2008-08-18

අබා පඬුඅබා සහ ක්‍රිස්තු චරිතය

දඹදිවට පහළින් කඳුලු බිඳුවක හැඩැති දූවකි. කි.පූ. 543 තම්බපන්නි යයි නම් ලද මේ බිම්කඩ ඉන් වසර 100ක් ඉක්ම ගිය තැන්හි ‘සිංහලය’ බවට පත් විය. මෙසේ ලොව ප්‍රථම ජාතික රාජ්‍ය බිහි කළ වීරයා පණ්ඩුකාභය රජු ය. ඔහුගේ ළමා කාලය, ජැක්සන් ඇන්තනී සිංහල සිනමාවේ සිත්තම් කළේ ‘අබා’නමිනි. කි.පූ. 5 වන සියවස හෙවත් අදින් වසර 2500ට පෙර යුගයේ වසර 15 ක පමණ යුගය අළලා නිමැවුණු අබා සිනමා කාව්‍යය සෑම සිංහලයෙකු ම අනීවාර්යයෙන් නැරඹිය යුතු ය.


අද 60 වන විය ද පසු කළ වයෝවෘද්ධයකු වන සිංහල සිනමාවට ඓතිහාසික කතන්දර ආගන්තුක නැත. වීර පුරන්අප්පු, අශෝකමාලා, සිරිසඟබෝ, සංදේශය, සීගිරි කාශ්‍යප, වීර මද්දුම බණ්ඩාර ඉන් කිහිපයකි. එදාමෙදා තුර නිපයූ සිංහල චිත්‍රපට 1100 සමඟ සසඳන එහි මහා සුලබත්වයක් ද නැත. එමෙන් ම අබා අයත් වන්නේ ඓතිහාසික සිනමාවේ ද උප ප්‍රභේදයක් වන වීර කාවය සම්ප්‍රදායට බව අප අමතක නොකළ යුතු ය.

වංශකතාවල එන පරිදි බෙංගාලයේ වඟු රජුගේ දියණියක සහ ගුජරාට දේශයේ ලාට රට සිංහයකුගේ පුතු සිංහබාහු ය. ලාට දේශයේ රජ වන සිංහබාහු සිය පුතුගේ නොපනත්කම් නිසා හේ රටින් පිටුවහල් කරයි. තම්බපන්නියට බට ඔහු කුවේනියගේ උදව්වෙන් රාජ්‍ය පැහැර ගෙන රජ වෙයි. අවසන දඹදිවෙන් බිසවක ගෙන්වා ඔහු අභිෂේක කරන අතර කුවේනියට මාළිගයෙන් පිමං වන්න‍ට සිදුවේ. කුවේනියගේ ශාපය නිසා විජයට දරු සම්පත් නැති වන හෙයින් අණතුරුව මෙරට රජ වූයේ එකල ලාට රට රජු වන ඔහුගේ සොයුරු සුමිත්තගේ බාල පුතු පණ්ඩුවාස දේව ය. ඒ රජුට දාව භද්දකච්චානා බිසව පුතුන් 10 දෙනෙක් ද දුවක් ද ලැබුවා ය. ඒ දුව පඬුඅබා රජුගේ මව උන්මාද චිත්‍රා ය. පණ්ඩුවාස දේවට පසු ඔහුගේ වැඩිමහල් පුතු අභය රජ විය.

ජැක්සන් ඇන්තනී සිය අපූර්ව ඉසියුම් ප්‍රතිභාව විසින් මුවහත් කළ කාල්පනික ශක්තිය නම් පින්සලින් සිංහල සිනමාව නම් කැන්වසය මත අඳින්නේ ඒ කුමරු සොළොස් වියැති වන තුරු කාලයයි. නක්ෂත්‍රකරුවන්ගේ අනාවැකියක් නිසා මරණය දෝතින් දරා උපදින පඬුඅබා උපන් මොහොතේ ම උපක්‍රමශීලි ලෙස දොර මඬලාවට යැවිණි. අබා උපන්දා සිට මුහුණ දෙන අතිබිහිසුණු අත්දැකීම් සමුදාය කාල්පනික මොහොතක වසර 2500ක් අතීතයට පියමංකර ආවර්ජනය කිරීම කෙතරම් චමත්කාරජනක ද? අපූර්ව ද?

මේ අපූර්ව වීර චාරිකාවට අපි ද නිතැතින් ම එක්වෙමු. දොරමඬලාවේ යක් ගොත් දිවියේ තවත් අංශුවක් බවට අපි පත්වන්නෙමු. එහි කුඩාවුන් සමඟ අපි ද කෙළිමු. අංගම්පොරයට වැටෙමු. ගහකොල අතර සරමු. අපේ මුත්තලාගේ සුවඳින් ආලෝලනය වෙමු. නවීන තාක්ෂණය හා මුසු වූ ඒ සුවඳ හොලිවුඩ් බොලිවුඩ් සිනමාව ජය ගන්ට ප්‍රමාණවත් වනු ඇත.

අබා අධ්‍යක්ෂණයේ පටන් බොහෝ අංශ සුවිශිෂ්ට ය. විශේෂයෙන් අබරාගේ රංගනය (සෞම්‍ය ලියනගේ) නදීක ගුරුගේ ගේ මියැසි මුසුව සුමින්ද වීරසිංහගේ කැමරා ඇස පරයන කලා ඇස ගැන සඳහන් නොකරම බැරි ය. කොටින් ම අබා එකෙකුට එකෙක් නොදෙවෙනි සාමූහික වෑයමක අග්‍රඵලයයි

ඓතිහාසික වශයෙන් ගත් කල ඉතිහාසය පුරෝකථනය කිරීමෙහිලා අබාහි මා දකින වැදගත්කම සිංහලයාගේ ලේ උරුමය ඉතිහාසයේ නියම තැන පිහිටුවීමයි. වංශකතාකරු සිංහලයේ සම්භවය විජයට පැවරීම ඓතිහාසික වරදකි. ස්වදේශීය යක් නා අසුර රාක්ෂ ගොත් (ගෝත්‍ර) සහ විදේශීය සිහ (සිංහ) ගොත එක් චින්තනයක් යටතට ගෙනාවේ පඬුඅබා රජු ය. සිංහලයා බිහිවූයේ මේ හැම ගොත් මුසුවීමෙනි. සිහ සහ හෙළ ගොත් මුසුවී සිහ + හෙළ > සීහෙළ > සිහළ > සීහළ > සිංහල විය. චිත්‍රපටයේදී අබාගේ පිය පදවිය චිත්‍රරාජ නම් යක් සෙන්පතිට පැවරීමේ ප්‍රවාදය මගින් සිංහලයාගේ පරම්පරික උරුමය රාවනා යුගයෙන් ඔබ්බට රැගෙන යයි.

එහෙත් ලොව පරිපූර්ණ නිර්මාණ කවදා බිහිවේ ද? ඒ දහම අබාට ද උරුම ය. මේ සොඳුරු ගමනේ දී අප හද කටු ඇනී රිදුණු තැන් කිහිපයකි. වරක් ජෝර්ජ් බර්නාඩ් කීවේ නරක ඉදිරිපත් කිරීම් නරක ලෙස ද හොඳ ඉදිරිපත් කිරීම් හොඳ ලෙස ද දකින්නා හොඳ ම විචාරකයා බව ය. එහෙයින් ලියමි.

පෙර රජ දවස වාසලේ සිටි රාජ සේවකයෙකි;අණබෙරකරු . ඔහුගේ කාර්ය රාජාඥා ජනතාව හමුවට ගෙන යාම ය. එය නිවැරදිව කිරීම වගකීම ය. ඔහුගේ මුවින් ගලා එන්නේ රජුගේ ආඥා ය; නීති ය. එහෙත් අබාහි අණබෙරකරුට ව්‍යාජ විකට ස්වරූපයක් ආරෝපණය කර ඇත. ඉන් පොදුවේ නිර්මාණයට වන සෙතක් නැත. ආඥාවේ කෘර බව පවා එමහින් මැකී යයි.

එමෙන් ම එකල පූජක පිරිස් ගායනා කළේ මෙවන් ස්තෝත්‍ර ද යන සැකය අප තුළ මතු වෙයි. ඒ පිළිබඳ මීට වඩා අවධානය යොමු කළේ නම් මැනවි.




මේ සියලු කාරණාවලට වඩා අබාහි පෞරුෂය අකාමකා දමන දුබලතාව ඉතා ම බොළඳ ලෙස ක්‍රිස්තු චරිතය සහ ගැළවුම්කාරයා ඉස්මතු වීම ය. අබාහි ප්‍රතිනිර්මාණය වන සිද්ධි දාමය සිදුවන කල්හි ක්‍රිස්තුතුමා ඉපදීවත් නැත. එහෙත් රාජ උදහසට ලක් වූ චිත්‍රරාජ මරණය දඬුවම පිණිස ගෙන එන අවස්ථාව මුළුමනින් ම ක්‍රිස්තුතුමා කුරුසිය මත ඇණ ගැසීම සහෘද සිත් තුළ මැවෙයි. ක්‍රිස්තුතුමාගේ රූප ස්වරූපය, කුරුසය, කල්වරි කන්දට ආ ගලීලයේ සහ ජෙරුසලමේ ගැහැණු, ඒ මොහොතේ පරිසරයේ සිදුවූ වෙනස්කම් ආදී සියල්ල අපට සිහිපත් කළේ බයිබලයේ එන ක්‍රිස්තුතුමා කුරුසිය මත ඇණ ගැසීම ය.

“ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක. එවිට දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය. උන්වහන්සේ අබිමුව සිටි ශතාධිපතියා උන්වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල ‘සැබැව්න් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය’ කී ය. ස්ත්‍රිහු ද දුරින් බලා සිටිය හ. ඔවුන් අතර ගලීලයේ සිටිය දී උන්වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත් කුඩා ජාකොබ්ගේ ද ජොසෙප්ගේ ද මව වූ මරියාත් සලෝමිත් උන්වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.” (ශුද්ධ බයිබලය-සුබ අස්න_ 69 - 2006, ශ්‍රි ලංකා බයිබල් සංගමය.)

එදා ක්‍රිස්තුතුමාගේ මළගම දුටු ශාතාධිපති පවසන්නේ මේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ බව ය. අද අබාහි චිත්‍රරාජගේ මළගම දකින අපට පැවසීමට ඇත්තේ ද මේ නම් චිත්‍රරාජ නොව දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම බව ය. මෙවන් අතාත්වික භාවිතාවකින් සමස්ත චිත්‍රපටයට වන යහපත කුමක් ද? පඬුඅබා පුරාවෘත්තයට ඉන් හානියක් නොවේ ද? කෘතියේ ඒකීය ධාරණාව මේ නිසා නොබි‍ඳේ ද? මට සිතෙන්නේ
මෙහි ප්‍රතිඵලය ලෙස අප කලින් සඳහන් කළ ඉතිහාස ප්‍රතිඅර්ථකථනය යටපත් කරගෙන දෙවියන් වහන්සේ ම ඉස්මතු වෙති. වංශකතා අනුව පඬුඅබාගේ පියා දීඝ ගාමිණී ය. චිත්‍රාව පසුව විවාහ වන්නේ ද ඔහු සමග ය. හේ භද්දකච්චානාගේ සොහොයුරෙකි. එහෙත් අබාහි පඬුඅබාගේ පියා චිත්‍රරාජ ය. ඔහු මරණයත් සමග දේවත්වය ලබයි. ඒ අරුතින් අබා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.

“ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී, ඔවුන් එක් වන්නට පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැන ගන්නා ලදි ” (ශුද්ධ බයිබලය-සුබ අස්න _2)

ඒ අනුව දීග ගාමිණි ද ජෝසෙප් මෙන් ම අබාගේ නාමික පියා පමණි. අබාගේ පියා දෙවියන්වහන්සේ ය. යුදෙව් ඇඳුමෙන් සැරසී පෙනී සිටින දෙව් පියාණෝ සිය අසීමිත බලයෙන් පුතු සුරකින සේක.

අපට පඬුඅබා පුවත පුරාවෘත්තයක් ලෙස සම්ප්‍රදායෙන් ලැබුණු නිසා ඒ විඥානගත ඉව ඔස්සේ අපි අබා තුළින් පඬුඅබා දකිමු. එහෙත් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර නිපයූ අබා ලෝකයට දෙවියන් වහන්සේ පිළිබඳ කතාවක් පමණක් නොවනු ඇද්ද?

ජැක්සන් කතෝලිකයෙක් නිසා මෙවන් විවේචන එල්ල කරතැයි හුදු නියාලු මතවලට නොබැසිය යුතු ය. රසිකයාට වැදගත් නිර්මාණය සහ නිර්මාණකරුවා ඊට සාධාරණය ඉටු කොට ඇද්ද යන්න ය. එහිදි මට වැදගත් ජැක්සන් ඇන්තනී නම් නිර්මාණකරුවා මිස ඔහුගේ ආගම නොවේ. අතිඋතුම් මර්සලීන් ජයකොඩි පියතුමාගේ නිර්මාණවලින් අපි අද ද ඉමහත් ආස්වාදයක් ලබමු. අනෙක් අතට මහා සිංහලයේ වංශකතාවේ පූරකයා ලෙස ඔහු කළ කාර්යයභාරය එසේ අපට ලඝු කළ හැකි ද? එකී දේවත්වාරෝපණයෙන් නිර්මාණයට සාධාරණයක් වී නම් මම ජැක්සන් වෙනුවෙන් පෙනී සිටිමි.

මේ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහයට (08/08/17) ජැක්සන් ඇන්තනී කළ ප්‍රකාශය ඉතා ම බොළඳ සහ රැවටිලිකාර ය. කිතුනුවන් නොවන අපට ද කිතු දහම සිහිගන්වන මෙකී අවස්ථා කිතුනුවෙකුට එසේ නොවේ යයි පිළිගත හැකි ද? එමෙන් ම දඬුකඳ දෙපයට මිස දෑතට දමන බවක් මා නම් දන්නේ නැත. මේ උද්වේගකර මොහොතට දිය යුතුව තිබුණේ දේශීය මුහුණුවරකි. ‘සිංහල රජ කාලේ දඬුවම් ක්‍රම’ මැයෙන් රචිත පොතක් ගැන මා මතකයේ හාංකවිසියක් ඇතත් වැඩි මතකයක් නැත.

මේ වෘත්තාන්තය දිග හැරෙන්නේ දෙවන පෑ තිස් රජ දවසට එනම් මහින්දාගමනයට වසර 100-150කට පමණ පෙර දවස ය. ඒ වන විට බුදු රදුන් තෙවරක් මෙරටට වැඩම කොට තිබුණ ද උපතිස් නුවර රජ පෙළපත් ඇත්තෝ බෞද්ධ නොවූ හ. එය ඉතා ම පැහැදිළි ය. එකල මෙරට තබා මෙලොව කොතැනවත් කිතු දහම නොවූ බව ද කි.ව. 1505න් පසු කිතු දහම මෙරට ව්‍යාප්ත වූ බව ද ඊටත් වඩා පැහැදිළි ය. එහෙයින් එකල මෙරට බ්‍රාහ්මණ නිගණ්ඨ ආදී ආගම් පැවතිනැයි අනුමාන කළ හැකි ය. ඉන් වසර 300 ක් පමණ ගිය තැන වළගම්බා රජ දවස හමු වන ගිරි නම් නිගණ්ඨයා සහ තිස්ස නම් බමුණා ඒ සඳහා සාධක සපයයි. අභයගිරි සෑය ගිරි නිගණ්ඨගේ නිගණ්ඨාරාමය තිබූ තැන සැදවූ බව කියවේ. එහෙයින් අබාහි චරිතවල ගැබ්විය යුත්තේ එවන් විශ්වාසනීය ලක්ෂණ ය. එසේ නොවූ කල සහෘදයා අපේක්ෂා භංගත්වයට පත්වේ.

කෙසේ වුව ද කුමරතුඟුන් පැවසූ පරිදි ම තෙරක් නොමැති කවි සසරේ මහබඹු කවියා විතර ම ය.නිර්මාපකයාට කළ නොහැක්කේ කුමක් ද? එහෙයින් කලකින් ලද මේ රස මදිරාව එහි වට නීරස රොඩුබොඩු ඈත්මෑත් කර වළඳමු.

අබා කරළියට සපැමිණෙන මේ ඓතිහාසික සමාජ මොහොත ගැන යමක් නොකියා ම බැරි ය. ඉතිහාසය විෂය 70 දශකයේ මුල පාසැලෙන් දොට්ට දැමිණි. එදා පාසැල් ගිය දරුවා අද වයස 30ක 40ක මිනිසෙකි. සිය මව්බිමේ ඉතිහාසය නොදත් ඔහු අද සමාජයේ නෙක තණතුරු දරයි. හෙට දවසේ මෙරට නායකත්වය හිමි ඔහුට ය. එහෙත් ඔහුට මෙරට මුල් තිබේ ද? ඒ මුල් උදුරා ඔහු ගන්දබ්බයෙකු බවට පත් කොට නැද්ද? එවැන්නකු රජවූ කල රට තව තවත් සංස්කෘතික කාන්තාරයන් වනු නැතැයි කාට කිව හැකි ද? එහෙයින් ඉතිහාසය නොදත් අපේ පරපුරට නැවත ඉතිහාසය සිහිපත් කරලීම වැදගත් ය. අප සියලු දෙනා අපේ මුල් සොයා ඉතිහාසයේ කිමිඳීම වැදගත් ය. එමගින් දෑ අබිමනට පණ පොවා ලෝකය ඉදිරියේ නැඟී සිටීමට ඇවැසි දිරිය අපට ලැබෙනු ඇත.
ආර්ථික අධිරාජ්‍යවාදයේ වහල් දූපකත් බවට පත්ව ඇති රට එකල්හි අප උරමතින් නිදහස කරා පිය මනිනු ඇත.

