2008-03-18

ප්‍රතිගාමී ජාතිවාදය

ජාතිය පිළිබඳ අභිමාණයෙන් කතා කරන ජාතිය හමුවේ ඇති ව්‍යසනවලදී සංවේදී වන පුද්ගලයින් හැදින්වීමට මෙරට තවමන් වහරන පොදු වදන ‘ජාතිවාදියා’ යන්න ය. මීට ඇති හොඳම උදාහරණය ටිබෙට් ජාතික එස්. මහින් ද හිමිට ජාතිවාදී කවියා යන ලේබලය ඇලවීම ය. අනෙක් අතට ඒ වදන ම මහා වාර්ගික සංහාරවල නිරතවූ හිට්ලර් පොල්පොට් වැන්නන් හැදින්වීමට ද යොදයි. එහෙත් මේ සංකල්ප දෙක අහසට පොළොව මෙන් පරස්පර ය. ඒ සඳහා සිංහලයේ වෙනම වදන් දෙකක් තිබේ. ඒ ජාතිවාදය සහ ජාතිකවාදයයි.


ජාතිවාදය යනු ස්වකීය ජාතියේ උන්නතිය සඳහා යයි කියා සෙසු ජාතීන් මර්දනය කිරීමකි. ඔවුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි. තම ජාතියට වඩා අන් ජාතීන් පහත් කොට සැලකීම ය. ආර්ය සංකල්පය අනුව ජර්මන් ජාතිය උසස් බව ද යුදෙව් ජාතිය අපිරිදු බව ද පවසා හිට්ලර් ගෙන ගිය යුදෙව් සංහාරය මෙකී උන්මත්තක ජාතිවාදයට නිදසුනකි. කාම්බෝජයේ පොල්පොට් ධනවතුන් සහ මධ්‍යම පන්තිය ඝාතනය කිරීම, සීතාවක රාජසිංහ කෝට්ටේ භික්ෂූන් ඝාතනය කිරීම, ඉරකයේ සදාම් හුසේන් ඇමරිකානු උදව් ඇතිව කුර්දිවරු ඝාතනය කිරීම, ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම, ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අල්ලා ගැනීම සහ පලස්තීනුවන් මර්දනය කිරීම, පැය 24න් උතුරේ ජීවත්වූ අහිංසක මුස්ලිම්වරු පන්නා දැමීම සහ උතුරු නැගෙනහිර සිංහලයන් පළවා හැරීම ඇතුලු පිරපාහරන් විසින් වසර 25ක් තිස්සේ කළ සියලු සංහාරයන් ජාතිවාදයේ අනිටුථල ලෙස හැදින්වීම නිවැරදි ය.

83 කළු ජූලිය එවන් සංහාරයක් නොවේදැයි දැන් ඔබ මගෙන් අසනු ඇත. එය ද සංහාරයකි. එහෙත් ඊට අවැසි පසුබිම සකස් කළේ උතුරේ සිංහල හමුදා සෙබලු 13ක් මරා දැමූ පිරපාහරන් ය. එවකට රට පාලනය කළ අමන පාලකයෝ දකුණේ ජීවත්වූ අහිංසක ද්‍රවිඩ ජනතාවට විරුද්ධව සිංහලයන් උසිගැන්වූහ. ඒ අවස්ථාවේ හැරුණු විට සිංහලයන් කිසි විටක ජාතිවාදී ලෙස හැසිරී නැත. සැබවින් ම 83 කළු ජූලිය පිරපාහරන්ගේ උගුලට මෙරට නායකයන් හසුවූ අවස්ථාවකි. ඒ අවාසනාවන්ත සිද්ධි දාමය නොවන්නට බිහිසුණු ත්‍රස්තවාදයක් මෙරට ඇති නොවනු ඇත. එකල ඉතා ම කුඩා මැර කල්ලියක්වූ LTTEයට විමුක්ති සළු පිළි පළඳවන්නේ ද ලෝකයාගේ අනුක්මපාවට පාත්‍රවන්නේ ද ලොව සතර අතින් ආධාර ගලා එන්නේ ද පිරිස් බලය අතින් බලවත් වන්නේ ද ඉන් අනතුරුව ය. කොටින් ම 83 ක්‍රියාදාමය LTTEයට සුරබිදෙනක් බවට පත්විය. අපි එහි වන්දිය තවම ගෙවමු. එවන් මෝඩකම් නැවත නොකිරීමට සමාජය දැනුවත් කළ යුතු ය. ද්‍රවිඩයෝ සියල්ලෝ කොටි නොවෙති . උප්පැන්නයේ සිංහල යයි සඳහන් වූ පමණින් කෙනෙක් කොටියෙකු හෝ එහි බත් බැලයකු නොවේ යයි ද කිව හැකි නොවේ.

ජාතිකවාදය ඊට ප්‍රතිපක්ෂ වූ ද උත්තරීතර වූ ද සංකල්පයකි. බුදුවරුන්ට මෙන් අපට කාලය දීපය දේශය කුලය සහ මව යන පස්මහ බැලුම් බලා ඉපැදීමට වරම් කොයින් ද? ස්වභාවධර්මයේ සහ නියාම ධර්මවල බලපෑමෙන් අප යම් ජාතියකට අයත් ව ඉපදෙයි. ඒ උපතත් සමග යම් සංස්කෘතියක් සම්ප්‍රදායක් අපට උරුම වෙයි. තමන් ලබා උපන් ඒ උරුමයෙන් ඔකඳ වීම ද සාඩම්බර වීම ද ඊට අනුගතව ජීවත් වීම ද එහි චිරස්ථිතීය පිණිස කටයුතු කිරීම ද එම උරුමයට යම් තර්ජනයක් වේනම් ඊට එරෙහිව නැඟී සිටීම ද අපගේ පරම අයිතියෙකි. එය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකි ය. එමෙන්ම තමන් භුක්ති විදින ඒ අයිතිය සෙසු ජාතීන්ට ද ඒ ආකාරයෙන් ම ලැබිය යුතු ය. එසේ නොලැබේ නම් ඊට එරෙහිව නැඟී සිටිය යුතු ය. මන්ද සෙසු ජාතීන්ගේ සංස්කෘතික අයිතීන් නොරැකෙන විට අප සංස්කෘතිය ද නිරායාසයෙන් අනාරක්ෂිත වේ. පෘතුගීසින්ට පසුව පැමිණි ලන්දේසීන් කතෝලිකයන්ට වඳ බන්ධන පමුණූවමින් පල්ලි මංකොල්ලා කමින් ඒවා යුද කඳවුරු බවට පත් කරත්දී බෞද්ධ පන්සල කතෝලික දහමට ආරක්ෂාව සැලසුවේ සිංහලයා එය දත් බැවිණි. අද ද ඇතැම් පල්ලි පිහිටියේ මෙසේ පන්සලෙන් ලද ඉඩම්වල ය. ජාතිකවාදය යනුවෙන් අදයස් කරන්නේ එයයි.

පණ්ඩුකාභය රජ දවස බිහිවූ සිංහලයාට දෙවනපෑතිස් රජ දවස බුදු දහම ලැබිණි. එහි සුසංයෝගයෙන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය බිහිවිය. බුදුන් දහම් සඟුන් යන තෙරුවනට අමතරව අපට රට දැය සමය යන
විකල්ප තෙරුවනක් ද ලැබිණි. කුමාරතුංග මුනිදාස මහතා දෙස බස රැස යන තෙරුවනක් නම් කළේ ය. එහිදී ආගම පෞද්ගලික කාරණාවකැයි ඉවත් කළේ ය.ඒ යුගයට සාපේක්‍ෂව එය ප්‍රගතිශීලී ය. එහෙත් හැම විට
ම විකල්ප තෙරුවන අතර ප්‍රමුඛ තැන නැතහොත් බුදුන් හා සමාන මුල් තැන රටට ලැබිණි.

කෙසේවුව ද අද දවසේ රට ගැන කතා කිරීම බොහෝ අයට ලැජ්ජාවට කරුණකි. ජාතිවාදය සහ ජාතිකවාදය එක මල්ලට දමා විග්‍රහ කිරීම ඊට ප්‍රධාන හේතුවයි. එහෙයින් මෙකී සංකල්ප දෙක අතර වෙනස අප අවබෝධ කර ගත යුතු ය.

3 comments:

නිරංජන් මීගම්මන said...

ඔබගේ සටහනේ සිංහල භාෂා ගුණාත්මක භාවය, අන්තර්ජාලයේදී සිංහ‍ල භාෂාව සංවර්ධනය වී ඇති බවට සළකුණකි. සිංහල යුනිකෝඩ් සංවර්ධනයට අප කල දායකත්වය ප්‍රතිඵල ලබන බවට ඉඟියකි. සංවරව හා තාර්කික ලෙස භාෂාව යොදාගැනීම තුල ඔබ අන්තර්ජාලයේ ලේඛකයකු ලෙස ඉදිරියට යනු ඇතැයි සිතමි. දිගටම හොඳට ලියන්න. ලියන ප්‍රමාණය නොව වටින්නේ ලිවීමේ ගූණාත්මක භාවයයි.

ප්‍රසන්න said...

මා නම් ඔබ ලියන ආකාරයට හෝ ඔබ ලියන ප්‍රමාණයට වඩා ඔබ ලියන දෙයටයි අවධානය යොමු කරන්නෙ. ඉහත අදහස් දක්වපු මහත්මයා අනුන්ගෙ දේකින් තමන්ට ලකුණු දාගන්න හදනවා. මටනං හිතෙන්නෙ ඒ මහත්මයා මෙතුමා කියන දේ පිළිබඳවත් අවධානය යොමු කලොත් හොඳා.

නාමල් උඩලමත්ත said...

ඔබ දෙදෙනාගේ ම විචාරාත්මක ප්‍රතිචාරවලට බෙහෙවින් පිං. එම අදහස් අප දිරිගන්වන සුළු ය. අප ලියන බස් වහර මෙන් ම අන්තර්ගතයේ බරසාර බව ද ඉතා වැදගත් යයි මම සිතමි. මගේ ලිපියක් කියවන්නට ඔබේ ජීවිතයෙන් වියපැහැදම් කරන කාලයට සරිලන අර්ථවත් යමක් ඔබට සම්ප්‍රදානය කිරීම මගේ ඒකායන අරමුණ ය. වඟකීම ය. යුතුකම ය.
සංහි‍ඳේ පළවන දෑවල හොඳ නොහොඳ ඔබට පෙනෙනු ඇත. ඒ සියල්ල මෙහි ලියන්න. ඔබේ නිදහස් අදහස්වලට සංහිඳ කදිම තෝතැන්නකි.සංහිඳට යනෙන ඔබ සැමගේ එක් වදනක් පවා බෙහෙවින් අගෙයි. එහි අගය මෙතෙකැයි කෙසේ කියම් ද?