2012-08-31

ආනන්ද කුමාරස්වාමි


නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන සොඳුරු සියපත

(අගෝස්තු 22 වන සැමරෙන ආනන්ද කුමාරස්වාමි මහතාගේ 135 වන උපත් සමරුව වෙනුවෙනි.)

සමාජ පසුබිම

ආනන්ද කුමාරස්වාමි මහතා ජීවත් වූයේ 19 වන සිය වස අග සහ 20 වැනි සිය වස මුල බැවින් ඔහුගේ යුග මෙහෙවර නිසි බරින් යුතුව අවබෝධ කර ගැනීමට නම් එකල සමාජ තතු කෙසේ වී දැයි සැකෙවින් වුව දැන ගැනීම අතිශය වැදගත් ය. එකල යුරෝපීය රටවල් කිහිපයක් සමස්ත ලෝකය බෙදා ගෙන පාලනය කළ යටත්විජිතවාදයේ උච්චතම සහ අවසාන යුගය යැයි සරලව කිව හැකි ය. එහෙත් යටත්විජිතවාදය මේසා ඉක්මනින් අවසන් වේ යැයි කිසිවෙකු නොසිතූ අතර එය යථාර්ථය ලෙස විශ්වාස කෙරිණි. යුරෝපය, පෙරදිග දුටුවේ නො දියුණු ම්ලේච්ඡ මිනිස් කොට්ඨාසයක් ජීවත් වන ප්‍රදේශයක් ලෙස ය. කිතු දහම ලොව එකම සත්‍ය ආගම ලෙස ද සෙසු ආගම් මිථ්‍යාදෘෂ්ටීන් ලෙස සැලකුණු අතර අන්‍ය ආගමිකයින් ක්‍රිස්තුස් වහන්සේගේ ද පෘතුගාලයේ ද සතුරන් ලෙස සැලකිණි. පාප්තුමා යටත්විජිත හිමියන්ට දේශනා කළේ ලොව පුරා සුභාරංචිය දේශනා කොට මිථ්‍යාදෘෂ්ටිකයින්ට සම්‍යදෘෂ්ටිය ලබා දෙන ලෙස ය. ඒ වෙනුවෙන් ගන්නා සියලු ම ක්‍රියා, වධ බන්ධන නිවැරදි සේ පිළිගැනිණි. ඒ අනුව බයිබලය සහ තුවක්කුව දෑතට ගෙන පෙරදිගට පැමිණි යටත්විජිතවාදියා සිය දෙවියන්ගේ නාමයෙන් හින්දු, මුස්ලිම්, බෞද්ධ ආගමික ස්ථාන, කලා නිර්මාණ, ආගමික පත පොත විනාශ කරමින් ද එම ආගම් ඇදහීම තහනම් කොට සිය ලබ්ධිය වැළඳ ගන්නට බල කරමින් ද එසේ වැළඳ ගත් අයට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් ද සිය අණට අවනත නොවූවන් ඉතා ම අමානුෂික වධ බන්ධනවලට ලක් කොට මරා දමමින් ද මහා සංස්කෘතික, ආගමික සංහාරයක නිරත විය. බෙල්ජියමේ 2 වන ලියොපොල්ඩ් රජු 1885-1908 දක්වා කොංගෝව සහ සයරේ රාජ්‍යයේ පමණක් අප්‍රිකානුවන් මිලියන 15ක් පමණ මරා දැම්මේය. මෙලෙස යටත් විජිතකරණ මෙහෙයුම තුළ සිදු ජන සංහාරයන් සලකා බැලුව හොත් මහා හිට්ලර් අත දරුවෙකු පමණි.





1498 ඉන්දියාවට පැමිණි වස්කෝ ද ගාමා පැවසූයේ තමන් ක්‍රිස්තියානින් සහ කුළු බඩු සොයා පැමිණි බව ය. සුසන්ත ගුණතිලක 'A 16th Century Clash of Civilizations' කෘතියෙන් නිවැරදිව පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ මූලික අරමුණ ක්‍රිස්තියානින් සොයා ගැනීම හෝ ක්‍රිස්තියානින් නොමැති නම් අලුතින් බෝ කිරීම විය. මේ අනුව යටත් විජිතකරණ ක්‍රියාදාමයේ මූලික වශයෙන් සංස්කෘතික ආගමික ආක්‍රමණයක් වූ අතර ආර්ථික අරමුණු ද්විතීයික වූ බව පැහැදිලි ය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධීකරණ මෙහෙයුමට අනුව සිංහලයින්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා දන්ත ධාතුව ගෝවට රැගෙන ගොස් ගිනි බත් කොට දැමිණි. කෙසේ වුව ද ඔවුන් අතට පත්ව තිබුණේ සැබෑ දන්ත ධාතුව නොව අනුකරණයකි.  1815 බුදු දහම ආරක්ෂා කරන බව ද සඳහන් කරමින් උඩරට ප්‍රධානීන් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන රටේ පාලනය භාර ගත් ඉංග්‍රීසීන් ද ක්‍රියා කළේ නොදියුණු ම්ලේච්ඡ ආගම (බුදුදහම) තුරන් කොට සිය නිර්මල ආගමෙහි ශාන්තිය ලක් වැසියාට ලබා දීම සඳහාය. ඒ වෙනුවෙන් ඔවුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග කවරේ දැයි වල්පොළ රාහුල හිමියන්ගේ 'භික්ෂුවගේ උරුමය' කෘතිය කියවා අවබෝධ කර ගත හැකිය. එකල ආණ්ඩුකාර බ්‍රවුන්රිග් යටත්විජිත ප්‍රධානී බැතර්ස්ට් සාමිවරයාට මෙසේ ලියයි. "ක්‍රම ක්‍රමයෙන් (මහ ජනයාට) නොදැනෙන පරිද්දෙන් ක්‍රිස්තු ධර්මය මේ පළාතේ ව්‍යාප්ත කළහොත් දැනට මේ රටේ පැතිර පවත්නා මිථ්‍යදෘෂ්ටිය (බුදුදහම) හා අඥානකම නමැති අන්ධකාරය වැඩිකල් යන්නට මත්තෙන් පහවි යනවා ඇතැයි සිතා ගැනීමට එතරම් දූරදර්ශී ඥානයක් නුවුමනාය." එවක යුරෝපයේ පෙරදිග වැසියා, ඔවුන්ගේ ආගම් සහ කලා ශිල්ප පිළිබඳ තිබුණු පිළිගැනීම කෙබඳු දැයි මේ කෙටි විවරණයෙන් පැහැදිලි වනු ඇත. ශිෂ්ටාචාරය වර්ධනය විය යුත්තේ පොදු මිනිසත් බවට යැයි දෙසමින් අන්‍ය සංස්කෘතීන් බටහිර නූතනත්ව සංස්කෘතියෙහි ගිල්වා දැමීමට යෝජනා කරන විද්වතුන් අද මේ සංස්කෘතික සංහාරය වඩා මානුෂික මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනු පෙනේ. මැකෝලි සාමිගේ දරු මුනුබුරන් ලොව කොතැනවත් නැති බහු-සංස්කෘතියක් පිළිබඳ නන් දොඩවන අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ජෝර්ජ් රාජ බයිබලයේ (King James Bible) 400 වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ්හි පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් පැවසූයේ බ්‍රිතාන්‍යය ක්‍රිස්තියානි රාජ්‍යයක් බවත් එය පැවසීමට බිය විය යුතු නැති බවත්ය.

දිවි සැරිය

ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහතා 1877 අගෝස්තු 22 කොල්ලුපිටියේ දී මෙලොව එළිය දුටුවේ ය. ඔහුගේ සීයා බ්‍රිතාන්‍යයන් යටතේ ප්‍රධාන භාෂා පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කොට රන් පදක්කම් දිනා ගත් උගතෙකු වන අතර පියා නයිට් නාමයෙන් පුද ලද ප්‍රථම ආසියාතිකයා මෙන් ම ඉංග්‍රීසි නීතිඥ මණ්ඩලයට එක්වූ ප්‍රථම ලාංකිකයා ද වන ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමී ය. ඔහු පාලි දාඨාවංසය, ත්‍රිපිටකයේ සුත්ත නිපාතය සහ සංස්කෘත හරිස්චන්ද්‍ර නාට්‍යය ඉංග්‍රීසියට නැඟුවේ ය. ඉන් ඔහුගේ භාෂා භාෂාන්තර දැනුම පමණක් නොව සමය සමයාන්තර දැනුම ද විශද වේ. කුමාරස්වාමිගේ මව බ්‍රිතාන්‍ය ජාතික එලිසබෙත් ක්ලේ බීවි නම් කාන්තාවකි. කුමාරස්වාමි ළදරුවා ඈ විසින් කුඩා කල ම එංගලන්තයට රැගෙන ගිය අතර ඔහුට වයස දෙක සපිරෙද්දී සිය පියා අහිමි විය. ඔහු දොළොස් හැවිරිදි වියේ දී වෛක්ලිෆ් විද්‍යාලයට බැඳී වසර හයක් නවීන විද්‍යාව උගත් අතර 1890 ලන්ඩන් කොලිජියෙන් භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව සඳහා ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී උපාධිය ලැබුවේ ය. 1903 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කළ කුමාරස්වාමි එම වසරේ ම ලංකාවේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වීමක් ලැබ ආපසු සිය මව් බිමට පැමිණියේ ය. 1906 ඉන්දියාවට ගොස් ඉන්දීය කලාව, සංස්කෘතිය, දර්ශනය හදාරන කුමාරස්වාමි 1917 ඇමරිකාවේ බෝස්ටන් නුවර ලලිත කලා කෞතුකාගාරයේ පෙරදිග අංශයේ භාරකාරවරයා ලෙස පත්විය. අනතුරුව ඔහු එහි ඉන්දීය කලා පර්යේෂක ලෙස ද පත්විය. 1947 සැප්තැම්බර් 9 වැනි දින මිය යන තෙක් විවිධ පර්යේෂණ කරමින් ග්‍රන්ථ සම්පාදනය කරමින් ඔහු එහි සේවය කළේය.

මහා සම්ප්‍රදානය

ඛනිජ වර්ග ගවේෂණය කරමින් ලංකාව පුරා සැරිසරන කුමාරස්වාමී මෙරටට ආර්ථික වාසි ගෙන දෙන ඛනිජ වර්ග කිහිපයක් සොයා ගත්තේ ය. කිසියම් ඛනිජයක්, ග්‍රහ වස්තුවක් අලුතින් සොයා ගත් කල්හි ඊට එය සොයා ගත් පුද්ගලයාගේ නම යෙදීම සම්ප්‍රදාය වුව ද ඔහු එසේ නො කළේ ය. ලංකාවේ ඛනිජ වර්ග පිළිබඳ ගවේෂණය කළ කුමාරස්වාමි ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තා සකස් කළේ ය. සඟරාවලට භූ ගර්භ විද්‍යාව පිළිබඳ පර්යේෂණාත්මක ලිපි සම්පාදනය කළේ ය. ඛනිජ විද්‍යාව සම්බන්ධයෙන් ඔහු මතු කළ ඇතැම් ප්‍රශ්නවලට දශක ගණනාවක් යන තුරු ලෝක ඛනිජ විශේෂඥයින්ට පවා පිළිතුරු නොමැති විය. භූ ගර්භ විද්‍යාව සහ ඛනිජ පිළිබඳ සිංහල පාරිභාෂිත ශබ්ද මාලාවක් සම්පාදනය කිරීම, ලංකාවේ ඛනිජ වර්ග දැක්වෙන සිතියමක් සම්පාදනය කිරීම ඔහු ආරම්භ කළ කටයුතු කිහිපයකි. 1905 ලංකා සමාජ ප්‍රතිසංස්කරණ ආයතනය ආරම්භ කළ ඔහු ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මූලික වී ක්‍රියා කළේ ය. අධ්‍යාපනය ස්වභාෂාවෙන් දිය යුතු බවට මුලින් ම අදහස් පළ කළ විද්වතුන් අතර කුමාරස්වාමී මහතා ද වෙයි. 

ඛනිජ වර්ග ගවේෂණය පිණිස රට පුරා ඇවිද ගිය කුමාරස්වාමි ඛනිජවලට අමතරව මෙරට සිතුවම් කලාව, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ආගම සහ උඩරට කලා ශිල්ප පිළිබඳ අධ්‍යයනය කරන්නට විය. පෙරදිග වැසියන් පිළිබඳ යුරෝපීයයන්ගේ ආස්ථානය වැරදි බවත් ඔවුන් තමන්ට ආවේණික විශිෂ්ට ආගමක් සහ සංස්කෘතියක් සහිත ඒ මත ගොඩ නැඟුණු සරල ජීවන ක්‍රමයක් ද කලා සම්ප්‍රදායක් ද ඇසුරේ ජීවත් වන්නන් පිරිසක් බව කුමාරස්වාමිට අවබෝධ විය. එම අධ්‍යයනවල දී කුමාරස්වාමි ලැබුවේ හද පාරවන අත්දැකීම් සමුදායකි.    යටත්විජිතකරණය සහ ධනවාදය නිසා මහරු කලා සම්ප්‍රදායක් කිසිදු පිළිසරණක් නොමැතිව අභාවයට යන අන්දම ඔහු සියැසින් ම දුටුවේ ය. 1905 සිලෝන් ඔබ්ස්වර් පුවත්පතට ඔහු ලියූ 'උඩ රට ප්‍රභූන්ට විවෘත සන්දේශයක්' (An open letter to Candian Cheif) නමැති ලිපිය එහි ප්‍රතිඵලයකැයි කිව හැකි ය. 17 -18 සියවස්හි ඉදි කොට ජරාවාස වී සදහට ම දැයට අහිමි වීමට ආසන්නව පැවති විහාර, දෙවාල සහ අම්බලම් ආරක්ෂා කිරීමේ වැදගත්කමත් ඒවායේ කෞතුක වටිනාකම විනාශ කරමින් සිදු කරන ප්‍රතිසංස්කරණත් ඔහු එහිලා දැඩිව විවේචනය කළේ ය. ජාතිය සතු අගනා උරුමයක් විනාශ මුඛයට ගමන් කරද්දී ඒවා ආරක්ෂා කර ගැනීමට කටයුතු නො කිරීම පිළිබඳ කුමාරස්වාමි උඩරට ප්‍රභූන්ට ඍජුව ම චෝදනා කළේ ය. මෙලෙස ලංකාවේ කලා ශිල්ප පිළිබඳ උනන්දු වන ඔහු 'Ceylon National Review' සඟරාවට උඩරට කලා ශිල්ප පිළිබඳ දිගු ලිපියක් සම්පාදනය කළේ ය. 1908 ඔහු පළ කළ  'මධ්‍යකාලීන සිංහල කලා' (Medieval Sinhala Art) කෘතිය සඳහා තොරතුරු රැස් කළේ මේ යුගයේදීම ය.

17 - 18 සියවස්හි එනම් නුවර යුගයේ ලංකාවේ කලා ශිල්ප පිළිබඳ පරිපූර්ණ විග්‍රහයකි; 'මධ්‍යකාලීන සිංහල කලා'කෘතිය. ඊට පදනම් වන්නේ ලංකා කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ කලා කෘති නොව පරිහානිගත යුගයක එනම් මහනුවර යුගයේ පැවති එක්තරා ගැමි කලා සම්ප්‍රදායකි. "මෙයින් විස්තර වන්නේ සියුම් කලාව පිළිබඳ ශ්‍රේෂ්ඨ අවධියක් නො ව, භාරතීය කලා ශිල්ප සම්ප්‍රදායයන් මත ගොඩනැඟුණු ශෝභන උදාර ගැමි සැරසිලි පරිපාටියකි." (මධ්‍යකාලීන සිංහල කලා) භාරතීය සමාජ දේශපාලන සංස්කෘතික බලපෑම අතිශය ප්‍රබල ලෙස මෙරටට බලපෑ සමයක එහි කලා නිර්මාණවල භාරතීය බලපෑම ඉස්මතු වී පෙනීම සිදුවිය හැක්කකි. කෙසේ වුව ද මෙරට ව්‍යාප්තව පැවති චිත්‍ර කලාව මෙන් ම සෙසු කලාවන් ද භාරතීය දියුණු කලාවන්ගෙන් නොව මුල් යුගයේ එරට පැවති ගැමි කලාවන්හි ආභාසය ලැබ දියුණු වූ මෙරට පැවති ප්‍රාථමික කලා සම්ප්‍රදායයන් යැයි සිතිය හැකි ය. එකල කෘෂිකර්මය ප්‍රමුඛත්වයෙහිලා සැලකුව ද කලා ශිල්පීන්ට සෙබළුන්, ගොවීන් තරමට ම පිළිගැනීමක් තිබිණි. ඔවුන්ගේ කලාව ආගමික වූ අතර එහෙයින් ම ජනප්‍රිය විය. ගෘහ නිර්මාණ, ප්‍රතිමා කලාව, ලී කැටයම්, එම්බ්‍රොයිඩර්, සිතුවම් සහ විවීම ආදී කර්මාන්ත මෙහිලා විග්‍රහයට ලක් වේ.  බටහිර වැඩවසම් සමාජ ක්‍රමයට නෑකම් කියන සමාජ ක්‍රමයක විසූ එම ශිල්පීන්ගේ නිර්මාණ, ජීවිත සහ තත්කාලීන සමාජ ක්‍රමය පිළිබඳ මෙවන් සූක්ෂම වූ ද ගැඹුරු වූ ද විග්‍රහයක් අන් කිසිවෙකු විසින් සිදු කළ බවක් අපි නො දනිමු.

නුවර යුගයේ මෙරට පැවති කලා සම්ප්‍රදායන් පිළිබඳ කරන ලද විශිෂ්ටතම විග්‍රහය ලෙස සැලකිය හැකි 'මධය කාලීන සිංහල කලා' කෘතිය බටහිර ලෝකයට මෙරට පැවති කලා සම්ප්‍රදාය හඳුන්වා දුන් කෘතිය වන අතර ම සිය සම්ප්‍රදාය, සංස්කෘතිය සහ හර පද්ධතිය අමතක කොට ඒ පිළිබඳ හීනමානයෙන් විසූ සිංහලයාට සිය උරුමය නැවත මතු කොට දී එහි විශිෂ්ටත්වය, වැදගත්කම පෙන්වා දුන් කෘතිය බවට ද සැකයක් නොමැත. අතීතයට ගරහමින් වර්තමානය ඉහළින් වර්ණනා කිරීම දෙස කුමාරස්වාමී බැලුවේ උපහාසයෙනි. සිංහල කලාවන්ගේ පරිහානියට හේතු වූ ප්‍රධාන කාරණය ඔහු මෙසේ විග්‍රහ කරයි. "එක් අතකින් ශත වර්ෂයක් විදේශීය ආධිපත්‍යයට යටත් ව විසීමෙන් හා ජාතික සංස්කෘතිය සම්පූර්ණයෙන් නොසලකා හරින ලද අධ්‍යාපනයක් ලැබීමෙන් ද අනික් අතින් එපමණ ම කාලයක් නිවට නියාලු ලෙස පරසිරිත් අනුකරණය කිරීමෙන් ද තමන් දිනා ගත් ජීවන කලාව සම්බන්ධයෙන් වර්තමාන උගත් සිංහලයාට ආඩම්බර වීමට කිසිදු හේතුවක් නැත." කෙසේ වුවද සිංහලයාට සිය ජාතික ජීවන ක්‍රමය නැවත පුනරුත්ථාපනය කළ හැක්කේ මෙකී අතීතය සහ භාරතයේ අතීතය පිළිබඳ විශිෂ්ටාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රයත්නයකින් පමණක් බව ඔහු අවධාරණය කළේ ය. සිංහල කලාවන්ගේ පරිහානියට හේතු වූ දෙවන කාරණය බ්‍රිතාන්‍ය පාලනය ඇරඹීම සමඟ රාජ්‍ය ශිල්පීන්ගේ සංවිධානය විනාශ වී යාම සහ දේශීය ගෘහ නිර්මාණ සම්ප්‍රදාය නොතකා හැරීමයි. තෙවැන්න ධනවාදයේ නැඟීමයි. "... නියත වශයෙන් කලාවන්ගේ පරිහානියට හේතු වූ තවත් කරුණකි, වණික් ක්‍රමයේ වැඩීම. මේ වනාහි පෙර දිග ගැමි පෙහෙරා අත අලුවෙනුත් කාර්මිකයා තම මෙවලම්වලිනුත් ගොවියා තම ගීයෙනුත් පලවා හැරීමට ද කලාව ශ්‍රමයෙන් වෙන් කිරීමට ද සමත් වූ යුරෝපියානු යන්ත්‍ර හා යන්ත්‍ර බඳු මිනිසුන් විසින් කෙරෙන නිෂ්පාදන මාර්ගයයි" ධනවාදය පිළිබඳ විග්‍රහයේ දී ඔහු කාල් මාක්ස් හා සමතැන් ගන්නා විචාරකයෙකු බව ඉහත විග්‍රහය මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ එන අදහස් හා සංසන්දනය කිරීමෙන් අවබෝධ කරගත හැකි ය. කර්මාන්ත හිමියාගේ අධික ලාභය වෙනුවෙන් ශිල්පියා හුදු යන්ත්‍රයක වහලෙකු බවට පත් කොට ඔහු සිය සංස්කෘතික උරුමය දිනා ගැනීමෙන් ධනවාදය ඔහුගේ විවෙචනයට ලක් විය. කුමාරස්වාමී මාක්ස්ගේ ආභාසය ලැබූ බවට සාධක නැත ද බුද්ධිමතෙකු ලෙස කුමාරස්වාමි පවතින ගොරබිරම් සමාජ තතු නිවැරදිව විනිවිද දුටු බව නිසැකව ම කිව හැකි ය. ලන්ඩන් විශ්වවිද්‍යාල කුමාරස්වාමිට විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ප්‍රධානය කළේ උක්ත 'මධ්‍යකාලීන සිංහල කලා' කෘතියටයි.

1906 ඉන්දියාවට ගිය කුමාරස්වාමි ඉන්දියානු දර්ශනය, ආගම්, සාහිත්‍ය කලා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්තේ ය. ඉන්දියාවේ ප්‍රතිමා කලාව, සිතුවම් කලාව සහ කැටයම් කලාව හදාරමින් ඒ පිළිබඳ වටිනා කරුණු රාශියක් හඳුනා ගත් කුමාරස්වාමි බොහෝ ලිපි ලේඛන සම්පාදනය කළේ ය. 1908 'ඉන්දීය චිත්‍ර කලාවේ පරමාර්ථ' (Aims of Indian Art) යනුවෙන් ඔහු පළ කළ ලිපියෙන් එතෙක් විද්වතුන් අතර සම්භාවනාවට පාත්‍ර වූ ඉන්දීය චිත්‍ර කලාවේ ග්‍රික ආභාසය පිළිබඳ මතය සනිදර්ශනාත්මකව ඛණ්ඩනය කළේ ය. ඒ පිළිබඳ හට ගත් විවාදය නිසා ඉන්දීය චිත්‍ර කලාව පිළිබඳ විචාරකයින් අතර එතෙක් මුල් බැස පැවති බොහෝ සදොස් අදහස් වෙනස් වූ අතර බටහිර විචාරකයෝ ඉන්දීය චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනයට යොමු වූහ. අනතුරුව ඔහු 'ඉන්දීය චිත්‍ර කලාවේ තෝරා ගත් නිදසුන්' (Selected example of Indian Art), 'විශ්ව කර්ම' (Vishva Karma), 'ශිව නැටුම' (Dance of Siva), 'රාජපුත්‍ර චිත්‍ර කලා' (Rajput Painting), 'බුදුන් හා බුදු සසුන' (Buddha and the Gospel of Buddhism), 'ආසියාවේ කලා' (Art Asiatica), 'ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ කලා ඉතිහාසය' (History of Indian and Indonesian Art), 'බුදු පිළිමයේ උපත' (Origin of the Buddha Image), 'බෞද්ධ ප්‍රතිමා විද්‍යාවේ ප්‍රාරම්භ කරුණු' (Elements of Buddhist Iconography), 'ඉන්දියාව, මධ්‍යම ආසියාව සහ ලංකාවේ බිතු සිතුවම්' (The wall Paintings of India, Central Asia and Ceylon), සහ 'පැරණි ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය' (Early Indian Achitecture) ආදී ග්‍රන්ථ රචනා කළේ ය. බුදු පිළිමය ග්‍රීක ප්‍රතිමා කලාව ඇසුරින් බිහි විණැයි එවකට විද්වතුන් අතර පැවති මතය සදොස් බවත් බෞද්ධ ප්‍රතිමා කලාව වෛදික යුගයේ සිට වර්ධනය වෙමින් ආ සම්ප්‍රදායක ප්‍රතිඵලය බවත් 'බුදු පිළිමයේ උපත' කෘතිය මගින් කුමාරස්වාමී සනාථ කළේ ය. ඔහුගේ 'ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ කලා ඉතිහාසය' කෘතිය පෙරදිග කලා ඉතිහාසය පිළිබඳ ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිබන්ධය ලෙස පිළිගැනීමට පාත්‍ර විය. 'ශිව නැටුම' සහ 'රාජපුත්‍ර චිත්‍ර කලා' කෘති දෙක බ්‍රාහ්මණ සහ මෝගල් චිත්‍ර සම්ප්‍රදායන්හි වෙනස විග්‍රහ කරයි. රාජපුත්‍ර චිත්‍ර චිත්‍ර කලාවේ පරමාර්ථය බටහිර විද්වතුන්ට හඳුන්වා දෙන ලද්දේ ද මේ කෘති මගිනි. පසුකාලීනව කුමාරස්වාමි වෛදික සාහිත්‍යය කෙරෙහි නැඹුරු වූ අතර ඒ පිළිබඳ ඔහු අනාවරණය කර ගත් අලුත් තොරතුරු ඇතුළත් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් සම්පාදනය කළේ ය. 'එන්ජල් සහ ටිටන් වෛදික විද්‍යාව පිළිබඳ නිබන්ධය' (Angel and Titan an Essay on Vedic Ontology), 'වේදය හැදෑරීමට නව මඟක්' (A new approch to the Vadas) ආදී ග්‍රන්ථ රචනා කළේ ය. මේ සියල්ල ඔස්සේ යටත්විජිත සමයේ රජ කළ යූරෝ-කේන්ද්‍රීය ද අධිපතිවාදී ද වූ ස්වෝත්තමවාදය පරාජය කිරීමට කුමාරස්වාමි සිය ජීවිතය කැප කළ බව පෙනේ. එය පුළුල් අර්ථයෙන් ගත් කල ඉන්දීය ලාංකික යටත්විජිත වැසියන් සිය රටේ නිදහස සඳහා සටනට කැඳවන නිදහස් ව්‍යාපාරයෙහි පෙරමුණක් විය. අනෙක් අතට යටත්විජිතවාදීන්ගේ දුර්මත හළු කොට දමන අග්නි ජාලාවක් විය.

මේ අනුව ආනන්ද කුමාරස්වාමි වනාහි ඉතා දුර්ලභ ගණයේ ප්‍රාඥයෙකු; චින්තකයෙකු; විද්‍යාඥයෙකු; කලා විචාරකයෙකු; පමණක් නොව අදීන සමාජ දේශපාලන චින්තකයෙකු බව පැහැදිලි වේ. එතෙක් අපරදිග වැසියා, පෙරදිග ප්‍රමුඛ අන්‍ය ලෝකය දෙස බැලූ දෘෂ්ටිය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කිරීමට ඔහුගේ බුද්ධිමය සම්ප්‍රදානය ඉවහල් විය. පළමුව ඔහු සෙනරත් පරණවිතාන, කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ මෙන් දේශීය සම්ප්‍රදාය අපට සොයා පාදා දුන් මහා ප්‍රාඥයාය. දෙවනුව විශ්ව කීර්තියට පත් සෙනරත් පරණවිතාන, දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ සමඟ ඉදිරියෙන් ම සිටින ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාය. තෙවනුව පෙරදිග කලා සම්ප්‍රදාය සංස්කෘතිය දර්ශනය බටහිරට හඳුන්වා දුන් ස්වාමි විවේකානන්ද, රවින්ද්‍රනාත් තාගෝර්, ජෝන් මාෂල් සමඟ සමසුන් ගන්නා විද්වතාය. එවන් විශිෂ්ටයෙකු බවට එදා මෙදා තුර කිසිදු ලාංකියෙකු පත් නොවූ බව නිසැකව ම කිව හැකි ය. වරක් ඉන්දීය විචාරකයෙකු කුමාරස්වාමී මහතා ලංකාවේ තාගෝර් ලෙස ද ධර්මපාලතුමා ස්වාමි විවේකානන්දන් ලෙස ද හැඳින්විය. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය රොබට් උලිච් කුමාරස්වාමි හැඳින්වූයේ ‘නවීනත්වයේ කාන්තාරයෙහි පිහිටි ක්‍ෂේම භූමිය ලෙසය.‘

පූජාච පූජනීයා නං

පෙරදිග සාහිත්‍ය කලා සඳහා පමණක් නොව අප රට වෙනුවෙන් සුවිශාල යුග මෙහෙවරක් කළ ආනන්ද කුමාරස්වාමි මහතාට ලාංකික ජාතිය විශේෂයෙන් සිංහලයා සදා ණය ගැතිය. සිංහල හදවත්හි ජාතිකාභිමාණය ජනිත කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දැරුවේය. කුමාරස්වාමිගේ අත්පිටපත් සහිත පෞද්ගලික පුස්තකාලය ජාතිය සතු කර ගැනීමේ මහඟු අවස්ථාව මඟහැර ගත් අප අවසානයේ ඔහු නමින් පැවති මාර්ගයේ නම ද වෙනස් කිරීමට තරම් අකෘතඥ ජාතියක් බවට පත්වූයේ කෙසේ දැයි මට අවබෝධ කර ගත නොහැකිය. හද දවන මේ පුවත අසා කම්පනයට පත් මට එකවර සිහි වූයේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය පදනම් කරගත් ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ ඉන්වික්ටස් චිත්‍රපටයේ රග්බි පුහුණුකරුගේ "මතක කියා ගනිල්ලා, අද තමයි මේ රට බල්ලාට ගිය දවස" නමැති ප්‍රකාශයයි. යුගයේ ජුගුප්සාජනකම ප්‍රශස්තිය ගැයූ වන්දිභට්ටියක් වෙනුවෙන් එක රැයින් මාර්ග නම් වන රටේ කුමාරස්වාමි වැනි ජාතික වීරයෙකුගේ නාමය මෙලෙස නොතකා හැරීම ඔස්සේ රටට ලබා දෙන පණිවිඩය කුමක්ද? අපේ දෙමළ සහෝදරයින්ට ලබා දෙන පණිවිඩය කුමක්ද? මේ ක්‍රියාවලිය පිටුපස සිටින්නන් කෙතරම් අසංවේදී අසංස්කෘතික සත්ව කොට්ඨාසයක් විය යුතු ද? සැබවින්ම අප කළ යුතුව තිබුණේ 'නෙලුම් පොකුණ', 'ආනන්ද කුමාරස්වාමි රඟහල' ලෙස නම් කොට එම හිස් කොන්ක්‍රීට් කන්දට මහා සම්ප්‍රදායක උරුමය එකතු කොට එය ජාතික උරුමයක් බවට පත් කිරීම නොවෙද? අප යුද වැදුණේ දෙමළ ජනතාවට විරුද්ධව නොව ත්‍රස්තවාදයට විරුද්ධව බව මුළු ලෝකයට ම පෙන්වා දී එම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ විජයග්‍රහණයක් බවට අභිෂේක ගැන්වීම නොවෙද?

එහෙත් අප ඒ අවස්ථා යොදා ගත්තේ ද්‍රවිඩ බෙදුම්වාදය සාධාරණීකරණය කිරීමට ජීවමාන සාක්ෂි සැපයීම සඳහා සඳහා ය. ජනාධිපතිවරයාගේ නම ගුවන්තොටුපලේ සිට වැසිකිළිය දක්වා යොදමින් ඉතිහාසයට තවත් නිශ්ශංකමල්ල පන්නයේ විකටයෙකු බිහි කිරීමට ඔහු වටා සිටින කේවට්ටයින් පිරිසක් තීන්දු කොට ඇති බව පෙනේ. ජනාධිපතිවරයා විශේෂයෙන් ආරක්ෂා විය යුත්තේ පංචතන්ත්‍රයේ රජු ආරක්ෂා කළ වඳුරාට නොදෙවෙනි මෙවැන්නන්ගෙනි. මෑත කාලයේ එවන් විහිළුවක් බවට පත්වූයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි හිටපු මහ ඇමතිනි මායාවතී ය. ඇය තම පාලන කාලය තුළ තමාගේ දැවැන්ත ප්‍රතිමා ප්‍රාන්තය පුරා තැනූ අතර 2012 මැතිවරණයෙන් පරාජය ලබද්දී ඇගේ ප්‍රතිමාවල හිස් අතුරුදන්ව තිබිණි. තිස් වසරක යුද්ධය කෙළවර කරනට දේශපාලන නායකත්වය ලබා දුන් ජනධිපතිවරයාට ඒ ගෞරවය ලබා නො දීමට අප කුහක විය යුතු නැත. ද්‍රවිඩ ජාතිවාදයට කිරි පොවමින් සිට එය පරාජය වූ තැන රටට බදු ගෙවූ අප ද ඒ ජයග්‍රහණයේ උරුමකරුවන් වම්හයි පාරම් බෑම සහ මෙවැනි ක්‍රියාවන් අතර වෙනසක් මම නොදකිමි. දෙකම හිස්ටීරියා රෝග තත්වයන්ය. එහෙයින් ආනන්ද කුමාස්වාමි මහතාගේ 135 වැනි උපත් සමරුව යෙදෙන මේ මොහොතේ එතුමාගේ යුග මෙහෙවර වෙනුවෙන් ජාතියේ කෘතඥතාව පුද කිරීමට බලධාරීන්ට නුවන් ලැබේවා යැයි අපි පතමු. ඉතිහාසයේ කුමාරස්වාමී මහතා හොබවන තැන කිසිවෙකුට පැහැර ගත නො හැකි බවත් කුමාරස්වාමි නාමය නෙලුම් පොකුණට සිය ගව් ඉහළින් විරාජමාන වී පහන් තරුවක් සේ අප යා යුතු මාවත දක්වා සිටින බවත් අවසාන වශයෙන් ලියා තබමු.

 

5 comments:

$worD£isH said...

Sad to see such valuable posts have no comments ..Our young generation should know the yeaoman service this man has done to our country.

නාමල් උඩලමත්ත said...

Kay Cee, Thanks for your comment. Our new generation don't know their own History. Actually they don't know anything except their degree subject. Unfortunately they don't want to learn anything. Now our campus also just like job factories.

Indranatha Thenuwara said...

ඔබේ විශිෂ්ට ලියැවිල්ල මහත් අභිරැචියෙන් යුක්ත ව සහ මහත් ආත්මානුකම්පාවෙන් යුක්ත ව, එක හුස්මට කියැවීමි.
ආනන්ද කුමාරස්වාමි මාවත නෙලුම් පොකුණ මාවත යැයි නම් කළ ද, තවත් කල්ප කාලාන්තරයක් ම යනතෙක් එය අප හද තුළ ඇත්තේ ආනනද් කුමාරස්වාමි නමින් ම ය. විටෙක මෙතුමන් ගැන නොදන්නා කෙනෙකුන්ට වුව ද ඒ නම කිසිදු වෙනසක් නැති ව හදේ තැන්පත් වී ඇත්තේ ය.
අද ඊයේ උපන් ඕපපාතිකයකු හැර මේ නෙලුම් පොකුණ මාවතයැයි පිළි ගන්නට කිසිවෙක් සූදානම් නැත. එසේ තිබෙන තාක් කල් ආනනද් කුමාරස්වාමි නම ජන හද තුල පැල පදියම් ව තිබෙනු ඇත්තාක් මෙන් ම, එතුමන් කෙරෙහි ඇති ගෞරව භක්තිය ද ඒ හා සමානව ම චිරාත් කාලයක් පවතිනු ඇත.

Amila Chathuranga said...

ආනන්ද කුමාරස්වාමි මහතා කවරෙක්ද යන්න අද ලංකාවේ කිසිවකු දන්න බවක් තේරෙන් නැහැ...අද කාලේ සිංහල පොත් පත් වලට පාඨ ග්‍රන්ථයන්ට ඇතුලත් විය යුතු කුමාරස්වාමි මහතාගේ දැනුම ඔහුගෙ දෙමල නම නිසාම අහිමි වී තිබෙනවා. මා සිතන ආකාරයට කුමාරස්වාමි මහතා කුලවාදියෙකු හෝ ද්‍රවිඩ හිතවතකු නෙමෙයි. එතුමා ලංකාව ගැන ලියා ඇති බොහෝ ලිපි වලින් ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදීන ච්න්තනය පෙන්නුම් කෙරෙනවා. මාවත නම් කිරීම වැනි ක්‍රියාවන් වලට වඩා ආනන්ද කුමාරස්වාමි මහතා විසින් ලියන ලද පත පොත මහජනයාට සමීප කරවීමට වැඩ කල හැකි නම් එය මනාය. මිනිසුන් මියගියත් ඔවුන්ගේ පොත් පත් තිබේ නම් ඔවුන් මියගොස් ඇති බවක් අපට තේරුම් යන්නේ නැත. මාටින් වික්‍රමසිංහ මැතිතුමා මියගොස් වසර තිහකට අධික කාලයක් ගතවෙලා තිබියදීත් එතුමා තවමත් අප අතර ඇත්තෙකු යැයි අපට හැගෙන්නේ එතුමාගේ පොත් පත් පරිශීලනය කරන්නට පහසු වීම නිසාය. කුමාරස්වාමි වැන්නන් ඈත් නොකර ලගින් තබා ගැන්මට නම් ඔහුගේ පත පොත වඩාත් සමාජය තුල පැතිරිය යුතු යැයි මට සිතේ.

නාමල් උඩලමත්ත said...

ඔව් අමිල ඔබේ කතාව ඇත්ත. කුමාරස්වාමි මගේ වීරයෙක්. ඔහුගේ පොතපත ජනතාව අතරට ගෙන යාම ඉතාම වැදගත්. එමගින් දෙජාතිය අතර ඇති විරසක මනෝභාවය ඉවත් කළ හැකියි. නමුත් මේ ආණ්ඩුව කළේ එතුමාගේ නම පවා මාර්ගයෙන් ඉවත් කිරීම. ඒ ඔස්සේ ද්‍රවිඩ ජනතාවට දැනෙන හැඟීම කුමක් ද? ඔවුන් තුළ මතු වනු ඇත්තේ තමන් කොන් කළා වැනි හැඟීමක්. සිංහල ජනතාව තුළ අනවශ්‍ය වර්ගවාදී හැඟීමක් ඇති විය හැකියි. මේ දෙකම අනාර්ථකාරියි. ඒ නිසා අපි එතුමාට මේ රටේ ලැබිය යුතු තැන වෙනුවෙන් සටන් කළ යුතුයි. ඔහු මේ රටේ සංස්කෘතික සංකේතයක්.