2018-01-04

අත බුලත් අත සහ හතර අත

            තෙපුල් ආර - තෙවැනි දියවර

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගියදා පැවති 20/20 තරඟය අතරතුර ලසිත් මාලිංග අත සාක්කුවේ දමා ගෙන සිටීම විනිසුරුට ගැටලුවක් විය. අද තෙපුල් ආර අත ගැන ලියන්නේ අත සාක්කුවේ දමා ගෙන බකං නිලා සිටීමේ ජනතාව සතු පරම අයිතිය සුරක්ෂිත කිරීම පිණිසය.

හස්ත නම් සකු වදන ද හත්ත, හත්ථ ආදි පාළි වදන් ද අත යනුවෙන් සිංහලයට බිඳෙයි. මිනිසාගේ ඉදිරි ගාත දෙක අත්ය. එහි මැණික් කටුවෙන් පහත කොටස ද අත යනුවෙන් හැඳින්වෙයි. අත් දෙක දෑතය. යුගතය. බොකුටු කරගත් දෑත දෝතය. එහි දිය පුරවා ගත් විට දිය දෝතය. සිංහලයා බුදුන් වඳින්නේ දොහොත් මුදුනේ තබාය.

වමත සහ දකුණත යනුවෙන් අත් දෙකකි. ලෝක ජනගහනයෙන් සියයට අනූවක් පමණ දකුණත් කරුවෝය. සුළුතරය වමත් කරුවෝය. ඒ ඒ වැඩයට ඒ ඒ අත හුරු අය ද සිටිති. එසේම අත් දෙකෙන් ඕනෑ ම දෙයක් කළ හැකි අයද සිටිති. කෙසේ වුව ද ලොව සියලු උපකරණ නිපදවනුයේ බහුතර දකුණත් කාරයන්ගේ පහසුව පිණිසය. එහෙත් මේ අසාධාරණයට එරෙහිව කිසිවෙක් තව ම ජිනිවා ගිය බවට ආරංචියක් නැත.

මිනිසාට මෙන් ම මිනිසා උඩුකය වසනු පිණිස අඳින ඇඳුමට ද අත් තිබේ. ඒ කමිස අත්ය. හැට්ට අත්ය. අත්දිග හැට්ට සහ අත් කොට හැට්ට ද අත් දිග කමිස මෙන් ම අත් කොට කමිස ද තිබේ. අත කොටා යනුවෙන් පාතාලයෙක් ද කලකට පෙර කරළියේ සිටියේය. ඔහු පසුව අත්අඩංගුවට පත්විය.

එක ම උපකරණයේ කුඩා සහ ලොකු නිමැවුම් දෙකක් පවතින විට කුඩා උපකරණය ඉදිරියේ අත් නාම විශේෂණය ලෙස යෙදෙයි. අත් පොරව, අත් කියත, අත් ට්‍රැක්ටරයනිදසුන්ය. යමකට අතසම්බන්ධ වන විට ද අත මූලික වන විට ද අත් යන්න යෙදෙයි. අතින් කරන කර්මාන්ත අත්කම්ය. අතින් ලියූ අකුරු අත් අකුරුය. අත පිසින රෙදිකඩ අත් පිස්නාවයි. අතේ පළඳින ඔරලෝසුව අත් ඔරලෝසුවයි. අතේ පලඳින්නේ අත්මේස්ය. අතේ ගෙන යන බෑගය අත් බෑගයයි. අතින් හසුරුවන යන්ත්‍ර‍ අත් යන්ත්‍ර‍ය. අත් යන්ත්‍ර‍ රෙදි පිලිවලට අදත් හොඳ ඉල්ලුමක් තිබේ. ජනතාව අතර බෙදා හරින්නේ අත්පත්‍රිකාය. අවට ගහකොළෙහි පස් පංගුව ඇසුරින් තමන් විසින් ම තනා ගන්නා ඔසුව අත් බෙහෙතකි. වෙදකමට, හෙදකමට මෙන් ම ගොවිකමට ද අත්ගුණය තිබිය යුතුය.

කුඩා ළමුන් පාසලේ දී කිරිමැටියෙන්, ක්ලේවලින්, කඩදාසියෙන් විවිධ රූප ඇඹීම තැනීම සහ ඇඳීම අත්වැඩය. පෙදරේරුවන්ගේ කාර්යයට සහාය වීමට අත්වැඩ දෙනවා යැයි කියති. වඩුවන් වඩුකම් කරන අතර සිය නියංවලට තට්ටු කිරීම සඳහා යොදා ගන්නා ලීයෙන් කළ මිටිය අතකොලුවය. කිසිවෙකුඑක එකා අතකොලුවෙක් වෙන්න එපායැයි කියන්නේ එය මිනිසකුට තරම් නොවන නිසාය. යමෙකුගේ සහාය පිණිස සිටින්නා අතවැසියාය. තමන්ට උදව් පදව් ඇති අයකු කිසියම් හේතුවක් නිසා ඈත් වූ කල 'අත කැඩුණා වගේ' යැයි කියා සිංහලයෝ විස්සෝප වෙති. 

යලට මහට ගොවියාගේ අතමිට සරු වෙයි. එහෙත් වී මුදලාලිලාගේ අතමිට සැමදාම සරුය. අත මාරුවක් පිණිස ගොවීන් අතපාන්නේ ඔවුන්ටය. ගොවියාට කිසිවක් අතමිට මොළවා ඊළඟ කන්නයේ නූපන් අස්වැන්න ද අයිති කර ගැනීමට තරම් මුදලාලිලා කරුණාවන්ත බව අත්දුටු සත්‍යයකි. 
       
නිසි කල වයසේ දී තරුණයකු සහ තරුණියක විවාහ වීම සිංහලයාට අතින'ත ගැනීමකි. ඇතැම්හුනොබෝ කලකින් එම දීගය අත හරිති. අතාරිති. එහෙත් කිසිවෙකු 'මම ඕක ලේසියෙන් අතාරින්නේ නෑ'යි කියන්නේ දීගය නොව වෙනත් ආරෝවකි.

යහපත් උතුමෝ සරණක් අවැසි තැනට අත දෙති. ඇතැම්හු ඕනෑ දේටයි එපා දේටයි අත දමති. ජනතාව ඉදිරියේ නයි මුගටි සේ හැසිරෙන ඇතැම් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අතර අත යට ගනුදෙනු ඇතැයි සමහරු කියති. එය අතේ පැළ වෙන පට්ටපල් බොරුවකි.
     
සිංහලයා නැකතට අලුත් වැඩකට අතගැසීමට කැමතිය. ප්‍ර‍කට ව්‍යාපාරිකයකු මෑතක දී කීවේ තමන් නැකතට ආරම්භ නොකළ කටයුතු සියයට හැත්තෑවක් පමණ අසාර්ථක වූ බවය. එහෙයින් අඬුව තියෙද්දී අත පුච්ච ගන්න ඕන නැත. ඇතැම්හු ජ්‍යෝතිෂ ශාස්ත්‍ර‍යටසමච්චල් කරති. සිනාසෙති. එහෙත් අත්ගුණයක් නැති මැනවින් ශාස්ත්‍ර‍ය නො හදාළ අයගේ වැඩ නිසා ශාස්ත්‍ර‍ට ගරහා පලක් නැත.  

ඇතැමුන් වැඩ අතගානවා මිස වැඩ කරන්නේ නැත. ඒවා අතේ ඇඟිලි ගානට ලොකු ලොක්කන්ගේ අතට ම හසු වුව ද සමහරුන්ට වගක් නැත. ඔවුන් කාර්යාලයට පැමිණ කා බී විනෝද වී වැඩකට අත ගහන්න සුදානම් වන විට ම සේවා මුර අවසාන කණිසම වැදෙයි.

අතේ හස්ත රේඛා තිබේ. අත බලා ශාස්ත්‍ර‍ කියන්නේ ඒ රේඛා ඇසුරිනි. එහෙත් ඇතැමුන්ගේ දකුණත කරන දේ වම් අත දන්නේ නැත. වයසට ගිය කල අතපය වාරු නැති වෙයි. ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීම සැමගේ යුතුකමය. 
  
ඉන්දීය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැතිගේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍ර‍හණය අත්පත් කර ගත්තේය. ලංකාවේ පළාත් පාලන මැතිවරණය අත ළඟ බව කියා දැන් බොහෝ කල්ය. ට්‍ර‍ම්ප්ගේ ජයග්‍ර‍හණය සමග ලොව පුරා සිදුවන ඇමරිකානු අත පෙවීම් නතර වනු ඇතැයි කියති.  
    
ඥාති නිවසකට යන විට 'අත වන වන යන්න බෑ' කියා ගැමි ලියෝ කියති. එහි අරුත අත නො සොල්වා ගමන් බිමන් යාම නොවේ. හිස් අතින් යාම නො හොබිනා බවය. ඒ නිසා නෑගම් යන විට කැවිලි ටිකක් කිරි පැණි ටිකක් එළවළු, පළතුරු ටිකක් රැගෙන යාම සිංහල සිරිතය.

ඇද වැටී අස්ථි බිඳීමක් නිසා මාතර රෝහලට ඇතුළත් කළ නීති සිසුවියගේ අත කපා දැමීමට සිදුවූයේ වෛද්‍යවරුන්ගේ නො සැලකිල්ල නිසාය. පෞද්ගලික වෛද්‍ය උපාධියේ ප්‍ර‍මිතිය ගැන හඬ නගන අයට මේ අකටයුතු කමිටු පත් කර වාර්තා කැඳවා කාලය සමග යටපත් කිරීමට ඉඩ දී අත පිස දා ගැනීමට ඉඩ දිය යුතු නැත. දුම්පානය පිළිකාවට අත වනන බව නිතර කියති. ආණ්ඩුව දුම්වැටියේ බදු ඉහළ දැමුවේ ඒ නිසාය. එහෙත් දැන් ජනතාව බීඩි ඉරීමට නැඹුරු වෙමින් සිටිති. කෙසේ වුව ද දුම්බොන අය අතේ දුරින් තබා ගැනීම හොඳය. 

ඇතැම්හු පන්නිපිටියේ බෝ ගසට අත නො තබනු කියා කෑ ගසති.එ නම් බෝ ගස ආරක්ෂා විය යුතු බව කියති. අයෙක් එය කාක බෝධියක් නිසා කපා දැමුවාට කම් නැතැයි කියති. මේ අනුව රටේ ඇති සෙසු කාක ගහ කොල ද කපා දැමීමෙහි වරදක් නැත. ලබ්බට තැබූ අත පුහුලට නො තබනු ඇතැයි සිතිය යුතු නැත. මේ දිනවල පාර දෙපස ඡන්ද පෝස්ටර් දකින වැඩිහිටියෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ යැයි කියති.

බුලත් අතට කොළ හතළිහකි. සිංහල අවුරුද්දට බුලත් අතක් දී වැඩිහිටියන්ගේ පා වැඳීම සිංහල සිරිතය. ඇතැම් ක්‍රීඩාවල වාරය ද අත යැයි හැඳින්වෙයි. තරුණයෙකු 'මම වොලිබෝල් අතක් ගහන්න ගියා'යැයි කියන්නේ එම ක්‍රීඩාවේ නිරත වීමට ගිය බවය. ක්‍රිකට් අත, කැරම් අත ද එසේමය.
 
අප අතින් නොසිතාසිදුවන වැරදි අත්වැරදිය. අතකස යනු අගනුවර තරුණ කවි සමාජයයි. දිශාව පැත්ත යන අරුතින් ද අත යෙදෙයි. සමහරු දහ අතේ කල්පනා කරති. ඇතැමෙක් හිස ඇරුණු අතේ යති. දක්ෂ පිතිකරුවෝ හතර අතේ පහර එල්ල කරති. රට්ටු රට යන අත බලා සිටිති.  







No comments: