2008-09-22

සිරසයි පාර කියන්නේ !

දැන් දැන් බොහෝ දෙනා සිරස හෙළා දකිති. එය දැන් රැල්ලකි. රටට නොයෙක් ආකාරයේ රැලි හදුන්වා දුන් සිරසට එය ම බූමරංගයක් වීම එක් අතකින් දෛවයේ සරදමකි. මෙකී පිරිස සිරසට බැණ වදින හේතු විවිධාකාර ය. ඇතැමෙක් සිරස එජාපයට (නලින් ද සිල්වා නිවැරදි ව විග්‍රහ කරන පරිදි එවිප_එක්සත් විජාතික පක්ෂයට) බර නිසා ලු. තවත් අය සිරස LTTEට පක්ෂ නිසා ලු. ඇතැමෙක් මහ ගෙදර යන අතර දැන්වීම් වැඩිපුර ප්‍රචාරය කරන නිසා ලු. තවත් අයෙක් තමා හෝ තම ඥාතියා සුපර් ස්ටාර් තරගයෙන් කැපුව නිසා ලු. උපාසකම්මලා රෑ 8ට පැවැත්වූ පන්සලේ පූජාව 7ට පවත්වන නිසා ලු. හාමුදුරුවරු රෑ 8 පූජාවට කිසිවකු නො එන නිසා ලු. තවත් අයෙක් සිරස අයිති ද්‍රවිඩයෙකුට නිසා ලු. ඇතැම් ස්වාමි පුරුෂයෝ රෑ 10 වන තුරු තම නිවසට යාමට නොහැකි නිසා ලු. අරක්කු බාර් කාරයෝ රෑ 10 පසු වන තුරු බාර් එක වසා දැමීමට නොහැකි නිසා ලු. සෙසු නාලිකාවල අය යුරෝ_ඇමරිකා රටවල ජනප්‍රිය වන වැඩ සටහන් තමන්ට කලින් සිරස කොපි කරන නිසා ලු.

මෙම හේතු විග්‍රහයෙන් ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම හා වින්දන මට්ටම ද සිරස විසින් පොදුවේ සමාජයට කරන ලද බලපෑම ද හදුනා ගත හැකි ය. බොහෝ හේතු ඉතා ම බොළඳ සහ අවිචාරවත් බැව් පැහැදිළි ය. ඒවා හේතුඵල දහම අනුව හේතුව හඳුනා නොගෙන ඵලවල එල්ලී කරන විවේචන ය.

මේ අය අතර සිටින එක් පිරිසක් භයානක ය. ඒ ද්‍රවිඩයෙකුට සිරස අයිති නිසා ඊට විරුද්ධ වන අය ය. මේ අමනයන් 1983 මෙන් ජාතිවාදී කෝලාහල වපුරා මර ඇදේ පණ අදින පිරපාහරන්ට නැවත වරක් පණ නළ පිඹීමේ අවදානමක් පවති. ද්‍රවිඩයන් සියලු දෙනා ඊලම්වාදීන් හෝ ත්‍රස්තවාදීන් නොවේ. 51%ක් ද්‍රවිඩයෝ සිංහලයින් සමග උතුරු නැගෙනහිරින් පිට ජීවත්වෙති. ඇතැමෙක් ත්‍රස්තවාදයට සහය දැක්වුව ද ඒ සියලු ද්‍රවිඩයෝ නොවෙති. ඇතැම් සිංහලයන් ත්‍රස්තවාදයට සහය දුන් පමණින් සියලු සිංහලයින් වගකිව යුතු නොවන්නේ යම් සේ ද ද්‍රවිඩයන් ද එසේ ම ය.

