2008-02-01

හඬනු මැන නිදහස !!!

අප මේ සමරන්නේ නිදහසේ 60 වන සංවත්සරයයි. 1505 පෘතුගීසි
දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගත් අතර අනතුරුව එය
ලන්දේසි සහ ඉංග්‍රීසි අතට පත් විය. 1815 කන්ද උඩරට ගිවිසුමත්
සමග සමස්ත ලංකාව ම බ්‍රිතාන්‍යය කිරීටයට නතු විය. 1948 වසරේ
නැවත නිදහස ලැබිණි. එය ඩොමීනියන් නිදහසකි. 1972 ජනරජ
ව්‍යවස්ථාවෙන් පූර්ණ නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.එහෙත් අප
ලැබුවේ 1815 අපෙන් උදුරා සම්පූර්ණ නිදහස ද? නිදහසින් කොටසක්
ද? අප අද භුක්ති විඳින්නේ සැබෑ නිදහස ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු
සපයා ගැනීමට ප්‍රථම නිදහස යනු කුමක්දැයි අර්ථකථනය කර ගැනීම වැදගත් ය.

හරිස්චන්ද්‍ර විජේතුංග ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේ 'නිදහස'
'නිදහස්' යන වචන මෙසේ විග්‍රහ කර ඇත."කිසිවකුටත් යටත් නැති තත්ත්වය, යටත් නොවන, ස්වාධීනතාව, බැඳීම්වලින් තොර "(1982_947)

රටක නිදහස ආර්ථික - සමාජ - දේශපාලන - සංස්කෘතික ක්‍ෂේත්‍ර
වෙත විහිදී යයි. එමෙන් ම එය ආර්ථික - සමාජ - දේශපාලන -
සංස්කෘතික ලෙස බෙදා විග්‍රහ කිරීම කිරීම පහසු ය. එහෙත් ඒ සියල්ල
ප්‍රායෝගික ලෝකයේ එකට බැඳී පවතී. අප අවබෝධ කර ගත යුත්තේ
නිදහස යනු පුළුල් සංකල්පයක් බව ය. එය හුදු දේශපාලන නිදහස
පමණක් නොවේ. ආර්ථික නිදහස පමණක් ද නොවේ. මේ සියල්ලේ
සුසංයෝගයයි.

අප 48 සහ 72 ලැබූ නිදහස පරිපූර්ණ ද? එය එසේ නම් අපට
ස්වාධීනව රට පිළිබඳ තීරණ ගත හැකි විය යුතු ය. අපේ රටේ
ප්‍රශ්න අපට විසඳා ගැනීමට අවකාශ තිබිය යුතු ය. නිදහසේ
ආර්ථික තීරණ ගත හැකි විය යුතු ය.අපේ සංස්කෘතිය නිදහසේ
භුක්ති විඳින්නට පෝෂණය කර ගන්නට අවකාශ තිබිය යුතු ය.
බැලූ බැල්මට අප නිදහස් ජාතියක් ලෙස පෙනුණ ද එය හුදු
මිත්‍යාවක් පමණි. සැබවින් ම අප තව ම යටත් වැසියෝ වෙමු.

එය1948ට පෙර මෙන් ඍජු යටත්විජිතවාදයක් නො ව වක්‍ර
යටත්විජිතවාදයකි. එය ගෝලීයකරණය විශ්ව ගම්මානය විශ්ව
පවුල ආදි සුකොමල වදන්වලින් ද හැදින්වේ. එහෙත් මේ වූ
කලී යටත්විජිතවාදයේ අබිනව මුහුණුවරයි. ලෝකය යටත්
විජිතකරණයේ සිට නව යටත්විජිතකරණය ඔස්සේ යළි
යටත්විජිතකරණයට පැමිණ ඇත. අතීත අවස්ථාවලට සාපේක්ෂව
යළි යටත්විජිතකරණය ඉතා ම සියුම් සහ බිහිසුණු ක්‍රියාදාමයකි.
එහෙයින් අප බලවත් ජාතීන් විසින් සූරා කන බව අපට
නොපෙණේ. එහි බිහිසුණු බව නෝම් චොම්ස්කි වැනි විද්වතුන්ගේ
සහ ජෝන් පර්කින්ස් ආදී හිටපු ඒජන්තවරුන්ගේ කෘති කියවීමෙන්
ලබා ගත හැකි ය.

මේ වන විට යටත්විජිතකරණය ලොව පුරා ව්‍යාප්ත කරන්නේ
ද නඩත්තු කරන්නේ ද ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය
අරමුදල,ලෝක වෙළඳ සංවිධානය ආදී ආයතනයි. මේ ආයතනවල
නිල නොවන ස්වාමිවරු බලවත් ජාතීහු වෙති. ඒවාට අමතරව
බලවත් රටවල මුදලින් යැපෙන විවිධ NGO ඊට දායක වෙති.
එම NGO මගින් විදේශ ශිෂ්‍යත්ව ලෝක සවාරි සම්මන්ත්‍රණ
ඇතුළු නොයෙක් දොළ පිදේනි ලබන පිරිස් ද ඊට නොමසුරව
දායක වෙති. මේ සඳහා අලුතින් ම අත ගසා ඇත්තේ එක්සත්
ජාතින්ගේ සංවිධානය බව එහි මෑත කාලීන හැසිරීම්වලින්
පැහැදිළි වේ. එය එහි මුල් අරමූණට අහසට පොළව වැනි
වූවකි.

"වර්තමානයේදී යටත්විජිතවාදය ක්‍රියාත්මක වන්නේ
මිෂනාරීන්, ධනපතීන්, යෝධ කර්මාන්තකරුවන්, පර්යේෂකයින්,
මානව විද්‍යාඥයින්, හොඳ හිත පතුරුවන්නන්, සංචාරකයින් සහ
ෆෙඩරල් ඒජන්සිවල සාමුහික ක්‍රියාවලිය තුළිනි."
(විලියම් මේයර් _ඇමරිකාව ස්වදේශිකයන්ට සලකන හැටි)

කෙසේ වුව ද මේ වන විට ලෝකය, යළි යටත්විජතකරණයට
ශීඝ්‍රයෙන් ප්‍රතිචාර දක්වමින් සිටියි. නොයෙක් බලවත්
ජාතීන් විසින් දරුණු ලෙස සූරා කෑ ලතින් ඇමරිකානු රටවල්
දැන් ඊට එරෙහිව පෙළ ගැසී ඇත.බහුජාතික සමාගම් සතු
සම්පත් ජනසතු කිරීම, ලෝක බැංකුව සමග කළ ගනුදෙනුවලින්
ඉවත්වීම, ඇල්බා නමින් නව බැංකුවක් ඇරඹීම,කළාපයේ
රටවල ආරක්ෂාව සඳහා සංවිධානය වීම එහි ලා ප්‍රධාන වෙයි.

එහෙත් මේ යථාර්ථයට මුහුණ දීමට ලාංකිකයා තව ම සුදානම්
නැත. ඒ සඳහා ඇවැසි දේශපාලන විඥාන පෝෂණය මෙරට
අධ්‍යාපන පද්ධතිය විසින් බැහැර කොට තිබේ. මේ නිසා
සියලු දෙනා සිතන්නේ අප නිදහස් බවකි.රටේ පිරිවෙන්
පද්ධතිය විනාශ කොට බටහිර පන්නයේ පාසැල් සහ
විශ්වවිද්‍යාල බෝ කිරීමෙන් ඒ සඳහා ඇවැසි පදනම දමන ලදි.
එනම් දේශීයත්වයෙන් ගිළිහී ගිය පරපුරක් නිර්මාණය බිහි කරන
ලදි. මේ පද්ධතියෙන් බෝ කරන්නේ යළි යටත්විජිතකරණය
තුළ ක්‍රියාත්මක බහුජාතික සමාගම්වලට ඇවැසි ලිපිකරුවන් මිස
රටකට ඇවැසි දේශමාමක බුද්ධිමතුන් නොවේ. ඒ පරම්පරාව
රට ගැන සිතන පිරිසක් නොව 'ඉන්න ටිකේ ඉමුකො සුදෝ
ජොලියේ දමාලා' වර්ගයේ පිරිසකි.

බ්‍රිතාන්‍යයේ ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයකු වන ජෝන්
මෙනන් වරක් පැවසුවේ "මේ අධිරාජ්‍යය තවදුරටත් අපට
පවත්වා ගෙන යන්න බැහැ.ඒ නිසා එය අත්හරිමු. නමුත්
ඒ යටත්විජිත අත්හැරිය යුත්තේ තව දුරටත් අපට පාලනය
කළ හැකි අවනත ව තබා ගත හැකි ආකාරයටයි." යනුවෙනි.
60 වසරක් ඉක්ම ගිය තැන එය කෙතරම් යථාර්ථයක් බවට
පත්ව තිබේ ද? දැන් රට පාලනය කරන්නේ ලෝක බැංකුව
ලෝක වෙළඳ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි.
ෂෙල් සමාගම සහ ඔපෙක් සංවිධානය අපේ ජීවන මට්ටම
තීරණය කරනු ඇත. එම ආයතනවල තීරණ ක්‍රියාත්මක
කරන්නට රජය සිටියි. කොටින් ම මේ ජාලය විසින් රට
සිරභාරයට ගෙන ජනතාව නිවාස අඩස්සියේ තබා ඇත.
මෙකී දුෂ්ට චක්‍රයේ පෝෂණයට නිදහසින් පසු රට පාලනය
කළ සියලු දෙනා අඩු වැඩි ලෙස සම්මාදම් වී තිබේ.

එසේ නම් අප නිදහස නොසැමරිය යුතු ද? ඉන් පලක්
නැද්ද? එසේ නොවේ. අප නිදහස සැමරිය යුතු ය.
කෙසේ ද? අපේ නිදහස වෙනුවෙන් අභීතව සටන්
කළ වීරයින් සිහි කිරීමට ය. ඒ පිළිබඳ දැනුම ඉදිරි
පරම්පරාවට දායාද කිරීමට ය. අප ලැබූ නිදහසේ සීමා
මායිම් පිළිබඳ ව සමාජය තුළ කතිකාවත් ගොඩනැගීමට
ය. අපේ පෞඪ ඉතිහාසය නැවත නැවත සිහිපත් කර
දේශාභිමානය ජනිත කිරීමට ය. නූතනයේ අප හමුවේ
ඇති අභියෝග පිළිබඳ ව සමාජ මතයක් ඇති කිරීමට
ය. කොටින් ම අප අද නිදහස සැමරිය යුත්තේ 815
අපෙන් උදුරා ගත් නිදහස නැවත විජයග්‍රහණය කිරීමට
සමාජය බලමුළු ගැන්වීමට ය. ඒ සඳහා චාම් අභිමාණවත්
නිදහස් උත්සවයක් ප්‍රමාණවත් ය.

එහෙත් අවාසනාවට අප කරන්නේ නොකළ යුතු දේ ය.
පෙබරවාරි මුල සිට මුළු කොළඹ ම විදුලියෙන් ආලෝකවත්
කරනු ලැබේ. පසල් දනව්ව ද එසේ ම ය. දිනකට විදුලි
බල මණඩල පාඩුව කෝටි 6කි.මහා ඉහළින් ජනතාවගේ
මුදල් වියදම් කර උත්සව පවත්වනු ලැබේ. බොහෝ විට
ඒ සඳහා වැය බර දරන්නේ ද විවිධ ආයතනවලට රටේ
අනාගතය ගිනි පොළියට උකස් කොට ලබා ගත් මුදල් ය.
ජනතාව ද එදින නිවාඩු දිනයක් බැවින් කොහේ හෝ
සවාරියක් ගසා චයිනිස් හෝටලයකින් දවල්ට කා රෑට
අරක්කු ටිකක් බී නිදති. පසු දා කිසිත් සිදු නොවුණු
ලෙස කාර්යාලයට රිංගා සුපුරුදු වැඩ කරති.

එහෙයින් කළ යුත්තේ යළි නිදහස් සටනට පණ
පෙවීම ය. ඒ සඳහා ජනතාව අවදි කළ යුතු ය.
අපේ නිදහස් සටනට කවිය අවියක් කොට ගෙන
පණ පෙවූ එස්.මහින්ද හිමිගේ "දරු නැළවිල්ල"
පද්‍යය සංග්‍රහයෙන් තෝරා ගත් පැදි කිහිපයක්
මේ සමඟ පළ කරමි. පද්‍යය පංතියට උන්වහන්සේ
ලබා දුන් නමින් ම ඒවා දැයේ මව්වරුන්ට සිය දරුවන්
නළවන විට ගායනා කිරීමට විරචිත බව සුපැහැදිළි ය.

මුනි සිරිපා             සිඹිමින්නේ
සමනොළ ගිරි   පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ           එන්නේ
මගේ පුතා             නිඳියන්නේ

නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත! නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ


(මහින්ද ප්‍රබන්ධ-සුනිල් ආරියරත්න,1987,දයාවංශ ජයකොඩි,මරදාන)

දරු නැළවිල්ල පද්‍ය පංතියෙන් තෝරා ගත් පද්‍ය සඳහා >>>

3 comments:

සු said...

සිංහල ජාල සටහන්වලට අලුතින් එකතු වීමි. මහින්ද හිමියන්ගේ කවිද සමගින් ඔබ ලියූ සටහන අගය කරමි. අද ‍මෙලෙස සිතන්නන් ගේ හිග කම නිසාම අපි පරාධීන ජාතියක්ව සිටිමු. නිදහස සැමරු‍වත් අපි කවදා නිවහල් වෙයිදැයි නොපෙනේ.

Dulip's Thoughts said...

Dear Namal,
I highly appreciate your note on Freedom Day of Sri Lanka with a song from Rev S Mahinda. I am not sure whether these songs are taught in th school curriculum now, even if they are included in the text books I am not sure whether there are teachers who can understand the core ideas of them and inculcate them in the students' mind(of course there are but very little I guess...)
Yes, the whole developing countries including Sri Lanka are facing the threat of neo-colonialism under the globalisation process. Globalisation is an inevitable process and it is a logical consequence of the recent developments of information and communication technology. According to my understating, the national leadership should have to have a vision armed with national heritage and identity, and should be able to deal with the international community in all aspects of development for example, economic, social and political. We can proudly say that we are a free nation when our leadership and people have "independent" thinking with a strong foundation of national heritage. That will make our freedom a true freedom:

"nivahal sithuwili sithana sithak udarai...
niwahala nimewum mawana sithak udarai...
mewan asirimath jathiya jayen udarai...
yasho kelu wara jothiya pinen udarai...."

Once again... thank you for your note; you are doing a great service by commenting on contemporary issues of the Sri Lankan society....
All the best ...

නාමල් උඩලමත්ත said...

ඔබ දෙදෙනාගේ ම ප්‍රතිචාරයන්ට බොහො ම ස්තුතියි. අපි තවමත් ඉන්නේ සැබෑ නිදහස දිනාගෙන නෙමෙයි. මානසිකව නම් අපි දීන වහල් ජාතියක් තවම. මේ තත්ත්වයෙන් අපේ රට ගලවා ගන්න නම් අපි ම මිස වෙන කවුද? අද ඉතා ම ස්වල්ප දෙනෙක් වුණත් අනාගතයේ රට වෙනුවෙන් සිය දහස් ගණනක් දේශ ප්‍රේමීන් බිහි වේවි. ඒ සඳහා මාගේ මේ ව්‍යායාමය අංශු මාත්‍රික දායකත්වයක් සපයයි නම් මට ඒ ඇති.

අපේ රටේ උගන්වන ඉතිහාසය හොඳ උදාහරණයක් කොහොමද රටක ඉතිහාසය නූගැන්විය යුත්තේ කියන එක පහදන්න. ඒ වගේ ඉතිහාස පොත් අවශ්‍ය තොරතුරු දුන්න ම ඊට වඩා හොඳට පරිගණකයෙන් ලිවයා ගන්න පුළුවන්. නිවැරදි දැක්මක් නොමැතිකම, මහාසංශය සහ ජනප්‍රවාදවලට සීමා වීම, තර්කානුකූලව ගොඩ නොනැගීම , ඇතැම් ඉතිහාසඥයින් අන්ත පරධීන වීම ආදී දෙසැටක් විසාදීන්ගෙන් අපේ ඉතිහාසය අසාධ්‍ය වෙලා. මෙවැනි ඉතිහාසයක් ඉගෙන ගෙන සමාජයට පිවිසෙන පරම්පරාවක් අදීන දේශප්‍රෙමීන් වුණොත් තමා මම පුදුම වෙන්නේ. මේ ඉතිහාසය රටට පර ගැත්තො සහ ද්‍රෝහීන් බිහි කරන තිඹිරි ගෙයක් වෙලා. එස්.මහින්ද හිමි මේ අයට බාල භාණ්ඩයක්. උන්වහන්සේ ගැන කතා කරන්නේ ළමා පද්‍ය ගැන කතා කරන විට විතරයි. අපේ පාසැල් පද්ධතියේ පවා මහින්ද හිමිගේ දේශාභිමාණි නිර්මාණ අගයන්නේ නෑ. අගයන්න තරම් දේශාභිමාණයක් අපිට කලින් පරම්පරාවට තිබුණෙත් නෑ. ඒත් අපේ පරම්පරාව අළු ගසා දමා නැගිටීමේ සතර පෙර නිමිති දැන් දැන් පහළ වෙනවා. ඒක මට විශාල සතුටක්. මගේ පරම පැතුම එයයි එමඟට මා විසි කරන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ.