2008-12-19

කසුන් නදීක සහ සිංහල ගීතයේ මළගම

පහු ගිය 3 වැනිදා කොළඹ සරසවියේ සංගීත සාජ්ජයක් පැවැත්විණි. සංවිධානය කළෝ ‍පරිගණක අධ්‍යයනායතනයේ සිසුහු ය. ආරාධිත ශිල්පීන් වූයේ අමරසිරි පීරිස් කසුන් කල්හාර සහ නදීක ගුරුගේ ය. අප මේ ප්‍රසංගය සඳහා ආකර්ශනය කළ පූර්ව බැනර් පුවරුවල නම සඳහන් වූ අමරසිරි පීරිස් ඊට සහභාගී වුයේ ද නැත. කොළඹ ගෙන්දගම් පොළවේ ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී සොඳුරු සංගීත සුයාමයක තනිවෙමැයි උදම් සිතින් ආ අපි අවසන තැවුල් සිතින් නව කලාගාරයෙන් එළියට ආවෙමු.

නව කලාගාරයේ හෝරා දෙකක් පමණ කාලය මට සහ මගේ මිතුරන්ට කල්පයක් සේ දැනුණේ ඇයි? ඒ සැඳෑව රස විඳගන්නට අපට නොහැකි වූයේ ඇයි? මේ ගැටළු නව රඟහලින් එළියට බට මොහොතේ සිට මා සිත හොල්මන් කරන්නට විය. ඊට පිළිතුරු ලෙස ඒ මා හිස පැන නැගි උද්වේගකර අදහස් බොහෝ ය. එහෙත් භාවයන් නැඟ එත් ම ප්‍රඥාවෝ අප අතහැර යති. හෝරා කිහිපයකින් වඩා නිරවුල් මනසකින් ඒ සැඳව යළි සිහිකරන මට අවබෝධ වූයේ මේ වූ කලී මා කලින් සිතූ සරළ හේතු සාධක ඉක්මවා ගිය එක්තරා න්‍යායාත්මක අර්බූදයක ප්‍රතිඵලයක් බවයි.



මේ සියවස මැද භාගය වන තුරු ගීතය ලෙස අප හදුනාගත්තේ ජනප්‍රිය ඉන්දිය තනුවකට සිංහල වචන ටිකක් දමා ගැයීම ය. කිසිදු සාහිත්‍යමය වටිනාකමක් නොමැති මේ ප්‍රබන්ධ සිංහල චිත්‍රපට මගින් රට පුරා ව්‍යාප්ත විය. මේවායේ එන මියුරු තනු නිසා ඒවා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. කෙසේ වුව ද මේ සීමා මැද වුව යම් රසවත් ගී බිහි නොවුණා යයි අපට කිව නොහැකි ය. භාරතීය ගී තනු මත යැපුනු සිංහල ගීතය ඉන් මුදවා ගත්තේ ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත ආදීන් විසිනි. සිංහල ගීයේ සාහිත්‍යමය පාර්ශවය පෝෂණයෙහිලා මුල් වූයේ ද මර්සලීන් ජයකොඩි පියතුමා සහ පෙර කී සංගීතඥයෝ ය.

ඉන් අනතුරුව අමරදේව වික්ටර් රත්නායක ප්‍රේමසිරි කේමදාස ආදීහු සුභාවිත සිංහල සංගීතය තව තවත් ප්‍රවර්ධනය කළෝ ය. මේ අය අඩු වැඩි වශයෙන් භාරතීය රාගධාරි සංගීතය තාගෝර් සංගීතය සිංහල ජන සංගීතය මෙන් ම බටහිර සංගීත සම්ප්‍රදායෙහි ද ආභාසය ලැබූහ. විශේෂයෙන් කේමදාස මාස්ටර් මෙකල ගොඩ නැ‍ඟෙමින් පැවති සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් නව ඉම් සොයා ගියේ ය. ගීතය යනු සංගීතඤයාගේ කෘතියකි යන නිවැරදි ආස්ථානයේ සිටි ඔහු සිංහල ගීතය සියුම් වින්දන උපකරණයක් බවට පත් කළේ ය. බටහිර සම්භාව්‍ය සංගීතයේ එන ඔපෙරා සිම්පනි සිංහල රසිකයාට හඳුන්වා දුන්නේ ය. අප අද රස විඳින සුභාවිත සිංහල ගීතය මෙකී නොකී සියලු දෙනාගේ සම්ප්‍රදානයයි.

කසුන් කල්හාර යනු සංගීතය උපතින් ම උරුම කොට ගත්තෙකි. ඔහුගේ මියුරු කට හඬ සොඳුරු ගී තනු මා වසඟ කළේ වරක් දෙවරක් නොවේ. විශේෂයෙන් දයාන් විතාරණ ආදීන්ට ඔහු සුතැනූ තනු අප භාව වඩ වඩාත් සියුම් වින්දන ඉසව් වෙත ගෙන ගියේ ය. කෙසේ වුව ද ආදර මල්වල, අනන්තයට යන, ඇරඹුම ම කඳුලක්, කවුලු පියන්පත්, මල් මිටක්, සඳ සඳ වගෙයි (slow version) ඈ ගී කිහිපයක් හැරුණු විට ඔහුගේ බහුතරයක් ගී මට රස විදිය නොහැකි ය. මා මෙහි සඳහන් කළ ගී සියල්ල පරිපූර්ණ නිර්මාණ නොවුණ ද ඒවායේ එන විශිෂ්ට ගී තනු ද යම් සාහිත්‍යමය වටිනාකමක් ඇති ගේය පද ද කසුන්ගේ විසල් ස්වර පරාසයක දිවෙන හඩ ද අප වසඟ කරයි. විශේෂයෙන් ‘සඳ සඳ වගෙයි’ ගීයේ අනවශ්‍ය දාර්ශනික ඉමක් වෙත අප ගෙන යන ගී පදවල අඩුව එහි එන මියුරු තනුවෙන් අකාමකා දමයි. එහෙත් ඔහුගේ බහුතරයක් ගීවල මේ සුසංයෝගීභාවය නැත. ගී පද සාහිත්‍යමය ගුණයෙන් හීන ය. ඒවා කසුන්ගේ විශිෂ්ට සංගීත කණ්ඩ අතර හිඩැස් වසන හුදු බොල් වචන අහුරු පමණි. එමෙන් ම ‘මල් මිටක් තියන්’ ගීතයේ තනුව හුදු අනුකරණයක් මිස ආභාසය ප්‍රකට කරන්නක් නම් නොවේ.

නදීක ගුරුගේ යනු අප මහත් බලාපොරොත්තු තබා සිටින තරුණ සංගීතඥයෙකි. අබා චිත්‍රපටය සඳහා ඔහු කළ විශිෂ්ට සංගීත නිර්මාණය ඔහුගේ ප්‍රතිභාව විශද කරයි. කෙසේ වුව ද ඔහු නිර්මාණාත්මක සංගීතය යයි ගිටාරය වයමින් උරුවම් බාමින් කී දෑ මට නම් වින්දනයක් ගෙන ආවේ නැත. ඔහු කියන දෑ කිසිසේත් පැහැදිළි නොවූ අතර ඇසුණු දෑ හුදු හරසුන් දෑ ය. (ශිෂ්ටාචාරේ මානවයා - ශිෂ්ටාචාරේ ගැහැණි හා එක්වෙලා) සැබවින් ම ඔහු පේක්ෂක ආකර්ශනය රඳවා ගත්තේ ටෙනිසන් කුරේ පාට්වලින් මිස ගීයෙන් නම් නොවේ. එවන් විසූකදස්සන ඔහුට තරම් නොවේ.

පෙර සඳහන් කළ ආකාරයට බොහෝ නිර්මාණකරුවන් බොහෝ සංගීත සම්ප්‍රදායන් ඇසුරු කරමින් පර්යේෂණයෙන් සතතාභ්‍යාසයෙන් අපට උරුම කළ සිංහල ගීතය මෙසේ අර්බූදයට යන්නේ ඇයි? ඊට හේතුව අප මතු පිටින් දකින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් නොවෙද?
අප සිතන්නේ මේ සියලු අගතීන්ට හේතුව ගීතය පිළිබඳ ඔවුන් තුළ පැහැදිළි අවබෝධයක් නැති කම ය. නැතිනම් වැරදි ආස්ථානයක පිහිටා කටයුතු කිරීම ය.

සැබවින් ම ගීතය යනු කුමක් ද? අපට දිය හැකි සරල ම නිර්වචනය සංගීතමය ප්‍රබන්ධයකි යන්න ය. ගී පද රචකයෙකු මෙන් ම විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වන සමන්ත හේරත් සිය ‘සොඳුරුතම හදවත’ නම් ගී පද සංග්‍රහයේ ගීතය ‘සාහිත්‍යයේත් සංගීතයේත් චාරුතර සංයෝගයේ මධුරතර ඵලය’ යයි හැදින්වීය. එනම් ගීතය යනු හුදු ශුද්ධ සංගීතය නොවේ. එය එකලා නිර්මාණයක් ද නොවේ. එය සංගීතඥයා, ගේය රචකයා සහ ගායකයා යන තිදෙනාගේ නිසි ප්‍රතිභා සුසංයෝගයෙන් බිහිවන කලා කෘතියෙකි. ගීතය අපට තෙපා කනප්පුවක් හා සැසඳීමෙන් වඩා පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. ගීතය කනප්පුව නම් එහි පාද තුන සංගීතඥයා, ගේය රචකයා සහ ගායකයා ය. සාර්ථක ගීතයක් බිහි වන්නේ මේ තිදෙනාගේ මනා සුසංයෝගයෙනි. එක් පාර්ශවයක් හෝ අසාර්ථක නම් කනප්පුව නිසි ලෙස පොළවේ තැබිය නොහැකි ය. එය ඇද වැටෙයි. ගීතය එසේ ය.

ඊනියා විශ්ව සංගීතයක් ගැන පාරම්බාමින් මහා ප්‍රබුද්ධයින් සේ පෙනී සිටින්ට අර අඳින අය ගීතය ගීතය නමින් පැවතීම පවා අවදානමට ලක් කරමින් සිටියි. තමන් තුළ නොමැති මහා රස වින්දන ශක්තියක් ප්‍රදර්ශනය කරනු කැමති ඇතැම් විශ්වවිද්‍යාලවල තරුණයින් මේ සඳහා පාවඩ එළමින් සිටියි. තමන් මහා සමාජයෙන් මිදුණු අමුතු ඉලන්දාරි පිරිසකැයි මවා පෑමේ ප්‍රදර්ශන කාමයෙන් මේ අය පෙළෙති. එදා සිංහලයාගේ හද බස වූ කවිය අංශ භාග නිසඳැසක් ගෙනැවිත් මෙරට ජනයාගෙන් උදුරා ගත්තේ ද මොවුන්ගේ ම මුල් පරම්පරාවයි. අද ගීතය ගමන් කරන්නේ ද ඒ අකල් මරණය දෙසට නොවෙ ද?

4 comments:

said...

මම හිතන්නෙ කසුන් සහ නදීක ඉන්නෙ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගො‍ඩේ මිස (ඒ ගොඩේ වැඩි දෙනෙක් නෑ. ඉන්න ප්‍රවීණයො කීප දෙනත් කෙමෙන් කෙමෙන් නැති වෙනව) ගීතයේ මළගම තීරණය කරන ගොඩේ නෙවෙයි. සිංහල ගීතයේ මළගම තීරණය කරන අයගෙ ගොඩ නම් විශාලයි.

සංගීතය විඳින්න බොහෝ දෙනෙක්ට තියෙන නොහැකියාවට හේතුව ඔවුන් සංගීතය කියල හඳුණගෙන ඉන්න පරාසයේ සීමා සහිත බවයි. මමත් කාලයක් ඒ වගේ සීමා තුල හිටපු නිසා මම ඒක හොඳට දන්නව. නමුත් සංගීතය නිහඬ බවේ සිට ගෝසාව දක්වාම සංගීතයමයි. ඒක නිසි භාවයන් ප්‍රකාශ කරන්න යොදාගන්න ආකාරය අනුව තමයි සංගීතඥයා විශිෂ්ට වෙන්නේ. සිංහල සංගීතය අද තියෙන්නෙ වෙළෙන්දන් අතේ. මම දන්න තරමින් නූතන නිර්මාණකරුවන් සියල්ලන්ම නිර්මාණ කරන්නෙ වෙළඳපොලට. ඒ කියන්නෙ මිනිස්සු ඉල්ලන දේ දෙනව කියල මොනා හරි දෙනව. තමන්ට තියෙන ආර්ථික සහ වෙනත් සම්බන්ධ මත ප්‍රසංගයක් දෙකක් තියල, එෆ් එම් සහ රූපාවලි හරහා මාධ්‍ය තුල පෙනී ඉඳල ජනප්‍රිය වෙනව. මාධ්‍ය වලින් මිනිස්සුන්ගෙ ඔළු වලට දවසකට දහ පහලොස් වතාව ගානෙ ඒව අස්සවල හුරු කරවනව. ඉතිං ඊට පස්සෙ හැදෙන අයත් ඒවම කරගෙන යනව. රැල්ලම තමයි.

කසුන් සහ නදීක එහෙම නෙවෙයි. එයාලට ඕන නිර්මාණ කරන්න. සංගීතයේ නව ඉසව් ගවේශණය කරන්න. මට හිතෙන විධියට කේමදාස මාස්ටර්, වික්ටර් රත්නායක මහත්මය, රෝහණ වීරසිංහ මහත්මය වගේ අයට පස්සෙ ඒ දේ කරන්නෙ එයාල විතරයි. (භාතිය සහ සංතුෂ් දෙපලත්, රොමේෂ් ලක්ෂාන් දෙපලත් යම් තරමකට මේ පර්යේෂණ කරනව) කසුන්ගෙ ඔබ අහල තියෙන ගී සියල්ලම මාධ්‍ය මගින් පට්ට ගහපු ඒවයි. නමුත් මට හිතෙන්නෙ කසුන්ගෙ හොඳම නිර්මාණ එකක්වත් මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නෙ නෑ. අනික කසුන්ගෙ ගී පද අතිශය සංකීර්ණයි. මම දන්නෙ නෑ ඒව හරසුන් වෙන්නෙ කොහොමද කියල. ඒ විධියට ගත්තම කවුරුවත්ම අරුත්බර ගීත කියල නෑ. කසුන්ට බොහොමයක් ගී ලියපු චාමින්ද රත්නසූරිය මට දැනෙන මට්ටමින් නම් වර්තමානයේ ඉන්න විශිෂ්ටම ගීත රචකයයි. ඔහු මවන අරුත් සරලයි වගේ පෙනුනත් අතිශය ගැඹුරට යන්න පුළුවන් ඕන නම්.

නදීක කියන්නෙ ඕන එකක් පනම් අටයි වර්ගයේ මනුස්සයෙක්. ඔහුගේ ගීත රචනාත් ඔහුගේමයි මම හිතන්නේ. ඔහුත් මිනිස්සුන්ට ඕන දේ දෙන කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ට දැනෙන දෙයක් නිර්මාණය කරන නියම කලාකරුවෙක්. ඔහුව තේරුම්ගන්න අප ඔහු වෙත යා යුතුයි. අපි තාප්පෙකට මුවා වෙලා හිටියොත් කවදාවත් එතනින් එහා වෙන දේ ගැන දැනගන්න විධියක් නෑ. නදීකගේ ගීත youtube අඩවියේ හොයල බලන්න. කීපයක් තියෙනව. අර ශිෂ්ඨාචාරේ මානවයා කියන ගීතය ගැන සරලව බලන්න එපා. ඒක මුළු ජීවිත කාලයක්ම හොඳින් පවුල් ජීවිතය ගෙවන විධිය කියල දෙන ගීතයක්.

කලාකරුවා හැමවිටම සාමාන්‍ය මනුස්සයාට වඩා උසස්. ඒකයි ඔවුන් කලාකරුවන් වෙන්නේ. හරියට විද්‍යාඥයො වගේ තමයි. නවමු දේවල් තමයි ඔවුන් බිහි කරන්නේ. මිනිසුන් ඔවුන් කරා යාමෙන් තමයි අර ආනන්දයෙන් ප්‍රඥාව කියන සාධකය සම්පූර්ණ වෙන්නේ.

හ්ම්...

කොහොම වුණත් මිනිස්සු වයසට නොයන නිසා හැමෝම තමන්ගෙ තරුණ කාලයේ තමයි ජීවත් වෙන්නේ. ඉතිං බොහෝ විට අපගේ තෘප්තීන් අපි තරුණ කාලයේ රස විඳින දේවල් තුල නවතිනව. ඒ නිසා කසුන්ව නොවැටහෙනව නම් ඒක ඒ පුද්ගලයගෙ ප්‍රශ්ණයක් නොවයි. දැණෙන දේ තුල ඉන්න එක හෝ නොතේරෙන දේ ඉගෙනීම එක් එක්කනාගෙ වැඩක්.

මම නාමල් මහත්මය කියපු දේ ගැන මට හිතෙන දේයි කිව්වෙ. මම වැරදි වෙන්නත් පුළුවන්. :)

Viduranga said...

Namal,Whos Amarasiri Peris?

අමල් ඉෂාන්ත said...

මට නම් ඔය හැමොම ගායකයෝ. හොඳට අහලා බලන්න අපි දෙකයි පනහේ ගායකයෝ කියන අයත් සමහර වෙලාවට ඉතාමත් හොඳ ගීත ගායනා කරනවා.
හොඳදේ අරගෙන නරක දේ අයින් කරලා දාන්න. ඉවරයි. අනික අමරසිරි පිරිස් ආපු නැති එක ගැන ඔවුන් අදහස් දක්වලා තිබුනා.

නාමල් උඩලමත්ත said...

මුලින් ම මගේ ප්‍රතිචාරය ප්‍රමාද වීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රතිචාර පළ කරපු හැමෝට ම පිං.
පිළිතුරු දෙන්නම් 3 වන ප්‍රතිචාරයේ සිට ඉහළට. අමල්, මම කතා කරන්නේ මෙච්චර සරළ කාරණාවක් නෙමේ. සිංදු කියන හැමෝ ම ගායකයෝ නම් සමහර වෙලාවට හොඳ ගී කියන අයත් ගායකයෝ නම් ඉන් එහාට කතා කර පලක් නෑ. මොකද මම කතා කරන්නේ සිංහල ගීතයේ අනාගතය ගැන. දෙකයි පනහේ ගායකයෝ ගැන කතා කරන්න කාලයක් අපට නැහැ. ඒ අනාගතය රැඳී ඇත්තේ 90 දශකයේ අග සහ 2000 පසු බිහිවූ පරම්පරාව අතේ. එහි ගමන් මග තීරණය කරන්න ශක්තිය ඇත්තේ කසුන්, නදීක, සුරේෂ් මාලියැද්ද වැනි අය අත කියා මම හිතනවා. ඔබ කීවා වගේ හොඳ දේ අරන් නරක දේ ඉවත් කළාම ඉතිරි වුණේ එච්චරයි. කොහොම වුණත් සිංදු කියන හැමෝම ඔබට ගායකයින් ලෙස පිළිගැනීමට ඇති අයිතියට මම ගරු කරනවා.

විදුරංග, අමරසිරි පීරිස් කියන්නේ කවුද කියන ප්‍රශ්නය ඇසිය යුතු කෙනා අද අප අතර නැහැ. ඒ නොබෝ දා අප අතරින් වියෝ වූ ප්‍රේමසිරි කේමදාස මහතා. ඔහු තමා එතෙක් වාදකයෙක් විදිහට වැඩ කළ අමරසිරි ගායන ලෝකයට හදුන්වා දුන්නේ. ඒ වගේ ම ටී.එම්. ජයරත්න, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි වැනි හඬවලුත් ඔහු තමා හදුන්වා දුන්නේ.

ම, ඔබේ දීර්ඝ ප්‍රතිචාරයේ මා පිළිගන්නා සහ නොපිළිගන්නා කොටස් තියෙනවා. ඒ වගේ ම ඔබ යම් යම් කරුණු පටලවා ගෙන. මා කතා කළේ සිංහල ගීතය ගැන මිස සිංහල සංගීතය ගැන නෙමේ. (ගීතය සංගීතයේ එක් උප ප්‍රභේදයක් පමණි)ඒ වගේ ම මම කසුන්ගේ ගී ගැන මිස fm නාලිකා පට්ට ගහපු ඔහුගේ ගී ගැන නෙමේ කතා ක‍ළේ. ඒ ගී මම හොඳයි කීවේ එහි ඇති සෞන්දර්ය නිසයි. කාටහරි පට්ට ගහන්නත් ඒවායේ පට්ට තියෙන්න එපායැ.

අනෙක ගීතයක පදවැල සංකීර්ණ වීම හෝ ගීයෙන් බණ කීම හෝ ගීතයේ සාර්ථකත්වයේ නොව අසාර්ථකත්වයේ ලක්ෂණයක්. ගී පද කිසිසේත් සංකීර්ණ විය යුතු නැහැ. එය වහා අවබෝධ කරගත හැකි විය යුතුයි. (ගීයක් කවියක් සංකීර්ණ විය යුතු නම් ගීයෙන් බණ කිව යුතු නම් ක්‍රිෂ්ණමුර්ති තුමා තමා හොඳ ගායකයා.) එය කවියටත් වඩා සරළ සුගම විය යුතුයි. මොකද ගීය සංගීතඥයාගේ මාධ්‍ය මිස ගේය රචකයාගේ මාධ්‍ය නෙමේ. හැම විට ම ගීයේ සංගීතය වචනාර්ථයට වඩා ඉදිරියට විත් රසිකයා ආකර්ශනය කරනවා. ඒක ගීයේ ස්වභාවය. මම කසුන්ගේ හොඳ ගී කීවේ එවන් සරළ සහ හොඳ සංගීතයකින් සුසැදි ගීවලට.

සිංහල ගීතයේ මළගම තීරණය කරන කොටස විදිහට එකවරම පෙනෙන්නේ අර බොළඳ ගී කියන අය. (මල් පන්සල් ඇසුරින් ප්‍රේම අදෝනා ගයන අය.)
කසුන්ලා ඉන්නේ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගොඩේ කියලා ඔබ කියන්නේ ඒ අන්තයට සාපේක්ෂව. ඒත් මම හිතන්නේ ඒ වගේ ම එහෙම නැත්නම් ඊට වඩා විශාල විනාශයක් කසුන්ලා වගේ දක්ෂ අය නොමග ගියාම වෙන්න පුළුවන්. හොඳ ම උදාහරණය සිංහල කවිය.

අතීතයේ සිට සිංහලයගේ හද බස වුණේ කවිය. ඔහුගේ සොම්නස දොම්නස විඳගත්තේ පිට කළේ කවියෙන්. ඔහුගේ ජීවිතය සහ කවිය අතර පරතරයක් තිබුණේ නෑ. පැල්, නෙළුම්, පතල්, කරත්ත ආදි කවි සියල්ල එහි ප්‍රතිඵල. ඒත් කොළඹ කවිය නිසා අතිශය බොළඳ වුණු සිංහල කවිය නැත්තට ම නැති වුණේ නිසඳැස් කවියෙන්. දැන් ලංකාවේ කවි පොත් 500ක් විකුණගන්න බැහැ.

නිසඳැස ලංකාවට ආනයනය කළේ එකල උගත්තු. විශ්වවිද්‍යාලය ඊට ආ වැඩුවා. එහෙම කළේ අතිශයින් පිරිහුණු සිංහල කවියට විකල්පයක් අවශ්‍ය නිසා. ඒ වගේ ම ඒක කළේ සිංහල කවිය නඟා සිටුවීමේ අදහසින් මිස එය විනාශ කිරීමේ අදහසින් නම් නෙමේ. ඒත් ප්‍රතිඵලය අද පැහැදිළියි. මම කියන්නේ කසුන්ලා අතින් සිදුවන්නේ ඒ ටිකමයි. එදා උගත්තු වගේ ම අද උගත්තුත් පිරිහුණු ගීයට විකල්ප හොයනවා. ඒත් ඔවුන් අපේ සම්ප්‍රදාය හොයනු වෙනුවට අන් සම්ප්‍රදායන් ආනයනය කරනවා. ඒක රෝගය උග්‍ර කරනු මිස සුව කරනු නොවේ. ඒත් ඉස්සර වගේ ම කසුන්ලා හොඳ දෙයක් කිරීමේ අදහසින් තමා ඒක කරන්නේ.

මීට මූලික හේතුව ඊනියා විශ්ව සංගීතයක් ගැන නන් දෙඩවීම සහ අපේ කරුණයෝ එහි අලාමුලා වීම ය. අපේ සම්ප්‍රදාය අමතක කිරීම ය. නොතකා හැරීම ය. අපේ සම්ප්‍රදාය යයි කියා බටහිර අච්චාරුවලට අපේ දේවලින් පැලැස්තර ඇලවීම ය. මිනිසා විශ්වීය වේ. ඒ ඔහුගේ අස්ථි පඤ්ජරය පමණි. ඔහුගේ හිසේ හැඩය, පෙනුම එකිනෙකාට වෙනස් ය. චීනෙකුට වඩා ජපනා වෙනස් ය. ජපනාට වඩා ඇමරිකානුවා වෙනස් ය. ඔහුට වඩා අප්‍රිකානුවා වෙනස් ය. මේ දහම කලාවට ද පොදු ය. අපේ සංස්කෘතිය තුළ සුඛාන්ත තැනෙන විට අන් තැනක ශෝකාන්ත නාට්‍ය තැනුණේ එහෙයිනි. එහෙත් දෙක ම නාට්‍ය වේ.

ඒ අරුතින් විශ්වීය වන්නේ සංගීතයේ පදනම මිස සමස්ත සංගීතය නොවේ. සිංහලයෙකුට ජපන් ගීයක් රස විඳිය නොහැකි ය. එමෙන් ම ජපනෙකුට අපේ ජන ගීයක් රස විදිය නොහැකි ය. එහෙත් දෙරටේ ම ශුද්ධ සංගීත කණ්ඩයක් දෙදෙනාට ම තරමක් රස විඳිමේ හැකියාවක් තිබිය හැකි ය. කෙසේ වුව ද අපේ සාම්ප්‍රදායික බෙර වාදනයක් ඇසෙන විට අපට දැනෙන වින්දනය අප තුළ නැගෙන භාවයෝ එලෙසින් ජනනෙකුට දැනේ ද? අප ලබන වින්දනය ඔහු ද ඉන් ලබයි ද? කසුන්ලා මේ ගැන මොහොතක් හෝ සිතීම සිංහල ගීතයට හොඳ ය. එසේ නැත්නම් අනාගත සිංහල ගීතයට වත්මන් සිංහල කවියේ ඉරණම උරුමවනු ඇත.

මෙවන් විචාරයකට හෝ ලක්වි යුතු ප්‍රතිභාවක් මා දකින්නේ කසුන්, නදීක, සුරේෂ් මාලියැද්ද වන් කීප දෙනෙකු වෙත පමණකැයි අවසන ලියා තබමි.