2008-09-22

සිරසයි පාර කියන්නේ !

දැන් දැන් බොහෝ දෙනා සිරස හෙළා දකිති. එය දැන් රැල්ලකි. රටට නොයෙක් ආකාරයේ රැලි හදුන්වා දුන් සිරසට එය ම බූමරංගයක් වීම එක් අතකින් දෛවයේ සරදමකි. මෙකී පිරිස සිරසට බැණ වදින හේතු විවිධාකාර ය. ඇතැමෙක් සිරස එජාපයට (නලින් ද සිල්වා නිවැරදි ව විග්‍රහ කරන පරිදි එවිප_එක්සත් විජාතික පක්ෂයට) බර නිසා ලු. තවත් අය සිරස LTTEට පක්ෂ නිසා ලු. ඇතැමෙක් මහ ගෙදර යන අතර දැන්වීම් වැඩිපුර ප්‍රචාරය කරන නිසා ලු. තවත් අයෙක් තමා හෝ තම ඥාතියා සුපර් ස්ටාර් තරගයෙන් කැපුව නිසා ලු. උපාසකම්මලා රෑ 8ට පැවැත්වූ පන්සලේ පූජාව 7ට පවත්වන නිසා ලු. හාමුදුරුවරු රෑ 8 පූජාවට කිසිවකු නො එන නිසා ලු. තවත් අයෙක් සිරස අයිති ද්‍රවිඩයෙකුට නිසා ලු. ඇතැම් ස්වාමි පුරුෂයෝ රෑ 10 වන තුරු තම නිවසට යාමට නොහැකි නිසා ලු. අරක්කු බාර් කාරයෝ රෑ 10 පසු වන තුරු බාර් එක වසා දැමීමට නොහැකි නිසා ලු. සෙසු නාලිකාවල අය යුරෝ_ඇමරිකා රටවල ජනප්‍රිය වන වැඩ සටහන් තමන්ට කලින් සිරස කොපි කරන නිසා ලු.

මෙම හේතු විග්‍රහයෙන් ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම හා වින්දන මට්ටම ද සිරස විසින් පොදුවේ සමාජයට කරන ලද බලපෑම ද හදුනා ගත හැකි ය. බොහෝ හේතු ඉතා ම බොළඳ සහ අවිචාරවත් බැව් පැහැදිළි ය. ඒවා හේතුඵල දහම අනුව හේතුව හඳුනා නොගෙන ඵලවල එල්ලී කරන විවේචන ය.

මේ අය අතර සිටින එක් පිරිසක් භයානක ය. ඒ ද්‍රවිඩයෙකුට සිරස අයිති නිසා ඊට විරුද්ධ වන අය ය. මේ අමනයන් 1983 මෙන් ජාතිවාදී කෝලාහල වපුරා මර ඇදේ පණ අදින පිරපාහරන්ට නැවත වරක් පණ නළ පිඹීමේ අවදානමක් පවති. ද්‍රවිඩයන් සියලු දෙනා ඊලම්වාදීන් හෝ ත්‍රස්තවාදීන් නොවේ. 51%ක් ද්‍රවිඩයෝ සිංහලයින් සමග උතුරු නැගෙනහිරින් පිට ජීවත්වෙති. ඇතැමෙක් ත්‍රස්තවාදයට සහය දැක්වුව ද ඒ සියලු ද්‍රවිඩයෝ නොවෙති. ඇතැම් සිංහලයන් ත්‍රස්තවාදයට සහය දුන් පමණින් සියලු සිංහලයින් වගකිව යුතු නොවන්නේ යම් සේ ද ද්‍රවිඩයන් ද එසේ ම ය.

සිරස විවේචකයන් දක්වන ඇතැම් හේතුවල යම් යම් සත්‍යයන් තිබුණ ද ‘සිරසෙ දේශපාලනය’ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය එකකි. කොළඹ සරසවියේ තරුණ කථිකාචාර්වරයෙකු වන ධම්ම දිසානායක වරක් පැවසුවේ සිරස එජාපයට නොව සංධානයට පක්ෂ වුව ද ඊට විරුද්ධ විය යුතු බවත් ඔවුන්ගේ දේශපාලනය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය අරමුණු සහිත එකක් වන බවත් ය. ඔවුන්ගේ දේශපාලන අරමුණු මොනවා දැයි අද මළ පොතේ අකුරු නොදත් ගැමියෝ පවා දනිති. බුත්තල ත්‍රස්ත ප්‍රහාරයක් ලහිලහියේ වාර්තාකරණයට ගිය සිරස පිරිසට ඒ පෙදෙස් වැස්සෝ “තොපි ආව ද සිංහලයින්ගේ ලේ බලන්න” යයි බැණ අඩගසා එලවාගත් හ. නූගත් ගම් වැසියෝ පවා අද සිරසට ‘කොටි සිරස’ යයි කියති. සිරසට එරෙහිවීම නිසා ම ඇතැමුන්ට මර්වින් සිල්වා ඇමතිවරයා විරුවෙකි.

අවර ගණයේ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතය මෙරටට බෝකළේ සිරස ය. උදේ පාන්දර සිට චිත්‍රපට කාටුන් ආදි විප්‍රකාරවලින් ගේ හැඩි කළේ සිරස ය. කොටින් ම ගෙදරින් ශ්‍රීදේවිය එළවා මූදේවිය වඩම්මාගෙන ආවේ සිරස ය. ශ්‍රීදේවිය හා මූදේවිය නාදුනන ඈයෝ මූදේවිය සාදුකාර දී පිළිගෙන මැද සාලේ වඩා හිඳවූ හ. සිරස නිර්මාණශීලි නාලිකාව යයි බෞතීස්ම කළ හ. ලොව කොතැන හෝ පහත් රුචිය මැද ජනප්‍රිවූ දෙයක් අප රටට ගෙන ඒම දීන අනුකරණය මිස නිර්මාණශීලීත්වය නොවේ යයි අප තේරුම්ගන්නේ කවදා ද? ඒ පසුපස හැල්මේ දුවන සෙසු නාලිකා ගැන කවර කතා ද?

අද රටේ තරුණ පරම්පරාවේ එක ම පැතුම සුපිරි තරුවක් වීම ය. නාලිකාවල එකම අරමුණ තරු බෝ කිරීම ය. එහෙත් මේ වල්ග තරු වහා මහා දීප්තියක් දක්වා එසැණින් බැස යයි. කලාවට රටට ඉන් වන සෙතක් නැත. කැලේ මල් නගරයට ගෙ ආමියි පාරම්බාන මේ උන්දැලා එමගින් කළේ යයි කියන හොඳට වඩා නොහොඳ සිව්සිය ගුණයකින් වැඩි බව මගේ අදහස ය.

සිරසින් ඇරඹුණු ලිපිය දැන් නැවතත් සිරස වෙත යොමමි. රටේ පවතින ත්‍රස්තවාදය පිළිබඳ සිරසේ වාර්තාකරණය ඊනියා මැදිහත්වීමකට මුවා වූ රංගනයකි. ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර කවර මධ්‍යස්ත බවක් ද? අනෙක් අතට ලොව මැදහත් මාධ්‍ය යනු හුදු විහිළුවක් පමණි. සියලු මාධ්‍ය සිය ස්වාමිවරුනට සේවය කරති. ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටිති. ඒ සඳහා හොඳම නිදසුනකි, බීබීසීය.

ඒ අර්ථයෙන් ගත් කල සිරස එහි හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටිති. එහි කුලී සේවකයෝ හාම්පුතුන්ගේ අරමුණු සාක්ෂාත් කරන්නට සිය ශ්‍රමය වගුරුවති. මේ කුලී සේවකයන් අධ්‍යක්ෂ නිෂ්පාදක නිවේදක කැමරාකරු ආදි ලෙස වර්ග කොට ඇත. ඒ හැම පොදුවේ ජනමාධ්‍යවේදීන් යන නම් ලබයි. ඔවුන් සිය හාම්පුතුන්ගේ මනදොළ සපුරන තරමට උසස්වීම් වැඩි පඩි ලැබේ. ඒ නිසා දකුණේ බෝමබයක් පිපිරුණු වහා ජනතාව කුපිත කිරීම සඳහා උන් වැඩ කරති. පැරණි සිද්ධිවල රූප රාමු සජීවි ලේබලය යටතේ විසුරුවති. කෙසේ හෝ සිංහල ජනතාව කුපිත කොට දකුණේ අහිංසක දෙමළ ජනතාව බිල්ලට දී පිරපාහරන් රැකගැනීමට වෙහෙසෙති. එසේ කරන්නේ සිය ස්වාමීන්ගේ අරමුණ එය බැවිණි.

එහෙයින් මර්වින් සිල්වා ඇමතිතුමා සිරස සේවකයන්ට පහර දී පලක් නැත. ඒ අය සිය රැකියාව කරනවා පමණි. කළ යුත්තේ සිරස හාම්පුතුන්ගේ බෙදුම්වාදී අරමුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ය. ජනතාවගේ රස වින්දන මට්ටම ඉහළ නැංවීම ය. එවිට රටේ සිරස නොබලන පිරිස බලන පිරිස ඉක්මවා යනු ඇත. සිරසේ වැඩ කරන ඒ සේවකයන් ද මේ රස්සාවට වඩා පිටකොටුවේ හිඟාකෑම නම්බුකාරයයි අවබෝධ කරගනු ඇත.

එමෙන්ම සිරස නමැති වාහනය කෙතරම් ලොකු රජෙකුගේ වුව ද එය පදවන්නේ ජන මනස නමැති මාර්ගයේ ය. ඒ මාර්ගයේ රිය පැදවීම පිළිබඳ නීති මාලාවක් තිබිය යුතු ය. ඒ ජනයාගේ ආරක්ෂාව පිණිස ය. ඒ වඟකීම ඇත්තේ රජයට ය.

අවාසනාවක මහත! අපේ රජතුමා හැම පෝයට ම සිරස අරලිය ගහ මැදුරට වඩම්මා බණ අසයි. හිටපු ජනපතියගේ පාලන සමයේ අගමැති වූ තමාට රජයේ මාධ්‍යයේ ඉඩක් නොදුන් බව ද මේ දෙපළ අතර සීතල යුද්ධයක් පැවති බව ද පෙන්වා දීමේ කාර්යයට කෘතගුණ දැක්වීමට රජතුමා තවමත් සිරස ඉදිරියේ දණ ගසා බණ අසයි.

ඉතින් එහෙයින් තවමත් (ජනතාවට) ‘සිරසයි පාර කියන්නේ’. මේ පාරේ කෙළවර කුමක්දැයි පාලකයින් අවබෝධ කරගත යුතු ය. නැතහොත් අද දවසේ විරෝදාර රණවිරුවන් සහ ජනතාව කරන කැපකිරීම් ගඟට කැපූ ඉනි වනු ඇත.

10 comments:

Anonymous said...

අපි කියල සිරස තහනම් කරවමුකෝ එතකොට මේ රටේ සේරම ප්‍රශ්න විසඳෙයි නේද? සිරසෙ වැඩ කරන අය විතරක් නෙමෙයි සේරම ජනමාධ්‍ය වල වැඩ කරන අය කරන්නෙ හම්පුතාට ඕනෙ දේ. සිරස මහජන මුදලින් නෙමෙයි නඩත්තු වෙන්නෙ එහෙම නම් මහජන මුදලින් නඩත්තුවෙන ආයතන ස්වාධීන නොවන එක මොනතරම් විලිලැජ්ජ නැති වැඩක් ද? තමන්ගෙ අදහසට විරුද්ධ නම් කොටි ලේබල් එක අල්වන එක දැන් විනෝදාංශයක් වෙලා එහෙම කලාට ප්‍රශ්න විසඳෙනවද? තමන්ගෙ ගෙදර රූපවාහිනිය පාලනය කරගන්න බැරි මිනිස්සු කෑගහනව ආයතනයක පරිපාලනයක් ගැන.

නිලන්ත පියසිරි said...

මිනිසුන් ලෙස හැදුන්වුවත් මේ හැමෝම සත්තු නේ. මනස යොදවලා තමයි සත්ව ගති පාලනය කර ගත යුත්තේ. ඒත් ඉතිං හැම සතෙක් ම කැමතියි ඒ සතා ගේ තිබෙන වනචාරී මජර ගති නිදහස් කරන්න.ඒ ආකාරයට ඒ ගති නිදහස් කරන/කරන්න උදවි කරන අය (දුර්)ජනයා අතර ප්‍රිය වෙනවා. මේ තෙලි දසුන් (රූපවාහිනී) ආයතන කරන්නේ ඔය දෙය තමයි. මෙයට වැඩි වශයෙන් සිරස දායක වුනත් අනෙකුත් තෙලි දසුන් ආයතනත් අඩු වැඩි විදිහට දායක වෙනවා. උසස් රසවින්දනයක් හදන්න මිනිස්සු මහන්සි වෙන්න උවමනායි. ඒ සඳහා උසස් රසවින්දනය කුමක්දැයි හඳුනා ගැනීමක් කළ යුතු වෙනවා. සිරස ඉන්දියානු කුණු ගොඩවල් මෝඩ මිනිසුන් ගේ ඔළු වලට ඔබන අතර ස්වාධීන රූපවාහිනිය ලංකා කුණු ගොඩවල් මිනිසුන ගේ ඔළුවලට ඔබනවා නම් පැණය තිබෙන්නේ කුණු වල මිස රටවල් ගැන නොවේ. නීති, සදාචාර දහම්, ආගම්, සිරිත් විරිත් මේ හැම දෙයක් ම තිබෙන්නේ මේ වනචාරි මිනිසුන්ව පාලනය කැරුමටයි. සිරිත් විරිත් සහ සදාචාරය පිරිහෙනු යනු නීතියට වැඩ වැඩි වීමයි.

නාමල් උඩලමත්ත said...

අඥාත මිත්‍රය,

මම බොහොම කැමතියි තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් අයට. ඇයි බැරි ඒක කරන්න? මම කොතැන හෝ කියා තියෙනවා ද සිරස තහනම් කළ යුතුයි කියලා. දැන් 'තමන්ගේ මතවාදයට වෙනස් හැමෝට ම කොටි ලේබලය අලවන එක ජනප්‍රියයි' කියන වාක්‍යය පුනරුච්චාරණය කරලා ඒකට මුවා වෙලා කොටි සහ කොටින්ගේ හෙංචයියලා රටේ මිනිසුන්ගේ ඇස්වලට වැලි ගහන්න හදනවා.

කෙනෙක් තමන්ගේ මතවාදයට වෙනස් වූණ පමණින් ඌට කොටි ලේබල් අලවන්න බැහැ. එහෙම කළත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මට හෙළ උරුමය සහ ජවිපෙ එක්ක ලොකු මතවාදී ගැටළු තියෙනවා. මම ඒවාට විරුද්ධයි කියලා ඒ අය කොටි කීවට ජනතාව ඒවා පිලිගනී ද? අනෙක මම දන්නවා ඒ අය මගේ මතය නියෝජනය නොකළට කොටි හෝ කොටි හිතවාදි නොවන බව. අනෙක මම කීවේ සිරස කොටි හිතවාදි කියලා ගැමියෝ පවා කියන බවයි.

ජනමාධ්‍ය සේවකයෝ තම ස්වාමිවරුන්ට සේවය කරන බව අපි දන්නවා. ඒ නිසා තමා මම කීවේ මර්වින් සිල්වා කරන වැඩේ ප්‍රතිඵලදායි නෑ කියා. ජනතාව සමස්තයක් විදිහට මේ දහජරාව ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ගේ කුහක දේශපාලන න්‍යාය ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ට සිද්ධවෙනවා අකමැත්තෙන් වුවත් නිවැරදි වෙන්න. 'ජනාධිපති මහින්ද රාජපක්ෂ' කියපු සිරසට 'ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා' කියන්න වුණේ ඒ නිසා.

මම පෞද්ගලිකව සිරස බැලීමෙන් ඈත්වෙලා බොහෝ කල්. මම විටින් විට බලනවා වෙන්නේ මොනවද කියලා. අපේ ගෙදර නම් සිරස මළ ගෙදර ඇතුලු කිසිම චැනලක ජරාව බලන්නේ නෑ. ඒ නිසා ඔබේ අන්තිම තර්කය මට අදාළ නෑ.

සිරස මහජන මුදලින් ඍජුව නඩත්තු නොවුණට වක්‍රව වෙන්නේ ඒකමයි. ඔවුන් මුදල් හොයන්නේ පැය 1/2 තුළ විනාඩි 15ක් විතර ජරාව පෙන්නලා ඉතිරි කාලය තුළ අපිට දැන්වීම් විකුණලා හොයන ලාභවලින්. නැතිව ඔය රාජලා බැංකු පොතෙන් සල්ලි අරන් නඩත්තු කරනවා නෙමෙයි.

අනෙක් චැනල් එක්කත් මට ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම මට එක ලිපියක කතා කරන්න බෑ.

හරේෂ් ඔබ සමග මම එකඟයි. අපි දිගට ම මේ අරගලය කළොත් ජනතාවගේ ඇස් ඇරෙයි. ඒක අපේ වඟකීමක් ලෙස සලකමු. අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අද අපට පැවරී ඇති වඟකීම ඒ.

නිලත්ත මම හිතන්නේ නීතිවලට වඩා රීති බොහොම බලවත්. ඒ නිසා අපි රීති සිරිත් විරිත් නැවත සමාජගත කළ යුතුයි. ඒවායේ අගය ජනතාවට පහදා දිය යුතුයි. මිනිස්සු දන්නවා නීති කැඩුවම සල්ලිවලට බේරෙන්න පුළුවන්. රීති කැඩුවම එහෙම බැහැනේ.

Times Eye said...

i agree

Kasun said...

මාත් ඔබේ අදහසට එකඟයි. මේ වෙලාවේ මගේ අදහස කියන්න වේලාවක් නැති වුනත්, ඔබ සහ හරේෂ් කියන අදහසට මමත් එකඟ වෙනවා. අපි මේ සම්බන්ධයෙන් කතා කල යුතුයි. සිරස මෙන්ම අනෙකුත් රෑපවාහිනි චැනල වගේම තවත් ජනමාධ්‍යත් අද කරමින් ඉන්නා කාර්්‍ය්‍ය ගැන ප්‍රභල විවේචනයක් ගොඩනැඟිය යුතුයි. අනිවාර්්‍යයෙන්ම.

නාමල් උඩලමත්ත said...

අගෙයි ඔබේ අදහස කසුන්,
අපි අතර ඇති හොඳ දේ වගේ ම නරක දේත් අප කතා කළ යුතුයි. අපි අතර විවිධ මතවාදීමය ගැටළු තිබිය හැකියි. එහෙත් එම දහසක් අදහස් දහසක් මල් පුබුදනු ඇත කියලයි මාවෝ සේතුං කීවේ.
ලෝකය හොඳ තැනක් වුණේ තනි තනි පුද්ගලයන්ගේ හිත්වල උපන් යහපත් නැවුම් අදහස් නිසයි. පසුව තමා ඒවා ලොව පුරා පැතිරෙන්නේ. බුදු දහම කිතු දහම ඉස්ලාම් දහම ආදී සියල්ල ඊට උදාහරණ නේද?

Anuradha Ratnaweera said...

අගේ ඇති සටහනක්.

නාමල් කියනවා වගේ, අපේ ගෙදරත් තෙල දසුන බලන එක එතරම් වැදගත් දෙයක් නො වෙයි. ඒ නිසා, සිරස තිබුනත් නැතත් අපට ගැටළුවක් නෑ.

කොත්මලේ අපේ ගෙදර තියෙන තැනට සිරස අහු වුනේ නෑ. ඒත් අලුත් "බූස්ටරයක්" සවි කළාම පේන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒ ඔක්කොම ගලවලා ඩයලොග් ටීවී සබැඳියාව ගත්තා. ඒ වැරදිලාවත් සිරස බලන්න ඕනෙ නැති නිසා. ;-)

අනිත් නාලිකා වල ගැටළු නැතිවා නො වෙයි. උදාහරණයක් ලෙස "zee TV" වල එන නිවේදිකාවන් කරන්නේ සිංහළෙන් කතා කරන්න බැරි එක, නැතින්ම් සිංග්ලිශ් වලින් කතා කරන එක මෝස්තරයක් වගේ පෙන්නන එක. ඒත් සිරස නිසා රටට වන හානිය සාපේක්ෂව ඊට බොහොම වැඩි යි. ඒ අයගේ දේශපාලයන බොහොම ඔබ්බට ගිය එකක් නිසා කියන එකට එකඟ නොවන්න අමාරුයි.

anonymous blogger said...

සිරසට රජයක් විරුද්ධ නොවන හේතු මොනවාද? සමහර විට රටේ ප්‍රශ්ණ අමතක කර වලාකුළු වල ජනතාව පා කරන දක්ෂතාවය සිරසට ඇති නිසා වෙන්නත් පුළුවන්.
සිරස කියන්නෙ Mass Distraction න්‍යාය උපයෝගි කරගෙන තම බඩ වියත රැක ගන්න එක් ආයතනයක් පමණයි.
ස්වාමි පුරුෂයගෙන් පසු බිරියට ඉන් පසු දරුවන්ට ආදි ලෙස රටක පාලනය ට නායකයන් තේරීමේදි පක්ෂ දේශපාලනයට නැඹුරුව තම රටේ අනාගතය ට වල කැපු පරම්පරාවලින පැවත එන අපේ මිනිස්සුන් හෙට දින බිහිවෙන සිරසට වඩා භයානක දේවල් වලින් මොලේ අවුල් කරනොගනී කියල කියන්න පුළුවන් කාටද?
සිරස ජනප්‍රිය උනේ සිරසේ රසය අගයන ප්‍රේක්ෂකයින් සිටින නිසයි. ඒක අවියක් කරගෙන ඉදිරියට ආවේ සිරස, මේක සිරසට කලින් තේරුම් ගත්තනම් ඕන ම කෙනෙක් කරන්න ඉඩ තිබුනා.
මේක හරියට පල්ලියේ "යකා" සංකල්පය වගේ. නරක කැටි කොට එයට ලේබලයක් අලවනවා.

නාමල් උඩලමත්ත said...

බොහොම පිං අනුරාධ ඔබේ මාහැඟි අදහස්වලට. ඇත්තට ම අද දවසේ සිරස ඇතුලු වාහිනී කරන සංස්කෘතික උලාකෑම ගැන අපේ රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව මීට වඩා අවධානය යොමු කළ යුතුයි. එහෙම නැත්නම් ආතක් පාතක් නැති පරයි අහිනක් ජීවත් වෙන (බලවත් රටක) කොලනියක් වෙලා තමා රට නතර වෙන්නේ. තමන්ගේ ස්වාමිවරුනට දණ්ඩ නමස්කාර කරන්න පුරුදු කරපු ඒ අයට දෙස බස රැස ගේ මැද උජාරුවට තබන පරණ බුරුත අල්මාරියක් වගේ වේවි.

නාමල් උඩලමත්ත said...

ඔබේ වටිනා අදහස් ගොන්නට පිං.
මේ රජය සිරස කැමති වන හේතුව මම ලිපියේ අන්තිමට ලියා ඇති. හුදු ආත්මාර්ථය. සිරස මේ වේලාවේ ජනතාව වලාකුළුවල පා කරනවා වගේ ම ඉතා ම භයානක විදිහට රටේ නොසන්සුන් අරාජික තත්ත්වයක් ඇතැයි ධ්වනිත කරන්න උත්සාහ ගන්නවා. ඒ හරහා ත්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන යන මෙහෙයුම්වලට එරෙහිව ජන මතයක් ගොඩ නඟන්න උත්සහ කරනවා. ඒ මෙහෙයුම් ආසාර්ථක බවත් කොටියා යෝධයෙක් බවත් අපට කියන්න හදනවා. එතනදි තමා සිරස සෙසු නාලිකාවලින් වෙන්වෙන්නේ. රනිල්ගේ අයියගේ ටීඑන්එල් චැනලය පවා රට ගැන හිතන බව පේනවා.

රටේ ජනතාවට සුද්දා බලෙන් නොදන්න ප්‍රජාතන්ත්‍රවාදයක් පැටෙව්වාට ඒ අය පළි නැහැ. අපේ රටේ පාලන විකාශය කුරූලු කළා ඒ අය. අපට රාජ පාලනය එපා වෙලා නෙමෙයි තිබුණේ. එහි අදීනව ජන මනසට ගිහින් තිබුණේ නෑ. ඒ නිසා තාම ඒ යඅ රජවරු තෝරනවා.

සිරසට වඩා භයානක දේවල් මේ රටට එන එක වැළැක්වීමේ වඟකීම මමත් ඔබත් භාරගත යතුයි නේද? සිරස රේඩියෝව මුලදී අපට නැවුම් අත්දෑකීම් ගෙන ආ බව කියන්න මම මසුරු වෙන් නෑ. 90 දශකයේදී සති අග සාදය වගේ හොඳ දේවල් කළා. දැන් මේ කරන විසූක දස්සන අස්සේ මියැසි තටාකය වගේ හොඳ දේවල් කළා. දැන් නම් සිරස මහා ව්‍යාධියක්.

අද සිරස ප්‍රසිද්ධ වෙන්න මූලික හේතුව රටේ තරුණ පරම්පරාවට හොඳ සාහිත්‍ය දැනුමක් සහ ඉතිහාසය පිළිබඳ දැනුමක් පාසැල තුළ ලබා නොදීම. ඒ නිසා ම පොත පත කියවන රටට හිතැති පරපුර බිහි නොවීම.

ඒ කොහොම වුණත් මෑත සිට රටේ FM නාලිකාවලට යම් දේශීයත්වයක් ආරෝපණය වෙලා.
එහි ගුණාගුණ මනින්න තව කාලය ඕන.