2008-01-28

ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ !!!


ඉතිහාසය විසින් මග දමා ගිය හැම දෙයක් ම වර්තමානයට බර වැඩි යයි කියමනක් තිබේ. මෙය සත්‍යයක් ද? අසත්‍යයක් ද? ‍කිසිදු භෞතික බලපෑමකින් තොරව සොබා දහමේ නියමයට අවනතව කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සංසිද්ධීන් විෂයෙහි එකී කියමන සත්‍යයකි. එහෙත් යම් යම් අරමුණු අපේක්ෂා මත බලෙන් යටපත් කරන ලද දේ විෂයෙහි එම කියමන පුස්සක් වෙයි. උතුරු නැගෙනහිර ඊනියා නිජ බිම් සංකල්පය තහවුරු කරනු වස් අකාමකා දමන ලද බෞද්ධ උරුමය එබන්දකි. එම ප්‍රදේශවල බොහෝ බෞද්ධ සිද්ධස්ථාන පොළවට සමතලා කර හින්දු කෝවිල් ඉදිකර ඇත. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට ඊලාම් ඉතිහාස ග්‍රන්ථ රචනා කොට ඇත. සිංහල ග්‍රාම නාම වෙනුවට ද්‍රවිඩ නම් යොදා ඇත.එසේ වූ පමණින් එය ද්‍රවිඩ නිජ බිම වන්නේ නැත.
උතුරු නැගෙනහිර සිංහල උරුමය සනාථ කරන ද්‍රවිඩ නිජ බිම් සංකල්පය අනාථ කරන ඓතිහාසික ලේඛනයකි, වල්ලිපුරම් රන් සන්නස. එය හමු වූයේ යාපනයේ වඩමාරච්චිහි විෂ්ණු දේවාල බිමෙනි. කි. ව. 1 වන සියවසට අයත් මේ සන්නස වසභ රජුගේ ඉසිගිරය නම් ඇමතියෙකු විසින් කරවන ලද්දකි. එමෙන් ම එය අපර බ්‍රහ්මි අක්ෂරයෙන් ලියවුණකි.

වල්ලිපුරම් රන් සන්නස:

"සිධ, මහරජ වහයහ අමෙතෙ
ඉසිගිරය නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ"

අනුවාදය:
"යහපතක් වේවා! වසභ මහ රජු රජයන කාලයෙහි ඉසිගිරය ඇමතිවරයා නාගදීපය පාලනය කරමින් බදකර අතනෙහි පියගුකතිස විහාරය කරවන ලදි."

වසභ රජතුමාගේ පාලන සමය කි.ව. 65 සිට 109 දක්වා බව සඳහන් වේ. 'අමෙතෙ' යන්න යෙදෙන්නේ ප්‍රාදේශීය පාලකයා යන අරුතිනි. උඩුකන්දර ලිපියේ 'මහමෙති' යනුවෙන් සඳහන් වේ. මේ අනුව එම තණතුරු නාමය කි.පු. යුගය දක්වා ගමන් කරන බව පැහැදිළි ය. 'බදකර' යනු වල්ලිපුරම්හි පැරණි සිංහල නාමයයි. පැරණි නාගදීපය, දූපත පමණක් නොව වත්මන් යාපන අර්ධද්වීපය ම බව පෝල් ඊ. පීරිස් සහ ඩී.බී.ජයතිලක යන මහත්වරුන්ගේ අදහසයි. මේ අනුව බුදු රජුන්ගේ දෙවන ලංකාගමනය හා බැදුණු නාගදීපය, යාපනය වන අතර චුන්නාක්කම් (චුල්ලනාග ගාම) මල්ලාකම් (මහානාග ගාම) යන ග්‍රාම නාමයෝ එකී ඓතිහාසික පුවත සිහිගන්වති.

13 වන සියවසේ යාපනය ද්‍රවිඩ ආධිපත්‍යයට යට වූ අතර 1448 සපුමල් කුමරු ආර්ය චක්‍රවර්ති පරදවා ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු නමින් රජවූ බව සිංහල සහ ද්‍රවිඩ මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඩී කූටෝ, ඩික්වේරෝස්, වැලන්ටයින් ආදී පෘතුගීසි ලන්දේසි ලේඛන ද ඊට සාක්ෂි වේ. මේ පුවත තහවුරු කරන සෙල් ලිපියක් ලංකා කෞතුකාගාරයේ තිබේ.

නල්ලූර් කන්දසාමි කෝවිලේ තේවාව කරන විට කියන කාන්තියම් චූර්ණිකාවේ සහ යාපනය ඉතිහාසයේ (කනක සූරිය ආරියන්ගේ කෘතියෙකි.) එම කෝවිල පමණක් නොව යාපනය නගරය ද ශ්‍රී සංඝබෝධි රජු කරවූ බව සඳහන් වේ.

"ශ්‍රීමත් මහා රසාදීරාස අකණ්ඩ පූමණ්ඩල ප්‍රතියති කන්දර විස්රාන්ත කීර්ති සිරි ගජ වල්ලි මහා වල්ලි සමෙන. සුප්රමණීය පාදර වින්ද(පු)ජනාති දිරූඩ. සොඩස මහා දාන සූරිය වංසෝත්පව සිරි සංග පෝදි "

මේ අනුව සපුමල් කුමරු ඇමතියෙකු නොව රජෙකු බව ද එතුමා යාපනයේ බොහෝ වෙහෙර විහාර කළ බව ද පිළිගත හැකි ය. උඩුවිල්, කොත්තුවිල්, කොණ්ඩාවිල්, මිරිසුවිල්, මානිපේ, සන්ඩිරුප්පේ, කෝපායිමල්ලකම්, කොඩිකාමම්, සුරාවත්තෛ, සින්නා වත්තෛ, කට්ට පොක්කණේ ඉන් කිහිපයක් බව මුත්තු තම්බ පිල්ලෙ, බාලසුබ්‍රමනියම් සර්මා ආදී දෙමළ ඉතිහාසකරුවෝ පවසති. එපමණක් නොව යාපනය කොටස් 4ට බෙදා සිංහල සෙන්පතියන් හතර දෙනෙක් යටතේ පාලනය වූ බව ද ඉතිහාසයේ සඳහන් වේ. මේ අනුව යාපනය ද්‍රවිඩ ආධිපත්‍යයට යට වූ සිංහල රාජ්‍යයේ ම කොටසක් බව සනාථ වේ.

මෙම ඉතිහාස කරුණු ගෙන හැර පාන්නේ අපේ දෙමළ ඥාතීන්ට එරෙහිව නොවේ. ඊනියා ද්‍රවිඩ නිජ බිම් ප්‍රලාපයට එරෙහිව ය. ද්‍රවිඩ ජාතිවාදයට එරෙහිව ය. ද්‍රවිඩ ජාතිවාදයේ මුහුණු කිහිපයකි. ත්‍රස්තවාදය එකකි. ෆෙඩරල් වෙස් මහුණ පැළඳ රඟන ප්‍රජාතන්ත්‍රවාදී නාටකය අනෙක ය. කිරෙන් බැද්දත් තෙලෙන් බැදදත් පරෙයියා පරෙයියාම ය. එහෙයින් මේ වූ කලී සකලාකාර බෙදුම්වාදීන්ට එරෙහිව ලියවෙන්නකි.

බෙදුම්වාදය අපට අහිමි කරන්නට සැරසෙන්නේ සිය වස් ගණනක් සිංහල අප සමග ජීවත්වූ අපේ සමීප ම අසල්වැසියා ය. මිතුරා ය. ඥාතියා ය. පන්සලේ කෝවිලේ කතරගම පුද බිමේ අප සමඟ එක ම දෙවියන් පිදූ මිතුරා ය. ඔවුන් නිර්මාණය කරන්නට සැරසෙන්නේ සදාකාලික දේශසීමා අර්බූදයකි. රිසි සේ සූරා කෑමට හැකි දුබල රාජ්‍ය දෙකකි. අද එළිමහන් සිර කඳවුරක් වන් ගාසා තීරයේ අපා දුක් විඳින පලස්තීන වැසියන්ගේ ඉරණම අපට ද උරුම කරවන්නකි. අනෙක් අතට විවිධ ඒජන්තයින් මේ ව්‍යාපෘතියට සහාය වන්නේ ද්‍රවිඩ ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් නම් නොවේ. ඉරාකයේ ලක්ෂ 6ක් මරා දැමූ අලුගෝසුවන්ට ද්‍රවිඩයන් කෙරෙහි විශේෂයෙන් උපදින මානව දයාව කුමක් ද? මෙය සිය අරමුණු සඳහා ද්‍රවිඩයන් නිර්දය ලෙස පාවිච්චි කිරීමක් පමණි. එහෙයින් ඊට එරෙහිව වහාම නැගී සිටීම සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයි. යුතුකමයි.

වෛද්‍යවරයාට රෝගියා සහ ප්‍රතිකාර පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය වේ.උණ සීතල කෑම අරුචිය වෙව්ලීම ආදිය අපට බාහිරින් පෙනෙන රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. රෝගය අනෙකකි. පැරසිටමෝල් වර්ගයක් පාවිච්චි කළ පමණින් උණ බැස ගිය ද රෝගය සුවපත් නොවේ. වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදය යනු රෝග ලක්ෂණයක් විනා රෝග නිධානය නොවේ. රෝගය බෙදුම්වාදයයි. ත්‍රස්තවාදය තුරන් කළ පමණින් බෙදුම්වාදය කෙළවර නොවේ. එහෙයින් ආණ්ඩුව රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන තැන සිට රෝග නිධානයට ප්‍රතිකාර කරන තැනකට මාරු විය යුතු ය. එහෙත් ආණ්ඩුව එය අවබෝධ කර ගත් බවක් නොපෙණේ. එහෙයින් දැන් ආණ්ඩුව කරන්නේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන අතර රෝග නිධානයට රිසි සේ වැඩෙන්නට පරිසරය සකසා දීමයි.

(ශිලා ලේඛන මූලාශ්‍රය_කොත්මලේ අමරවංශ හිමි-1969,ලක්දිව සෙල් ලිපි)

No comments: