2008-02-27

ගැහැනු ළමයිනේ




ඒ නවම් හෙවත් පෙබරවාරි මස ය. 18 වන දිනය.කොළොම්තොටින් හිරු
නැව් නගිත්ම රසික ජන ගඟ සිව් දිගින් ජෝන් ද සිල්වා සමරු රඟහල
වෙත ගලන්නට විය. නොබෝ වේලාවකින් රඟහල පිරීතිරීයයි. රොද බැඳි
ජනගඟ දොර කවුළුවලින් දෝරේ ගලයි. ඇඟිලි තුඩු මතට නැඟුනෝ
පොදියට උඩින් රඟහලට එබෙන්නට තතනති. පිග්මියෝ ජන පොදි අතර
කුරුබිලි සොයති. විය සිදුරින් අහස බලන්නට සැරසෙති. දස දෙසින්
ඇදෙන මහා ජන මහෝඝය නම්මන්නට සංවිධායකයින් දරන උත්සාහය
අත් පසුරින් සුළං බැදීමට නොදෙවෙනි ය. මොහොතකින් ප්‍රතිරූපණ
දසුනක් ගෙමිදුල සවි කෙරෙයි. සජීවි දසුන් ගලා එයි. පන්සිළු මිහිබට
වැන්න; එතැන් පටන් ගෙවුණු සොදුරු සුයාම ය.

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ අමා දහර ගඟ ගලා ගිය අරුමය
ද බුදු හාමුදුරුවෝ අපිත් දුටු බව ද ගැයූ බොදු ගී හඬ ඔබට මතක ද?
ආදරයේ උල්පත වූ අම්මා ගැන ද අම්මා නැති මට කිරි අම්මා වූ
සොයුරිය ගැන ද ගැයූ දයාබර හඬ ඔබට මතක ද? මීන නුවන් යුගෙන්
බලන්නට මීනාට ඇරයුම් කොට අපි ඈතින් ඈතට පිය නඟමුයි මිමිණු
ප්‍රේමනීය හඬ ඔබට මතක ද? සිහින සතක දුටු ආශා නිරාශා මැවූ
ස්වප්න මායාවට අහිමි වුණත් නුඹ ළඳේ මට හඬන්ට අවසර නැතැයි
ගැයූ සෝබර හඬ ඔබට මතක ද? තුන් සිංහලය ම නෑදෑයන් කොට
මුරකාවල් නැති වැට කොටු බැමි නැති ලොවක් පැතූ අසිරිය ඔබට
මතක ද? ඒ අන් කිසිවකු නොව වික්ටර් රත්නායකයෝ ය. මහාචාර්ය
කාලෝ ෆොන්සේකාගේ වදන්වලින් පවසතොත් සිංහල ගීතයේ
යුව රජු ය.

ඉකුත් දා රත්නායකයෝ සිය ජීවිතයේ සුවිශේෂ සංධිස්ථාන කිහිපයක්
සනිටුහන් කළ හ. හෙතෙම දිවි මගේ 66 වන වියට පිය නැඟුවේ ය.
කලා දිවියට 45 වසරකි. දෙස් විදෙස්හි දහස්වරක් එළිදැක්වූ 'ස'
ප්‍රසංගයට වසර 35 කි. මේ සියල්ල සුභාවිත සිංහල ගීතයේ ගමන්
මගෙහි රන් අකුරින් ලියැවෙන දේ ය. ඒ වෙනුවෙන් 'සියත FM'
ගුවන්විදුලිය වික්ටර් රත්නායකගේ ප්‍රේම ගීතාවලියක් 'ගැහැනු ළමයිනේ'
නමින් රසික දෝතට තිළිණ කළේ ය. එය සැබවින් ම කතරට වට
සිසිල් පැන් පොදකි. ගීතයයි බෞතීස්ම කොට කැසට් මුදලාලිලා
අතිබහුතරයක් FM නාළිකා ඔස්සේ විසි කරන අදෝනා නිසා ඔද්දල් වී
සිටින සහෘදයාට මේ නම් අමෘතයකි. කොවුල් හඬයයි සිතාන කපුටු
හඬට පෙම් බඳින අයට ද මේ ගී ඇසීමෙන් අප ද සංගීතය නමැති
රුකෙහි හටගත් මියුරු ඵල රස වින්දෙමියි ප්‍රමුදිත විය හැකි ය.
නැතහොත් ඒ මියුරු රස නොවිඳම මියෙන බහුතයට එක්විය හැකි ය.
මන්ද යළි එවන් නිර්මාණකරුවෝ බිහි නොවනු ඇත. වික්ටර් රත්නායක
යනු ඉන්දිය රාගධාරී සංගීත සම්ප්‍රදාය සහ දේශීය ජන සංගීත
සම්ප්‍රදාය අතැඹුලක් ‍සේ උගෙන විටෙක පෙර'පර දෙදිග සංගීත
සම්ප්‍රදාය සමග සුහද වෙමින් ද තවත් විටෙක එය අතික්‍රමණය
කරමින් ද නිර්මාණකරණයේ යෙදෙන විශ්මජනක සංගීතවේදියෙකි.
එය නිරන්තර අධ්‍යනයෙන් සහ සතතාභ්‍යාසයෙන් ගොඩනගා ගත
යුතු ශක්‍යතාවකි.ප්‍රතිභාවකි. නූතන වෙළඳ කුළය නවකයින්ගෙන්
ඒ අවස්ථාව පැහැර ගෙන ඇත. කෙසේ ද? මල් කැකුළු වන්
යෞවනය බලෙන් පුබුදුවා එක් රැයකින් සුපිරි තරු නමින් වල්ගා
තරු බවට පත් කොට විනාශ මුඛයට ඇද දැමීමෙනි. සිය පතේ
රම්පේ කරපිංචා බවට රටේ තාරුණ්‍යය පත් කරගැනීමෙනි. මේ
නිසා ශාස්ත්‍රය හැදෑරීමට ඔවුන් තුළ තිබිය යුතු නිහතමානීත්වය
නැති වෙයි.තමුන් දැනට ම සුපිරි තාරකාව බැවින් නැවතත්
ශාස්ත්‍ර හදාරන්නේ කුමට ද? තමුන්ට වඩා දන්නේ කවු ද?
ඉදින් මේ අය මණ්ඩුකයින් මෙන් පිම්බි පිපිරී විනාශව යති. උඩ
ගිය මෙරුන්(ආවගියෝ)සේ ම වනසට පත් වෙයි.සංගීතය
ක්‍ෂේත්‍රයට වන මෙහෙයක් නැත. එසේ යමක් කළ එකදු තරුවක්
ඇත් ද? මාධ්‍ය මුලින් තරු බව කී අය වෙනුවට එතැන අලුත් තරු ය.
පරණ තරු ආගිය අතක් නැත. අලුත් තරුවලට ද උරුම ඒ ටිකම ය.
අන් සියලු දේ සේ ම මේ තරු උමතුවේ ප්‍රතිඵල ද බහුතරය
තේරම්ගන්නේ අශ්වයා පැන ගිය පසු ය. එවිට සුපුරුදු පරිදි ඉස්තාලය
වසා දමා මුරකාවල් ද යොදනු ඇත. එතෙක් 'කැළයේ පිපී
කැළයේ ම පරවෙන මල් කැකුළු අප සමාජගත කළෙමු' යන
මුදලාලි මුසාවාදය මානසික ආහාරය කර ගනිමින් ජීවත්
වන්නට රටේ බහුතරය සූදානම් ය. එය සමාජගත කරන්නට
මිලදී ගත හැකි විශාරදවරු අහිනක් ද මෙරට සිටීම අවාසනාවකි.

කෙසේ වුව ද මේ විෂම ක්‍රියාවලියේ අවසනාවන්ත ගොදුරු බවට
අපේ පරපුර ද පත්වී හමාර ය. අපේ පරම්පරාවට ප්‍රේම ගීතයක්
ඇසීමට අමරදේව, වික්ටර්, අමරසිරි, සනත්, කපුගේ, ටී.එම්.,
ජෝතිපාල, බෙග් ,මිල්ටන් ආදී වයෝවෘද්ධ ගාන්ධර්වයන් වෙත
යාමට සිදුව ඇත්තේ ඒ නිසා නොවෙ ද? අපේ දෙමාපියන්ට පෙම්
ගී ගැයූ ඔවුන්ට ම එකී ප්‍රේමයන්හි මල් සම්පත වන අප වෙනුවෙන්
ද පෙම් ගී ගයන්නට සිදුව ඇත.(අපේ මුත්තලා අපට පෙම් ගී
ගයන්නේ අපේ පරම්පරාව ගොරහැඩි පෙම්වතුන් වූ නිසා ද?) අතීත
ගීතවල සර්වකාලීන අගය ඉන් මූර්තිමත් වුව ද අලුත් පරපුරෙහි
වඳභාවය ද ඉන් ප්‍රකට නොවේ ද? සුපිරිතරු අත සිංහල ගී කෙත
පුරන් වී ගොස් ඇති බව නොවෙද ඉන් ගම්‍ය වන්නේ? කසුන්
කල්හාරට පසු මේ ක්‍ෂේත්‍රයට කඩා පාත්වුණු කිසිවෙකු අවම
ප්‍රතිභාවක්වත් නොදක්වන්නේ ඇයි? නොදනිමි කාගේ දොසා?
සියල්ල විකිණෙන සමාජයේ තනි තනිව උඩුගං බලා පිහිනනු විනා
කළ හැක්කේ කුමක් ද? මේ දුෂ්ට ක්‍රියාවලිය අවසන 2වන සේන
රජු සියබස්ලකරේ පැවසූ ආකාරයේ කලා පරපුරක් බිහිවනු ඇත.
ගවයින්ගේ වාසනාවට මේ අය තණ නොකනු ඇත. කිසිදු කාලාත්මක
හැඟීමක් නොමැති අසංවේදී පිරිහුණු ආධ්‍යාත්මයන් සහිත මිනිස්
රෝබෝවරු ද බිහිවනු ඇත. සියබස්ලකරකරුට නැවත සවන් දෙමු.

'මෙතුන් ලෝ සියල්
ඉදි සද වැටුප් රස් රැස්
නොදිලියෙක ද බව් දා
තම කඳ නොකල්තායෙන්'

(එහෙයින් ශබ්ද නමැති රෂ්මි කරණකොට ගෙන ලෝකය නොබැබළේ
නම් සකල ත්‍රිවිධ ලෝකය ම යුගාන්තය දක්වා මෝහාන්ධකාරයෙන්
අන්ධකාර වේමැයි.)ශබ්ද නමැති රෂ්මි යනු ශික්ෂිත ශබ්දයයි.
කර්ණරසායන ශබ්දයයි.එනම් සුභාවිත සංගීතයයි.ගීතයයි. එයින් තොර
කල්හි සකල ලොව මොහදුරින් අදුරු වෙයි. මේ මෝහාන්ධකාරයෙන්
(මෝඩකම නම් අදුරින්) ගැළවියන්නේ කෙසේ ද? වඩා හොඳ දේ
තෝරා ගෙන රස විඳින්නට ඔබ හුරු විය යුතු ය. ඒ සඳහා හොඳ
දේ සොයා යාමට ඔබට සිදුවනු ඇත. මන්ද තිරිවානා මෙන් මැණික්
සුලබ නැත. යහපත් දේ රස විදින්නට ඔබේ සමීපතමයන් පෙළඹවිය
යුතු ය. එමගින් පමණි; මේ අතවරයෙන් ගැලවිය හැක්කේ. ඒ
වෙනුවෙන් අදුරට ශාප නොකර එක් පහන් සිලක් දල්වාලූ මොහාන්
රාජ් මඩවල ප්‍රමුඛ සියත නාළිකාවට ද CIFL රක්ෂණ ආයතයට ද
කෘතවේදී වෙමි. එම ගීතාවලිය ටොරානා ලේබලය යටතේ දැන්
වෙළඳපොළට පැමිණ තිබේ. ‍සදාකාලික යෞවනයට පූජා කළ වික්ටර්
රත්නායකයන්ගේ ප්‍රේම ගීතාවලිය රස විඳින්නට ඔබට ආරාධනා
කරමින් ඔහුගේ සුන්දර විරහි ගී පදයකින් ම මේ සටහනට
කුණ්ඩලිය තබමි.

අහිමිවුණත් නුඹ ළඳේ
මට අඬන්න අවසර නෑ..//
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමියවුණත් නුඹ...
(ගී පද-ගාමිණි ෆොන්සේකා)

1 comment:

Dulip's Thoughts said...

Dear Namal,
I am writing this comment with an overwhelmed facination after reading your piece of article on Victor Rathnayake. In fact, I have nothing add as it has been written in an excellent manner.
While reading the section that contains the fragments from his sogns, I realised that it is nice if you can write something about the main figure behind the scene, Premakirthi De Alwis. I think his style is a blend of Mahagamasekera and Karunarathna Abeysekera... You are more qualified than me to comment on this issue... Namal why don't you write a similar article on these characters who have made a significant contribution to the development of modern sinhala song.
Best
Dulip