත් කළ ඉසියුම් ප්‍රතිභාව නමැති ඇසට එම සමාජ හැලහැප්පීම්වල සාමාන්‍ය ජනතාව ‍නොදකින දෑ පෙනෙයි. එම අත්දැකීම්, ප්‍රශ්න ඇසුරින් ඔහු සමාජය විනිවිද දකියි. අඟුටු මිට්ටන් පිරිසක් අතර සිටින උසින් වැඩි කෙනෙකුට යට කී අඟුටු මිට්ටන් පිරිසට වඩා ඈත පෙනෙන්නා සේ කලාකරුවාට අනාගතය පෙනෙයි. මෙවැනි කලාකරුවා අතින් බිහි වන කලාකෘතිය අත්‍යන්තයෙන්ම සමාජයට මග පෙන්වන පහන් තරුවක් වෙයි.

තිස් වසරක ත්‍රස්ත අරගලය කෙළවර අද අප ජීවත්වන පශ්චාත් යුද සමය නිර්මාණකරුවාට නිර්මාණාවේෂය ලද හැකි සංසිද්ධීන්ගෙන් පිරී පවතී. එම සිද්ධි ඇසුරින් සමාජ හෘද ස්පන්දනය හඳුනාගෙන, එහි දුබලතා, ප්‍රබලතා විනිවිද සිය සහෘදයා අභිමුව නිරුවත් කිරීම කලාකරුවාගේ පරම වගකීමයි. ඔහු පාලකයාගේ අතකොළුවෙකු නොවිය යුතු අතර අගතීන්ගෙන් විනිර්මුක්ත අයෙකු විය යුතුය. නිදහස් දෑසින් ලොව දැකිය හැකි අදීන මිනිසෙකු විය යුතුය. ඔහුට පාලකයාගේ දුර්වලතා විවේචනයට අවශ්‍ය පෞරුෂය ප්‍රබලතා පෙන්වාදීමේ නිහතමානීකම තිබිය යුතුය.

එහෙත් මෑත කාලයේ මෙරට එවන් නිර්මාණ විශිෂ්ට නිර්මාණ බිහිවිනැයි කිව නොහැකි . කලාකරුවා සමාජයට මග පෙන්වනු වෙනුවට ආණ්ඩුවට ප්‍රශස්ති ගැයීම තම පරම යුතුකම කොට සලකන්නාක් මෙනි. ඔවුන්ගේ නිර්මාණ සමාජයට පහන් තරුවක් වනු වෙනුවට ඇස් බැන්ඳුමක් වී ඇති අතර විචාරශීලීන් ඉදිරියේ කලාකරුවන් කවටයින් බවට පත්ව ඊනියා කලාකෘති පපඩම් බවට පත්ව තිබේ. මෙවන් කලියුග සමයක ලයනල් වෙන්ඩ්ට් රඟහළින් ලාංකික පේක්ෂකයා අභිමුවට පැමිණි රාජිත දිසානායකගේ 'බකමුණා වීදි බසියි' දේශපාලන ප්‍රහසනය පෙර මා උදුරා දැක්වූ කලාකරුවා රටක විකල්ප ආණ්ඩුවක් වැනිය යන ප්‍රකාශය මට යළි සිහිපත් කරනට තරම් ප්‍රබල වූ බව නොකියාම බැරිය.

මෙකී නාට්‍යයට ඇරඹෙන්නේ පොළඟුන් පරාජය කිරීමෙනි. එය සැමරීමට විශාල උත්සවයක් සංවිධානය කරන අතර එහිදී ජනකතාවක් ඇසුරින් නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට යයි. අතර පොළඟුන් පරාජය කොට නිදහස් කරගත් උද්‍යානයේ විශාල ෂොපින් මෝල් එකක් ඉදිකිරීමට යයි. ඊට පිරිසක් එරෙහි වන්නේ ඉන් මෙතෙක් තමන් නිදහස් සුව විඳි ස්ථානය අහිමි වීම සහ තවත් කරුණු ගණනාවක් පදනම් කරගෙනය. පාලකයා ඉන් කිපෙන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් සිය හතුරන් ඊට විරුද්ධ වන්නේ යැයි සිතමිනි. අතර සිය කටයුතුවලට විරුද්ධ වන අය සහ පත්‍රිකා බෙදන අය සොයා ආණ්ඩුවේ ඔත්තුකරුවෝ උද්‍යානයේ සැරිසරති. එහිලා කරන චෝදනා අතිශය උත්ප්‍රාසාත්මක වන අතර කලාකරුවා එහි එක් චූදිතයෙකි.

පාලකයා අභිමුව තැතිගත් කලාකරුවා ඔහුගේ ගුණ වයමින් ඔහුට විරුද්ධව නැඟෙන චෝදනාවලින් නිදහස් වීමේ මාර්ගය කියාදෙයි. අනුව පාලකයා සිය ගෝලයින් ලවා පත්‍රිකා බෙදන අතර කලාකරුවා විසින් පාලකයා දේවත්වයට නංවා වන්දනාමාන කරන්නට පටන්ගනී. ඔහු අසීමිත අධ්‍යාත්මික බලයක් ඇති අප ආශ්චර්ය කරා රැගෙන යන පෙරගමන්කරුවා ලෙස අභිෂේක කරයි. ඊට ප්‍රතිඋපකාර ලෙස කලාකරුවාට නවතම මෝටර් රථයක් ඇතුළු නේක ධන සම්පත්, උප බෝග, පිරිභෝග, පඬුරු පාක්කුඩම් පාලකයාගෙන් ලැබෙයි. දකින මහාචාර්යවරයා පාලක ගුණකඳ වයන්නට පටන් ගනියි.

මේ අතර නිෂ්පාදනය කිරීමට නියමිත නාට්‍යයේ කොටස් විවිධ අවස්ථාවල කතා බහට ලක්වේ.ජනකතාව අනුව බහුතර කැමැත්තෙන් බකමුණා රජවෙයි. උගේ රාත්‍රියට ලොව දැකීමේ කිසිවෙකුට නැති ශක්තිය මහත් උත්කර්ෂයට නංවන අතර දවල්ට ඌට කිසිවක් නොපෙනෙන බව සතුන්ගෙන් වසන් කරයි. මේ අනුව බකමූණා කෙරෙහි විශ්වාසය තබන සතුන් පසුපස යයි. බකමූණාට දවල් නොපෙනෙන නිසා මගතොට ගල් මුල්වල හැපෙයි. වැටෙයි. සෙසු සත්තු එසේ හැපෙමින් වැටෙමින් පසුපස යති. මේ ගමන කෙළවර වන්නේ බකමූණා සියලු සතුන් සමග හෙළකට ඇද වැටීමෙනි.

නාට්‍යයේ එකී ප්‍රධාන චරිතය සඳහා පොළඟුන් පරාජය කළ සටනේ ප්‍රධානියා සහ උප ප්‍රධානියෙකු අතර සටනක් ඇති වෙයි. කෙසේ වුව සටනින් පාලකයා දිනයි. එහෙත් ජනකතාව අනුව යමින් මේ ගමන හෙළකින් කෙළවර කළ නොහැකිය. එය පාලකයාගේ කීර්ති නාමයට කැළලකි. එහෙයින් එය සමෘර්ධියෙන් කෙළවර වන පරිදි සංශෝධනය කළ යුතු යැයි තීරණය වේ.

මේ කතා පුවත උත්ප්‍රාසයෙන් පිරීගිය පරිපූර්ණ දේශපාලන ප්‍රහනයක් ලෙස ඔබ අභිමුව ඉදිරියේ දී රඟදක්වනු ඇත. අප යන ගමන කොතනින් කෙළවර වේද එය ඛේදාන්තයක් නොවන්නට අප ගත යුතු මත කුමක් ආදි නේක පැති ‍වෙත අප රැගෙන යාමට නිර්මාණකරුවා සමත් වෙයි. අතිශය ජනප්‍රිය රජයක් පවතින මෙකල ප්‍රබල විපක්ෂයක් නැති වීමේ අඩුව පිරවීමට සිදුවන්නේ කලාකරුවාටය. ඇසුරින් පාලකයාට මෙන්ම ජනතාවට ඔහු සිය පණිවිඩය රැගෙන යයි. ජනතාවට මෙන්ම පාලකයාට දැන් නැවත සිය අතීතත ආවර්ජනය කළ හැකිය. යායුතු මාවත පිළිබඳ සවිඥානික විය හැකිය. ඊයේ මුල් වරට වීදි බට බකමූණා අද මෙන් හෙට ඔබවෙනුවෙන් සවස 7 කනිසමට ලයනල් වෙන්ඩ්ට් රඟහළින් වීදි බසිනු ඇත.

2010-07-01

බල්ලොත් එක්ක බෑ සහ සුද්දෙක් ඔබ අමතයි

මෑතදී අපට නාට්‍ය කිහිපයක් බැලීමට ඉඩ හසර ලැබිණි. රවින්ද්‍ර ආරියරත්නගේ 'බල්ලොත් එක්ක බෑ' සහ උදයසිරි වික්‍රමරත්නගේ 'සුද්දෙක් ඔබ අමතයි' යන නාට්‍ය ද්වය ගැන කෙටි සටහනක් තැබීමට මොහොතක් වෙන් කිරීම ඵලදායි වෙතැයි සිතමි. මේ නට්‍ය දෙක ම වර්තමාන සමාජ දේශපාලන සංස්කෘතික ව්‍යුහය කර්කශ ලෙස උපහාසයට ලක් කරන ප්‍රහසන වේ. ඒවා ලෝක ධර්මි නාට්‍ය රීතියට අනුව ලියැවි තිබේ.

සුද්දෙක් ඔබ අමතයි නාට්‍ය යටත්විජිතවාදයේ ප්‍රතිඵලය ලෙස මෙරට තවමත් ශේෂව ඇති බටහිර ගැති පරම්පරාව සහ හීනමාන මානසිකත්වය දැඩි උපහාසයට ලක්කරයි. ඒ උපහාසය තුළින් අපේකම අපේ සම්ප්‍රදාය උපේ උරුමය පිළිබඳ අභිමාණයක් පේක්ෂක හදවත්හි රෝපණය කිරීමට කතුවරයා සමත් වෙයි. අප ගෙන යන අනුකරණාත්මක ආර්ථික දේශපාලන සමාජ මොඩලය දෙස නැවත විවේචනාත්මකව බැලීමට, අප හදවත දෙස තියුණු බැල්මක් හෙලීමට අප යොමු කරන කදිම වස්තු විෂයකි මේ. 1505 සිට අපේ ජානවලට කැවී ඇති හීන දීනත්වය නාට්‍ය ඔස්සේ දැක සිනාසෙන අපි, එහි අපේ පිළිඹිබුව දැක මහත් කම්පණයට පත් වන්නෙමු. මේ වස්තු බීජය ලාංකේය නාඨ්‍ය රසිකයාට සිය භාව විරේචනයට ලබා දුන් නාට්‍යමය ඔසුවක් වැන්න.

එහෙත් මේ නාට්‍යයේ ආකෘතිය පිළිබඳ ව නම් මා තුළ කිසිදු ප්‍රසාදයක් නැත. නාට්‍යයේ ආකෘතිය සකසා ඇත්තේ චතුර දේශපාලඥයෙකු ජනතාව අමතන අයුරිනි. එකී දේශපාලඥයාට වශී වී සවන් දුන් පමණින් ඒ ගුරු කොට නාට්‍ය තැනිය නොහැකි ය. ඒ දෙස නාට්‍ය රසිකයා බලා සිටිතැයි සිතීම ද විහිළුවකි. මේ අසාර්ථක ආකෘතිය නිසා කදිම නාට්‍ය වස්තු බීජයක් පේක්ෂක ජනතාව අතරට ගෙන යාමට තිබු අවස්ථාව මගහැරුණු බව මගේ අවංක අදහසයි. කියන්න උත්සාහ කළ දේ කොතරම් වැදගත් වුවත් එය කිව යුත්තේ නාට්‍ය ආකෘතිය ඔස්සේ ය. එසේ නොවු විට එතැන නාට්‍යයක් නැත. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යය ද ඒ අරුතින් නම් නාට්‍ය නොවන බව කිව යුතු ම ය.

බල්ලොත් එකක් බෑ නාට්‍ය වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඉතා ගැඹුරින් විමසා උපහාසට ලක් කරන කදිම දේශපාලන ප්‍රහසනයකි. එය සුද්දෙක් ඔබ අමතයි මෙන් බලා සිටීමට අපහසු නාට්‍යයක් නොව පේක්ෂක ආකර්ශනය ඉහළින් දිනාගත් නාට්‍යයකි. මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයෙකු ඒ ආසන්න කාලයේ මුහුණ දෙන අත්දැකීම් මේ නාට්‍යයට විෂය වී තිබේ. දේශපාලන ක්‍ෂේත්‍රය, පවුල් සබඳතා, රාජ්‍ය සේවය ඈ සියලු තැන්හි ඇති දුබලතා ඉසියුම් උපහාසයට පක් කරන්නේ අප හදවත් සිනාවෙන් පුරවා ගැඹුරු රිදීමක් ද ඇති කරමිනි. අබිසරු ලිය සමාජයේ අප නොදකින පැතිකඩක් කදිමට නිරාවරණය කරයි.

නාට්‍ය අවසන සිනාව යටපත් කර අප හදවත් සදාතනික රිදීමකින් පෙළෙන්නට වෙයි. අපට ලෝකය දෙස බැලීමට නව ඇසක් ලැබෙයි. මේ වූ කලී ලාංකික නාට්‍ය රසිකයාට මෑත කාලයේ අත්විඳින්නට ලැබුණු කදිම නාට්‍යයකි. මෙවන් නාට්‍ය නරඹා ඉන් වින්දනයක් ලබන අතර ම අදාළ නිෂ්පාදකවරු ද දිරිමත් කිරීම ලාංකේය නාට්‍ය රසිකයාගේ යුතුකමකි.