2018-03-22
බඩු සහ මාර බඩු!
තෙපුල් ආර - සිව් වැනි දියවර
සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' හෝ දෙමළ ‘භණ්ඩම්’නැතහොත් ‘පණ්ඩම්’යන වදන් ඇසුරිණි. 'බඩු' බහු වචන නාම පදයයි. එහි ඒක වචනය 'බඩුව'යි. ගැමියෝ කට වහරේ 'බඩ්ඩ'
'බඩ්ඩක්' යනුවෙන් වහරති.
සිංහලයාට බොහෝ බඩු වර්ග තිබේ. ව්‍යංජන හෙවත් මාලු පිනි රසවත් කිරීමට
යොදන්නේ 'කුළු බඩු'ය. පෙර මෙන් නො ව අද ගෘහණියෝ ඉවුම් පිහුම් සඳහා 'ඇලුමිනියම් බඩු' භාවිත කරති. 'ඇලුමීනියම් බාජනවල' උයා පිහාගෙන කෑ විට හැදෙන ලෙඩට 'බෙහෙත් බඩු' ඕනෑ වූ විට යන්නේ 'සිංහල
බෙහෙත් බඩු' කඩයට ය.
සුන්දරත්වය පිණිස පැලඳීමට මිලට ගන්නා'රන්
බඩු' අන්තිමට නතර වන්නේ 'උකස් බඩු' කඩවල ය. ඊට
පසු රන් බඩු වෙනුවට 'සාප්පු බඩු' හෙවත්
'ඉමිටේෂන් බඩු'පලඳිති. පඩික්කම්, පහන්, ඉලත්තට්ටු වැනි 'පිත්තල බඩු' පැරණි ගෙවල තව ම දක්නට ලැබේ. පිත්තල බඩු නැති නිවෙස්හි පවා ඇඳ පුටු
මේස අල්මාරි වැනි'ලී බඩු' තිබේ.
මූදු හුළඟට 'යකඩ බඩු' වහා දිරාපත් වන හෙයින් මිනිස්සු'ප්ලාස්ටික් බඩු' මිලට ගනිති. 'ලී බඩු' වෙනුවට 'ප්ලාස්ටික් බඩුවලින්' ගේ
දොර පිරී යෑම දැන් මහා නස්පැත්තියක් බවට පත් ව අවසන් ය. විදුලි බලයෙන් ක්‍රියාත්මක
වන්නේ 'විදුලි බඩු'ය. තැන තැන ඇවිදිමින් තොරම්බල් බඩු විකුණන 'මණිබඩුකාරයා' එකල ගම්වල සුලබ දසුනකි.මගතොට යද්දී පොඩි උන් වැඩිහිටියන්ගෙන් ඉල්ලා
හඬන්නේ ‘සෙල්ලම් බඩු‘ය. කිසිවෙක් සොරා ගත් දෑ ‘හොර
බඩු‘ය. ඕනෑ ම හොර බඩුවක් උසාවියට ගෙන ආ විට
‘නඩු බඩුවකි‘. පිට රටින් ගෙනෙන්නේ'රට
බඩු'ය. සමහරු 'රටේ බඩු' නොව 'රට
බඩුම' අගයති.රහමෙර ටිකක් තොල කට ගා ගැනීමට සිතුණු විට ගැමියෝ 'බඩු ටිකක් තිබුණා නම් පංකාදුයි' යැයි තවත් ගැමියෙකුගේ කනට කොඳුරති. ‘වීදුරු බඩු‘ මෙන් ම ‘පිඟන් බඩු‘ද පරිස්සමින් පරිහරණය කළ යුතු ය. මැද පන්තියේ ඇතැම් සිංහල නිවෙස්වල
සාලයේ ‘වීදුරු බඩු‘
අල්මාරියක් ප්‍රදර්ශනය පිණිස තබා තිබේ.
ගමේ‘සිල්ලර බඩු කඩවලට‘ අවශ්‍ය කලමනා රැගෙන එන්නේ නගරයේ‘තොග බඩු කඩවලිනි.‘ වහරෙහි ඇත්තේ ‘සිල්ලර කඩ‘සහ ‘තොග කඩ‘ වුවත් ඒවායේ තිබෙන්නේ බඩු ම ය. ‘කඩේ
බඩු‘ ගිනි ගණන් බව පවසන ගැමියෝ කීයක් හෝ අඩුවෙන් බඩු
ගැනීමට පොළට යති. සිරිපා කරුණා කරන විට සිරිපා මුදුනට බඩු අදින අය සුලබ දසුනකි.
පසුගිය දිනවල පාරිභෝගිකයෝ ‘වැට් සහිත බඩු‘
සහ ‘වැට් රහිත බඩු‘
මොනවා දැයි සොයා ගත නොහැකිව සිටියහ. කොළඹ ඇතුළු බොහෝ නගරවල කඩවල බඩු ඇත්තේ කඩ
ඇතුළේ නොව පදික වේදිකාවේ ය. පදික වේදිකාව ‘බඩුවලින්‘ පිරී යාම නිසා මගීන් පාර දිගේ ගමන් කිරීම අනතුරු
ළඟට කැඳවා ගැනීමකි.
සිංහලයාට ඇතැම් බඩු ‘භාණ්ඩ‘මය. ‘පූජා භාණ්ඩ‘‘සංගීත භාණ්ඩ‘‘ගෘහ භාණ්ඩ‘‘තෑගි භාණ්ඩ‘‘විසිතුරු භාණ්ඩ‘‘උත්සව භාණ්ඩ‘‘කොහු භාණ්ඩ‘ ‘මැටි භාණ්ඩ‘‘සම් භාණ්ඩ‘,‘වේවැල් භාණ්ඩ‘එවන් බඩු ය. ‘මැටි බඩු‘,‘වේවැල් බඩු‘ ලෙස ද යොදන්නේ ඉන් කිහිපයක් පමණි.
වැරැද්ද සමග එය කළ පුද්ගලයා ද හසු වූ විට ‘බඩුත් එක්ක ම හොරු අහුවුණා‘ යැයි කියන සිංහලයෝ තමන්ට යම් අසාධාරණ තීන්දුවක් ලැබුණහොත් ‘නඩුත් හාන්දුවන්ගේ, බඩුත් හාන්දුවන්ගේ‘යැයි කියා සිය කෝපය නිවා ගනිති. සිය
හතුරෙකුට කරදරයක් වූ විට ඇතැම්හු ‘බඩු පැකට්‘‘බඩු බනිස්‘
හෝ ‘බඩුම තමා‘
යැයි කියා සතුටු වෙති. 'ලාභ බඩුවේ'
හිලක් ඇතැයි කීවා ද පරිප්පු වඩේවලට වඩා උළුඳු වඩේ මිල බව කියා ඇතැම්හු සිනාසෙති.භාණ්ඩ ප්‍රවාහනය පිණිස ‘බඩු දුම්රිය‘
භාවිත කරන අතර ‘බඩු නැව්‘
රැගෙන එන දෑ ගබඩා කිරීමට වරායේ ‘නැව් බඩු මධ්‍යස්ථාන‘
ඇත. බඩු පැටවූ ගැල් අදත් ඈත ගම්වල දැකිය හැකි ය.
සිංහලයෝ ‘බඩු බාහිරාදිය‘ සහ ‘බඩු මුට්ටු‘ ගැන ද කතා කරති. අප අතර‘බඩු‘ ගැන දන්නා අය සිටිය ද ‘මුට්ටු‘
ගැන දන්නා අය අඩු ය. මුට්ටු යනු මිටිය බවත් එය
දෙමළ මුට්ටිහෙවත් මුට්ටු ඇසුරින් බිඳී ආ බවත්
අප සමඟ කීවේ රුහුණු සරසවියේ ධම්මික ජයසිංහයෝ ය.ගැමි තරුණියක තවත් එකියකට ‘මට ඔයාට බඩ්ඩක් කියන්න තියෙනවා‘ කියන්නේ යම් කිසි රහසක් බව අමුතුවෙන් කිව යුතු
නැත. ගැමි ගැහැනියක ‘ඕකි හොඳ විදියකට හැදෙන බඩුව‘ යැයි බැණ
වදින්නේ විසේකාර තරුණියකටය.
සිංහලයෝ ඇතැම් විට බඩුවලට පණ පිහිටුවති. තරුණයෙක් තවත් තරුණයෙකුට ‘උඹ මාර
බඩුවක්‘ හෝ ‘උඹ මාර භාණ්ඩයක්‘ යැයි කියන්නේ ඔහු ඉහත කී වර්ගයේ කිසිම බඩුවක් නිසා නොවේ. තම පෙම්වතිය
‘බඩුව‘ යැයි හඳුන්වන්නේගැහැනු ළමයි ‘කෙළිබඩු‘ යැයි සිතන තරුණයෝ ය.කිසියම් අහේතුවක් නිසා වරදෙහි බැඳුණුගැහැනුන්ට ‘බඩු‘ යැයි ගරහන ඇතැම්හු ගෙදර ඇවිත් ළඳුනේ ළඳුනේ ගීතය අසති.‘කුළු බඩුව‘
සහ ‘අලි බඩුව‘ යන යෙදුම් මේ අපවහර කදිමට විහිළුවට ලක් කරයි. 'හරි ම බඩු හයක්' යනුවෙන් සුගතපාල ද සිල්වා අපූර්ව නාට්‍යයක් කළා මතක ය.
සිංහලයා මෙම බඩු ඒවායේ ගුණාගුණ අනුව වර්ග කිරීමට ද නොපසු බසියි.
එහිදී ‘හොඳ‘, ‘බාල‘,‘ලාභ‘,‘අලුත්‘,‘පරණ‘,‘නියම‘‘සුපිරි‘,‘පට්ට‘
ආදී විශේෂණ මුලින් යෙදීම සිරිතයි. එම
ඇතැම් ව්‍යවහාර මෙහි සඳහන් කළහොත්‘බඩුම‘ තමාය.
නාමල්
උඩලමත්ත
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment