2013-07-15

ගව ඝාතන විරෝධයේ පදනම කුමක් ද?

සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතනය විරෝධය නැවත ඉස්මතු වී තිබේ. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව ඒ සඳහා ආසන්නතම හේතුව යැයි සිතිය හැකිය. මේ සමඟ ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතින අතර කලක් යටපත් වී තිබූ ගව ඝාතන විරෝධී සංවාදය ද නැවත එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්ර්හ කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. බුදුන් වහන්සේ බෞද්ධයින්ට මස් කෑම තහනම් කළේ ද? අඩු තරමින් ගව මස් කෑම තහනම් කළේ ද? පව් සිදුවන්නේ ගවයින් මැරූ විට පමණ ද? සිංහල බෞද්ධයින් ඌරන් කුකුළන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? ගව ඝාතන විරෝධය පටු ආගම්වාදී සටනක් නොවේද? ආදී විවිධ ප්‍රශ්න මේ වන විට පැන නැඟී තිබේ. ඒවාට තම තම නැණ පමණින් පිළිතුරු ද සම්පාදනය කොට තිබේ. ගව ඝාතන විරෝධි සටනට එරෙහි වන්නෝ බෞද්ධ දර්ශනය මත නොව මහා වීරතුමාගේ ජෛන දර්ශනය මත පදනම්ව කරුණු දක්වනු පෙනේ. අනෙක් අතට බෞද්ධ දර්ශනය අනුව වුව ද ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම අවබෝධ කරගත නොහැකිය. එයට හේතුව ගව ඝාතන විරෝධය හුදු ආගමික මූලයකින් නොව සංස්කෘතික මූලයකින් පැන නැඟීමය. එකී සංස්කෘතික මූලය ආගමික බලපෑමින් විනිර්මුක්ත බවෙක් ඉන් නොඇඟවේ. මේ කෙටි ලිපියේ අරමුණ ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම එනම් සංස්කෘතික පදනම අවබෝධ කරගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමය.

මිනිසා ශිෂ්ටාචාරය පුරා තමා ජීවත්වන පරිසරය වඩා සුවදායි කරගැනීම සඳහා මහා අරගලයක නිරත වෙයි. තමා ජීවත්වන ප්‍රදේශයේ දේශගුණය, භෞතික පිහිටීම, භූ විෂමතාව, ආර්ථික ක්‍රමය, ආගම ආදී සාධක සමඟ ඔහු වසර සිය ගණනක් ගනුදෙනු කරයි. විවිධ ප්‍රශ්නවලට මුහුණදෙයි. ඒ ඔස්සේ නේක අත්දැකීම් ලබයි. ඒ අත්දැකීම් දැනුම මත ඔවුන්ට ආවේණික සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති හැසිරීම් රටා නිර්මාණය වෙයි. සමාජයෙහි පොදු යහපත අරමුණු කොට ගෙන නිර්මාණය කරගනු ලබන මේ ඇගයුම් පද්ධතියට සංස්කෘතිය යැයි කිව හැකිය. සංස්කෘතිය යනු හැදියාව යැයි ඉතා සරලව කිව හැකිය. පෙර සඳහන් කළ පරිදි මිනිසාට ශිෂ්ටාචාරගත වීමේදී මුහුණපෑමට සිදුවූයේ එක සමාන දේශගුණික, භෞතික, ආර්ථික සහ ආගමික සාධකවලට නොවේ. එනම් එම සාධක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස් විය. මේ නිසා ඔවුන් මුහුණ පෑ ගැටලු මෙන්ම ලැබූ අත්දැකීම් ද එකිනෙකට වෙනස් වූ අතර ඒවා පදනම් කරගෙන බිහි කරගත් සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති එනම් සංස්කෘතීන් එකිනෙකට වෙනස් විය. වෙනත් ලෙසකින් කිවහොත් බඳුනකට ජලය දමන විට ජලය බඳුනේ හැඩය ගන්නාක් මෙන් ඒ ඒ දේශගුණික, ආර්ථික, ආගමික සාධක නමැති බඳුන් තුළ මිනිස්සු ඒ ඒ බඳුන්වල හැඩයට අනුගත වූහ.

භාරත සංස්කෘතියට හින්දු ආගම පදනම් වූ අතර ලංකා සංස්කෘතියට පදනම් වූයේ බුදු දහමය. බෞද්ධ සහ හින්දු ආගම්වල සතුන් සමඟ ඇති සබඳතාව ඉතා ප්‍රබලය. ජාතක පොතේ සඳහන් පරිදි බෝසතුන් වහන්සේ විවිධ සත්ව ජන්මයන්හි උපත ලැබූහ. විටෙක බෝසත් හාවෙකි. විටෙක බෝසත් ගවයෙකි. විටෙක වඳුරෙකි. තවත් විටෙක ඇතෙකි. සංඝයා අතර ඇති වූ භේදයක් නිසා වරක් වනයට වඩින බුදු රදුනට සමසක් උවටැන් කරන්නේ පාරිලෙයිය නම් ඇතෙකි. මුචලින්ද නාගයා, නාලාගිරි ඇතා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සමඟ සම්බන්ධ වෙයි. අනෙක් අතට ගවයා, වඳුරා ආදී සතුන් හින්දු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය. (එහෙත් කතෝලික හෝ ඉස්ලාම් ආගම්වල එවන් සමීප සබඳතාවක් ඇතැයි කිව හැකි නොවේ. කතෝලික දහම තුළ ජේසුතුමා ගව ලෙනක උපත ලැබීම සහ වරක් බැටලු රංචුවක් සමඟ සිටීම වැනි අවස්ථා කිහිපයක් දැකිය හැකි වුවත් ඉස්ලාම් දහම තුළ එවන් අවස්ථා ඇති ද යන්න සැක සහිතය.) මෙම ආගමික භාවිතයන් කාලයත් සමඟ ඒවා අනුගමනය කරන ප්‍රජාවෙහි සංස්කෘතිය සමඟ බද්ධ වෙයි. ප්‍රජාවෙහි චින්තනය සිතුම් පැතුම් රුචි අරුචිකම් තීරණය කරනු ලබන්නේ සංස්කෘතිය විසිනි. ආගම් ඔස්සේ සංස්කෘතියට අවශෝෂණය කරගත් මෙකී සත්ව සබඳතාව නිසා බුදු දහම පදනම් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ද හින්දු දහම පදනම්  හින්දු සංස්කෘතිය තුළ ද ආහාර සංස්කෘතිය බෙහෙවින් නිර්මාංශ විය. එමෙන්ම සිය සංස්කෘතිය තුළ බුහුමනට පාත්රත වන සතුන් ඔවුහු සුවිශේෂ කොට සැලකූහ.

ඒ ඒ සංස්කෘතීන් නිර්මාණය වීමේදී ආර්ථික ක්රිමය නැතහොත් ජීවන ක්ර්මය බලපාන බව පෙර ද සඳහන් කළෙමි. ඒ අනුව ගත් කල භාරතීය ශිෂ්ටාචාරය මෙන්ම ලංකා ශිෂ්ටාචාරය ද කෘෂිකාර්මික ශිෂ්ටාචාර යැයි කිව හැකිය. ඝර්ම කලාපයෙහි පිහිටි මේ දෙරටෙහි ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා උචිත සමසීතෝෂ්ණ දේශගුණයකි. එහෙයින් ඔවුහු ගංගා නිම්න ආශ්‍රිතව සිය ජනාවාස නිර්මාණය කොට ගත්හ. එම ගොවි සමාජවල වැසියාට සිය ජීවනෝපාය සඳහා ගවයා නැතිවම බැරි සම්පතක් විය. පස්ගෝ රස ලබා ගැනීම, කුඹුරු සී සෑම, ගැල් ඇදීම, සම් භාණ්ඩ, ගොම පොහොර ලබා ගැනීම ආදිය ඒ අතර ප්‍රමුඛ විය. එම සමාජවල මුල් යුගයෙහි ගව මස් කෑවේ යැයි අනුමාන කළ හැකි වුව ද උගෙන් ලද මහත් ප්‍රයෝජන සලතා පසුව එයට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වූයේ යැයි සිතිය හැකිය. ගවයින් මරණ තැනැත්තා මරා දැමිය යුතු බව අර්ථ ශාස්ත්‍රයෙහි සඳහන් වෙයි. මහත්මා ගාන්ධිතුමා ගවයා හැඳින්වූයේ දශ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ අම්මා ලෙසය. මෙලෙස භාරතීය ශිෂ්ටාචාරය ගොඩ නැගීමෙහිලා ගවයා ඉටු කළ මහත් කාර්යභාරය නිසා ගවයා එම ආර්ථිකය දරා සිටින ස්ථම්භයක් වූ නිසා ඌ එම ශිෂ්ටාචාරයෙහි වරප්‍රසාදිත සත්වයෙකු බවට පත්විය.

භාරතයෙහි මෙන්ම ලංකා සංස්කෘතියෙහි ද ආර්ථික පදනම වූයේ කෘෂිකාර්මාන්තය වන අතරම සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වීය. එහෙයින් සිංහල සංස්කෘතිය සහල් සංස්කෘතියක් යැයි කීව ද එහි වරදක් නොමැත. ඒ තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබිණි. බොහෝ විට සිය නිවෙස්හි ඇති කළ ගවයා සැලකුණේ තම පවුලේ සාමාජිකයෙකු ලෙසිණි. උන් ඇමතුයේ රත්ති, හඳයා, තොප්පියා, වයිරා, වල්ලියා වැනි හුරතල් නම්වලිනි. ගවයින් ලවා සීසාන විට සිංහල ගොවීන් අඩහැර පෑවේ 'සුරතල් මීමෝ' 'බුදුන් දැක නිවන් දැකපන් මයෙ වහු දරුවෝ' 'පින් අයිති වෙයි උඹලට මයෙ අප්පච්චියෙ' 'දෙවි රැකවරණයි මයෙ වස්තුවෙ' ආදී කාරුණික වඳන්වලිනි. තමන්ගේ ජීවිත සරුසාර කොට දෑස් පියාගන්නා ගවයාට සිය පවුලේ ඥාතියෙකුට මෙන් පාංශුකූලයක් දීමට ද දානමාන දී පින් අනුමෝදන් කිරීමට ද හේ කාරුණික විය. මේ දැඩි සබඳතාව නිසා සිංහල බෞද්ධයෝ කවදත් ගව මස් කෑම පිළිකෙව් කළේය. ආචාර්ය හේම එල්ලාවල මහතා සිය 'පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය' නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. "මස් සඳහා ගවයන් ඇති කළ බව පැවසෙන එකම සඳහනක් වත් අපට කිසිම තැනක හමු නොවූ බව විශේෂයෙන් සැලකිය යුතුය. අප මුලින් පෙන්වා දුන් පරිදි ගවමස් ආහාරයට ගැනීම උසස් කුලවතුන්ට සම්පූර්ණයෙන් ම තහනම් විය. ගවමස් ආහාරයට ගන්නා අය චණ්ඩාලයන් ලෙස සලකනු ලැබූහ." "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. ... ගෙරිමස මුවෙහි නොතබන්නේය" යැයි රොබට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියෙහි පවසා තිබේ. අනගාරික ධර්මපාලතුමා “ගවමස් කන්ට එපා. ගවයා මරන්ට දෙන්ට එපා. ගවයන් මරණ තැනකට යන්ට එපා. ගවයන් මරණ තැනැත්තා චණ්ඩාල රොඩියෙකි. ගව මස් කන එකා රොඩී රැලට දාන සිරිතක් පෙර ලංකාවේ තිබුණි.” යැයි ප්‍රකාශ කළේ සිංහලයාට සිය ශිෂ්ටාචාරය ගොඩනැගීමට හරි හරියට උර දුන් ගවයාට කෘතගුණ සැලකීමේ අවශ්‍යයතා නිසා විය යුතුය. මේ අනුව සිංහල බෞද්ධයින් ගව මස් කෑම පහත් කොට සැලකූ බව ඊට විරුද්ධව නීති පවා සම්පාදනය කොට තිබුණු බවත් පැහැදිලිය.

භාරතීය සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා ආගමික පදනම සැපයූවේ හින්දු ආගම විසිනි. හින්දු ආගම තුළ මෙන්ම ජෛන ආගම තුළ ද ගවයාට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. වෛදික යුගයේ සිටම ගවයා සෞභාග්‍යයේ මෙන්ම ධර්මයේ සංකේතය ලෙස ද සැලකිණි. එමෙන්ම ගවයා ශිව දෙවියන්ගේ වාහනය ලෙස ද සැලකේ. එපමණක් නොව ගවයා, හින්දුගේ මහත් සම්භානාවට පාත්‍ර වන ක්‍රිෂ්ණා දෙවියන් පෙනී සිටින දස අවතාරවලින් එකක් ලෙස ද සැලකේ. එමෙන්ම මී ගවයා මාර දිව්‍ය පුත්‍රයාගේ වාහනය ලෙස ද සැලකේ. සුරභි ධේනුව සිතු පැතු සම්පත් ලබා දෙන ගවඟනක බව ද විශ්වාස කෙරිණි. පංච තන්ත්‍රයේ එන වර්ධමානක සිටුතුමා සංජීවක සහ නන්දික නම් සිය ගව රැළේ සිටි ගවයින් දෙදෙනා කෙරෙහි අතිශයින් ළෙංගතු විය. මේ ආගමික පදනම නිසා අදත් ඉන්දීය මෙන්ම ලාංකේය හින්දූහු ද තෛපොංගල් උත්සසවය පවත්වා ගවයාට කෘතගුණ සලකති. 

ලාංකේය සංස්කෘතිය බිහිවීමෙහිලා ආගමික පදනම සැපයුණේ බුදු දහමිනි. බුදුන් වනාහි භාරතීය වෛදික නැතහොත් හින්දු සංස්කෘතිය තුළ ඉපිද බුද්ධත්වය ලබාගත් මහා පුරුෂයෙකි. එහෙයින් උන්වහන්සේගේ ධර්මය තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබීම පුදුමයට කරුණක් නොවේ. බෝසතුන් වහන්සේ නන්දිවිසාල ජාතකයෙහි නන්දි නම් ගවයා ලෙස උපත ලැබූහ. උන්වහන්සේ ගාවි උපමා සූත්‍රය දේශනා කළේ ගව දෙන උපමා කරගෙනය. ගව සම්පත තරම් වටිනා ස්වභාවික සම්පතක් නැතැයි (නත්ථි ගොසමිතං ධනං) බුදුන් වහන්සේ වදාළහ. තව ද පස්ගෝ රස සපයන ගවයා ජාතියෙහි මිතුරා යැයි (ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසාධා) වදාළහ. ගව යන අර්ථයෙහි යෙදෙන වෘෂභ ශබ්දය, 'මුනිපුංගව' 'මුනිවැහැප්' ආදී වශයෙන් බුදු රදුන් ඇමතීමට ශ්‍රේඨාර්ථයෙහි යෙදිණි. ලංකා සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා පදනම් වූයේ මෙකී බුදුදහම හෙයින් ඒ සංස්කෘතියෙහි ශික්ෂණය ලද සිංහලයා ගව මස් පිළිකුල් කිරීම හෝ ගව ඝාතනයට විරුද්ධ වීම පුදුමය කරුණක් නොවේ. අනෙක් අතට ඉතිහාසය පුරා භාරතීය රාජ්‍යයන් සමඟ පැවති සබඳතා නිසා හින්දූ සංස්කෘතියෙහි බලපෑමද සිංහලයාට ලැබිණි. ඔහුගේ වන්දනාමානයට පාත්‍ර වන දෙවිවරු හින්දු දෙවිවරුය. 

ඉහත දැක්වූ කරුණුවලින් අනාවරණය වන මූලික කාරණාව ගව ඝාතන විරෝධයට පදනම් වන්නේ සංස්කෘතික බවය. එම සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා බලපෑ ආර්ථිකය සහ ආගම තුළ ගවයා සුවිශේෂ භූමිකාවක් නිරුපණය කළ බව අවිවාදිතය. වෙනත් ලෙසකින් කිවහොත් ගව ඝාතන විරෝධය ද ගව මස් කෑම පිළිකුල් කොට සැලකීම ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්ෂණයකි. මේ අනුව ගව ඝාතන විරෝධය පිළිබඳ මෙරට පවතින සංවාදයෙහි පදනම නිවැරදි නොවන බව පැහැදිලිය. සංස්කෘතික පදනමක් සහිත සංසිද්ධියක් පිළිබඳ ආගමික පදනමක පිහිටා පිළිතුරු සෙවීම ගඟට ඉනි කැපීමකි. උඳු වපුරා මං පැතීමකි. එහෙයින් සිංහල බෞද්ධයා ගවයාට පමණක් කරුණාව දක්වන්නේ ඇයි? සෙසු සතුන් මැරූ විට පව් සිදු නොවන්නේ ද? වැනි ආගමික ප්‍රශ්නවල මෙන්ම ඒ සඳහා සම්පාදනය වන ආගමික පිළිතුරුවල ද කිසිදු තාර්කික පදනමක් නොමැත. ගව ඝාතන විරෝධය හුදු පව් පිං පිළිබඳ පදනම් කරගත් ආගමික මූලයක් ඔස්සේ නොව සියුම් සංස්කෘතික මූලයක් ඔස්සේ පැන නඟින්නකි. එය තාර්කිකව හෝ පොතේ බුද්ධාගමින් අවබෝධ කරගත නොහැකි අතර සිංහල බෞද්ධ සමාජය සුහදව ඇසුරු කිරීමෙන් අවබෝධ කරගත යුත්තකි. අනෙක් අතට බෞද්ධයෙකුට වුව ඔහු සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන්නේ නම් මේ කාරණාව අවබෝධ කරගැනීම උගහටය. අපේ උගතුන් බොහෝ දෙනෙකු අද මුහුණපා ඇති ගැටලුව එයයි.  

සිංහල බෞද්ධ බහුතරය ගොවීහු හෝ ගොවීන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔහුගේ ප්‍රධාන වගාව වීය. ඔහු සිතන පරිදි වී බුද්ධ භෝගයකි. ගොයම් නෙළා කුරුලු පාළුව යැයි කුරුල්ලන්ට කොටසක් ඉතිරි කරන ඔහු වි කරල් අහුරක් සිය නිවසේ බරාදයේ කුරුල්ලන් වෙනුවෙන් එල්ලා තබයි. ඔහුගේ සියලු සංස්කෘතික කෑම නිර්මාංශය. ඔහු නිර්මාංශ නොවුණ ද ඔහුගේ කෑම වේලට මස් මාංශ අනීවාර්ය හෝ ප්‍රමුඛ කොටසක් නොවිණි. ඔහු නිතර සිය නිවෙසට පැමිණි පසුව අතුරුදන් වූ තලගොයාට නිවන් සුව පතයි. හේන් ගොවිතැනට කැලේ කොටා ගිනි තැබීමට පෙර සතුන්ට ඉවත්ව යන්නැයි ආයාචනා කරයි. සිංහල ගැමි ලිය කිසි විටෙක උණු වතුර සිසිල් වන තුරු බිමට විසි නොකරන්නීය. දිනපතා කාක පොල් කටුවට බත් මිටක් දමන්නීය. පොහෝ දිනවල බිත්තර නොපුපුරවන්නීය. මහ මඟ බල්ලෙකු මැරී සිටිය ද අනේ අපොයි කියන්නීය. අසංස්කෘතික අධ්යාපපනය, වානිජකරණ සුනාමිය සහ තිස් වසක කුරිරු ත්‍රස්තවාදය හමුවේ එම සංස්කෘතියෙහි ඇතැම් අංග වියැකි ගිය ද එම සංස්කෘතික පදනම් මුලිනුපුටා දැමීමට සමත් වී නොමැත. නැතහොත් තවමත් ජාතියේ ආධ්‍යාත්මය මිය ගොස් නොමැත. 

සෑම සමාජයකම එක් ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඒ කතෝලික, හින්දු, ඉස්ලාම් හෝ බෞද්ධ විය හැකිය. ඒ ඒ සංස්කෘතිවල ඒවාට ආවේණික ඇගයුම් පද්ධති, සිරිත් විරිත් තිබේ. එහි ජීවත් වන්නාගේ චින්තනය සිතුම් පැතුම් සකස් වන්නේ ඒ මතය. සිංහල බෞද්ධයින් ගව මස් නොකන්නේ ඒ සංස්කෘතික බලපෑම නිසාය. මුස්ලිම් අය ඌරු මස් නොකන්නේ ඒ නිසාය. හින්දු ජනතාව ගව මස් නොකන්නේ ඒ නිසාය. එංගලන්ත වැසියා බලු මස් නොකන්නේ ඒ නිසාය. කිසියම් සංස්කෘතියක් රජයන සමාජයක් වෙත ඊට ආගන්තුක වන කිසිවෙකු පැමිණියහොත් ඔහුට ඒ සංස්කෘතියට කිසියම් දුරකට අනුගත වීමට සිදුවෙයි. ඒ ඔහුට සිය නිජ සංස්කෘතිය මුළුමනින්ම ඒ නව පරිසරය තුළ ක්‍රියාත්මක කළ නොහැකි හෙයිනි. 

ඉස්ලාම් සංස්කෘතිය ඌරා පිළිකෙව් කරයි. එහෙයින් මුස්ලිම් ජනතාව ද ඌරු මස් පිළිකෙව් කරති. ඌරු මස් කෑමට රුචි අයෙකු ඉරානය වැනි රටකට ගියහොත් ඔහුට වෙනත් මසකින් තෘප්තියට පත්වීමට සිදුවෙයි. බලු මස් චීනයේ ද කොරියාවේ ද ජනප්‍රිය මසකි. තුන්වේලට ම බලු මස් බුදින චීනෙකු වුව එංගලන්තයට ගියහොත් ඔහුට බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. ඒ වෙනුවට ගව, බැටලු ආදී මසක් ගත හැකිය. චීන සහ කොරියානු සංස්කෘතිය තුළ බෞද්ධ මහායාන බලපෑම තිබුණ ද ථේරවාදි බෞද්ධ ලංකාවේ කිසිවෙක් බලු මස් නොබුදිති. බලු මස් කෑමට කැමති කොරියානුවෙකුට ලංකාවේ හොටෙල්වලින් ඒවා නොලැබේ. මේ අනුව මස් පරිභෝජනය පිළිබඳ ඇත්තේ සංස්කෘතික හුරුපුරුදු බව පැහැදිලි වේ. කුකුළු මස් කන සිංහල බෞද්ධයෝ බලු මස් මෙන් ම ගව මස් ද පිළිකෙව් කරති. ඔහු තුළ ඌරු මස් පිළිබඳව ද ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇතැම් විට ඒ ඉස්ලාම් සංස්කෘතික බලපෑම නිසා විය හැකිය. එම සංස්කෘතික පුරුදුවල පදනම ප්‍රශ්න කිරීම නිශ්ඵලය. ඒ ඒ සංස්කෘතීන් විසින් ඒ තුළ ජීවත් වන මිනිසාගේ සිතුම් පැතුම් චින්තනය පමණක් නොව කායික ගති සිරිත් පවා පාලනය කරයි. 
  
අතීතයේ ගවයා අපට මහරු සම්පතක් වුව ද අද එසේ නොවන බව ද එහෙයින් අද, එකල මෙන් ගවයා පිළිබඳ කතා කිරීම නිශ්ඵල යැයි කිසිවෙකු තර්ක කළ හැකිය. මේ තර්කය තුළ ඇත්තේ සංස්කෘතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අසංවේදීත්වයට වැඩි යමක් නොවේ. සංස්කෘතිය කේවළ පුද්ගලයෙකු උපත සමඟ හට ගෙන විපත සමඟ අභාවයට යන දහමක් නොව සමාජයක වසර සිය දහස් ගණනක් තිස්සේ ජීවත් වන මිනිසුන්ගේ අත්දැකීම්වලින් පෝෂණය ලද සිරිත් විරිත් ඇගයුම් පද්ධතියකි. එම ඇගයුම් පද්ධතිය කෙරෙහි එහි වසන ජනතාවගේ ආර්ථික ක්‍රමය ද ඔවුන් අදහන ආගම ආදි සාධක බලපායි. මේ අනුව කෘෂිකාර්මික ආර්ථික පදනමක් ද බුදු දහම ද ඇසුරේ ලංකාවේ වර්ධනය වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගව මස් නොකෑම සාධු සම්මතය. එය සිංහල බෞද්ධ ආධ්යාවත්මික සංස්කෘතියෙහි අනභියෝගි ලක්ෂණයකි. 

කිසියම් සංස්කෘතියක් අභාවයට යන්නේ එම ජාතියේ මරණය හෝ එම ජාතියේ ආධ්‍යාත්මික මරණය සමඟය. පුරාණ ඇෆ්ගනිස්ථානය ක්‍රි.ව. 2 වන සියවසේ සිට 7 වන සියවසින් පසු එළඹෙන ඉස්ලාම් ආක්‍රමණය දක්වා බුදු දහම සහ බුදු දහම පදනම් කරගත් සංස්කෘතියක් සහිත දේශයක් විය. ගන්ධාර සම්ප්‍රදාය අනුව සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා ගොඩනැඟනේනේ එදවසය. 9 වන සියවස වන එම ප්රපදේශ මුස්ලිම් ග්‍රහණයට නතු වූ අතර බෞද්ධ සංස්කෘතිය අභාවයට ගොස් ඉස්ලාම් සංස්කෘතිය ස්ථාපිත විය. එනම් බෞද්ධයින්ගේ ඊළඟ පරම්පරා මුස්ලිම්කරණය විය. 2001 තාලිබාන්වරු විසින් විනාශ කර දමන ලද්දේ තම බෞද්ධ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කළ සංස්කෘතික උරුමයයි. එලෙසම සිංහල බෞද්ධ සංස්කෘතිය ද කිසියම් ආක්‍රමණයකට ගොදුරු වී අභාවයට ගියහොත් මිස ජාතියේ ආධ්‍යාත්මය මිය ගියහොත් මිස ගවයා කෙරෙහි ඇති සංස්කෘතික බැඳීම කෙළවර නොවේ. ඒ සංස්කෘතික උරුමයෙ කොටස්කරුවෝ අද ද ගව මස් නොකති. ගව ඝාතනයට එරෙහි වෙති. පොහොය දිනයට, සිය උපන් දිනයට ගවයින් නිදහස් කරති. ගව අනාථාගාර තනති. කලා නිර්මාණ කරති. ඒ බව දන්නා වෙළෙන්දෝ සිය පිටි කිරි අලෙවිය ප්‍රවර්ධනය කරනු පිණිස මරණයට කැපූ වූ කිරි අම්මාවරුන් නිදහස් කරති.

ලංකාවේ ගව මස් කෑම ව්යානප්ත වනුයේ 1505 පෘතුගීසි ආක්‍රමණය සමඟය. ආක්‍රමණිකයා සිය දෑතට තුවක්කුව සහ බයිබලය රැගෙන ඒමෙන් එය හුදු ආර්ථික ආක්රිමණයක් නොව සංස්කෘතික ආක්‍රමණයක් ද වූ බව පැහැදිලි වේ. 1498 භාරතයට පැමිණි වස්කෝ ද ගාමා පැවසුයේ තමන් ක්‍රිතියානින් සහ කුළු බඩු සොයා පැමිණි බවය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධීකරණ මෙහෙයුමට අනුව ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයා සිංහලයින්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා මහා ආගමික සංස්කෘතික සංහාරයක නිරත විය. ඒ සමඟ විවිධ හිංසාකාරී ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ආගම ද සංස්කෘතිය ද වැළඳ ගත් පිරිසක් මේ රටේ බිහි කළ අතර ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදුනි. එම කතෝලිකයෝ සිය ස්වාමියාගේ සංස්කෘතිය මහත් ගෞරවයෙන් අනුකරණය කළහ. සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් පිළිකුල් කළ ගව මස් කෑමට ද ඔවුහු නොපසුබට වූහ. 

යටත්විජිත ඉතිහාසය පුරා අඛණ්ඩව ගලා එන ගව ඝාතන විරෝධය හුදු මුස්ලිම් විරෝධයකට ලඝු කිරීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. එමෙන්ම ඉස්ලාම් දහම පවා අවමානයට ලක් කිරීමකි. නබි නායකතුමා ගව මස් කෑ බවක් හෝ සිය අනුගාමිකයින්ට ගව මස් කෑමට යෝජනා කළ බවක් මා අසා නොමැත. එහෙයින් ගව මස් නොලැබීම නිසා මුස්ලිම් ජනතාව මහා අසාධාරණයකට ලක් වේ යැයි ද හාමතේ මිය යා යැයි ද කිඹුල් කඳුලු හෙලන්නෝ මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීහු වෙති. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය හැකි නම් නැවත සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමය. කන්න සිතුණු කල කබරගොයා තලගොයා කරගන්නා ඔවුහු මුස්ලිම් ජනතාව පිළිබඳ කිසිදු කැක්කුමක් ඇති පිරිසක් ද නොවෙති. එවන් ළෙංගතුකමක් වී නම් අන්තවාදී සුළු පිරිසක් නිසා ලොව පුරා සාමකාමී මුස්ලිම් ජනතාවට විඳීමට සිදුවී ඇති ගැහැට පිළිබඳ ඔවුන් කෙතරම් උස් හඬක් නැඟිය යුතුද? 

අනෙක් අතට ලංකාවේ මුස්ලිම් ජන කොටස 8%ක් පමණ වේ. ගව ඝාතනයට විරුද්ධ සිංහල බෞද්ධ සහ හින්දු ජනතාව 85%ක් පමණ වේ. එහෙත් ගව ඝාතනය නිසා බෞද්ධ හින්දු සිත්වල ඇති වන අසහනකාරීත්වය වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටිති. කෙසේ වුවද බහුතර සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ සඳහා සහාය දීම සැමගේ යුතුකමයි. සෙසු ජන කොටස්වල ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ජීවත් වීම සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සුහද සංස්කෘතියක් ඔවුන්ට කිසි දිනක හමු නොවනු ඇත. අනෙක් අතට මෙරට ජීවත් වන ආගමින් බෞද්ධ නොවන ජන කොටස් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවෝ වෙති. තමන් ආගමින් බෞද්ධ බව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ බව වරක් ගරු සර්සලින් ජයකොඩි පියතුමා ප්‍රකාශ කළේ මේ අර්ථයෙනි. ඔබ සිංහල කතෝලිකයෙකි. ඔබ සිංහල හින්දූවෙකි. ඔබ සිංහල මුසල්මානුවෙකි. සිංහල බොදු ගීතාවලිය ඒ සුහදත්වයෙහි ළෙංගතු බැඳීමෙහි සදාතනික සංකේතයක් නොවන්නේද? 

මේ අනුව ගව ඝාතන විරෝධි සටනෙහි පදනම හුදු ආගම හෝ ගෝත්‍රවාදක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය බව පැහැදිය. නිශ්චිත වාර්තා නැත ද ගව ඝාතන විරෝධි සටන යටත්විජිත සමයෙහි ගව මස් කෑම ව්‍යාප්ත වීමත් සමඟ ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. එය මෙරට නිදහස් සටනේ කොටසක් වන අතර තවමත් මුදුන්පත් කරගත නොහැකි වූ ඉමකි.
(දිවයින - 2013/07/20)

8 comments:

රැංගෝ said...

ගව මස් මතු නොව ඕනෑම මසක් කෑම හෝ නොකෑම පුද්ගල රුචිකත්වය මත තීරණය වන්නකි. එය ජාතියකට ලඝු කර දැක්වීම අවිවාදයෙන් ම මුග්ධ ලකුණකි.

මා දන්නා තරමින් නබිතුමා එක්තරා අවස්ථාවක ගවමස් කෑම අනුමත කළේ, ඒ මොහොතේ හාමතේ මිය යමින් සිටි පිරිස ගලවා ගන්නට මිස කැමැත්තකින් නොවෙයි. ඒ මොහොතේ පවා, ගව මස් ආහාරයට ගැනීම අනුමත කළේ බොහොම අකමැත්තෙන් බව සඳහන්.

ඒ වගේ ම ගවමස් පමණක් නොවෙයි, කිසිම මසක් ආහාරයට නොගන්නා මුස්ලිම් ජාතිකයින් මා දන්නා සමාජයේ ජීවත් වනවා.

ඔබගේ ලිපිය සමග සියයට සියයක් ම එකඟ වෙනවා. ඒ වගේ ම විවෘත මනසකින් සටහන ලියු ඔබට බොහොම ස්තුතිවන්ත විය යුතුයි.
ජය වේවා!!

නාමල් උඩලමත්ත said...

ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සම්පූර්ණ ලිපිය කියෙව්වාට ගොඩක් ස්තුතියි. සමහරක් අය නිකන් උඩන් බල්ලෙන් කියවලා වැරදියට අල්ල ගන්නවා. හැකි නම් මට නබිතුමා අර ගව මස් කෑම පිළිබඳ පුවත ටිකක් විස්තර කරලා දෙන්න. නැතිනම් ලින්ක් එකක් දෙන්න. මං කැමතියි ඒ ගැන ටිකක් කියවන්න.

නාමල් උඩලමත්ත said...

Prashantha Walisundara ඔබට මේ ලිපියේ දී උවමනා වී තිබී ඇත්තේ මේ දවස්වල ඝව ඝාතනය වළක්වමු කියන ජනප්‍රියවාදී මතවාදය සාධාරණීකරනය කිරීම යි.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඔබේ ප්‍රකාශයේ මේ දවස්වල කියන කොටස ඉවත් කළාම ඒ කතාව සමඟ මට එකඟ වෙන්න පුළුවන්. මට කියන්න උවමනා කළ එක කාරණාවක් තමා ගව ඝාතන විරෝධය අද ඊයේ පැන නැඟුණු දෙයක් නොව අළු යට ගිනි පුපුරු මෙන් නිවෙමින් දැල්වෙමින් පැවත ආ සටනක් බව. ඒක අද දවසේ විය යුතු පරිදිම නැවත ඉස්මතු වෙලා තියෙනවා. මට අවධාරණය කළ යුතුව තිබූ අනෙක් කාරණය එය හුදු ආගමික මූලයකින් නොව සංස්කෘතික මූලයකින් උපන් බව. අවාසනාවට මේ රටේ ඉන්න වඳ පඩිවරු දන්නේ නැහැ ආගසම සහ සංස්කෘතිය කියන්නේ දෙකක් බව.

නාමල් උඩලමත්ත said...

Nalinda Karunarathna Namal, this is a good article. Please write something about conspirators who use our cultural values tactically to make the country unstable. And also I like to know your stand on Bodu Balasena.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta Nalinda Karunarathna, ලියන්න නම් තව බොහෝ දේවල් තියෙනවා. ඔබ කියන කතාව හරි වැදගත්. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තියලා කපන සෙල්ලම තමා සංස්කෘතික ආක්‍රමණය. ඒක හරි සියුම්. සෙමෙන් කරන දිගු කාලීන ප්‍රතිඵල අපේක්ෂිත සටනක්. යුද්ධ ආයුධ අරන් කරන සටනක් නෙමේ. සෙමෙන් අපේ ඇහැට වැලි ගහලා පුළුවන් නම් අපිත් සම්මාදම් කරගෙන කරන සටනක්. කැඳ කියන්නේ සිංහලයෝ අතර ඉතා ජනප්‍රිය ඉතාම ශක්ති ජනක ආහාරයක්. ඒත් අද කැඳ ගැන අපි හිතන්නේ කොහොමද? කැවුම් කියන්නේ එදා සිංහලයෝ යුද්දෙට යද්දි රැගෙන ගිය කෑමක්. අද කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා. අපි ඉතිහාසය පුරා සියලු සුබ කටයුතු ආරම්භ කළේ කිරිබත් කාලා. කිරි බත් කෑවම අද නින්ද යනවා කියලා තහවුරු කරලා ඉවරයි. එදා මුල්ලේරියා පරංගි කැති ගෑ ජයභූමිය. අද පිස්සන් කොටුව. එදා අප්‍රේල් 1 වෙනිදා අපේ අවුරුද්දේ මුල් දවස. අද ඒක මෝඩයාගේ දවස. මහදැනමුත්තා කියලා අපි ලවා හිනස්සවන්නේ අපේ ප්‍රභූ නායකයින්ට. මේක තමා සංස්කෘතික ආක්‍රමණය. cultural brainwash එක. මේක මේ විදිහට අදත් කෙරෙනවා. ඔය ෆුල් බ්‍රයිට් කොන්ත්‍රරකාරයෝ එක ජයට කරනවා. ඉදිරියේදී පන්සිල් කියන සංකල්පයට අරගෙන සිල්පද පහ වෙනුවට අන්‍ය ආගමික කරුණු ටිකක් දාන්න පුළුවන්. එදාට අපේ උගත්තු කියාවි පන්සිල් එදා ඉඳලා තිබුණා. බුදුන් පවා අනුමත කළා කියලා. නමුත් පන්සිල් නමින් වෙන දෙයක් තමා දෙන්නේ. ඒ නිසා මේ රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සු අවදියෙන් සිටිය යුතුයි. එදා ඉඳලා මේ ප්‍රශ්නවලදී ජාතිය අවදි කළේ කුඩා පිරිසක්. ඒ මිනිස්සු අපවාද විඳලා මැරිලා ගියා. හැබැයි ඒ අය සටන් කළ නිසා තමා අපි අදටත් මෙහෙම හරි ඉන්නේ. ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යංශ බුදු දහමේ සහ සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරක්ෂාවට කටයුතු කිරීම හැරුණු විට අනෙක් සියලු කටයුතු කරනවා. සිරිවර්ධන වගේ හොරුන්ට බුදු දහම විකෘති කරන්න දීලා අහක බලාන ඉන්නවා. සර්ව ආගමික ගුබ්බෑයන් හදනවා. සෝවාන් උපාධි කඩවලට අවසර දෙනවා. අනවසර පල්ලි පවත්වා ගෙන යාමට ලයිසන් දෙනවා. බෝ ගස් කපනවා. අද බුදු දහමට වින කරන ලොකුම ආයතනය තමා මේක. රටේ ප්‍රධාන ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරන්න ක්‍රියා නොකරන එකම රටත් ලංකාව. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ අසරණ වන බෞද්ධයින් තමන්ට හැකි විදිහට තම තමන් සංවිධානය වීම පුදුමට කරුණක් නෙමේ. එහෙම නොවුණා නම් මෙලහට මේක තවත් ක්‍රිස්තියානි රටක්. නැත්නම් සපරිස්ථානයක්. හැබැයි අනාගයේ නම් මේක සපරිස්ථානයක් වෙන එක සිකුරුයි. එදාට වුණත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ නම වෙනස් කරලා දැන් කරගෙන යන වැඩ ටික ඒ විදිහටම දිගටම කරගෙන යන්න තියෙන්නේ.

desh said...

I can ask you one thing after read all of your article, buddism is part of sinhalese culture? so as a sinhalese I dont like to eat beaf, and dont like to see animal kiilings , (specialy cows ) in my country, this land's major rights should be belong to sinhalese buddists. we should stop cow killing , same like in India.what ever the buddism says or not, am I right?

නාමල් උඩලමත්ත said...

desh, සංස්කෘතිය නිර්මාණය වන්නේ ඒ ඒ රටේ භූගෝලිය පිහිටීම, දේශගුණය, ආර්ථික ක්‍රමය, විදෙස් සබඳතා සහ ආගම් ඇදහිලි විශ්වාස ආදි බොහෝ කරුණු එකතුවෙලා. අපේ රටේ සංස්කෘතිය ගොඩනැගෙන්න බලපෑව ආගම තමා බුද්ධාගම. ඒ නිසානේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ. එතකොට බුද්ධාගම අපේ සංස්කෘතියේ කොටසක් වෙනවා. ඒ විතරක් නෙමේ අපේ රටේ තියෙන්නේ භාරතයේ පහළ වූ මුල් බුදු දහම නෙමේ. ඒ බුදුදහම මේ රටට ඇවිත් මේ රටට අනුගත වන ආකාරයට සකස් වූ බුදුදහම. එතෙක් මේ රටේ පැවති ඇදහිලි විශ්වාස ඒකට උරා ගන්නවා. ඒක ඇත්තට ම සිංහල බුද්ධාගම. ඉන්දියාවෙන් ගිය බුදු දහම ජපානයේ චීනයේ මහායාන වුණා වගේ ලංකාවේ සිංහල බුද්ධාගම වුණා. ඒක එහෙම වෙන්න ඕන. නොවුණා නම් පවතින්නේ නෑ.