2007-12-04

නූතන ජන කථාවක්

ජන කථා, ජන කවි බිහි වන්නේ පෝෂණය වන්නේ ජනතාව
ඇසූරේ ය.රටක ජනතාව එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන
විවිධ අත්දැකීම් ඇසුරින් ජන සාහිත්‍යාංග බිහිවේ.ජනතාව
ලැබූ විවිධ ජීවන අත්දැකීම් විෂයෙහි ඔවුන්ගේ ප්‍රතිචාරය එම
නිර්මාණවල නිතැතින් ම ගැබ්වේ. කාලයෙන් කාලයට
ප්‍රදේශයෙන් ප්‍රදේශයට නොයෙක් වෙනස්කම්වලට ගොදුරු
වීම,ඒක කතෘක නොවීම, කතෘ අඥාත වීම, මිනිසුන්ගේ අව්‍යාජ
ජීවන අත්දැකීම් ඇතුලත් වීම ජන සාහිත්‍යයේ ලක්ෂණ කිහිපයකි.
දැන් ඔබ කියවන්නට සුදානම් වන්නේ ද එවැනි සුන්දර
කතන්දරයකි. එම කතන්දරයේ යටි පෙළ කියවීමෙන් ඔබත්
මාත් අද දවසේ මුහුණ දෙන අභියෝග පිළිබඳ යම් අවබෝධයක්
ලද හැකි ය.
දිනක්, එක්තරා ඈත අප්‍රිකානු රටක එඬෙරෙක් සිය
විශාල බැටළු රංචුව තණ බිමක් කරා දක්කමින් සිටියේ ය. එම
බැටළු රංචුව කෙතරම් විශාල කිවහොත් එක් ස්ථානයක් පසු
කිරීමට විනාඩි කිහිපයක් ගත විය. බැටළු රංචුව පාරක් හරහා
දක්කන අතර එහි පැමිණි සුඛෝපභෝගී රථයක් නතර
කෙරිණි. ඉන් එළියට පිවිසියේ අව්කන්නාඩි පැළඳ
සිගරට්ටුවක් උරන අමුත්තෙකි.
"මට පුළුවනි ඔහේගේ බැටළු රංචුවේ ඉන්න බැටළුවෝ
ගණන හරියට ම කියන්න.කීවොත් ඔහේ මොනවද මට
දෙන්නේ?" එඬේරා දෙස උජාරුවෙන් බැලූ අමුත්තා විමසුවේ ය.
"මහත්තයාට මගේ මේ කළු බැටළුවා දෙනවා" එඬේරා සිය
බල්ලා පෙන්වමින් පිළිතුරු දුන්නේ ය.
අමුත්තා වහාම සිය රථයෙන් ලැප්ටොප් පරිගණකය එළියට
ගත්තේ ය. පරිගණකය රථයේ බොනට්ටුව උඩ තබා සක්‍රිය
කළ අමුත්තා ගුවන් චන්‍ද්‍රිකාවක් හා සම්බන්ධ වී රංචුවේ
බැටළුවන් ගණන හරියට ම කිවේ ය. විස්මයෙන් ඇළලි ගිය
මුහුණක් දකිනු රිසියෙන් තමා දෙස බැලූ අමුත්තාට මඳ
සිනාවකින් සංග්‍රහ කළ එඬේරා ඔහුගෙන් මෙසේ ඇසුවේ ය.
"මහත්තයා ලෝක බැංකුවේ උපදේශකයෙක් නේද?"
එම ප්‍රශ්නයෙන් පුදුමයෙනුත් පුදුමයට පත් අමුත්තා තමා
ගැන දන්නේ කෙසේදැයි එ‍ඬේරාගෙන් දිගින් දිගට ම
විමසන්නට විය.
"මම දැන ගත්තා" යනුවෙන් විළියෙන් ඇඹරෙමින් එඬේරා
දුන් කෙටි පිළිතුරින් සෑහීමට පත් වීමට ඔහු කිසිසේත් කැමති
නොවීය.
"කාරණා තුනක් හින්දා මම හිතුවා මහත්තයා ලෝක බැංකුවේ
වෙන්න ඇති කියලා"එඬේරා සිය බැටළු රංචුව දෙස බලමින්
කීවේ ය.
එම කාරණා මොනවාදැයි දැන ගැනීමට අමුත්තාට ඉවසිල්ලක්
නැති විය.
"පළවෙනි එක මගේ කිසිම ආරාධනාවක් නැතිවයි මහත්තයා
මගේ උදව්වට ආවේ. දෙවැනි කාරණේ මහත්තයා මට කියලා
දෙන්න හැදුවේ මම කොහොමත් දන්න දෙයක්. අනෙක මගේ
මේ බල්ලා බැටළුවෙක් විදිහට අදුන ගත්ත ම මට තේරුණා මේ
රට ගැන මහත්තයා මෙලෝ සංසාරේ දෙයක් දන්නේ නෑ කියලා"
ලැජ්ජාවෙන් රතු වන අමුත්තාගේ මුහුණ දෙස බලමින් එඬේරා
දිගට ම කියා ගෙන ගියේ ය.

7 comments:

Dulip's Thoughts said...

that is hilarious!!!

Nalaka (නාලක) said...

නියමයි.
මේ වගේම කතාවක් කලින් අහල තිබ්බා වගේ මතකයක් තිබ්බත්, මට හිතෙන්නේ ඒ කතාවෙ ‍හිටියෙ ලෝක බැංකුවෙ පො‍රක් නෙවී කියලා... :)

Namal Udalamatta said...

ආදර නාලක අයියාට,
ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.මේ කතාව මීට පෙර විවිධ විදිහට අහලා කියවලා ඇති.ඒක තමයි ජන සාහිත්‍යයේ ස්වභාවය.අනවරතයෙන් වෙනස් වෙනවා.එකම කථාව තමන් අත්විදින අත්දැකීම් ප්‍රකාශනයට යානයක් කර ගන්නවා.මේකත් එහෙමයි.මමත් කියවපු කථාවක් මේ විදිහට ලීවේ ඒක අප්‍රිකාවට විතරක් නෙමේ අද දවසේ අපිත් අත්දකින යථාර්ථය නිසා. ටිකක් විමසිල්ලෙන් බැලුවොත් අඩු ආර්ථික සංවර්ධනයක් සහිත සියලු ම රටවල් මේ ඉරණමට ගොදුරු වී ඇති බව පැහැදිළි වෙනවා.

෴ මහේෂ්-ඩී-ජය ෴ said...

ලෝක බැංකුවට නිර්මාණාත්මක අපහාසයක්

Namal Udalamatta said...

මහේෂ් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.මට උවමනා කළේ ලෝක බැංකුව ජාත්‍යන්තඑ මූල්‍ය අරමුදල වගේ ආයතන ලෝකේ වටේ රස්තියාදු ගහමින් කරන්නේ මොනවද කියලා කියන්න සහ එහි ඇති අවදානම පෙන්වන්නයි. මේ අය එන්නේ අපට උදව් කරන්න නම් නෙමේ. අපට ණය දීලා.ඒ ණය උගුලේ අපි හිරවූණා ම මස් රාත්තලම ඉල්ලලා කොන්දේසි දාන්න.අපේ රටවල පාලනයට ඇඟිලි ගහන්න.ඔවුන්ට නටවන්න පුළුවන් රූකඩ පාලකයෝ අපේ රටවල බෝ කරන්න.අවසානයේ අපේ අටවල් හූරා කාලා ඔවුන්ගේ මව් රටවල් පෝෂණය කිරීම.ඒක තමයි නව යටත් විජිත ක්‍රමය.ඉස්සර වගේ හමුදාව ඇව්ත් රටවල් අල්ලන්නේ නෑ. මේක ඊට වඩා හරිම පහසුයි. ලේසියි. අප්‍රිකාවේ බොහෝ රටවල් මේ උගුලට අහුවෙලා කෑලිවලට කැඩිල විනාශ වෙලා ගිහින් ඉවරයි. අපි ඒ අවදානම ඒ බරින් අවබෝධ කර ගන්න ඕන.මේ කථාවේ උපහාසයක් විනා අපහාසයක් නෑ.

Namal Udalamatta said...

Dear Dulip sir,
Thank you so much for your critical comments.

Namal Udalamatta said...

Dear Dulip sir,
Thank you so much for your critical comments.