17 comments:

Randil Pushpananda said...

ඔබ ඉදිරිපත් කර ඇති කරුණු ඉතාමත් තර්කාණුකූල බව මාගේ හැඟීමයි. මන්ද යත් එවැනි නොගැලපීම් නිසා සම්පූර්ණ සිනමා පටය තුල තිබූ පෞඩත්වයට සිදුව ඇති හානිය සුළු පටු නොවන නිසාය. මේ සඳහා තවත් කරුණු කීපයක් එකතු කරනු කැමැත්තෙමි. මෙම සිනමා පටයෙහි අවසන් ජවනිකාව දෙසට අවධානය යොමු කළහොත් චිත්‍රරාජ අබාට ආශිර්වාද කරන විට ඔහුගේ අතින් කිරණ පිටවන ආකාරය සහ අබාට ඒ තුළින් නව පණක් ලැබීම එම අවස්ථාවට කිසිසේත්ම උචිත නොවන බව මාගේ හැඟීමයි. මෙවන් දෑ කුඩා දරුවන් සඳහා කරනු ලබන නිර්මාණ වලට උචිත යයි මාගේ හැඟීමයි. ඇත්තෙන්ම මෙ‍ම සිනමාපටය වූ කලී සාර්ථක නිර්මාණයකි. මෙවන් දෑ නොතිබුනේ නම් අති සාර්ථක නිර්මාණයක් වනු නොඅනුමානය. මෙම ලිපිය ලිවීම පිළිබඳ ඔබට කෘතඥ වෙමි.

Rine said...

Your review of Aba is interesting. However, amidst the current situation in the country, how will a large scale movie that promotes nationalism and promotes seperatism help?

Anonymous said...

They should have selected a better person for "Chitra" not Sabitha at all. Chitra supposed to be a very beautiful woman. Why not select a similar person to that cast?

Since this film had dramatized the events the clothing should have a better look. It has to be improved I do not approve the clothing of Doramadalawa children.

Dragging the film by having long songs gives the instincts of Hindi film culture. Even Jackson could not avoided.

Also they should have gone beyond 16th year of Aba. Up to the point where he becomes the King.

I do not agree on ”Speratism” . All this was created by the rulers to rule the country.
I always tell that we should have had only one law for Sri Lanka by constitution. If we do not have a majority we will not have any minority either.

Donald Gaminitillake
I set the standard

නාමල් උඩලමත්ත said...

සංහිඳට ගොඩ වී සිය අවංක අදහස් කුරුටුගෑ හැමට පිං.

රන්දිල් කීවා වගේ ම මෙහි ඇතැම් ජවනිකා බොළඳයි. ඇත්ත තමා චිත්‍රාගේ චරිතයට තරුණ රූමත් නිළියක් යොදා ගන්න තිබුණා. ඩොනල්ඩ් එතන දි හරියට ම හරි. මොකද ඇය නිකම්ම නිකන් චිත්‍රා නෙවෙයි දුටුවන් උමතු කළ 'උන්මාද චිත්‍රා' නිසා.

ඩොනල්ඩ් සහ රයන් හෝ රින් කියන්නේ තමන් ජාතිවාදයට වර්ගවාදයට එකඟ නැති බව නම් මම ඔබ එක්ක අත්වැල් බැඳ ගන්නවා හරි ම කැමැත්තෙන්. ඒ ගැන මම කලින් ලීවා. http://sanhindha.blogspot.com/2008/03/blog-post_18.html

හොඳට මතක තියා ගන්න ජාතිවාදය සහ ජාතිකවාදය දෙකක් බව. අප පිටුදැකිය යුතු ජාතිවාදය මිස ජාතිකවාදය නොවේ නේද? චීනයේ හෝ ලතින් ඇමරිකාවේ මම දකින්නේ ජාතිකවාදය මිස මාක්ස්වාදය නොවේ. බොහෝ රටවල දියුණුවේ රහස ඒකයි.

කොහොම වුණත් ඔබේ ඊට පරස්පර අදහස් දැරීමේ අයිතියට මම ගරු කරනවා. මාවෝ සේතුං කීවා වගේ දහසක් අදහස් මතින් දහසක් මල් පිපේවී. අවශ්‍ය වන්නේ සියල්ල විමසීමයි. සැක කරමින් විමසීමයි. ලෝකයේ මාධ්‍ය අයිතිකාරයින් අපේ ඔලුවලට පොම්ප කරපු අදහස් අපි මෙහෙය වන්නේ කොතැනට ද? සේවය කරන්නේ කාට ද කියලා අපි අපෙන් ම විමසන්න ඕන.

හරේෂ් ඔබටත් බොහොම පිං. මම ලියන දේකින් යමක් ඉගෙන ගත්ත නම් ඒක ලොකු සතුටක්. ඔබ සැමගේ අදහස් නිසා මා මනස නැවුම් ඉසව් කරා ඉගිලෙන බව නම් සිකුරුයි.

Donald Gaminitillake said...

Jathika = Identity as a lankika.
As Nationals of Lanka we are "Lankika" Nationals.
Noun of Lanka is "Lankika" not "Lankans"
Word "Lanka" is Sinhala not English. Therefore the noun in Sinhala is "Lankika" Therefore in any language the noun of Lanka should be written as "Lankika".

Jathiwadaya = This is created by our constitution. As I had written on several bolgs that our constitution have four segments. For Tamils, Thesavalamai -- for Muslim the muslin law -- for Kandians the up country law and for the rest and all the Roman dutch law.

That is why when we go to a police for a simple entry they want the jathiya, agama, etc.

Jathiwadaya is a politcal scrp which we all have to delete if we need peace in this country.

Donald Gaminitillake
I set the standard

නාමල් උඩලමත්ත said...

ඩොනල්ඩ් ඔබ කියන එක හරි 'ශ්‍රී ලංකන්' යනු සිංහල වචනයක් නෙමේ. එය හෙළ අකුරින් ලීවාට ශබ්ද ඉංග්‍රීසිනේ. ඒ වගේ ම 'සිංහල' යනු ද සිංහල හෙවත් හෙළ වදනක් නොවේ. එය හෙළ බසට සකු නමකි.

පාලි සීහළ සකුවට සිංහල විය. මන්ද සකුවේ 'ළ' කාරයක් නැත. කුමරතුඟු මතය ද එය ම වේ. එහෙත් ඇතැම්හු තවමත් සදොස් 'සිංහළයක්' ලියති. 'ශ්‍රී ලංකන්' හෙළ නොවෙන්නා සේ ම සිංහල ද හෙල නොවේ. එහෙත් හෙළ බස හැඳින්වීමට සිංහල යනු වැරදි යෙදුමක් නොවේ.

බලන්න_ http://sanhindha.blogspot.com/2008/08/blog-post.html

ඔබ කියන්නේ වත්මන් 77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ද? ඒකේ විධායක ජනපති ක්‍රමය සමානුපාතික නියෝජන ක්‍රමය ඇතුලු අපට විරුද්ධ වෙන්න බොහෝ හේතු තියෙනවා. ඒත් මෙරට ජාතිවාදය ඇති වුණේ 1977 ද?

පිළිගන්න බැහැ. ඒක අධිරාජ්‍යවාදී යුගයේ සිට වර්ධනය වුණා.ඊට අවැසි සියලු දිය පොහොර යටත්විජිත පාලකයින් සැපයුවා. 20 වන සියවස දෙවන දශකයේ ද්‍රවිඩයන් එහි ගොදුරක් වුණා. 1983 උමතු නායක පිරිසක් නිසා සිංහලයත් ඒකට අහුවුණා. ඒ නිසා සියලු සිංහලයන් ජාතිවාදීන් කියලා ප්‍රචාරයක් ලොවට ගියා. ත්‍රස්තවාදයට විමුක්ති සළුපිලි අන්දවන්න ඒක විශාල අශීර්වාදයක් වුණා.

Donald Gaminitillake said...

This was there from the first constitution We could have removed when we became a republic in 72 (73) under PM Sirimavo. With the dawn of the republic we could have become one nation one law one unity.

There is discrimination for each and every segment of this country.

We need fresh thinking.

Re Sinhala We must have to option to use any sinhala character in a computer. BUT every person should have the freedom to use Elu , Sammata Sinhala or Mishra Sinhala Akshara malawa.

BUT not to write "KU" with "NU" type character
We need some "Vinaya" for Sinhala.

We got to protect it

Donald Gaminitillake
I set the standard

Kasun said...

පටු අන්තවාදී විවේචනයකට වඩා, නිර්මාණයක ඇති අඩු පාඩු හා ප්‍රතිවිරෝධතා විවේචනාත්මකව බැලීම අතිශයින්ම වැදගත්. ජැක්සන් කතෝලික වූ පමණින්, පල්ලියෙන් මුදල් ගෙන ඉතිහාසය විකෘති කෙරුවේය යන ආන්තික චෝදනාව වෙනුවට අබා තුලින් මතුවන දුර්වලතාත් යම් යම් ප්‍රතිවිරෝධතාත් සම්බන්ධයෙන් විවේචනය කිරීමයි කල යුතු. අබා හි ඔබ දුටු දුර්වල කම් හා ප්‍රතිවිරෝ්ධයන් සම්බන්ධයෙන් මමත් ඔබ සමඟ බොහෝදුරට එකඟයි. පටු අන්තවාදයට නතුවු ඊනියා විවේචනයන් වෙනුවට, ඒ දෙස වඩා නිවැරදි ලෙස දැකීම ගැන ඔබට ස්තූතියි.

Nalaka (නාලක) said...

මෙතෙක් අබා ගැන දුටු හොදම විවේචනය නාමල් ගේ මේ සිත් සටහනයි.

මමත් අබා බැලුවා.
නාමල් කි දේ වල, මම එකග නොවන කිසිවක් නැහැ.

හැමදාම ත් ම වගේ හරබර, රසවත් සටහනක්.

බොහොමත් ම ස්තූතියි.

නාමල් උඩලමත්ත said...

සිය මාහැඟි අදහසින් සංහිඳ හැඩ කළ කසුන්ට සහ නාලක අයියාට පිං. මම බලාගෙන හිටියේ නාලක අයියා 'සතිවිලි' සිත් සටහනේ අබා ගැන ලියන තුරු.

කලා කෘතියක සෞන්දර්ය එහි කාලීන සහ සර්වකාලීන වැදගත්කම තමා වැදගත්. කලා කෘතිය සහෘදයා අතට පත් වුණා ම එය තවදුරටත් නිර්මාණකරුවා පෞද්ගලික දේපළක් නෙවෙයිනේ. ඉතින් අපට අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න.

එතැනදි විය යුත්තේ අපේ මනස්ගාත ඇදබෑම නොව නිර්මාණය විමසීමයි. අන්න ඒ ටික කරන්න දැරූ පුංචි උත්සාහයක් මේ කුඩා ලිපිය.

Anonymous said...

සමාවෙන්න ප්‍රමාදවෙලා ප්‍රතිචාරය සටහන් කරන්න ලැබීම ගැන (මම තිස්ස ගියා නොවැ :) ) මේ බ්ලොග් සටහනෙන් මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. ක්‍රිස්තු චරිතය ඉස්මතු වෙලා නෑ කියලා මුලින් මම කිව්වේ වැඩි දෙයක් දැනගෙන නෙවෙයි. ඒත් මේ බ්ලොග් සටහනෙන් ගොඩක් දේවල් පැහැදිලිව තේරුම් ගැනීමට ලැබීම සතුටක්. බොහොම ස්තූතියි නෙත් පෑදුවාට

නාමල් උඩලමත්ත said...

සුපුන් ප්‍රතිචායට පිං. ඔබේ නිහතමානිකම ඉතා ම වටිනවා. අපි අනුන් ළඟ ඇති අඩුපාඩුවලට සමාව දෙමු. එහෙත් තමා ළඟ ඇති අඩුපාඩුවලට කිසිවිට සමාවක් නොදෙමු.
මමත් මා ළඟ ඇති බොහෝ අඩුපාඩු ලෝකය දිහා බලාගෙන හදා ගන්නවා. ඒ වගේ ම හොඳ දෙයක් අනුන් ළඟ තියෙනවා නම් මමත් ඒකට හුරු වෙනවා. මගේ දුබලතා අඩු කරගන්න හැම විට ම උත්සහ කරනවා.
යම් යම් අඩුපාඩු තිබුණත් ආරම්භයක් විදිහට අබා හොඳ ආයෝජනයක් කියලා මම හිතනවා. ඒ නිසා අපේ අනිත් මිත්‍රයින්ටත් ආරාධනා කරමු අබා බලන්න කියලා. එහෙම නේද සුපුන්?

Anonymous said...

අනිවාර්යයෙන්ම! :) අබා සියළු දෙනාම නැරඹීය යුතු චිත්‍රපටියක්. මොනවාවුනත් ලංකාවේ නිර්මාණයක් හැටියට, චිත්‍රපටියේ තාක්ෂණය පිළිබඳ සතුටු විය හැකියි.

Anonymous said...

I can leave many comments about Aba.. but I prefer to stay simple..
1. JA has learend that he is still an amature director after spending 75 million rupees and 20 million for advertising from SLT.
2. He does not pick up salient features of the plot... or his plot does not montage together..
3. His desire to make a sinhala Asoka and RObinhood did not work well... as he fialed to assimilate and imagine what could have happened..
4. Only thing came out is Saumaya... Next Joe Abeywickrama (I wish hime to be Samuya not anybody else but I use the rehtoric for the reader's sake)
5. Casting is a separate subject which needs its own merits.. Poor casting has destroyed what remained in the plot.
6. Music is fair but songas are poor... Lyrics useless..
7. I commmend sets design which could have been done with greater effect...
However JA has not did anything new he has catered existing market..

Anonymous said...

While agreeing to what you have said above on Aba, I have few more comments to be made. Jakson should have been more careful with his dialogues as he has used ' Isthaale' which was derived from 'stable'and 'wathura' which I believe to be derived from 'water'. Both these terms came into Sinhala vocabulary since 1505. Therefore, obviously during Aba's time these words were not in use!!
If I am wrong, please correct me.
Totally agree that they should have used a 'beautiful young' actress for Unmaada Chithra. Now it is like 'OLMAADA' Chithra!!! (Because it makes US olmaade)

Manoj colambage said...

මුලින්ම මම ඔබෙන් සමාව භජනය කරනවා මෙච්චර කල් සංහිද වෙත නොපැමිනීම ගැන
ඔබ අබා සිනමාපටය පිළිබදව ඔබ කරඇති විචාරය ඉතාම උසස් ‍විචාරයක්.
මොකද ඇතැම් අය ඉතා දරුණු විවේචන ජැක්සන් ඇන්තනී මහතා වෙත එල්ල කරත් ,
මා සිතන්නේ ඔහුට තව අවස්ථාවක් දිය යුතුයි,
මොකද
වැඩිහිටියන්ටයි , ගොං පාට් වලටයි ,
ඉදල හිටල එන ඉන්දියාවේ නිලියන්ටයි
සීමාවෙච්චි අපේ සිනමාවට
“අබා” ‍.......... ආලෝකයක්
ඒත් මේ ටිකත් කියන්නම ඕන
ජැක්සන් ඇන්තනී මහතා තමාට
එල්ලවන ‍විචාර වලට
ප්ර්තිචාර දැක්වීමේ ක්රනමයේ ගැටළුවක් තියෙනවා.
මේ කථාව කියන්නේ නිකම්ම නෙමෙයි
දිනය - 2008.08.13
වෙලාව - සවස 6.00 ට
මොකක්ද- “අබා” ජැක්සන් ඇන්තනී සමග සංවාදයක්
මේ වන විට අබා නරඹාතිබූ නිසා මමත් ගියා
මුලින්ම ජැක්සන් ඇන්තනී මහතා ඉතා ලස්සන විග්ර හයක්(වර්ණනාවක්) කල අතර
සංවාදය සදහා කිසිදු පුද්ගලයකු වේදිකාව මත නොසිටියහ.එම කථාව ඉතා දික් වූ නමුත් රසවත් නිසා සියළුදෙනා අසාගෙන සිටියත් එක් පුද්ගලයෙක් නැගිට ප්රනශ්න කීපයක් ඇසූහ.
එම ප්රෙශ්න ඔබ ඉදිරිපත් කර ඇති ගැටළු වලට සමාන ඒවාය
නමුත් ජැක්සන් ඇන්තනී මහතා ඔහු ඇසූ කිසිදු ප්ර්ශ්නයකටවත් ප්රුමාණවත් පිළිතුරු ලබානොදෙමින් ප්රයශ්න මගහැරි අතර
ඒ වෙනුවට අර පුද්ගලයාට දොස් නගන්නට විය.
අනතුරුව සුනිල් ආරියරත්න මහතා විසින් ප්රිශ්නඇසීම නවත්වන ලෙස විධාන කරණ ලදී
මෙම සිදුවීම ජැක්සන් ඇන්තනී මහතා වැනි වියතකුගෙන් කිසි‍වෙකුත් අපේක්ෂා නොකරන ලද්දකි.

නාමල් උඩලමත්ත said...

මනෝජ්,
මා දිරිගන්වන සුලු ඔබේ ප්‍රතිචාරයට පිං. ඔබ කීවා වගේ මම උත්සහ කළා හැකි තරම් මධ්‍යස්ථව සෞන්දර්යාත්මක ලෙස අබා විමසන්න. එහි ගුණාගුණ විමසීම ඔබට බාරයි. ඔබේ අදහස් හා මා එකඟයි. දිගට ම සංහිඳේ තේවාවට එන්නැයි ද අවසන ඔබට ඇරයුම් කරමි.