2012-10-11

වල්මත් වූ කවීන්ගේ ශේෂ පත්‍රය හෙවත් ගීත සාහිත්‍යය


සුනිල් සරත් පෙරේරා මහතාට පිළිතුරක්

ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද ලිපියක් 'ගීත විචාරයට පෙර වදනක්' යන සිරැසිය සහිතව පසුගිය වීමංසා අතිරේකයක පළ විය. (2012/08/04) එතුමා ලිපිය ආරම්භයේ ම මැනවින් පෙන්වා දෙන පරිදි මේ දූපතේ ඇත්තේ අප්‍රභංශ ගීත විචාරයකි. කොටින් ම කිවහොත් ලංකාවේ ගීත විචාරය තරම් විහිළුවක් ලෝකයේ තවත් නැත. එය යන්නේ කොහේද මල් පොල් පන්නයේ හතර බීරි කතාවකි. නැතහොත් අලියා සහ අන්ධයෝ කතාවට සමාන විහිළුවකි. එහෙයින් කලකට පෙර මම ඒවා කියවීම අත්හළෙමි. කෙසේ වුවද එතුමා ඒ අප්‍රභංශය හඳුනා ගෙන සාරගර්භ මඟ පෙන්වීමක් කර ඇතැයි සිතූ මම ලිපිය කියවීමි. එහෙත් එතුමා ද ලියා ඇත්තේ තවත් අප්‍රභංශයකි. එතුමා කියන්නේ අලියා කුල්ලක් වගේ නොව කොස්සක් වගේ කියාය. මන්ද එතුමාට හසුව ඇත්තේ අලියාගේ වලිගය හෙයිනි.

ලංකාවේ මෑත ඉතිහාසයේ ගීතය ජනප්‍රිය වන්නේ නාඩගම්, චිත්‍රපට වැනි කලා කෘතිවල උපාංගයක් වශයෙනි. අනතුරුව එය ස්වාධීන කලාංගයක් ලෙස ජනප්‍රිය විය. එකල නිසඳැස් වසංගතය වැළඳී සිංහල කවිය අන්තයට පිරිහී ගොස් තිබිණි. කවීන්ට සහෘදයා අතරට යාමට නිසඳැස හොඳ යානාවක් වූයේ නැත. සිය ආත්ම ප්‍රකාශන මාධ්‍යය බෙලහීන වීම නිසා කවීහු උකටලිව වූහ. ඒ සඳහා විකල්ප සෙවූහ. එකල ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ පැවති ගීතය, පහසු කලා ඉලක්ක හඹා ගිය කවීන් පිරිසකගේ නවාතැන විය. එදා මෙදාතුර සිංහල ගීත සාහිත්‍යය යැයි වන්දනාමාන කරන්නේ ද සම්මාන පුදන්නේ ද විශ්වවිද්‍යාලවල පවා ජාතික ධනය වියදම් කොට උගන් වන්නේ ද මේ මංමුලා කවීන්ගේ නිර්මාණ ගොන්නය.



සිංහල නොදත් දෑස් නොපෙනෙන සංගීතඥයෙකු සිනමාහලකට ගියේ යැයි අපි මදකට සිතමු. විකාශනය වූයේ සිංහල චිත්‍රපටයක් නම් ඔහුට ගෝචර වන්නේ මොනවාද? නොදත් භාෂාවක දෙබස්, පසුබිම් සංගීතය සහ විවිධ ශබ්ද පෙළක් පමණි. ඔහුට සිනමා කෘතිය ගැන කිව හැක්කේ මොනවාද? එහි පසුබිම් සංගීතය පිළිබඳ ඔහුට යමක් ප්‍රකාශ කළ හැකිය. එම සංගීත සංයෝජනය, එහි පෙර අපර දෙදිග ආභාසය, රාගතාල පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය. එහෙත් චිත්‍රපටය සඳහා ඒ සංගීතය කෙතරම් උචිත දැයි පැවසීමට ඔහුට නොහැකිය. ඒ ඔහු සමස්ත සිනමා කෘතිය රස නොවිඳි නිසාය. ඔහු රස වින්දේ සංගීතය පමණි. සංගීතය යනු සිනමා කෘතියේ අර්ථෝද්දීපනය සඳහා භාවිත කරන්නක් මිස එහි ප්‍රධාන අංගය නොවේ. එහෙයින් ඔහුගේ අදහස් සිනමා විචාරයකැයි කිව නොහැකිය. සිනමා විචාරයට තබා එය රස විඳීමට අවශ්‍ය සුදුසුකම් පවා ඔහුට නොමැත.

නූතන සිංහල ගීත විචාරකයා සමාන වන්නේ ද සිනමාහලේ සිටි දෘශ්‍යාබාධිත පුද්ගලයාටය. ඔහු මෙන් ම සිංහල ගීත විචාරකයා ද අන්ධයෙකි. කුමක් විෂයෙහිද? සංගීතය විෂයෙහිය. මෙරට ගීත විචාර ක්‍ෂේත්‍රයට පිවිසි මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිට සමුද්‍ර වෙත්තසිංහ දක්වා සියලුම විචාරකයෝ සංගීතය විෂයෙහි ජාත්‍යන්ධයෝය. සාහිත්‍යය පිළිබඳ පරිචයක් සහිත ඔවුහු ගීත විචාර යැයි ගීතයේ පදවැලම පට්ට ගසමින් විචාර කෘති කඳු ගණන් ලියති. ඔවුන් ගීත විචාරය නොව ගීතයේ තමන් දකින කොටස ගැන ලියනවා යැයි කිවහොත් නිවැරදිය. ඒවා සමාන වන්නේ උක්ත සිනමා පටයේ සංගීතය ගැන දෘශ්‍යාබාධිත පුද්ගලයා කරන ප්‍රකාශවලටය. මේ ඊනියා ගීත විචාරය, ගීතයේ ප්‍රගමනය නොව එහි අවගමනයට ම හේතු වන්නකි. සුනිල් සරත් පෙරේරා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ ද මේ අංශ භාග විචාරය තව දුරටත් නඩත්තු කළ යුතු බව නොවෙද?

සංගීතය ඉතා පුළුල් විෂය ක්‍ෂේත්‍රයකි. එය සංගීතඥයාගේ භාව ප්‍රකාශන මාධ්‍යයයි. විවිධ රාග තාල, ස්වර ඇසුරින් භාව උද්දීපනය සඳහා නිර්මාණය කරන සංගීතය ශුද්ධ සංගීතයයි. එහිලා භාවිත කරන්නේ සංගීත භාණ්ඩ පමණි. ඔපෙරා, කැන්ටාටා, සිම්පනී වැනි සංගීතාංග සඳහා සංගීත භාණ්ඩ සේම මිනිස් කටහඬ ද භාවිත කරයි. මේ සංගීතාංග සම්භාව්‍ය ගණයෙහිලා සැලකේ. ඊට පහළින් ස්ථානගත වන ගීතය වනාහි ජනප්‍රිය සංගීතාංගයකි. එහි මිනිස් කටහඬ භාවිත කරන්නේ උක්ත සංගීත ඛණ්ඩයෙහි ශබ්ද මාධූර්ය, එහි භාවිත රාගතාලවලින් උපදින භාව උද්දීපනය කරනු සඳහාය. මෙහිදී සිදුවන්නේ කවියේ සිදුවන කාර්යයේ ප්‍රතිපක්ෂයයි. කවියේ අර්ථ ධ්වනි උද්දීපනය පිණිස විරිත භාවිත කරන අතර ගීතයේ ශබ්ද මාධූර්යය තීව්‍රර කරනු වස් පදවැල භාවිත කෙරේ. වෙනත් ලෙසකින් කිවහොත් සංගීතඥයා සිය භාව ප්‍රකාශනය පුළුල් රසික පිරිසක් අතරට ගෙන යාමට පදවැල ඉන්ධනයක් කර ගනී. සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැනි අයගේ ගීතවල ගීතයේ මෙකී යථා ස්වරූපය දැකිය හැකිය.

මෙරට ධනේශ්වරයේ නැඟීමත් සමඟ තව දුරටත් සංගීතය වැදගත් කොට නොසැලකුණු අතර ඒ පිළිබඳ ඥානය සමාජයෙන් ගිලිහී ගොස් ජනතාවගේ වින්දන ශක්තිය මොට විය. සම්භාව්‍ය සංගීත රස විඳීම පිරිහී එහි ජනප්‍රිය නොවැදගත් අංගයක් වන ගීතය සංගීතය බවට පත්විය. පෙර සඳහන් කළ පරිදි කවියේ පිරිහීම නිසා ගීතය වෙත ආකර්ෂණය වූ කවීන් විසින් ගීතය මත කවියේ අර්ථමය බරද පටවන ලදි. සංගීත වින්දන ශක්තිය අහිමි වුව ද කිසියම් දුරකට සාහිත්‍යය රස විඳිය හැකි පිරිස, තමන්ට රස විඳීම සඳහා කවියක් නොතිබුණු හෙයින් උක්ත කවීන්ගේ ගී පදවැල් වටා රොද බඳින්නට වූහ. ඔවුහු චිත්‍රපටයක ගීයක් වෙනම රස විඳින්නා සේ ගීතයෙන් පදවැල උගුලුවා ගෙන වෙනම රස විඳින්නට හුරුවූහ.

එහෙත් ගීතය වනාහි සංගීතඥයාගේ භාව ප්‍රකාශන මාධ්‍යයකි. පදවැල සංගීතඥයෙකු අතට පත්ව වහා එහි අර්ථමය සාරය සංගීතයෙහි ගිලී වියැකී යයි. අප ගීයක් රස විඳින විට සාහිත්‍ය රසයක් විඳිතියි සිතුව ද එය මායාවකි. අපි විඳින්නේ සංගීත රසයයි. කිසියම් තනුවක් විවිධ භාෂාවලින් ගායනා කළ හැක්කේ ද අප නොදන්නා භාෂාවලින් ගයන ගී අපට රස විඳිය හැක්කේ ද එහෙයිනි. මේ අනුව ගීයක සංගීත රසය ප්‍රමුඛ වන අතර එහි පදවැල පිළිබඳ අර්ථමය විග්‍රහය ද්වීතීයික වේ. ගීතයක සංගීතය බහුතරය රස විඳින අතර එහි සාහිත්‍යමය පක්ෂය රස විඳින්නේ සුළුතරයකි.

ගීතය වනාහි පද රචකයාගේ භාව ප්‍රකාශන මධ්‍යය යන මායාවෙහි කරවටක් ගිලී ගී පද රචකයින් සහ සාහිත්‍ය විචාරකයින් ගී පදවැල් පිළිබඳ ලියන ලද පොත් තඩි ගීත විචාර නොව පදවැල් විචාර වේ. සිංහල ගීත විචාර ක්‍ෂේත්‍රයෙහි ආධිපත්‍ය දරන මේ දෙපිරිස මෙන් ම රසිකයින් ද හුදු සාහිත්ය්මය අධ්‍යාපනයක් මිස සංගීතය පිළිබඳ පරිචයක් ලද පිරිසක් නොවේ. එහෙයින් සිංහල ගීතය වළපල්ලට ගිය ද මේ විචාර ක්‍රමය තව අවුරුදු සියයක් වුව ඉදිරියට දක්කා ගෙන යා හැකිය. ගීතය සංගීතඥයාගේ ආත්ම ප්‍රකාශනය බවද පද රචකයා මෙන් ම ගායකයාද කරනුයේ එය සහෘදයා වෙත ගෙන යාමට දායකය වීම බවද මේ විචාරකයින් කිසිදා අවබෝධ කර ගනිතැයි මම නොසිතමි.

බටහිර සංගීතයේ song writer යැයි හඳුන්වන්නේ වචන ඇතිව හෝ නැතිව යම් සංගීත නිර්මාණයක් බිහි කරන්නාය. ලංකාවේ නම් ගී පද රචකයාය. කිසියම් පිරිසකට සාහිත්‍ය චක්‍රවර්තීන් ලෙස දුහුනන් අබියස වැඩඹෙන්නට ද තවත් පිරිසකට මහා විචාරකයින් ලෙස රඟන්නට ද මේ විකෘතිය ආශීර්වාදයක් බව සැබෑය. එහෙත් ගීතය හෝ සහෘද වින්දන ශක්තිය අඟලකිනුදු ඉහළ නංවන්නට ඉන් පලක් වී නොමැත. චිත්‍රපට අධ්‍යක්ෂවරයාට සිය සිනමා කෘතිය පේක්ෂකයා ඉදිරියට ගෙන යාමට පිටපත් රචකයා, නළුවන්, කාර්මික ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් උදව් වේ. එයට ප්‍රතිභාසම්පන්න නළුවන් පණ දෙන බව සැබෑය. තිර පිටපත ලියන්නේ අතිදක්ෂයෙකු බව සැබෑය. එහෙත් සිනමා කෘතිය අධ්‍යක්ෂවරයාගේ ආත්ම ප්‍රකාශනයයි. එහෙයින් චිත්‍රපටය පිටපත් ලියන්නාගේ හෝ නළුවාගේ ආත්ම ප්‍රකාශනය යැයි කිසිවෙකු කියනු මා අසා නැත. ඔවුන්ට කළ හැක්කේ අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින භූමිකාව රඟ දැක්වීමට පමණි. ගීතයේ තත්වය ද මීට අසමාන නැත. එහෙත් අද ලියැවෙන ගීත විචාර නළුවෙකු අහවල් සිනමා කෘතිය සිය ආත්ම ප්‍රකාශනය යැයි කියා ලියන ප්‍රලාපයකට දෙවෙනි නැත.  
  
ගීතයේ ශක්‍යතා සීමා පිළිබඳ අවබෝධයක් සහිතව සිය කාර්ය ඉටු කළ, මෑත භාගයේ ජීවත් වූ එකම ලාංකේය සංගීතඥයා ප්‍රේමසිරි කේමදාසයන්ය. ඒ සත්ය  අවබෝධ කරගත් ගී පද රචකයෙකු සිටී නම් ඒ ලූෂන් බුලත්සිංහල පමණි. සෙසු සියල්ලෝ ගොබෙල්ස් න්‍යායට අනුව සිය දහස් වර මැතිරීම නිසා සත්‍යයක් බවට පත්ව ඇති ගීතය වනාහි පද රචකයාගේ ආත්ම ප්‍රකාශනයයි යන බොරුවෙහි ගිලී පදවැල්වලට තනු දමමින් සිය ආත්ම ප්‍රකාශන මාධ්‍යය අවභාවිත කරමින් සිටිති. නැතහොත් සිය භාව-ප්‍රශන මාධ්‍යය පද රචකයින්ට උකස් කොට ඇත.

මේ නිසා කිසිදු නැවුම් බවක් අපූර්වත්වයක් නොමැති ඒකාකාරී තනුවලට ගැටගැසූ පදවැල් ගීත යැයි රස විඳීමේ අවාසනාවට නූතන රසික පරපුරට මුහුණපෑමට සිදුව තිබේ. ගීතයේ මුඛ්‍ය අංගය වන සංගීතය පිළිබඳ කිසිදු විචාරයක් මඟ පෙන්වීමක් නොමැති විචාරය ද ගීතයේ ශක්‍යතා සීමා හඳුනා නොගෙන කවියේ බර ගීතය මත පැටවූ මංමුලාවූ කවීන් ද මීට වගකිව යුතුය. ඒ අර්ථයෙන් ගත් කල සුනිල් සරත් පෙරේරා ද එහි පරිහානියට ඍජුව ම වගකිව යුතුය. අද ප්‍රබුද්ධ ගීත යැයි නම් පටබැඳ ඔජ වඩන බොහෝ ගීතවල ඇත්තේ පදවැලේ ඇති කාව්‍යමය අරුත් මිස සංගීතමය සාර්ථකත්වයක් නොවේ. සිංහල කාව්‍ය සම්ප්‍රදාය මැනවින් අධ්‍යයනය කොට කිසියම් ඡන්දසකට විරිතකට අනුව ගෙත්තම් කොට සහෘදයා වෙත පිදිය යුතුව තිබූ බොහෝ සුන්දර අරුත් කැටි සංගීතයෙහි දිය කොට හැරීම කවර නම් ඛේදවාචකයක් ද? මේ ආගාධයෙහි ගිලී සිටින්නන් ඉන් ගොඩ එතැයි සිතිය නොහැකිය. සිය මුල් කාව්‍ය සංග්‍රහයේ කවි කිහිපයක් මහත් වැර වෑයමින් ගී බවට පත් කළේ යැයි මෑතදී කියා තිබුණේ රවි සිරිවර්ධන නමැති තරුණ ගීපද රචකයාය.

මේ ඒකාකාරී ගී අඳෝනා තිත්ත වී සිටින රසික පිරිස පදවැල කුමක් වුවත් කිසියම් වෙනසක් සහිත සංගීත සංයෝජනයක් ඇසුණු වහා ඒ වෙත ආකර්ෂණය වෙති. ඒ ඔවුන්ගේ වරද නොව ගීතය අවභාවිත කරන නිර්මාණකරුවන්ගේ වරදය. නුදුරු අනාගතයේ වුව මේ සීමා මායිම් ජය ගනිතැයි සිතිය හැක්කේ කසුන් කල්හාර වැන්නෙකු පමණි. නුතන ගීත විචාර ක්‍ෂේත්‍රයට සංගීතය පිළිබඳ මනා පටූත්වයක් සහිත භාෂාව සාහිත්‍යය පිළිබඳ දැනුමින් සන්නද්ධ ඇසූපිරූ තැන් ඇති සහෘදයින් පිරිසක් ප්‍රවිෂ්ට විය යුත්තේ එහෙයිනි. ඒ සඳහා පෙරමුණගත යුතු යැයි මේ මොහොතේ මගේ මතකයට නැඟෙන්නේ කෝලිත භානු දිසානායක පමණි. එසේ නොවුණහොත් නොබෝ දිනකින් ම පද රචකයින්ගේ නන් දෙඩවිලි, අඳෝනා මැදින් සිංහල ගීතය අවසන් ගමන් යනු ඇත.

No comments: