2008-07-02

සිනාසී හඬමි -2

කෙසේ වුව ද මෙම ප්‍රකාශය තුළ නොකියැවෙන එහෙත් ගම්‍යමාන අරුතක් ද තිබේ. ඒ ජනාධිපතිතුමා බටහිර කඳවුර වෙනුවට එහි ප්‍රතිපක්ෂය වෙත නැඹුරු වන බව ය. එනම් ඉරානය වෙනිසියුලාව චීනය කියුබාව සරණ යන බව ය. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සහ මෑතදී ගන්නා ලද ක්‍රියා මාර්ග සීරුවෙන් විමසීමෙන් මෙහි සත්‍යාසත්‍යතාව දැනගත හැකි ය. ජනාධිපතිතුමා පවසන්නේ බටහිර සරණ ගොස් පලක් නැති බව මිස කිසිවෙක් සරණ ගොස් පලක් නැති බව නොවේ.

මේ ප්‍රකාශය අඩු මිලට තෙල් ටික සිඟා ගැනීමට අහමද් ඉන්නීජා ජනපති රැවටීමට දැමූ ඇමක් දැයි අප දන්නේ නැත. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුත්තේ කිසිවෙක් සරණ ගොස් පලක් නැති බව ය. තම හිසට සෙවණ තම අතමැ බව ය. බටහිර සරණං ගච්ඡාමි කියා පලක් නොවන බව වටහා ගන්ට වසර 60ක් ගිය රටේ දේශපාලන නායකත්වයට මේ ටික අවබෝධ වන්ට කොතෙක් කල් යා ද? ඉරානය වෙනිසියුලාව චීනය වියට්නාමය රුසියාව ආදී සියලු රටවල් දියුණු වන්නේ සිය රටේ ශක්තිය මත විශ්වාසය තබා සියලු බලවේගවලට මුහුණ දෙමින් උඩුගං බලා පිහිනීමෙනි. එසේ නොමැතිව පරදේශවල පිළිකනු පල්ලේ ළගිමින් ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ රූකඩ වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නැටීමෙන් නොවේ.



මම ද අධිරාජ්‍ය විරෝධියෙක්මි. එහෙයින් ධනවාදය ලිබරල්වාදය ආදී එහි සියලු මුහුණුවරවලට එරෙහිවෙමි. ඊට එරෙහි වන්නන් හා එක්වෙමි. සමාජවාදී වෙළඳ පොළ අර්ථක්‍රමයක් කෙරෙහි විශ්වාසය තබමි.ඒ නිසා පෙර සඳහන් කළ රටවල් දෙපයින් නැගී සිටින්ට දරන උත්සහය අගයමි. අප ද ඒ මග ගත යුතු බව අදහමි. එහෙත් රටක් ලෙස තීන්දු ගැනීමේදි සුපරික්ෂාකාරි විය යුතු ය.

විශේෂයෙන් අදූරදර්ශි පාලනය නිසා බිඳ වැටුණු අප වන් රටවලට එකවර චීනය රුසියාව ඉරානය මෙන් ඍජු දරදඬු තීරණ ගත නොහැකි ය. මේ වන විට අප යැපෙන්නේ විදේශාධාරවලිනි. ඇඟලුම් කෝටා අහිමි වුවහොත් ලක්ෂ ගණනක් මහ පාරේ ය. ඇල් පෙනෙත්තක් නොනිපදවන රටේ යුද්ධ කරන්නේ ඊශ්‍රායලය චෙක් ජනරජය වැනි රටවලින් මිලට ගත් අවිවලිනි. ඉරානය වන් ඊශ්‍රායලයේ පසමිතුරු රටවලට සමීප වීමේදී එහෙයින් අප වඩාත් සැලකිලිමත් විය යුතු ය.

පන්සිය වසරක් මගේ රට සුරා කෑ මැරයා ගැන මා තුළ පැහැදීමක් නැත. එහෙයින් ඔවුන් විසින් අපට කරන ලද විනාශය විවිධ පැතිවලින් විග්‍රහ කරමි. එමෙන්ම ඒ මහා සූරාකෑම පහසු කර ගනු සඳහාම වුව රට පුරා රේල්ලුව ව්‍යාප්ත කරන ලද බව ද මහා මාර්ග ජාලයක් සැකසූ බව ද කිව යුතු ය. 1948 ආක්‍රමණිකයා රට හැර යන විට ආසියාවේ ආර්ථික සමෘද්ධිය අතින් අපට ඉහළින් සිටියේ ජපානය පමණි. ඒ ද ඩොලරයකිණී. එදවස ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89කි. ලංකාවේ 88කි. 1953 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රමාණය 9.7%කි. අද 105%කි. එහි අරුත අපේ මුළු ඉපයුම් ප්‍රමාණයට වඩා ණය ප්‍රමාණය වැඩි බව ය. අප උපයන සෑම රු. 100ක් ම තවත් රු. 5ක් සමග ණය පියවීමට යැවිය යුතු බව ය. මේ රටට ආක්‍රමණිකයා මෙන් ම විනාශයක් අපේ පාලකයන් ද කර තිබන බවට තවත් සාක්ෂි කුමට ද? 1977 ධර්මිෂ්ට සමාජය නමැති සුරුවමේ ඔතා විවෘත ආර්ථිකයට රට බිලි දුන් පුණ්‍ය පිතෘට පිං සිදුවන්ට අද උද්දමනය 30%ට මදක් අඩු ය. 1975 එය 5%කි.

මේ සියල්ලෙන් ගම්‍යමාන වන්නේ පරදේශ පසුපස යාමෙන් පලක් නොවන බව ය. අහමද් ඉන්නීජා සමග ඡායාරූප ගෙන මග දෙපස තොරණ ගැසීමෙන් පලක් නොවන බව ය.අප ද අපේ රටේ ශක්තිය මත විශ්වාසය තබා ඉදිරියට යා යුතු බව ය. එහෙත් ඒ බව පාලකයන් මැනවින් තේරුම් ගත් බවෙක් නම් නොපෙණේ. සැබවින්ම ඒ ගැන සිතන විට නාඬා බැරිය. එහෙයින් හඬමි.

8 comments:

Anonymous said...

පාලකයන් යථාර්තය වටහා ගන්නේ නැත. අඩුම තරමේ එයට උත්සහ දරන්නේද නැත. බලය ලැබුණු කල එහි රසට වහල් වනවා හැ‍රෙන්නට රට ගැන හෝ එහි වැසියන් ගැන නොසිතෙයි. රටෙහි අනාගතය ගැනද නොසිතෙයි. සමාජයේ සියළු හර පද්ධතීන් ආත්මාර්තය මත පදනම් වී ඇති කල පාලකයන් වුවත් එසේ සිතීම අරුමයක්ද නොවේ.
අනෙක පාලකයන් යනු පාලිත ජනතාවගේම පිළිබිඹුවකි.
මෙම නීහින ක්‍රමය වෙනස් කල හැක්කේ පාලකයන් වෙනස් කිරීමෙන් නොව මුළු මහත් සමාජ ක්‍රමයම ගොදුරු වී ඇති රෝගාබාධ සුව කිරිමෙනි. ජනයාගේ ආකල්ප වෙනස් කිරීමකින් තොරව සමාජය වෙනස් කල නොහැක.

නාමල් උඩලමත්ත said...

ඔබේ ප්‍රතිචාරයට පිං. පවතින සමාජ ක්‍රමය පිළිබඳ ඔබේ මතය සමග මම බොහෝ තැන්වලදි එකඟ වෙමි. එමෙන්ම පාලකයා ජන සමාජයේ කැඩපතකි යන්න ද අදහමි. ජනසමාජය යහපත් කිරීමෙන් යහපත් පාලනයක් බිහි වන බව ද සත්‍යකි. එහෙත් මේ නිහීන ක්‍රමය වෙනස් කළැකි එකම ක්‍රමය සමස්ත සමාජ ක්‍රමයට බෝවී ඇති විසාදිය සමහන් කිරීම යයි මා සිතන්නේ නැත. එය එක් පැත්තක් පමණි. මේ ක්‍රියාදාමය පහළ සිට ඉහළට මෙන් ම ඉහළ සිට පහළට ද ය එක සේ කළ හැකි ය.
බුදුදහම ඉහත කී දෙවැනි ආකාරයට අපට ලැබුණකි. මිහිදු හිමි මුලින් දම් දෙසුවේ දෙවපෑතිස් රජුට ය. රට වැසියාට එය ලැබුණේ අනතුරුව ය. පසුව එය මෙරට පැළපදියම් විය. අපේ සංස්කෘතිය ඒ ඇසුරින් බිහි විය.
ඉන්දිය නිදහස් සටනට මුල් වූවෝ භගත් සිං මහත්මා ගාන්ධි ආදිහු ය. සියරට දේ අගයමින් පිටරට දේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ගෙන ගිය සටන අනතුරුව ළැව් ගින්නක් සේ ඉන්දියානුවන් අතර පැතිරිණි.
ඉතිහාසයේ අප මුහුණ දුන් සියලු ආක්‍රමණවලදී දුටුගැමුණු වළගම්බා ටිකිරි කුමරු ආදීහු ජනතාව සංවිධානය කොට සතුරා නැසූහ. මේ සියලු දෙනා මහ සමාජයේ කොටසක් වන අතරම නායකයෝ ද වූහ. මෙවන් නිදසුන් සිය ගණනක් දැක්විය හැකි වුව ද එය නිරර්ථක ක්‍රියායෙකි.

මිහායිල් ගොර්බචෝව්ගේ ප්‍රතිසංස්කරණ නිසා (පෙරස්ත්‍රොයිකා) 90 දශකයේ සෝවියට්දේශය බිඳ වැටි ඔත්පල වූ රුසියාව නැවත අද සුපිරි බලවතෙක් වූයේ කෙසේ ද? ඒ ව්ලැදිමීර් පූටින්ගේ නිවැරදි නායකත්වයට පිං සිදුවන්නට ය. මේ කාලය තුළ සමස්ත රුසියානු ජන මනස වෙනස් වී පූටින් පහළ වූවා නොව පූටින් පහළ වී ජන මනස සැකසුවේ ය.

රටකට ඉක්මණින් සමෘද්ධිය කරා පිය නැගිය හැක්කේ ද මෙකී ක්‍රමයට බැව් මගේ විශ්වාසයයි. එමගින් ජනතාව නොතකා හළ යුතු යයි නොසිතන්න. ඔබ අප අතර වන සුසංවාදයේ අවසන් ඵලය වනුයේ ද ජන මනස ඒ සඳහා අවැසි බිජුවටින් සවිබල ගැන්වීම ය. රජු ධාර්මික වේවා! (රාජ භවතු ධම්මිකෝ)

Anonymous said...

"ඔබ අප අතර වන සුසංවාදයේ අවසන් ඵලය වනුයේ ද ජන මනස ඒ සඳහා අවැසි බිජුවටින් සවිබල ගැන්වීම ය"--
බ්ලොග් අවකාශයේ හෝ නැතහොත් ඕනෑම තැනෙක ඇතිවන මෙවැනි සංවාදයක් වූ කලී අතිශයින්ම වැඩ දායකය නමුත් එය එසේ වන්නේ එය සමාජගතවන තරම අනුව යැයි මම සිතමි.

නායකත්වය පිළිබඳ ඔබ දරා ඇති මතය පිළිබඳව‍‍ මමද එකඟ වෙමි.
'මුළු මහත් සමාජ ක්‍රමයම ගොදුරු වී ඇති රෝගාබාධ සුව කිරිමෙන්' මේ නිහීන ක්‍රමය වෙනස් කල හැකි යැයි මා කීවේද ඒ අර්ථයෙනි.
රටක යහපැවැත්ම වූ කලී එරටෙහි නායත්වය, ප්‍රතිපත්ති සම්පාදයන්ගේ සිට මුළු මහත් ජනතාව ගේ ක්‍රියා කලාපයන් මත පිහිටන්නාක් වේ. මෑත කාලීන ඉතිහාසය පුරාම අපට නිසි මඟපෙන්වන්නෙක්, නිසි නායකත්වයක් නොලැබිණි. ආයාලේ යන සමාජ ව්‍යාපාරයන් මඟින් සමාජය තවතවත් වල්මත් කරවනවා පමණි.

සැබැවින්ම වත්මන් සමාජ පදනමට දැඩි අභියෝගයක් එල්ල කල හැකි ප්‍රභල සමාජ ව්‍යාපාරයක් අවශයෙන්ම බිහිවිය යුතුය. එසේ නොමැතිව පවතින නායකත්ව‍ෙයන් යහපත් වෙනසක් බලාපොරොත්තු වීම වූ කලී විය හැක්කක් නොවේ.
- කසුන්

නාමල් උඩලමත්ත said...

සබඳ කසුන්,
මේ සංවාදය හරවත් කරනු රිසින් ඔබ දක්වන අදහස් අගයමි. සියක් මත ගැටී සහසක් මල් පීදෙනු ඇත. පවතින සමාජ ක්‍රමයට විකල්පයක් විය හැකි ප්‍රබල සමාජ ව්‍යාපාරයක් අප වෙතින් බිහි විය යුතුය යන ඔබේ අදහස ඉතාම වැදගත් ය. එය විවිධ සමාජ තල වෙතින් ප්‍රකාශ වීම මගින් ම ප්‍රබල සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව මෙන් ම එවන් සමාජ ව්‍යාපාරයක් බිහි කිරීමේ විළි රුදායෙන් සමාජය පෙළෙන බව ද ධ්වනිත වේ.

මෑත කාලීනව ප්‍රබල ලෙස වර්ධනය වෙමින් ආ සමාජ ව්‍යාපාරයට මාක්ස්වාදී ව්‍යාධිය බෝ වී වල්මත් විය. සමාජ ව්‍යාපාරයක නායකත්වය කිසි විටක මූලධර්මවාදී පොතේ ගුරුන් අතට පත් නොවිය යුතු බව ඉන් නැවත නැවතත් අවධාරණය වේ. මහපොළොවේ යථාර්ථය නොදකින නායකත්වය එකී සමාජ ව්‍යාපාර ඛේදවාචයකින් කෙළවර කරනු ඇත.

පවතින නායකත්වය එවන් සමාජ ව්‍යාපාරයකට නුසුදුසු කල්හි ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ද රටේ නොමැති කල්හි කළ යුත්තේ කුමක් ද? සමාජ ව්‍යාපාරයක් එක වර බිහි නොවන හෙයින් ඒ සඳහා සරු බිමක් සකසන අතර පවතින නායකත්වය ද ඒ සරු බිම තනන්ට යොදවා ගැනීමය කළ යුතු. ඒ සඳහා ප්‍රතිසංස්කරණවාදී මාර්ගයක් තෝරා ගත යුතු ය.

එසේ නොකොට සිටීම මගින් සමාජ ව්‍යාපරයක කාර්යභාරය බරපතළ කරනු ඇත. නිදසුනක් ලෙස දේශප්‍රේමී බලවේග මුල් වී 2002 වික්‍රමසිංහ පාලනය පෙරළා නොදමන්ට අද අප ලබන යුධ ජයග්‍රහණ සිහිනයකි. සටන් විරාම ගිවිසුම නිසා රටට සිදුවු විනාශය කෙතරම් ද? මේ ගිවිසුම අත්සන් කරන්ට පෙර දේශප්‍රේමී බලවේග ක්‍රියාත්මක වී නම් ඒ විනාශයෙන් රට ගළවා ගත හැකිව තිබිණි.

එමෙන් ම රාපක්ෂ මහතා ජනපති කිරීම, උතුරු නැගෙනහිර යළි වෙන් කිරීම, සුනාමි සහන මණ්ඩලය අහෝසි කර ගත හැකි වීම, සටන් විරාම ගිවිසුම කොලයකට සීමා වීම, රටේ සේනාධිනායකයා ලෙස ජනාධිපති ත්‍රස්තවාදය සමූලඝාතනය කිරීමේ මගට තල්ලු කිරීම, රටේ බහුතරය එය අනුමත කිරීම, ඒකීය රාජ්‍ය සංකල්පය සමාජ මතය බවට පත් වීම, විරෝදාර හමුදා කොටි බලය බිඳ දැමීම මේ ආකාරයට දේශප්‍රේමී බලවේග ක්‍රියාත්මක වීමෙන් රට ලද ජයග්‍රහණ කිහිපයකි.

ජාතක පොතේ ප්‍රථම ජාතකය වන අපන්නක ජාතකයෙන් ද අවධාරණය කෙරෙනුයේ නිවැරදි බුද්ධිමත් නායකත්වයේ වටිණාකමයි. වාලුකාවේ දී පිරිසක් රකුසාට බිලි වන අතර පිරිසක් නිරුපද්‍රිතව එතෙර වනුයේ නිවැරදි නායකත්වය නිසා ය. එසේම රටක් ලෙස අප අද මුහුණ දෙන දරුණු ව්‍යසනවලට වහා පිළිතුරු දිය යුතු ය. එසේ නොවුණොත් අපට වන්නේ රකුසාට හසු වූ පිරිසට වූ දේ ය. එයින් පසු කවර සමාජ ව්‍යාපාර ද?

Anonymous said...

මා මාක්ස්වාදය දකින්නේ ව්‍යාධියක් ලෙස නොවෙයි. මාක්ස්වාදය යනු සමකාලීන ඉතිහාසයෙහි බිහිවූ අතිශය තියුණු දර්ශනයක් ලෙස මම සිතමි. අනික මාක්ස්වාදය සමාජ ව්‍යාපාරයකට භාවිතා කල හැකි න්‍යායික මෙවලමක් පමණි.
ඉතිහාසය පුරා වැරදියට වටහා ගැනුණු හා වැරදියට භාවිතා කල දේශපාලන දර්ශනයක් වෙත් නම් ඒ නිසැකයෙන්ම මාක්ස්වාදය වෙයි. පොතේගුරුවාදී හා අනුකාරක ඊනියා මාක්ස්වාදී ව්‍යාපාර හා පුද්ගලයින් ලංකාව තුල කෙතරම් සමාජ ව්‍යාපාරයන් බිහි කලත් ‍ඒ කිසිවක් සැබැ ලෙස සමාජය වෙනස් කිරීමේ අභිලාශයෙන්ම පමණක් බිහිවූ එවා නොවෙයි. මාක්ස්වාදය ව්‍යාධියක් ලෙස දැනෙන්නේ මේ හේතුවෙනි. වියට්නාම් විප්ලවයට ගුරු කොට ගත්තේ ද මාක්ස්වාදී දර්හනය වුවත් එය ඊටම ආවේනික වූ ජාතික අරගලක් තුල ගොනු වූවක් විය. රුසියානු විප්ලවය වුවද මූලික වශයෙන් සම්භාව්‍ය න්‍යායික මාක්ස්වාදයෙන් තරමක් පරිභාහිර වූ අතර සමකාලීන ලෝකයේ නිදහස් අරගලයන් වෙත ප්‍රභල උත්තේජනයක් ද විය.

නමුත් වත්මන් ලාංකීය සමාජ ව්‍යාපාරයක් අවශයෙන්ම මාක්ස්වාදී විය යුතු යැයි මම නොකියමි. එය මාක්ස්වාදී හෝ වෙනත් ඕනෑම සාධනීය ලක්ෂණයන්ගෙන් යුක්ත විය හැක. වඩා වැදගත් වන්නේ ලාංකීය සමාජ සන්දර්භයන් ගැඹුරින් වටහාගත් එකක් වීමයි. අනුකාරක සමාජ ව්‍යාපාරයන්ට සැබෑ වෙනසක් ඇති කල නොහේ.

- කසුන්

නාමල් උඩලමත්ත said...

සබඳ,
ඔබේ අදහස් නිර්ව්‍යාජව සංහිඳේ කුරුටුගෑවාට පිං. ඉන් සංහිඳ තව තවත් සුපෝෂණය වනු ඇත. මාක්ස්වාදය පිළිබඳ ඔබ දරන අදහස මම ද කලක් දැරුවෙමි. එහෙත් අද මම එතැන නැත. එසේ පවසන්නේ කිසිසේත් මමංකාරයකින් නම් නොවේ. හොදට හෝ නරකට මට මාක්ස්වාදයෙන් ඈත්වීමි. ඒ වරෙක මාක්ස් පැවසූ පරිදිම සියල්ල දෙස සැකයෙන් බැලූ නිසා ය. කෙසේ වුව ද ඔබට ස්වාධීන මතයක් දැරීමට ඇති අයිතියට මම ගරු කරමි.

මා සිතන්නේ මාක්ස්වාදය තරම් ඉතිහාසයේ අන්ධානුකරණය කළ අන් න්‍යායක් නොමැති බව ය. එනම් ඔබේ අදහසේ ප්‍රතිපක්ෂය ය.(ඉතිහාසය පුරා වැරදියට වටහා ගැනුණු හා වැරදියට භාවිතා කල දේශපාලන දර්ශනයක් වෙත් නම් ඒ නිසැකයෙන්ම මාක්ස්වාදය වෙයි.)
අපේ අය වරද්දා ගත්තේ ද ගන්නේ ද මාක්ස්වාදය වැරදියට කියවීමෙන් නොව නිවැරදිව කියවීම නිසා ය. මාක්ස්ගේ මනඃකල්පිත රාජ්‍ය මෙරට ස්ථාපිත කරන්ට දැරූ හා දරන ලද උත්සාහය නිසා ය. මෙරට මාක්ස්වාදීහු රුසියාවේ ලෙනින්ට කියුබාවේ කැස්ත්‍රෝට චීනයේ මාවෝ සේතුන්ට පමණක් නොව වෙනිසියුලාවේ චාවේස්ට වුව න්‍යාය උගන්වනු ඇත. එහෙත් මහපොළවේ යථාර්ථය ඔවුන් නොදකි.

සමාජවාදය අවසන් අරමුණ ලෙස නොව මුල් අරමුණ ලෙස මොවුන් සැලකුව ද කියුබානු විප්ලව ඉතිහාසය අපට පසක් කරන්නේ ඔවුන් අවසන් අරමුණ ලෙස සමාජවාදය සැලකූ බව ය. එතෙක් කැස්ත්‍රෝ සුළු ධනේශ්වර පක්ෂ සමග අත්වැල් බැඳ සිටියේ ය. ඔහු සමාජවාදය වෙත නැඹුරු වෙද්දී එකී ධනේශ්වර පක්ෂ විරසක නොවී කරළියෙන් බැස ගියේ ය. එමෙන්ම මාක්ස්වාදී න්‍යාය ද බොහෝ දුබලතාවලින් ගහන ය. ඒවා විග්‍රහයට මේ අවස්ථාව නොවේ. ඉඩ ලද විටෙක ඒ ගැන සංවාද කරමු.

අපට අවැසි යළි නිදහස සොයා යන ජාතික අරගලයකි. ඒ සඳහා මාක්ස්වාදයෙන් පමණක් නොව ඕනෑම දර්ශනයකින් ගත යුත්තක් ඇත්නම් ගත්තාට කම් නැත. එහෙත් ඒ පදමට ය. නැතිනම් කිරි හොද්ද ගොරකා හොද්දක් වනු ඇත. ගොරක දමන්නේ කිරි හොද්ද රස කරනු පිණිස මිස ගොරක කෑම පිණිස නොවේ.

Kasun said...

ඕනෑම දර්ශනයක් හෝ ප්‍රවාදයක් සර්ව සම්පූර්ණ නොවෙයි. මාක්ස්වාදයේ මෙන්ම වෙනත් ඕනෑම දර්ශනයක් තුල යම් යම් ප්‍රතිවිරෝධතා ද පවතී. නමුත් එකල්හී (යුරෝපයේ හා සමකාලීන ලෝකයේ) පැවති සමාජ-ආර්ථික-දේශපාලන තත්වයන් යටතේ මාක්ස්වාදය අතිශයින්ම සාධනීය ප්‍රවේශයක් විය. ඊට විකල්පයක් ලෙස එතරම් ශක්තිමත් වෙනත් සමාජ-දේශපාලන දර්ශනයක් නොවන බැවින් එය ඉතා තදින් සමාජගත වූ අතර, පවතින සමාජ අර්බුධයන් තුල අනිවාර්ය වූවාක්‍ ලෙස ක්‍රම-විරෝධී දේශපාලනයේ යෙදෙන්නන් වෙත උද්යෝගිමත් න්‍යාත්මක මෙවලමක් බවට පත්විය.

එක් එක් සමාජ අරගලයන් ගත යුතු මඟ තීරණය විය යුත්තේ එරටෙහි වූ සංස්කෘතීන් හා සමාජය අනූකූලව මිස හුදු අනුකාරක වාදී නොවෙයි. එහෙයින් ඔබ අවසානයට කී දේ ගැන මම ද එකඟ වෙමි. එමෙන්ම වත්මනෙහි වඩාත්ම මූලික කරුණ වන මේ නිද්රාශීලී ජන සමාජය වෙත යම් බලපෑමක් එල්ල කල හැකි විකල්පයක් අප සොයා ගත යුතුය. ලෝකය වෙනස් වන්නේ ප්‍රතිවිරෝධතා තුලිනි. අප දෙදෙනාම මේ නිහීන සමාජ ක්‍රමය වෙනස් විය යතු යැයි/කල යුතු යැයි විශ්වාස කරමු. ඉතිං අපි අතර ඇතිවූ මෙවන් සංවාදයන් තුලින් අපගේ ඒ අවබෝධයට එළියක් ලැබෙනු මිස අවැඩක් සිදු නොවේ. ඉතිං මිතුර යහපත් හෙටක් වෙනුවෙන් කෙරෙන්නා වූ අරගලයකදී අපි යළිදු හමුවෙනු ඇත.
- කසුන්

නාමල් උඩලමත්ත said...

කසුන්
ඔබේ විමර්ශනශීලි විග්‍රහයට බෙහෙවින් පිං. තවත් සුසංවාදී මොහොතක සංහිඳේ දි මුණගැසෙමු.