2008-02-22

ජාත්‍යන්තර භාෂා වසරයි සිංහලයයි




කලක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යුනෙස්කොව ජාත්‍යන්තර දින සහ වසර නම් කරයි. ජාත්‍යන්තර සංස්කෘතික උරුමයන් පිළිබඳ වසර (2002) ජාත්‍යන්තර උස්බිම් වසර (2002) ජාත්‍යන්තර පිරිසිදු ජල වසර (2003) ජාත්‍යන්තර වහල් සේවයට එරෙහි අරගලය සහ වහල්භාවය අහෝසි කිරීම සැමරුම් වසර (2004) ජාත්‍යන්තර ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන වසර (2005) ඉන් කිහිපයකි. මෙහිදී අපට එක්වර ම පෙනී යනුයේ එකී සෑම ක්‍ෂේත්‍රයක් ම කිසියම් අර්බුදයකට ලක්ව ඇති බව ය. බොහෝ විට මානව ක්‍රියාකාරීත්වය ඒ සඳහා අහිතකර ලෙස බලපා ඇති බව ය. වසර 2000 සිට සෑම වසරක ම පෙබරවාරි 21 'ජාත්‍යන්තර මව් භාෂා දිනය' ලෙස නම් කළ එක්සත් ජාතීන් 2008 'ජාත්‍යන්තර භාෂා වසර' ලෙස නම් කිරීමේ වැදගත්කම විග්‍රහ කළ යුත්තේ මේ පසුබිමේ තබා බව මගේ වැටහීමයි.

අතීතයේ සිට ම භාෂාව පදනම් වන සමාජ ආර්ථික සංස්කෘතික ජීවිතයේ අරටුව විග්‍රහ කිරීමට බුද්ධිමතුන් උත්සාහ කළ බව ද මෙහිලා (මේ වසර භාෂා වසර ලෙස නම් කිරීමට) එකී උත්සාහය බලපෑ බව ද යුනෙස්කෝ අධ්‍යක්ෂ කොයිසුරෝ මත්සුරා මහතා ජාත්‍යන්තර මව් භාෂා දින විශේෂ පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය. ලොව භාවිත වන භාෂා 6700න් 50%ට වඩා මිහිපිටින් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව ද සෑම සති 2ට ම එක් භාෂාවක් ලොවට අහිමි වන බව ද වැඩි දුරටත් සඳහන් විය. එපමණක් නොව ලොව භාෂා අතරින් 90%ක අතිබහුතරය ව්‍යවහාර කරන්නේ ලෝක ජනගහනයෙන් 4%ක් තරම් සුළු ප්‍රතිශතයකි. මේ අනුව 2008 ජාත්‍යන්තර භාෂා වසර ලෙස නම් කිරීම විශ්ව භාෂා අද දවසේ මුහුණපා ඇති අභියෝග හදුනා ගැනීම සහ ඊට විසදුම් සැපයීමේ අරමුණින් සිදු කළ දෙයක් බව පෙනී යයි. අද දවසේ, භාෂා මිහිපිටින් තුරන් වී යාමේ අවදානම ද මූලික වශයෙන් ගෝලීයකරණයේ අනිටු ඵලයක් ලෙස හදුනා ගත හැකි ය.

අප කැමති වුව ද අකමැති වුව ද වත්මන් ලෝකය ගෝලීයකරණ ව්‍යාපෘතිය තුළ කරවටක් ගිළි ඇත. ගෝලීකරණය යනු සන්නිවේදනය තොරතුරු තාක්ෂණය ප්‍රවාහනය යන ක්‍ෂේත්‍රවල දියුණුවත් සමග මානව සබඳතා වර්ධනය වී ලෝකය ආර්ථික දේශපාලන සංස්කෘතික වශයෙන් සමීපවීමයි. මෙම සමීපවීම බලවත් ජාතීන්ට වාසිදායක අයුරින් ද සෙසු ජාතීන් නොයෙක් අයුරින් සූරා කෑමට පහසු අයුරින් ද සැකසුනකි. එය අප කරා ගලා එන්නේ ද හුදු තාක්ෂණික දියුණුව ඉක්මවා ගිය ස්වරූපයකිනි.එසේ ම ආක්‍රමණකාරි ලිබරල් ධනවාදය විශ්ව ව්‍යාප්ත වී ඇති සමාජයක එය අනීවාර්ය සංසිද්ධියකි. එහෙයින් ගෝලීයකරණයෙන් පළායාමට උත්සුක වනු වෙනුවට ඒ තුළ සිට උඩුගම් බලා පිහිනීමට සූදානම් විය යුතු ය. බුදු රජුන් දෙසූ පරිදි අසාරයෙන් සාරය වෙන් කර ගැනීමට අප හුරු විය යුතු ය.

අද දවසේ මිහිපිටින් භාෂා තුරන්වී යාමේ අවදානම අපට අදාළ නොවන නොවැදගත් කරුණ කැයි ඉවතලිය හැක්කක් නොවේ. මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා පවසන පරිදි තිස්සමහාරාමයේ වට්ටක්කා විකුණන පියදාස ගොයියාලා සිටින තුරු සිංහලය වඳ නොවෙතැයි නිහඬව සිටින්නට ද කාලය නොවේ. වාග් විද්‍යාවට අනුව සියලු ආකාරයේ භාෂා පරිහානි ද භාෂා පරිණාමයට බැර කෙරෙන විකෘති විග්‍රහ සඳහා කාලය නාස්ති කළ යුතු ද නොවේ. කළ යුතු එක ම දෙය ගෝලීයකරණය හමුවේ සිංහල බස මුහුණ දී ඇති අභියෝගය හදුනා ගැනීම ය.

අද වන විට සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමය ශීඝ්‍රයෙන් ඉංග්‍රීසි මාධ්‍යකරණය වෙමින් පවතී. විශ්ව විද්‍යාලවලින් ඇරඹි එය පාසැල් ඔස්සේ පෙර පාසැලට ද රිංගා අවසන් ය. ළමයෙකුට සිය මූලික අධ්‍යාපනය මව් බසින් ලබා දිය යුතුය යන වැදගත් මනෝවිද්‍යාත්මක සංකල්පය ද මෙහිදී නොසලකා ඇත. අනෙක් අතට රට පුරා හතු පිපෙන ගාණට ජාත්‍යන්තර පාසැල් බිහි වෙයි. ඒවා සම්පූර්ණයෙන් ඉංග්‍රීසි මාධ්‍යය පාසැල් ය. මේ ක්‍රියාදාමයට සාපේක්ෂව සිංහල භාෂාව දිනෙන් දින අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ නොසැලකිල්ලට ලක් වෙමින් පවතී. රටේ ක්‍රියාත්මක පෞද්ගලික ව්‍යාපාර සහ බහුජාතික සමාගම්වලට අවශ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය උගතුන් බැවින් දෙමාපියෝ ද සිය දරුවාට උසස් ඉංග්‍රීසි දැනුමක් මිස සිංහල දැනුමක් ලබා දීමට උත්සුක නොවෙති. මේ ක්‍රියාදාමය නොනවත්වා සිදුවුවහොත් සිංහල භාෂාව ද නොබෝ කලකින් කුස්සියේ භාෂාව හෝ තිස්සමහාරාමයේ පියදාස ගොයියාලාගේ භාෂාව බවට පත්වනු ඇත. වැදි භාෂාව මෙන් එක්තරා පසල් දනව්වකට සීමා වනු ඇත.

ආසියාවේ ඉහල සාක්ෂරතා ප්‍රතිශතයක් අපට හිමි බව නොයෙක් වාර්තාවලින් කියවේ. එහෙත් එකී සාක්ෂරතා නිර්ණායකයේ පදනම කුමක් ද? යාන්තමට සිය අත්සන තැබිය හැකි පුද්ගලයා ද ඊට අයත් ය. අනෙක් අතට සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වෙයි. භාෂාව සතුව විශාල වචන මාලාවක් තිබුණ ද දිනෙන් දින එම වචන භාවිතයෙන් ඉවත් වෙයි. සිතීමේ උපකරණය භාෂාව යයි ඇරිස්ටෝටල් පඬිවරයා වරක් ප්‍රකාශ කළේ ය. යමෙක් සිතන්නේ ද සිය සංස්කෘතිය අවශෝෂණය කර ගන්නේ ද මව් බසින් බව පැවසෙයි. මේ අනුව යමෙකුට සිය මව් භාෂාව අහිමි වීම සමග සංස්කෘතිය ද අහිමි වෙයි. සිතීමේ උපකරණය ද අහිමි වෙයි. එවිට බිහි වන්නේ මිනිස් යන්ත්‍ර මිස මිනිසුන් නොවේ. ඔවුන්ට කළ හැකි එක ම දෙය පුනරුච්චාරණය සහ අනුකරණය පමණි. ඒ ටික නම් ගිරවුන්ට සහ වදුරන්ට ද කළ හැකි ය.මේ වන විට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගෙන විශ්වවිද්‍යාලවලින් පිටවන බොහෝ දෙනාට නිවැරදිව සිය බසින් අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නොමැත. මෙහි දී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%ක් බව ද සෙසු අය කතා කරන්නේ සිංහල බව ද පවසා ඇඟ බේරා ගත නොහැකි ය. එම 10% ට මෙරට බුද්ධිමතුන් උගතුන් බහුතරය අයිති ය. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරන්නේ මේ අය ය. නව දැනුම සමග ගනුදෙනු කරන්නේ මේ අයය. එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොවීම නිසා භාෂාවේ ශක්‍යතාව උපයෝගීතාව හීන වෙයි. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන නිසා නව වදන් බිහි නොවේ. කලක් යන විට සිංහලය කටු ගෙයි තැබිය යුතු එකකැයි ඊළඟ පරපුරට හැඟී යනු නොඅනුමාන ය. එහෙයින් සිංහලය නූගතුන්ට පවරා උගත් අප ඉංගිරිසියෙන් ම ක්‍රියා කරම්හයි සිතීම සුබදායි නොවනු ඇත.

කෝට්ටේ යුගයේ අවසන ද මේ ආකාරයෙන් ම විවිධ බලපෑම් මත උගතුන් ද්‍රවිඩ ආදි වෙනත් භාෂා වැළඳ ගැනීම සහ මව් බස නොතකා හැරීම නිසා සිංහලය සාමාන්‍ය ජනතාවට සීමා වූ බසක් බවට පත් විය. සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා භාවිත වන්නේ භාෂාවේ ඉතා ම සුළු කොටසක් පමණි. එමෙන් ම ඔවුන් ලේඛනය භාවිත නොකරයි. මේ නිසා භාෂාවේ වර්ධනය ඇණහිටී අතර සිය වස් කිහිපයක් නව දැනුම සමඟ මුහු නොවූ සිංහලය කෙතරම් කටුක ගොරහැඩි එකක් වීදැයි 19 සිය වස අග 20 වන සිය වස මුල ප්‍රබන්ධ සහ පුවත්පත් වාර්තා කිහිපයක් කියවීමෙන් අවබෝධ කර ගත හැකි ය. පරිහානිය වඩාත් හොඳින් හදුනා ගැනීමට එම භාෂාව සැලළිහිණීයේ බස සමග සසදන්න. කෝට්ටේ යුගයේ ඕනෑ ම අදහසක් ප්‍රකාශයට පොහොසත් සරළ සුකොමළ බුහුටි බසක් වූ සිංහලය නොබෝ කලකින් ගොත ගහන බිහිරි මහල්ලෙකුගේ තත්ත්වයට පත් වූයේ කෙසේ ද? මොට්ට වූ කඩුවක් වන් එම බස වත්මන් අදහස් පැවසීමට උචිත තියුණු සැතක් ලෙස මුවහත් කරන්නට අපේ භාෂා ප්‍රේමීන් කරන ලද මහා අරගලය පසක් කර ගන්නට මාර්ටින් වික්‍රමසිංහගේ ලීලා සෝමා මිරිඟු දිය ආදී කෘති කියවා ගම්පෙරළිය කියවිය යුතු ය. අප අද ව්‍යවහාර කරන භාෂාව මේ තත්ත්වයට නැවත ගෙන ඒමට දශක කිහිපයක් ගත විය. ඒ භාෂාවෙන් ලොව ඕනෑ ම නවීන සංකල්පයක් අපට ප්‍රකාශ කළ හැකි ය. ලේඛනගත කළ හැකි ය. අපේ යුතුකම වන්නේ එවන් සශ්‍රීක භාෂාව අපේ අනාගත පරපුර වෙත එහි ඔද තෙද නොසිඳ දායාද කිරීමයි. ඒ ඔස්සේ අපේ සංස්කෘතික උරුමයෙන් ඒ පරපුර පෝෂණය කිරීමයි.

විශ්වීය වශයෙන් කෙරෙන බලපෑම්වලට අමතරව මධ්‍ය විසින් ද භාෂාව විශාල වශයෙන් අවභාවිතයේ යොදවයි. ඉංග්‍රීසි සිංහල මිශ්‍ර භාෂා භාවිතය, වැරදි ව්‍යවහාර, වියරණ රීති බිඳීම මෙහිලා ප්‍රමුඛ වෙයි. මෙකී සියලු ආකාරයේ භාෂාමය පරිහානිවලට විරුද්ධව ක්‍රියා කිරීමට විද්වත් සමාජය මේ වන විටත් පෙරමුණ ගෙන ඇත. විමල් ජී. බලගල්ලේ, ඩී.එෆ්. කාරියකරවන, සුචරිත ගම්ලත්, කරුණාරත්න අමරසිංහ, පණ්ඩුල ඇඳගම සුමින්ද සිරිසේන ආදී විද්වත්හු 'භාෂා ප්‍රේමී සංධානය' තුළින් ද අගලකඩ සිරිසුමන හිමි, ගුණදාස අමරසේකර, ටියුරන්ස් නන්දසාර,වෝල්ටර් මාරසිංහ, සිරිල් එඬේරමුල්ල, ඒ.ජේ.රුහුණුහේවා, ලීලානන්ද ගමාච්චි ආදී සුධීහු 'ජාතික ස්වභාෂා කොමිසම' තුළින් ද සුවිසල් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මේ ව්‍යාපාර බසි'සුරු කුමාරතුංග මුනිදාස‍ ප්‍රමුඛ 'හෙළ හවුල' දෙස බලා සිය මග සකසා ගත යුතු ය. දශක කිහිපයකට පෙර හෙළ හවුල අතින් වූ යම් යම් වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යාම සිංහල භාෂාවේ චිරස්ථිතිය පණිස ම වනු ඇත.

මේ ව්‍යාපාරය සඳහා ව්‍යාකරණඥයින්ට නිර්මාණකරුවන්ට සෑම ක්‍ෂේත්‍රයක් ම නියෝජනය කරන භාෂා ප්‍රේමීන්ට දායක විය හැකි ය. එහෙත් වාග් විද්‍යාඥයාට එය කළ හැක්කක් නොවේ. බටහිර වාග් විද්‍යාවෙන් ඔහුට උගන්වා ඇත්තේ භාෂාව පරිණාමය වන බව පමණි. පරිහානියක් ගැන එහි නොකියවේ. එමෙන් ම ඔහුට භාෂාවේ පවතින තත්ත්වය විග්‍රහ කරනු විනා භාෂාව මෙසේ විය යුතුයයි කීමට නොහැකි ය. භාෂා ප්‍රේමය යන සංකල්පය ද ඊට පටහැනි ය. ඔවුන්ගේ විග්‍රහයට පාදක වන්නේ ද කථන භාෂාව පමණි. සැබවින් ම මගේ අදහස නම් වාග්විද්‍යාවේ මූලික අරමුණ ස්වදේශීය භාෂා දෙවන භාෂාවක් ලෙස හදාරන්නන්ට යටිතල පහසුකම් සැපයීම බව ය. එමගින් ස්වභාෂකයන්ට ලද හැකි දෙයක් නැත. තිබුණ ද මුල් අරමුණට සාපේක්ෂව නොතැකිය යුතු තරම් සොච්චමකි. කෙසේ වුව ද එක්සත් ජාතීන්ගේ පණිවිඩය දේශීය වාග්විද්‍යාඥයින් සිය විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ යළි සිතන්නට පොළඹවනු ඇතැයි සිතමි. අප වන් රටවලට අවැසි වාග්විද්‍යාඥයින්ට වඩා ව්‍යාකණඥයින් සහ භාෂා ප්‍රේමීන් ය. විද්‍යෝදය විද්‍යාලංකාර ගුරුකුළ, කුමාරතුංගයන්ගේ හෙළ හවුළ ප්‍රමුඛ 19 වන සියවසේ ඇරඹි භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නියමුවෝ 'භාෂාවේ සැටි මෙසේය, අපේ කටයුතු ඉන් අහවරයයි' නිහඬ වී නම් මෙසේ ඔබ අමතන්නට සුගම බසක් මට නොලැබෙනු ඇත.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
හිඟා කෑම බැරිවුණු දා ලගී ගයා මර ගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොහැඟී
මහ දද දන ගණ උපදින කලැ පරදෑ අනගී
(කුමාරතුංග මුනිදාස-විරිත් වැකිය)

1 comment:

Bo said...

භාෂාව යනු සන්නිවේඳන මගකි,නිරන්තර වෙනස්කම් වලට භාජනය වෙමින් වෙනස් වුවද භාෂා බොහෝමයක තිබෙන්නේ එකම ආකෘතියක් සහ සැලැස්මක් නොවේද. කියවන්ට වටින ලිපියක් ස්තූතියි