2007-12-20

කුවේණිගේ පොඩි දියණියේ



නුවර ඇඟලුම් කම්හලේ
සළු වියන නිමලා නංගියේ
සනුහරේ මගේ සිටු කුලේ
මා නුඹෙ ලොවින් පිටමං කළේ

නිදිවරා තුන්තිස් පැයේ
නුඹ_යෞවනය වියදම් කළේ
සඳළුතලයට මන්දිරේ
මගෙ_නුඹ නොවෙයි නිමලා වුණේ

ගොතන මුත් සළු බුහුටියේ
නුඹෙ_ජීවිතේ කඩතොලු පෙනේ
ප්‍රේමයට සැළමුතු අපේ
ඒ_නිසයි හිරු සඳු නොනැගුණේ

මේක ගී පද මාලාවක් විදිහට මම ලීවේ.ගීතය සහ කවිය කියන්නේ
මාධ්‍ය දෙකක්.කවිය කවියගේ මාධ්‍යය.ගීතය සාමුහික නිර්මාණයක්
වුවත් අවසන් වශයෙන් සංගීතඥයාගේ මාධ්‍යය.කවිය අර්ථ ධ්වනිය
ජනනය කරනවා. කවියෙදි ශබ්ද ධ්වනිය කියන්නේ අර්ථ ධ්වනිය
උද්දීපනය කරන අංගයක්. ගීතයෙදි ප්‍රධාන වෙන්නේ ශබ්ද
රසය.ඇතැම් විට එය ශබ්ද ධ්වනිය බවට පත් වෙනවා විශිෂ්ට
සංගීතඥයා අතේ. චිත්‍රසේනගේ නල දමයන්ති නාටකයේ එන
"ඈත කඳුකර හිමව් අරණේ" ගීතයේ සංගීතය අමරදේව මුලින්
නිර්මාණය කරනවා. පස්සේ මහගම සේකර උචිත ගී පද
මාලාවක් ලියනවා. මට හිතෙන්නේ එක සාර්ථක ගී නිර්මාණයක්.
ගීතයක සාහිත්‍යය රසය විදින අය දුලබයි. එය මූලික වශයෙන්
ශබ්ද මාධ්‍යයක් කීවේ ඒකයි. ගීතය කියන්නේ ශෝතෘ
ජනයාගේ හෙවත් අසන්නන්න්ගේ සිත් ප්‍රිය කරන
සුළු වූ
ස්වර සංදර්භය හෙවත් ස්වර සමූහය යි.
(එම්.ජී.පෙරේරා_1933) මිනිස් කට හඬත්
මධුර නාද කෘතියත්
යන කලාංගයන්ගේ සංයෝජනය ගීතයයි.

(අමරදේව_සිළුමිණ_07.10.07)
මේ නිර්වචන දෙකෙන් ම
කදිමට පැහැදිළි වෙනවා. කවිය සහ ගීතය අතර වෙනස. නාදයට
තමයි මුල් තැන දීලා තියෙන්නේ ගීතයේදී. සාහිත්‍යය පිළිබද අවධානය යොමු
කරලා නැහැ. එහෙත් මෙම වෙනස බොහෝ දෙනෙක් හදුන
ගෙන නැහැ.
සංගීතය, ශුද්ධ සංගීතය සහ ව්‍යවහාරික සංගීතය යනුවෙන් දෙවැදෑරුම්
වෙනවා. රවි ශංකර්ගේ සිතාර් වාදනයක් එහෙම නැත්නම් සිම්පනියක්
අයිති වෙන්නේ ශුද්ධ සංගීතයට. ගීතය අයත් වෙන්නේ ව්‍යවහාරික
සංගීතයට. ගීතයට ජනප්‍රිය සංගීතය කීවත් වරදක් නෑ. එහි විවිධ
ප්‍රභේද තියෙනවා. ශාස්ත්‍රීය, සරළ ශාස්ත්‍රීය, ජන ගායනා ආදි
වශයෙන්. ඒත් හය හතරේ රිද්මයට දෙපා නැටවෙන්න මල් පන්සල්
පල්ලි දේවාල පිළිබද කියන නන්දෙඩවිලි නම් මේ කිසිම කොටසකට
අයිති නෑ කියලත් කියන්න ම වෙනවා.

3 comments:

Madhuranga Rathnayake said...

අනර්ඝයි!!! අති විශිෂ්ධයි!!!

රසවිදින්න පුළුවන් වෙනස් බ්ලොග් එකක්!!

දිගටම ලියන්න වාසනාව ධෛර්‍ය ලැබෙන්න කියලා පතනවා!!

ජය෴

නාමල් උඩලමත්ත said...

ඔයාගේ දිරිගැන්වීමට ‍බොහො ම ස්තුතියි.මම දිගට ම ලියනවා. මේ දවස්වල නම් මම විභාගයකට ‍පාඩම් කරන නිසා විවේකය අඩුයි.කොහො ම වුවත් ජනවාරි අග සිට නම් සුපුරුදු පරිදි දිගට ම ලියනවා.

Anonymous said...

It is very pleasing to see someone who has the talent to write 'sugama' Sinhalese, now-a-days. (I don't know how to use the Sinhala fonts..a pity!)
Very nice Namal, keep it up!