2008-07-09

මෙහෙව් රටේ

ශ්‍රි ලංකාව ප්‍රමාණයෙන් ව.කි.65 610කි. ඉන් ව.කි. 840ක් ජලාශ ය. දිවයින මෙන් 23 ගුණයක මුහුදකි. කි.මි. 1340ක සුන්දර වෙරළ තීරයකි.මුළු රට ස්වභාවික සම්පතින් පිරුණු ආකරයකි. ප්‍රධාන ගංගා 103කි. සාර භූමියකි. නෙක ගහ කොලින් පලවැලින් සුසැදි සුන්දර පරිසරයකි. සම සීතෝෂ්ණ දේශගුණයකි. කලට ලැබෙන වැසි ය.පොළව තුළ නේක මැණික් ය. ඛනිජ වර්ග ය. තෙල් ය. ඒ සම්පත් උරුම කොට නිපන් අප මුතුන් මිත්තෝ ඉන් ජව ලැබ ලොවක් මවිත කළෝ ය.

අප මුතුන් මිත්තන් එදා මෙදා තුර කළ හපන්කම් කිහිපයක් විමසා බලමු. බුදු රදුන් උපදින්ටත් පෙර පරසිදු ඩැමස්කස් කඩු තනන්ට අප්‍රිකාවට වානේ යැව්වෝ අපේ මිනිස්සු ය. ලොව ප්‍රථම අහස් යානය තැනුවෝ අපේ මිනිස්සු ය. (රාවනා රජුගේ දඬු මොනර හුදු මිත්‍යාවකැයි ඇතැම් උගත්හු බැහැර කරති. පුරාතන -කි.පු.- යුගයේ අහසින් යාම පිළිබඳ සිතීම ද මහා ආශ්චර්යක් බැව් වටහා ගන්ට ඔවුනට ඉඩ නොදෙන බලවේගය කුමක් ද?) අද ද ලොව ගඩොලින් කළ උස ම ගොඩනැගිල්ල තැනුවෝ අපේ මනිස්සු ය. (ජේතවන දාගැබ මහසෙන් රජු කරවූයේ කි.ව.4 වන සියවසේ ය.)

ලොව සැම අත මිනිසුන් ගංගා අසබඩ ශිෂ්ටාචාර තනද්දී අහසින් වට දිය එතැන ම හික්මවා සින්ධූපමාන වැව් තනා එහි ශිෂ්ටාචාර තැනුවෝ අපේ මිනිස්සු ය. බිසෝ කොටුව වන් දියුණු ශිල්ප ක්‍රම භාවිත කළෝ අපේ මිනිස්සු ය. මාදුරු ඔය වේල්ල තනන්ට පැමිණි විදෙස් ඉංජිනේරුවන් මවිත කරමින් මතු වූ සිය වස් ගණනක් ඉපැරණි වේල්ල තැනුවෝ අපේ මිනිස්සු ය. සිය රට ආක්‍රමණය කළ බුරුමය චෝල දේශය ආදී පර දෙස් වෙත ගොස් බැට දුන්නෝ අපේ මිනිස්සු ය.

සඳෙන් ගෙනා පස්‍ පරික්ෂා කළේ අපේ මිනිසෙකි. ලොව සාර්ථකම කෘත්‍රිම පාදය තැනූ තරුණයා අපේ මිනිසෙකි. වතුරින් දුවන වාහන තැනුවෝ ද අප අතර සිටිති. අඟහරු ලොවට ගිය යානයේ කැමරාව තැනුවේ අපේ මිනිසෙකි. දැනට ලොව සාර්ථකම HIV ප්‍රතිකාර ක්‍රමය සොයා ගත්තේ අපේ මිනිසෙකි. සුද්දාගෙන් ක්‍රිකට් හෝඩිය උගෙන එහි කිරුළ ලක් මව් හිස පැළඳුවේ අපේ මිනිසුන් ය. සිව් වරක් දකුණු ආසියාව පරයා ක්‍රිකට් කිරුළ පැළඳුවෝ අපේ මිනිස්සු ය. ජත්‍යන්තර ක්‍රිඩා පිටියේ සිංහ දද නැංවූවෝ මේ පුංචි රටේ මිනිස්සු ය. එවන් විස්කම් කළ අපට කළ නොහැක්කක් නොමැත.

ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යයි බෞතිස්ම කෙරුණු LTTEට යන එන මං නැති කළෝ අපේ මිනිස්සු ය. අපේ සොහොයුරෝ ය. අද නැගෙනහිර ජය ලැබ වන්නියට ඇදෙන්නේ 2002 කඳවුරුවලට ගාල් කොට තුවක්කුවලට ඉබි යතුරු ලා නිහඬ කොට සිටි ඔවුන් මය. වෙනස් වූයේ නිවැරදි වූයේ නාකත්වය පමණි. රටේ සේනාධි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට මැනවින් නායකත්වය සපයයි. ඒ නිවැරදි වීමත් සමග හමුදාවෝ අකුණු සැර සේ රුපුනොද බිඳිති. දිනෙන් දින ත්‍රස්තවාදය මව් බිමෙන් අතුගා දමති. බොහෝ වරදින් පිරි රජයේ ඒ යහගුණය අපි අගයමු. එය හුදු හමුදා සෙබළාගේ පමණක් වික්‍රමයකැයි කියන කුහකයින් අතරට අපි නොවැටෙමු.

එහෙයින් අවැසි වන්නේ මේ මිනිස් සම්පත නිවැරදිව සවිබල ගැන්විය හැකි නායකත්වයකි. රටේ සම්පත් සංවර්ධනය සඳහා මැනවින් කළමනාකරණය කිරීමකි. සෑම සම්පතින්ම සපිරි ගිනි කඳු කාන්තාර හිම කඳු නොමැති මිහිපබට සුරපුර වන් මගේ රට සංවර්ධනය කරා ගෙන යා නොහැකි නායකයෝ සුරපුර වුව අපායේ හෙළනු ඇත්තා හ. එහෙයින් ඔවුන් කිසිවෙකු සඳහා සුරපුර නම් දෙරගුළු නොඇරෙනු ඇත.

6 comments:

ඔහේ said...

අසමබර එමෙන්ම පාර්ශිකව ඉදිරිපත් කෙරෙන සත්‍යය හරහා ජාතියක අභිමානය බිඳ හෙළමින් දීන කරවීම තුල ජය ලබන්නේ කවුරුන් ද? ජනමාධ්‍යය මෙකී කර්ත්‍යාවයට කෙතෙක් දුරකට දායක වේ ද?

නාමල් උඩලමත්ත said...

ප්‍රතිචාරයට පිං. ඒ කුහක ව්‍යාපෘති වූ කලී කිසිසේත් නොදැන කරන්නේ යැයි නොසිතනු මැනවි. සමහරක් පිරිස් විකෘති ඉතිහාස විග්‍රහ කරළියට ගෙන එත්. අප බෙලහීන ජාතියකැයි ද අප ශිෂ්ටාචාර ගත වූයේ 1505 යයි ද කියති. අපේ ශක්තීන් අවප්‍රමාණ කරති. අපේ උරුමයට සම්ප්‍රදායට හිනැහෙති.
නව යටත් විජිතවාදයේ සියුම් අවි වන මානව හිමිකම් ජනමාධ්‍ය නිදහස ආදිය හමුදාවේ ගමන වළක්වනු රිසින් ඔජ වඩති. බමවති. ලෙළවති. දෙමළ මුස්ලිම් අපතර ඇති සංහිඳියාව බිදිනු පිණිස මර උගුල් අටවති. කොටින් ම විවිධ NGOවල පිං පඩි කන්නෝ ඊට බුහුමන් පිණිස මව්බිම පාවා දෙති. "ඕනෑ ම බොරුවක් සිය වරක් පවසද්දී එය සත්‍යයක් ලෙස සමාජයේ තහවුරු වේ" යන හිට්ලර්ගේ මාධ්‍ය උපදේශක ගොබෙල්ස්ගේ ප්‍රකාශය ජාතියක් ලෙස අප වහා සිහිපත් කර ගත යුතු ය. නැතහොත් අවසන සතුරා සහ බොරුව ජය ගනු ඇත.

Anonymous said...

සම්පූර්ණ ඇත්ත!

ඔහේ said...

නාමල්,
එන්.ජී.ඕ බත්බැලයන් යනු අපගේම සහෝදර රටවැසියන් හැර අන් කවරෙකුද? මෙවැනි පුද්ගලයින් බිහිවීම යනු අපගේ ජාතික අසමගිතාවය හෙවත්, උපන් රැල අතහැරයාම යි.

Kasun said...

මේ NGO ව්‍යාපෘති මඟින් සමාජයේ යම් යම් දේ වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක අයිතිය ‍ඩොලර් මත තීන්දු කරන තත්වට පත්කලා. ලංකාවේ සිවිල් සමාජය වත්මන් තත්වය මෙහි දෘශ්‍ය ප්‍රතිඵලයක්.
දැන් NGO විරෝධය දේශපාලන විලාසිතාවක් බවට පත්වෙලා.

නාමල් උඩලමත්ත said...

ප්‍රතිචාරයට පිං. ඩොලර්වලට ආත්මය උකස් කරන NGOකාරයෝ අපේ අය බව ඇත්ත. ඒත් ගතින් විතරයි. හම හැර අන් සියල්ලම සුදු. දැනුම කියලා සුද්දා කවපු රට තණ කොළ වමාරනවා. ආයේ කනවා. මව්බිමට එරෙහි ඕනෑම කුමන්ත්‍රණයක මුලසුන ගන්නවා. මොකද මේ අයගේ ආධ්‍යාත්මය මව්බිම විදිහට හදුන ගන්නේ බ්‍රිතාන්‍යය නැත්නම් ඇමරිකාව. එක් අතකින් මොවුන් පෞද්ගලිකව ඊට වැරදිකරුවන් නොවේ. වසර 500ක යටත්විජිතවාදයේ සහ 60 වසරක අවිචාරවත් පාලනයේ ආධ්‍යාත්මික කැඩපත තමා මේ අය. කළ යුත්තේ මේ විපරිතය වෙනස් කිරීමට ලාංකිකයා ඔලුවෙන් සිටුවා ලෝකය දෙස බැලීමට අවැසි පසුබිම සැකසීමයි. එය එක් අතකින් අප අප සමග කරන අරගලයක් ද වෙනවා. මොකද මේ සුදු සෙවනැලි අප තුළ අඩු වැඩි වශයෙන් නෙක වෙසින් හොල්මන් කරනවා.

කසුන් කියන එක හරි අද ලංකාවේ සිවිල් සමාජය යනුවෙන් පෙනී සිටින්නේ ඩොලර් යූරෝ යෙන් ෆ්‍රෑන්ක්වලට සේවය කරන සුද්දන්ගේ චක්ගෝලයෝ රැළක්. මේ විකට ඇඳුම්කාරයෝ සැබෑ ලාංකික සමාජයේ පිළිබිඹුවක් නෙවෙයි. විජාතික අවශ්‍යතා ඉටු කරන කුමන්ත්‍රණකාරයෝ. මේ අයගේ ඉතිහාසය විමසා බැලුවොත් ඒක සක්සුදක් සේ පැහැදිළි වෙනවා.

ඔබ කියන පරිදි NGO විරෝධය විලාසිතාවක් බවට පත්වෙලා නම් මම ආඩම්බර වෙනවා. එය තමා අවැසි. සුපර්ස්ටාර් ඩ්‍රීම්ස්ටාර් ආදි මෙකී නොකී හැටහුටහමාරක් රැලි විලාසිතා බෝ කරන රටේ, රටට අත්‍යවශ්‍ය රැල්ලක් නැගෙනවා කියන්නේ මොන තරම් සතුටක් ද? මෙරට නිපදවන මුත් ආනයනය කරන භාණ්ඩ වර්ජනය වගේ එකක් විලාසිතාවක් වුණොත් කොහොම හිටී ද? පලතුරු උයනක් වගේ රටේ අපි වසරකට රු. මිලියන 100ක ඇපල් කනවා. මේ අහන අපි විළි ලැජ්ජාවෙන් හැකිළි යන්න ඕනනේ. ඒත් අද බොහෝ දෙනාට ඇපල් කෑම ආඩම්බරයක්නේ.

ඉන්දිය නිදහස් සටනේ ආධ්‍යාත්මය වුණේ ගාන්ධිතුමා. එතුමා විදෙස් බඩු පරිහරණය ප්‍රතික්ෂේප කළා ම ඒක ළැව් ගින්නක් වගේ ඉන්දියාව පුරාම පැතිරී යනවා. ඉන්දියානුවෝ විදෙස් බඩු ගිනි තියලා තමන්ගේ රටේ නිෂ්පාදන පරිභෝජනයට යොමුවෙනවා. ඒත් ඉන් අදහස් වෙන්නේ නැහැ ගාන්ධිතුමා සතු විසල් මනස සාක්ෂරතාව 35% නොඉක්මවූ ඉන්දියාවේ සෑම වැසියෙකුටම තිබුණා කියලා. ඒ නිසා නිවැරදි නායකත්වයයි අවැසි.

ඕනෑම දැනුමක් බුද්ධිමය වශයෙන් පහළ ස්ථර වෙත යද්දි එය හුදු අනුකරණයක් විලාසිතාවක් වීම වළක්වන්න අමාරුයි. පන්සලේ දේවාල හැදෙන්නේ බෞද්ධයෝ බෝධිපූජා දේවපූජා කරන්නේ ඒ නිසයි. පන්සිල් පද 5 නොදන්න රුක් දෙවියෝ නමඳින බෞද්ධයෝ අපේ රටේ ඉන්නවා. මේ ටික අපට අමතක වුණාට ඈත ගම්දනව්වල ලොතරැයි කූඩු වගේ ආගමේ නමින් ගුබ්බෑයම් හදන අන්තවාදි ආගමික කල්ලි හොඳට දන්නවා. ඒ නිසයි ඒ අය නූගත් මිනිස්සු බිලි බා ගන්නේ. නැත්නම් කළ යුත්තේ බුද්ධිමත් බෞද්ධ පිරිස් සමග පානදුරාවාදය වගේ සංවාදයක් ගොඩ නඟන එකනේ ගාලුමුවදොර. බුදුදහම නොවෙයි අපේ එක තමා ආගම කියලා.