2007-12-06

පූජියාමා කන්ද පාමුළ

නිල් කැටයක් රන් හුයකින් බැඳ තැබුවා වාගේ
අර බලන්න දේදුන්නක් පායා නිල් අහසේ
ගල් ඇන්දේ දිගා වෙලා හීන් දොළේ ඉවුරේ
නිල් දෑසින් මා වෙළමින් කීවා හොර රහසේ

සුරතලයට නුඹ තෙපලන සොදුරු වදන් අතරේ
මා කුරු කුහුඹුවකු විණැයි කිව යුතුයයි නොහැඟේ
පායා දේදුන්න අදත් ගිනි අරගෙන වාගේ
ගල් ඇන්දේ මා විතරයි වැසි කදුලැලි බෝවේ

කාලෙකට පස්සෙ කවියක් ලීවේ. ඒක භාවනාවක්නේ.මේක
නිසඳැසක් නම් නෙමේ.මේක අපේ සාම්ප්‍රදායික විරිතක්
ඇසුරින් ලීවේ.සිංහල නිසඳැස් කියන්නේ මට නම් කවි නෙමේ.
ශබ්ද රසය(ශබ්ද ධ්වනිය) කියන කොටස ඉවත් කරලා
දාර්ශනික අදහස් ප්‍රකාශ කරන්න තනා ගනිපු මෙවලමක්
නිසඳැස. ඒක හරියට අංශභාග රෝගියෙක් වගෙයි. පැත්තක්
මැරිලා. මේ මැරිච්ච පැත්ත එක්ක නිසඳැසට තවත් ඉදිරියට
යන්න බෑ කියලා තේරුණාම අපේ අය කළේ ඒකට තනුවක්
දාලා ගීතයක් ලෙස ගායනා කිරීම. කරන්න තිබුණේ නොසලකා
හැරපු ශබ්ද ධ්වනියට නැවත සිංහල කවියේ හිමි තැන ලබා
දීම. අපේ සාම්ප්‍රදායික විරිත් නූතන අත්දැකීම් ප්‍රකාශනයට
නැවත යොදා ගැනීම. ඒත් එහෙම කරන්න තරම් ප්‍රතිභාවක්
තිබුණේ කුමාරතුංග මුනිදාස, ගුණදාස අමරසේකර, මොනිකා
රුවන් පතිරණ,දයාසේන ගුණසිංහ, එරික් ඉලයප්ආරච්චි,
දර්ශන රත්නායක වගේ කිහිප දෙනෙකුට විතරයි. මේ සියලු
අය එක වගේ ප්‍රතිභාවක් ප්‍රකට නොකළට අඩු තරමින්
රෝගයට ප්‍රතිකාරය අවබෝධ කර ගත්තා. නිසඳැස්
රචකයෝ ලේසි පහසු මාර්ගය තෝර ගත්තා. ඉරුවා රදේට
කොට්ටේ මාරුකරනවා වගේ නිසඳැසින් බයිලා සාහිත්‍යයට
මාරු වුණා.
ඒත් කවියෙක් වෙන්න ලේසි නෑ. ඒකට ප්‍රතිභාව තිබුනට
මදි. පැරණි කවිය හදාරලා එහි සාරය උකහා ගත යුකුයි.
රස ජනනයට ඒ කවීන් භාවිත කළ උපක්‍රම හදුන ගත
යුතුයි. මොකද සිංහල රසිකයා වසර 2500ට වඩා කාලයක්
කවි රස විදලා ඒකට හුරු වෙලයි ඉන්නේ. ඒත් අලුත් කවීන්ට
අපේ සම්ප්‍රදාය ලැජ්ජාවට හේතුවක් වුණා මිසක් හැදෑරිය
යුතු මැණික් ආකරයක් වුණේ නෑ.සම්ප්‍රදාය සහ
ගතානුගතිකත්වය කියන්නේ සංකල්ප දෙකක් බව මේ අය
තව ම දන්නේ නෑ.මේවාට හේතුව අපේ දීන කම මිස අන්
කුමක් ද?
"ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි
නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට
විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන
නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි
කිසිවක් නැත."
(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)
කුමාතුංග මහතා ද පවසන පරිදි සියල්ලට මුහුදට දත නියවන
ජාතියකට කවිය ද බටහිරින් ගෙන ඒම හැර කවර
විකල්පයක් ද? බටහිර නිසඳැස මේ මහත්වරුන්ට ඉතා ම
ලාභ භාණ්ඩයක් වීමේ පහසු කලා ඉලක්කයක් වීමේ කවර
නම් අරුමයක් ද?

8 comments:

Nalaka (නාලක) said...

නාමල්, ලස්සන කවියක්!
හත් අට වතාවක් කීයෙව්වහම තමයි මට කවි‍ය තේරුනේ.
තේරුනා කීවට මම හිතාගෙන තියෙන්නෙ වැරදියට වෙන්නත් පුළුවනි.
:)

කොහොම වෙතත්, කවියේ නියම රසය දැනුනේ කිහිප වතාවක් කියෙව්වාට පසුවයි.
ප්‍රශ්ණ ටිකක් තිබෙනවා...

"මා කුරු කුහුඹුවකු විණැයි ..." කියන කොටසින් අදහස් කරන්නේ මොකක්ද?

ඇයගේ (නිල් දෑසක් ඇත්තේ "ඇයකට" කියා හිතනවා...) චමත්කාරය තුල "මම" ගිලී ගිහින් ඉන්නවා වගේ දෙයක්ද?

"නිල් කැටයක් රන් හුයකින් බැඳ තැබුවා වාගේ" සහ "ගිනි අරගෙන වාගේ" පද ‍කොටස් වලින් මැවෙන චිත්‍ර රූප වල පරස්පර බව හරිම අපූරුයි.

‍කවි වල හොද නරක විචාරය කරන්න තරම් දැනුමක් නම් මට නැහැ.
ඒත් රස විදින්න ආසයි.

තව එකක්: "පූජියාමා කන්ද පාමුළ" කියා මේ සටහන නම් ‍කලේ ඇයි?

ඔබේ පැරණි සටහන් සියල්ල බැලුවා.
ඔබ ලස්සනට ලියනවා.
ඔබේ සිත් සටහනේ තවත් එක් යාවජීව සාමාජිකයෙක් වෙන්නයි මගේ අදහස.
:)

නාමල් උඩලමත්ත said...

නාලක අයියේ,
හැමදාම සංහිඳට ඇවිත් ඔයා දක්වන අදහස්වලට බොහොම ස්තුතියි.ඔයාට හොඳ වින්දන ශක්තිය තියෙනවා. සමාජයේ බහුතරයක් එහෙම වුණා ම අපිට නිතර දෙවේලේ අහන්න දකින්න වෙන නීරස දේවල් (සිංදු, ටෙලි, නාට්‍ය) ඉබේ ම අපවත් වෙනවා. ඒ වින්දන ශක්තිය පොත පත කියවලා ආයාසයෙන් වර්ධනය කර ගත යුතු දෙයක්. හරියට ගොරහැඬි යකඩ පතුරක් ගල ගාලා සියුම් මුවහත් කඩුවක් හදනවා වගේ. නිර්මාණයක් විවිධ වින්දන මට්ටම්වල අය රස විඳින නිසා එක ම නිර්මාණයට නොයෙක් අර්ථකථන ලැබෙන්න පුළුවන්. කලා නිර්මාණයක තියෙන චමත්කාරයත් ඒකමයි. මේ පුංචි කවි දෙක "පූජියාමා කන්ද පාමුළ" කියලා මම නම් කලේ ඇයි කියන එකට සංහිඳ බලන මගේ මිතුරන්ගේ අදහස් උදහස් දැන ගන්න මම හරි කැමතියි. ඒ ගැන තවත් අය මොනවා හරි ලියාවි. විශේෂයෙන් ඒ ගැන මේ දවස්වල එංගලන්තේ ඉන්න දුලිප් අයියාගේ අදහස් දැන ගන්න මම කැමතියි.

Dulip's Thoughts said...

dear namal and nalaka,
it is great to hear/see how a creation of art, in this particular instance namal's poem, gives rise to an academic discussion on aesthetic experience!!! as nalaka had mentioned, i am no expert in literary criticism, but would like to express my insights on this: i think many poets have tried to express their feelings in terms of things we find in nature, especially mountains, rivers, wind, moon, sun, flowers, rain, sky, sometimes the universe, as in this poem rainbows !!!
Namal, i always appreciate your ideas and writing skills, can you please send post on "why poets express their ideas in terms of natural phonomena?"
if i say something on namal's comment on nalaka's comment, you (namal)are correct, it is upto the reader to experience the piece of art in his/her own way, he/she can have his/her own interpretations, for example we cannot ask Shakespere, "What did you mean by this word or expression in Hamlet?"
I have read two ineteresting articles by prof sucharitha gamlath on this question?
"Kumak da ee ashwadaya?" -in Sahithya Nyaya:Aethem Prashna (Godage)
"Kathuwarayage Abhipraya" -in "Sokayath Rasayak da?" (Godage)
In these two articles he discusses this question with many examples from oriental and occidental literature from a philosophical perspective.
i hope you enjoy reading them!!
PS:i am still unable to type in sinhala due to technical limitation, apology!!

නාමල් උඩලමත්ත said...

බොහොම ස්තුතියි දුලිප් අයියාගේ මාහැඟි විග්‍රහයට.මම මී ළඟට කවිය පිළිබඳ ලියන ලිපියේ අයියා මතු කළ සියලු කරුණු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ක්‍ෂේත්‍රයට ම සීමා වෙලා ඉන්න බොහෝ අයට අයියා ලොකු ආදර්ශයක්.අපි යමක් ගැන සියල්ලත් සියල්ල ගැන යමකුත් දැන ගන්න ඕන කියලයි මට හිතෙන්නේ.ඒ අතින් බොහෝ අයට සාපේක්‍ෂව අයියලා ඉන්නේ ගව් ගාණක් ඉදිරියෙන් කියලයි මට හිතෙන්නේ.

සු෴ said...

මේ කවිය දැක්කේ අදයි එක හුස්මට තෙවරක් කියෙවිවා. විටෙක ජිවිතයට චමත්කාරය එක් කරන දේවල් ව්ටෙක අප ගිනි කන්දක් පාමුලට ගෙනත් දමනවා. දේදුන්නේ ස්වභාවය වෙනස්ව පෙන්නුම් කළ ආකාරය නම් අපූරුයි. කවි පොතක්ම කියෙව්වාට වඩා කියාගන්න බැරි හැඟීමක් මේ කවි දෙක කියවා විඳගත්තා. එය සංකීර්ණයි වගේම විචිත්‍රයි.
දැන් මමත් මේ සටහනේ නිත්‍ය රසිකාවියක් වේවි.
ස්තූතියි අපට කියවන්නට ඉඩ සලසන එකට

තරුරසී said...

කවියත් එක්ක මට හිතුණු දේවල්...

ආදරේ විඳිද්දි හැමදේම සුන්දරයි... ලෝකයම ලස්සනට පේනවා... ලෝකයම ගැන දයාවක්, ළෙංගතුකමක් ඇති වෙනවා... හැම වෙලේම හිනාවක් මුවේ රැ‍නෙවා... හිත හිනා වෙනවා වගේ දැනෙනවා...
සුන්දර ආදරයක් ලබද්දි අපි ඉබේම ඒ ආදරයට යට වෙලා යනවා... තමන් කියල කෙනෙක් එවැනි ආදරයක් තුළ නැහැ... ඒත් හැමදේම තාවකාලිකයි... ආදරයත් එලෙසමයි... දවසක හිත නිවන, සනසන ආදරයම තවත් දවසක හිත ගිනි අවුළුවනව.... සුන්තරව දෑසට පෙණුන දේදුන්න තවත් දවසක ගිනි අරන් වගේ දැනෙන්නෙ ඒ නිසයි.....
ආදරය අහිමි වුණාට පස්සෙ ආදරයත් එක්ක බැඳුණු හැම මතකයක්ම දුකක්, ගින්දරක් වෙන එක වලක්වන්න බැහැ... හැබැයි ආදරය වගේම මේ ආදරයේ විරහ වේදනාවත් හෙමිහිට මැකිල යනවා... සදාකාලික නැහැ...
මම අහල තියෙන විදියට පූජියාමා ගිනි කන්ද සක්රි්ය නොවන තාක් එය සොබාදහමේ මනස්කාන්ත තිළිණයක්... ඒ තරම්ම පුජියාමා ගිනි කන්ද සුන්දරලු... බොහෝ දෙනෙක් එය බලන්න යනවළු... ලස්සන නිසාම... ඒත් මේ සුන්දර පූජියාම දවසක පුපුරා යනවා.... ලෝ දිය ගලනවා.... ඒත් ආයෙමත් පුජියාමා නිසංසල වෙලා හැඩ වැඩ වෙන කාලයක් එනවා....
ජීවිතෙත් ඒ වගේ..... අද තනිකම හිත පෑරුවට හෙමිහිට හිත නිවිල ගිහින් ආයෙම ‍ආදරයේ මලක් පිපෙන දවසක් ඒවි....

නාමල් උඩලමත්ත said...

තරුරසී,
ඔයා මං කවියෙන් කියන්න අදහස් කළ හැම දේ ම විඳලා අවබෝධ කරගෙන තියෙනවා. හොඳ වින්දන ශක්තියක් තියෙනවා ඔයාට. එහෙම නැත්නම් ඔයා ලියපු දේවල් මෙතන ලියන්න බැහැ. සතුටුයි එහෙම අය හමුවීමත්. මම ඉඳලා හිටලා කවියක් ලීවා ම දාන්නේ මකරන්දට. නිදහස් වෙලාවක ගිහින් බලන්න.
http://makarandaya.blogspot.com/

තරුරසී said...

''මකරන්ද''ටත් ගොඩ වැදුණා... මකරන්දෙ අකුරු තව ටිකක් ලොකු වුණා නම් හොඳයි කියල හිතෙනවා.. කළු පසුබිම නිසා ඇස්වලට අමාරුයි වගේ... කවිවලට තෝර ගන්න චිත්රම හරිම ලස්සනයි...