2009-01-03

කිලිනොච්චියෙන් ඔබ්බට

විරෝදාර ශ්‍රී ලංකා රණ විරුවෝ සිහින ඊලාම් දේශයේ හදවත වන් කිලිකොච්චියේ සිහ දජය එසවූහ. මේ වූ කලී ඊනියා ඊලාම් දේශයේ මිනී පෙට්ටියට අවසන් ඇනය ද ගැසීමකි. දැන් ඉතිරිව ඇත්තේ අලිමංකඩ සහ මුලතිව්වල සැඟව සිටින ත්‍රස්ත රැළ ද වනසා දැමීම පමණි. කෲර ත්‍රස්තවාදයෙන් නේක ගැහැට විඳි ජනතාව මේ ජයග්‍රහණයෙන් පස්වනක් ප්‍රිතියට පත්විය. එම විජයග්‍රහණය ජනපති විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නගර ගම් පසල් දනව් පුරා හෝරා ගණනක් ගිඟුම් දුන් රතිඤ්ඤා හඩ සහ ජය ඝෝෂා හඬ ප්‍රකාශ කළේ ඒ ප්‍රීතියයි. උපන්දා සිට අත පය වකුටු කරගෙන සිටි අපේ පරම්පරාවට රිසි සේ උතුරින් දකුණට ද දකුණින් උතුරට ද යාමට ඒමට හැකි වන දිනය අත ළඟ ය.

මේ අනඟි ජයග්‍රහනය පිණිස රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවන්ට අපි අපේ උත්තමාචාරය පුද කරමු! අත පය අහිමිව, තුවාල ලබා සිටින රණ විරුවන්ට ඉක්මන් සුවය පතමු! අපේ ආරක්ෂාවට සටන් බිම අවි දරා සිටින දේශයේ මුර දේවතාවුන්ට යෝධ බල යෝධ ශක්තිය පතමු! සතුරු බලමුළු පරයා මේ විනාශකාරී යුද්ධය හැකි ඉක්මනින් අවසන් කරනට ඔවුනට හැකි වේවායි පතමු! එමෙන් ම හමුදා ජයග්‍රහණ අවතක්සේරු කරමින් ද හූනෙකු තරම් කොටියා ඩයිනෝසරයෙකු තරම් පුම්බමින් ද දෙස් විදෙස් ද්‍රෝහීන් ඊලම බේරාගැනීමට එක පිට එක කළ කුමන්ත්‍රණ අබිමුව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි ජනතාව ද මේ මහා ජයග්‍රහනයේ උරුමකරුවෝ ය. මේ ජයග්‍රහණය ලැබුවේ 2002 හමුදා කඳවුරුවලට ගාල්කර කොඳු බිඳ තිබූ හමුදාවම බැවින් ඔවුන්ට නියම නායකත්වයක් ලබා දුන් ජනපති ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් ද අපේ බුහුමනට ලත්වෙයි.

ඇමරිකානු ආයතන දෙකක් ගත වූ දශක 4ක කාලය තුළ ලොව පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධාන පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබේ. ඔවුනට අනුව මේ කාලය තුළ ලොව පුරා ත්‍රස්ත සංවිධාන 624ක් ක්‍රියාත්මක වී තිබේ. ඉන් 268ක් අතරමඟ සිය ත්‍රස්ත ක්‍රියා අතහැර දැමූ අතර 136ක් භේදභින්නව කැඩී ගියේ ය. තවත් 144ක් තවමත් ක්‍රියාත්මක වෙයි. ත්‍රස්ත ක්‍රියා නතර කළ කාණ්ඩයේ සංවිධාන 40%ක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය රහස් ඔත්තු සේවා විසින් අක්‍රිය කොට තිබේ. තවත් 43%ක් සාම සාකච්ඡා මගින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පිවිස තිබේ. 10%ක් සංවිධාන සිය කැරලි ජයගෙන තිබේ. මේ අනුව ලොව පුරා 90%ක ප්‍රතිශතයකින් ත්‍රස්තවාදය පැරදි තිබේ. ජය ලබා ඇති 10%ක දුලබ අවස්ථාවල ද ඊට ප්‍රධාන සාධකය වී ඇත්තේ ජනතා සහයයි.

මේ වන විට කොටි සංවිධානයට පක්ෂපාති පිරිස් දැන් විශාල වශයෙන් ඉන් ඉවත් වී හමාර ය. ඔවුන්ට දැන් බලපෑම් කළ හැක්කේ ප්‍රාණ ඇපයට ගෙන සිටින ලක්ෂ 150 000 ජනතාවකට පමණි. මේ වන විට ත්‍රස්තග්‍රහණයේ ඇති දෙමළ ජන පිරිස 10% අඩුය. 90%ක් පමණ වන දෙමළ ජනතාවක් ලංකා ආණ්ඩුවේ පාලන පෙදෙස්වල ජීවත්වෙයි. තව දුරටත් ඊලාම්වාදීන්ට ඊලාම් සිහින දැකීමේ හැකියාවක් නැත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු විදෙස් මාධ්‍ය අමතා පැවසුවේ කොටි වසර 10ක් පමණ උතුරු නැගෙනහිර අර්ධ ස්වාධීන රාජ්‍යක් පවත්වා ගෙන ගිය බවත් කිලිනොච්චිය අහිමිවීම සමඟ එය බිඳ වැටුණු බවත් ය. ඔහුගේ ප්‍රකාශයෙන් කිලිනොච්චි ජයග්‍රහනයේ වැදගත්කම කෙතරම්දැයි ප්‍රකට වන අතර එය අවතක්සේරු කිරීමට මෙරට මිනිසුන්ට සිරසක් නැතැයි සිතන කොටි නාළිකාව සුළු සිදුවීමක් අතිශ්‍යොක්තියට නැගීමට ගත් උත්සාහය බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු ය. ඔවුන්ගේ මේ දේශද්‍රෝහී ක්‍රියාකළාපය අප මීට පෙර ද පෙන්වා දී ඇත.

වරක් චීන නායක මාවෝ සේතුං පැවසුවේ කැරලිකරුවන් නිදහසේ පිහිනා යන්නේ ජනතාව නමැති දියෙහි බව ය. එනම් ඔවුන් ආරක්ෂා කරන්නේ ජනතාව බව ය. මේ සත්‍ය දේශප්‍රේමී ජනතාව වහා අවබෝධ කරගත යුතු ය. ත්‍රස්තවාදයෙන් වෙන්ව ත්‍රස්තවාදයෙන් බේරී එන හැමට සිය සහෝදරත්වයේ දෑත් දිගුකළ යුතු ය. දශක 3ක් පමණ ත්‍රස්තවාදය නිසා ඔවුන්ට අහිමි වූ දේ ලබා ගැනීමට උදව් විය යුතු ය. කිසිදා සිංහලයකු දැක නැති ඔවුන් සිංහලයා යනු මිනී කන මාරයෙකි යන මායාවේ තවමත් ගිලී සිටිනවා විය හැකි ය. ඊට වැරදිකරුවන් ඔවුන් නොවේ. ඒ මායාවේ ඔවුන් ගිල්වූයේ ත්‍රස්තයින් සහ උන්ගේ පඩි ලැයිස්තුවල නම් ඇති ජඩමාධ්‍යකරුවන් ය. තුත්පහි එන්ජීඕ කරුවන් ය. මුදා නොගත් ප්‍රදේශවල සිටින දෙමළ ජනතාවට හමුදාව සිටින ප්‍රදේශවලට නොඑන්නැයි බීබීසීය සිය දෙමළ සේවා වැඩ සටහන් ඔස්සේ පුප පුනා කියන බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙවන් තත්ත්වයක් යටතේ හමුදා ජයග්‍රහණ අර්ථවත් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ ය. එනම් ඔවුන්ගේ කළණ මිතුරා සිංහලයා බව පෙන්වා දීමේ හැකියාව ඇත්තේ ඔබට ය. ඔවුන් මහා මිත්‍යාවක ගිලී සිටි බව පසක් කළ හැක්කේ ඔබට ය. ඔබ සමග සිටින දෙමළ මිතුරන්ට ඔබේම සහෝදරයෙකුට මෙන් සලකන්න. ඔවුන්ගේ දුක සැප සොයා බලන්න. ඔවුන්ට සැකයේ වෛරයේ ආගාධයෙන් ගොඩවිත් සාමාන්‍ය ජන ජීවිතයට හුරුවීමට සහයවන්න. විරෝදාර හමුදාව අසීමිත කැප කිරීම් කොට ලේ දහඩිය කඳුලු මතින් ලැබූ මේ වටිනා ජයග්‍රහනය හෑල්ලුවට ලක් නොකරන්න. උතුරේ ලබන ජය සිංහලයා දෙමළා පරාද කිරීමකැයි සිතීම ද දකුණ විසින් උතුර පරාද කිරීමකැයි සිතීම ද ඒ ජයග්‍රහන සඳහා කළ හැකි ලොකු ම නින්දාව ය. විරෝදාර රණවිරුවන්ට රටට කළ හැකි ලොකු ම ද්‍රෝහීකම ය. සිතට ගන්න. මේ වූ කලී සිංහල දෙමළ මුස්ලිම් සැම එක පොකුරට එක්ව ත්‍රස්තවාදය කරාජය කිරීමකි. ඉන් අපේ උතුම් මව්බිම ගළවාගැනීමකි.

මව්බිමේ ඒකීයත්වය පිණිස කැප වන සැම සිංහලයින් මිස අනෙකෙකු නොවේ. ඔහුගේ ඇය‍ගේ නම සෝමසිරි විය හැකි ය. නටරාජා විය හැකි ය. සෙනෙහෙලතා හෝ සෙල්ලම්මා විය හැකි ය. ඉන් කමක් නැත.

2 comments:

Vidushi - විදුෂි said...

අපේ පාසලේ ඔබ පවසන ආකාරයේ වැඩසටහනක් දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. අපේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ පූජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමිගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
බලන්න මේ සටහන.
http://vidushidiary.blogspot.com/2008/12/blog-post.html

නාමල් උඩලමත්ත said...

සංහිඳට ඇවිදින් පුංචි සටහනක් තබා ගිය පුංචි නංගියා විදුෂිට පිං. ඇත්තට ම ඔයාලා වගේ ළමයි රටට වාසනාවක් නංගියෝ. රටේ සියලු ජනතාවට සාමයෙන් ඉන්න කියාදෙන ඒ හාමුදුරුවන්ට ඒ පින ම ඇති නිවන් දකින්න නංගියෝ.
අපි අපේ දෙමළ මුස්ලිම් සහෝදරයින්ට බොහොම ආදරෙන් ඉන්න ඕන. එතකොට ඒ අය කවදාවත් අපෙන් වෙන්වලා වෙනම රටක් හදන්න හිතන එකක් නැහැ. එහෙම කළොත් අද පලස්තීනය විඳින දුක අපේ අනාගත පරපුරට විඳින්න වෙන එකක් නැහැ. මම ඔයාගේ අඩවිය නිදහසේ බලන්නම්කෝ.