2008-09-02

සිංහලයා මෝඩයා ...?

සිංහල රාජ්‍යයේ (දැන් ලාංකික) පැවැත්මට කණකොකා හැඬූයේ 15 වන සියවසේ පෘතුගීසි කඩාවැදීමත් සමඟ ය. එතැන් සිට ගෙවී සියවස් 4 ½ක පමණ කාල පරාසය තුළ මෙරට සාම්ප්‍රදායික සමාජ දේශපාලන පඳනම බිඳ දැමීමට ආක්‍රමණිකයා සමත් විය. ආචාර ධර්ම උඩුයටිකුරු කෙරිණි. සාරය අසාරය ලෙස නිර්වචනය කෙරිණි. අසාරය සාරය ලෙස භෞතීස්ම කොට කිරුළු පළඳන ලදි. වසර දහස් ගණනක් ඈතට දිවෙන පෞඪ ඉතිහාසය නොදන්නා, සිය අතීතය වර්තමාන දීනත්වයට අනුව අවප්‍රමාණ කොට ඊට සිනාසෙන හීනමානයෙන් පීඩිත සිංහල රොඩ්ඩක් නිර්මාණය කිරීමට තරම් ආක්‍රමණිකයා සූක්ෂම විය.

ඒ අනුව අද අප ආර්ථික දියුණුව අනුව පහළ මට්ටමක සිටින හෙයින් අතීතය ද එසේ විය. අද විදේශාධාරයෙන් දිවි ගැට ගහගන්නා සිංහලයා සිතන්නේ පෙර කල සිය මුතුන් මිත්තන් ද ලොව පුරා හිඟමනේ ගොස් දිවි සරි කරගත් බව ය. අඩු තරමේ එකල යාන්තම් දිවි සරි කරගත්තා මිස කිසිදු සශ්ශ්‍රීකත්වයක් නම් නොතිබිණි. එදවස රාවනා නමින් අප මුත්තෙක් මෙරට රජ කළ බවත් ඔහුට දඬුමොනරය නම් ප්‍රාථමික ගුවන් යානයක් තිබූ බවත් පැවසීම අද සිංහලයාට විහිළුවකි. සිය අතීත ශ්‍රී විභූතිය දැන ඔකඳ වන්නා ඒ අයට මෝඩයෙකි. අඩු තරමේ එම ‍ෙඑතිහාසික පුවත එන්නේ ඉන්දිය කාව්‍යයක් වන රාමායනයේ වීමවත් මේ අයගේ මනස අවදි නොකරන්නේ ඇයි?



හේතුව සක්සුදක් සේ පැහැදිළි ය. ඉතා සූක්ෂම ලෙස මෙරට සාම්ප්‍රදායික හර පද්ධති අකාමකා දැමූ ආක්‍රමණිකයා, සිංහලයා සිය ජාතියේ මුල්වලින් ගලවා පර සක්වළ ගැසී ය. ආතක් පාතක් නැති සිංහල රොඩ්ඩට සිය රට දෙයට ගරහන්නත් පර දේ අගයන්නත් හුරු කෙරිණි. ඒ නිසා ඔහු අද යම් බඩුවක් මිලට ගන්න වෙළඳ සැලට ගොස් “මේක ලෝකල්නේ ” කියන්නේ දේශීය බඩුවක් යන අරුතට වඩා බාල බඩුවක් යන අරුතිනි. නැතිනම් දේශීය වීම ම බඩුව බාලවීමට හේතුවකි යන මුස්පේත්තු ආස්ථානයේ ලැඟගෙන ය. ඒ නිසා අද අපි තැඹිලි වල්ලට පා තබා ගෙන කොකාකෝලා බොමු. ගමේ වැල වරකා කුණු වී යද්දි කොළඹින් ඇපල් ගෙන ගමේ යන්නෙමු.

මේ තත්ත්වයට අප පත් කළේ ක්‍රමානුකූලව ය. ඒ සඳහා අපේ සිරිත් විරිත් හුරුපුරුදු ඇබ්බැහිකම් මැනවින් ප්‍රයෝජනයට ගැනිණී. අපේ කතන්දර සම්ප්‍රදාය භාෂාලංකාර පවා ඒ සඳහා කලමනාකරණය කළේ කෙතරම් සූක්ෂ්මව ද? ඔවුන් අප සරදමට ලක් කළේ “සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා” යනුවෙනි. විවිධ කැවිලි වර්ග අතර සිංහලයාට කැවුම් විශේෂ විය. වචනාර්ථය අනුව කන සියල්ල කැවුම් වුව ද සිංහලයාට කැවුම් වූයේ තමන්ට ම අවේනික එක්තරා රස කැවිලි වෙසෙසකි. කොණ්ඩ කැවුම් මුං කැවුම් නාරං කැවුම් පැණි කැවුම් ඉන් සමහරකි. මේ කැවුම් සෑදීමට විශේෂ හැකියාවක් අපේ අම්මලාට තිබිණි. විශේෂයෙන් හුරුබුහුටි ලෙස කොණ්ඩ කැවුමේ හිස හෙවත් කොණ්ඩය මතු කිරීමට මනා සංයමයක් සහ හුරුවක් ඇවැසි ය. ඊට හොබින ලෙස පිටි ඒදා ගැනීම ද ලොකු වැඩකි. මිත්තනියගෙන් මවට මවගෙන් දුවට ලෙස ගලා ආ ඒ දැනුම අද කොතැන ද?

