2009-01-20

අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර

ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ ඇරඹුණේ මෙරට ගතානුගතික මාක්ස්වාදී පක්ෂවලට විකල්පයක් ලෙසිනි. එකී යල්පිනූ මාක්ස්වාදීන් දිගින් දිගට ම මෙරට ජන විඤානය නොතකා පොතේ ගුරු න්‍යායවාදී ස්ථාවරයක ළැග සිටීම තරුණ පරපුර කළකිරීමට හේතු විය. ජවිපෙ වටා ගොනු වූයේ එම තරුණ ජවයයි. ජවිපෙ ඊනියා කම්කරු පංතියකට සීමා නොවී මෙරට ග්‍රාමීය ගොවිජනතාව මත විශ්වාසය තබා ක්‍රියා කළේ ය. එමෙන් ම මා සිතන පරිදි ලංකාවේ එක ම විප්ලවවාදී පක්ෂය ද ජවිපෙ ය. (සෙසු පක්ෂ විප්ලවය ගැන විප්ලවීය බණ දෙසූ හ. තව ද විප්ලවය අද නොවේ හෙටයයි ද දෙසූ හ.) ඔවුන් ලෙනින්, මාවෝ සේතුං, ෆිදෙල් ක්‍රැස්ත්‍රෝ, හෝචිමින් අනුව යමින් විප්ලවීය ක්‍රියා මාර්ගයකින් රටේ පාලනය සියතට ගැනීමට උත්සහ කළේ ය. එහෙත් ඔවුන් පැරැදිණි. ඒ පරාජයේ ලේ වන්දිය මෙරට බහුතර සිංහල තරුණයින්ට ගෙවීමට සිදු විය. ඔවුන් බහුතරය නිසා මානව හිමිකම් නැති හෙයින් ආණ්ඩුවට එය පහසු විය.



1994 නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසෙන ජවිපෙ ඉතා කෙටි කලකින් විශාල ප්‍රගතියක් අත්පත් කර ගත්තේ ය. 94 පාර්ලිමේන්තු ආසන 01න් ඇරඹි ගමන 2004 වෙද්දි ආසන 39ක් දක්වා ඉහළ ගියේ ය. ප්‍රධාන දෙපක්ෂය දූෂිතයින්ගෙන් පිරීයාම සහ ඊට සාපේක්ෂව ජවිපෙ අවංක දේශප්‍රේමි තරුණයින්ගේන් සමන්විත වීම මේ පිබිදීමට හේතු විය. මේ කාල පරාසය තුළ ඔවුන් මව්බිමට ලබා දුන් ජයග්‍රහණ ප්‍රමාණය සුවිශාල ය. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම, සටන් විරාම ගිවිසුමට එරෙහි ජනමතය ගොඩනැගීම, 2002 රනිල් වික්‍රමසිංහහ ආණ්ඩු බිඳ දැමීම, පරිවාස ආණ්ඩු ආදර්ශය, මහින්ද ජනාධිපති ධුරයට ගෙන ඒම සහ වත්මන් රජය සහ ජනතාව, කොටි යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන ස්ථාවරයට ගෙන ඒම ඒ අතර කැපී පෙනේ. ඒ සියලු ජයග්‍රහණවල යම් ගෞරවයක් එම පක්ෂය වෙත හිමි විය යුතු ය.

එහෙත් 2005 වන විට ජවිපෙ පැරැණි මාක්ස්වාදී පක්ෂ ගොන්නට ඇද වැටිණි. ඔවුන් අතින් දේශප්‍රේමයේ කොඩිය ගිලිහිණි. එපමණක් නොව ඔවුන් මව් බිමේ හතුරන්ගේ සුරතලුන් බවට පත්විය. අද ඔවුන් ද මුමුණන්නේ හතුරන්ගේ සටන් පාඨ ය. රටේ මූලික ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු සොයන විට ඊට අකුල් හෙළති. යුද ජයග්‍රහණ අයිති රාජපක්ෂ ආණ්ඩුවට නොව රටේ ජනතාවට යයි කියති. එහි අරුත තිස් වසරක් පුරා රට ලැබූ පරාජයන්හි වඟකීම ද ජන සතු බව ද? ඒ යුගයේ සිදු වූ සියලු කුප්‍රකට පාවාදීම්වල වඟකීම ජනතාව සතු බව ද? නැතිනම් 'රටේ සේනාධිනායකයා ජනපතිය ත්‍රිවිධ හමුදාවට නායකත්වය දෙන්නේ ඔහුය' යන යන සරළ අවබෝධය ජවිපෙට නැති ද?

ආණ්ඩුව මූලික වී ලබන ජයග්‍රහණ ජන සතු කරන මේ කුහකයෝ එම ආණ්ඩුව ලබන පරාජයන් රාජසන්තක කරති. කිනම් නරුම හැසිරීමක් ද? මේ විගඩම සෙබලුන්ගේ ගුණ වයා හමුදා නායකත්වය විවේචනය කරන රනිල්ගේ නරි කෝළමට කදිමට සමපාත වෙයි. එහි ප්‍රතිඵලය ජවිපෙ නැගි සිටි වේගයෙන් ම නාය යාම ය. එහි ජන පදනම විනාශ වීම ය. මෑත දී පැවැති සියලු මැතිවරණවලදී පසක් වූයේ එම සත්‍යයයි.

ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත. ඒ වෙත ඒමට ඔවුන්ට උරුමයක් සහ අයිතියක් ඇත. එහෙත් ඔවුන් ඉන් පිට පැන වල්මත් වන විට ජනතාව ද වල්මත් නොවන වඟ පෙබරවාරී 14 වන දා නැවත සනාථ කරනු ඇත.

6 comments:

Manoj colambage said...

ජවිපෙ ට අද මෙහෙම වුනේ ඉක්මනට (ෂෝර්ට් කට් වලින්) මොක්පුර යන්න ගොහිං තමයි.

විජේවීරලා හදපු මග ගියානම් කවද හරි මොක්පුර යන්න කිබුනා.දැන්නම් ඉතිං දකින්න තියා හිතන්නවත් අමාරුයි.

නාමල් උඩලමත්ත said...

මනෝජ් විජේවීර නියම ලාංකික නායකයෙක්. ඔහු මැනවින් මාක්ස්වාදය සහ දේශප්‍රේමය ගළපා ගත්තා. 2005 සිදුවුණු ප්‍රධාන බිඳ වැටීම තමා දේශප්‍රේමය හැලී යාම. ඒ සමඟ ම පක්ෂය යාන්ත්‍රික මාක්ස්වාදී පක්ෂයක් බවට පත් වුණා.

කොහොම වුණත් මනෝජ්, ඔවුන්ට යළි නැඟී සිටින්න බෑ කියන කාරණය පිළිගන්න ඔවුන්ගේ ඉතිහාසය විසින් අපට අවසර දෙන්නේ නැහැ නේද? ජවිපෙ දශක 4 ඉතිහාසයේ දෙවරක් දැඩි මර්දනයට ලක් වූ පක්ෂයක්. අවසානයේ ඔවුන් විප්ලවය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඔස්සේ බලයට පැමිණීමේ මාර්ගයට ආවා. ජනතාව ඔවුන් පිළිගත්තා. දිනෙන් දින ඒ පිළිගැනීම වැඩි වුණා.

එහෙත් මොන වරදකින් හෝ යළි පීලි පැන්නා. මම නැවතත් කියනවා ඔවුන් නිවැරදි වුණොත් ජනතාව දිනා ගන්න පුළුවන් කියලා.

ම.ම.ගි said...

-<{අවසානයේ ඔවුන් විප්ලවය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඔස්සේ බලයට පැමිණීමේ මාර්ගයට ආවා. ජනතාව ඔවුන් පිළිගත්තා. දිනෙන් දින ඒ පිළිගැනීම වැඩි වුණා}>-

‍මගේ අදහස නම් මුල් කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වගේ විමල් වීරවංශ මහතාගේ කතිකත්වයත් ‍මේ ගමන ඒමට ඔව්න්ට අත්වැලක් වුණා යන්නයි. නමුත් දැන් ඔවුන් සතුව මේ දෙකම නැහැ.

නාමල් උඩලමත්ත said...

මට මචන් එක්ක එකඟ නොවී බැහැ. විමල් ආකර්ශනීය පෞරෂයක්. හොඳ කථිකයෙක්, ලේඛකයෙක්. ඒත් මම දකින්‍නේ විමල් මාක්ස්වාදයෙන් ගත යුත්ත ගෙන එම දර්ශනය දේශීයකරණය කරගන්න යම් උත්සහයක් ගත් කෙනෙක්. ඔහු ඇතුලු පිරිසේ වෙන්ව යාමටත් බලපෑවේ පක්ෂය මාක්ස්වාදී මූලධර්මවාදීවීම කියලයි මට හිතෙන්නේ.

Anonymous said...

ලබ්බ තමයි

Anonymous said...

siara article ekak. 100% true. JVP eka 2002-2005 kale ratata godak jayagrahana laba dunna. E nisa hathuro loku plan ekak gahuwa JVP eka wattanna. JVP eka ekata ahu una. eda idan JVP ekata kela una. Eka ratata loku paduwak.