2012-02-16

ඩැඩීලා පුහුලට අත තියන්න පෙර

මේ වන විට ගයාන් පෙරේරා සහ ඩැඩී සංගීත කණ්ඩායම ගැයූ 'ටිකින් ටික' ගීතය පිළිබඳ සමාජ සංවාදයක් ඇතිව තිබේ. ඒ පිළිබඳ මතුව ඇති අදහස් මෙසේ ගොනු කළ හැකි ය.

1. මේ ගීතයෙන් බුදු දහමට අගෞරවයක් සිදුව තිබේ. ඉන් බෞද්ධයින්ගේ සිත් රිදි තිබේ. එහෙයින් වහාම මේ ගීතය තහනම් කළ යුතුය.
2. මේ ගීතයෙන් බුදු දහමට කිසිදු අපහාසයක් වී නොමැත. එය විශිෂ්ට ගීතයකි. ඊට විරුද්ධ වන්නේ ගයාන් කතෝලිකයෙකු වීම නිසා නිසාය. එසේ හඬ නඟන්නෝ බෞද්ධ අන්තවාදීහුය.

මේ මුල් මතවාදය දරන්නන් බෞද්ධයින් ය. දෙවන පිරිසට බෞද්ධයින් මෙන් ම අන්‍යාගමික පිරිස් ද අයිති ය. විය යුතු පරිදි ම රට දැය සමයට කෙනහිලිකමක් වේ නම් ඊට ආශීර්වාද කරන වෙබ් අඩවිය ද පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. කවුරු හරි ද කවුරු වැරදි ද කියා සිතාගත නොහැකිව තවත් පිරිසක් අන්දමන්දව සිටිති. මේ තර්ක දෙක අතරින් දෙවැන්න මුලින් විමසා බලමු. එවිට පළමු ප්‍රශ්නයට පිළිතුර කුමක් දැයි ඔබට අවබෝධ කර ගත හැකි වනු ඇත. දෙවන තර්කය අනුව බෞද්ධ අන්තවාදීන් හඬ නඟන්නේ ගයාන් හුදු කතෝලිකයෙකු වීම නිසා ය. එම තර්කය නිවැරදි නම් අපි වහාම ඒ ගෝත්‍රවාදයට විරුද්ධව ගයාන් වෙනුවෙන් හඬ නැඟිය යුතුය. ඔහුගේ නිර්මාණ අයිතිය සුරක්ෂිත කළ යුතු ය. ඒ අප සියලු ආකාරයේ ජාතිවාදී ආගම්වාදවලට විරුද්ධ වන නිසා ය.

දැන් ඒ ගැන මදක් විමසා බලමු. එම තර්කය නිවැරදි නම් මෙතෙක් කල් කිසිම කතෝලිකයෙකු බෞද්ධ ගීයක් ගයා නැත. ගැයුවා නම් මේ බෞද්ධ අන්තවාදීන් ගයාන්ට සේම සිය වරෝධය නො පෑමට කිසිදු හේතුවක් නැත. ලංකාවේ බුදු දහම ආශ්‍රිත ගීතයක් ගැයූ පළමු කතෝලික ගායකයා ගයාන් විය යුතුම ය. සිංහල ගීතයේ ඉතිහාසය දෙස හැරී බැලීම මේ ප්‍රශ්නය නිරාකරණයට ඇති පහසුම මගය.

සිංහල ගීතයේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා කතෝලික පමණක් නොව ඉස්ලාම් භක්තික නිර්මාණකරුවන් අතින් ද සිංහල ගීතය සුපෝෂිත වී තිබේ. සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, ඒ.එම්.යූ. රාජ්, අහමඩ් මොහිදීන්, ආර්.මුත්තුසාමි, කේ. රාණි, මර්සලීන් ජයකොඩි, මොහොමඩ් ගවුස්, මොහිදීන් බෙග්, ඒ.එම්. රාජා, එම්. කේ. රොක්සාමී,රුක්මණී දේවි, හරුන් ලන්ත්‍රා, අයිවෝ ඩෙනිස්, සී.ටී. ප්‍රනාන්දු, ඒ.ජේ.කාරීම්, ක්‍රිස්ටි ද මැල්, මර්වින් පෙරේරා, එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, ලතා වල්පොළ, විජය කුමාරතුංග, ක්ලැරන්ස් විජේවර්ධන, ක්‍රිස්ටෝපර් පෝල්, ඇන්ජලීන් ගුණතිලක, නිලාර් එම්. කාසිම් ආදිහු බෞද්ධයෝ නොවෙති. මේ අතරින් බොහෝ දෙනෙක් බෞද්ධ ගීත ගායනා කර තිබේ. රචනා කර තිබේ. සංගීතවත් කර තිබේ. බෞද්ධයින් අතර ජනාදරයට පත් වැඩිම බෞද්ධ ගීත ප්‍රමාණයක් ගයා ඇත්තේ අබෞද්ධයින් බව රහසක් නොවේ. වැඩිම බෞද්ධ ගීත ප්‍රමාණයක් ගැයූ ගායකයා මොහිදීන් බෙග් විය යුතුය. 'වෙසක් කැකුළු අතු අග හිඳ රඟන විලාසේ' යැයි ලියූ මර්සලීන් ජයකොඩි පියතුමා බෞද්ධයින් හැඳින්වූයේ පන්සලේ පියතුමා යනුවෙනි.

දස බලධාරී, අඩු කුලේ කියලා, සාධු සිරිපා, තිලෝනා සෑසි, බුදු බව පතනා, උතුම් බුදුන්, නාමේ නොදිරනා, බුද්ධං සරණං ගච්ඡාමි, බුදුන්ගේ උතුම් ධර්මේ, සකල සතම, දුක සදන පවේ, බුදුන් වඩින්, බුදු බණක් කියන්නට ආදි බුදු ගුණ ගීත මෙන් ම ලංකා ලංකා, දකුණ නැගෙනහිර ආදි දෑ අබිමන් ගී ගැයුවෝ අබෞද්ධයෝ ය. අපේ ජාතික ගීය තැනුවේ ද කතෝලිකයෙකි. එහෙත් මේ නිර්මාණවලට එරෙහිව සිංහල බෞද්ධයින් විරෝධතා පෑ බවක් අසා ඇද්ද? උඹලා බෞද්ධ නෙවෙයි ඒ නිසා බුදු දහම ගැන ගී ගැයීමට උඹලාට බැහැ යයි කියා ඇද්ද? මේ ගී රචනා කළ බොහෝ අය බෞද්ධයින් ය. ඒ ගීත ඇසුවේ බෞද්ධයින් ය. අද වුව 'බුද්ධං සරණං ගච්ඡාමි' ගීතය නො ඇසෙන දන්සලක් ඇද්ද? පොහෝ දිනක් ලංකාවේ තිබේද? පෙර කී ගායකයින් අබෞද්ධ නිසා එකී නිර්මාණ ප්‍රතික්ෂේප නො කර ඒවා දොහොත් මුදුනින් භාර ගත් බෞද්ධයින් ගයාන් පෙරේරා ගයන ගීතයට විරුද්ධ වන්නේ ඇයි?

ගයාන් පෙරේරා ඔවුන්ට වඩා භක්තිමත් කතෝලිකයෙකු නිසාද? එසේ නැත්නම් පෙර කී ගායකයින් බුදු දහම උත්කර්ෂයට නංවමින් ගී ගයද්දී, ඊට සිය භක්තිය පුදමින් ගයද්දී, එකී නිර්මාණ බුදු දහමට ආලෝකයක් වෙද්දි, ගයාන්ලා සිය බොල් පද මාලාවලට නැති ශ්‍රේෂ්ඨත්වයක් ආරෝපණය කර ගැනීමට බුදු දහම පාවිච්චි කිරීම නිසා ද? බෞද්ධයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ගාථාවක් අවර ගණයේ නිර්මාණයක් සඳහා භාවිත කිරීම නිසා නොවෙද මේ විරෝධතාව? එසේ නොවේ නම් මා පෙර සඳහන් කළ සියලු නිර්මාණකරුවන්ට ඔවුන් එරෙහි නොවන්නට කිසිදු හේතුවක් නොමැත. එහෙයින් බුද්ධිමත් පාඨකයින් මේ පිළිබඳ නැවත සිතා බැලිය යුතු ය.

මා විශ්වාස කරන පරිදි නූතන සිංහල සංගීත ක්ෂේත්‍රය බොල් නිසරු නිර්මාණවලින් පිරි රට ම ගඳ ගස්සන පල් වළක් බවට පත්ව තිබේ. ගයාන් පෙරේරලා හෝ සුපිරි තරු යැයි කියා ගන්නා කිසිවෙකු මෙරට සංගීතය වෙනුවෙන් කළ ඉටි ගෙඩියක් නැත. කසුන් කල්හාරට පසු මෙරට සංගීත ක්ෂේත්‍රයට ප්‍රතිභාසම්පන්න නවකයෙකු බිහි කර ගැනීමට අපට හැකි වී නැත. එය මහා ඛේදවාචකයකි. හැම රූපවාහිනි නාලිකාවකට ම සුපිරි තරු යැයි මෙරු උඩ යවන්නට සරු බිමක් සැකසී ඇත්තේ ඒ නිසා නොවෙද?

ඉරාජ්ගේ සිට්ටිමනීලා ගීතය ජන වර්ග අතර සමගිය ප්‍රේමය ගොඩනැගීමේ අදහසින් නිර්මාණය කළ බව ඔහු පවසා තිබේ. එය විය හැකි ය. ගයාන් පවසන්නේ ද මංගල අවස්ථාවක් වඩා හොඳින් රසිකයින් වෙත දැනවීම සඳහා ජය මංගල ගාථා යොදා ගත් බව ය. එය ද විය හැකි ය. එහෙත් අවසන සිදුව ඇත්තේ කුමක් ද? ඉස්ලාම් භක්තිකයින් ඉරාජ්ගේ ගීතය ප්‍රතික්ෂේප කළ අතර ගයාන්ගේ ගීතය බෞද්ධයින් ප්‍රතික්ෂේප කර තිබේ. එසේ නම් ඔවුන් දෙදෙනාට ම සිය නිර්මාණවලින් බලාපොරොත්තු වූ දෑ ලැබී නැත. නොපැතු විරෝධයක් මතුව තිබේ. ඒ එම නිර්මාණවල දුබලතා නිසා ය. අනෙකාගේ සංස්කෘතිය මැනවින් හදාරමින් මෙකී ක්ෂේත්‍ර පිළිබඳ ලියැවුණු ගී අප අසා තිබේ.

"සලාම් කියා ගෙන
සලාම් කියා ගෙන ගෙට එන
ළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

වලාකුළුවලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ"

නිලාර් එම්. කාසීම් ලියූ වැනි ගීතවලින් ඉරාජ්ගේ බලාබොරොත්තුව කෙතරම් සාර්ථක ලෙස ඉටු කර තිබේද? එසේ නම් ඉරාජ්ලා යා යුත්තේ මෙවන් සාර්ථක නිර්මාණ ගිය මග මිස අන් මගකද? මොහිදීන් බෙග් ගයන 'බුද්ධං සරණං ගච්ඡාමි' ගීතය සැම සිත් පහන් කොට ජන ජන තුඩග රැව් දෙන අතර ගයාන්ගේ 'ටිකින් ටික' ගීතය ප්‍රතික්ෂේප වන්නේ එහි ඇති අසාර්ථකභාවය මත මිස අන් කරුණක් නිසා නොවේ.

මෙරට සැබෑ සහෘද සම්භාවනාවට පාත්‍ර වනු තබා අහලකට නොගන්නා නිසරු නිර්මාණ පිට රට සම්මාන නමැති ඇස් බැන්දුම්වලින් සරසා අප මත පටවන යුගයක අද අපි ජීවත් වන්නෙමු. මෙරට ජන විඥානගත සංගීතය පිළිබඳ අපේ සහෘදයින්ගේ සම්මානය මිස සිංහල වචනයක් හෝ නොදන්නා අපේ සංගීත සම්ප්‍රදාය පිළිබඳ අංශු මාත්‍රයක් නොදන්නා පිට රැටියන්ගේ සම්මාන කවර නම් විහිළුවක් ද? එහෙයින් මේ සම්මාන මානයෙන් උමතු වී සිටින තරුණයින් කළ යුත්තේ සංගීතය හැදෑරිමය. පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදාය හැදෑරීම ය. සිය පූර්වගාමීන් ගිය මග හැදෑරීම ය. ඒ සියල්ල හදාරමින් පමණි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් සාර්ථක නිර්මාණ බිහි කළ හැක්කේ.

භාරතයේ පමණක් නොව මුළු ලොවම රසික සිත් සංගීත රසයෙන් මුසපත් කළ ඒ. ආර්. රහුමාන් වැනි නිර්මාණකරුවන් බිහි වූයේ සම්මාන කොන්ත්‍රාත්කාරයින් කර මතින් නොව සිය ප්‍රතිභාව මතිනි. ඔහු රෝජා චිත්‍රපටය සඳහා ගීත නිර්මාණය කරන විට වයස 26කි. Roja Jane Man, Chinna Chinna Aasai වැනි සදාතනික නිර්මාණ එහි තිබේ.
ඔහුගේ නිර්මාණ ජාත්‍යන්තරයට ගියේ භාරත රසික හදවත් දිනා ගැනීමෙන් අනතුරුවය. එහෙත් ලංකාවට නිර්මාණ එන්නේ ජාත්‍යන්තරය දිනා ගෙනය. ඒවා ඊනියා සම්මාන දිනූ නිසා අප ද ඒවා රස විඳිය යුතුය. ඒවා නිරස යැයි කීයන්නේ විශ්ව සංගීතය විඳ ගත නොහැකි ළිං මැඩියයි කියන්නට ඇතැම් FM නාලිකාවල සූකිරි බටිල්ලෝ වෙහෙසෙති.

සිංහල සංගීත ක්‍ෂ්ත්‍රයට පිවිසි අවසාන ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවා ලෙස මා සලකන කසුන් කල්හාර පිළිබඳ විමසා බැලුව හොත් ඔහුට උපතින් ම සංගීතය උරුම විය. ඔහුගේ මව සුප්‍රකට ගායිකාවකි. පියා ද සුප්‍රකට සංගීතඥයෙකි. ගායකයෙකි. ඒ සියල්ලට ම වඩා කසුන් ‍ප්‍රේමසිරි ‍කේමදාස යටතේ සංගීතය හදාළේ ය. මගේ මතකය නිවැරදි නම් මාලනි බුලත්සිංහල අභාවයට පත් කාලයේ ම කසුන් බටහිර සංගීතය හැදෑරීමට විදෙස්ගත විය. ඔහු නිර්මාණකරුවෙකි ලෙස මතුව එන්නේ මේ සියලු උරුමයන් මතිනි. ඔහු මේ වන විට තමන්ගේ ම ලකුණක් සිංහල සංගීතයට එක් කොට තිබේ. එහෙත් ඊට පසු පැමිණි ආව ගි‍යෝ ගණයේ අය කළේ ජන ගීයක් බෙර පදයක් පිට රටට විකුණා මෙරට රසිකයින්ට ඇස්බැන්දුම් පෑම පමණි. පැරණි ගීත විකෘති කිරීම පමණි. මේ අය රාජ්‍ය තන්ත්‍රයේ ආශීර්වාදය පිට ඉහළින් වැජඹෙනු දකින අපට කටුසු ගෙල බැඳි රන් සිහිවෙයි.

අපට අවශ්‍ය වන්නේ කසුන් වැනි නිර්මාණකරුවන් මිස රටේ ආගම සංස්කෘතිය හර පද්ධතිය කිහිලිකරු කරගෙන ඇවිදින අබ්බගාත අංශභාග නිර්මාණකරුවන් නොවේ. ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවන් රටේ සංස්කෘතිය ඔපවත් කරනු මිස එය කිලිටි කරන්නේ නැත. අවුරුදු 60 -70ක් කිසිවෙකුට එල්ල නොවූ චෝදනාවක් ගයාන්ට එල්ල වූයේ ඔහුගේ නිර්මාණයේ බංකොලොත්භාවය නිසා මිස අනෙකක් නිසා නොවේ. ඔහුට සැබවින් ම සිංහල සංගීතයට යම් සේවාවක් කිරීමට අවැසි නම් කළ යුත්තේ සංගීතය හදාරමින් තම තුළ සිටින නිර්මාණකරුවා මතු කර ගැනීම මිස බුදු බණ රැෆ් කිරීම නොවේ. රජයේ වගකීම වන්නේ හසරක් නැති කජු කිරි කොල්ලන්ට මෙරට සංස්කෘතිය හර පද්ධතිය සමග බඩ පිනුම් ගසන්නට ඉඩ දී බලා සිටීම නොවේ. කෙසේ වුව ද ගයාන් පෙරේරාගේ මේ නිර්මාණයෙන් සිදු වූ යහපතක් ද තිබේ. ඒ, මෙවන් අවර ගණයේ නිර්මාණ සමාජගතවීම වැළැක්වීමම සඳහා වහා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අප හමුවේ අවධාරණය කිරීම ය.

2 comments:

Tharurasi Fernando said...

මම ඔබේ බ්ලොග් පැත්තට ආවමයි මේ... සංගීතයට ගොඩක් කැමති කෙනෙක් විදියට මම මේ ලිපිය අගය කරනවා... මමත් මේ ලිපිය එක්ක එකඟයි...
ඕනැම ප්ර ශ්නයක් දිහා ආගම්වාදී, ජාති වාදී, පක්ෂ දේශපාලන හැඟීමෙන් බලන එක, විග්රයහ කරන එක හරිම ඛේදනීයයි.. මමත් කතෝලික... ගයාන්ල ප්රිති‍ක්ෂේප වෙන්නෙ කතෝලික නිසා නෙවෙයි.... සංගීතය භාවිතාවේ වැරැද්ද නිසා.... ඔබ කියා ඇති හැම කරුණක්ම ඇත්තක්.... මේ වගේ වටින අදහස් බෙදා හදා ගන්න බ්ලොග් එකක් අඳුන ගන්න ලැබුණට සතුටුයි...

නාමල් උඩලමත්ත said...

තරුරසී,
හඳුන ගන්න ලැබීම ගැන සතුටුයි. ඔබේ අදහස් දැක්වීම අගය කරනවා. මම බෞද්ධ. හැබැයි මට අබෞද්ධ කතෝලික, ක්‍රිස්තියානි, හිංදු, මුස්ලිම් යාළුවෝ ඉන්නවා. අපි හැමෝගේ ම ආගම්වලට ගරු කළ යුතුයි. ආගමික අදහස් ගැබ් වන නිර්මාණ කිරිමේදී සැලකිලිමත් විය යුතුයි. ස්තුතියි!