2009-02-03

ගීතයේ අයිතිකරු සංගීතඥයා ද?

යම් කිසි කලා කෘතියක් පෞද්ගලික හෝ සමූහික ප්‍රයත්නයක ඵලය ලෙස බිහි වේ. කවිය, නව කතාව, සිත්තම නිර්මාණකරුගේ තනි නිර්මාණ වන අතර සිනමාව, ටෙලි නළුව, වේදිකා නාට්‍ය සාමූහික නිර්මාණ වෙයි. ගීතය ද මෙවැනි ම නිර්මාණකරුවන්ගේ එකතුවක ඵලයෙකි. ගේය රචකයා, සංගීතඥයා සහ ගායකයා මෙහිලා ප්‍රමුඛ වන අතර අමතරව වාද්‍ය වෘන්දය සහ ශබ්ද පරිපාලකයෝ ද ඊට සහභාගි වෙති.

මෙසේ නිර්මාණයක් සඳහා නිර්මාණකරුවන් පිරිසක් සහභාගි වුව ද එම කෘතියේ අයිතිය එක් අයෙකුට හිමි වෙයි. එනම් සිනමාවේ එම අයිතිය අධ්‍යක්ෂ සතු වන අතර වේදිකා නාට්‍යයේ අයිතිය නිෂ්පාදක සතු වෙයි. එහිදි අදාළ මාධ්‍ය කාගේ ප්‍රකාශන මාධ්‍යය ද යන්න සලකා බලා කෘතියේ අයිතිය ඔහුට පවරන අතර සෙසු අය එහිලා සහය වූවන් ලෙස සලකනු ලැබේ. රේඛාව නමැති සිනමා කෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ද මනමේ නමැති නාට්‍යයේ අයිතිය මහැදුරු සරත්චන්‍ද්‍රට ද හිමි වනුයේ එබැවිනි.

එහෙත් ඇතැම් සාමූහික කලා මාධ්‍ය කාගේ ප්‍රකාශන මාධ්‍යයදැයි එකවර හඳුනා ගැනීම අපහසු ය. ගීතය එබන්දකි. ගීයේ නිර්මාණ කටයුතු බොහෝ විට ඇරඹෙන්නේ ගේය රචනයෙනි. අනතුරුව සංගීතය සැපයෙයි. මුලින් සංගීතය නිම වී පසුව ගී පද ලියවුන ද අවසන එය රසිකයා වෙත ගෙන යන්නේ ගායකයා ය. බොහෝ රසිකයෝ එහි ගායකයා මිස රචකයා හෝ සංගීතඥයා නොහඳුනයි. ඔවුන් පවසන්නේ මේ අහවල් ගායකයාගේ ගීයක් බව ය.


ගීයේ නිර්මාණ අයිතිය ගායකයාට යයි පිරිසක් සිතන අතර රචකයාට යයි තවත් පිරිසක් සිතති. සුළු පිරිසක් ගීය සංගීතඥයාට අයිති බව පවසති. විශේෂයෙන් යම් ගීයක් මුලින් එක් ගායකයෙක් ද අනතුරුව තවත් ගායකයෙක් ද ගැයූ විට මේ අයිතිය පිළිබඳ කතා බහ ඉස්මතු වෙයි. ඇතැම් විට අධිකරණයට පවා යයි. ගීයේ අයිතිය පිළිබඳ ඇති සංකීර්ණ තත්ත්වය එමගින් මොනවාට පැහැදිළි වෙයි. ගීතය පිළිබඳ ප්‍රවීණ විද්වත්හු ද මේ කාරණය ගැන එකිනෙකාට පරස්පර විරෝධි අදහස් දරති.මෙම ගැටළුව විසඳා ගැනීමට ඇති වඩාත් න්‍යායානුකූල මඟ සෙසු සමූහික කලා නිර්මාණවල මෙන් ම ගීතය කාගේ ප්‍රකාශන මාධ්‍යය ද යන්න නිර්වචනය කර ගැනීම ය.

ගායකයා ගීයේ වාහකයා හෙවත් ගීය රසිකයා වෙත ගෙන යන්නා මිස ආත්ම ප්‍රකාශකයා නොවේ. නාට්‍යයකට නළුවෙකුගෙන් යම් සේවයක් සිදුවන්නේ ද ගායකයාගෙන් ගීයට ඉටු වන්නේ ද එවන් සේවයකි. එනම් ගීය ගායකයාගේ ප්‍රකාශන මාධ්‍ය නොවේ. ඔහු අතරමැදියෙකු පමණි. දැන් ඉතිරිව ඇත්තේ ගේය රචකයා සහ සංගීතඥයා ය. ගායකයාගේ කාර්ය විග්‍රහ කිරීමට වඩා දැන් තත්ත්වය සංකීර්ණ ය.

ගේය රචකයා සහ සංගීතඥයා යන දෙදෙනාම ගීය තුළ යම් ආකාරයක ආත්ම ප්‍රකාශනයක නිරත වෙයි. බොහෝ විට ගීය නිර්මාණය වීමේ ක්‍රියාවලිය තුළ මුලදි ඉස්මතු වන්නේ ගේය රචකයා ය. ගීයේ මුල් බිජු වට පිළිසි‍ඳෙන්නේ ඔහු සන්තානයේ ය. වචනවලින් ප්‍රකාශ වන අර්ථයේ තීරකයා ඔහු ය.

අනතුරුව එම පදවැල සංගීතඥයා අතට පත් වෙයි. ඒ සමඟ ම මෙතෙක් ගීය විෂයෙහි බලපැවැත්වූ ගේය රචකයාගේ ආධිපත්‍යය සංගීතඥයා අතට පත් වෙයි. ගීය නිර්මාණය වී දොරට වඩින විට ඉස්මතු වී පෙනෙන්නේ සංගීතඥයා ය. ඔහුගේ මිහිරි තනුවට රසිකයා වහා ආකර්ශනය වෙයි. එහි රසය විඳ ගනී. බොහෝ රසිකයින් ඉන් සෑහීමට පත්වෙයි. පද වැලේ අරුත යටපත් වෙයි.

අප නොදන්නා භාෂාවලින් ගැයෙන ගී එහි වදන් අමතක කර අපට රස විඳිය හැක්කේ ඒ නිසා ය. අප රස විඳින ජනප්‍රිය හින්දි ගී නිදසුන් ය. වෙනත් බසකින් ගැයුනු ගීයක තනුව ගෙන සිංහල වදන් යොදා ගැයෙන්නේ ඒ නිසා ය. එකම පදවැල තනු දෙකකට ගැයෙන දුලබ අවස්ථාවල එක් ගීයක් පමණක් ජනප්‍රිය වන්නේ ඒ නිසා ය. වචනවල අර්ථයේ ශෝක ජනක ප්‍රකාශයක් සනිටුහන් වන ඇතැම් වේග රිද්ම තනු සහිත ගීවලට ප්‍රසංග වේදිකාව අබියස රසිකයින් රංගනයේ යෙදෙන්නේ ඒ නිසා ය. ෆ්‍රින්ස් උදයප්‍රියන්තගේ ‘සුදු මල් පොකුරක්’ නම් ගීය නිදසුනකි. පුතෙකු සිය පියාගේ සොහොන අබියස සිට ගයන මේ ගීයේ වචන අර්ථය, සංගීතඥයා යටපත් කර ඔහුගේ ආධිපත්‍යට රසිකයා ඇද බැඳ තබාගෙන තිබේ.

ඉන් නොනවතින රසික පිරිසක් ගීයේ වාච්‍යාර්ථය සොයා යයි. එතැනදී, නැවත, පදවැල සංගීතඥයා අතට පත්වීමත් සමග යට ගිය ගේය රචකයා මතු වෙයි. ඔහු ප්‍රේමය, සොබා දහම, දේශානුරාගය වැනි යම් ඉසව්වක් අරබයා සුරචිත පදවල අර්ථය එම විරල රසික පිරිස හඟියි. උපමා අලංකාර වක්‍රෝක්ති, අන්‍යාලාපවල අරුත් හඟින්නේ ඔහු ය. එසේ, සංගීතයේ ආධිපත්‍යට සැඟව පවතින, ගීයේ කාව්‍යමය යටි අරුත් සොයා කිමිද, සංගීතය සහ කාව්‍යමය රජ මුසුවක් වින්දනය කරන්නෝ ඉතා ම විරළ ය. අති බහුතරය ගීයේ හුදු සංගීතමය ආස්වාදය අසළ ලැඟුම් ගනී.

ගීයේ කාව්‍යයමය ආස්වාදය ලබනට යම් පරිචයක් තිබිය යුතු ය. රසිකයාට කව් ගී විඳ පළපුරුද්දක් තිබිය යුතු ය. ‘පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ’ යයි කව්සිළුමිණි කරු පැවසුවේ එහෙයිනි. එහෙත් ගීයට රොද බඳින අති බහුතර රසිකයින්ට එම පරිචය නොමැත. එවන් පරිචයක් තිබුණ ද සංගීතඥයාගේ ආනුභාවයට රසිකයා අනවරතයෙන් යටත් වන අතර වචනවල අර්ථය විමසනුයේ වෙනත් තලයකදී ය. එහෙයින් ගීතය වනාහි සංගීතඥයාගේ මාධ්‍ය වේ යයි පවසමි.

1 comment:

තරුරසී said...
This comment has been removed by the author.