2008-06-23

නිදහස් බයිලා

වංශාධිපති වයිකවුඩ් ටොරිංටන් හෙවත් ටොරින්ටන් සාමි ලංකාවේ 10 වන ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ය. ඔහු 1847-1850 සමයේ මෙරට පාලනය කළේ ය. 1848 ගොංගාලේගොඩ බණ්ඩා ප්‍රමුඛ සිංහල හමුදාවේ නිදහස් අරගලය කෲර ලෙස මර්දනය කළේ ඔහු ය. අවුරුදු 18-55 අතර පිරිමින්ට වසරකට දින 6ක් මාර්ග තැනීම් කටයුතුවලට සහභාගී වීමට හෝ ඊට හිලව් වශයෙන් වසරකට සිලිම් 3ක් ගෙවීමට නීති පැනවූයේ ඔහු ය.

ටොරිංටන් සාමි 1848 නිදහස් අරගලයේ දී සිංහලයන් දහස් ගණනක් ඝාතනය කළ බැව් ඉතිහාසයේ සඳහන් වේ. ඇතැම්හු ටොරිංටන් සාමි 1848 සිංහලයින් ලක්ෂයක් මරා දැමූ බව පවසති. කෙසේ වුව ද 1848 කැරැල්ල අපේ අවසන් නිදහස් අරගලය විය.

ඔහුගේ දැඩි හිංසාකාරි මර්දනකාරී පාලනයට එදවස ශ්‍රී ලාංකිකයෝ එක සේ එරෙහි වූහ. එහි ප්‍රතිඵලය ලෙස වසර 6ක ධූර කාලය වසර 3න් කෙළවර කොට නැව් නගින්ට ටොරින්ටන් සාමිට සිදුවිය.

එකල රට පාලනය කළේ ඉංගිරිසි පාලකයෝ ය. සිංහලයෝ ඉංග්‍රිසී ආණ්ඩුව යටතේ වුව ටොරිංටන් සාමිට එරෙහිව නැගී සිටියහ. ඔහුගේ මර්දකාරි පාලනයට එරෙහිව සටන් කළ හ. එහෙයින් කැරැල්ලෙන් පරාජය වුව ද වසර 3න් ටොරිංටන් සාමි මෙරටින් නෙරපන්නට ඔවුනට හැකි විය.

ඒ එදා සිංහලයෝ ය. අද සිංහලයා නිදහස් ජාතියක්ලු. 1948 ඔහුට නිදහස ලැබුණිලු. ඒ නිදහස සමරන්ට ඔහුට නිදහස් චතුරස්‍රයක් ද ඇත. මේ නිදහස් චතුරස්‍රය ටොරිංටන් පෙදෙසේ පිහිටා ඇත. එහි කිසි අරුමයක් නැත. අප ලද නිදහසේ ස්වභාවය මොනවාට පැහැදිළි කරන ජීවමාන සාක්ෂියක් තවත් නැත. අප තවමත් ජීවත් වන්නේ සුදු පාලකයාට කීකරු බැටළු රංචුවක් මෙනි. අපේ නිදහසේ සීමාව ටොරිංටන් සාමිලා සනිටුහන් කර ඇත.

අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදි ම සුද්දෝ මෙරටින් යන්ට පෙර කලු සුද්දෝ පිරිසක් බෝ කළ හ. ඔවුන් යන විට රට භාර දුන්නේ මේ කලු සුද්දන් පිරිසට ය. ඔවුන් සිංහල වූයේ හමින් පමණි. 1948 සිදු වූයේ පාලකයාගේ හමේ පාට වෙනස් වීම පමණි. එහෙයින් ටොරිංටන් පෙදෙස, බාන්ස් පෙදෙස, මැනිං මාර්කට්, රීඩ් ඇවනියු නිරුපද්‍රිතව මෙරට වැජඹෙයි. 1971 කැරැල්ලේ චූදිතයන්ට නඩු පැවරුවේ බ්‍රිතාන්‍යය රැජිනගේ ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණය කළේ ය යන චෝදනාව යටතේ ය. රටේ බොහෝ දිය ඇලි අයිති සුදු මහත්වරුන්ට ය. මග දෙපස සියලු වෙළඳ සැල් අයිතිකරුවෝ ඉංග්‍රීසිහුම වෙත්. (කලාතුරකින් සිංහල නම් ද නැතුවා නොවේ.) එහෙයින් නිදහස වනාහි අප තවමන් නොනෙලු රස නොබැලු අම ඵලයකැයි කියමි.

8 comments:

Malinda - මාලින්ද said...

‍‍කොහෙන්ද මේව හොයාගන්නෙ.... හැබැයි මෙහෙම ඒව තියන එක හොන්දා... අපේ ඒව ගැන අපේ අය...

ඔහේ said...

මෙවැනි දේ සොයා ගවේෂණය කොට ඉදිරිපත් කිරීමට ඔබගේ කාලය යොදවන ඔබට පිං. නමුත් මෙවැනි ලිපි ගඟට කැපූ ඉනි ලෙස නොව, දළු ලන ගොයමට වැහි දිය රැල්ලක් ලෙස සිතන්න. මන්ද මෙවැනි ඉතිහාසය කියවීමෙන් ජාතිකත්වය පෝෂණය කරන පිරිසක් සිටින බැවිනි.
ඔබගේ උත්සාහය සහ කැපවීම අපගේ නිදහස (සැබෑ) වෙනුවෙන් හෙලන එක් දහඩිය බිඳකි.
ජයෙන් ජය!

Anonymous said...

දැන්නම් ශ්‍රීලංකාවේ මේ පිලිබද මහා අරුමයක් නැත. ලංකාව පාලනය කරන නීති හදන මහ තැන සිට්න්නේද අනගාරික ධර්මපාල තුමා කී විදිහේ පිරිසකි. ඉංග්‍රීසි නැතුව කතාකිරීමට බැරිය. පාන් කේක් හැම් නැතුව කෑමට නොහැකිය. කෝට් සපත්තු ටයි නැතුව එලියට බැසීමට නොහැකිය. කටක් ඇරීමට බැරිය... කට ඇරියොත් ඇමරිකාව, රැජිනගෙ රට, පල්ලිය තරහ වේදැයි ඉන්න යන්න තැනක් නැතිවේද කියා බයය. මේවා ඔක්කෝම පැත්තකට දැමිය හැකිය ...... මේ යටත් විජිතයක් වූ දිනය සමරන්නට ගිය රටක්ය. එහෙව් රටේ තව කුමන නිදහස් චින්තනද?
එහෙව් තැනක සිට ඔබ ලියන මෙවන් ලිපි රටක් වටින්නේ එනිසාය.....
ජය ශ්‍රී...
සදගිර

Chamila Liyanage said...

"පිට රට දේ සිරි සැප දේ" සංකල්පයෙන් මිදී "සිය රට දේ සිරි සැප දේ" යැයි තෙපලන සමාජයක් බිහි වීමට ඔබේ බ්ලොග් අඩවිය මහත් රුකුලක් වෙනු නිරනුමානයි.

ජය..!

Anonymous said...

වසරක් පුරා නිදහස් චතුරස්‍රයේ ජාතික කොඩිය ඔසවා නිදහස ගැන කෙතරම් පුරසාරම් දෙඩුවත්, තවමත් ආකල්ප අතින් පමනක් නොව හැමතින්ම ලාංකිකයන් වහල් ජාතියක්. නිදහස කිසිසේත් ම නොඉල්ලූ, නිදහස් අරගලයක් ගැන සිහිනෙකුදු නොසිතු, ජාතික වීරයන් ගැන සොපාහාසාත්මක කියුම් කෙරුම් සෑම වසරකම පෙබරවාරි 04 වෙනිදා වනවිට අහන්නට ලැබෙනවා. එහෙත් කිසිවෙකුත් ඒ ලැබුනු නිදහස කෙබඳු වූවක්ද යන්න ගැන ප්‍රශ්න කරනු දැකිය නොහැකියි. මේ සියල්ල අවස්ථාවාදය මත රදා පවතිනවා...

