2008-05-23

දෙබිඩ්ඩෝ

මිනිසාට අධිගෘහිතව දෙවියෙක් සහ යක්ෂයෙක් වාසය කරතියි කියමනක් ඇත. එහි සරල අරුත මිනිසා හොඳ නරක දෙකෙහි සංකලනයක් බව ය. මේ අතරින් යමෙක් කෙරෙහි සාපේක්ෂව වඩා ඉස්මතු වන ලක්ෂණය අනුව හෙතෙම හොඳ හෝ නරක යයි සමාජය විසින් නිශ්චය කෙරේ. එහෙත් මේ මිනුම් දඬුවලින් පමණක් නිර්ණය නොකළ හැනි පන්නයේ මිනිසුන් ද අප අතර වෙයි. ඔවුන් හැදින්වීමට යෙදිය හැකි නිවැරදි වචනය දෙබිඩ්ඩා යන්න ය. දෙබිඩි යන්නට මහා සිංහල ශබ්දකෝෂය (935) ලබා දෙන අරුත 'දෙකක් එකට බැඳුණු' යන්න ය. එහෙත් මෙහි සඳහන් වන දෙක හොඳ නරක නොවේ. බොරදියේ මාලු බෑමේ අවකෙළියයි. එනම් ලොවට හොඳ මුහුණ පෙන්වා රහසින් ඊට ඉදුරා වෙනස් දේ කිරීම ය. දවල්ට සිල් ගෙන රෑට දඩයමේ යාමකි මේ නම්. මේ තත්ත්වය කිසියම් සමාජ සංවිධානයක ලක්ෂණය වූ විට එය මහා සමාජ ව්‍යාධියක් වෙයි. ඔවුහු සමාජය දේහයට නොයෙක් විෂ පොවා එය ආදායම් මාර්ගයක් බවට පෙරළා ගනී. අනතුරුව එයට විසදුම් ද නිර්මාණය කර එය ද ආදායම් මාර්ගය බවට පත් කර ගනී. කොටින් ම සමාජ ව්යසන සිය ජීවනෝපාය බවට පත් කර ගනී. මෙතැන් සිට ඒ සඳහා නිදසුනක් විමසමු.

ලෝක සාමය පෙරදැරිව නොබෙල් සාම ත්‍යාගය පිරිනමන රට කුමක් ද? ජාත්‍යන්තර අර්බුද වැඩිම ප්‍රමාණයක් ආවරණය කරන සාම නියෝජිතයා කවු ද? වසරකට නිපදවන ආයුධ ප්‍රමාණය අතින් ලොව 7 වන තැන ගන්නා රට කුමක් ද? 2007 වසරේ ලෝක ආයුධ නිෂ්පාදනයෙන් 3 වන තැන ගත් රට කුමක් ද? මේ පහසු පැන සඳහා ඔබේ ප්‍රතිචාරය කුමක් ද? ඔබ පිළිතුරු නොදැන සිටිය ද නිරායාසයෙන් එළඹෙන නිගමනයක් ඇත. ඒ අවම වශයෙන් මෙහි රටවල් දෙකක් පිළිබද කියවෙන බව ය. ඔබ අසාධාරණයයි මා කෙසේ කියම් ද? ඔබට උගන්වා ඇත්තේ එසේ ය. බටහිර මාධ්‍ය සහ එහි දේශීය ඇබිත්තයන් ලෝකයේ කොටසක් යුදට උපන් යුදකාමීන් ලෙස ද කොටසක් සාමය සඳහා ම උපන් ශාන්තුවරයින් ලෙස ද වර්ග කොට ඔබේ විඥානයට කවා ඇත. ඒ අනුව ඉරානය ලිබියාව උ. කොරියාව (පැවති) ඉරාකය යක්ෂ අක්ෂයේ ය. ඇමරිකාව බ්‍රිතාන්‍යය නෝර්වේ ජපානය ආදිය ශාන්තුවර අක්ෂයේ ය.

කලින් විමසූ පැන සඳහා පිළිතුර තනි රටක් බව යමෙක් කීවොත් ඔබ පිළිගන්නවා ද? නැත. එය නම් කෙසේවත් විය නොහැකි බව ඔබ පවසනු ඇත. එහෙත් මිත්‍රවරුනි මේ පැන සඳහා පිළිතුර නෝර්වේ ය. අපේ සාම නියෝජිත නෝර්වේ ය. ඔව් සර්බියාවෙන් කොසොවෝ ප්‍රාන්තය ගළවා ලොවට තවත් රටක් දයාද කරනු පිණිස වින්නඹුකම් කළ නෝර්වේ ය. බැටළු හම් පොරවා ගත් වෘකයින් යුද්ධය සාම ව්‍යාපාරය පිණිස ද සාමය ආයුධ ව්‍යාපාරය පිණිස ද කළමනාකරණය කරමින් සිය ආදායම් මාර්ගය කොට ගන්නා අයුරු දැන්වත් ඔබට වැටහිය යුතු ය. අද අප ලෙයින් වන්දි ගෙවන්නේ අප ද එහි ගොදුරු නිසා ය.

ඊනියා ජාතික ප්‍රශ්නයට ඇති එකම විසඳුම සාම මාවත බවට තෙපරබාන කිසිවකුට මෙරට ත්‍රස්තවාදය තුරන් කිරීමේ උවමනාවක් නැතිවා පමණක් නොව එය වවා ගෙන කෑමේ දැඩි ආර්ථික උවමනාවක් ද පවති. ඒ ඔවුන්ගේ පැවැත්ම සහතික කර ගනු පිණිස ය. ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව යම් නිෂ්පාදයක පැවැත්ම තීරණය වන්නේ ඉල්ලුම මත බව ඕනෑම නොදරුවකුට වැටහේ. එම ඉල්ලුම පවත්වා ගැනීම පිණිස සහ වර්ධනය කර ගැනීම පිණිස වෙළෙන්දෝ විවිධ උපා යොදති. ප්‍රචාරණය ඉන් එකකි. අවි නිෂ්සාදනයේ තත්ත්වය ද එසේම ය. අවි වෙළෙන්දෝ ද සිය ඉල්ලුම සුරක්ෂිත කර ගනු පිණිස උපා යොදති.

අවි අවශ්‍ය ගැටුමකට ය. ගැටුම සඳහා දෙපිරිසක් අවැසි ය. ඒ සඳහා ලොව පුරා විවිධ හේතු පදනම් කර ගෙන බෙදීම් ඇති කරනු ලැබේ. ආගම ජාතිය බස කුලය ආදී කවර හෝ සාධකයක් ඊට කලානුරූපීය යොදා ගනී. එතැන් පටන් ඇවිළෙන ගැටුම් ඔවුන්ට කප් රුකකි. ගැටුමට අවැසි මුල් බිජුවට ඔවුන්ගෙන් ය. ආයුධ ඔවුන්ගෙන් ය. සාම නියෝජිතවන් ඔවුන්ගෙන් ය. මේ සියල්ල ඔවුන්ට ආදායම් මාර්ග ය. අමතරව ගැටුමට ගොදුරු වන රටේ ස්වභාවික හා මානව සම්පත් කොල්ලකෑම සුපිරි ධන උල්පතකි. ලොව පුරා ගැටුම් ධනපති රටවලට හිඟන්නාගේ තුවාලය බවට පත් ව ඇත්තේ එසේ ය. යුද්ධය මෙන් ම සාමය ද පිරිසකට කදිම ආදායම් මාර්ගයකැයි අයර්ලන්ත අගමැතිවරයෙකු වරක් පැවසුවේ කෙතරම් සත්‍යක් ද?

ලොව පුරා පවතින ගැටුම් දිගට ම පවත්වා ගෙන යාමටත් නව ගැටුම් ඇති කිරීමටත් මේ වෘකයින්ට සාම නියෝජිත බැටළු සම කදිම කඩතුරාවකි. දෙපිරිස අතර දරුණු ගැටුම්වලට ඔවුන් අකමැති ය. එවිට එක් පාර්ශවයක් පැරදි ගැටුම අවසන් වෙයි. ගැටුම අවසන් වීම සිය වෙළඳාමට කණකොකා හැඬීමකි. එහෙයින් වහා ඉදිරිපත් වී සාම විගඩම් පායි. දුබල පාර්ශවය යළි තමන්ගෙන් අවි ටික ලබා ගෙන ගැටුමට සුදානම් වන තුරු කල් ලබා දෙයි. නැවත ගැටුම මුල සිට ඇරඹේ. ගැටුම කළමනාකරණයට අවැසි පදමට සාමය කළවම් කරනු ලැබේ. ගොඳුරු වූ රට කබලෙන් ලිපට වැටෙනු මිස සාමය නොලැබේ. ව්‍යාපෘතිය තවත් තීව්‍ර කරමින් අවසන තනි රට දෙරටක් කරනු ලැබේ. එවිට දේශ සීමා ගැටුම් මගින් සිය අවි වෙළඳාම සිය වස් ගණනකට සුරක්ෂිත වන බව කාට නම් නොවැටහේ ද? එහෙයින් බින් ලාඩන් සමඟ සාම කතා පැවැත්වීමට සිහිනෙන්වත් නොසිතන බටහිරයෝ සහ ඔවුන්ගේ ඇබිත්තයෝ ලොව බිහිසුණුම ත්‍රස්තයා සමග සාම කතා පවත්වන්නැයි අපට උපදෙස් දෙති.

පසුව ලියමි_

පිරපාහරන් ලොව බිහිසුණුම ත්‍රස්තයා යයි කීවේ අප නොව 2002 රනිල් වික්‍රමසිංහ පාලන සමයේ මෙරටට සැපත්වූ ඇමරිකානු සීඅයිඒ නියෝජිත පිරිසකි. සතුරා පරාජය අබිමුව ඇද වැටෙන හැම විට ම ඉන්දියාව සහ බටහිර බලවේග ඉදිරිපත් නොවන්න ඔවුන්ගේ බොරු සාම ආගාධවල මෙරට ආණ්ඩු නොවැටෙන්න අද මෙරට ත්‍රස්තවාදයට තිබෙනුයේ අතීතයක් පමණි. ත්‍රස්තයාගේ බිහිසුණුකම හමුවේ අපේ හමුදාවෝ කිසිදා නොසැලුණහ. අද ද හෙට ද එසේ ය.

එහෙත් කිසිදා නොලැබෙන ඊළම අතහැර අවි බිම දමයි නම් ඕනෑ ම සතුරෙකුට අපි සමාව දෙමු. අරන්තලාව භික්ෂු සංහාරය පෞද්ගලිකව ම සහභාගී වූ මහා ව්‍යසන සමූහයකට වගකිව යුතු කරුණා අම්මාන්ට සමාව දීමෙන් අපි ඒ ගුණය ප්‍රකට කළෙමු. අද නැගෙනහිර පාලනය කරන්නේ ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන බවට සපථ කළ මහ ඇමතිවරයෙකි. නැගෙනහිර ජනතා කැමැත්ත දිනා ගත් නායකයෙකි. ඔහුගේ දෑ කුල ගොත් අපට කමක් නැත. යථාර්ථය දුටු විට සිය වැරදි නිවැරදි කර ගන්නට ඉඩ දීම සාධු ගුණයකි. සමාව දීම දේව ගුණයකි. මිනීමරු අංගුලිමාල අංගුලිමාල මහ රහතන්වහන්සේ බවට පරිවර්තනය කළේ බුදු රදුන්ගේ ඒ මහා කරුණාවයි. අපි සතුරාට නිවැදි වන්නට ඉඩහසර සැලසීමෙන් බුදු මඟ ගතිමු.

එහෙත් ලෝක සත්ත්වයාගේ මානව හිමිකම් සුරුකීමට ම උපන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ කරුණාට අතීතයට බලපාන පරිදි දඬුවම් කළ යුතු බව ය. අද සියලු වැරදිවලින් මිදී සිටින කරුණාට යහපත් ජීවිතයක් ගත කරන්න අප ඉඩ නොදිය යුත්තේ ඇයි? එංගලන්තයේ සිටි කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අද ද එහි යෙහෙන් වැජඹෙන ඇඩෙලා බාලසිංහම් මේ මානව හිමිකම් පොල්මඃකාරයින් නොදුටුවේ ඇයි?

මොහොතක් සිතන්න කරුණාට නඩු පවරන්නට වළි කන්නේ ඔහු පිරපාහරන්ට එරෙහි වූ නිසා ය. පිරපාහරන් මගින් ක්‍රියාවට නැගෙන සිය ව්‍යාපාරයට කරුණා එරෙහි වූ නිසා ය. ඔහු බාධකයක් වූ නිසා ය. එසේ නැත්නම් කරුණාට පෙර නඩු පැවරිය යුත්තේ ඉහත නම් සඳහන් කළ අයට නොවෙ ද?

3 comments:

Reshan - රෙෂාන් said...

it's true mate. සතුරාගේ සතුරා මිතුරාය. ඒ වගේම සතුරාගේ මිතුරාත් හතුරාය.

ඔහේ said...

ආයුබෝ වේවා නාමල්.
ඉතාම කටුක සත්‍යයක් සරළවත් හේතු සාධක සහිතවත් දක්වා තිබෙනවා. ඔබගේ භාෂා විලාසය ඉතාම පැහැදිලි යි.
ඇසට ඇස, දතට දත (හෝ හිරගෙය) කියා, නීති හැදුවේ රෝම වරු (යුදෙව් නීතිය ග්‍රන්ථාරූඪ කිරීම අදහස් කරමි). වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා කීවේ ගෞතම බුදුන්.
වෙනස කොපමණ ද?
නමුත් අද දින අවශ්‍ය වෙන්නේ මේ දෙකේම සංකලනයකි. මන්ද, ඔබ කොපමණ සත්ව කරුණාවෙන් යුතුව වුවද සිංහයෙකුගේ හිස පිරිමැදීමට ගියහොත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවේ.
කරුණා කොටි සංවිධානයේ සිටිය දි ඔහුට උල්පන්දම් දුන්නෝ අද කරුණා ගේ ඉවත් වීම නිසා සිදුවී ඇති අඩුව පිරවීමට වෙහෙසෙති. මෙවැනි දේ ඇසෙන විට සිනාසෙන්නට හිතෙන්නෙ කටින් නොවේ.

නාමල් උඩලමත්ත said...

මිතුරනි,
ඔබේ අදහස්වලින් සංහිඳ හැඩ කළාට පිං.
මේ කුඩා ලිපියෙන් මට කියන්න උවමනා කළේ ආයුධ වෙළඳාම වගේ ම සාමයත් බොහොම ලාබදායි වෙළඳාමක් බව සහ මේ දෙකම කරන්නේ එත ම මුදලාලි බවයි. මේක කීවේ අපි රටක් විදිහට මේ බැටළු හම් පොරව ගෙන සාම ගීතිකා ගයන වෘකයින් වහා හදුනා නොගැනීමේ අවාසනාව නිසයි.
රෙෂාන් කියන දේ මට පැහැදිළි මදියි. එහෙම කිව්වට අමනාප වෙන්න එපා. ඒක මගේ දොසක් ද මන්දා?
ඔහේ කියන දේ හරි. ත්‍රස්තවාදය හමුවේ දසරාජ ධර්මයෙන් වැඩ කරන්න බෑ.කළ යුතුත් නැහැ. මම අවසන් වශයෙන් කීවේ වෛරයෙන් තොරව ප්‍රශ්න දෙස බලා සතුරෙකුට වුව නිවැරදි වන්ට ඉඩ දිය යුතු බවයි. එය අපේ සංස්කෘතියෙන් අපට උරුම වූ ශේෂ්ඨ ගුණයකි .