Showing posts with label සුබස් ආර. Show all posts

2010-07-21
බඩු සහ මාර බඩු!
(සිංහලය සොඳුරු සුකොමල බසෙකි. ඒ සුන්දර බව ගැමි වහර, කට වහර, ගත් වහර ඈ මුසුවෙන් උපන්නෙකි. සිංහලයේ සොඳුරු බව කියාපාන ඇතැම් වදන් සහ යෙදුම් ලියා තැබීම මේ ලිපි පෙලේ අරමුණයි. මෙහිලා අප දිරි ගැන්වූයේ මහාචාර්ය ජේ.බී. දිසානායක සිංහල ජනවහර පිළිබඳ කළ මාහැඟි පොත් පෙළ බැව් ගුරුබැතියෙන් යුතුව සඳහන් කරමි. )
සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' නම් වදන ඇසුරිණි. 'බඩු' බහු වචන නාම පදයයි. එහි ඒක වචනය 'බඩුව'යි. ගැමියෝ කට වහරේ 'බඩ්ඩ' 'බඩ්ඩක්' යනුවෙන් ව්‍යවහාර කරති.
සිංහලයාට බොහෝ බඩු වර්ග තිබේ. ව්‍යංජන හෙවත් මාලු පිනි රසවත් කිරීමට යොදන්නේ 'කුළු බඩු'ය. යම් ලෙඩකට භාවිත කරන ඔසු 'බෙහෙත් බඩු'ය. සුන්දරත්වය පිණිස පළඳින්නේ 'රන් බඩු'ය. රන් බඩු වෙනුවට 'සාප්පු බඩු' පැළඳීම දැන් නම් විලාසිතාවයි. පෙර මෙන් නො ව අද කාලයේ සිංහල ගෘහණියෝ ඉවුම් පිහුම් සඳහා 'ඇළුමීනියම් බඩු' භාවිත කරති. පඬික්කන්, පහන්, ඉලත්තට්ටු වැනි 'පිත්තල බඩු' පැරණි ගෙවල තව ම දක්නට ලැබේ. පිත්තල බඩු නැති නිවෙස්හි පවා ඇඳ පුටු මේස අල්මාරි වැනි'ලී බඩු' තිබේ. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන්නේ 'විදුලි බඩු'ය. තැන තැන ඇවිදිමින් තොරම්බල් බඩු විකුණන 'මණිබඩුකාරයා' එකල ගම්වල සුලබ දසුනකි.
ලී බඩු වෙනුවට 'ප්ලාස්ටික් බඩුවලින්' ගේ දොර පිරී යෑම මහා නස්පැත්තිය කැයි වැඩිහිටි ඈයන් කියන කතාවේ ඇත්තක් නැත්තේ නොවේ. මූදු හුළඟට 'යකඩ බඩු' වහා දිරාපත් වන හෙයින් ඒ සඳහා 'ප්ලාස්ටික් බඩු' හොඳ විකල්පයක් බැව් නොකියා ම බැරී ය. මගතොට යද්දි කුඩ උන් අම්මාගෙන් ඉල්ලා හඬන්නේ ‘සෙල්ලම් බඩු‘ය. කිසිවෙක් තවෙකෙකුගෙන් සොරා ගත් දෑ ‘හොර බඩු‘ය. ඕනෑ ම හොර බඩුවක් උසාවියට ගෙන ආ විට ‘නඩු බඩු‘වෙයි. පිට රටින් ගෙනා බඩු 'රට බඩු'ය. හවසට ඩිංගක් තොල කට ගා ගන්නා ගැමියෝ 'බඩු ටිකක් තිබුණා නං පංකාදුයි' කියන්නේ කසිප්පු වැනි මත් පාන වර්ග ය.
සිංහලයා ‘සිල්ලර බඩු කඩ‘ ගැන මෙන් ම ‘තොග බඩු කඩ‘ ගැන ද දනියි. ව්‍යවහාරයේ ඇත්තේ ‘සිල්ලර කඩ‘සහ ‘තොග කඩ‘ වුවත් ඒවායේ තිබෙන්නේ බඩු ම ය. ‘වීදුරු බඩු‘ මෙන් ම ‘පිඟන් බඩු‘ද පරිස්සමින් පරිහරණය කළ යුතු ය. සිංහලයා මෙම බඩු ඒවායේ ගුණාගුණ අනුව වර්ග කිරීමට ද නොපසු බසියි. එහිදී ‘හොඳ‘, ‘බාල‘,‘ලාභ‘,‘අලුත්‘,‘පරණ‘,‘නියම‘ ආදී විශේෂණ මුලින් යෙදීම සිරිතයි.
සිංහලයා ඇතැම් බඩු ‘භාණ්ඩ‘ ලෙස හඳුන්වයි. ‘පූජා භාණ්ඩ‘, ‘සංගීත භාණ්ඩ‘,‘ගෘහ භාණ්ඩ‘ ‘තෑගි භාණ්ඩ‘,‘විසිතුරු භාණ්ඩ‘‘උත්සව භාණ්ඩ‘‘කොහු භාණ්ඩ‘ ‘මැටි භාණ්ඩ‘‘‘සම් භාණ්ඩ‘,‘වේවැල් භාණ්ඩ‘,එවන් බඩු ය. ‘මැටි බඩු‘,‘වේවැල් බඩු‘ ලෙස ද යෙදිය හැක්කේ ඉන් කිහිපයක් පමණි.
වැරැද්ද සමග එය කළ පුද්ගලයා ද හසු වූ විට ‘බඩුත් එක්ක ම හොරු අහුවුණා‘ යැයි කියන සිංහලයෝ තමන්ට යම් අසාධාරණ තීන්දුවක් ලැබුණහොත් ‘නඩුත් හාන්දුරුවන්ගේ, බඩුත් හාන්දුරුවන්ගේ‘යැයි කියා කෝපය නිවා ගනිති. 'හරි ම බඩු හයක්' යනුවෙන් සුගතපාල ද සිල්වා අපූර්ව නාට්‍යයක් කළා මතක ය.
තරුණයෙක් තවත් තරුණයෙකුට ‘මාර බඩුවක්‘ යැයි කියා පෙන්වන්නේ ඉහත කී කිසිම බඩුව නොවේ. තම පෙම්වතිය ‘බඩුව‘ යැයි හඳුන්වන පෙම්වතුන්ගෙන් ගැහැනු ළමයි පරිස්සම් විය යුතු ය. අනාචාරයේ හැසිරෙන ගැහැනුන්ට ‘බඩු‘ යැයි ගර්හා කරන අය අතරින් බොහෝ දෙනා අඳුරේ පව් කර එළියේ රවන උන් බව කිව යුතු ම ය.
සිංහලයෝ බඩු බාහිරාදිය සහ බඩු මුට්ටු ගැන ද කතා කරති. ඔවුන් ‘බඩු‘ ගැන දැන සිටිය ද ‘මුට්ටු‘ ගැන දන්නා අය නම් අපට හමු වී නැත. ගැමි තරුණියක තවත් එකියකට ‘මට ඔයාට බඩ්ඩක් කියන්න තියෙනවා‘ කියන්නේ යම් කිසි රහසක් බව අමුතුවෙන් කිව යුතු නැත.
'බඩු' යන වදන නාම විශේෂණයක් ලෙස මෙන් ම ක්‍රියා විශේෂණයක් ලෙස ද යොදා තනන අපව්‍යවහාර මෙහි සඳහන් නොකළත් දන්නෝ දතිනි. එම ව්‍යවහාර මෙහි සඳහන් කළහොත් අපේ අඩවි සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කරන්නට බලා සිටින අය 'බඩුම තමා' යැයි කියා පෙත්සම් ලියනු ඇත.

Subscribe to:
Posts (Atom)