2008-04-08

ඒ ඇයි ?

සෑම රටකට ම ඊට අනන්‍ය සංස්කෘතියක් ඇත. ඇතැම් සංස්කෘති නම්ය වන අතර අනෙක්වා අනම්‍ය වන බව ද පෙර ලිපියේ සඳහන් කළෙමි.

බ්‍රිතාන්‍ය පුරවැසි මුස්ලිම් ගුරුවරියක අධිකරණයේ නඩුවක් ගොනු කළා ය. ඇගේ චෝදනාව වූයේ පර්දාව පැළඳ පාසැලේ ඉගැන්වීම බලධාරීන් විසින් තහනම් කිරීම ය. මුස්ලිම් ජාතිකයෝ සිය සංස්කෘතිය ඉතා ම ගෞරවයෙන් ආරක්ෂා කරති. අනුගමනය කරති. (මෙරට 1505 සිට ගෙන ගිය ආක්‍රමණය හමුවේ පවා මුස්ලිම්වරු නා නා වධ බන්ධන හෝ අනේක වරදාන හමුවේ සිය සංස්කෘතිය පාවා නොදුන් හ. ඒ නිසා යට කී ආක්‍රමණයේ බලපෑම ඔවුන් වෙත ඉතාම අවම විය.) පර්දාව මුස්ලිම් ස්ත්‍රීන්ගේ සාම්ප්‍රදායික ඇදුමේ අංගයකි. ඇකේම්බ්‍රීජ් ශබ්දකෝෂය උදාහරණයට ගන්නා දියුණු බහු සංස්කෘති සමාජය පාසැල් ගුරුවරියට සිය සංස්කෘතියට රිසි සේ පරිහරණයට වැට කඩොලු බදින්නේ ඇයි? ඇයට අධිකරණයේ පිහිට පතන්න වූයේ ඇයි? අවසන ඇයට අධිකරණයෙන් ද සාධාරණයක් ඉටු නොවූණි. ඒ ඇයි ඇයි?



බොහෝ මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන්නේ ෂාරියා නීතියයි. විවිධ වැරදි සඳහා ඒ යටතේ දැඩි දඬුවම් පමුණුවයි. පරදාර සේවනය, ස්ත්‍රී දූෂණය ගල් ගසා මරා දැමීමමට තරම් බරපතළ වැරදි ය. එහෙත් වෙනත් රටක ජීවත් වන විට ඔවුන්ට එම නීති ඒ අයුරින් ම ක්‍රියාත්මක කළ නොහැකි ය. උදාහරණයක් ලෙස ලංකාවේදී ඇතැම් නඩු ඔවුන්ගේ අධිකරණවල විභාග කළ හැකි වුව ද මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකි ය. එනම් සිවිල් නඩුවලදී ඒ ඒ රටවල නීතියට යටත්වීමට ඔවුන්ට සිදු වේ. බ්‍රිතාන්‍ය ආදී බහු සංස්කෘති ලේබලැති රටවල ද එසේම ය. ඒ ඇයි?

බොහෝ මුස්ලිම්වරු නිර්මාංශ නොවෙති. සිය ආහාර පතෙහි මුල් තැනක් මාංහ ආහාර සඳහා නිරතුරුව හිමි වේ. ඔවුන්ගේ නිජබිම් වන අප්‍රිකාව ආශ්‍රිත පරිසරය ඊට බෙහෙවින් බලපෑවේ යයි උපකල්පනය කිරීම සාධාරණ ය. එහෙත් එතැනින් ඉන්දියාවට සංක්‍රමණය වූ මුස්ලිම්වරු බහුතරය නිර්මාංශ වෙති. එසේ වූයේ ඇයි?

දකුණු ඉන්දියානු ද්රවිඩයෝ බ්‍රාහ්මණ වංශිකයෝ වෙති. ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයෝ ඉන්දියාවේ ප්‍රදේශ දෙකකින් පැමිණියාහු වෙති. මෙසේ උතුරට සපැමිණි බ්‍රාහ්මණ වංශික ද්‍රවිඩයෝ මෙරට දී ගොවිගම බවට පත්වූහ. ඒ ඇයි?

සිංහලයේ අන්තිම සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ය. ඉන් ඔබ්බේ මෙරට රජකම ඉන්දිය නායක්කාර් වංශිකයන්ට හිමි විය. එහෙත් මෙරටට ආ ඔවුන්ට ශිව ආගම අතැහැර බුදු දහම වැළඳ ගැනීමට සිදුවිය. බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාගේ උපදෙස් පිළිපදිමින් දන්ත ධාතුවේ ආරක්ෂකයන් වෙමින් ක්‍රියා කිරීමට ඔවුන්ට සිදු විය.ඒ ඇයි?

ජාත්‍යන්තර රතු කුරුස සංවිධනානය ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රසිද්ධ ය. එහි ලොව පුරා යුද බිම් ආශ්‍රිතව ක්‍රියා කරන රතු කුරුසයේ ලාංඡනය රතු පැහැ තුරුසයකි. එහෙත් මුස්ලිම් රටවල රතු කුරුස සංවිධනානයේ ලාංඡනය රතු අඩ සඳ වේ. ඒ ඇයි?

කතෝලික ආගම මෙරටට 1505 ලැබිණි. ලාංකික කතෝලික ඉතිහාසය ඉන් ඔබ්බට යතැයි ඇතැමුන් ගොඩ නඟන තර්ක සහ පෙන්වන නිදර්ශන ශක්තිමත් නැත. (අනුරාධපුරයෙන් හමුවන සාධකවලින් අනාරණය වන්නේ මෙරටට පැමිණි වෙළදුන්ට සිය ආගමික කටයුතු නිදහසේ කරන්නට තිබු අවසරය මිස අනෙකක් නොවේ.) කතෝලික ආගම රට තුළ ව්‍යාප්ත වත්ම ඔවුන් පෙරහැර කරන්නට විය. සිය ආගමේ කෙනෙක් මළ විට තටුවක් පිදීම සහ දානමාන දීම සිදුවිය. ඒ ඇයි?

කතෝලික ආගම දේශීයකරණයට 60 දශකයේ වතිකානුව උපදෙස් දුන්නේ ය. ඒ ඇයි?

මේ සියල්ලට එකම හේතුව ඒ ඒ රටවලට අනන්‍ය සංස්කෘතියක් පැවතීමයි. රටක විවිධ සංස්කෘවලට අයත් ජනතාව ජීවත්වුව ද ඔවුන්ට එහි ප්‍රධාන සංස්කෘතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නතුවීමට සිදු වෙයි. එහෙයින් බහු සංස්කෘතිවාදය හුදු සංකල්පයක් පමණකි. සියලු සංස්කෘති වෙත එකසේ සලකන සමාජයක් ලොව නැත. ඇත්තේ එක් ප්‍රධාන සංස්කෘතියකි. එහි ආධීපත්‍යයකි.

වත්මන් ධනේශ්වර ලොව මිනිසාගේ සංස්කෘතික ජීවිතය බෙහෙවින් පටුවී ඇත. අතීතයේ මුළු ජීවිත කාලය ම සංස්කෘතික ජීවිතයක් ගත කළ ඔහුට දැන් ඊට ඉඩ නැත. ඉන් බොහොමයක් ඔහුට අහිමි වී ඇත. නිදසුනක් ලෙස අතීත සිංහලයාගේ ජීවන වෘත්තිය - ගොවිතැන - සිය සංස්කෘතික ජීවිතයේ කොටසක් විය. කුඹුර කොටන දින පටන් බැත ගෙට ගන්නා තුරු සියලු කටයුතු සංස්කෘතික අංග සමග බද්ධ විය. හේනක් කොටා ගිනි ලෑමේ සිට සියලු කටයුතු ද සංස්කෘතික ජීවිතයේ අංග විය. ඔවුන් අත්තම් ක්‍රමයට සිය අසල්වාසීන් සමග වැඩ කළා මිස කුළියට වැඩ කළේ නැත. එය ඔවුහු නින්දාවක් කොට තැකූහ.

ධනේශ්වර ක්‍රමයේ නැගීමත් සමග ඔහුට අකමැත්තෙන් වුව කුළියට හෙවත් මුදලට වැඩ කරන්නට විය. ඒ සඳහා ඔවුහු සිය සංස්කෘතික ජීවිතයෙන් මිදී ආහ. එසේ නිවසේ තබා පැමිණි ජීවිතයට සවස නැවත පිවිසුණහ. එනම් උපත, විවාහය, මරණය, අවුරුදු උදාව සහ ආගම සම්බන්ධ බොහෝ දේ පෙර සේම සංස්කෘතික ජීවිතයේ අංගයෝ වෙත්. ඩෙනිම සහ ටී-ෂර්ටය හැඳ කාර්යාලයට යනෙ’න තරුණ තරුණියෝ සාරි, ඔසරි සහ රජ ඇදුම්වලින් විවාහ වන දින සැරසෙති. හෙළ කුල සිරිතට කටයුතු කරති. පන්සලට ඉලව් ගෙදරට සුදුවතින් සැරසී යති. සිංහල හින්දු අවුරුදු උදාව සමරමින් කිරි උතුරුවා කිරි බත් පිසිනු විනා ෆ්‍රයිඩ් රයිස් සදන අයෙක් නොමැත.

මේ අනුව වත්මන් පරපුරේ සංස්කෘතික ජීවිතය පටු වුව ද ජීවිතයේ සංධිස්ථානවලදී නැවත එකී මුල් සොයා ඇදෙති. පුනරාගමනය කරති. එහි ආධිපත්‍ය දරන සංස්කෘතිය රටේ සංස්කෘතිය වේ. ඒ අනුව ඉන්දියාව ව්‍යස්ථාවෙන් අනාගමික වුව ද සංස්කෘතියෙන් හින්දු වේ. තුර්කිය ව්‍යස්ථාවෙන් අනාගමික වුව ද සංස්කෘතියෙන් ඉස්ලාම් වේ. ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියකි. එහෙත් එය බුදු දහමේ ආධිපත්‍ය නොව බුදු දහම සහ අපේ මුතුන් මිත්තන්ගේ ජීවින අත්දැකීම් ඇසුරින් බිහිවූ සංස්කෘතියයි. එහි ආධිපත්‍යට බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් අප සියලු දෙනා අරා පැතිර පවති. සෙසු සංස්කෘතිවලට සාපේක්ෂව අපේ සංස්කෘතික සුඛනම්‍ය සුලලිත වූවක් බව නම් සැබෑ ය. එහෙත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියයි.

කෙසේ වුව ද ඇතැම්හු එය නොපිළිගනිති. මොවුහු දැනුම පරිවර්තනය කරනු විනා දැනුම නිෂ්පාදනය නොකරති. රටකට අවැසි දැනුම පරිවර්තනයට වඩා දැනුම නිෂ්පාදනය කිරීම ය. අවාසනාව මොවුන් එකී දැනුම අනුවර්තනයට හෝ අවදානය යොමු නොකිරීම ය. අතිගරු මර්සලින් ජයකොඩි පියතුමා, එඩ්වඩ් ජයකොඩි සහ ජැක්සන් ඇන්තනී වැනි කතෝලිකයෝ ද මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතැයි අවබෝධ කර ගත්තෝ ය. ඒ සඳහා පොතේ දැනුම ඉක්මවා ගිය සමාජ සංස්කෘතික විඥානයක් අවැසි ය.

7 comments:

Dasun Sameera - දසුන් සමීර said...

ඉතාමත් තර්කාණුකූලයි. පැහිදිලියි. විශිෂ්ටයි.

ඔහේ said...

"මොවුහු දැනුම පරිවර්තනය කරනු විනා දැනුම නිෂ්පාදනය නොකරති"
මෙම වදන් පෙලෙහි ඔබගේ ලිපියේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඇති අර්ථය කැටි වී ඇත.

Nalaka (නාලක) said...

විශිෂ්ඨ ලිපියක්, නාමල්.

ලොකු කුඩා ඕනෑම තැනක හෝ සමූහයක, පුද්ගල හා ‍කුඩා කුලකයන් හි මතය/සංකෘතිය අභිබවා වඩාත් බලවත්/වඩාත් ව්‍යාප්ත මතය/සංකෘතිය ඉස්මතුවන බව නිරීක්ෂණයන් තහවුරු වන ඇත්තක්.

කුමන මට්මකින් පිරික්සා බැලුවත් එය ඇත්තයි.

ලොකයේ- දැනට යුරෝපීය/ඇමරිකානු සංකෘතිය, අතීතයේ රෝමානු, ඉන්දීය, මොංගෝලියානු, චීන ආදී ...

ඒ ඒ රටවල- ඔබ කියන පරිදි ...

ප්‍රාදේශිය වශයෙන්- කොළඹ කුරුදුවත්ත ආශ්‍රිතව ඇති සමාජයේ එකකුත්, ගම් ආශ්‍රිතව තව එකකුත්, විශ්ව විද්‍යාල අශ්‍රිතව තව එකකුත් ආදී වශයෙන්

නගර ගම්- මහරගම එකකුත්, තිස්සමහාරාමයේ එකකුත්, යාපනයේ එකකුත්, කිලිනොච්චියේ එකකුත්, මහියංගනයේ තව එකකුත්, ආදී වශයෙන්

පවුල් ඒකකවල- උදාහරණයක් ලෙස දේශපාලන සංස්කෘතිය බැලුවහොත් යුඇන්පී පවුල්, නිදහස් පක්ෂ පවුල් ආදී වශයෙන් ...

කාලයෙන් කාලයට ප්‍රාධාන සංස්කෘතිය වෙනස්වුවත් (90 ගණන් වල පාසල් පෙම්වතුන් යන්න අමුතු දෙයක් වීමත් දැන් සාමාන්‍ය දෙයක් වීමත් වැනි)
ඒ ඒ කාලවල දී එකක් ඉස්මතු වෙනවා.

ලංකාවේ පැහැදිළිවම සිංහල බෞද්ධ සංස්කෘතියක් පවතිනවා.

එවැනි රටකට තිබෙන්නේත් මෙපමණනයි.

බ්‍රිතාන්‍ය, ඇමරිකාව ආදී පළමුවන ලෝකයේ රටවලට වඩා හොද 'බහු සංස්කෘතියක්' වසර දහස් ගණනක් තිස්සේ අප පවත්වාගෙන ආවා. ‍යුරෝපීය කොලනිකාරයන්ගේ අනුගාමික දෘශ්ඨියකින් ලංකාව දෙස බලනවුන්ටයි අපේ ජන සන්තානයේ පැවතුන/පවතින වෙනස් මත/ආගම්/සංස්කෘතීන් ඉවසීම හා උපේක්ෂාබර ජීවන දැක්ම නොපෙනෙන්නේ ...

ඔහේ said...

"යුරෝපීය කොලනිකාරයන්ගේ අනුගාමික දෘශ්ඨියකින් ලංකාව දෙස බලනවුන්ටයි අපේ ජන සන්තානයේ පැවතුන/පවතින වෙනස් මත/ආගම්/සංස්කෘතීන් ඉවසීම හා උපේක්ෂාබර ජීවන දැක්ම නොපෙනෙන්නේ"

නාලක කිවූ දෙයට තවත් වචන කීපයක් ඈඳමි....,

මෙයට ප්‍රධාන හේතුව නාමල් කියන්නාක් සේ මොවුන් දැනුම කුලියට ගත්තවුන් වීම යි. මෙහිදි හටගන්නා පරස්පරය නම්, කුලියට ගත් දැනුම දේශීයකරණයට ලක් කිරීමේ දි හටගන්නා විෂමතා ය. සමහරුන් මෙම විෂමතා නිරාකරණය කිරීමට වෙහෙසෙති, සමහරුන් තමන් කුලියට ගත් දැනුමෙහි වහලුන් වී බාහිරය ගරහති.
උදා - ජාතිකවාදියා ජාතිවාදියා ලෙස හංවඩු ගැසීම

නාමල් උඩලමත්ත said...

සමීර, ඔහේ(මෙය අන්වර්ත නමක් යයි හඟිමි.)සහ නාලක අයියාට,
ඔබේ ව‍ටිණා අදහස් සියල්ලට බෙහෙවින් ස්තුතියි. ප්‍රමාදය අවුරුදු කාලයේ ගමට ගිය නිසයි. සංස්කෘතිය පිළිබඳ තව බොහෝ දේ තියෙනවා; අප සංවාදයට ලක් කළ යුතු, විමසිය යුතු. දිගට ම එක ම දේ ලිවීම සංහිඳට ගොඩ වෙන ඔබට නීරස වෙන්න පුළුවන්. මටත් එහෙමයි. ඒ නිසා විටින් විට ඒ ගැන ආයේ සංවාද කරමු. නව ලිපියකින් ළඟදිම ඔබ හමු වෙන්නම්. නිතර සංහිදේදි මාව හමුවෙන ඔබට නැවතත් ප්‍රණාමය.

ඔහේ said...

නාමල්, ඔබගේ ලිපි ප්‍රසංසනීය යි. අපගේ අනිකුත් බ්ලොග්චාරීනුත් මෙවැනි සංවාද වලට එක්වෙනවා නම් ඉතා අගනේයයි.

Wiz Kun said...

ඉතා හොඳ ලිපියක්. පැහැදිලි ලෙස තර්ක ගලපා තිබෙනවා. බොහෝ උදාහරණ ඔස්සේ පැහැදිලි කිරීම විශිෂ්ඨ ලක්ශණයක්...