සිරස විවේචකයන් දක්වන ඇතැම් හේතුවල යම් යම් සත්‍යයන් තිබුණ ද ‘සිරසෙ දේශපාලනය’ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය එකකි. කොළඹ සරසවියේ තරුණ කථිකාචාර්වරයෙකු වන ධම්ම දිසානායක වරක් පැවසුවේ සිරස එජාපයට නොව සංධානයට පක්ෂ වුව ද ඊට විරුද්ධ විය යුතු බවත් ඔවුන්ගේ දේශපාලනය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය අරමුණු සහිත එකක් වන බවත් ය. ඔවුන්ගේ දේශපාලන අරමුණු මොනවා දැයි අද මළ පොතේ අකුරු නොදත් ගැමියෝ පවා දනිති. බුත්තල ත්‍රස්ත ප්‍රහාරයක් ලහිලහියේ වාර්තාකරණයට ගිය සිරස පිරිසට ඒ පෙදෙස් වැස්සෝ “තොපි ආව ද සිංහලයින්ගේ ලේ බලන්න” යයි බැණ අඩගසා එලවාගත් හ. නූගත් ගම් වැසියෝ පවා අද සිරසට ‘කොටි සිරස’ යයි කියති. සිරසට එරෙහිවීම නිසා ම ඇතැමුන්ට මර්වින් සිල්වා ඇමතිවරයා විරුවෙකි.

අවර ගණයේ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතය මෙරටට බෝකළේ සිරස ය. උදේ පාන්දර සිට චිත්‍රපට කාටුන් ආදි විප්‍රකාරවලින් ගේ හැඩි කළේ සිරස ය. කොටින් ම ගෙදරින් ශ්‍රීදේවිය එළවා මූදේවිය වඩම්මාගෙන ආවේ සිරස ය. ශ්‍රීදේවිය හා මූදේවිය නාදුනන ඈයෝ මූදේවිය සාදුකාර දී පිළිගෙන මැද සාලේ වඩා හිඳවූ හ. සිරස නිර්මාණශීලි නාලිකාව යයි බෞතීස්ම කළ හ. ලොව කොතැන හෝ පහත් රුචිය මැද ජනප්‍රිවූ දෙයක් අප රටට ගෙන ඒම දීන අනුකරණය මිස නිර්මාණශීලීත්වය නොවේ යයි අප තේරුම්ගන්නේ කවදා ද? ඒ පසුපස හැල්මේ දුවන සෙසු නාලිකා ගැන කවර කතා ද?

අද රටේ තරුණ පරම්පරාවේ එක ම පැතුම සුපිරි තරුවක් වීම ය. නාලිකාවල එකම අරමුණ තරු බෝ කිරීම ය. එහෙත් මේ වල්ග තරු වහා මහා දීප්තියක් දක්වා එසැණින් බැස යයි. කලාවට රටට ඉන් වන සෙතක් නැත. කැලේ මල් නගරයට ගෙ ආමියි පාරම්බාන මේ උන්දැලා එමගින් කළේ යයි කියන හොඳට වඩා නොහොඳ සිව්සිය ගුණයකින් වැඩි බව මගේ අදහස ය.

සිරසින් ඇරඹුණු ලිපිය දැන් නැවතත් සිරස වෙත යොමමි. රටේ පවතින ත්‍රස්තවාදය පිළිබඳ සිරසේ වාර්තාකරණය ඊනියා මැදිහත්වීමකට මුවා වූ රංගනයකි. ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර කවර මධ්‍යස්ත බවක් ද? අනෙක් අතට ලොව මැදහත් මාධ්‍ය යනු හුදු විහිළුවක් පමණි. සියලු මාධ්‍ය සිය ස්වාමිවරුනට සේවය කරති. ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටිති. ඒ සඳහා හොඳම නිදසුනකි, බීබීසීය.

ඒ අර්ථයෙන් ගත් කල සිරස එහි හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටිති. එහි කුලී සේවකයෝ හාම්පුතුන්ගේ අරමුණු සාක්ෂාත් කරන්නට සිය ශ්‍රමය වගුරුවති. මේ කුලී සේවකයන් අධ්‍යක්ෂ නිෂ්පාදක නිවේදක කැමරාකරු ආදි ලෙස වර්ග කොට ඇත. ඒ හැම පොදුවේ ජනමාධ්‍යවේදීන් යන නම් ලබයි. ඔවුන් සිය හාම්පුතුන්ගේ මනදොළ සපුරන තරමට උසස්වීම් වැඩි පඩි ලැබේ. ඒ නිසා දකුණේ බෝමබයක් පිපිරුණු වහා ජනතාව කුපිත කිරීම සඳහා උන් වැඩ කරති. පැරණි සිද්ධිවල රූප රාමු සජීවි ලේබලය යටතේ විසුරුවති. කෙසේ හෝ සිංහල ජනතාව කුපිත කොට දකුණේ අහිංසක දෙමළ ජනතාව බිල්ලට දී පිරපාහරන් රැකගැනීමට වෙහෙසෙති. එසේ කරන්නේ සිය ස්වාමීන්ගේ අරමුණ එය බැවිණි.

එහෙයින් මර්වින් සිල්වා ඇමතිතුමා සිරස සේවකයන්ට පහර දී පලක් නැත. ඒ අය සිය රැකියාව කරනවා පමණි. කළ යුත්තේ සිරස හාම්පුතුන්ගේ බෙදුම්වාදී අරමුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ය. ජනතාවගේ රස වින්දන මට්ටම ඉහළ නැංවීම ය. එවිට රටේ සිරස නොබලන පිරිස බලන පිරිස ඉක්මවා යනු ඇත. සිරසේ වැඩ කරන ඒ සේවකයන් ද මේ රස්සාවට වඩා පිටකොටුවේ හිඟාකෑම නම්බුකාරයයි අවබෝධ කරගනු ඇත.

එමෙන්ම සිරස නමැති වාහනය කෙතරම් ලොකු රජෙකුගේ වුව ද එය පදවන්නේ ජන මනස නමැති මාර්ගයේ ය. ඒ මාර්ගයේ රිය පැදවීම පිළිබඳ නීති මාලාවක් තිබිය යුතු ය. ඒ ජනයාගේ ආරක්ෂාව පිණිස ය. ඒ වඟකීම ඇත්තේ රජයට ය.

අවාසනාවක මහත! අපේ රජතුමා හැම පෝයට ම සිරස අරලිය ගහ මැදුරට වඩම්මා බණ අසයි. හිටපු ජනපතියගේ පාලන සමයේ අගමැති වූ තමාට රජයේ මාධ්‍යයේ ඉඩක් නොදුන් බව ද මේ දෙපළ අතර සීතල යුද්ධයක් පැවති බව ද පෙන්වා දීමේ කාර්යයට කෘතගුණ දැක්වීමට රජතුමා තවමත් සිරස ඉදිරියේ දණ ගසා බණ අසයි.

ඉතින් එහෙයින් තවමත් (ජනතාවට) ‘සිරසයි පාර කියන්නේ’. මේ පාරේ කෙළවර කුමක්දැයි පාලකයින් අවබෝධ කරගත යුතු ය. නැතහොත් අද දවසේ විරෝදාර රණවිරුවන් සහ ජනතාව කරන කැපකිරීම් ගඟට කැපූ ඉනි වනු ඇත.

2008-09-11

පලාත් සභා පරාජය

සබරගමුව සහ උතුරුමැද පලාත් සභා ඡන්ද සන්ධානයේ විශිෂ්ට ජයග්‍රහණයෙන් කෙළවර විය. සාමාන්‍යයෙන් මෙරට මහ මැතිවරණයක් පවත්වා කලකින් පවත්වන මැතිවරණයක දි පවතින රජයට ඇති කැමැත්ත අඩුවීම ස්වභාවයයි. ඒ පාලකයන් සුපුරුදු පරිදි ජනතාව ගොනාට ඇන්දවීම සහ තමන් මෙවරත් රැවටුණු බව ජනතාවට නොබෝ කලකින් ක්‍රමයෙන් පසක් වන බැවිනි. එහෙත් මෙවර ? දෙපලාතේ සියලු දිස්ත්‍රික් සංධානය ජයගත්තේ ය. 2004 සිය ගමන් සගයා වූ ජවිපෙ මෙවර සංධානය සමඟ සිටියේ ද නැත.

එහෙන් එකල (2004) මෙන් පාලනය නැවුම් ද නොවී ය. මෙහෙන් බඩු මිල ජීවන බර අහස උසට ගොස් ය. එහෙන් නැවත යුද්ධය ඇවිළ ගොස් ය. මෙහෙන් ලොව ලොකු ම ඇමති මණ්ඩලය ය. එහෙන් ඒවාට අතිවිශාල සාපරාධි වියදම් ය. මෙහෙන් වංචා දූෂණ ඉහවහා ගොස් ය. එහෙන් NGO ඔස්තාර්ලාගේ ජනමාධ්‍ය නිදහස සහ සිවිල් අයිතිවාසිකම් අ‍ඬෝවැඩියාව ය. මෙහෙන් වර්ජන තර්ජන ය. මෙසේ බලන කල විපක්ෂය මැතිවරණයට ගියේ සියලු ආයුධවලින් සන්නද්ධව ය. එහෙත් අසූවක් ව්‍යාධිවලින් ගහන ආණ්ඩුව මැතිවරණය ජය ලැබුවේ ය.

අනෙක් අතට එය දූෂිත මැතිවරණයක් ද නොවේ. එජාපය සිය දැවැන්ත පරාජය වසා ගැනීමට මැතිවරණය දූෂිත යයි පසුව කීව ද මැතිවරණ දින සවස පැවසුවේ එය සාධාරණ මැතිවරණයක් බව ය. එහෙයින් එය සංධානයේ ජයග්‍රහණයක් බව අකමැත්තෙන් වුව පිළිගත යුතුව ඇත.

මෙහිදි මතුවන ගැටළුව ජනතාව නව අනූවක් ව්‍යාධියෙන් ආතුර ආණ්ඩුව ගෙදර යැවීමේ මුල් වෙඩිමුරය නොතිබ්බේ ඇයි? 1993 දකුණු පලාතේ සිදුවූ දෙය මෙවර නොවූයේ ඇයි? කොටින් ම ජනතා කැමැත්ත ලැබුණේ මේ ආණ්ඩුවේ කුමන යහගුණයට ද? ඉතිරිව ඇති එකම පිළිතුර ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන යුද්ධයටය යන්න ය. ඒ යුද්ධය අතීතයට සාපේක්ෂව වඩා අවංකභාවයකින් කරතැයි ජනතාව විශ්වාස කරති. ත්‍රස්තවාදය කෙළවර වූ කල සැමට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් බිහිවෙතැයි ඔවුහු උදක් ම කල්පනා කරති.

මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව කණ්ඩායම් 3ක් පැරදිණි. එජාපය සුපුරුදු පරිදි පරාජය විය. දැන් එහි අපූරු බවක් හෝ නුපුරුදු බවක් කිසිවෙකුට නැත. ජනතාව පැවරූ ඓතිහාසික කාර්යභාරය අමතක කළ ජවිපෙ නැවත 1980 දශකයට විසි විය. මේ සැමට වඩා දැවැන්ත පරාජයක් ලැබුවේ පලාත් සභා ය.

1977 ඒකාධිපති ව්‍යස්ථාවක් අටවාගත් ජේ. ආර්. ජනපතිතුමාගේ කනෙන් අල්ලා ඉන්දියාව බලෙන් අත්සන් කරවාගත් ඉන්දු ලංකා ගිවිසුම (1987) අනුව මෙරට පලාත් සභා ක්‍රමය ඇරඹිනි. ඒ 13 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ ය. එහි ඒකකය වූයේ පලාත ය. (පලාත් ලෙස රට බෙදන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි.) නව ක්‍රමය යටතේ මධ්‍යම ආණ්ඩුව යටතේ පැවති ඇතැම් බලතල පලාත් සභාවලට පැවරිණි. පලාතේ සංවර්ධනය බලපාන තීන්දු ගැනීමේ බලය එම පලාත් වාසීන්ට පැවරීම එක් අරමුණකි. ඒ මෙරට ඇතැයි පැවසු ඊනියා වාර්ගික අර්බූදයට පිළියම් වශයෙනි. විශේෂයෙන් ම එහි අරමුණ වූයේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට බලතල ලබාදීම ය. අද අප විමසිය යුත්තේ විසි වියැති පලාත් සභා ක්‍රමයෙන් අදාළ අරමුණු ඉටුවීද යන්න ය.

ආරම්භයේ සිට ම උතුරු නැගෙනහිර පලාත් සභා ක්‍රියාත්මක නොවිණි. ඒ අනුව පලාත් සභා ඇති කළ මුඛ්‍යය අරමුණ ඉටුවූයේ නැත. එක් අතකින් ද්‍රවිඩයෝ 50%කට වඩා උතුරු නැ‍ඟෙනහිරින් පිට ජීවත්වෙන අතර උතුරු නැ‍ඟෙනහිරට පලාත් සභා විසදුම අතීසාරයට අමුඩය ගැසීමකි. එහෙත් මෙහි ඇති උත්ප්‍රාසය අමුඩය ගැසුව ද අතීසාරයක් නැතිවීම ය. (එනම් වාර්ගික අර්බූදයක් මෙරට නැති වීම ය. වාර්ගික අර්බූදයක් ඇත්නම් 50%ක් ද්‍රවිඩයන් සෙසු පෙදෙස්වල සිංහලයන් සමඟ ජීවත්වන්නේ කෙසේ ද?)

මෙරට එක්සේසත් රාජ්‍යය බිහිකළේ පඬු අබා හෙවත් පණ්ඩුකාභය රජු ය. එහිදී රට වැසියා විධිමත් ලෙස පාලනයට හවුල් කරගත්තේ ය. එය ග්‍රාම රාජ්‍ය ක්‍රමය යි. එම එක්සේසත් රාජ්‍යය හැමතින් ම සමාන වන්නේ නූතන ඒකීය රාජ්‍යයට මිස ෆෙඩරල් රාජ්‍යයට නොවේ. අපට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෝ ය. එහි පහසුව පිණිස උපකාරක සේවා සැපයීම පිණිස ගම් සභා සුළු නගර සභා හා නගර සභ‍ා ඇති කළේ ය. අප කළ යුතුව තිබුණේ සාම්ප්‍රදායික ග්‍රාම රාජ්‍යය හා බොහෝ දුරට සැස‍ඳෙන නව ක්‍රමය විධිමත් කර පවත්වාගෙන යාම ය.
අවාසනාවට නොකළේ ද එයම ය.

1987 අප මත බලෙන් පැටවූ පලාත් සභා ඉන්දීය සන්ධිය මොඩලයේ අංගයකි. එය මෙරට පවතින ක්‍රමයට අනුගත වූයේ නැත. මෙරට මහ පොළව ඊට සරු පසක් වූයේ නැත. ඒ මෙරටට අවැසි පාලන ව්‍යුහය ඉතිහාසය භූ විෂමතාව සංස්කෘතිය විසින් තීන්දු කර අවසන් හෙයිනි.

බ්‍රිතාන්‍යය ඒකීය රාජ්‍යයකි. එය එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය එක් කොට ගොඩනැඟුවකි. ලංකාව මෙන් 6 ගුණයක් විශාල බ්‍රිතාන්‍යයට ඒකීය රාජ්‍ය ක්‍රමය හොඳ කල අපට නරක ඇයි? ලංකාව මෙන් 64 ගුණයක් විශාල ඉන්දිය මොඩලය අපට නොගැළපෙන බව අප අවබෝධ නොකර ගන්නේ ඇයි?

පාලකයෝ සහ ජනතාව ගන්නා තීරණ රටේ භෞතිකත්වය නම් අදිසි හස්තය විසින් පාලනය කෙරේ. එම භෞතිකත්වයේ ආධිපත්‍යයට ඇතමුන් සවිඥානිකව විරුද්ධ වුව ද අවිඥානිකව ඊට අනුතග වීමට සිදුවේ. කදිම නිදසුන මේ මැතිවරණයේ දී එජාපය සහ සංධානය හැසිරුණු ආකාරයයි. එජාපය මෙවර සිය මහ ඇමති අපේක්ෂකයින් පලාතට ආනයනය කළේ ය. පලාතේ ජනතාවට බලය දීමට බිහිකළ පලාත් සභාවට මහ ඇමති අපේක්ෂකයින් කොළඹින් හෝ ඕස්ටේලියාවෙන් හෝ පෘතුගාලයෙන් ආයාත කිරීම කෙතරම් උත්ප්‍රාසජනක ද?
සන්ධානය උතුරේ යුද්ධය සිය සුපිරි සටන් පාඨය කරගත්තේ ය. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා බිහි කරගත් පලාත් සභා ඡන්දයකට උතුරේ යුද්ධය සටන් පාඨයක් වීම විහිළුවක් නොවෙ ද? ඒ සටන් පාඨය පෙර නුවුවිරූ ජයක් ලැබීම අප අවබෝධ කරගන්නේ කෙසේ ද? එහෙත් එකී පක්ෂ දෙක ම පලාත් සභාවලට සවිඥානිකව පක්ෂ ය. ඔවුන්ගේ ක්‍රියාකලාපය විසින් ඔවුන් ඊට අවිඥානිකව විරුද්ධ බව සනාථ කර ඇත. එනම් මහ පොළවේ යථාර්ථයට ඔවුන්ට අනුගත වීමට සිදුව තිබේ.

මේ සියලු කරුණු කාරණා අපට පැහැදිළි කරන එක ම සත්‍යය පලාත් සභා ප්‍රාන්ත හෝ රට සභා කවර නමකින් හෝ බලය බෙදා හැරීම මෙරටට නොගැළපෙන බව ය. මෙරටට එක්සේසත් හෝ ඒකීය රාජ්‍යය ක්‍රමය තවදුරටත් වලංගු බව ය. සන්ධීය හෝ සහසන්ධීය ක්‍රම මෙරට පසට ඔරොත්තු නොදෙන බව ය. ජනතාව ඊට ප්‍රතිචාර නොදක්වන බව ය. එසේ හෙයින් පැවති පලාත් සභා මැතිවරණයෙන් දරුණුම පරාජය ලැබුවේ පලාත් සභා ය. සියලු ආකාරයේ බෙදුම්වාදීන් ය.

මේ රටේ ඇති ප්‍රශ්න ඇත. ඒ භාෂාව ආදි ප්‍රශ්න ය. ඊට විසඳුම බලය බෙදීම නොව පරිපාලනය විමධ්‍යගත කිරීම ය. එහිදි ඒ ඒ ප්‍රදේශවල ජනතාවට සිය බසින් කටයුතු කිරීමට අවස්ථාව සලසා දිය යුතු ය. උතුරු නැ‍ඟෙනහිර නිලධාරීන්ට දෙමළ භාෂා භාවිතයේ හැකියාව තිබිය යුතු ය. ඒ ප්‍රදේශවල සිංහලයන්ට සිංහලෙන් වැඩ කිරීමේ හැකියාව තිබීම වැදගත් ය. එපමණක් නොව දෙමළ සුළුතරයක් වන රටේ අනෙක් ප්‍රදේශවල ද සෑම රාජ්‍ය ආයතනයක ම දෙමළෙන් වැඩ කළ හැකි නිලධාරින් සිටීම වැදගත් ය.

ඒවාට අමතරව ඇති සම්පත් බෙදී නොයාම පිළිබඳ ගැටළුව කොළඹින් පරිධියේ සිටින සැමට පොදු ය. තිස්සමහාරාමේ රංකිරා මාමාට ද කිලිනොච්චියේ ධර්මරත්නම් මාමාට ද ඒ ප්‍රශ්න එක සේ බලපායි. ඒ අගනුවර කේන්ද්‍රීය සංවර්ධනයේ අතුරුඵල ය. ඊට විසදුම් ලබාදීම ද වැදගත් ය. (පලාත් සභා තිබුණ ද ඊට විසඳුමක් නොලැබෙන එහි පැවැත්මෙන් ම ඔප්පු වී හමාර ය.) එහෙත් බෙදුම්වාදියා හැම විට ම සසඳන්නේ කොළඹ සහ යාපනයයි. කොළඹ සහ කිලිනොච්චියයි. එවිට ද්‍රවිඩයන්ට අසාධාරණයක් වී ඇත. ඒ ඔලුවෙන් සිට බැලූ විට ලෝකය පෙනෙන හැටි ය.

මෙහිදී කීමට අවැසි මූලික කරුණ මෙරටට වැළඳී ඇත්තේ හිසේ ඇම්මකි. පලාත් සභා නැමැති අතීසාර අමුඩය ඊට විසඳුමක් නොවේ. එහෙත් සිය හතර වරිගයට රැකියා සැපයීම සඳහා ද තම පවුලේ අනුප්‍රාප්තිකයා අනුක්‍රමයෙන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට සඳහා ද මැති ඇමතිවරුනට මේ සුදු අලියා සුරබිදෙනක් බවට පත්ව ඇතැයි යමෙක් පැවසුහොත් මම ඔහු හා එකඟ වෙමි.




2008-09-02

සිංහලයා මෝඩයා ...?

සිංහල රාජ්‍යයේ (දැන් ලාංකික) පැවැත්මට කණකොකා හැඬූයේ 15 වන සියවසේ පෘතුගීසි කඩාවැදීමත් සමඟ ය. එතැන් සිට ගෙවී සියවස් 4 ½ක පමණ කාල පරාසය තුළ මෙරට සාම්ප්‍රදායික සමාජ දේශපාලන පඳනම බිඳ දැමීමට ආක්‍රමණිකයා සමත් විය. ආචාර ධර්ම උඩුයටිකුරු කෙරිණි. සාරය අසාරය ලෙස නිර්වචනය කෙරිණි. අසාරය සාරය ලෙස භෞතීස්ම කොට කිරුළු පළඳන ලදි. වසර දහස් ගණනක් ඈතට දිවෙන පෞඪ ඉතිහාසය නොදන්නා, සිය අතීතය වර්තමාන දීනත්වයට අනුව අවප්‍රමාණ කොට ඊට සිනාසෙන හීනමානයෙන් පීඩිත සිංහල රොඩ්ඩක් නිර්මාණය කිරීමට තරම් ආක්‍රමණිකයා සූක්ෂම විය.

ඒ අනුව අද අප ආර්ථික දියුණුව අනුව පහළ මට්ටමක සිටින හෙයින් අතීතය ද එසේ විය. අද විදේශාධාරයෙන් දිවි ගැට ගහගන්නා සිංහලයා සිතන්නේ පෙර කල සිය මුතුන් මිත්තන් ද ලොව පුරා හිඟමනේ ගොස් දිවි සරි කරගත් බව ය. අඩු තරමේ එකල යාන්තම් දිවි සරි කරගත්තා මිස කිසිදු සශ්ශ්‍රීකත්වයක් නම් නොතිබිණි. එදවස රාවනා නමින් අප මුත්තෙක් මෙරට රජ කළ බවත් ඔහුට දඬුමොනරය නම් ප්‍රාථමික ගුවන් යානයක් තිබූ බවත් පැවසීම අද සිංහලයාට විහිළුවකි. සිය අතීත ශ්‍රී විභූතිය දැන ඔකඳ වන්නා ඒ අයට මෝඩයෙකි. අඩු තරමේ එම ‍ෙඑතිහාසික පුවත එන්නේ ඉන්දිය කාව්‍යයක් වන රාමායනයේ වීමවත් මේ අයගේ මනස අවදි නොකරන්නේ ඇයි?



හේතුව සක්සුදක් සේ පැහැදිළි ය. ඉතා සූක්ෂම ලෙස මෙරට සාම්ප්‍රදායික හර පද්ධති අකාමකා දැමූ ආක්‍රමණිකයා, සිංහලයා සිය ජාතියේ මුල්වලින් ගලවා පර සක්වළ ගැසී ය. ආතක් පාතක් නැති සිංහල රොඩ්ඩට සිය රට දෙයට ගරහන්නත් පර දේ අගයන්නත් හුරු කෙරිණි. ඒ නිසා ඔහු අද යම් බඩුවක් මිලට ගන්න වෙළඳ සැලට ගොස් “මේක ලෝකල්නේ ” කියන්නේ දේශීය බඩුවක් යන අරුතට වඩා බාල බඩුවක් යන අරුතිනි. නැතිනම් දේශීය වීම ම බඩුව බාලවීමට හේතුවකි යන මුස්පේත්තු ආස්ථානයේ ලැඟගෙන ය. ඒ නිසා අද අපි තැඹිලි වල්ලට පා තබා ගෙන කොකාකෝලා බොමු. ගමේ වැල වරකා කුණු වී යද්දි කොළඹින් ඇපල් ගෙන ගමේ යන්නෙමු.

මේ තත්ත්වයට අප පත් කළේ ක්‍රමානුකූලව ය. ඒ සඳහා අපේ සිරිත් විරිත් හුරුපුරුදු ඇබ්බැහිකම් මැනවින් ප්‍රයෝජනයට ගැනිණී. අපේ කතන්දර සම්ප්‍රදාය භාෂාලංකාර පවා ඒ සඳහා කලමනාකරණය කළේ කෙතරම් සූක්ෂ්මව ද? ඔවුන් අප සරදමට ලක් කළේ “සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා” යනුවෙනි. විවිධ කැවිලි වර්ග අතර සිංහලයාට කැවුම් විශේෂ විය. වචනාර්ථය අනුව කන සියල්ල කැවුම් වුව ද සිංහලයාට කැවුම් වූයේ තමන්ට ම අවේනික එක්තරා රස කැවිලි වෙසෙසකි. කොණ්ඩ කැවුම් මුං කැවුම් නාරං කැවුම් පැණි කැවුම් ඉන් සමහරකි. මේ කැවුම් සෑදීමට විශේෂ හැකියාවක් අපේ අම්මලාට තිබිණි. විශේෂයෙන් හුරුබුහුටි ලෙස කොණ්ඩ කැවුමේ හිස හෙවත් කොණ්ඩය මතු කිරීමට මනා සංයමයක් සහ හුරුවක් ඇවැසි ය. ඊට හොබින ලෙස පිටි ඒදා ගැනීම ද ලොකු වැඩකි. මිත්තනියගෙන් මවට මවගෙන් දුවට ලෙස ගලා ආ ඒ දැනුම අද කොතැන ද?

සිංහල ගෙදරක සිංහල අලුත් අවුරුද්ද ඇතුලු සෑම ප්‍රීති උත්සවයක ම මුලට සිටි කැවුම් අද කොහි ද? තිබේ නම් ඒ නොමැති වීමේ අඩුව පිරවීමට පමණි. කැවුම් මෝඩයින්ගේ කෑමකි. ඇතැම් විට කැවුම් කෑම මෝඩවීමට හේතුවක් ද විය හැකි ය. එහෙයින් කැවුම් තව නොබෝ දිනකින් අප අතැර ගොස් කටුගේ නවතිනු ඇත. අපට උරුම වූ ඒ දැනුම අප විසින් ම බාල්දු කර ඉවත දමා අවසන් ය. මන්ද අද තරුණ දියණිවරු කුකරි ක්ලාස් යවන අම්මලා කේක් පුඩිං හැදීමට මිස කැවුම් තනන්ට කියා දේද? දැන් අපට හාල් පිටියෙන් කළ කැවුම් නැතුවාට පාන් පිටියෙන් කළ කේක් ඇත. මඟුලට වෙඩිං කේක් ය. උපන් දින සැමරුමට උපන් දින කේක් ය. නෑගමනට කේක් ය. තේ සාදයට කේක් ය.

අපේ බොහෝ දැනුම් පද්ධති, සමාජ සබඳතා මේ ආකාරයට ම ඉතා සූක්ෂම ලෙස අප ලවා ම සරදමට උපහාසයට ලක් කොට අපෙන් ඈත් කොට තිබේ. අහස සිඹින මහ වෙහෙර සයුර පරයන මහ වැව් කළ අප මුතුන් මිත්තන් සිය සුබ කටයුතු ඇරඹුවේ කිරි බත් වැළඳීමෙණි. එහෙත් කිරි බත් කෑවොත් දැන් සිංහලයාට නින්ද යාලු. මේ දැනුම බිහි කළේ කවුද? කුමන අරමුණකින් ද? එළවලු තෙල් ප්‍රචලිත කරනට පොල් තෙලට එරෙහිව ගෙන ගිය සාවද්‍ය ප්‍රචාරයට වඩා වෙනසක් මෙහි ඇද්ද?

මෙරට සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහය තුළ ප්‍රාදේශීය ප්‍රභූවරුන් සහ ජනතාව අතර පැවති සබඳතාව සහ ප්‍රභූනට සාමාන්‍ය ජනයා අතර පැවති ගෞරවය විනාශ කොට පාලනය වියවුල් කරනට ‘මහ දැනමුත්තා සහ ගෝළයෝ’ කතාව බිහිවිණි ද? එමගින් ජන ප්‍රධානීන් වෙතින් පැවති ජන ප්‍රසාදය සිය පාලනයට ලබා ගැනීමට ආක්‍රමණිකයා උත්සහ කළේ ද? ආක්‍රමණිකයා සිය රටේ පාලන දේහය සිදුරු කරනු වණ කරනු දුටු නැණැති සිංහලයෙක් ආවේගයෙන් ඔවුනට පරංගියා යයි කීවේ ද?

ඉතා සංකීර්ණ ලෙස මෙරට සමාජ දේහයට බද්ධව ඊට වින කටින එහෙත් අප නොතකා හළ යුතු යයි හැ‍ඟෙන එහෙයින් ම සියුම් ව විමසිය යුතු මෙවන් කරුණු තව බොහෝ ඇත.