2017-12-28

අම්මා කිරි අම්මා සහ පත්තිනි අම්මා

                                            තෙපුල් ආර - දෙවන දියවර

අප හැම මෙලොවට බිහි කළේ අම්මාය. දස මසක් අප කුස හොවා සිටියේ අම්මාය. ලේ කිරි කර පොවා උස් මහත් කළේ අම්මාය. අද අම්මාවරුන් ගැන ලියන්නේ ඒ නිසාය.

අම්මා ගැහැනියකි. සමහරු අම්මා යැයි කීමක් මදිකමක් ලෙස සලකති. අම්මි යැයි ඈ අමතන්නේ ඔවුන්ය. සිංහලයාට අම්මා ගෙදර බුදුන්ය. බුදුන් වහන්සේ මහා පුරුෂයෙකි. එහෙත් සිංහලයාට බුදු හාමුදුරුවෝ අමා මෑණියෝය.

බෝසතුන්ට බුදු වන්නට නියත විවරණ දෙන්නේද අම්මාය. සිංහලයින් පතන්නේ එහෙව් අම්මා බුදු වේවා කියාය. මෑතක රූපවාහිනි නාලිකාවකට පැමිණි තරුණ කතෝලික ගායිකාවක් මම ක්‍රිස්තියානි වුණත් අම්මා මතු බුදුවේවා යැයි කීවාය
.
සිංහලයා සිතන පරිදි බුදුන් ළඟට තමන්ගේ දුක දන්නේ අම්මාය. රැලේ ඇතිනියක පැටියෙකු ලද කල එහි අනෙක් ඇතිනියන්ටද කිරි එරෙතියි සිංහලයෝ කියති.

ඇතින්නියක් ලත් දරු පෙම්බරේ යා
ඇතිනි රැළේ හැමටම කිරි එරේ යා
දෙතනේ මවක දුන් කිරි මෙසසරේ යා
පුතුනේබලන් සත් සමුදුර පිරේ යා
යනුවෙන් අම්මාගේ සෙනෙහස කවියට නැඟුවේ සිංහලයෝය.

'නාඩ ඉඳින් මයේ අම්මා'යැයි කියා අම්මා වැළපෙන දරුවා නළවන්නීය. එවන් අම්මා අහිමි වූ කල දරුවන්ට කිසිවකුගේ හව්හරණයක් නැත. අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ යැයි කීවේ එහෙයිනි. අම්මාට මිස කිසිවෙකුට දරුවන්ගේ කුසගිනි දැනෙන්නේ නැත. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා යැයි සිංහලයා කවි කර කීවේ ඒ ඇත්තය.

රජවාසල මිදුලේ වේලන සීනි කෑමට සිතුණු අන්දරේ සිය පුතාට අම්මා මළේ යැයි අඬාගෙන රජ මැදුරට දිව එන්නැයි කීවේය. එලෙස කෑ ගසාන පුතු පැමිණි කළ 'අම්මා මළා නම් පුතේ උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්'යැයි කියමින් පැදුරේ පෙරළි පෙරළි සීනි කෑවේය. අන්දරේ එදා කීවේ ඇත්තකි. අම්මා නැති දා කාගේ කාගෙත් කටේ පස්ය. අම්මා පෙවූ රන් කිරි මතක් වන්නේ එකලය.

අම්මා නැති ගෙදර පණ යනවා දන්නේ නැත. අම්මා අහිමි දරුවෙකු දුටු කල අදත් සිංහලයෝ අම්මා නැති කලේ අප්පා කවර කලේ යැයි කියා සුසුමක් හෙළති. මොනර මාලු උඩහල්ලේ තිබුණද කුඩම්මා බත් දෙන්නේ අල කොළ එක්කය. යම් දෙයකට නිසි අවධානය සහ සැලකිල්ල නැති තැන අදත් කියන්නේ කුඩම්මාගේ සැලකිලි කියාය.

සිය දරුවා කවර තරම් අයහපතක් කළත් අම්මාගේ දරු පෙම නම් අඩු නොවෙයි. උණහපුළු අම්මාටද ඇගේ පැටියා මැණිකකි. එහෙයින් ඇති තතු වසන් කරයි. තොරතුරු වසන්ගන අයෙකුගෙන්ම තොරතුරු ඇසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් ලෙස සිංහලයෝ දකිති.

සිංහලයාට සිය වැදූ අම්මා හැරුණු විට තවත් අම්මලා සිටියි. අම්මාගේ අක්කා ලොකු අම්මාය. අම්මාගේ නංගි පුංචි අම්මා හෙවත් පුංචම්මාය. අම්මාගේ හෝ තාත්තාගේ අම්මා කිරි අම්මාය. කුඩම්මා, බාලම්මා, හිච්චි අම්මා, අච්චි අම්මා, මහම්මා, කිරි අම්මා ආදි මෙකී නොකී තවත් අම්මලාය. 

දිනෙන් දින අඩුවෙන ආදරේ නැන්දම්මාගේ ආදරේ වගේය. කුඩා දරුවන් රැක බලා ගන්නා පිටස්තර කත ආයම්මාය. කිරි වෙහෙර අසල මල් විකුණන්නේ මල් අම්මලාය. බත් අම්මා යනු බම්බලපිටියේ ඇති ගෙරද රසටම බත් වේලක රස විඳිය හැකි කුඩා අවන්හලකි.

කතරගම දෙවියන්ගේ බිසව වල්ලිඅම්මාය. වැරදිකරුවන්ට දඬුවම් දෙන දෙවඟන කාලි අම්මාය. පත්තිනි අම්මා මතු බුදු වන්නට පෙරුම් පුරන්නියක පමණක් නොව පති භක්තියට අධිපති දෙවඟනය. එහෙත් 'මොකටද මගේ කට. ඕකි හොඳ පත්තිනි අම්මා' යැයි ගැමි කාන්තාවක තවත් එකියකට බැණ වදින්නේ එම කාන්තාව පතිනියක නිසා නම් නොවේ. අම්මා දේවිය, කිරි අම්මා, හළඹ කුමාරි කිරි අම්මා, හඳුන් කුමාරි කිරි අම්මා ආදි නම්වලින්ද හඳුන්වන්නේ පත්තිනි අම්මාය. කිරි අම්මාවරුන්ගේ දානය දෙන්නේ පත්තිනි අම්මා වෙනුවෙනි.
අම්මා නමැති සුප්‍ර‍කට පොත ලීවේ මැක්සිම් ගෝර්කි නම් මහා රුසියානු ලේඛකයාය. මාතර යුගයේ සුප්‍ර‍කට කිවිඳිය ගජමන් නෝනාට ඩිංගිරි අම්මා යැයිද නමකි. උතුරු කොනේ නුඹ හිනැහෙන්සෙල්ලම්මා නංගියේ යැයි ගැයුවේ ගුණදාස කපුගේය.

දෙමළ බසින් අම්මාන් යනු දෙවඟනට නමකි. සීතා අම්මාන් කෝවිළ පිහිටියේ සීතා එළිය ප්‍රදේශයේය. කෙසේ වුවද කරුණා අම්මාන් හෝ පොට්ටු අම්මාන් යනු දෙවඟනන් නොවේ. තමිල්නාඩු ජනතාව අම්මා යන ආදර නාමයෙන් හැඳින්වූයේ පසුගියදා මිය ගිය ජයලලිතා ජයරාම් මෙනවියයි. ජෝර්දානයේ අගනුවර දඅම්මාන් වන අතර අම්මාන් අරාබි බසින් පිරිමින්ට යොදන නමකි.
 

කිරි අම්මා යනු එළදෙනය. මහත්මා ගාන්ධිතුමා එළදෙන හැඳින්වූයේ දශලක්‌ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ අම්මා ලෙසය. එහෙත් කළගුණ නොදත් අය කිරි අම්මා මරාගෙන කති. එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියා ගැයුවේ නිහාල් නෙල්සන්ය. සිංහලයා නිමක් නැතිව වල්පල් දොඩවන්නියට වට්ටි අම්මා යැයි කියන්නේ සෝපාහසයෙනි. මගතොට යනෙන විට පය ගලක වැදුණු කල සිංහලයාගේ මුවින් නික්මෙන්නේ අම්මෝ කියාය.

No comments: