2008-05-29

සමාජ කැඩපතක් ලෙස ගීතය -2

අද අප ජීවත් වන පිතෘ මූලික සමාජය බිහි වන්නේ මානවයා දඬයම් යුගය පියමංකර එ‍ඬේර යුගයට පිවිසීමත් සමඟ ය. එ‍ඬේර යුගයට පෙර මානවයා ජීවත් වූයේ මාතෘ මූලික සමාජයක ය. එහෙත් ඒ අවුරුදු මිලියන ගණනක් එපිට ය. එකල මානවයා කුඩා කණ්ඩායම් ලෙස ජීවත් විය. එම රැහේ මෙන් ම පවුලේ මූලිකත්වය ද මවට ලැබිණි. දරුවන්ගේ අයිතිය මවට හිමි විය. නවතම පර්යේෂණ අනුව දඬයම් කර පවුල නඩත්තු කළේ ද ඇය ය. පිරිමියා ගත කළේ කම්මැලි ජීවිතයකි. එදවස ඔහුගේ චර්යාව වත්මන් සිංහයාගේ චර්යාවට සම ය. රැළේ දඬයම් කරන්නේ සිංහ දෙන මිස සිංහයා නොවේ. එහෙත් දඬයම් වෙනුවට සතුන් ඇති කිරීම ඇරඹීම සමාජ ක්‍රමය උඩුයටිකුරු කළේ ය. සතුන්ගේ සහ දරුවන්ගේ අයිතිය ආදී බොහෝ අයිතීන් ක්‍රමයෙන් ස්ත්‍රියගෙන් ගිළිහිණි. එ‍ඬේර යුගය සහ කෘෂිකාර්මික යුගය අතර අත්කර ගත් ඉඬම් නිතැතින් ම පිරිමියාට හිමි විය. කෙසේ වුව ද පිතෘ මූලික සමාජය බිහි වන්නේ මාතෘ මූලික සමාජ අවශේෂ මත බව අමතක නොකළ යුතු ය.

මෑත කාලීන සිංහල සමාජය පිතෘ මූලික ලක්ෂණවලින් මෙන් ම මාතෘ මූලික ලක්ෂණවලින් ද සමන්විත විය. විශේෂයෙන් බොහෝ කලක් බටහිර ආක්‍රමණවලින් මිදී පැවති උඩරට සමාජයේ ස්ත්‍රියට හිමි වූ තැන සිංහල සමාජයේ ස්ත්‍රිය හෙබවූ තත්ත්වය කදිමට නිරූපනය කරයි. කෙසේ වුව ද මෙරට පිතෘ මූලික ලක්ෂණය බොහෝ දුරට ගරු තනතුරකට සීමා වූවක් විනා ස්ත්‍රී පීඩක උපකරණයක් වූයේ නැත. මුස්ලිම් සමාජයේ සහ යුදෙව් සමාජයේ මෙන් ස්ත්‍රියට දැඩි ආගමික සමාජීය තහංචි යදම් නොලයි. සති පූජාව සහ චර්මඡේදය ආදි ම්ලේච්ඡ චාරිත්‍ර නොතිබිණි. ලිංගිකත්වය උත්කර්ෂයට නැංවීමක් නොවී ය. එය එදිනෙදා ජීවිතයේ තවත් කාර්යයක් පමණක් විය. ඇයට පවුල තුළ සහ සමාජයේ නිරූපණය කරන්ට ප්‍රබල භූමිකාවක් තිබිණි. එහෙයින් ස්ත්‍රී දූෂණ එදවස අසන්ට නොලැබිණි.

අනේකවිද බුද්ධිමය මතවාදවලින් කිළිටි නොවූ සිංහල සමාජය නිරතුරුව ස්ත්‍රියට නිසි තැන දීමට නොමැළි විය. එවන් විවා දිවියක විකසිත ගේහසිත ප්‍රේමයේ සුන්දරත්වය අමරදේවයන්ගේ මේ ගීයට විෂය වෙයි. (මතකය නිවැරදි නම් ගේය පද මහැදුරු සුනිල් ආරියරත්න සතු ය) ගීය ගැයෙන්නේ අව්‍යාජ සිංහල ගැමියෙකුගේ මුවඟිණි.

තාත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

කුටුම්භය බතින් බුලතින් පෝෂණය කරන තාත්තා මා බව සැබෑ ය. එහෙත් සා පැටවුන් වන් මගේ දරුවන් රැක බලා ගන්නී නුඹ ය. නුඹ සමාජයෙන් හමා එන නේක දුක්ඛදෝමනස්ස සෝක පරිදේව හමුවේ දරුවන් වට කොට දඬු වැටක් සේ සිටින්නී ය. දරුවන් වෙනුවෙන් දුක් දරන්නි ය. හඬන්නී ය. කදුලැලි වගුරන්නී ය. ඒ දරුවන්ගේ පියා මා ය. එහෙයින් මේ කැපකිරීම් සියල්ල මා වෙනුවෙනි. නුඹෙ අමිල මෙහෙය හා සසඳන කළ මගේ මෙහෙවර කෙතරම් අල්ප ද? යන නිහතමානි අදහස මෙම දෙපදයෙන් ධ්වනිත වෙයි.


මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විට දි නොමින්
නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

නුඹ මුණගැසුණු මුල් දිනය මට අද මෙන් මතක ය. එදවස මා තුළ නුඹ කෙරෙහි මහත් සෙනෙහසක් උපන. සසර පුරා බැඳි ඒ ස්නේහයේ නමින් මම නුඹ මගේ ම කර ගතිමි. මා නුඹට පෑ සෙනෙහසට නොදෙවෙනි සෙනෙහසක් නුඹ ද මට පෙරළා පිදුවා ය. නිරතුරුව මා වෙතම දැවටෙමින් හුන්නා ය. තොදොල් බස් තෙපලුවා ය. සුරතල් වූවා ය.

එහෙත් අද දවස යම් වෙනසක් වී තිබේ. එදවස මට පිදු සෙනෙහස අද මගේ දරු පැටවුන් සතු වී තිබේ. නුඹ අද දරුවන්ගේ සුරතල් බලන්නී ය. මා වෙත ම දැල්වී තිබූ නෙත් පහන් අද දරුවන් කෙරෙහි ද ඇදී ගොස් ය. එනම් ගතින් අප,තර යම් ඈත් වීමක් පැන නැඟී තිබේ. සැබවින් ම ඒ ගතින්මැ පමණකි. එම ඈත් වීම ම හදවතින් අප අපේ ම කොට හමාර ය. ඒ සෙනෙහස සුවිශාල ය. ‍ඒ කෙතරම් ද යත් හදවත ඉවුරු පැන වාන් දමයි. නුඹ දිවා රූ නොබලා වෙහෙසන අයුරු දකින සඳ උපන් ඒ සෙනෙහස නුඹ දුටු මුල් දිනේවත් නූපන. ඒ ස්නේහ මහෝඝයත් සමග මා නුඹ වෙත හදවතින් තව තවත් තුරුලු වෙමියි ඔහු ඇයට කියයි. කෙතරම් සොඳුරු ප්‍රේමයක් ද?

බැතිබර හැඟුම් දනවන ඔබගේ සුවඳ
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟෙයි ළඟින් හිඳ මගෙ හිස සිබින සඳ

ඔබ කෙරෙන් නිතින සුවදක් හමයි. ඒ සුවඳ මා තුළ දල්වන්නේ බැතිබර හැඟුම් ය. මොළකැටි පුතුගේ මුවි කමලින් ද නිබඳ හමන්නේ ඒ සුවඳම ය. දැනුදු නුඹ ඉසිඹුවක් ලද විගස මා සයනයට පැමිණෙන්නී ය. සැපදුක් අසන්නී ය. හිස පිරිමදින්නී ය. සිඹින්නී ය. එකල්හි මට සිතෙන්නේ නුඹ මගේ ද මව් බැව් මිස බිරිඳ බැව් නම් නොවේ. මෙය කෙතරම් සොඳුරු හැඟීමක් ද? ඇගේ ප්‍රේමය අබියස ඔහු ද ළදරුවකු බවට පත් ව ඇත. සිංහල බෞද්ධ හදවතේ මුදුන් මල්කඩ තිලෝගුරු බුදුහු ය. ඔහුට තවත් බුදු කෙනෙක් සිටියි. ඒ ගෙදර බුදුන් ය. ගෙදර බුදුන් අම්මා ය.

පෙර දවස ඈ හමුවූ සොඳුරු සුයාමයේ ඈ කෙරෙන් හැමුයේ සියුම් අනුරාගී හැඟුම් දනවන සුවඳකි. එහෙත් කාලය විසින් තතු වෙනස් කොට තිබේ. දැන් ඈ වෙතින් හමන්නේ ද කිරිකැටියාගේ මුවින් හමන්නේ ද එක ම සුවඳ ය. එම තතු පවතින තතු නොව ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ සිදු වූ විපර්යාසයෝ ය. කාලය විසින් සිය ජීවන වපසරිය තුළ කළ වෙනස්කම් නිසා එක ම සුවඳ ඔහුට දැනෙන්නේ දෙකක් ලෙස ය. ගේහසිත ප්‍රේමය මිනිස් සන්තානය කෙරෙහි කළ බලපෑම කෙතරම් සොඳුරු ද? සාම්ප්‍රදායික සිංහල සමාජයේ අඹුසැමි ප්‍රේමය කෙතරම් උත්තරීතර පිවිතුරු වූවක් ද යන හැඟුමින් අප සිත් නිවා සනහන ගී මිණකි මේ.

එම සොඳුරු ගේහසිත ප්‍රේමයෝ අද ද අප,තර එසේ ම පවතිත් ද? නැත, අද එම ප්‍රේමය දෙදරුම් කා ඉරිතලා ගොස් ය. වත්මනෙහි පවතින තතු සහ ඊට මග හෙළි කළ ගොරබිරම් සමාජ විපර්යාස තවත් මෙම මෙවන් ගී මිණි අතර සැරිසරමින් පසක් කරන්ට අපි ආයෙත් දවසක හමු වෙමු.

ගීතය ඇසීමට මියුරු ගී වෙත යන්න (අමරදේව ඩබ්.ඩී ගී එකතුවේ 259 ගීතය)

2 comments:

Dulip's Thoughts said...

Hi Namal,
This is a nice post. It talks about wide range of topics and it is interesting to see how you relate them to the song sung by Maestro Amaradeva.
If I mention something about the transition from matriachy to patriachy as described by Engles in his classis work "Origin of Family, Private Property and State", this transition mainly took place due to the limitations of the matriarchic model of family and society as far as transfering private property is concerned.
As the quality and the efficiency of production tools improves men was able to make surplus and this accumulated as private property. Therefore Engles argues that this is inevitable and was the logical consequence of the historical development of mankind.
We can discuss this in detail if necessary...
By the way, it seems to me that your literary criticism is an excellent blend of materialistic and ideological view under the influence of Indian aesthetics...
I wish you a bright future...!!!
Best
Dulip

නාමල් උඩලමත්ත said...

දුලිප් අයියාට,
සංහිඳට නිතර ගොඩවැදී සුසංවාදී මනසින් මිණි වන් අදහස් ලියා තබන ඔබට පිං. එම අදහස් සංහිඳට ගොඩ වෙන සැමට එක සේ සපලදායි බව නිරනුමාන ය. ඔබේ අදහස් දිරි ගැන්වීම් මගේ ඉදිරි වැඩ කටයුතු සඳහා මාහැඟි සහන් එළියක් වනු ඇත. ඔබට ජය සතුට!!!