2008-07-24

සුදු සෙවනැලි

සිංහලයාට විදේශ ආක්‍රමණ අරුමයක් නොවේ. අනුරාධපුර සමයේ සේන ගුත්තිකගේ පටන් නේක පරසතුරන්ට ඔහු මුහුණ දුන්නේ ය. ඒ සෑම විට ම සිය රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හේ සමත් විය. එහෙත් 1505 ඇරඹි පෘතුගීසි ආක්‍රමණය අවසන 1815 දිවයින බ්‍රිතාන්‍යය යටත්විජිතයක් බවට පත්විය. මේ යටත්විජිතවාදය හුදු ආර්ථික සූරාකෑම පිණිසයයි කියන්නෝ දැන හෝ නොදැන අප නොමග යවති. ආක්‍රමණය නියම බරින් අවබෝධ කර ගැනීමට මං අහුරති.



එදවස ඉන්දිය යටත්විජිතභාර ලේකම් මැකෝලි සාමි 1835 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයක් මෙසේ ය.
"මම ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සැරිසරා ඇත්තෙමි. එක ද සිඟන්නකු හෝ එක ද සොරෙකු හෝ මා එහි දැක නැත. බොහෝ සම්පත් සදාචාරාත්මක වටිනාකම් හා උසස් ගණයේ මිනිසුන් මම ඒ රටේ දැක ඇත්තෙමි. ඒ රටේ අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමය නම් වූ කොඳු නාරටිය නොබිඳ අපට කිසිදාක ඒ රට යටත් කර ගත හැකියයි නොසිතමි. එහෙයින් එරට පැරැණි චිරාගත අධ්‍යාපන ක්‍රමය එහි සංස්කෘතිය වෙනස් කළ යුතුයයි මම යෝජනා කරමි. මන්ද ඉන්දියානුවෝ විදේශීය වූත් ඉංග්‍රීසි වූත් සියල්ල තමන්ගේ දේවලට වඩා මැනැවැයි උසස් යයි සිතත් නම් ඔවුන්ගේ ආත්මාභිමානයත් ඔවුන්ගේ දේශීය සංස්කෘතියත් ඔවුනට අහිමි වී යනු ඇති. එවිට ඔවුහු අපට අවැසි පරිදි සැබැවින් ම පරාධීන වූ ජාතියක් බවට පත්වන්නෝ ය. " (ජාතික ස්වභාෂා කොමිසම අතුරු වාර්තාව)

මෙහි පැවසෙන ඓතිහාසික උරුමය ඉන්දියාවට මෙන් ම අපට ද නොඅඩුව තිබිණි. (විශේෂයෙන් ම ඔවුන් ලංකාව සැලකුවේ ද ඉන්දියාවේ කොටසක් ලෙස බව අවබෝධ කර ගත යුතු ය.) එමෙන් ම මේ උපක්‍රම ඉන්දියාවට වඩා හොඳින් ඊට සැතැපුම් 22ක් දකුණින් පිහිටි මෙරට ක්‍රියාත්මක කිරීමට ආක්‍රමණිකයා සමත් විය. චිරාගත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට මිෂනාරි පාඨශාලා ද එමගින් සම්ප්‍රදායික සද්සිරිත් වෙනුවට පරසිරිත් ද අපේ මනසට පොම්ප කරන ලදි. එනම් සංස්කෘතිය උඩුයටිකුරු කළේ ය. එහි ප්‍රතිඵලය ලෙස අප ජාතිය දීන නිවට තත්ත්වයට ඇද වැටිණි.

ඔවුන් අපේක්ෂා කළ පරිදිම අද අපේ දේට වඩා පිට දේ අපි අගයමු. ඒ නිසා අපේ ආත්මාභිමාණය ද සංස්කෘතික උරුමය ද අද අපට අහිමි ය. ආක්‍රමණිකයා රටේ අධ්‍යාත්මික සංස්කෘතික උරුය නම් කොඳු නාරටිය බිඳ දැමීමේ ප්‍රතිඵලය ලෙස අපේ සතුරන් අප අතරින් ම බිහි විය. මේ විපරිතය පිළිබඳ එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ ලීවේ ය.

"ප්‍රතිචීනීකරණයට හසු වූවෝ බටහිරට ගැති වෙති. බටහිර ආක්‍රමණිකයන්ට හවුල් වෙති. තමාගේ නෑසියන් හට හතුරු වෙති. ඔවුන් අතර විදේශිකයෝ වෙති. මේ සියල්ල සිදු වන්නේ ප්‍රතිචීනීකරණය හේතුකොට ගෙන ඇතිවන මානසික විපර්යාසය නිසා ය. " (මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන-1981)

මේ කුමන්ත්‍රණය මෙරට කෙතරම් හොඳින් ක්‍රියාවට නැගුවා ද යත්
වසර 2000ක් සිංහලයාගේ ගෞරවාදරයට බුහුමනට ලක්වූ ජය ශ්‍රී මහ බෝධිය කපා දමන මිනිසා අප අතරින් බිහි කෙරිණි. ආක්‍රමණිකයාගේ යසෝරාවය වණන 'කුන්ස්තන්තීනු හටන' ලියූ කවියා අප අතරින් බිහි කෙරිණි. මහාවංසයේ තෙවන කොටස බටහිර ගැතිව ලියන්ට යගිරල පඤ්ඤානන්ද හිමි අපේ පන්සලෙන් ම බිහි කළේ ය.

1948 ආක්‍රමණිකයා රට අතැර ගිය ද උන්ගේ ගැත්තෝ අද ද අප අතර ය. මේ හඬ දූතයෝ සිය ස්වාමීන් වෙනුවෙන් අද ද ගැතිකම් කරති. රටට ද්‍රෝහිකම් කරති. ඒ සඳහා කලාව බෙහෙවින් ගණිකා වෘත්තියේ යොදවති. ඒ පිළිබඳ ගුණදාස අමරසේකර මෑතදී මෙසේ ලීවේ ය.

'පසුගිය කාලයේ නිර්මාණය කරන ලද ඊනියා ප්‍රබුද්ධ චිත්‍රපටවලට මේ කාලකන්නි යුද්ධයට අමතරව අන් කිසිවක් විෂය වීද? අමතර වශයෙන් විෂය වූයේ සිය අඹුවගේ හෙලුව පෙන්නා විපරිත ආදායම් ලබන කාමාතුරයන්ගේ මනස ප්‍රදර්ශනය කිරීම වැන්නකි. මේවා අගය කරන ලද්දේ ද මේ රටේ මිනිසුන් විසින් නොව ඩොලර්වලින් යැපෙන ඇන්ජීඕ අමනයන් විසිනුයි. මේවා නිපදවීමට මුදල් දෙන ලද්දේ උන්ගේ හාම්පුතුන් විසිනුයි.මේවා විසින් පෙන්නුම් කරනු ලබන්නේ නව යටත්විජිතවාදී සංස්කෘතික ආක්‍රමණයේ කුරිරු භීසනයයි.' (ඉරිදා දිවයින-2008.07.06)

එහෙයින් අප සවිඥාන විය යුතු කරුණු කිහිපයකි. ආක්‍රමණිකයා ගියාට ඔවුන්ට තුප්පහිකම් කරන්නෝ අප අතර සිටිති. අප තුළ ද සිටිති. ඒ නිසා අපට කො‍කාකෝලා නැතිව කන්න බැරි ය. අරක්කු නැති මඟුල අවමඟුලකි.

අද යටත්විජිත සමයේ මෙන් ඍජු ආක්‍රමණ නැත ද වක්‍රව සූක්ෂම ව එය යෙහෙන් සිදුවේ. එදා ආක්‍රමණිකයා කළ දේ අද ඔවුන්ගේ බත් බැළයෝ කරති. සිදුවූයේ ක්‍රමයේ වෙනසක් පමණි. ක්‍රියාවලියේ වෙනසක් නොවේ. ඒ වනාහි නව සංස්කෘතික ආක්‍රමණයයි. නව සංස්කෘතික යටත්විජිතවාදයයි.

No comments: