2007-11-29

බළලා මල්ලෙන් පැනීම

වන්නි කැලෑවේ සැඟව සිටින පිරබාහරන් සුපුරුදු ඊනියා විරු දින කතාව 26 වැනිදා කළේ ය. සමස්තයක් ලෙස එම කතාව, විරෝධාර ශ්‍රී ලංකා හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ දිනෙන් දින වියැකී යන ඊලම් සිහිනය සහ ළඟ ළඟ ම දැනෙන මර බිය හමුවේ සලිත වූවෙකුගේ අඳෝනාවක් පමණි. "මම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු සහ ආරක්ෂක ලේකම්වරු කිහිප දෙනෙක් දැකලා තියෙනවා.නමුත් ඔවුන් දැකලා තියෙන්නේ එක පිරබාහරන් කෙනෙක් පමණි" වර්ගයේ උදම් ඇනීම් මෙවර නැත. කෙටි කාලයක් තුළ ඊනියා ඊලම් රාජ්‍යයේ අගනුවර ඇතුලු සමස්ත නැගෙනහිර පලාත ද තමිල් සෙල්වම් ඇතුලු දෙවන පෙළ නායකත්වය ද අහිමි වී ගිය ද විකිණිය හැකි තරමේ ජයක් ලබා ගත්තේ නැත. තම ත්‍රස්ත ක්‍රියාවන්ට ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සහය ප්‍රමාණවත් නැතැයි පිරබාහරන් මැසිවිලි නැගීම පිළිබඳ පරිස්සම් විය යුතු ය. ඇතැම් දේශපාලන විශාරදයින්, ජගත් ප්‍රජාව ශ්‍රී ලංකා රජය සමඟ එක පෙළට සිට LTTE ත්‍රස්තවාදයට වැට බැඳ ඇතැයි කිවහොත් අප පුදුම විය යුතු නැත. පිරබාහරන්ගේ ඉහත කතාව එවැනි විශාරදයින්ගේ තෘප්තිය සඳහා ඇද බෑ බින්නයකි. සැබෑව නම් පිරබාහරන් ජීවග්‍රාහයෙන් ම අල්ලා ගෙන මෙම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තිබූ සියලු අවස්ථා ජගත් ප්‍රජාව දෘෂ්ට ලෙස අපෙන් උදුරා ගත් බව ය.
ඔහුගේ කතාවේ අවධානය යොමු කළ යුතු වැදගත් ම කොටස නම් ලොව පුරා මිලියන 80ක් පමණ ද්‍රවිඩ ජනතාව සිටියත් ඔවුන්ට ස්වාධීන රාජ්‍යයක් නොමැති බැවින් ඊලම් රාජ්‍යය ලබා ගැනීමට සියලු ද්‍රවිඩයන් එක් විය යුතු බවට කරන ලද ප්‍රකාශයයි.මෙය සැබවින් ම බළලා මල්ලෙන් පැනීමකි. සිංහල මහ ජාතිය දෙමළ ජනතාවගේ අයිතීන් පැහැර ගෙන ඇතැයි කියමින් මෙතෙක් කල් ගෙන ගිය රංගනය දැන්වත් අප අවබෝධ කර ගත යුතු ය. ඔවුන්ගේ එක ම අරමුණ තම වර්ගයා සඳහා වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමයි.එහි නායකයා ලෙස වැජඹීමයි. දෙමළ ජනතාවගේ අයිතීන් ඒ සිහින රාජ්‍යය තරණය කරනු සඳහා යොදා ගන්නා පහුරක් පමණි. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, නීලම් තිරුචෙල්වම්, ශ්‍රී සබාරත්නම්, රාජිනි තිරාණගම, ඒ.අමිර්තලිංගම්, ලක්‍ෂමන් කදිරගාමර්, කේතීෂ් ලෝගනාදන් ඇතුළු සිය ගණනක් දෙමළ මිනිසුන්ගේ ජීවත්වීමේ නිදහස උදුරා ගත් ලේ පිපාසයෙන් අද ද ආනන්ද සංගරී, ඩග්ලස් දේවානන්ද පසුපස ලුහුබඳින පිරබාහරන්ගෙන් ද්‍රවිඩයන්ට ලබා ගත හැකි විමුක්තිය කුමක් ද? සැබවින් ම ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ නායකයන්ගේ ජීවිත මේ විමුක්තිවාදියාගෙන් බේරා ගැනීමේ වගකීම ද පැවරී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවන් වෙත ය.
දරා ගත නොහැකි ප්‍රහාර හමුවේ වියරු වැටී සිටින පිරපාහරන් තැන තැන බෝම්බ පුපුරවන විට ඔහුගේ කොන්දේසි යටතේ සාකච්ඡාවලට ගොස් ඉල්ලන සියලු වරදාන ලබා දී රූ වැටුණු වළේ දවල් වැටෙනවා ද සියලු වඳ වේදනා දරා ගෙන මේ ත්‍රස්ත පිළිලය මාතෘ භූමියෙන් අතුගා දමනවා ද යන්න ඔබ තීරණය කළ යුතු ය. ඔබේ තේරීම පළමු වැන්න නම් නිශ්ඵල සාම සාකච්ඡාවලට යනවාට වඩා රටේ භූමියෙන් 3‍/1ක් ද මුහුදු තීරයෙන් 3/2ක් ද ඊලම් රාජ්‍යයට ලබා දී පරාජය භාර ගැනීම වඩා හොද ය. එහෙත් එය අවසානය නොවනු ඇත. මෙම ඊලම් රාජ්‍යයට නොබෝ කලකින් ම කන්ද උඩරට ද ඈඳා ගනු ඇති අතර සදාකාලික දේශසිමා අර්බුදයක් නිර්මාණය වනු ඇත. එවිට ඉතා සුළු ප්‍රශ්නයක් මුල් කර ගෙන මධ්‍යම කඳුකරයෙන් ගලා බසින ගංගා ජලය නවත්වනු ඇති අතර අපට තෙල් මෙන් ම ජලය ද ආනයනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත.ඊලම් රාජ්‍යයෙන් වීසා පහසුකම් ලබා දුන්නොත් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමේ අවස්ථාව ද බෞද්ධ අපට හිමි වනු ඇත. කොටින් ම මව්බිමේ ම වහලුන් ලෙස අපේ අනාගත පරම්පරාවට ජීවත්වීමට සිදුවනු ඇත. රට කරවන නායකයන්ගේ දරු මුනුබුරු රොත්ත විදේශයක් සිය ස්ථීර නිවහන කර ගනු ඇත. ඔබේ තේරීම දෙවැන්න නම් ඒ අනුව අප වහා පෙළ ගැසිය යුතු ය. රටට ම එක පෙළට සිට ගෙන අපට කළ හැකි දෙ කරමින් ඊට දායක විය යුතු ය. මේ රටේ එක පයක් ද තවත් රටක අනෙක් පය ද තබා ගෙන සිටින පිරිස් සිය දේශපාලන දර්ශනවල ඇති තර්තානුකූලභාවය පිළිබඳ වාද කරමින් කල් අරිනු ඇත. උපන් රට තව්තිසාවටත් වඩා අගයමින් එහි ජීවත් වන සියලු දෙනා ද ලොව කොතැන ගියත් මව්බිමට විත් අවසන් හුස්ම හෙලන්න බලා සිටින සියලු දෙනා ද සිය දේශය ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ සටනට හැකි අයුරින් දායක විය යුතු ය.
ඉපදුනු රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුණු බරක් මෙන් ලංකා පොළව පිට
සිටිනා එක හොඳද සිංහල පුතෙකු හට
(එස්.මහින්ද හිමි)

No comments: