2009-08-24

මා දුටු "එකමත් එක රට"

පසුගිය එක් සැඳෑවක මම මිතුරෙකු සමග රීගල් සිනමාහලට රිංගාගතිමි. ඒ සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටක’ සිනමා කාව්‍යයය හා ඒකාත්මිකවීමට ය. එම සිනමා කෘතිය නිර්මාණය වූයේ බටහිර ලේඛකයෙකු වන එමිල් සෝලාගේ කෙටි කතාවක් ඇසුරිණි. එකමත් එක රට ගැන දීර්ඝ විචාරයකට ඉඩහසර නැතත් ලුහුඬින් හෝ යමක් ලිවීම වැදගත් යයි සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි.

එම සිනමා කෘතියට විෂය වූයේ මානව ජීවිතය හා තාදානුබද්ධ සනාතන අගයකින් යුතු පුවතකි. එනම් මානව ප්‍රේමයයි. සදාචාරය නීතිය සම්ප්‍රදාය උස් මිටිකම් ආදිය ප්‍රේමයට බාධා නොවේ. පැරණි රදළ පරපුරක සුන්දර යුවතියකට පෙම් බඳින මිනිසුන් දෙදෙනකු වටා මුළු සිනමා කාව්‍යය ම ගෙත්තම් වී තිබේ. ඉන් තරුණයා රදළ නිවසේ මෙහෙකාරියගේ පුත්‍රයා ය. කුඩා වියේ සිට ළදැරිය සමග එකට වැඩෙන හේ උගෙන නීතිඥයෙකු බවට පත්විය.අනෙකා හදිසි අනතුරකින් ආබාධිතව සේවා ස්ථානයෙන් මරුවක් ගෙනැවිත් රදළ නිවස අසල නිවෙසක හුදෙකලාව වසන මැදිවියේ වුවෙකි. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් අතර ගොඩනැගිල්ලක ගෙන අතිශය සංකීර්ණ සබඳතාව ශෝකාන්තයකින් කෙළවර වෙයි.

නිර්මාණය කෙළවර අප හදවත්හි සුපුස්පිත වූයේ ‘පේමතී ජායතී සෝකෝ’ යන බුදු වදන ය. කාල, දේශ, ජාති, ආගම් ඈ සියලු සීමා මායිම් මකුලු හුය සේ ඉරා විසි කරන සනාතන දහමක් ඇතුළත් නිර්මානයක් සිය සිනමා කාව්‍යය සඳහා පදනම් කරගැනීම අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිභාව මොනවාට ප්‍රකට කරයි. පාර්ලිමන්ට් ජෝක්ස් ආදි රසිකයාට නිගා දෙන නිසරු නිර්මාණ බිහි වන යුගයක මෙවන් නිර්මාණ පහළවීම අනාගත ප්‍රබුද්ධ සිනමාවේ සුබ මං සලකුණු හෙළි වීමකි.
සනත්ගේ කුළුදුල් සිනමා ප්‍රයත්නයේ අප දුටු දුබලතා කිහිපයක් ද වෙයි. ඉන් ප්‍රමුඛ වන්නේ ‘එකමත් රක රටක’ වැඩිහිටියන්ට පමණයි කෘතියක් කළේ ඇයි ද යන්න ය. එහි අන්තර්ගත වැඩිහිටියන්ට පමණයි දර්ශන කිහිපය මූලික කතා තේමාවට කිසිදු හානියක් නොවන සේ අතහැර කෘතිය බිහි කළ හැකි ව තිබිණි. ආලිංගනය යනු රූප රාමු එකින් එක පේක්ෂකයා අබිමුව තැබිය යුත්තක් නොවේ. එවන් අවස්ථා රසිකයාට ඇඟවිය හැකි මාර්ග කෙතරම් තිබේ ද? කෘතියේ අන්තර්ගත වන්නේ ජීවිත පරිඥානය පුළුල් කරන එහි යථාර්ථය පසක් කරවන දුර්ලභ කතා පුවතකි. ඉන් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි අගනා සිනමාපටයක් කළ හැකිව තිබිණි. එහෙයින් එය රසික පිරිසකට සීමා කිරීමෙන් කර ඇත්තේ හානියකි. මුල් නිර්මාණයට අසාධාරණයකි.

අනෙක් දුර්වලතාව කතා තේමාව මැනවින් දේශීය පසුබිමට අනුවර්තනය කර නොතිබීමයි. රසිකයාට හිතෙන්නේ එම චරිත සිංහලෙන් කතා කළ ද සිංහල මුහුණු තිබුණ ද සිංහලයින් නොවන බව ය. ආබාධිතයෙකුට නොහොඹිනා විහිලු කරන තරුණියක තබා තරුණයෙකු හෝ අපට මෙරටින් සොයා ගැනීම අමාරු ය. එමෙන් ම හමු වූ මුල් දිනයේ ම තරුණයෙකුට තමාට කෑමට පෙර සහ පසු රමණයේ යෙදීමට අවශ්‍ය යැයි තබා එවන් තේමාවක්වත් ගැනවත් කතා කරන තරුණියක අපට සොයා ගත හැකි ද? මෙවන් දේ නිසා රසිකයාට අදාළ චරිතවලට සමීපවීමට අපහසු වෙයි. ඒවා නිෂ්පාදකයාගේ මනසේ උපන් ව්‍යාජ චරිත යයි හැඟෙයි. කෙනෙකුට මෙවන් චරිත අද වන විට අපේ සමාජයෙන් ද දුර්ලභ ලෙස හෝ හමු වෙතැයි තර්ක කළ හැකි වුව ද එහි පසුබිම දශක කිහිපයකට පෙර යුගය නිසා එය ද නිශේධනය වෙයි.

සමස්තයක් ලෙස රංගනය ගැන කතා කළහොත් එය ඉහළ මට්ටමක තිබූ බව නොකියා ම බැරි ය. නිරෝෂා පෙරේරා, රොෂාන් රවින්ද්‍ර නිර්මාණය වෙනුවෙන් සාධාරණය ඉටු කර තිබිණි. එහෙත් කෘතියේ වඩාත් ප්‍රබල සහ නිරූපණය අපහසු චරිතයට පණ පොවන සනත්ගෙන් ඒ චරිතයට ඊට වඩා සාධාරණයක් ඉටු විය යුතුව තිබුණු බව මගේ හැඟීමයි. ඔහු ඇතැම් විට චරිතයට මැනවින් ආවේශ වී නොතිබිණි. මුහුණට සහ ශරීරයට ආරෝපණය කරගත් විකෘති ස්වරූපය විටෙක වෙනස් වෙයි. විටෙක වෙනත් විකෘතියකට මාරු වෙයි. තවත් විටෙක සනත්ගේ ප්‍රකෘති මුහුණ මතුවෙයි. එම චරිතයේ අතිශය සංකීර්ණ බව සහ සනත් මත තිබූ අධ්‍යක්ෂණ බර විරාගයේ අරවින්ද ලෙසින් මතු වූ මහා සිනමා පෞරුෂය අපෙන් සඟවා තැබුවේ ද?

මෙවන් අඩුපාඩු තිබුණ ද එකමත් එක රට වඩා ප්‍රබුද්ධ සිනමාවත් කරා යන ගමනේ කඩඉමක් බව මගේ හැඟීමයි. මෙහි පවතින දුර්වලතා සකසා ගෙන වඩා සුන්දරතර සිනමා කෘතියක් සමග සනත් නැවත කරළියට එනතුරු මම බලා සිටිමි. අවසන් වශයෙන් නගරයෙන් ඉගිලි ගම්දනව් කරා පිය මනින ‘එකමත් එක රටෙක’ සිනමා කාව්‍යය නරඹන්න යැයි සහෘදයින්ට ඇරයුම් කරමි.

5 comments:

Anonymous said...

මේ ප්‍රබුද්ධ මහත්තයො. දන්නැති නිසා අහන්නෙ. කොහොමද සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයාට නිගාදෙන එකක් කියල අඳුරගන්නෙ. කොතනද ඔය ප්‍රබුද්ධ/ නිගාදෙන ඉර අඳින්නෙ.

"අනෙක් දුර්වලතාව කතා තේමාව මැනවින් දේශීය පසුබිමට අනුවර්තනය කර නොතිබීමයි." අනේ පව්. කතාවෙ නම එකමත් එක රටක කියල දැක්කෙ නැද්ද?. අඩුපාඩු බො‍හෝමයක් කතාකර ඇත්තේ හිතින් මවාගත්ත "දේශීය පසුබිම"ක් සලකලා නිසා ඒව ඔක්කොම නිකම්ම නිකං නන් දෙඩවිලි කියල පේනව.

සනත් ගේ රඟපෑමේ ඔය කියල අඩුපාඩු ටික නං මාත් දැක්ක.

ඉන්දික said...

balanna one..!
digatama liyanna..jayawewa!

නාමල් උඩලමත්ත said...

මෙහෙමයි, කෙනෙක් පාර්ලිමන්ට් ජෝක්ස් සිනමා කෘතියක් විදිහට රස වින්දා නම් ඔහු දන්න සිනමාව එය නම් අන්න එතැනින් ඉර ඇන්දම අපට ප්‍රබුද්ධ සිනමාව තියෙන්නේ ඊට එහායින් කියලා දළ වශයෙන් හිතන්න පුළුවන්. අන්න ඒ ප්‍රබුද්ධ සිනමාව රස විඳින අය තමා ප්‍රබුද්ධ රසිකයෝ.

මගේ අවදානයට ලක් නොවුණු දෙයක් තමා ඔබ දෙවනුව මතු කළේ. සිනමා කෘතියේ නම. ඒ ගැන මම ස්තූතිවන්ත වෙනවා. මේ නම අනුව අපට සිතන්න පුළුවන් මේ කතා පුවත කිසියම් රටක කිසියම් කලෙක සිදුවු පුවතක් විදිහට. එහි දක්නට ලැබෙන පල්ලි, දේවගැතිවරු පරිසරය පවා ඒ සඳහා රුකුලක් වෙනවා.

කෙසේ වුවත් මම මතු කරන්න උත්සහ කළේ මේ චරිත මැනවින් අපේ සංස්කෘතියට අනුගත කළා නම් එහි අගය ඉහළ යන බව. එය ලාංකික රසිකයාට මැනවින් ග්‍රහණය කරගත හැකි බව. මේ චරිතවල හැසිරෙන්නේ අපි අපි ම නේද යන හැඟීම ඇති වන බව. එය ඉතා පහසුවෙන් කළ හැකිව තිබුණා. මොකද මේ කතා පුවත සර්වකාලීන නිසා. අපේ කතා සම්ප්‍රදාය තුළ ඕනෑ ම ජන කතාවක් අරඹන්නේ ඔන්න එකමත් එක රටක කියලා. නමුත් ඒ කතාවල චරිත අපි නෙමේ කියලා අපට හිතෙන්නේ නැහැ. ඒ චරිතවල හැසිරීම අපේ විඥානය තුළ තැන්පත්වෙලා තියෙනවා.

ඉන්දික පුළුවන් නම් මේක බලන්න හොඳ සිනමා කෘතියක්.

අද හවස මහවැලි කේන්ද්‍රයේ එකමත් එක රට ගැන සංවාදයත් තියෙනවා. සරත් අමුණුගම, චන්ද්‍රසිරි පල්ලිගුරු, කුසුමා කරුණාරත්න මෙහි දේශන පවත්වනවා. 3.30 තමා පටන් ගන්නේ. පුළුවන් නම් ඇවිත් යන්න එන්න.

පොඩිගමය said...

"සනත්ගේ කුළුදුල් සිනමා ප්‍රයත්නයේ අප දුටු දුබලතා කිහිපයක් ද වෙයි. ඉන් ප්‍රමුඛ වන්නේ ‘එකමත් රක රටක’ වැඩිහිටියන්ට පමණයි කෘතියක් කළේ ඇයි ද යන්න ය. එහි අන්තර්ගත වැඩිහිටියන්ට පමණයි දර්ශන කිහිපය මූලික කතා තේමාවට කිසිදු හානියක් නොවන සේ අතහැර කෘතිය බිහි කළ හැකි ව තිබිණි. ආලිංගනය යනු රූප රාමු එකින් එක පේක්ෂකයා අබිමුව තැබිය යුත්තක් නොවේ. එවන් අවස්ථා රසිකයාට ඇඟවිය හැකි මාර්ග කෙතරම් තිබේ ද? කෘතියේ අන්තර්ගත වන්නේ ජීවිත පරිඥානය පුළුල් කරන එහි යථාර්ථය පසක් කරවන දුර්ලභ කතා පුවතකි. ඉන් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි අගනා සිනමාපටයක් කළ හැකිව තිබිණි. එහෙයින් එය රසික පිරිසකට සීමා කිරීමෙන් කර ඇත්තේ හානියකි. මුල් නිර්මාණයට අසාධාරණයකි."

"එමෙන් ම හමු වූ මුල් දිනයේ ම තරුණයෙකුට තමාට කෑමට පෙර සහ පසු රමණයේ යෙදීමට අවශ්‍ය යැයි තබා එවන් තේමාවක්වත් ගැනවත් කතා කරන තරුණියක අපට සොයා ගත හැකි ද? මෙවන් දේ නිසා රසිකයාට අදාළ චරිතවලට සමීපවීමට අපහසු වෙයි. ඒවා නිෂ්පාදකයාගේ මනසේ උපන් ව්‍යාජ චරිත යයි හැඟෙයි. කෙනෙකුට මෙවන් චරිත අද වන විට අපේ සමාජයෙන් ද දුර්ලභ ලෙස හෝ හමු වෙතැයි තර්ක කළ හැකි වුව ද එහි පසුබිම දශක කිහිපයකට පෙර යුගය නිසා එය ද නිශේධනය වෙයි."

මට හිතෙන්නෙ අධ්‍යක්ෂකතුමා වැඩිහිටියන්ට පමණයි ලේබල් එක අලවන්න සහ බොරුවට ලිංගිකත්වය විකුණන්න දරපු උත්සහයක් කියලයි.හැබැයි ඒව බලන්න චිත්‍රපටි හෝල්වලට එන මිනිහෙක් දැන්කාලෙ හොයාගන්න අමාරු බවයි මගෙ කල්පනාව!

අනිත් එක අපේ රටේ ඉන්න චිත්‍රපටි කරන උදවියට හොඳ තිරරචනයක් කරගන්නවත් නිර්මාණශීලී හැකියාවක් නැති හින්ද(හුඟක් චිත්‍රපටිවලට කතාව ආනයනය කරන්න වෙන්නෙ ඒකයි ) ඔයවගේ බාල රසය හැන්දක් දෙකක් කලවම් කරන්න උත්සහ දරනව ඇති.

නාමල් උඩලමත්ත said...

නිර්මාණ කිරීම ලේසී නැහැ. ඒ සඳහා හුඟක් කැප වීමෙන් වැඩ කරන්න ඕන.පොඩි ගමයගේ මතය එක්ක මම එකඟයි.අපේ එවුන් දැන් හැම දේට ම මුහුදට දත නියවන්න පුරුදු වෙලා. මම කියන්නේ ඒ පිටින් ගනිපු කතාව වත් හරියට සිනමාවට නඟන්න අපට බැරි වෙලා. නිර්මාණකාරයෙක් විශ්ව සාහිත්‍යය වගේ ම අපේ සම්ප්‍රදාය දැන ගන්න ඕන.අපේ පුරාණ සාහිත්‍ය දැන ගන්න ඕන.‍එහෙම නොවෙන තාක් අපට අත් විඳින්න වෙන්නේ මේ ඛේදවාචකයට තමා ගමයෝ.