2008-05-11

ලියමි ඔබ ද දකිනු රිසින් මා දුටු ප්රභාකරන්

රන් කිරි වෙනුවට යුද ගිනි කට ගෑ පරපුරේ එකෙකුව උපදින්නට තරම් අවාසනාවන්ත වීය යන හැඟීමෙන් ආතුරව සිටින මම සිය දහස් වර විඳවමි.බහ තෝරන වියේ සිට අත්දුටු ඒ ගොරතර විනාශයෙන් මගේ මව් බිමේ හෙට දවස මුදවනු රිසින් මෙසේ ලියා තබමි.ඇට නහර විනිවිඳින වේදනව අකුරු බවට පෙරලී ලියවෙන මෙපවත්හි වලංගුභාවය ඉතිහාසය විසින් තීන්දු කරනු ඇත.

කලාව සමාජයේ කැඩපත ය. ඉන් පෙනෙන්නේ සමාජයේ පිළිබිඹුවකි. ඒ පිළිබිඹුව සමාජය නමැති විසල් රුකෙහි පිළිබිඹුව විනා එහි හටගත් බේඳුරු පිළිල නොවිය යුතු ය. ඉන් මා අදහස් කළේ එමැ පිළිල නිරුවත් කොට සමාජ දේහය සුරක්ෂිත නොකළ යුතු බැව් නොවේ. විසල් වනස්පතීන් මත අටුවන් බැස එහි සාරය උරා බී තරව අවසන එමැ තුරු මරු තුරුලට ඇද දමන බේඳුරු වන් සමාජ පිළිකා දුටු තැන නසා දැමි යුතු ය.කොටින් ම නියෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන්නට නොතැබිය යුතු ය. එහෙත් මා පවසනනේ කලාවේ නාමයෙන් සමාජ පිළිල වෙනුවෙන් පෙනී සිටීම නොකළ යුතු බව ය.

එහෙත් අවාසනාවක මහත ! මෙරට සමාජ දේයට වැළැඳුනු ත්රස්තවාදී පිළිලය අලළා නිමැවූ බැව් පවසන සියලු සිනමා කෘති නැරඹූ මට ඇති වූයේ බලවත් කම්පාවකි. ඒ සෙසු කිසිවක් ගැන නොව ඒවායේ දෘෂ්ටිය පිළිබඳව ය. මගේ රටේ සිනමා දෘෂ්ටිය සේවය කරන්නේ කාට ද? ත්‍රස්තවාදය පිළිබඳ රටේ බහුතර මතය මේවායින් පිළිබිඹු වේ ද? අපේ සිනමාවෙන් ලෝකයට දෙන අපේ කම කුමක් ද? මේ සිනමාවේ යටින් දිවෙන දෘෂ්ටිමය හුය රට වැසියා ගෙන යන්නේ කොතැනට ද? අවසාන විග්‍රහයේ දී පිරපාහරන්ගේ ඊනියා විමුක්ති අරගලය සාධාරණීකරණය කරන සිනමාව ගැන මෙරට ආණ්ඩු කෙතරම් සංවේදී වීද? එම කෘතිවලට විදෙස් සම්මාන පුදන්නේ ඇයි? මේ සියලු ප්‍රශ්නවලට මට ලැබුණේ යහපත් පිළිතුරු නොවේ.

ත්‍රස්තවාදයට එරෙහි සටන හමුදාවට පැවරු අපි නිහඬව නෑසූ කන්ව සිටියෙමු. ත්‍රස්තවාදයට එරෙහිව සමස්ත රට එක මිටට ගත් මතවාදීමය අරගලයකට සුදානම් කළ යුතු වුව ද නොවුණේ එයම පමණි. රට වෙනුවෙන් සටනට වන් සෙබලු හුදු කුළී හමුදාවක් ලෙස ද ඔවුන්ගේ බිරියන් නැගනියන් ගණිකාවන් ලෙස ද එකී සිනමාව විසින් හංවඩු ගසන ලදි. මේ මහා සිනමා කෘති දෙස් විදෙස් සමරු සම්මාන ලැබ වැජඹෙන කළ ඒවා කල සිනමාකරුවන් මෙරට භිමානය මුළු සක්වල පතළ කළ විරුවන් ලෙස නෙක මාධය විසින් භෞතීස්ම කරන ලදි. මෙරට වැසි මහා සිනමා විචාරකයෝ පත්තර පිටු ගණන් මේ සිනමාව වෙනුවෙන් ලියන්නට නොමසුරු වූහ. රට වෙනුවෙන් සටනට වන් මේ සෙබළ මුළු අපේ ඥාතීන් බව අමතක විය. අප කොළඹ සිට රිසි සේ සිනමා බලමින් සව්දිය පුරන කල මහා වන දුර්ග ගිරි දුර්ග ජල දුර්ග අතර රට වෙනුවෙන් නිදි වරන අනේක පිරිපත උසුලන මිනිසා අපට අමතක විය. අප විඳින සතුට රඳන්නේ ත්‍රස්තවාදයට වැට බැඳී ඒ දෑත්වල සවියෙන් බැව් අමතක විය. අවසන අසරණ සෙබල පිරිස් වෙනුවෙන් පෙනී සිටින්නට සරත් වීරසේකර වන් හමුදා නිලධාරීන්ට සහ සෙබල බිරියන්ට පෑන් අතට ගන්නට සිදු විය.

ඒ අඳුරු යුගය නිමා කරමින්දෝ තුෂාර පීරිස්ගේ ප්‍රභාකරන් සිනමාවට දායාද විය. ළමා සොල්දාදුවන්ගේ සහ මරා ගෙන මැරෙන්නන්ගේ සෝකාලාපයේ යථාර්ථය ඒ සමග ම සිංහල සිනමාවට දායාද විය. එළිමහන් සිර ගෙයක් වන් වන්නියේ කටුක ජීවිතය ළමුන් පැහැර ගෙන යාම විවිධ වද බන්ධන මිනී මැරීම් මර්දනකාරී ත්‍රස්ත නායකත්වය ඔවුන්ගේ සටකපට ක්‍රියා ජාති ද්‍රෝහී ඔත්තුකරුවන් අනාථ කඳවුරු ජීවිතය බොරදියේ මාළු බාමින් කුමන්ත්‍රණකාරි ලෙස ගම්මුන්ට ආගම් වැළඳ ගන්නට බලකරන NGO කාරයින් මේ සියල්ල මැද දළුලන ආදරය සහ සහෝදර ප්‍රේමය ප්‍රභාකරන් අප හමුවට ගෙනෙයි. අපේම සහෝදර ජන පිරිසක් කිසිදා නොලැබෙන සිහින දේශයක් වෙනුවෙන් සටනට උසිගැන්වීමෙන් ඔවුන් විදින දුක අපේ නෙතඟට කඳුලක් නංවන්නේ ඔවුන් වෙත උපන් සැබෑම දායානුකම්පාව නිසා ය. ඒ හැඟීම නැවත නැවතත් අපට පසක් කරන්නේ මේ අරගලය වහා අවසන් කොට එක මවකගේ දරු කැළක් මෙන් ජීවත් විය යුතු බව ය. සිංහල දෙමළ මුස්ලිම් සැමට නිදහසේ ජීවත්වීමට ඉඩහසර උදාකළ යුතු බව ය. මේ සද්කාර්යය නිසා වෙනදා යුද සිනමාව වෙනුවෙන් සම්මාන ලැබූ මෙරට සිනමාකරුවාට නොසෑහෙන්න ගුටි කන්නට සිදුවිය.

කළ යුත්ත සක්සුදක් සේ පැහැදිළි ය. ත්‍රස්තවාදය සමූල ඝාතනය කළ යුතු ය. සිංහල වෙදකමේ අත්දුටු පරිදි විසෙන් විස නැසිය යුතු ය.මේ ත්‍රස්තවාදයෙන් අහිංසක දෙමළ ජනතාව මුදා ගත යුතු ය. එවිට සැමට යෙහෙන් ජීවත් විය හැකි ය.එතෙක් මෙරට තවත් එක් විශාල මහනුවරක් පමණි. තැන තැන මළ මිනීය බලිබිලිය ලෙඩුන් ය.දොර දොර දුක්ඛ දෝමනස්සයෝ ය.

අවසන් වශයෙන් මේ සිනමා කෘතිය නරඹා රටට එරෙහි සිනමාව වෙනුවට රට වෙනුවෙන් සිනමාවක් තනන්නට ඔබේ ශක්තිය ලබා දෙන මෙන් දේශයට ආදරය කරන ඔබෙන් ඉල්ලා සිටිමි.

2 comments:

Nalaka (නාලක) said...
This comment has been removed by the author.
Nalaka (නාලක) said...

නාමල්,
චිත්‍රපටිය බැලුවා- ඊයේ.
ඔබ‍ගේ උනන්දුව නොවෙන්නට මට ඒ චිත්‍රපටිය බැලෙන්නේ නැහැ. බොහොමත්ම ස්තූතියි.

මගේ අදහස් මම මගේ සිත් සටහනේ ලියුවා.
ප්‍රභාකරන් චිත්‍රපටිය ගැන මගේ සටහන්