2011-04-08

සුබ අලුත් අවුරුද්දක් වේවා! එහෙත් . . .

ඔව්, ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි හැම වසරක ම බක් මහේ සිංහල අලුත් අවුරුද්ද සමරනවා. අපේ සම්ප්‍රදාය, සංස්කෘතිය අනුව ආගමට දහමට මුල් තැන දීලා මේ උත්සවය සමරන්න ඇහැකි නම් එය අගෙයි නොවැ?

ඒ වගේ ම ඔබ අතින් මෙතෙක් සිදු වූ කිසියම් හෝ වරදක් නිවැරදි කරගත හැකි නම් එය මේ උත්සවයෙන් ඔබට ලද හැකි ලොකු ම දායාදයයි. පළුදු වූ නෑ හිතවත්කම් අලුත් කරගන්න. ආදරයට, කරුණාවට හිතේ වැඩි ඉඩක් දෙන්න. ජීවිතය නව ජවයකින් අරඹන්න මේක හොඳ මොහොතක්. ඒ නිසා තමා මේ දවස අනෙක් දවස් 364න් වෙනස් වෙන්නේ. සුවිශේෂ වෙන්නේ. එහෙම නැත්නම් මේක අලුත් ඇඳුම් අඳින, බේබදුකම ඉහවහා ගිය, ජීවිතයේ තවත් වටිණා අවස්ථාවක් අපතේ ගිය මූසල දවසක් විතරක් වෙයි.

ඔන්න මං මේ අවුරුද්දෙ හදා ගන්න පොඩි වරදක් පෙන්වලා දෙන්නම්. බොහෝ අය අවුරුද්දට සුබ පතලා ලියන්නේ වැරදි වචන. "සුභ අළුත් අවුරුද්දක් වේවා!" කියලා ලියනවා. විවිධ මාධ්‍යවලත් මේ වැරදි ව්‍යවහාරය දකින්න ඇහැකි.

නැවුම්, නව කියන අර්ථයෙන් අපි ලියන්න ඕන "අලුත්" කියලා. "අළු' තියෙන්නේ ලිපේ. දර පිච්චිලා ඉතුරු වෙච්චි ඒවා. "සුභ" කියන වචනය අපි යොදන්න ඕන ඒ වගේ ම තද්සම වචන එක්ක විතරයි. ඊට පස්සේ යෙදෙන වචනය තද්භව නම් අපි යොදන්නේ "සුබ" කියලා. ඒ නිසා "සුභ ප්‍රාර්ථනා" කියලා ලියනවා. ඒ දෙකම තද්සම. ඒවා තද්භව විදිහට නම් "සුබ පැතුම්" කියලා ලියනවා. ඒකයි නියම සිංහල වහර.

ඔන්න එහෙනම් ඔය ඇත්තෝ හැමෝට ම සුබ අලුත් අවුරුද්දක් වේවා! අනේ ඔන්න ආයේ සුභ අළුත් අවුරුද්දක් කියලා නම් ලියන්න එපා. ඒක වස් කවියක් කියලා සුබ පැතුමා වගේ නොවැ?

7 comments:

දෑසමන් said...

නාමල් අයියේ, තද්සම සහ තද්භව වචන වල තේරුම් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

නාමල් උඩලමත්ත said...

තද්සම කියන්නේ වෙන භාෂාවකින් ගත් වචනයක් ඒ අයුරින් ම අපේ භාෂාවේ යෙදීම. උදා. ප්‍රාර්ථනා. තද්භව කියන්නේ වෙන භාෂාවක වචනයක් අපේ භාෂාවේ ඌරුවට සකසා ව්‍යවහාර කිරීම. උද. පැතුම්

දෑසමන් said...

මට තේරුනේ මේ විදිහට,

ප්‍රාර්ථනා --> ප්‍රාර්ථනා (තද්සම)
ප්‍රාර්ථනා --> පැතුම (තද්භව)

හරි නේද?

නාමල් උඩලමත්ත said...

ඔව් ඔයා හරි. ප්‍රාර්ථනා තද්සම. පැතුම් තත්භව.අපි වචන යොදන විට ඒ ගැන සැලකිලිමක් වෙන්න ඕන.
සුභ ප්‍රාර්ථනා
සුබ පැතුම්
මේක නිවැරදි වහර. මාරු කළා ම එළ හරකයි මී හරකයි වගේ නේද?
හැබැයි මේ අවුරුද්දේ බොහෝ මාධ්‍ය නිවැරදිව වචන යෙදුවා. ඒත් සමහරු . . .

දෑසමන් said...

දැන් තමා හරියටම තේරුනේ. තවත් මේ වගේ ප්‍රෙයෝජනවත් ලිපි ලියන්න. ඉගෙනීමට ඇති දේ බොහෝයි...සුබ අලුත් අවුරැද්දක් වේවා!

Unknown said...

සුබ දවසක් ද සුභ දවසක් ද??

Unknown said...

සුබ වල තද්සම ශුභ නෙවෙයිද?