2008-03-11

බත්තලංගුණ්ඩුව


පසු ගිය කාලයේ පළවූ නවකතා කිහිපයක් කියවීමි. අබිංකෑමට මෙන්
කියවීමට ඇබ්බැහිවූ මට මේ කෘති කියවා අවසන් කිරීමට දැඩි
ආයාසයක් දැරීමට සිදුවිය. ඉතින් සාමාන්‍ය පාඨකයා ගැන කවර
කතා ද? මේ ඛේදවාචකයට ප්‍රමුඛතම හේතුව නිර්මාණකරුවන් මධ්‍යම
පාන්තික ජීවිත අතර සිරගතවීමයි. පිටියක දිගේලි කළ ගවයෝ සිය
කඹයේ සීමාව තෙක් සැරිසරති. උලාකති. වමාරති. එහි ම ළැඟ
සිටිති. ඉන් එහා ලොවක් උන්ට නැත. අපේ රටේ බහුතරයක්
නිර්මාණකරුවන් ද ඊට නොදෙවෙනි ය. ඔවුන් මධ්‍යම පන්තියෙන්
ඔබ්බට පය තබා නැත. ඉන් එහා ලොවක් ඔවුන් දන්නේ ද නැත.
ඉතින් ඔවුන්ට සිය කුඩා ලෝකය විවිධ චරිත මගින් කෘතිවලට නගනු
විනා ජීවිතයේ ගැඹුර සොයන්නට හෝ සමාජය ගවේෂණයට
උවමනාවක් නැත. විසල් පොත් කඳු අතර සැරිසරමින් සිය
සඳලුතලාවේ සැප පුටුවකට බරවී ඇස් මානයේ ලෝකය ගැන නන්
විසිතුරු සුඛාන්ත සහ ශෝඛාන්ත මැවීම ඔවුන්ගේ ක්‍රමයයි. ඒවා
වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල දේශකවරුන්, නිතීඥයින්, ධනපතියන්,
ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ නියම් අනියම් බිරින්දෑවරුන්ගේ කතා ය.
ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ කතා ය. රටේ මේ පැලැන්තියට අයත්
පිරිස ඉතා ම සුළුතරයකි. අතිබහුතරය ජීවත්වන්නේ ඉන් ඔබ්බේ
නොවෙද? නිර්මාණකරුවා ඒ මහා සමාජ ප්‍රවාහයට පිටුපා සිහින්
දිය කදුරක් වන් මධ්‍යම පන්තියේ පිළුණු කතන්දරය නැවත නැවත
නවකතා නමින් පාඨකයාගේ ඇඟේ ගැසීම අවාසනාවකි.

නිර්මාණකරුවාට සියුම් වෙණ තතක් මෙන් සුසංවේදී හදවතක් ද
ජීවිතයේ මතුපිට කඩතුරාව විනිවිඳ යථාර්ථය දැකිය හැකි තියුණු
නුවණක් ද තිබිය යුතු ය. පොත පත පරිශීලනයෙන් ඒ ශක්‍යතා
මුවහත් කර ගත යුතු ය. සමාජය නමැති විසල් පොත කියවමින්
පෙර කී ලෙස උකහා ගත් දැනුම සිය ආධ්‍යාත්මයට අවශෝෂණය
කර ගත යුතු ය.(පැහැදිළිව කිවහොත් කලාතුරකින් හෝ සමාජයේ
රස්තියාදුවක් ගැසිය යුතු ය.) දැනුම සහ යථාර්ථය අතර පරස්පරතා
එකඟතා සමඟ අරගල කළ යතු ය. හෘදය සංවාදයේ යෙදිය යුතු ය.
නුවණ සහ හදවත අතර ද්වන්ධ සටනට ඉඩ හළ යුතු ය.
අවසානයේ නිර්මාණකරුවා කලා කෘතියක් ලෙස සමාජයට බිහිකළ
යුත්තේ එකී දුෂ්කර ක්‍රියාවලියේ සාරයයි. එය මධ්‍යම පන්තික
කතන්දර කීමට වඩා දුෂ්කරක්‍රියාවකි. ඒ සඳහා නිර්මාණකරුවා
සමාජයට පිවිස එහි අභේද්‍ය අංගයක් බවට පත්විය යුතු ය. ඒ
මහා පොත කියවිය යුතු ය. බසයේ, කඩපිළේ, කම්හලේ, ඉළවු
ගෙදර, ගමේ පිංකම් පොළේ, මුඩුක්කු නිවසේ, පැල්පතේ,
වෙරළේ හමුවන්නේ එහි ගැඹුරු පරිච්ඡේදයි. යමෙකුට් හොඳ
ලේඛකයෙකු වීමට අවශ්‍ය නම් ඔහු රේල්ලුවේ තුන්වන පංතියේ
ගමන් කළ යුතු යයි වරක් මහත්මා ගාන්ධි කීවේ ඒ අරුතිනි.
එහෙයින් සඳලුතලාවෙන් බැස සමාජයට පිවිස එහි උරෙනුර ගැටී
ජීවත්වීමෙන් පමණක් නිර්මාණයක් බරසාර වන්නේ යයි අපට
කිව හැකි ය. එය පාඨකයා ප්‍රකම්පණය කරන නිර්මාණයක්
වන්නේ.මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' වනකතාවක්
වන්නේ ද එය මෙවර මගේ පුංචි තීරුවේ ඉඩ පැහැර ගන්නේ ද
ඒ අර්ථයෙනි.

කෘතිය ගෙත්තම් වන්නේ පුත්තලමේ කල්පිටියට ආසන්න
බත්තලංගුණ්ඩුව නමැති දූපත වටා ය. ඇන්තනි සහ ඔහුගේ
ඥාතීන් පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රබන්ධය දූපතේ
සමස්ත ධීවර ජීවිතය වෙත එල්ල කළ තියුණු ආලෝක පුංජයක්
වැනි ය.ධීවරයෝ දරිද්‍රතාවෙන් සහ කටුක පරිසයෙන් නොතිප්
පීඩා විඳිති. ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර ධීවර ජීවිත
ගිරයට හසුවූ පුවක් ගෙඩියක් මෙනි. පිරිසක් දිවි මකුළුවන් මෙන්
මේ දුප්පත් ජනතාව සූරා කති. මෙකී නොකී සකල වියාදීන්ට
අසරණයෝ කිතු දහමේ ද දුම්වැටියේ සහ මත් පැනේ ද සහනය
සොයති. කටුක යථාර්ථයට එරෙහිව උඩුගං බලා පිහිනන්ට
තතනන ඇන්තනී ද අවසන එහි ම ගොදුරක් වෙයි. කෘතිය පුරා
ඉතිරී පැතිරී ගිය ධීවර උපසංස්කෘතිය පාඨකයාට නැවුම් අත්දැකීමකි.
එම තත්ත්වයන් අතර දෝලනය වන 'බත්තලංගුණ්ඩුව' සහෘද හද
මනස කම්පනයෙන් මුසපත් කරයි. සදාතනික රිදුමක් මතකයේ
ශේෂ කරමිනි; ඒ සුන්දර ආඛ්‍යාණය නිම වන්නේ.

මෙම නවකතාවේ වඩාත් අගය කළ යුතු වන්නේ භාෂා භාවිතයයි.
බස වැහැරීමේදී වෙඩිවර්ධන තුළ සිටින කවියා ගලිවරයෙක් මෙන්
නැඟී සිටියි. ඔහු වචන යොදන්නේ මසුරු සිටාණන්ට වඩා
ලෝබකමිනි. කෘතිය පුරා විහිදී පැතිරී යන එම කාව්‍යයමය බස් වහර
'බත්තලංගුණ්ඩුව' ගද්‍ය කාව්‍යයක තත්ත්වයට ඔසවා තබයි. නවකතාව
යනු 'එකමත් එක රටක සිදුවූ යමක්' පැවසීමෙන් ඔබ්බට ගිය තියුණු
භාෂා හරඹයක් බවට මෙය කදිම නිදසුනකි. කෘතිය එම ධ්‍යානයෙන්
මිදෙන්නේ අවස්ථා කිහිපයක පමණක් බව පැවසීම එහි ප්‍රකට භාෂා
විශිෂ්ටත්වය අවප්‍රමාණ කිරීමක් නම් නොවේ.

බත්තලංගුණ්ඩුවේ දක්නට ඇති කැපී පෙනෙන දුබලතාව පශ්චාත්
නූතනවාදී භාවිතයයි. කතුවරයාගේ මනස්කාරයන් බලෙන් චරිත මත
පැටවීම එම චරිතවල විශ්වාසනීයත්වය පළුදුවීමට ද චරිතවල ගලායාම
අවහිර කිරීමට ද හේතු වී ඇත. නගරයේ පාසැලක අධ්‍යාපනය
ලැබූ ඇන්තනී මගින් එකී අදහස් ගලා ඒම ඉවසිය හැක්කකි. එහි
අභව්‍යය බවක් ද නැත. එහෙත් පශ්චාත් නූතනවාදී ධීවරයින්,
හෙදියන් කතුරයාගේ මනසේ හොල්මන් කරන අවතාරය. මනස්
පුතුන් ය. ආරම්භයේදී දැඩි ලෙස පශ්චත් නූතනවාදී අදහස්වලින්
භෞතීස්ම ලද චරිත අවසන කතුවරයාගේ ග්‍රහනයෙන් මිදී තත්‍ය
ලෙස හැසිරෙන්නට වීම පැහැදිළිව දැකිය හැකි ය. පශ්චත් නූතනවාදී
බරවයෙන් මිදුණු වහා එම චරිතවලින් සැබෑ ජීවන සුවඳ වහනය
වන්නට පටන් ගනී. ඒ සමඟ ඔවුන් අපේ නෑ සියෝ බවට පත්ව අප
සමග ජීවත් වන්න‍ට පටන් ගනී.එය කතුවරයා අනුදැනුමෙන් තොරව
සිදුවූ මුත් කෘතියේ විශිෂ්ටත්වයට හේතුවූ සාධකයක් බව කිව යුතු ය.
විවේචනයට බදුන් වන ඔහුගේ දේශපාලන දෘෂ්ටිය අනවශ්‍ය ලෙස
ඉස්මතු නොකිරීම ද හොඳ ලකුණකි.

කෙසේ වුව ද මංජුල වෙඩිවර්ධන නිසදැස් නමැති අර්ධ කාව්‍යවල
පළ නොකළ ප්‍රතිභාවක් නවකතාව විෂයෙහි පළ කර තිබේ.
වත්මන් නවකතා හා සසඳන කල්හි එය සැබවින් ම විශිෂ්ට
රසපූර්ණ කෘතියෙකි.

No comments: