2008-06-28

සිනාසී හඬමි

සිදුහත් කුමරුට නම් තබන දින උදා විය. රජ මැදුර උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් ය. පුරෝහිත ප්‍රමුඛ බමුණු ගණ රාජ සභාවේ නියමිත අසුන්හි වූහ. සුදොවුන් රජු ළදරුවා දෝතින් ගෙන ගුරුදේව බමුණන්ට නමස්කාර කරවන්ට සැරසිණි. එකල්හි මහත් විස්මයෙක් විය. සිඟිති කුමර දෙපා අසිත බමුණු නළලත පතිත විය. බමුණු තෙම සිනාසි හැඩුවේ ය. ඒ සිදුහත් කුමරු තිර ලෙස ම මතු බුදු වන බව ද එතෙක් තමාට ආයුෂ නැති බව ද දැකීමෙනි. එදා සිනාසි හැඬීමේ අරුත එයයි.

අපට ද සිනාසිය හැකි බසක් රට කරවන මහ තැනින් අසන්ට ලැබිණි. ඒ මෙසේයි. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මෑතදී ප්‍රකාශ කළේ තව දුරටත් බටහිර රටවල් පසුපස යෑමෙන් පලක් නොවන බව ය. මේ නම් සිංහල ඉතිහාස පොතේ රනින් ලියැවිය යුතු කතාවෙකි. 1948 රටේ පාලනය සුදු හාම්පුතුන් අතින් අතවැසි ගෝළබාලයන්ට ලැබිණි. හාම්පුතුන් පැතූ පරිදිම එම නායකත්වය රට ගෙන ගියේ අවරට ය. එදා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු බ්‍රිතාන්‍යයට යළි නැගී සිටින්ට ණය දුන්නේ ඕස්ට්‍රේලියාව සහ ලංකාව ය. එකල මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු.50කි. එද දේශීය වශයෙන් ගත් ලක්ෂ 300කි. අද මෙරට උපදින්නා උපතින්ම ණයකාරයෙකි. ඒ රු.200 000ට මදක් අඩුවෙනි. එදා 3.50ක් වූ ඩොලරය අද 120කි. වසර 60ක පාලන කාලය තුළ අප නායකත්වය රටට ලබා දුන් විජයග්‍රහණ කෙතරම් අපූරු ද?

සැබවින් ම ගත වූ වසර 60 තුළ අපේ නායකයින් ක්‍රියා කළේ වල්මත් වූවන් ලෙස ය. ගාලු මුවදොර අසුන් පිට ගියේ ය. සාදවලදී ළපටි වසු පැටවුන් පුළුස්සා කෑවේ ය. එතෙරට ගොස් සිය බටහිර ගැති හීනමානය පෑවේ ය. බටහිර මාධ්‍ය ඔවුන් වීරයින් ලෙස හුවා පාද්දි සෙස්සෝ මොවුනට බූරුවන් යයි සිනාසුණහ. වරෙක ගහෙන් ගෙඩි එන්නා සේ සමාජවාදයේ අන්තයට රට දක්කන නායකයෝ නැවත හිටිවන ම ධනවාදයේ මකර කටට රට ඇද දැමූහ.



මෙසේ බලන කල අපේ රට බටහිර රටවල පැනෙන විවිධ න්‍යාය අත්හදා බලන විද්‍යාගාරයකි. ජනතාව එහි මීයෝ ය. අවශ්‍ය විට ධනවාදය සමාජවාදය ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදය යනාදි බෙහෙත් මේ මීයන්ට පොවා අත්හදා බලනු ලැබේ. අත්හදා බැලීම් කරන්නේ එහි හොඳ නරක බැලීමට ය. කුමක් වුව ද ඒ අත්හදා බැලීම්වලට පිං සිදුවන්ට අපි දිනෙන් දින ආගාධය කරා ගියෙමු. උපතේ සිට පරගැති චින්තනයෙන් මනස විපරිත නොවන්ට අපේ නායකයන් මේ ව්‍යසනය අවබෝධ කර ගෙන බොහෝ කල් ය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයේ වැදගත්කම වඩාත් තීව්‍ර වන්නේ අප පසු කරන මේ අබුද්දස්ස යුගයට සාපේක්ෂව ය. එය එක් අතකින් පහු ගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඔහු කෙරේ තැබූ විශ්වාසය තහවුරු කිරීමකි. සුපිරි ධනපති පැලැන්තිය ද NGO සේනාව ද බටහිර තානාපතිවරු ද ධනවාදයට සේවය කරන වම ද ඊලාම්වාදීන් ද බටහිර ගැත්තෙක් රජ කරන්ට දරන ලද උත්සහය අවසන ජනතා තීන්දුවෙන් කුණු බක්කියට ගියේ රටේ වාසනාවට බව පසක් කරන්නකි. එසේ නොවන්ට මේ වසරේ අපට අසන්ට ලැබෙන්නේ පෘතුගීසින් විසින් අපේ මාතෘ භූමිය දූෂණය කිරීමේ 503 වන සංවත්සරය ටොරිංටන් පෙදෙස නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් සැමරූ පුවත ය. එහෙයින් ජනපති ප්‍රකාශයෙන් මම පිනා ගියෙමි. සතුටු වුණෙමි.

අපට හඬන්ට වූ කාරණය වෙනත් දවසක ලියමි.

2008-06-23

නිදහස් බයිලා

වංශාධිපති වයිකවුඩ් ටොරිංටන් හෙවත් ටොරින්ටන් සාමි ලංකාවේ 10 වන ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ය. ඔහු 1847-1850 සමයේ මෙරට පාලනය කළේ ය. 1848 ගොංගාලේගොඩ බණ්ඩා ප්‍රමුඛ සිංහල හමුදාවේ නිදහස් අරගලය කෲර ලෙස මර්දනය කළේ ඔහු ය. අවුරුදු 18-55 අතර පිරිමින්ට වසරකට දින 6ක් මාර්ග තැනීම් කටයුතුවලට සහභාගී වීමට හෝ ඊට හිලව් වශයෙන් වසරකට සිලිම් 3ක් ගෙවීමට නීති පැනවූයේ ඔහු ය.

ටොරිංටන් සාමි 1848 නිදහස් අරගලයේ දී සිංහලයන් දහස් ගණනක් ඝාතනය කළ බැව් ඉතිහාසයේ සඳහන් වේ. ඇතැම්හු ටොරිංටන් සාමි 1848 සිංහලයින් ලක්ෂයක් මරා දැමූ බව පවසති. කෙසේ වුව ද 1848 කැරැල්ල අපේ අවසන් නිදහස් අරගලය විය.

ඔහුගේ දැඩි හිංසාකාරි මර්දනකාරී පාලනයට එදවස ශ්‍රී ලාංකිකයෝ එක සේ එරෙහි වූහ. එහි ප්‍රතිඵලය ලෙස වසර 6ක ධූර කාලය වසර 3න් කෙළවර කොට නැව් නගින්ට ටොරින්ටන් සාමිට සිදුවිය.

එකල රට පාලනය කළේ ඉංගිරිසි පාලකයෝ ය. සිංහලයෝ ඉංග්‍රිසී ආණ්ඩුව යටතේ වුව ටොරිංටන් සාමිට එරෙහිව නැගී සිටියහ. ඔහුගේ මර්දකාරි පාලනයට එරෙහිව සටන් කළ හ. එහෙයින් කැරැල්ලෙන් පරාජය වුව ද වසර 3න් ටොරිංටන් සාමි මෙරටින් නෙරපන්නට ඔවුනට හැකි විය.

ඒ එදා සිංහලයෝ ය. අද සිංහලයා නිදහස් ජාතියක්ලු. 1948 ඔහුට නිදහස ලැබුණිලු. ඒ නිදහස සමරන්ට ඔහුට නිදහස් චතුරස්‍රයක් ද ඇත. මේ නිදහස් චතුරස්‍රය ටොරිංටන් පෙදෙසේ පිහිටා ඇත. එහි කිසි අරුමයක් නැත. අප ලද නිදහසේ ස්වභාවය මොනවාට පැහැදිළි කරන ජීවමාන සාක්ෂියක් තවත් නැත. අප තවමත් ජීවත් වන්නේ සුදු පාලකයාට කීකරු බැටළු රංචුවක් මෙනි. අපේ නිදහසේ සීමාව ටොරිංටන් සාමිලා සනිටුහන් කර ඇත.

අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදි ම සුද්දෝ මෙරටින් යන්ට පෙර කලු සුද්දෝ පිරිසක් බෝ කළ හ. ඔවුන් යන විට රට භාර දුන්නේ මේ කලු සුද්දන් පිරිසට ය. ඔවුන් සිංහල වූයේ හමින් පමණි. 1948 සිදු වූයේ පාලකයාගේ හමේ පාට වෙනස් වීම පමණි. එහෙයින් ටොරිංටන් පෙදෙස, බාන්ස් පෙදෙස, මැනිං මාර්කට්, රීඩ් ඇවනියු නිරුපද්‍රිතව මෙරට වැජඹෙයි. 1971 කැරැල්ලේ චූදිතයන්ට නඩු පැවරුවේ බ්‍රිතාන්‍යය රැජිනගේ ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණය කළේ ය යන චෝදනාව යටතේ ය. රටේ බොහෝ දිය ඇලි අයිති සුදු මහත්වරුන්ට ය. මග දෙපස සියලු වෙළඳ සැල් අයිතිකරුවෝ ඉංග්‍රීසිහුම වෙත්. (කලාතුරකින් සිංහල නම් ද නැතුවා නොවේ.) එහෙයින් නිදහස වනාහි අප තවමන් නොනෙලු රස නොබැලු අම ඵලයකැයි කියමි.

2008-06-17

මේ ගැනත් සිතන්න

සඳහම් සිතුම් දලුලන පිංබර පොසොන් මඟුලක් වේවා!

කි.පූ.367-307 මෙරට පාලනය කළේ දෙවනපෑතිස් රජතුමා ය. එකල මෙරටට බුදු දහම ලැබිණි. ඒ පදනම් කර ගෙන ‍අනතුරුව සිංහල බෞද්ධ සංස්කෘතිය සිරිලක ස්ථාපිත විය.

බුදු දහම ලබා ගනු වස් ලොව ප්‍රථම බුද්ධි පරීක්ෂණයට මුහුණදීමට දෙවනපෑතිස් රජුට සිදු විය. බුදු දහම අපට ලැබුණේ සුප්‍රකට ‘අඹ ප්‍රශ්නය’ සාර්ථකව විසදු නිසා ය. එමගින් බුදු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් ජනතාවක් මෙරට වාසය කරන බව මිහිදු හිමිට පසක් විය.

මෙරට බෞද්ධයා අවබෝධ කර ගත යුතු වැදගත් ම දේ නම් බුදු දහම කිසිවකු බලෙන් අප මත නොපැටවූ බව ය. බුදු දහම එදවස අප ප්‍රකට කළ බුද්ධිමය ප්‍රභාව උදෙසා ලද තිළිණයක් බව ය.

මිහිදු හිමි මෙරටට වැඩම කොට ප්‍රථම වරට දේශනා කළේ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ ය. එමගින් බුදු රදුන්ගේ උත්තරීතරභාවය විස්තර වේ. අනතුරුව ‍සිංහලයාගේ ලෞකික ජීවිතය යහපත් කර ගනු වස් ‘ප්‍රේත වස්තුව’ හා ‘විමාන වස්තුව’ දේශනා කෙරිණි. රජුට අවවාද දෙනු වස් ‘රාජෝවාද සූත්‍රය’ දේශනා කළේ අනතුරුව ය.

කෙසේ වුව ද අද දවසේ මෙරට බුදු දහම හා සහසම්බන්ධිත සංස්ථාවල තත්ත්වය පිළිබඳ මට පැහැදීමක් නැත. බුදු රදුන් අවඥාව නමැති කෙවිටින් බැහැර කළ කුළවාදය බුදු සසුනට රිංගා ගෙන ඇත. අද සුනීත සෝපාකලාට මහණ වන්නට වෙනම නිකායක් ද සැරියුත් මුගලන්ලාට වෙනම නිකායක් ද වශයෙන් නිකාය හැටහුටහමාරක් ඇත. ඒ ඒ එක එකට නායකයින් ද ඇත. බොහෝ දෙනාට උවමනා බුදු දහම දෙසන්නට හෝ සුරකින්නට නොව එය තම පැවැත්මට සරිලන පරිදි අර්ථකථනය කරන්ට ය.

මේ විසූකදස්සන දකින කල්හි මගේ මනස නිතැතින්ම ගොස් නතර වන්නේ නුවර යුගයේ ය. සම්බුද්ධ ශාසනය අන්තයට පිරිහුණු එකල භික්ෂුන් නොසිටියේ ය. සිටියේ ගණින්නාන්සේලා ය. ඔවුහු සිය බිරිඳ හා දරුවන් සමග පන්සලේ වාසය කළේ ය. කුඹූරු අස්වැද්දුවේ ය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළේ ය. අපේ කාලයේ ඇතැම් චීවරධාරීන් සහ මේ ගණින්නාන්සේලා අතර වෙනසක් මට නම් නොපෙණේ. රටේ නා නා තැන්වල ලොතරැයි කූඩු ලෙස ඉදිවන අන්තවාදී ආගමික තිප්පොළවල් සේ ම රටේ බෞද්ධ පුරා වස්තු සූක්ෂම අයුරින් අකාමකා ඒ මත ව්‍යාජ ඉතිහාසයක් මවන්ට දතකන්නන් සේ ම මේ තත්ත්වය ද ශාසන චිරස්ථිතිය කෙරෙහි අතිශයින් ව්‍යසනකාරි බව අප වහා අවබෝධ කර ගත යුතු ය.

මේ සියලු කාරණාවලින් ඉස්මතු කරන කරුණ නම් නැවත ධර්ම සංගායනාවක් පවත්වා ශාසනය පිරිසිදු කළ යුතු බව ය. දුසිල්වතුන් දුරුකොට සුසිල්වතුන්ගෙන් සසුන බැබළවිය යුතු බව ය. 1934 සුබස සඟරාවේ කුමාරතුංග මුනිදාස මහතා ‘ශාසන ශෝධනය’ යන හිසින් ලියූ ලිපියෙන් පැහැදිළි වන්නේ මේ තත්ත්වය දශක කිහිපයක් ඈත පවා බුද්ධිමතුන්ගේ අවධානයට ලක් වූ බව ය.

“අප භික්ෂූන් ගරහන බවෙක් නිකම් මැ කියන්නෝ මහත් බොරු කාරයෝ යැ. අපි භික්ෂූන් නොගරහමු. භික්ෂූ ප්‍රතිරූපකයන් තදින් ගරහමු. එ ද ඔවුන් කෙරෙහි දයායෙනි. අපි බෞද්ධ වමු නම් බෞද්ධ භික්ෂූන් අපගේ කුල දෙවියන් කොටැ සලකමු නම් අප ඒ සා මහත් සැලකීමට භාජනය වන්නෝ අප විළි නොවද්දන පමණටවත් පිරිසුදු වෙත් ද යනු පිරික්සා බලා නොපිරිසුදු නම් පිරිසුදු කැරැගැන්මට ප්‍රයත්නයක් දැරීම නුසුදුසු ද? ”

(ලක්මිණී පහන් කතු වැකි-68)

කෙසේ වුව ද තිරිවාන ගල් අතර මිණි මෙන් දුසිල්වතුන් අතර සැදැහැවත් භික්ෂූන් වහන්සේ ද සිටිති. උන්වහන්සේ මඩෙහි පිපි නෙලුම් මෙන් පිවිතුරු දිවියක් ගත කරති. බුදුන් දවස සැරියුත් මුගලන් සඟ පරපුර ගත් මග යති. අදටත් බුදු සසුන අප,තර පවත්නේ ඒ අනුහසිණි. එහෙයින් “සංඝන් සරණං ගච්ඡාමි” යි උන්වහන්සේලා නමදිමි.

දඹදිවින් අප ලද මහඟු ත්‍යාගය ගැන උදම් අනන පිංබර පොසොන් සමයේ මේ ගැනත් නිවි හැනහිල්ලේ මොහොතක් සිතන්නැයි ඔබට ඇරයුම් කරමි.

2008-06-16

බබාට නමක්

මා යට දක්වන නම් ඇත්තන් පිළිබඳ ඔබ කිසිවක් නොදන්නේ යයි මොහොතකට සිතමු. ඔවුන් ගැන ඔබ මින් පෙර හාංකවිසියක් අසා නැත.
සත්‍යජිත් රායි
අකිරෝ කුරසෝවා
මේ දෙදෙනා කවුදැයි ඔබ නොදනි. එහෙත් මේ නම් ඇසෙත්ම එහි ශබ්ද රටාව අනුව යම් නිගමනයකට පැමිණිය හැකි ය. ඒ ඔවුන් අයත් රට පිළිබඳව ය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ඉන්දියානුවෙක් සහ ජපනෙකි. ඔබ ඒ නිගමනයට එන්නේ ඔවුන්ගේ නම් සිය බසේ ශබ්ද පද්ධතිය පදනම් කොට ගෙන නිපයූ නිසා ය.



ඒ ක්‍රමවේදය ම අනුගමනය කොට තවත් නම් කිහිපයක් විමසමු.

ලෙස්ටර් ජෙම්ස් පීරිස්
ඊලියන් ද සිල්වා
ජෝන් ද සිල්වා
අයිසෙක් ද සිල්වා
විල්බට් පෙරේරා
මාග්‍රට් තැචර්
ලූලා ද සිල්වා
මාර්ටින් වික්‍රමසිංහ
මාර්ටින් ලූතර් කිං
ඩබ්.ඒ සිල්වා
සයිමන් ද සිල්වා
සෝලියස් මෙන්ඩිස්

මේ අයගේ නම් දුටු විට අපට මතක් වන්නේ අපේ රට ද? යුරෝපීය රටක් ද? මේ නම් සිංහල සහ සිංහල නොවන ලෙස පහසුවෙන් හදුනා ගත හැකි ද? කෙසේ වුව ද මේ අය අතර සිටින ලාංකිකයන් රටට විශාල මෙහෙයක් කළ පිරිසකි. නම් අපේ නොවුණ ද ඔවුන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය. එසේ ම සිංහල නමකට මුවා වී රටට දැයට ද්‍රෝහී වන්නන් ගැන සිතන විට මේ නම්වලට උදේ හවා මල් පිදුවත් මදි ය.

එහෙත් මේ අප නොතකා හළ යුතු බැහැර කළ යුතු මනස්ගාත යයි සිතන්නෝ ද නැතුවා නොවේ. කෙසේ වුව ද අනගාරික ධර්මපාල, එදිරිවීර සරච්චන්ද්‍ර, අමරදේව, සුනිල් ශාන්ත ආදීහු මේ පිළීබඳ සවිඥානක වූහ. ඒ අනුව සිය ඉංග්‍රීසි නම් වෙනුවට සිංහල ඌරුව සහිත නම් භාවිත කළ හ.

මේ ගැන ලීවේ අන් කිසිවක් නිසා නොව අපේ අනාගත පරම්පරාවට නම් තැබීමේ දී අපේ සම්ප්‍රදාය පිළිබඳවත් සැලකිලිමත් වන්නට ඔබට ආරාධනා කරන්නට ය. එවිට ඇතැම් ඉංග්‍රිසි නාමධාරි සිංහලයන්ට මෙන් ඔබේ දරුවන්ට සිය නම පිළීබඳ හීනමානයක් ඇති නොවනු ඇත.