Anonymous said...

ඔබේ අඩවියේ සටහනක් මුල් අවස්ථාව මෙයයි. ශ්‍රි ලාංකික අප නිදහස යැයි අකුරු හතරකට සීමා වු අපට අරුතක් නැති වචනයක් හැම අවුරුද්දකම පෙබරවාරි 4වනදාට සමරමු. එහෙත් කෙතරම් නිදහස් උත්සව දැක තිබුනද මා කෙදිනකවත් අපගේ ශ්‍රි ලාංකික අනන්‍යතාවය එම උත්සවයේ නොදිටිමි. ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන රාජ්‍ය නායකයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ අසු පිට නැග ගත් අශවාරෝහක සොල්දාදුවන් පිරිසක් පෙරටු කොට ගෙනය (එනම් එංගලන්තය අරක් ගත් පිරිසක් විසින්). එම උත්සවය රාජ්‍ය නායකයාගේ පැමිණීම වන තෙක් බලා සිටින කෙනෙකුට එය එංගලන්ත පාලනය කරන යටත් විජිතයක එකැක් යැයි පසක් විය නොහැකි ද?
නිදහස එතැනින්ම හමාරය. අප තවමත් ඉංග්‍රිසි තොලගාන ඇත්තන්ට මනාපය. අප මහා කළු සිංහලයා සුදු හමට ලොල්ය. එබැවින් ඔවුන් ද සුදු හම පෙරවා ගැනීමට වෙර දරයි. අප නමට පමණක් නිදහස් වු ජාතියකි.
මෙය වෙනස් කෙරුමට දරන ඔබ වැන්නවුනගේ උත්සාහයන් ආකර්ශණීයය. එයට මාගේ ප්‍රණාමය.

Anonymous said...

සිංහලයෙකු ‍ලෙස ඔබ සිංහල ජාති‍යේ පිබිදීම වෙනුවෙන් හඞක් නැගීම ගැන ඔබ‍ට තුති !. ශ්‍රී ලංකාව‍ට අතීතයේ සිටම විදෙස් ර‍ට වලින් ඇතිවූ ආගමන මෙන්ම

අක්‍රමණ මගින් විවිධ දේ උරුම විය. සමහර දෑ දැයේ පැවැත්මට උපකාරී විය සමහර දෑ ‍‍එසේ නොවේ. උදාහරණයක් වශයෙන් මිහිඳු හිමියන්ගේ පැමිනීමත් සමඟ

බුද්ධාගම රට තුල ස්ථාපිත වීම,ඒ ‍‍ලෙසම හින්දු බලපෑම් මත ශත වර්ශ ගනනාවක් පැවති සඳකඩපහනේ ගව රෑපය ඉවත් කිරීම, විහාර භූමියට දේවාල එකතු වීම සිදු

විය අදියද දැක්විය හැකිය. එකල සි‍ට අද දක්වා වූයේ පාලකයා දෙන අණ ජනතාව පිළිපැදීමය. ලංදේසි, පෘතුගීසි සමයේදී ද සිදුවූයේ ද ඉංග්‍රීසි පාලන කාලයේ

සිදුවූයේද ‍‍එයම ‍නොවේද. පාලකයා‍ හරි හෝ වැරදි වුවත් එදිරි වන්නා හැඳින්වූයේ කැරලිකාරයන් ලෙසය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදුවූයේ සත්‍ය ජයගැනීම

නොවේද. ඒ හැම ජයග්‍රහනයක්ම අත් වූයේ ඉවසීමේ ගුණයත් අන් අයට ගරු කිරීමත්, තර්කනයක් පදනම් කර ගත් විසදුමක් කරා ගිය මඟක් නිසා මිස

තර්ජන,අපහාස කිරීමෙන් හෝ ගැරහීමෙන් නොවේ.
උදාහරණයක් ලෙස අද පිරබායරන් ප්‍රමුඛ සාමාජිකයන්‍ටද ඔවුන්‍‍ගේ අරමුණ සිහිනයක් වී ඇත්තේද ඉවසීමේ ගුණයත් අන් අයට ගරු කිරීමත්, තර්කනයක් පදනම්

කර ගත් විසදුමක් කරා නොයන නිසාය. හිතවත් නාමල්, මිනිසුන් විදිහට සාපේක්ෂව වෙනස් යමක් දෑ දැනගැනීමට, අත්විඳීම‍ට, අත්හදා බැලීමට, විවිධ කෝණ

වලින් ඒ දේ ගැන විග්‍රහකිරීම,විවේචනය කිරීම ස්භාවිකයි.එසේ නොවන්න‍‍ට ලොකය සදා කාලිකව වෙනස් නොවනු ඇත.ඔබ මේ බ්ලොග් අඩවිය පුරාව‍ට තර්කය‍ට

ගොඩනගපු මාතෘකා ප්‍රසංසනීයයි,කාලීනයි. සාම්ප්‍රදායිකව සිදුවන අනුන් හෙලා දකිමින් සිදුවන රචනයට වඩා ඔබ්බට ගිය ඔබට සිංහල ජාති‍යේ පිබිදීම වෙනුවෙන්

මේ දරණ වෑයම් මම හෘදයාංගමව අගය කරමි. ජය ශ්‍රී !

නාමල් උඩලමත්ත said...

මිතුරනි,‍

සංහිඳට ගොඩවී මා හා සල්ලාපයේ යෙදී ඔබේ මිණිවන් අදහසින් සංහිඳ සරු කළ ඔබ සැමට පිං. ඒ සියලු මතවාද හෙට දවසේ රටක් ලෙස අප යා යුතු මග හෙළි කරන්ට මහෝපකාරී වනු ඇත.

අතීතයට ශාප නොකර එක් පහනක් හෝ දල්වා අප ජීවත් වන අබුද්දස්ස යුගයට විකල්පයක් සොයා යාම යුගයේ අවශ්‍යතාවයි. සංහිඳේ තේවාව ඒ වෙනුවෙනි. ඒ තේවාව පැණවත් තෙදවත් ඔදවත් වන්නේ ඔබේ අදහසිනි. සියක් මත ගැටී උපදින ඒ නිමල සත්‍යය හෙට දවසේ මව්බිම ජය බිම කරා රැගෙන යනු ඇත.

එහෙයින් යෝජනා චෝදනා නින්දා ප්‍රශංසා සියල්ල පුද පඬුරු ලෙස බැතියෙන් භාර ගන්ට බැදී සිටිමි. නිවැරදි කළ යුතු යමක් වේ නම් වහා සකසමි. සංවාද කළ යුතු තැන එසේ කරමි. අනුන්ගේ වරදට කමා කළ ද මගේ වරදට කිසි සමාවක් නොදෙමි.

කෙසේ වුව ද 'සිංහල ජාතියේ පිබිදීම' යන්න විශේෂයෙන් පැහැදිළි කොට ගත යුතු ය. සිංහලයා යන්න පොදුවේ යෙදෙන්නේ සිංහල නම් ජනවර්ගයට අයත් පුද්ගලයා යන අරුතිනි. එය වැරදි ඉතිහාස කියවීමකි. මේ උප්පැන්නයේ සිංහලය රටට ඇටවූ උගුලකි. මා දකින්නේ සිංහල යනු වර්ගවාදි පටු සංකල්පයක් ලෙස නොව පුරවැසිභාවය පදනම් කර ගත් සංකල්පයක් ලෙස ය. මා පෙනී සිටින්නේ ඒ සිංහලයා වෙනුවෙනි.

ඒ ගැන ඉඩ ලැබෙන පරිදි ආයෙත් දවසක හමු වී කතා කරමු. සංහිඳට ගොඩවූ ඔබ සැම නැවතත් සමරමි තුටින්.