සිංහල ගෙදරක සිංහල අලුත් අවුරුද්ද ඇතුලු සෑම ප්‍රීති උත්සවයක ම මුලට සිටි කැවුම් අද කොහි ද? තිබේ නම් ඒ නොමැති වීමේ අඩුව පිරවීමට පමණි. කැවුම් මෝඩයින්ගේ කෑමකි. ඇතැම් විට කැවුම් කෑම මෝඩවීමට හේතුවක් ද විය හැකි ය. එහෙයින් කැවුම් තව නොබෝ දිනකින් අප අතැර ගොස් කටුගේ නවතිනු ඇත. අපට උරුම වූ ඒ දැනුම අප විසින් ම බාල්දු කර ඉවත දමා අවසන් ය. මන්ද අද තරුණ දියණිවරු කුකරි ක්ලාස් යවන අම්මලා කේක් පුඩිං හැදීමට මිස කැවුම් තනන්ට කියා දේද? දැන් අපට හාල් පිටියෙන් කළ කැවුම් නැතුවාට පාන් පිටියෙන් කළ කේක් ඇත. මඟුලට වෙඩිං කේක් ය. උපන් දින සැමරුමට උපන් දින කේක් ය. නෑගමනට කේක් ය. තේ සාදයට කේක් ය.

අපේ බොහෝ දැනුම් පද්ධති, සමාජ සබඳතා මේ ආකාරයට ම ඉතා සූක්ෂම ලෙස අප ලවා ම සරදමට උපහාසයට ලක් කොට අපෙන් ඈත් කොට තිබේ. අහස සිඹින මහ වෙහෙර සයුර පරයන මහ වැව් කළ අප මුතුන් මිත්තන් සිය සුබ කටයුතු ඇරඹුවේ කිරි බත් වැළඳීමෙණි. එහෙත් කිරි බත් කෑවොත් දැන් සිංහලයාට නින්ද යාලු. මේ දැනුම බිහි කළේ කවුද? කුමන අරමුණකින් ද? එළවලු තෙල් ප්‍රචලිත කරනට පොල් තෙලට එරෙහිව ගෙන ගිය සාවද්‍ය ප්‍රචාරයට වඩා වෙනසක් මෙහි ඇද්ද?

මෙරට සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහය තුළ ප්‍රාදේශීය ප්‍රභූවරුන් සහ ජනතාව අතර පැවති සබඳතාව සහ ප්‍රභූනට සාමාන්‍ය ජනයා අතර පැවති ගෞරවය විනාශ කොට පාලනය වියවුල් කරනට ‘මහ දැනමුත්තා සහ ගෝළයෝ’ කතාව බිහිවිණි ද? එමගින් ජන ප්‍රධානීන් වෙතින් පැවති ජන ප්‍රසාදය සිය පාලනයට ලබා ගැනීමට ආක්‍රමණිකයා උත්සහ කළේ ද? ආක්‍රමණිකයා සිය රටේ පාලන දේහය සිදුරු කරනු වණ කරනු දුටු නැණැති සිංහලයෙක් ආවේගයෙන් ඔවුනට පරංගියා යයි කීවේ ද?

ඉතා සංකීර්ණ ලෙස මෙරට සමාජ දේහයට බද්ධව ඊට වින කටින එහෙත් අප නොතකා හළ යුතු යයි හැ‍ඟෙන එහෙයින් ම සියුම් ව විමසිය යුතු මෙවන් කරුණු තව බොහෝ ඇත.

11 comments:

ච.ගු said...
This comment has been removed by the author.
ච.ගු said...

මේ සටහන ඉතාමත් වැදගත්. සොයුර ඔබට තුති. මට සිහිවුනේ වසර ගණනකට පෙර මගේ ගුරු පියෙකු වූ දෙව් රුවන් අල්විස් මහතා කී දෙයක්;
අපේ බොහොමයක් ගෙවල් වල දැන් මැටි වලන් වල උයන්නෙ නෑනෙ. ඒ වෙනුවට Non-stick pans ඇවිල්ලා. නමුත් Non-stick pan එකේ තියෙන අදුරු පාට ස්ථරය තුනී මැටි තට්ටුවක්. අපි "මොඩ්" වෙන්න ගිහින් මෝඩ වෙලා කියල මම හිතන්නෙ

නාමල් උඩලමත්ත said...

චන්දිම,
සහිඳට ගොඩවෙලා ගියාට පිං. කිව්වට විශ්වාස කරයි ද මන්දා? මට මේ දැන් ඔබේ බ්ලොග් හමුවුණේ. මම ඒ බ්ලොග් එක එක බලන අතරයි ඔබ සංහිඳට ලියූ අදහස ලැබුණේ. හරි පුදුමයි නේද?

ඔබ ලියූ අදහස්වලට මම හරි කැමතියි. අපි නැවත ලාංකිකයෝ විදිහට හිතන්න ඒන කාලේ ඇවිත්.
ඔබ කියන කතාව හිරියට හරි. අපේ බවලත් උදවිය මැටි වලං ටිකේ පල්ල බිඳලා ඒවායේ ක්‍රෝටන් හිටවලා ඇළුමිනියම්වල උයන්න පටන් ගත්තනේ. ඉස්සරත් අපේ ගෙවල මිදුල කොනේ බුදුන් පුදන්ට මල් ගහක් තිබුණා තමයි. ඒ පිච්ච ගහක් නැත්නම් ඉද්ද ගහක්. ඊට අමතරව ගෙදර තිබුණේ එදිනෙදා අපට ඕන කෙරෙන බෙහෙත් පැලෑටි එළවලු පළතුරු ටිකනේ. ඉතින් අපේ ගෙදර ඉස්සර ස්වයං පෝෂිත ගෙදරක්.

දැන් අපේ අය මල් නොපිපෙන මල් වවනවා ගේ වටේ. ඒවා නඩත්තු කරන්න පෝර වතුර ඕන. ගෙදර කරපිංචා ගහක් නෑ. රම්පෙ කොලේ ගේන්නේ පොළෙන්. කන්නේ මිදි ඇපල්. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ.

අපේ මුතුන්මිත්තෝ මැටි බඳුන්වල ඉවීමේ ලොකු රහසක් තිබුණා. ඒවායේ ඇති ඉසියුම් සිදුරු ආහාරවල ඇති ජලය උරාගන්නවා. ඉතින් හරි ම පහසුයි ආහාර පිළුන් නොවී කල් තබාගන්න. ශීතකරණයේ කාර්යයත් උන්දැලා උයන බඳුනෙන් ම අගේට කරගත්තා. රසත් හොඳයි. මැටි බඳුන සෙමෙන් රත්වී සෙමෙන් ආහාර ඉදෙන නිසා පෝෂණ ගුණයත් සුරැකුණා.

ඇළුමිනියම් බත් එක්ක නොකෑ උන්දැලා අවුරුදු 90-100ක් හොඳට ජීවත් වුණා. අද සිංහලයට 50 වෙන කොට රටේ නැති ලෙඩ. 60 වෙන කොට ඔක්කොම ඉවරයි. මේ විදිහට සියතින් ගෙළ වැළලා ගත්තේ අප විසින් ම නේද චන්දිම?

කොහොම හරි අන්තිමට අපේ දේවල් පිට රැටියෝ අලුත් විලාසිතාවට අපට ම විකුණනවා. මේවා තමා උරාගේ මාලු උරාගේ ඇඟේ තියලා කපනවා කියන්නේ.

නාමල් උඩලමත්ත said...

හරේෂ් ඔබ සමඟ මම එකඟයි. අද අපි විඳවන බොහෝ ගැටලුවලට අපිට කලින් පරම්පරාව වඟකියන්න ඕන. ඒත් ඒ අයට බැණ අඬගහලා මේ අර්බුදය විසඳන්න බෑ. අපි තීරණය කළ යුතුයි මේ ප්‍රශ්න අපේ දරුවන්ට දෑවැද්ද විදිහට තෑගී කරනවද? නැත්නම් අපි ප්‍රශ්නය විසඳනවා ද? කියන එක. ප්‍රශ්නය විසඳුවොත් අපේ දරුවන්ට හරි යහපත් සශ්‍රීක රටක් ලැබෙයි. එහෙම නොකළොත් ඒ අයත් අපට ශාප කරලා ප්‍රශ්නය අපේ මුනුබුරන්ට තෑගී කරාවි. හැබැයි එතකොට ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙයි.
කළ යුත්තේ අද අද ම අප අප ම ආරම්භ කිරීමයි. සුළුවෙන් හෝ ඇරඹීමයි. හැම හොඳ නරක ලොකු පුංචි දෙයක් ම මුලින් ඇරඹුණේ යම් පුද්ගලයෙක්ගේ සිතේ. අපි අදහන බුදු දහම ස්වර්ණමය මධ්‍යම ප්‍රතිපදාව පහළ වුණේ මුලින් ම ශ්‍රේෂ්ඨ දඹදිව් පුත්‍රයෙකුගේ සිතේ. අනෙක් හැම දේම එහෙමයි. අපි අපේ ගෙදරින් පොඩියට පටන් ගනිමු. එතකොට ලෝකය ක්‍රම ක්‍රමයෙන් අපි එක්ක අත්වැල් බැඳගනීවි.
ඇයි අපට බැරි අපිට ඕන එළවලු ටික අල බතල ටික කරපිංච ගහ වවාගන්න බැරි? එමගින් අපට ලැබෙන ආර්ථික සහනය කෙතරම්ද? උද්දමනය ගැන කිය කිය ආණ්ඩුව පෙල්ලන්න යනවට වඩා ඒක කෙතරම් පහසු ද? අපේ අතින් වවපු ගහක් වැලක් මල් දලු ලා වැවෙද්දි එවා පලබර වෙද්දි දැනෙන ආත්මීය සතුට කියා නිමකළ හැකි ද?

Sam said...

//ඇළුමිනියම් බත් එක්ක නොකෑ උන්දැලා අවුරුදු 90-100ක් හොඳට ජීවත් වුණා. අද සිංහලයට 50 වෙන කොට රටේ නැති ලෙඩ. 60 වෙන කොට ඔක්කොම ඉවරයි. //
පට්ටපල් බොරු. අපේ මුත්තට ලමයී එකොලහයී. එකෙක් උපන්ගෙයීම මලා. තවත් එකෙක්ද දෙකෙක්ද බහතෝරන වයසට එන්න කලින මලා. බාල එකා නයෙක් ගහලා මලා, ලොකු කෙලී ලමයෙක් වදන්න ගොහිල්ල මලා. තව එකෙක් මැලේරියාව හැදිලා මලා. ඔය ඔක්කෝම මැරිලා ගියාට පස්සෙ ඉතිරුවෙච්ච උන්දැනම් බර ගානක් ජීවත්වුනා. දැන් එහෙම නැහැ. හොටු කොල්ලොත් ලොකු වෙනවා. ලෝකෙ දෙවෙනියාට අඩුම වැඩිහිටි මරන අනුපාතිකයක් තියන රට සිරි ලංකාවයැයී කියලා ඕන් මම පහුගිය දොහේ පත්තරේ කියෙව්වේ. කොහොම ප්රගතියකද බොලන්.

අනේ අම්මපා හැබෑ නේන්නම්. පහුගිය දෝහෙ මට තැබුලි බොන්න දොල දුකක් හැදිලා කඩයක් කඩයක් ගානෙ ගියා තැබිලි ගෙඩියක් හොයාගන්න. අන්තිමට ගාන ඇහුවහම තමයී ගහේ තැබිලි පෙනුනේ. අලියා බීම බොතලයක් බීලා ගෙදර ආවා ඕන්. කොකා කෝලා, කොකා කෝලා, කියලා කෑගවුවට ලංකාවෙ වැඩියෙන් විකිනෙන්නෙ අලිය බීමලුයැයී කියන්නේ.

ඕන් ඉතින් ලෙඩෙක් බලන්න යනකොට එහෙම ලෙංගතුකමටත් එක්කලා වැඩි ගානට ඇපල් ගෙඩියක්, මිදි ගෙඩියක් එහෙම අරගෙන ඉස්පිරිතාලෙට යනවා එහෙම තමයී ඕන්. නෑයී කියන්නේ නැහැ. ලෙල්ලත් එක්ක කෙහෙල් ගෙඩියක්වත් මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න දෙන්නෙ නැති කොට කොහොමට කියලා වරකා පලුවක් අරගෙන යන්නෙයී.

අනේ බොලන්, මමත් මැටි වලදෙ උයලා තියෙනව. ඕන් බොරේට හැදුවොතින් වැඩිම උනෝතින් රැයක් කෑම තියෙයී, කිරට හැදුවොතින් වැඩිම උනොතින් වේලක් කෑම තියෙයී. මම මේ කීවෙ, දැලි වලන් හෝදලා නැති උදවියට දැන ගන්න.

ලංකාවෙ වර්ග කිලෝමීටරෙකට මිනිස්සු 310 ඉන්නවායැයී කියන්නෙ ඕන්. සල්ලි බගේ ඉඩකඩම් තියන උන්දෙලාටනම් ඕන්, මිදුලෙ පිච්ච මල් වවාගෙන, පිලිකන්නෙ පලතුරු වවාගෙන, දර ලිපේ, මැටි වලදෙ උයලා කන්න පුලුවන්. ඒ උදවියගෙ මෑනියන්ටම් ගෙදරට වෙලා කැවුම් උයන්න වෙලාව ඇති. එදා වෙල හම්බු කොරගෙන කන අපිටනම් ඔය බයීලා බෑ බොලන්. බැන්කු ණයක් දාලා ගත්තු පර්චස් 7තේ මොන කරපින්චන්ද බොලන්. කරපින්ච ගහ වැවෙන පර්චස් එකකට යට කොරන සල්ලි වලින්, පරම්පරා හතකට කරපින්චා ගත හැකී. ඕන් ඉස්සර කාලෙනම් කෙල්ලව ඉස්කොලෙ යවන්නෙ නැතිව කසාදයක් කොරලා දෙන්න තිබුනා. කොල්ලාව ලියද්දෙ වැඩට යවන්න තිබුනා. ඉන්ටර්නෙට් බිල් ගෙවන්න නැහැ. ෆොන් බිල් ගෙවන්න නැහැ. දැන් එහෙම බැහැ නොවැ. බැන්කු ණය ගෙවලා, ලමයීගෙ බඩ කට පුරවන්න, දැන් ඉතින් දෙන්නා දොමොල්ලොම රස්සා කොරන්න ඕනි. දෙන්නාම වැඩට ගිහිලා, අන්තිම බස් එකේ දොරේ එල්ලිලා ගෙදර ආවට පස්සෙ දර ලිපෙ මැටි මුටිටියෙ උයන්න වෙලාවක් නැහැ, එකක් එක්ක බතක් හදාගෙන කනවා මිසක්. මම මේ කියන්නේ වෙන මොනවාවත් නිසා නොවෙයී, අපේ දෙමව්පියෝ දහන් ගැටේ දාලා අපිව උස මහත් කොරනකොට, සමහරු උන්දෙලා කැවුම් උයන්නේ නැහැ කියල්ලා නොක්කලේ දාන නිසායී.

කොහොම හරි මට මේ කියන්න හදන්නෙ, අපේ කම රැක ගන්න කැවුම් කන්නෙයී, කොකිස් කන්නේයී, දර ලිපේ මැටි වලදේ උයන්නෙයී කියන කතාව එදා වේල හම්බු කොරගෙන ලමයී ඉස්කෝලෙ යවන උන්දෙලාට විහිලු. ජීවන බරක් නැති, පවුලක් පන්සලක් වෙලා නැති, නැත්තම වෙලාවට දානෙ ලැබෙන උන්දෙලාටනම් ඔහොම අලංකාර කථා කිය කියා ඉන්න පුලුවම්. අද ලංකාව, ඔය කියන අතීතයට වඩා දාහෙන් සම්පතය. අද දවස තරම් දියුනු දවසක් ලංකා ඉතිහාසයේ මීට පෙර තිබුනෙ නැත. අද හැමෝටම කන්න බොන්න ඇත. අතේ දුරින් අධ්යාපනය ඇත. මැලේරියාවට බෙහෙත් ඇත. ලකේගලේත්, රජයේ රෝහල් ඇත. හැමෝටම යන්න එන්න අපේමයැයී කියා ගුවන් යානා ඇත. ගුවන් හමුදාවක් ඇත. රජ්ජුරුවන්ට පමනක් තිබූ දඩුමොණරය ගැන ආඩම්බර වීම පසක තබා, පොදු ජනතාවටම පාවිච්චි කොල හැකී අපේ ගුවන් තොටුපල ගැන අපට ආඩම්බර විය හැක. අනේ හැබැටම, දැන් කටුනායක ගුවන් තොටුපලේ අලංකාරය. පංකාදු පහයී.

Anonymous said...

ane eththata thamange deta garahana mehemath aluguththeru amana kalakanni gobboyo innawane me rate...
manussayek kiyanna uthsaha karana deyak therum ganna beri, bolada katha kiyana wal moosalayoth ekka me rata hadanna be...
me wage geri hiwal kalu-suddanta oona unge ammalawa bada karala, anatha karala dala giya suddange urumaya rakinna...
machan, Namal, me wage mul nethi, sanskruthiyak, sadacharayak nethi (suddage eka wath) wal ballo kiyana katha ganan ganna epa...
munta oone Sinhala ape gena liyana dewal nawathwanna... unta mewa waha-kaduru wage...
me Sam kiyana moda wassage blog eka balanna, uge buddiye tharama obata sithagatha heka!
(moo colamba 7 ganikawakage puthekda koheda...) thuk nodakin!

Anonymous said...

Ayyo Sanath,
Mind your language. You don't have to be that imotional. Sam has sarcastically indicated the reality.What he says is very true. That's not insulting 'apekama'. When comparing the two blogs, one will wonder who lacks 'sabhyathwaya'!!!!
What Sam tries to say is ' passa kaha ganna niyapothu nethi apita mona koti dath da???'
Isn't it Sam??

නාමල් උඩලමත්ත said...

ආ සෑම්,
මෙවන් වටිනා අදහස් දැරීමට ඔබට ඇති අයිතියට ද ගරු කරමි. ඔබේ විවේචනය මම අගේ කොට සලකමි. එයින් හොඳට ම පැහැදිළියි මට කියන්න අවශ්‍ය වූ දේ කදිමට සන්නිවේදනය වුණා කියා. මගේ අරමුණ නිඳන මිනිසුන් අවදි කිරීමයි. මම දන්නවා බොරුවට නිඳන අය අවදි කරන්න බෑ කියා.

අපි දන්නවා මේ රට ශිෂ්ටාචාරගත වූයේ 1505 කියලා හිතන අයත් සිටින බව. ඒ අයට එහෙම හිතන්න පුළුවන්. මොකද ඒක ඒ අයට ආඩම්බරයක් නිසා. ලොකු කතන්දර නොකිය කියන දේ කෙටියෙන් කියනවා නම් හොඳයි නේද?

සෑම් තමන්ගේ හතර වරිගේ ඇදගෙන කියන්න උත්සහ කරන්නේ. මේ රට සුදු මහත්වරු එන්න කලින් අශිෂ්ට ගල් වැද්දෝ ජීවත්වූ තැනක්. උන්ට හරියට බෙහෙතක් හේතක් ලැබුණේ නෑ. දරුවෝ රොත්තක් හැදුවත් අන්තිමට විවිධ ව්‍යසන නිසා ඒ අය මැරිලා යනවා. දැන් එහෙම නෙවෙයි ඉංග්‍රීසි මිනිසුන්ට පිං සිද්ධ වෙන්ට අපි ජීවත් වෙනවා කියන එකනේ.

මම හිතන්නේ සෑම්ගේ මුත්තාගේ පවුලේ වසූරිය වසංගතයට අහුවෙලා. මාක්ස්ට අනුව නම් ස්වභාවික වරණයට ලක්වෙලා. ඒ කියන්නේ පරිසයට අනුගත නොවීම නිසා වඳවීම. හැබැයි මම නම් කොහෙත්ම හිතන් නෑ සෑම්ගේ පවුලට ඒක වුණා කියලා. මොකද ඒ ප්‍රවාදය අනුව මැරෙන්නේ පරිසරයට අනුගත විය නොහැකි අය නිසා. පරිසරයට අනුගත විය නොහැකි සත්ත්වයෙක් ඉතිරිවෙන්න බෑනේ.

අතීතයේ මේ රටේ බටහිර වෙදකම නොතිබුණාට දියුණු ආයූර්වේද ශාස්ත්‍රයක් තිබුණා. මිනිසුන්ට විතරක් නෙමේ සතුන්ටත් වෙදකම් කළා. බුද්ධදාස රජතුමා ඒකට හොඳ නිදසුනක්. මිහින්තලේ අපේ පැරණි රෝහල් සංකීර්ණයක නටඹුන් තියෙනවා. ඒවා කාලයත් සමඟ යටපත් වුණා.

ඇත්ත යුරෝපීය පුනරුදයත් සමඟ බටහිර රටවල් දියුණු වුණා. ඒත් ඒ අයත් ලෙඩ රෝග දරුණු ව්‍යසනවලින් මිනිසුන් මැරෙන යුගයක් පසු කළා. ඒවට එරෙහිව ඒ අය සටන් කළා. පිළිතුරු හොයා ගත්තා. මම කියන්නේ අන්න ඒ අය වගේ අපිත් අපේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුයි කියලා. ඒ සඳහා අපට උරුම වූ දැනුම මතුකර ගැනීම ලොකු රුකුලක්. ඇයි ඔබ මම කියන දේ තේරුම් ගන්න උත්සහ නොකරන්නේ?

ඔබට අවශ්‍ය නැහැ කිසිම සංවාදයක් විමසා බලන්න. ඔබ කරන එක ම දේ තැන ම කිසිම හරයක් නැති මනස්ගාත ඇදබෑම නේද? මම නිතර දකිනවා විවිධ බ්ලොග් අඩවිවල ඔබ ලියනවා. අන්වර්ත නම්වලින් පෙනී සිටිමින් ඔබෙත් අපෙත් කාලය අපතේ යවන දේ ලියන්නේ ඇයි? කාලය කෙතරම් වටිනව ද? මේ 2008 වසර. ඔබ 2108 වෙද්දි මිය ගිහින්. ඇයි ඒ සීමිත කාලය දෙලොවට ම වැඩක් නැති දේට යොදවන්නේ.

මම කියන්නේ නැහැ අපි තමයි කියලා. අපේ අඩුපාඩු එමටයි. අපට ලෝකයෙන් ගතයුතු දේ බොහොමයි. ඔබට පුළුවන් රටක් විදිහට අපේ දුර්වලතා පෙන්නලා අහවල් රටේ මිනිස්සු ඒ අඩුපාඩු හදාගත්තේ මෙහෙමයි කියලා පෙන්නලා දෙන්න. ඒක හරිම වටිනවා. අපි කාටත් ප්‍රයෝජනවත්.

Sam said...

පුද්ගල මඩ ප්රහාර එල්ල කිරීම අපේ කට්ටියගේ පුරුද්ද නිසා, ඒ ගැන මම මොනවත් කියන්නේ නැහැ. මට ඉතින් ඔය ගැන කියන්න තියෙන්නේ මම හැම තිස්සේම කියනා දේම තමයී. මම මඩ ප්රහාර එල්ල නොකරන සහ, ඔය උදවිය මඩ ප්රහාර එල්ල කොරන හේතුවත්, දෙකම එකයී. ඒ, අපේ දෙමව්පියන් අපිව හැදූවැඩූ ආකාරයයී. අනිත් උදවියට මඩ ගහනේ නැතිව, කතා බහ කොරන්න පුරුදු කොරාට මගේ දෙමව්පියන්ට පින්. එහෙම ගුණ දර්ම කියා දෙන්න පුලුවන් දෙමව්පියන් ලබා ගන්න හැමෝම පිං කොරලා නැහැ.

//සෑම් තමන්ගේ හතර වරිගේ ඇදගෙන කියන්න උත්සහ කරන්නේ. මේ රට සුදු මහත්වරු එන්න කලින් අශිෂ්ට ගල් වැද්දෝ ජීවත්වූ තැනක්. උන්ට හරියට බෙහෙතක් හේතක් ලැබුණේ නෑ. දරුවෝ රොත්තක් හැදුවත් අන්තිමට විවිධ ව්යසන නිසා ඒ අය මැරිලා යනවා. දැන් එහෙම නෙවෙයි ඉංග්රීසි මිනිසුන්ට පිං සිද්ධ වෙන්ට අපි ජීවත් වෙනවා කියන එකනේ.//

යන්නේ කොහොද. මල්ලෙ පොල්. මම සුද්දෝ ගැන වචනයක්වත් කියලා නැහැ. ගොයීයෝ, ඒ දවස්වල ලංකාවෙ උන්දෙලා නොවෙයී, සුද්දොත් මලේ එක විදිහට. ලෙඩ රෝග වසංගත. ඒ වුනාට අපේ රටේ සමහරුනට මන්ද මානසිකත්වයක් තියනවා නොවැ හැම දේකටම සුද්දාව ගාව ගන්න. සුද්දා කියන වචනය කියාපු ගමන් තමන්ගේ කාරනය සබා සම්මතයී කියලා තමයී හිතන්නෙ. ඒ මදිවට, සුද්දට බනින්න ඕන වුනහමත් උන්දෙලා ගාව ගන්නේ, එංගලන්තෙ මාක්ස් ගොයීයා. අනේ අනිච්චං.

ඕහේලා කියන්නෙ, ලංකාව අතීතයට වඩා පිරිහිලාය, මිනිස්සු නිදාගෙන ඉන්නවායැයී කියලා නොවැ. මම කියන්නේ එහෙම නැතෙයී, ලංකාව අතීතයට වඩා දියූනුය, මිනිසුන් අවදිව දැනුවත්ව ඉන්නවායැයී කියලායී. මගේ කතාව අවහරයී.

ඕහෙගේ ඉල්ලීම පිලිගත්තා. ඕන් මීට පස්සෙ මම අපේ සිංහල බොලොග් කාන්ඩෙත් එක්ක කිසිම බජනයක් නැහැ. වෙන මක්කාවත් නිසා නොවෙයී, අපේ උන්දෙලා කාරනය පසක තියලා, මර්වින් සිල්වා වගේ මඩ ප්රහාර එල්ලා කොරන නිසා. අනේ ඉතින් කීවත් වගේ මම ම්ක්කටෙයී කාලය නාස්ති කොරන්නේ.

නාමල් උඩලමත්ත said...

සනත් අර අඥාත මිත්‍රයා එක්ක මට එකඟ වෙන්න වෙනවා. ඔබ දැඩි ලෙස ආවේගයට පත්වෙලා. ඒ වෙලාවට අපේ බුද්ධිය යටපත්වෙනවා. අපි අන් මත ඉවසන්න සහ ඒවාට සංයමයෙන් පිළිතුරු දෙන්න පුරුදුවෙන්න ඕන.

සෑම්ගේ අදහස් දකිද්දී කාට වුවත් යම් ආවේගයක් ඇති වීම නම් පුදුමයට කාරණයක් නෙමේ. ඒ අවේගය දිග හුස්මකින් පිටකර හරින්න. මම නම් දැන් ඒවා බලන්නේ සිනාවෙන්න. පිළිතුරු ලියන්නේ බලන අනෙක් අයගේ හිතසුව පිණිස. අපි තව ම ජීවත්වෙන්න බ්‍රිතාන්‍ය යටත් විජිතයේ සුවච කීකරු අතවැසියන්ගේ දරු මුනුබුරෝ එක්ක බව මතක තියාගන්න. ඔබේ අදහස් ටික ආවේගයෙන් තොරව ලීවා නම් කෙතරම් අගේ ද? හිතේ පරහක් ඇති කර නොගෙන ඒ ගැන ටිකක් හිතා බලන්න.

සෑම් නිකං බොරුවට බබාවෙන්න හදන්න එපා. මගේ රටේ දියුණු නොදියුණු අංශ ගැන මම මීට කලිනුත් ලීවා. (බලන්න http://sanhindha.blogspot.com/2008/07/blog-post.html සහ http://sanhindha.blogspot.com/2008/07/2.html) මගේ රට ස්වර්ග රාජ්‍යයයි කියා හිතාගෙන ස්වයං තෘප්තියක් ලබන්න මට බැහැ. ඒ නිසා ඒ ගැන මම ලියනවා. ඒ ගැන මම ලියපු දේ හරියට තේරුම් නොගෙන සමස්ත ලිපියක පුංචි කොටසක් වෙනම අරන් අමන තර්ක ගේන්න එපා. අපි අද වැටී ඇති තත්ත්වයට සුද්දා වඟකියන්න ඕන. ඒ නිසා මම ඒ බලපෑම් විවේචනය කරනවා. ඒ වෙලාවට ලේ රත්වෙනවා නම් ටිකක් හෝදිසි කළොත් හොඳා.

අතීතය කියන්නේ කවදට ද? අතීතයට වඩා මේ රටේ ඇති දියුණුව කුමක් ද? ඒ දියුණුව ආර්ථික ද? දේශපාලන ද? සංස්කෘතික ද? ඒ දියුණුව මනින්නේ කොහොම ද? කාට කුමන යුගයට සාපේක්ෂව ද?

දියුණුව පර්චස් 7 ජීවත්වීම ද? කරපිංච ඉත්තත් කඩෙන් ගැනීම ද? වැල වරක අඹ පේර කෙසෙල් වෙනුවට මිදි ඇපල් කෑම ද? වසරකට මිලියන 100ක ඇපල් කෑම ද? රටපුරා හිඟන්නෝ බේබද්දෝ බෝ විම ද? අඩියක් අඩියක් ගාණේ අරක්කු බාර් ඇරීම ද? රටේ නායකයෝ ලෝකේ වටේ හිඟමනේ යාම ද? එකම ගුවන් යානයක්වත් නැති ගුවන් සමාගම ලංකාවට අයිති වීම ද? 1948 ආසියාවේ දෙවන ආර්ථික බලවතා වූ ලංකාව හිඟමනට වැටීම ද? 1950 දශකයේ ද.දෙ.නි.10%ට අඩු රාජ්‍ය ණය ප්‍රමාණය අද 105%ක් වීම ද? 1975 5% අඩු උද්දමනය අද 30%ට ටිකක් අඩු වීම ද? මෙරට එක් වැසියෙක් ලක්ෂ 2 ලෝකයට ණය වීම ද?

මම ඔබේ ඇතැම් ලිපි කියවලා තියෙනවා. ඊට වඩා වෙන වෙන අඩවිවල කළ සටහන් දැකලා තියෙනවා. ඒ ගැන මම ලියලා තියෙනවා. ඒ සියල්ලෙන් පැහැදිළිව ප්‍රකට කරන්නේ මහා විපරිත මනසක්.
අසාරය සාරය ලෙස ද සාරය අසාරය ලෙස ද දකින විපරිත මානසිකත්වයට හේතුව මාර්ටින් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

"ප්‍රතිචීනීකරණයට හසු වූවෝ බටහිරට ගැති වෙති. බටහිර ආක්‍රමණිකයන්ට හවුල් වෙති. තමාගේ නෑසියන් හට හතුරු වෙති. ඔවුන් අතර විදේශිකයෝ වෙති. මේ සියල්ල සිදු වන්නේ ප්‍රතිචීනීකරණය හේතුකොට ගෙන ඇතිවන මානසික විපර්යාසය නිසා ය. " (මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන-1981)

මැකෝලි සාමි ඒ සඳහා පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව 1815 සිය හාම්පුතුන්ට පෙන්වා දී ඇත.

"මම ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සැරිසරා ඇත්තෙමි. එක ද සිඟන්නකු හෝ එක ද සොරෙකු හෝ මා එහි දැක නැත. බොහෝ සම්පත් සදාචාරාත්මක වටිනාකම් හා උසස් ගණයේ මිනිසුන් මම ඒ රටේ දැක ඇත්තෙමි. ඒ රටේ අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමය නම් වූ කොඳු නාරටිය නොබිඳ අපට කිසිදාක ඒ රට යටත් කර ගත හැකියයි නොසිතමි. එහෙයින් එරට පැරැණි චිරාගත අධ්‍යාපන ක්‍රමය එහි සංස්කෘතිය වෙනස් කළ යුතුයයි මම යෝජනා කරමි. මන්ද ඉන්දියානුවෝ විදේශීය වූත් ඉංග්‍රීසි වූත් සියල්ල තමන්ගේ දේවලට වඩා මැනැවැයි උසස් යයි සිතත් නම් ඔවුන්ගේ ආත්මාභිමානයත් ඔවුන්ගේ දේශීය සංස්කෘතියත් ඔවුනට අහිමි වී යනු ඇති. එවිට ඔවුහු අපට අවැසි පරිදි සැබැවින් ම පරාධීන වූ ජාතියක් බවට පත්වන්නෝ ය. " (ජාතික ස්වභාෂා කොමිසම අතුරු වාර්තාව)

මිත්‍රයා, මාක්ස් එංගලන්තේ නෙමේ. ජර්මන් ජාතිකයෙක්. මට මතකයි 1849 එංගලන්තයට ආවා කියලා මාක්ස්. මම සුද්දා හොදක් කළොත් හොද කියනවා. නරකක් කළා නම් බනිනවා. මගේ රටට උන්දැලා කළේ නරක නිසා එයාලට වැඩියෙන් බැනුම් අහන්න වෙනවා.

කෙසේ වුව ද සෑම් ඔබ නොලිය ඉන්න එපා. හරවත් යමක් ලියන්න. මම නම් කාගෙවත් විවේචනවලින් සැලෙන් නෑ. මගේ වරදක් පෙන්වා දුන්නොත් එය සැබෑ යයි හැඟුනොත් ඒක හදා ගන්නවා.

Anonymous said...

නාමල්, ඔබේ බ්ලොග් පොස්ට් එක ඉතාමත් වැදගත්. ඒක අපි අගයකරනවා. ඔය සෑම් කියන්නේ ක්‍රිස්තියානි කාරයෙක්. ඔය පොස්ට් එක වගේම එකක් අපේ බ්ලොග් එකටත් දැම්මා. උන්ට සිංහල බෞද්ධ කියල ඇහෙනකොටත් ඉහ මොළ රත් වෙනවා.

~Ranga