2008-06-17

මේ ගැනත් සිතන්න

සඳහම් සිතුම් දලුලන පිංබර පොසොන් මඟුලක් වේවා!

කි.පූ.367-307 මෙරට පාලනය කළේ දෙවනපෑතිස් රජතුමා ය. එකල මෙරටට බුදු දහම ලැබිණි. ඒ පදනම් කර ගෙන ‍අනතුරුව සිංහල බෞද්ධ සංස්කෘතිය සිරිලක ස්ථාපිත විය.

බුදු දහම ලබා ගනු වස් ලොව ප්‍රථම බුද්ධි පරීක්ෂණයට මුහුණදීමට දෙවනපෑතිස් රජුට සිදු විය. බුදු දහම අපට ලැබුණේ සුප්‍රකට ‘අඹ ප්‍රශ්නය’ සාර්ථකව විසදු නිසා ය. එමගින් බුදු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් ජනතාවක් මෙරට වාසය කරන බව මිහිදු හිමිට පසක් විය.

මෙරට බෞද්ධයා අවබෝධ කර ගත යුතු වැදගත් ම දේ නම් බුදු දහම කිසිවකු බලෙන් අප මත නොපැටවූ බව ය. බුදු දහම එදවස අප ප්‍රකට කළ බුද්ධිමය ප්‍රභාව උදෙසා ලද තිළිණයක් බව ය.

මිහිදු හිමි මෙරටට වැඩම කොට ප්‍රථම වරට දේශනා කළේ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ ය. එමගින් බුදු රදුන්ගේ උත්තරීතරභාවය විස්තර වේ. අනතුරුව ‍සිංහලයාගේ ලෞකික ජීවිතය යහපත් කර ගනු වස් ‘ප්‍රේත වස්තුව’ හා ‘විමාන වස්තුව’ දේශනා කෙරිණි. රජුට අවවාද දෙනු වස් ‘රාජෝවාද සූත්‍රය’ දේශනා කළේ අනතුරුව ය.

කෙසේ වුව ද අද දවසේ මෙරට බුදු දහම හා සහසම්බන්ධිත සංස්ථාවල තත්ත්වය පිළිබඳ මට පැහැදීමක් නැත. බුදු රදුන් අවඥාව නමැති කෙවිටින් බැහැර කළ කුළවාදය බුදු සසුනට රිංගා ගෙන ඇත. අද සුනීත සෝපාකලාට මහණ වන්නට වෙනම නිකායක් ද සැරියුත් මුගලන්ලාට වෙනම නිකායක් ද වශයෙන් නිකාය හැටහුටහමාරක් ඇත. ඒ ඒ එක එකට නායකයින් ද ඇත. බොහෝ දෙනාට උවමනා බුදු දහම දෙසන්නට හෝ සුරකින්නට නොව එය තම පැවැත්මට සරිලන පරිදි අර්ථකථනය කරන්ට ය.

මේ විසූකදස්සන දකින කල්හි මගේ මනස නිතැතින්ම ගොස් නතර වන්නේ නුවර යුගයේ ය. සම්බුද්ධ ශාසනය අන්තයට පිරිහුණු එකල භික්ෂුන් නොසිටියේ ය. සිටියේ ගණින්නාන්සේලා ය. ඔවුහු සිය බිරිඳ හා දරුවන් සමග පන්සලේ වාසය කළේ ය. කුඹූරු අස්වැද්දුවේ ය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළේ ය. අපේ කාලයේ ඇතැම් චීවරධාරීන් සහ මේ ගණින්නාන්සේලා අතර වෙනසක් මට නම් නොපෙණේ. රටේ නා නා තැන්වල ලොතරැයි කූඩු ලෙස ඉදිවන අන්තවාදී ආගමික තිප්පොළවල් සේ ම රටේ බෞද්ධ පුරා වස්තු සූක්ෂම අයුරින් අකාමකා ඒ මත ව්‍යාජ ඉතිහාසයක් මවන්ට දතකන්නන් සේ ම මේ තත්ත්වය ද ශාසන චිරස්ථිතිය කෙරෙහි අතිශයින් ව්‍යසනකාරි බව අප වහා අවබෝධ කර ගත යුතු ය.

මේ සියලු කාරණාවලින් ඉස්මතු කරන කරුණ නම් නැවත ධර්ම සංගායනාවක් පවත්වා ශාසනය පිරිසිදු කළ යුතු බව ය. දුසිල්වතුන් දුරුකොට සුසිල්වතුන්ගෙන් සසුන බැබළවිය යුතු බව ය. 1934 සුබස සඟරාවේ කුමාරතුංග මුනිදාස මහතා ‘ශාසන ශෝධනය’ යන හිසින් ලියූ ලිපියෙන් පැහැදිළි වන්නේ මේ තත්ත්වය දශක කිහිපයක් ඈත පවා බුද්ධිමතුන්ගේ අවධානයට ලක් වූ බව ය.

“අප භික්ෂූන් ගරහන බවෙක් නිකම් මැ කියන්නෝ මහත් බොරු කාරයෝ යැ. අපි භික්ෂූන් නොගරහමු. භික්ෂූ ප්‍රතිරූපකයන් තදින් ගරහමු. එ ද ඔවුන් කෙරෙහි දයායෙනි. අපි බෞද්ධ වමු නම් බෞද්ධ භික්ෂූන් අපගේ කුල දෙවියන් කොටැ සලකමු නම් අප ඒ සා මහත් සැලකීමට භාජනය වන්නෝ අප විළි නොවද්දන පමණටවත් පිරිසුදු වෙත් ද යනු පිරික්සා බලා නොපිරිසුදු නම් පිරිසුදු කැරැගැන්මට ප්‍රයත්නයක් දැරීම නුසුදුසු ද? ”

(ලක්මිණී පහන් කතු වැකි-68)

කෙසේ වුව ද තිරිවාන ගල් අතර මිණි මෙන් දුසිල්වතුන් අතර සැදැහැවත් භික්ෂූන් වහන්සේ ද සිටිති. උන්වහන්සේ මඩෙහි පිපි නෙලුම් මෙන් පිවිතුරු දිවියක් ගත කරති. බුදුන් දවස සැරියුත් මුගලන් සඟ පරපුර ගත් මග යති. අදටත් බුදු සසුන අප,තර පවත්නේ ඒ අනුහසිණි. එහෙයින් “සංඝන් සරණං ගච්ඡාමි” යි උන්වහන්සේලා නමදිමි.

දඹදිවින් අප ලද මහඟු ත්‍යාගය ගැන උදම් අනන පිංබර පොසොන් සමයේ මේ ගැනත් නිවි හැනහිල්ලේ මොහොතක් සිතන්නැයි ඔබට ඇරයුම් කරමි.

2 comments:

ඔහේ said...

"බොහෝ දෙනාට උවමනා බුදු දහම දෙසන්නට හෝ සුරකින්නට නොව එය තම පැවැත්මට සරිලන පරිදි අර්ථකථනය කරන්ට ය."

බඩවියත සරි කරගන්නා ධර්මය තම තමාගේ යෙහෙ කටයුතු වලට පිටිවහලක් කරගැනීම අදහස් වේ.

නාමල් උඩලමත්ත said...

ඔබේ අදහසට පිං. මේ පිළිබඳ නන්ද මාලනියගේ 'පවනට' සුනිල් ආරියරත්න ලියූ ගීයක,
"වැදි බණ දෙසන සඟ ගණ වුව පිටු දකිණු" යන පද තිබේ. අලගියවන්න මුකවෙටිතුමා කීවේ,
"දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි" යනුවෙනි.
මේ දුබලතා සතුරා අතට පත් වුවහොත් වන්නේ සියල්ල බුදු සසුනට එරෙහිව යෙදවීම ය. එහෙයිනි අපි වහා නිවැරදි විය යුත්තේ. නිවැරදි කළ යුත්තේ.