2008-08-07

මා බස හෙළ බස

අප මව් බසේ නමේ නිවැරදි අකුරු විනිස 'සිංහල' ද 'සිංහළ' ද යන්න පිළිබඳ නැවතත් විවාදාත්මක තත්ත්වයක්
මතු ව ඇත. මව් බසේ නම නිවැරදිව ලිවීම ඉතා ම වැදගත් හෙයින් ඒ පිළිබඳ මදක් විමසමු.

සිංහළ ලෙස ලියූ විද්වතෙකි; සිරිමත් දොන් බාරොන් ජයතිලක අයෙකි. මැවිසුරු ඊලියන් ද සිල්වා සහ බසිසුරු
අරිසෙන් අහුබුදු යන විද්වත්හු තවමත් එසේ වහරති. එමග නිවැරැදි සේ ගත් අලුත් පිරිසක් ද තුරු දැලේ දැන්
දැන් දක්නට ලැබේ. කෙසේ වුව ද අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ 'සිංහළ' ලෙස යෙදුණු තැනෙක් නැත. එසේ
නොයෙදුණු පමණින් බැහැර නොකළ යුතු සේ ම කෙනෙක් බැවහර කළ පමණින් අප ද එසේ කිරීම
නොකටයුතු ය.



සිහළ යනුවෙන් ලියන ඇතැමුන් පවසන පරිදි හෙළ > සිව් හෙළ > සීහෙළ > සීහළ > සිංහළ වී ලු. සිංහළ සකු
බසට සිංහල වූ අතර එය සකුවෙන් ගත් අප සිංහල යයි වහරයි ලු.

හෙළ යන්න පාලියට සීහළ වෙයි. සීහළ අට්ඨකථා යනු නිදසුනෙකි. සිංහළ යනු වියත් වහරක් නොවේ. මන්ද සිංහල යනු සංස්කෘත වදනකි. සිංහළ යයි ලිවිය නොහැක්කේ 'ළ' කාරයක් සකුවේ නැති හෙයිනි. අප සිලෝන් යයි සිංහලෙන් ලීව ද එය ඉංග්‍රීසි වදනෙකි. සිංහල අකුරින් ලියූ පමණින් ඉංග්‍රිසි ශබ්ද අපේ නොවන්නේ යම් සේ ද සංස්කෘත ද එසේම ය. එම දැනුම පැරැණි හෙළ පඬුවන් කෙරෙහි නොමද ව තිබූ හෙයිනි: කොතැනකවත් අපට 'සිංහළ' යයි වහරක් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ හමු නොවන්නේ.

මේ ගැන අනඳපිය කුඩාතිහි සූරීන් දක්වන අදහසක් මෙසේ ය.

"සියවස් ගණනාවෙක සිටැ පැවැත ආ සිංහල අක්ෂර වින්‍යාස රීතිවලට පටහැණි ව යෙමින් සිංහළ රුහුනු විස්නු
රාවන නය (ණය වෙනුවට) ළංකා හෙළංකා ළක්දිව ඈ විසින් ලියන වියත්හු දෙ තුන් දෙනෙක් ද වෙති. ඊට හේතු
යුක්ති නොපැහැදිලි යැ." (නණලළ වහර 1997)

මේ අයුරින් ම සිංහල අක්ෂර වින්‍යාස රීති ගරු කරමින් 'සිංහල' යන්න ශබ්ද විද්‍යාත්මකව නිවැරදි යයි ගත්
සිංහල විද්වතුන් බොහෝ ය. වැලිවිටියේ සෝරත හිමි, විමල් ජී. බලගල්ලේ, සුචරිත ගම්ලත්, සිරී තිලකසිරි,
ගුණපාල සේනාධීර, සෙනරත් පරණවිතාන, හරිස්චන්ද්‍ර විජේතුංග, කේ. ජයතිලක, ශ්‍රීනාත් ගනේවත්ත, ඩබ්.
එස්.කරුණාතිලක, ජේ.බී. දිසානායක, විනී විතාරන යනු ඉන් අතළොස්සකි.

දෙස බස රැස යන තෙරුවනෙක් නම් කොට සිය පණ බසට දුන් කුමාරතුංග මුනිදාස මහතාගෙන් ආධුනිකයෙක් මේ දෙවදනින් (සිංහල/සිංහළ) නිවැරදි කිමෙක්දැයි වරක් ඇසුවේ ය. මේ ඔහුගේ පිළිතුර ය.

"සිංහල යනු මැ යැ, නිවැරැදි සංස්කෘතයෙහි 'ළ' යන්නක් වියැ හැකි නොවේ. 'ළ' යුක්ත වූ ශබ්දයක් අන්
බසෙකින් ගැනුණු කලැ ද යෙදෙනුයේ 'ල' යනු මැයි, පාලියෙහි "සීහළ" යන්න සංස්කෘතයෙහි සිංහල වන බව
මෙයිනුදු නො පෙනේ ද?" (සුබස 1939 පි. 29)

මේ අනුව අප අවබෝධ කර ගත යුතු සත්‍යය නම් සිංහල යනු සංස්කෘත වදනක් බව ය. එහෙයින් එහි අක්ෂර
වින්‍යාසය සංස්කෘත රීතියට අනුගත විය යුතු බව ය. සීහළ යනු පාලියයි. අපේ බසට නමක් සිය බසින් ම අවැසි
නම් ඒ සඳහා 'හෙළ බස' යයි යෙදීම කෙතරම් හුරුබුහුටි ද? 'අප බස හෙළ හෙළ හෙළ-නුවණත් හෙළ නිවනත්
හෙළ' යන කුමරතුඟු ගී පද ඊට අපට මං නොකියයි ද? එසේ නොකොට අනුන්ගේ වදනක් අපේ යයි කෑ ගසන අය
නොවෙද ගැත්තෝ ?


වරක් 'කනිටු' 'කණිටු' යන දෙකෙන් නිවැරැදි කුමක් දැයි සුබසින් විමසන ලදි. ඊට කුමරතුඟුන් දුන් පිළිතුර කනිටු
යන්න සකු කනිෂ්ට යන්නෙන් බිඳි හෙයින් නිවැරදි බව ය. සිය පොත පතේ ද කණිටු යන්න තිබුණ ද ඒ
වරදකැයි ද හෙතෙම කීවේ ය. එහෙත් ඒ විසල් මනසැති මහා පුරුෂයා සතු නිහතමානි ගුණය අද කොයින් ද?

5 comments:

රාජිත උඩවල්‍‍පොල said...

සංස්කෘතයට 'සිංහල' වදන පැමිණියේ කෙසේද?

නාමල් උඩලමත්ත said...

මිතුර, සකුවේ වදන්වල උපත ගැන පහදන්ට මම සකු බස් වෙසරදකු නොවෙමි. තව ම හෙළ බස ද උගනිමි. එහෙත් පාලි 'සීහළ' යන්න සකුවට 'සිංහල' වී යයි බසිසුරු කුමරතුඟුවෝ පැවසූහ. එය සිංහලයෙන් බිඳී නොගිය බව සක්සුදක් සේ පැහැදැළි කරන්නේ ද මම නොව ගුරුළුගෝමී පඬිතුමාගේ සිට පැවත එන ලේඛන සම්ප්‍රදායයි. ඒ සම්භාව්‍ය සාහිත්‍යයේ කිසිදු තැනක 'සිංහළ' යයි ලියා නොතිබීමෙණි.

රාජිත උඩවල්‍‍පොල said...

පාලියට 'සීහළ' යන්න ගියේ හෙළයෙන් විය නොහැකිද? මා නම් සිතන්නේ හෙළයෙන් ගියා විය යුතුයි කියාය. ඔබගේ ඒ ගැන අදහස කුමක්ද?

නාමල් උඩලමත්ත said...

විය හැකි ය. එහෙත් ඒ සීහළ ය. සිංහල නොවේ. සිංහල යනු සකු වදනකි. සකුවේ 'ළ' කාරය නැති හෙයින් සිංහල යන්න 'ළ'කාරයකින් ලිවීම සදොස් ය. අප බස හෙළ බස යයි පැවසීම අපේකම අඟවයි. එසේ නැතිව සකු වදනකට සිංහල ආයිත්තම් පළඳා අප අපම රවටා ගෙන කුමට ද? අප කුමරතුඟු ප්‍රමුඛ බසිසුරන් ගත් මග ගන්ට පසුබාන්නේ ඇයි?

ක.ක.ග.රන්දුල said...

සිංහළ යන තැනැ මුදුනු ළ'යන්න යෙදුණු තැන් පැරැණි වහරේ නැතැ යි ඔබ කියන බස හා අපි එකඟ නො වම්හ. ලීලාවතී බිසොව ගේ සෙල්ලිපිය, ගඩලාදෙණි සන්නස, පුලියන්කුලම් සෙල්ලිපිය ආදියෙහි 'සිංහළ' යන වදන මුදුනු ළ'යන්න ඇති වැ ලියා තිබේ. එ මතු ද නො වේ; ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර, සිරිමත් ඩි. බී. ජයතිලක, මැහැදුරු ඇම්. ඇච්. ගුණතිලක, පී. තේනබදු වැනි වියතුන් එය වහරෙහි යොදා තිබේ. බලග උන් පබඳ. අරීසෙන් අහුබුදුවන් ගේ නිරුත සලකා 'සිංහළ' යන වදන මුදුනු ළ'යන්න ඇති වැ ලිවීමේ කිසි දු දොස් අපට නම් නො පෙනේ. 'සිංහල' යනුත් වැරැදි නැත; සකු වහර අනුවැ ඒ දු හරි.
හෙළ යන වදන වෙන මැ එකෙකි. මහැදුරු සුචරිත ගම්ලතුන් පවසනුයේ ද එය ග්‍රීක බසෙහි 'හෙළනික්' යන වදනින් උපන් ලෙසෙකි. බලන්නැ උන් ගේ 'ඉංගිරිසි සිංහල මහා ශබ්ද කෝෂයේ' පෙර පුරුව. කුමරතුඟුවන් කීවේ ද එ මැ නු?