2009-09-16

රෙදෙව්වේ හඩු සිංහල සහ සිංහලයේ න ණ ල ළ වහර - 2

කලක් සකල ශ්‍රී ලංකාව පුරා රැව් පිළිරැව් දුන් ලංකා ගුවන් විදුලිය පෞද්ගලික නාලිකාවල ආගමනයත් සමග ජනතාව අතරින් ඈත් විය. එකල ලාභ ලබන ආයතනයක් ලෙස පැවති රෙදෙව්ව එහි සුවිශිෂ්ට පරිපාලනය, දේශපාලන අත පෙවීම් සහ දේශපාලන පත් කිරීම්වලට පිං සිදු වන්නට පාඩු ලබන ආයතනයක් බවට පත් විය.

මෙසේ මිය යමින් පැවති රෙදෙව්ව නව පණක් ලැබුවේ හඩ්සන් සමරසිංහ මහතා එහි සභාපති ලෙස පත්වීම් ලබා පැමිණීමත් සමග ය. ඔහු දේශපාලකයෙකි. දේශපාලන විචාරකයෙකි. දක්ෂ පරිපාලකයෙකි. විශිෂ්ට නිවේදකයෙකි. ගී පද රචකයෙකි. හොඳ ද්වීභාෂකයෙකි. දෙමළ භාෂාවෙහි ද යම් පරිචයක් ඇත්තෙකියි හඟිමි.

හඩ්සන් සමරසිංහ සිංහල භාෂාව උසුරුවන ආකාරය සැමට ආදර්ශයකි. විශේෂයෙන් ඔහු යටතේ පවතින ආයතනයේ ඇත්තන් ඔහු ආදර්ශයට ගත යුතු ය. එහෙත් ඒ බවත් අපට නම් නො පෙනේ. ගුවන් විදුලියේ නිල වෙබ් අඩවිය ඊට කදිම නිදසුනකි. සිංහල භාෂාවෙන් වෙබ් අඩවි පවත්වා ගෙන යාමට දැන් පහසුකම් තිබුණ ද එහි ඇත්තේ එක් සිංහල පිටුවකි. එහෙත් එහි බොහෝ වැරදි තිබේ. ඒ දකින විට අපට සිතෙන්නේ ඒ සිංහල පිටුව නැති වුණා නම් වඩා හොඳ බව ය. ඒ වැරදි වදන් මෙසේ ය.

ගනනාවක, නිර්මානය, පර්යේෂන, ලැබුනු, අරමුනින්, දෙමල, තරඟාවලියක්, පැවැත්වින, කල,වෙලඳ, යලිත්, ජයග්රිහකයින් (අදාළ පිටුව)

මේ වදන්වල ඇති වැරදි මොනවා දැයි අක්ෂර වින්‍යාසය ගැන ලියූ මුල් ලිපිය සහ මෙම ලිපිය ඇසුරින් අවබෝධ කරගත හැකි ය.

සිංහලයේ න කාරය හා සම්බන්ධ රීති කිහිපයක් මෙසේ ය.

13. සංස්කෘත පාලි භාෂාවලින් ආ ඇතැම් වදන් අග 'න' කාරය දන්තජ ය.
අවසන, ආගමන, ආශංසන, ඝන, දින, නයන, නිදර්ශන, පරාධීන, ප්‍රදාන, ප්‍රතිචීන, මාන, මීන, මෝහන, වාදන, වසර්ජන, ශයන

14. සිංහලයේ දන්තජ 'න' මුලට යෙදෙන වදන් රැසෙකි.
නත, නක, නද, නම, නල, නළ, නගරය, නරක, නපුරු, නවම්, නා, නාරටි, නාඩගම්, නාය යෑම, නැබ, නැව, නෑ, නිති, නම්, නිසි, නිබඳ, නිසල

15. පද අග 'න' කාරය යෙදෙන වදන් රැසෙකි.
ඌන, කන, තන, දන, අවන, උයන, ගමන, පවන, යවන, ලවන, නිවන

16. වර්තමාන කෘදන්ත අග යෙදෙන 'න' කාරයත් භාව කෘදන්ත තැනීම සඳහා යෙදෙන 'නු' කාරයත් දන්තජ ව සිටියි.
කරන, ගයන, නටන, දරන, දෙවන, බමන, මරන, රවන, ලබන, වයන, සමරන, හමන, කරනු, ගයනු, නටනු

17. 'ර' ට පරව යෙදුන ද 'නු' ප්රකත්ය,ය දන්තජ වේ.
දරනුව, කරනුව, වදාරනුව, කරනුයේ, වරනුයේ, දරනුයේ, සමරනුයේ

ගුවන් විදුලි වෙබ් අඩවියේ කුඩා ඡේද කිහිපයේ රචකයා ඉතා ම සරල වියරණ රීති පවා නොදත් බවට වෙන කිසිදු සාක්ෂියක් අවශ්‍ය නැත. ඔහු සිය සභාපතිවරයාගෙන් උගත යුතු බොහෝ දේ උගෙන නැත. රටේ ජාතික ගුවන් විදුලියේ මෙවන් වැරදි සිදුවිය හැකි ද? ඊට වගකිව යුත්තේ කවුද? බ්‍රිතාන්‍යයේ බීබීසීයේ මෙවන් භාෂා වැරදි සිදු වේ ද? එසේ තබා අපේ ඉංග්‍රීසි අඩවියක මෙවන් වැරදි සිදු කරයි ද? නැත. එසේ නම් මෙසේ වන්නේ ඇයි?

2 comments:

කපිල said...

ඕවට තමා කියන්නෙ "රජයේ ආයතන" කියල

වෙබ් අඩවියෙ මුල් පිටුවම දැක්කහම කියන්න පුලුවන් සිංහලටද තැන දෙන්නෙ ඉංග්‍රීසියටද කියල

Designed by "UCSC" කියලත් තියනව

Word Verification අයින් කලොත් හොදයි ඒක කරදරයි

නාමල් උඩලමත්ත said...

කපිල,
UCSC ආයතනයෙන් ලබා දෙන්නේ තාක්ෂණික සහය වෙන්න ඕන. ඒ නිසා මේ වැරදි ගැන UCSC එකට වගකියන්න බෑනේ. වගකිව යුතු ආයතනයක් සිංහල භාෂාව මේ විදිහට භාවිත කිරීමෙන් පේන්නේ සිංහල භාෂාව ගැන ඔවුන් දක්වන නොසැලකිල්ල. එහෙම භාෂාව විනාශ කරල අපේ ඊළඟ පරම්පරාවට බැනලා පලක් නැහැ. ගිරව් වගේ දොඩවනවා කියලා. හඩ්සන් මහත්තයා හැමදා ම fm නාළිකාවල නිවේදකයින්ට පතුරු යන්න බනිනවා. ඒ ඔවුන්ගේ වැරදි නිසා. හැබැයි 'ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට' කියලා ආප්තයක් තියෙනවා. ඒ නිසා එතුමා තමන්ගේ ආයතනයේ ගිරව් පරව් ටික මුලින් ම හදන්න ඕන.