2012-06-15

“රහස් උදවිය“ ඇත්තට ම නාට්‍යයක් ද?




13 වැනිදා හවස කඩින් කඩ වැහි වැටෙද්දී කඩිමුඩියේ විශ්වවිද්‍යාලයේ සිට ලයනල් වෙන්ට් රඟහල ඇවිද ගියේ පියල් කාරියවසම්ගේ රහස් උදවිය නාට්‍යය බලනු පිණිස ය. අප එහි යන විටත් සැලකිය යුතු පිරිසක් එහි අසුන් ගෙන සිටි අතර මමත් මගේ මිතුරාත් බැල්කනියේ හිස්ව තිබූ අසුන් දෙකකට අපේ බර පැවරූයේ දෙහෝරාවක් පමණ නාට්‍ය සමග දැහැන්ගත වන්නට ය.

රහස් උදවිය නාට්‍යය පිළිබඳ මට මෙසේ ලිවිය හැකි ය. “ඒ වූ කලී මෑත ඉතිහාසයේ මා දුටු අති විශිෂ්ට නාට්‍යයි. පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ තත්කාලීන සමාජ දේශපාලන යථාර්ථය විනිවිද එහි අඳුරු පැතිකඩ නිර්දය ලෙස නිරුවත් කොට පේක්ෂක දෑස් අබිමුව තබා ඔවුන්ගේ බුද්ධි මණ්ඩල අවධි කොට පේක්ෂකයින් ස්වයං ආත්ම විවේචනයකට යොමු කරන රහස් උදවිය වූ කලී නිෂ්පාදකයා පෙර අපර දෙදිග නාට්‍යය, සාහිත්‍යය, දර්ශනය, දේශපාලනය අතැඹුලක් සේ පිළිසිඳ දැන සිය මහාර්ඝ කලා කෞෂල්‍යයෙන් රිදි හුයක් සේ එකට ගෙත්තම් කරන ලද නාට්‍යමිණකි. නූතන මධ්‍යම පාන්තික චරිත හතරක් සමග ආත්මගත වු අප රඟහලෙන් එළියට පැමිණියේ හෝරා දෙකකට අඩු කාලයක් තුළ කතුවරයා අප හමුවේ දිග හැරි ජීවන ප්‍රවෘත්තීන්හි අපූර්වත්වයෙන් තිගැස්මට පත් හදවතින් අප අවට සමාජ දේහය අරක් ගෙන දිනෙන් දින භයානක ලෙස ඔඩු දුවන භයංකර සමාජ අවගමනයක පෙර නිමිති දකින්නට නව ඇස් ලබමිනි.“ මේ වාසගම කියවූ ඔබ මම අතිවිශිෂ්ට විචාරකයෙකු යැයි ද උසස් නාට්‍ය රසිකයෙකු යැයි ද සිතනු ඇත. ඔබ රහස් උදවිය නාට්‍ය නැරඹුවෙකු නම් ඇතැම් විට ඔබට නොවැටහුනු මේ මහා දර්ශනය අවබෝධ කරගත් මා නාට්‍ය නිෂ්පාදකයාට නොදෙවෙනි ප්‍රතිභාවක් ඇති ප්‍රාඥයෙකු යැයි සිතනු ඇත. එහෙත් මට නම් සිතෙන්නේ දැන් මේ නාට්‍ය ගැන විචාර යැයි ලියැවෙන මනස්ගාත සීතාම්බර සළු විචාර බවය.

දැන් මම ඔබට පුංචි කතන්දරයක් කියන්නම්. වරක් රජතුමාට ලොකේ වටිනාම සළුව ඇඳීමේ ආශාවක් පහළ වී අන්දරේට ඒ බව දැන්වීය. රජතුමාට එම සළුව වියා අන්දවා රජ පුරා සංචාරය කරවමින් ජනතාවට එහි මහේශාක්‍ය ලීලාව ප්‍රදර්ශනය කරවනු පිණිස මහා උත්සය මංගල්‍යයක් ද සංවිධානය කිරීමට අන්දරේ පොරොන්දු විය. ඒ අනුව නියමිත දිනය කෙමෙන් ළං විය. රජ වාසල අඬබෙරකරුවෝ මෙසේ මුළු රට පුරා අඬබෙර ගසමින් ඇවිද්දෝ ය. “නෛක ශ්‍රීයෙන් විරාජමාන වූ මුළු සිංහල ධරණීතලය පුරා සිය බලය පතුරුවා සිටින්නා වූ අප මහා රජෝත්තමයාණන් වහන්සේ හෙට දින සිට පුරා සත් දිනක් සීතාම්බර සළුව නම් කහවණු කෝටි ගණනක් වටිනා සළුව හැඳ මහ ජනතාව වන තොපගේ දුක සැප විචාරනු පිණිස වීථි සංචාරය කරනු ඇත. තව ද ඒ මහාර්ඝ සළුව දැකිය හැක්කේ ප්‍රාඥාවන්තයින්ට පමණක් බව ද මෝඩයින්ට එම සළුව දැකීමේ භාග්‍යයක් නොමැති බව ද තරයේ මතක තබා ගනිවු!“ සමස්ත රටේ ම ජනතාව රජු වීථි සංචාරය කරන මග දෙපසට රොක් විය. නැකැත් වේලාවට සීතාම්බර සළුවෙන් සැරසී සිරි යහන් ගැබෙන් එළියට සැපැත් වන රජතුමා පිළිගැනීමට ඇමති මණ්ඩලය රැස්විය. ඔටුන්න පැළඳ ඇඟේ නූල් පොටක් නැතිව රජතුමා මහත් තේජසින් ඇමති මණ්ඩලය ඉදිරියට පිය මනින්නට විය. රජු නිරුවතින් සිටින බව සියලු දෙනා දුටුව ද ඒ බව රජතුමාට තබා තමා අසල සිටි අනෙක් ඇමතිවරුන්ට පවාදැන්වීමට කිසිවෙකු ඉදිරිපත් නොවිණි. එසේ කළේ නම් තමන් මෝඩයෙකු බව රටට ම හෙළි වනු ඇතැයි සිතූ ඇමතිවරු රජතුමාගේ සළුවේ ගුණ ගයන්ට වන්හ. ජනතාව ද එසේ ම කළ හ. මුළු රට පුරා මෙසේ නිරුවතින් ඇවිදින රජතුමා දුටු කුඩා කොලුවෙක් රජතුමාට තමා දුටු ඇත්ත කීවේ ය. “අපේ රජතුමා අමු හෙළුවෙන් ඇයි මේ වීථි සංචාරය කරන්නේ?“ කොලුවාගේ ප්‍රකාශයෙන් රජතුමාට ඇස් ලැබිණි. අන්දරේ තමා පමණක් නොව තම ඇමති මණ්ඩලය ද මුළු රට ද රවටා ඇති බව රජතුමාට අවබෝධ විය. එහෙත් රහස් උදවිය සහ මේ කතාව අතර ඇති සම්බන්ධය කුමක් දැයි දැන් ඔබ සිතනු ඇත.

කලබල නොවන්න. රජතුමා අබියස සිය ප්‍රාඥා මහිමය ප්‍රදර්ශනය කිරීමේ ඇමති මණ්ඩලයේ සහ මහ ජනතාවගේ ආශාව මට නැති හෙයින් කොලුවාගේ චරිතයට පණ පෙවීමට මට සිදුව තිබේ. පියල් කාරිවසම් රහස් උදවිය නමින් කළ නාට්‍යයේ නාට්‍යය හැර අන් සියල්ල ම තිබිණි යැයි කිව යුතු ය. එහි අපූරු වේදිකා සැරසිලි, දෙබස්, නළු නිළියන්, සංගීතය, නේක පෑ අලෝකය තිබිණි. පියල් කාරියවසම් පෙර අපර දිග සාහිත්‍යය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, දාර්ශනික සිද්ධාන්ත කියවා ඇති බව ද ඔහු මහා දාර්ශනිකයෙකු බව ද සක්සුදක් සේ පැහැදිලි ය. එහෙත් නාට්‍යයක් නම් නොතිබිණි. වේදිකාවේ තිරය ඇරෙන්නේ මවක සහ දියණියන් දෙදෙනෙකු වාඩි වී සිටින නිවෙසක සාලයක පසුබිමක ය. ඔවුන් අතර දිග හැරෙන කතාබහ ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ අතර එසේ නැත්නම් කාල් මාක්ස් සහ බුදුන් වහන්සේ අතර සිදුවන සංවාදයක් තරමට දාර්ශනික ය. මානසික රෝගීන් කිහිපදෙනෙකු අතර සිදුවන සංවාදයක් තරමට කන්දොස්කිරියාවකි. විකාරයකි. නාට්‍ය පේක්ෂකයා රඟහලට යන්නේ නාට්‍ය රස විඳින්නට මිසක් කතුවරයාගේ ඔලුවේ ගොඩ ගැසී ඇති එක එක දාර්ශනිකයාගේ කුණු කන්දල් නළුවන් ලවා වේදිකාවේ වමාරවනු දකින්නට නොවේ. එහෙත් එම ඛේචවාචකයට ඊයේ රාත්‍රී දෙවන වරටත් මට ගොදුරු වන්ට සිදුවිය. මීට පෙර ඒ අත්දැකීමට මුහුණ දුන්නේ උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ මංගල දර්ශනය බැලීමට ගොස් ය. විමල් වීරවංශගේ කතා ඇසීමට මම සුදානම් වී නොගියෙමි. ඔවුන් පවසා තිබුණේ නාට්‍යයක් පෙන්වන බව මිස විමල්ගේ කතා ශෛලිය රඟගත කරන බවක් නොවේ.

කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙළවර විය යුතු යැයි කියමනක් තිබේ. එහෙත් අපේ රටේ සමස්ත නාට්‍ය කලාව වෙලා ගෙන දැන් දැන් මතුව එන්නේ අසීමාන්තික අන්තවාදී ස්වරූපයකි. එකෙක් ගැබ්බර මිනිසා වැනි දෙලොවට ම නැති විකාර, නාට්‍යය යැයි වේදිකාව උඩ දිග හරින අතර එකෙක් ඌ කියවූ සියලු සාහිත්‍ය, දාර්ශනික කෘතිවල ඇතුළත් මතවාද කිසිදු නිර්මාණාත්මක ප්‍රතිනිෂ්පාදනයකින් තොරව ගෙඩි පිටින් වේදිකා උඩ අත හරී. කලාවෙන් ලැබිය යුතු ආනන්දය එහි නොමැත. කලාවෙන් වහනය විය යුතු දර්ශනය සමස්ත නාට්‍යය බවට පත්ව තිබේ. නාට්‍ය නරඹා රඟහලෙන් පිටවූ පේක්ෂක හදෙහි හටගත යුතු අනුභූතීන් ගෙඩි පිටින් නළුවන්ගේ මුවින් වමෑරවීම අද නාට්‍ය බවට පත්ව තිබේ. මට දාර්ශනික සිද්ධාන්ත කෘතියක් කියවීම අවශ්‍ය නම් එය කළ හැකි ය. තව එකෙක් ඒ පොත් කියවා ඒවායේ ඇති අදහස් අමු අමුවේ පිස්සුවෙන් මෙන් දොඩවන නළු නිළියන් දකින්ට රඟහලට යා යුතු නැත. එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, රාජිත දිසානායක වැනි නාට්‍යකරුවෝ විවිධ පොතපත කියවූහ. කියවා ඒවා ජීර්ණය කර ගත්හ. ඔවුන්ගේ කලාකෘතිවලින් එකී දාර්ශනික සුවඳ වහනය වනු පමණි. ඉන් ඔවුන්ගේ ජීවන දෘෂ්ටිය තියුණු වූවා පමණි. එම ඇසූ පිරූ තැන් ඇති බව සැබෑ කලාකරුවා නිර්මාණකරණයෙහි යෙදෙන කල්හි අවිඥානිකව කලාකෘතියේ දෘෂ්ටිය එකාලෝක කිරීමට ඉවහල් වේ. එහෙත් අද මේ දාර්ශනික ඔල්මාද විකාර දොඩවන නාට්‍යකරුවෝ පේක්ෂකයා රඟහලෙන් පන්නා දැමීම සඳහා දැඩි සේ උත්සාහ ගන්නා බවකි මට පෙනෙන්නේ. එම කලාකෘති ආනන්දයෙන් ඇරඹී මරදානේ කෙළවර වන බවකි පෙනෙන්නේ.

20 වන සියවසේ මුල දකුණු ලක ධනවාදය කෙමෙන් හිස ඔසවත් ම ග්‍රාමීය ප්‍රභූ පන්තිය ඇද වැටී නව වෙළඳ පැලැන්තියේ නැගීම පිළිඹිබු කරනු වස් මාර්ටින් වික්‍රමසිංහ සිංහලෙන් මාක්ස්වාදී කෘති ලීවේ නැත. කාල් මාක්ස්ගේ අදහස් වමාරන්නට ගියේ නැත. ඔහුගේ අරමුණ වුයේ කලා කෘතියක්-සාහිත්‍ය කෘතියක් සම්පාදනය කිරීම හෙයින් ඔහු ගම්පෙරළිය නම් විශිෂ්ට නව කතාව ලිවේ ය. මාක්ස්වාදය, ධනවාදය, කාල් මාක්ස් පිළිබඳ මෙලෝ හසරක් නොදත් අයෙකුට වුව ගම්පෙරළිය රසවිඳිය හැකි ය. දේශපාලන සිද්ධාන්ත පිළිබඳ දැනුමැති අයට මාක්ස්ගේ සිද්ධාන්ත විග්‍රහ කරමින් ගම්පෙරළිය විග්‍රහ කළ හැකි ය. සැබෑ කලාව එයයි. සංස්කෘත, පාලි, ඉංග්‍රීසි, සිංහල ආදී භාෂා ගණනාවක් දැන සිටි පෙර අපර දෙදිගි සෞන්දර්ය සිද්ධාත්න ධාර්ශනික සිද්ධාන්ත, බුදු දහම, ඉතිහාසය පිළිබඳ හසළ දැනුමැති මහාචාර්ය සරච්චන්ද්‍ර සිය නාට්‍යවල එම දාර්ශනික සිද්ධාන්ත විජ්ජාපාන්නට ගියේ නැත. එහෙත් ඔහුගේ නිර්මාණවලින් වහනය වන ගැඹුරු ජීවන දර්ශනික සංකල්ප ඉන් අනතුරුව පරම්පරා ගණනකගේ ජීවන දැක්ම සකසන්නට හේතු වි තිබේ.

එහෙයින් යමෙක් නාට්‍යයක් කරයි එය පළමුව කලා කෘතියක් විය යුතු ය. ඒ කලාකෘතියක් ලෙස පේක්ෂකයින්ට රිසි සේ විඳගන්නට අවස්ථාව තිබිය යුතුය. නිෂ්පාදකයාට යම් කිසි දර්ශනයක් ඒ ඔස්සේ ගෙන හැර පෑමට අවැසි නම් ඒ සඳහා ඉතා ම සූක්ෂම ක්‍රමවේද භාවිත කළ යුතු ය. එය කිසිසේත් රසවින්දනයට බාධාවක් නොවිය යුතු ය. කලාවේ රස වින්දනය හැම විටම ප්‍රමුඛ වේ. ජීවන දැක්ම හෝ දර්ශනය වනාහි ඉන් ධ්වනිත වන්නකි. වෙනත් ලෙසකින් කිවහොත් සුන්දර මලක් නාට්‍යය නම් දර්ශනය එහි සුවඳයි. පේක්ෂකයා විඳින්නේ මලේ ලස්සනය. ඒ අතර සුවඳ ද ඔහු විඳියි. එහෙත් එසේ වූ පමණින් මල ඉවත් කොට සුවඳ කුප්පියක් තැබූ කල පේක්ෂකයා තව දුරටත් එහි රැඳේ ද? පියල් කාරියවසම් පමණක් නොව උදයසිරි වික්‍රමරත්න ද නාට්‍ය ඔස්සේ සිය පණිවිඩය පේක්ෂකයා වෙත ගෙන යාමේ මං සොයාගත යුතු ය. සුද්දෙක් ඔබ අමතයි නාට්‍ය ජනප්‍රිය වී ඇත්තේත් දර්ශනවාර බොහෝ ගණනක් ප්‍රදර්ශනය වන්නේත් එහි අමු අමුවේ එළියට දමන දේශපාලන දෘෂ්ටියට රසිකයා ගිනි කන වැටීම හැර අන් කිසිවක් නොවේ. නාට්‍යමය සිද්ධි දාමයක් ඔස්සේ ධ්වනිත කළ යුතු දේශපාලන දර්ශනය නළුවන් මුවින් වමාරවනු මිස එහි නාට්‍යයක් නොමැත. රහස් උදවිය නාට්‍ය පසුපස සිටින්නේ ද එහි දේශපාලන දෘෂ්ටියට පෙම් බඳින අය මිස නාට්‍ය රසිකයෝ නොවෙති. ඔළුව විකාර කරන මේ මනස්ගාත රජතුමාගේ සීතාම්බර සළුව මෙන් වර්ණනා කරන්නට, ඒවාට සම්මාන පිට සම්මාන දෙන්නට මහා ප්‍රාඥයින් රොක්වනු ඇත. එහෙත් මේ මනස්ගාත කාලයේ වැලිතලාවෙන් වැසීයාම වළක්වන්නට කිසිසේත් නො හැකි වනු ඇත. සිංහල නාට්‍ය වේදිකාව අන්තවාදී දාර්ශනික බකමුණාන් විසින් මහ දවාලේ දක්කා ගෙන යන්නේ ප්‍රපාතයට බව අවසාන වශයෙන් ලියා තබමි. 





2 comments:

ධමිමික ස‍‍දරුවන් said...

ඇයි මේ බ්ලොග් එක නැවතිලා.නියම බ්ලොග් එකක්.ආපහු ලියනවානම් කියලා වැඩක් නෑ.

නාමල් උඩලමත්ත said...

ධම්මික ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මම ලියන එක නවත්තලා නැහැ. සඟරාවලට, දිවයිනට ලියනවා. මේ දවස්වල මගේ පශ්චාත් උපාධි කටයුතු නිසා ටිකක් කාර්යබහලුයි. කොහොම වුණත් මම ලියන හැම වෙලාවේ ම බ්ලොග්වලට දාන්න උත්සාහ කරන්නම්.