2017-04-30

සයිටම් ආතතිය අනුමැතිය සහ ප්‍ර‍මිතිය

මාලබේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරවීමට නෛතික බාධාවක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කිරීම සමග නැවත රටේ ආන්දෝලනයක් මතුව තිබේ. පිරිසක් සයිටම් ඇතුළු පෞද්ගලික වෛද්‍යවිද්‍යාල සහ විශ්වවිද්‍යාලවලට පක්ෂව ද තවත් පිරිසක් ඊට එරෙහිවද හඬ නඟති. 

සයිටම් විශ්වවිද්‍යාලය 2008 වසරේ ආරම්භ කර ඇති අතර 2011 වසරේ එම ආයතනයට වෛද්‍ය උපාධි ලබාදීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා අනුමැතිය ලබාදී ඇත. ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතු අතර සයිටම් පාඨමාලා අධීක්ෂණයට හෝ එහි උපාධි පිළිගැනීමට තමන්ට නෛතික විධිවිධාන නොමැති බවට වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීමක් මගින් ප්‍ර‍සිද්ධ කර තිබිණි. අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය සයිටම් වෛද්‍ය සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරවීමට නෛතික ගැටලුවක් නොමැති බව තීන්දු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ සඳහා කටයුතු කළ හැකිය.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ තමන් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට යන බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම වරදක් නොවේ. එහෙත් මේ ප්‍ර‍ශ්නය ජාත්‍යන්තරයට ගෙන යාම, කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැති හෙයින් ජාත්‍යන්තර අධිකරණ ඉල්ලා සිටින බෙදුම්වාදීන්ගේ ඉල්ලීම සාධාරණීකරණය කිරීමකි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙන්ම වාමාවාදී දේශපාලන පක්ෂ ද වෛද්‍ය උපාධි ලබාදීමට අවශ්‍ය ප්‍ර‍මිතිය සයිටම් ආයතනයේ නොමැති බවට චෝදනා කරන අතර සයිටම් වසා දැමිය යුතු බව එක හෙළා කියා සිටිති. සමහරු පවසන්නේ රජය මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට අවසර දෙන අතර නිදහස් අධ්‍යාපනය දියකර හැරීමට කටයුතු කරන බවය. සයිටම් නිදහස් අධ්‍යාපනයේ මළගම බවය.

නිදහස් අධ්‍යාපන ක්‍ර‍මය තුළ කඩඉම් විභාග සමත් වන සැමට උසස් පෙළ දක්වා නොමිළේ අධ්‍යාපනය ලැබීමේ භාග්‍ය ලැබේ. ඒ අනුව සාමාන්‍ය පෙළ සම්මාන තුනක් සහිතව විෂය හයකින් සමත්වන සැමට පාසලක උසස් පෙළ පන්තියකට ඇතුළත් වී අධ්‍යාපනය ලැබිය හැකිය. උසස් පෙළ තරග විභාගයෙන් තමන් පෙනී සිටින විෂයන් තුන සඳහා සාමාර්ථ තුනක් ලබා ගන්නා සියලු දෙනා අදාළ විභාගයෙන් සමත් ලෙස සැලකේ. මහ බැංකු දත්ත අනුව 2012-13 අධ්‍යයන වර්ෂයේ සිසුන් 144 816ක් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් ලැබුව ද ඇතුළත් කරගෙන ඇත්තේ 24 198කි. 2013-14 වර්ෂයේ සිසුන් 143740 අතුරින් 25 200කි. 2014-15 වර්ෂයේ සිසුන් 149 572ක් අතුරින් 25 643කි. මේ අනුව සුදුසුකම් සපිරු විශාල සිසු පිරිසකට නිදහස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාල වරම් අහිමි වන බව පැහැදිලිය. එම පිරිස අතරින් දහස් ගණනක් වාර්ෂිකව උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන අතර ඔවුන්ගේ පාඨමාලා, ඉඳුම් හිටුම්, යාම් ඊම් ගාස්තු වශයෙන් අති විශාල ධනස්කන්ධයක් රටින් පිටට ගලා යයි.  

මෙලෙස පිට රට අධ්‍යාපනය පිණිස යන අය පෞද්ගලික විශ්වවිද්‍යාලවල ද රජයේ විශ්වවිද්‍යාලවල ද අධ්‍යාපනය ලබති. ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. එලෙස වෛද්‍ය උපාධි ලබා පැමිණෙන අයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ERPM (Act 16) විභාගය සමත්ව ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණ තීන්දුව සමග සයිටම් ලියාපදිංචි කර එහි ප්‍ර‍මිතියට අදාළ කටයුතු නියාමනය කරන්නේ නම් මෙලෙස විදේශගතව වෛද්‍ය උපාධි ලබාගත යුතු නැති අතර උසස් ප්‍ර‍මිතියේ වෛද්‍ය උපාධිධාරීන් රටට බිහි කළ හැකිය. වාර්ෂිකව විදේශවලට ගලා යන ධනස්කන්ධයද රටේ ඉතිරි වෙයි. වෛද්‍ය උපාධි පිණිස විදෙස් සිසුන් ලංකාවට ආකර්ශනය කරගත හැකි නම් එය රටට ආදායම් මාර්ගයක් ද වනු ඇත.   

ඒ සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළේ යැයි රටේ නිදහස් අධ්‍යාපනය විනාශ නොවෙයි. එසේ වන්නේ නම් පෞද්ගලික රෝහල් සහ බෙහෙත් ශාලා නිසා රටේ නිදහස් සෞඛ්‍යය ද පෞද්ගලික පාසල් නිසා රටේ නිදහස් අධ්‍යාපනය විනාශ වී තිබිය යුතුය. වෛද්‍ය නොවන වෙනත් උපාධි ලබා දෙන ආයතන රටේ දැනටමත් පවතින නිසා නිදහස් අධ්‍යාපනයක් ද තිබිය නොහැකිය. එහෙත් සිය කැමැත්ත සහ හැකියාව අනුව පිරිසක් පෞද්ගලික රෝහල් සහ පාසල් තෝරාගෙන ඇති අතර බහුතරය රජයේ රෝහලින් සහ පාසලින් නිදහස් අධ්‍යාපනය ලබති. එලෙස පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉවත්ව යාම නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සැබවින්ම අවශ්‍ය අයට සහනයකි. 

එම පෞද්ගලික ආයතනවලින් රජයට ලැබෙන බදු මුදල් නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ප්‍ර‍වර්ධනයට යොදාගත හැකිය. නිදහස් අධ්‍යාපන හෝ සෞඛ්‍ය අයිතිය රැකගැනීම යනු ඇති හැකි අයට මුදල් ගෙවා එම සේවා ලබාගැනීමේ අවස්ථාව අහිමි කිරීම නොවන බව අමතක නොකළ යුතුය. එහෙත් ධනවතුන්ට මුදල් ඉපයීම සඳහා පෞද්ගලික රෝහල් ගොඩනැගීමට ඉඩ නොදුන්නේ නම් එම රෝහල් රටට නොලැබෙන අතර අද ඒවායේ සේවය ලබන ජනතාවටද සිදුවන්නේ රජයේ රෝහලේ පෝලීම් දිගු කරන්නට එකතු වීමටය. එහෙයින් කළ යුත්තේ සයිටම් ඇතුළු පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහිවීම නොව ඉහළ ප්‍ර‍මිතියක් සහිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලා සිටීමය. 

වෛද්‍ය උපාධි ලබා දීමට සයිටම් ආයතනයේ ප්‍ර‍මිතිය ප්‍ර‍මාණවත් නොවන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පත්කළ කමිටුවක් නිර්දේශ කර තිබේ. සායනික පුහුණුව සඳහා ප්‍ර‍මාණවත් රෝගීන් සංඛ්‍යාවක් සහිත රෝහලක් නොමැති වීම සහ සායනික පුහුණුව ප්‍ර‍මාණවත් නොවීම, අධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍ර‍මාණවත් නොවීම ආදිය ඒ අතර වෙයි. ඒ කිසිවක් අත්කර ගත නොහැකි දුෂ්කර ඉලක්ක නොවේ. එම ප්‍ර‍මිතිය ගොඩනඟා ගැනීමට වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද උදව් කළ හැකිය. රජයේ සුදුසුකම් ලද ආචාර්යවරුන්ගේ සහ වෘත්තිකයන්ගේ සේවය ලබා දෙමින් එම සීමා ජයගැනීමට මගපෙන්විය හැකිය. 

එහෙත් සයිටම් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුවීම් සඳහා ප්‍ර‍මාණවත් රෝහලක් නැතැයි ද ඒ නිසා එම උපාධියේ ප්‍ර‍මිතියක් නැතැයි ද පවසන පිරිස් පෙරළා එම ප්‍ර‍මිතිය ගොඩනැඟීමට සයිටම් වෛද්‍ය සිසුන්ට අවිස්සාවේල්ල රෝහලේ සායනික පුහුණුව ලබාදීමට එරෙහි වෙති. මහජන දේපළ මුදලාලිලාට දෙන්නේ යැයි චෝදනා කරති. ඔවුන් මුදලාලිලා යැයි ගරහන මේ ව්‍යාපාරික ප්‍ර‍ජාව රටට විශාල බදු මුදලක් ගෙවන සම්පතකි. අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු රජයේ සුභසාධන සේවා පවත්වා ගෙන යන්නේද රජයේ සේවක පඩිනඩි ගෙවන්නේද එම මුදල්වලිනි. 

මේ ධනපති විරෝධි ඇතැම් වෛද්‍යවරු පිට රට ගොස් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා පැමිණි අයය. ඇතැමෙක් රජයේ රෝහල්වල සේවය කරන අතර පෞද්ගලික රෝහල්වලද සේවය කරති. පෞද්ගලික වෛද්‍ය සේවා පවත්වාගෙන යති. මෙවැනි පරස්පරතාවලින් තහවුරු වන්නේ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව සයිටම් වසා දැමීම මිස එහි ප්‍ර‍මිතිය උසස් කිරීම නොවන බවය. කෙසේ වුවද මේ විරෝධය නොවන්නට අවිස්සාවේල්ල රෝහලේ මහාචාර්ය ඒකකයක් පිහිටුවා සයිටම් සිසුන්ට සිය සායනික කටයුතුවලට ලබා දුන්නේ නම් නම් සයිටම් ආයතනයේ ප්‍ර‍මිතිය ඉහළ නැංවෙන අතර රජයේ රෝහලේ තත්ත්වය ඉහළ නැංවීමටද එය රුකුලක් වනු ඇත. 

පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධීන්ගේ එක් තර්කයක් වන්නේ උසස් පෙළ විභාගයෙන් C සම්මාන සමාර්ථ තුනක් ලබන දුප්පත් සිසුවෙකුට S සාමාර්ථ තුනක් ලබන පොහොසත් සිසුවෙකුට මෙන්ම මුදල් ගෙවා ඉගෙන ගත නොහැකි බවය. එහෙයින් පෞද්ගලික විශ්වවිද්‍යාල අනවශ්‍ය බවය. ඒ තර්කය නිවැරදි නම් සියලු දෙනාට අවස්ථාවක් ලබාගත නොහැකි නිසා විදේස් උපාධි පිළිගැනීම නතර කර පෞද්ගලික රෝහල් සහ පාසල් ද තරු පන්තියේ හොටෙල් ද වසාදැමිය යුතුය. සියලු උසස් පෙළ සිසුන්ට හොඳ උපකාරක පන්තිවලට යාමට වත්කම් නොමැති නිසා ඒවා වසා දමා පෞද්ගලික වාහනයක් සැමට මිලට ගත නොහැකි නිසා ඒවා ආනයනද නතර කර දැම්මාට කම් නැත. කෙසේ වුවද පෞද්ගලික විශ්වවිද්‍යාවලවලින් ඉහළ ප්‍ර‍තිඵල ලද ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් සඳහා ශිෂ්‍යත්ව ක්‍ර‍මයක් ඇති කළ හැකිය.

මේ පිරිස යෝජනා කරන්නේ වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා අතර රජයේ විශ්වවිද්‍යාල ගණන වැඩි කළ යුතු බවය. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගන්නේ කුමන ආකාරයෙන්ද ඔවුහු නොපවසති. ඇතැමෙකු දූෂණය, වංචාව සහ නාස්තිය නවත්වා ඒ මුදල් මේ සඳහා යොදාගත යුතු බවට ප්‍රායෝගික නොවන කතා කියති. එහෙත් අධ්‍යාපන වියදම තව දුරටත් ඉහළ නැංවීමට නම් රජයේ ආදායම් ඉහළ නංවාගත යුතුය. රජයේ ආදායමින් සාතිශය විශාල පංගුවක් බදු ආදායම් වන පසුබිමක ඒ සඳහා මුදල් ලබාගත හැක්කේ ජනතාව මත තව තවත් බදු පැනවීම නැතහොත් අනෙකුත් සුබසාධන වියදම් කපා හැරීම වැනි විකල්පයකින් විය හැකිය. එය වර්තමාන ආර්ථික තත්ත්වය තුළ එතරම් වේගයෙන් කළ හැකි ප්‍රායෝගික කටයුත්තක් නොවේ.

කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව සාක්ෂරතවා අතින් ඉහළින් සිටියද අපේ රටේ තෘතීයීක අධ්‍යාපනය ලබන ප්‍ර‍තිශතය පවතින්නේ බෙහෙවින් අවම මට්ටමකය. සාක්ෂතාව 74.04% වන ඉන්දියාවේ තෘතීය අධ්‍යාපන ප්‍රවේශ ප්‍ර‍තිශතය 10.5%ක් වන අතර 92.63%ක සාක්ෂරතාවක් සහිත ලංකාවේ තෘතීය අධ්‍යාපන ප්‍රවේශ ප්‍ර‍තිශතය 5.1%ක් පමණි. එය රටේ සංවර්ධනයට අවැසි කුසලතා සපිරි මානව ප්‍රාග්ධනය නිපදවාගැනීමට විශාල බාධාවක් වන අතර විශ්වවිද්‍යාල අවස්ථා සීමාවීම ඊට මූලික හේතුවයි. 

එහෙයින් මේ සඳහා වඩා ප්‍රායෝගික විසඳුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියක් රට තුළ ගොඩනඟා ගැනීමය. ඒ අවස්ථාව විදේශ ආයෝජකයින් අතට පත්වීමට ඉඩ නොදී දේශීය ව්‍යාපාරික ප්‍ර‍ජාවට ලබාදීමය. පෞද්ගලික විශ්වවිද්‍යාල දෙස සුබවාදීව බලන්නේ නම් ඒ සඳහා වුවමනා සහාය ලබා දෙන්නේ නම් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නේපාලයේ මනිපාල් වැනි විශ්වවිද්‍යාල රටේ ගොඩනැඟීමට නොහැකියාවක් නැත. 1981 ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පැවති අඩුපාඩු සකස් කර එය මැනවින් නියාමනය කර පවත්වාගෙන ගියේ නම් ඇතැම් විට එය 1994 ඇරඹි මනිපාල් විශ්වවිද්‍යාලයට වඩා සාර්ථක වීමට ඉඩ තිබිණි. එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කෙටි කාලයක් තුළ බිහිවූ උපාධිධාරීන් පිළිබඳ පසුවිපරමක් කිරීමෙන් ඇතැම් විට මේ පිළිබඳ අවබෝධයක් ලද හැකිය. කෙසේ වුවද පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරමින් එමි ප්‍ර‍මිතිය පවත්වා ගෙන යාමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිසම කටයුතු කළ යුතුය. 

මේ වන විට විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන ERPM (Act 16) පරීක්ෂණයට ද රජයේ වෛද්‍ය සිසුන් පොදු බහුවර්ණ පරීක්ෂණයක් සඳහා පෙනී සිට ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට සිය සුදුසුකම් සනාථ සනාථ කළ යුතුය. රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් පොදු පරීක්ෂණ ප්‍ර‍තිඵල අනුව පළමුව රජයේ රෝහල්වලට බඳවා ගනු ලබන අතර අනතුරුව විදෙස් සිසුන් ප්‍ර‍තිඵල අනුව බඳවා ගැනෙයි. වාර්ෂිකව ERPM විභාගයට පෙනී සිටින අය අතරින් සමත් වන්නේ 15%ක් පමණක් බව ද 2007 වසරේ විදෙස් වෛද්‍ය සිසුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් රජයේ වෛද්‍ය සිසුන් සමග පොදු පරීක්ෂණයට මුහුණදී ඉන් සමත් වූයේ 1.5%ක් බවද පැවසෙයි. එම ප්‍ර‍තිඵල මෙරට රජයේ වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය තහවුරු කරන අතර මෙරට වෛද්‍ය සභාව පිළිගත් 200ක් පමණ විදෙස් විශ්වවිද්‍යාලවල ප්‍ර‍මිතිය ප්‍ර‍ශ්න කෙරෙයි. ඔවුන් සයිටම් ප්‍ර‍මිතිය තරම් එම විශ්විද්‍යාලවල ප්‍ර‍මිතිය පිළිබඳ සොයා බලන්නේද යන ගැටලුව මතුවෙයි. කෙසේ වුවද රජයේ වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය පිළිබඳ අප රටක් ලෙස ආඩම්බර විය යුතු අතර එය රැක ගැනීමටද කටයුතු කළ යුතුය.    

එහෙයින් මෙරට රජයේ වෛද්‍ය උපාධිධාරීන් සහ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් මෙන්ම ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උපාධිධාරීන්ද පොදු පරීක්ෂණය හෝ ERPM පරීක්ෂණය යටතේ වෛද්‍ය සභාවේ සුපරික්ෂණයට ලක්විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වයද එයයි. දෙස් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් සියලු දෙනා ඇමරිකාවේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට නම් (The United States Medical Licensing Examination) USMLE පරීක්ෂණය සමත්විය යුතුය. එසේ නොමැතිව එම පරීක්ෂණවලින් සමත්වූ රජයේ වෛද්‍ය සිසුන්ගේ ලැයිස්තුව අගට පරීක්ෂණයට පෙනී නොසිට එක්වීමට පෞද්ගලික වෛද්‍ය සිසුන්ට අවස්ථාව ලබා දෙන්නේ නම් එය කිසිසේත් පිළිගත නොහැකි එහෙයින්ම කිසිසේත් නොවිය යුතු විනාශකාරී තත්ත්වයකි. 

එම පරීක්ෂණය මගහැර පවතින නීතියේ සිදුරුවලින් රිංගා යාමට යමෙක් උත්සාහ කරන්නේ නම් ඊට එරෙහි විය යුතු අතර එසේ කළ නොහැකි ආකාරයට නීති යාවත්කාලීන කළ යුතුය. රටේ වෛද්‍ය වෘත්තියේ ප්‍ර‍මිතිය ආරක්ෂාව කර ගැනීම සඳහා ඊට එරෙහි විය යුතුය. එහෙත් ඒ ප්‍ර‍මිතිය පිළිබඳ ප්‍ර‍ශ්නය නිරාකරණය කර ගැනීමට ඉඩ අහුරමින් ඇවිලෙන රවුලෙන් සුරුට්ටු දැල්වීමට සුදානම් වන පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධීන්ට එම ප්‍ර‍මිති සටන විනාශකාරී අන්තයක් කරා රැගෙන යාමට ඉඩනොදීමට වගබලාගත යුතුය.

සිය සයිටම් විරෝධය යුක්ති යුක්ත කිරීම පිණිස මෙවැනි හේතු ඉදිරිපත් කළ ද එම විරෝධයේ සැබෑ පදනම ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මතයයි. සයිටම් විරෝධය පිටුපස සිටින බොහෝ දෙනා සමාජවාදී මාක්ස්වාදී දේශපාලන අදහස් දරන අයයි. ඔවුන්ගේ දේශපාලනය සහ සයිටම් විරෝධය එකට ගැට ගැසී ඇත. සයිටම් මුදලට උපාධි විකුණන කඩයක් වන්නේ ද මුදලාලි කෙනෙකුගේ සූරාකෑමක් ලෙස පෙනෙන්නේ ද අධ්‍යාපනය සහ සෞඛ්‍ය මුදලට විකිණීමක් ලෙස දකින්නේද එහෙයිනි. ඇතැමුන්ට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහිවීම සිය අනාගත රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ලෙස දකිති. තවත් පිරිසක් ආණ්ඩුව සමග පවතින කෝන්තර පිරිමසා ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙස සයිටම් යොදා ගෙන ඇත.

තම රටේ ව්‍යාපාරික ප්‍ර‍ජාව රැකගැනීම මෙන්ම ඔවුන්ගේ ආයෝජන අවස්ථා පුළුල් කරමින් එහි සුරක්ෂිත බව තහවුරු කිරීමද ආණ්ඩුවේ වගකීමය. රටේ ආයෝජකයින් දිරිගන්වමින් ඔවුන්ට රට පමණක් නොව ලෝකයද ජයගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම රටට හිතැති ජනතාවගේ යුතුකමය.   

නාමල් උඩලමත්ත

No comments: