2007-12-17

ණයට ගත් කන්නාඩි


*ගුවන් හමුදා ප්‍රහාරයකින් LTTE දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් මිය යයි.
_රජයේ මාධ්‍ය

*ශ්‍රි ලංකා ගුවන් හමුදා ප්‍රහාරයකින් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ඇතුලු නායකයන් කිහිප දෙනෙක් මිය ගිය බව එහි මාධ්‍ය ප්‍රකාශක රාසයියා ඉලන්තේරියන් ද පිළි ගත්තේ ය.
_බීබීසී සේවය

*ගුවන් හමුදා ප්‍රහාරයකින් LTTE දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් මහතා මිය යයි.
_සිරස මාධ්‍ය ජාලය

මේ සියලු මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක ම ප්‍රවෘත්තියක් ද? තමිල් සෙල්වම්ගේ හදිසි අභාවය පමණද? මෙම ප්‍රකාශයන්හි අන්තර්ගත දේශපාලනයක් තිබේ ද? එය ඔබ දුටුවාද? නොඑසේ නම් ඔබ පැළඳ සිටින ණයට ගත් කන්නාඩිය මෑත් කර ඒ දෙස බැලීමට කාලයයි මේ.

ප්‍රථම ප්‍රකාශයෙන් රජයේ මාධ්‍යයන්හි අපරිණත දේශපාලන දෘෂ්ටිය කදිමට පැහැදිළි වේ. සැබවින් ම LTTEට දේශපාලන අංශයක් තිබේ ද? එය ක්‍රියාත්මක වන්නේ පිරබාහරන්ගේ නායකත්වයෙන් තොරව ද? පිරබාහරන් සන්නද්ධ අංශ නායකයා පමණ ද? සෙල්වම් යෂ්ටියක් ආධාරයෙන් ගමන් කළේ සාම සාකච්ඡා සඳහා දුවපැන හංදි රුදාව-කකුල් කඩිත්තු වැළදීමෙන් ද? සැබවින් ම ඊනියා "දේශපාලන අංශය" යන කඩතුරාවට මුවා වී සෙල්වම්ලා ලොව වටා යමින් පිරබාහරන්ගේ නාසිවාදය සාධාරණීකරණය කිරීම සහ අවි ආයුධ රැස්කිරීම හැර කළේ කුමක් ද? ම්ලේච්ඡ නාසි ත්‍රස්තවාදයෙන් තොර ආගමක් දහමක් දර්ශනයක් පිරබාහරන්ට නැති බව ලොවට ගෙන යා යුතු රජයේ මාධ්‍ය හැසිරෙන්නේ ඉතා ම බොළද ලෙස බව මෙමගින් පැහැදිළි වේ.

අල්කයිඩා මෙන් ම LTTEය බ්‍රිතාන්‍යයේ තහනම් ත්‍රස්ත සංවිධානයකි. එහි අර්ථය එම සංවිධානවලට කිසිදු මූල්‍ය දේශපාලන සහයෝගයක් රජය ලබා නොදෙන අතර එහි වැසියන්ට ද ඒවා තහනම් බව ය. එය රාජ්‍ය විරෝධි ක්‍රියාවක් බවය. එහෙත් බ්‍රිතාන්‍යයේ බීබීසීය පවසන පරිදි LTTEය විමුක්ති සංවිධානයකි. න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ ඇඩෙලා බාලසිංහම්ට එරට රැදි සිටීමට හෝ LTTEය වෙනුවෙන් කටයුතු කිරීමට එරට බාධාවක් නොමැත. පසු ගිය දා එරට පැවති LTTE සමරු උත්සවවලට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද සහභාගි වූහ. මේ ආකාරයට අල්කයිඩා සාමාජිකයන්ට එහි කටයුතු කළ හැකි ද? 9/11 ප්‍රහාරයෙන් පසු සමස්ත යුරෝපා වාසී මුස්ලිම් ජනතාවට කෙතරම් අතවරවලට ලක්වීමට සිදු වී ඇද්ද?

මේ අනුව අප අවබෝධ කර ගත යුත්තේ බ්‍රිතාන්‍යයේ LTTE තහනම හුදු මිත්‍යාවක් පමණක් බව නොවෙද? ඔවුන්ගේ සතුරන් අපේ ද සතුරන් ලෙස සැලකුව ද ඔවුන් අපේ සතුරන් සුරතලුන් ලෙස සලකන බව නොවෙද? මේ ඉතා ම සුළු කරුණ පවා අපට අවබෝධ නොවන්නේ අනුන්ගේ කන්නාඩිවලින් ලෝකය දෙස බලන නිසා ය. අපට හුදු ප්‍රවෘත්තිය විනා ඉන් ගම්‍යමාන වන දේශපාලනය වටහා ගැනීමට ශක්‍යතාවක් නොමැති වීම අවාසනාවකි. අප දකින ලෝකය බීබීසී,සීඑන්එන්,රොයිටර් වැනි මාධ්‍ය ජාලා විසින් අප මත ආරෝපණය කරන ලද්දකි. ඒ නිසා ලෝකය දෙස අපේ ම වූ දෘෂ්ටියකින් බැලීමේ හැකියාව ජාතියක් ලෙස අප වහා පුරුදු කර ගත යුතු ය. එවිට අපේ නියම සතුරන් හදුනා ගැනීම මහ ලොකු කජ්ජක් නොවේ.

No comments: